Saturday, January 18, 2025

අනුර පිටියට බහිද්දී

සජිත් හතර දෙනාගේ කල්ලිය හදයි



දකුණු අප්‍රිකාවේ කළු ජාතිකයන්ට බලය ලැබිණි. ඒ සමගම ඔවුන් කරන්නට උත්සාහ කළ එක් තීරණාත්මක වැඩක් විය. ඒ, එතෙක් සුදු ජාතිකයන්ගේ ආධිපත්‍යය යටතේ තිබූ ස්ප්‍රින්ග්බොක් රග්බි කණ්ඩායමේ බලය තමන් අතට ගැනීම ය. ඊට පෙර මුළු කණ්ඩායමේ ම සිටියේ එක් කළු ජාතික ක්‍රීඩකයෙක් පමණි. ඒ චෙස්ටර් ය. 
පිරිස මේ වැඩේ කරන්නට යන විට කීර්තිමත් ජනාධිපතිවරයා, නෙල්සන් මැන්ඩෙලා ඉදිරියට ආවේය. ඔහු මෙසේ කීවේය.
‘ජනතාව මාව තමන්ගෙ නායකයා හැටියට පත්කළා. දැන් එහෙනම් මට ඒ නායකත්වය සපයන්න ඉඩදෙන්න.’
එසේ කී මැන්ඩෙලා පෙර තිබූ ස්ප්‍රින්ග්බොක් කණ්ඩායම තව-තවත් දිරිගැන්වීය. ඔහු කණ්ඩායම සමග ලෝක ශූරතාව දක්වා ම සිටියේය. ඔවුහු ලෝක ශූරතාව දිනූහ.
මේ කතාව නිකම්ම කතාවක් නොවේ. අමාත්‍යංශ ලේකම්වරුන් පිරිසක් අතර වූ කතාවකි. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඇතැම් තීරණ සහ පත්වීම් පිළිබඳ විවේචනයක් ද සහිත ව මේ කතාව සිදුවූයේ පසුගිය බදාදා ය. එහිදී නීතියට සම්බන්ධ අමාත්‍යංශ ලේකම්වරයෙක් ය, ඉහත කතාව කිව්වේ. 
‘මේක ක්ලින්ට් ඊස්ට්වුඩ්ගෙ ඉන්වික්ටස් ෆිල්ම් එකේ ලස්සනට තියෙනවා. ඒක කළේ මැන්ඩෙලා ගැන.’
ඔහු තමන්ගේ කතාව තවත් බර කළේ එසේ ය. 
‘ඒත් ජනාධිපතිතුමාටත් නොපෙනෙන පැති තියෙන්න පුළුවන්.’
‘ඒක ඇත්ත. ඒවා පෙන්නලා දෙන්න ඕනෙ. ඒ වගේම එතුමට වැඩේ කරගෙන යන්න දෙන්නත් ඕනෙ.’

එදා කොරෝනා ෂෝ දැන් බස් ෂෝ

මෙහිදී විශේෂයෙන් කතා වූ මාතෘකා දෙකක් වූයේ බස් සහ රොහින්ග්‍යාවරුන් ය. අනතුරුදායක ලෙස සවිකර ඇති කොටස් බස් සහ ත්‍රීරෝද රථවලින් ගැලවීමේ වැඩේ කරන්නේ පොලිසියයි. පොලිසිය මෙහිදී තමන්ගේ වැඩෙත් එක්කම මාධ්‍ය සමග නාට්‍ය පෙන්වීම ගැන ද මෙහිදී අවධානය යොමුවිය. 
‘කොරෝනා කාලෙ පීඑච්අයි මහත්තුරු, ඩොක්ටර්ස්ලා මීඩියා එක්ක ගියා. ඒකට ලොකු විරෝධයක් ආවට පස්සෙ නැවතුණා.’
‘ඒත් බස්වල ඔය වගේ වීඩියෝ පෙන්නුවෙ නැත්නම් ඕවා කරන්නත් බෑ.’
‘පෙන්නුවට කමක් නෑ, ඩ්‍රයිවර්ලා, කොන්දොස්තරලා අපහසුතාවට පත්නොකර. නැත්නම් වෙන්නෙ ඒ මිනිස්සු වෛර බැඳගන්න එක. ඕවා ඔක්කොම අවසානෙට යන්නෙ ආණ්ඩුව පිටින්.’
ඒ වෙලාවේ එහි සිටි අමාත්‍යංශ ලේකම්වරයකු පොලිසියේ ඉහළ නිලධාරියකුට දුරකතන ඇමතුමක් ගත්තේ මේ වැඩේ ගැන අහන්නට ය. ඔහු පිරිසට කියූ ආකාරයට මේ වැඩේ කරන්නේ එක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ වුවමනාවට ය.
‘කොළඹ කලර් ලයිට්ස් ඕෆ් කරගෙන පොලිසියෙ අය පාරට දාගෙන ට්‍රැෆික් වැඩි කරන තීරණයත් එයාගෙලු.’
කොහොම වුණත් මේ කතාබහේදී කියැවුණු එක් දෙයක් අතිශය වැදගත් ය. ඒ, ‘ඔක්කොම අවසානෙට යන්නෙ ආණ්ඩුවෙ ගිණුමට’ කියන එක ය. යකඩය අවශ්‍ය පරිදි සකස් කරගැනීමට ඉඩ ඇතත්, ඊට උඩ පැන-පැන තළන්නට ඉඩදුන්නහොත් සිදුවන්නේ යකඩයෙන් අවශ්‍ය වැඩේ ගත නොහැකි වීම ය. මුළු වැඩේ ම නාස්ති වී යෑම ය.

සජබය තීරණාත්මක ගමනක් අරඹයි

සජිත් ප්‍රේමදාස අන්තිමට තීරණයක් ගත්තේය. පසුගිය කාලයේ සජිත්ට සමගි ජන බලවේගය ඇතුළෙන් චෝදනාවක් ආවේය. එය ඇතුළෙන් පමණක් නොව එළියෙන් ද එන්නට පටන් ගත්තේ හිතපු නැති තරම් වේගයෙනි. ඒ, සජිත් තනි තීරණ ගන්නා බවත්, අනෙක් අයගේ මතයට ඉඩනොදෙන බවටත් ය. 
මේක හැදුණු විදිහක් ද තිබේ. සජිත් ඇතැම් තීරණ ගන්නට රැස්වීම් කැදෙව්වද, ඒවාට සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයන් සහභාගි වූයේ අඩුවෙනි. පැමිණි තරුණයන් වැඩිය කතා කළේ නැත. මේ නිසා හුඟක් ඒවා සජිත්ගේ තනි තීරණ විය. මේ ගැන පක්ෂයේ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් සැර ලිපියක් ලිව්වේය. පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ගැන, ඉදිරියට කළ යුත්තේ කුමක්ද යන්න, පක්ෂය පුළුල් ලෙස ප්‍රතිසංවිධානය කළ යුතු බව ආදී වශයෙන් යෝජනා රැසක් එහි විය. ඒ ලිපියේ කරුණු උපුටා දක්වමින් අපි මීට සති දෙකකට පෙර මේ තීරුවේ සමගි ජන බලවේගය ගැන කතා කළේය.
පසුගිය බදාදා රැස්වූ සමගි ජන බලවේගයේ කළමනාකරණ මණ්ඩලය මේ ලිපිය ගැන දීර්ඝ ව කතා කළේය. එහිදී මණ්ඩලයේ සිටි බහුතරයේ අදහස වූයේ මේ ලිපියේ ඇති සියල්ලට එකඟ විය හැකි බවයි. සජිත් තරමක් නිහඬ ව සිටියද, ඔහු ද කිව්වේ ඉමිතියාස් විවෘත ව මේ ගැන කතා කිරීමත්, පක්ෂයේ සියල්ලන්ගේ අවධානය යොමුකිරීමත් ඉතා වැදගත් බවයි. ඉමිතියාස් මේ ලිපිය ලියා තිබුණේ සජිත්ට ය. රංජිත්ට ද එහි පිටපතක් යවා තිබිණි. රංජිත් කියන්නේ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ය.

හතරදෙනාගේ කල්ලිය කාලසටහන හදයි

රංජිත් මද්දුම බණ්ඩාර සම්බන්ධයෙන් පක්ෂය ඇතුළේ තිබූ මතය තරමක් වෙනස් වූයේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ ජාතික ලැයිස්තුවට මුලින්ම තමන්ගේ නම දමාගැනීම නිසා ය. එය කොහොමත් සාකච්ඡා වී තිබූ දෙයකි. එහෙත් ඡන්දයෙන් පසු අනෙක් අය ඒ ගැන කතාකරන්නටත් පෙර ඔහු තමන්ගේ නම මැතිවරණ කොමිසමට යැව්වේය. ඊට ලොකු විරෝධයක් ආවේ නැත. ඒ කලින් ඒ ගැන එකඟතාවක් තිබූ නිසා ය. එහෙත් ඇතුළේ කතාව ටිකක් ගියේය.
මාතෘකාව කළමනාකරණ මණ්ඩල රැස්වීමයි. මෙහිදී ඉමිතියාස්ගේ ලිපියේ සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීමට හතරදෙනකුගෙන් සමන්විත මණ්ඩලයක් පත්කෙරිණි. රංජිත් මද්දුම බණ්ඩාර, ඉමිතියාස් බාකිර් මාකර්, කබීර් හෂීම් සහ තිස්ස අත්තනායක ඒ මණ්ඩලයට ඇතුළත් වූහ. මණ්ඩලය මුලින්ම ගත් තීරණය වූයේ සෑම සති දෙකකට වරක් ම කළමනාකරණ මණ්ඩලය රැස්වීමටත්, සෑම මාසයකට වරක් ම පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වීමටත් ය. කොහොම වුණත් පළාත් පාලන ඡන්දය ඉලක්ක කරගෙන වැඩ ගොඩක් කරන්නට සමගි ජන බලවේගය කටයුතු කරමින් සිටී. ඒ අතර ප්‍රධාන ම දේ වන්නේ එක්සත් ජාතික පක්ෂය එකතු වීම ය. ඊට අදාළ සාකච්ඡා සෑහෙන තරම් සාර්ථක ය. නායකයන් දෙදෙනා තවම ඒ ගැන කතා කරන්නට මුණනොගැසුණත්, කපුකම් සියල්ල ඉදිරියට යයි.

නියෝජ්‍ය ඇමැතිට නාවික හමුදාව සීමා පනවයි 

මියන්මාරයේ සිට ලංකාවට ආ රොහින්ග්‍යා සරණාගතයන් නාවික හමුදාවේ භාරයට ගත් පසු ඔවුන් මුණගැසුණු මුල් ම කණ්ඩායමේ විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති අරුන් හේමචන්ද්‍ර ද විය. ඔවුන් සමග කතාකිරීම දුෂ්කර වූයේ භාෂා ප්‍රශ්නය නිසා ය. කෙසේ වෙතත් දෙදෙනකුට පමණක් ඉංග්‍රීසි භාෂාවෙන් කතා කිරීමට තරමක හැකියාවක් විය. මේ පිරිස අතර අවුරුදු 18ට අඩු ළමුන් 57ක් වූහ. ඔවුන් නාවික හමුදාව භාරයේ සිටියේ භීතියෙනි. අරුන් ඔවුන් සමග සමීපවෙමින් ඔවුන්ගේ බය නැති කිරීමට උත්සාහ කරද්දී, නාවික හමුදාව ඊට සීමා දැම්මේය. ඒ සීමාවලට හේතුව වූයේ ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නොදැන සිටීමයි. නාවික හමුදාවේ මේ උපදෙස්වලට අරුන් අවනත විය.
ඔහු මේ පිළිබඳව ආණ්ඩුවේ වගකිවයුතු අංශ දැනුවත් කොට ආපසු ආවේය. පිරිස මුලතිව් ගුවන් හමුදා කඳවුරට රැගෙන යෑමට තීරණය කරන ලදි. ත්‍රීකුණාමලයේ සිට ඔවුන් ගොඩබිමින් මුලතිව් වෙත රැගෙන ගියේ නම්, එය පැය තුනක පමණ ගමනකි. එහෙත් නාවික හමුදාව ඔවුන් රැගෙන ගියේ මුහුදෙනි. එම නිසා ඒ ගමනට පැය හතකටත් වැඩි කාලයක් ගත වී තිබිණි. මේ ගැන විවේචන එල්ල වීම නිසා අරුන් ද නාවික හමුදාවෙන් ඒ ගැන විමසා තිබිණි. ඊට ද නාවික හමුදාව පැත්තෙන් පවසා තිබුණේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිශ්චිත අදහසක් නොමැති වීම නිසා එසේ කරන්නට සිදු වූ බවයි.
මේ සරණාගත පිරිස පැමිණීම නිසා ආණ්ඩුවේ මේ විෂය භාර ඇතැමුන් ද නොදැන සිටි කාරණයක් දැනගත හැකි විය. ඒ, දීර්ඝ කාලයක් කොළඹ - 07, වෝඩ් පෙදෙසේ පවත්වාගෙන ගිය එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ශ්‍රී ලංකා කාර්යාලය සම්පූර්ණයෙන් ම වසා දමා ඇති බවයි. දැන් එහි නියෝජිතයන් දෙදෙනකු පමණක් තුම්මුල්ලේ ඇති එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයේ සිටිති. කෙසේ වෙතත් ඒ ගැන විමසූ අවස්ථාවේ එක්සත් ජාතීන්ගේ පැත්තෙන් පවසා තිබුණේ ලංකාවේ සිටින සමස්ත සරණාගතයන් සංඛ්‍යාව 459ක් තරම් අඩු අගයක් ගැනීම නිසා මේ තීරණය ගත් බවයි.

අර්ජුන - සංගක්කාර සහ මහේල 

ඉන්දීය තානාපති කාර්යාලයේ ආරාධනයෙන් ඔවුන්ගේ විශේෂ සැමරුමකට පසුගිය සතියේ ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ ද එක් විය. එහිදී ඇමැතිවරයාට විශේෂ පුද්ගලයකු හමුවිය. හමු වූවා කියනවාට වඩා නිවැරදි වන්නේ ඔහු ළඟට ගොස් ඇමැතිවරයා ම කතා කිරීම ය. ඒ, 1996 ලෝක කුසලානය ලංකාවට දිනාදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වූ, හිටපු ක්‍රීඩා ඇමැති අර්ජුන රණතුංග ය. අර්ජුන සහ ඇමැතිවරයා සෑහෙන වේලාවක් කතාකරමින් සිටිනු දැකගත හැකි විය. ක්‍රීඩා ක්ෂේත්‍රය නගාසිටුවීමට තමන්ගේ පැත්තෙන් ඕනෑම සහායක් දීමට සූදානම් බවක් ද එහිදී අර්ජුන කියා තිබූ අතර, අමාත්‍යංශය සහ එහි නිලධාරීන් ගැනත්, ක්‍රීඩා පිටි සහ ක්‍රීඩා සංගම් ගැනත් දෙදෙනා මෙහිදී කතා කර තිබිණි.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ ආරම්භක උත්සවයට කුමාර් සංගක්කාරට සහ මහේල ජයවර්ධනට ද ආරාධනා කර තිබිණි. ඔවුන් දෙදෙනා සමග අදහස් හුවමාරු කරගැනීමේදී ජනාධිපතිවරයා ඉල්ලීමක් කර තිබිණි. ඒ, වැඩේට සහයෝගය ලබාදෙන ලෙසයි. අර්ජුන වගේම සංගක්කාර, ජයවර්ධන දෙදෙනා ද ඊට යහපත් ප්‍රතිචාර දක්වා ඇත. ඒ අනුව ක්ලීන් ශ්‍රී ලංකා හි වගකීම් කිහිපයක් ද ඉදිරියේදී ඔවුන්ට ලැබීමට නියමිත බව වාර්තා වේ.

ජූලි යන්න කලින් උපදෙස් දෙන්න යයි

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති ජූලි චන්ග් සිය ධුර කාලය අවසන් කර සිය රට බලා යෑමට නියමිත ය. ඇය පසුගිය බදාදා පස්වරුයේ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡාවක් පැවැත්වූවාය. ලංකාවේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකර ගැනීමේ වැදගත්කමත්, ලංකාවේ ජනතාවට ඇමෙරිකාවෙන් ලබාදෙන සහාය දිගටම ලබාදීම පිළිබඳවත් මෙහිදී වැඩියෙන් සාකච්ඡා කර තිබිණි. එසේම උතුරු පළාතේ ජනතාවට විශේෂ වන ප්‍රශ්න සම්බන්ධයෙන් මෙන්ම ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ අනාගත දේශපාලන සැලසුම් පිළිබඳව ද මෙහිදී දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගෙන තිබිණි.
ජූලිගේ සාකච්ඡාව ගැන කියූ නිසා ඊට ද අදාළ වන තවත් දෙයක් කිව යුතුය. ඒ උතුරේ ඉඩම් ප්‍රශ්නය ගැන ය. ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජූලිට ද මේ ගැන කියා තිබිණි. එහිදී ජූලි කියා තිබුණේ ජාතික ජන බලවේග ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් පැහැදිලි ස්ථාවරයක් දරන බව පෙනෙන්නට ඇති බවයි. මේ ගැන අදහස් දක්වමින් ජනාධිපතිවරයා පසුගිය දිනෙක පවසා තිබුණේ මෙසේ ය.
‘උතුරේ ජනතාවගේ ඉඩම් නිසි ක්‍රමවේදයකින් තොරව රජයේ ආයතන පවරාගෙන තියෙනවා නම්, ඒවා අනිවාර්යෙන්ම ඒ ජනතාවට දෙන්න ඕනෙ. ලංකාවෙ ඉඩම් කියන්නෙ දේපොළක් විතරක් නෙමෙයි, ඥාතීත්වයක්.’
ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශය උතුරේ සියලු ප්‍රවෘත්ති වෙබ්අඩවි සිය ප්‍රධාන පුවත ලෙස ගෙන තිබූ අතර, ඒ පිළිබඳව ජනතාවගේ අදහස් විමසීමට ද ඔවුන් කටයුතු කර තිබිණි. ජනාධිපතිවරණයේදී උතුරේ ජනතාව ජාතික ජන බලවේගයට ඡන්දය දුන්නාට වඩා වැඩි ප්‍රතිශතයක් පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය දී තිබිණි. පාර්ලිමේන්තු මැතිවරණයට පෙර සිදු වූ අනතුරක් සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා කර තිබූ ආකාරය දැඩි විවේචනයට ලක් විය. පොලිසියේ නිලධාරියකුගේ යතුරුපැදියක් අතුරු මාර්ගයකින් එක්වරම ප්‍රධනා මාර්ගයකට දැමීම අනතුරට හේතු වී තිබිණි. එහිදී නීත්‍යනුකූල නොවන ලෙස කටයුතු කළ පොලිස් නිලධාරීන් මාරු කිරීමට වැඩ බලන පොලිස්පතිවරයා කටයුතු කළ අතර, ඒ පිළිබඳ වෙනම විමර්ශනයක් ද පැවැත්වීමට කටයුතු කළේය. මේ ගැන ද උතුරේ මාධ්‍ය වෙනම කතා කර තිබුණේ ජනාධිපතිවරයාගේ ඉඩම් කතාව ගැන කතා කළා වගේ ය.

ජනාධිපති ළඟ මොකුත් ප්‍රශ්න නැත

පොලිසිය සම්බන්ධයෙන් ලියූ නිසා පොලිසියේ ප්‍රශ්නයක් ද ලිවිය යුතුය. වැඩ බලන පොලිස්පති සහ පොලිස් දෙපාර්තමේන්තුවේ දෙවැනියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) අතර පැවැති සීතල යුද්ධය දැන් එළියට ම පැමිණ ඇත. ඊට හේතු වී ඇත්තේ ජ්‍යෙෂ්ඨත්වය පිළිබඳ ප්‍රශ්නයක් බව ආරංචි ය. වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට වඩා දෙවැනියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ජ්‍යෙෂ්ඨ ය. එහෙත් වීරසූරිය 2027දී විශ්‍රාම යන්නේය. පතිනායක විශ්‍රාම යන්නේ 2032දී ය. ඊට හේතුව වීරසූරිය උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිසියට එක් වූ අයකු වීමත්, පතිනායක සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස පොලිසියට එක් වූ අයකු වීමත් ය. උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිසියට එක් වූ අයකු මීට පෙර පොලිස්පති ධුරයට පත් කර නැත.
පතිනායක තමන්ගේ උපදෙස් පිළිනොපදින බවක් පොලිස්පතිවරයාගේ පැත්තෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයට කියා ඇත. වීරසූරිය තමන්ට වඩා කණිෂ්ඨ බව පතිනායකගේ පැත්තෙන් පොලිස් කොමිසමට කියා ඇත. කෙසේ වෙතත් පසුගිය දිනෙක ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පොලිසියේ ඉහළ නිලධාරීන් සියල්ල කැඳවා අපරාධ විමර්ශන පිළිබඳ කතා කර තිබිණි. එහිදී දෙදෙනාම කිසිදු ගැටලුවක් පෙන්වා තිබුණේ නැත.
මේ අපරාධ සාකච්ඡාවෙන් පසුව ය, ජනාධිපතිවරයා නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ගෙන්වා සාකච්ඡාවක් පවත්වා තිබුණේ. එහිදී නීතිපතිවරයාගේ පැත්තෙන් කියා තිබුණේ පොලිසියෙන් එවන විමර්ශන ලිපිගොනු අඩුපාඩු ඇති බවයි. ඒවාට චෝදනා ගොනු කළ නොහැකි බවයි. පොලිසිය පැත්තෙන් කියා තිබුණේ නීතිපති දෙපාර්තමේන්තුව විමර්ශන ලිපිගොනුවලට අදාළ උපදෙස් ලබාදීම ප්‍රමාද කරන බවයි. කණ්ඩායම් දෙක වෙන-වෙනම ගෙන්වූ ජනාධිපතිවරයා, මේ සතියේදී කණ්ඩායම් දෙකේ ප්‍රධානීන් එකට ගෙන්වා සාකච්ඡා කිරීමට ද නියමිත බව වාර්තා වේ.

දිනෙන්-දින පරිණත වන නාමල්

මේ දිනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු නාමල් රාජපක්ෂ බවට පත්වී තිබේ. නාමල් සියලු දේ ගැන කතා කරයි. නාමල් සියලු සාකච්ඡාවලට යයි. නාමල් සියල්ලන් මුණගැසෙයි. නාමල් ජනතාවගේ සෑම ප්‍රශ්නයක් ගැන ම ට්විටර් සමාජ මාධ්‍ය පිටුවේ පණිවුඩ ලියයි. දේශපාලන ක්ෂේත්‍රයේ කතාවෙන්නේ නාමල් දැන් පරිණත වෙමින් පවතින බවත්, ඔහු හොඳ ගමනක් යනු ඇති බවත් ය. බස් ප්‍රශ්නය ගැනත් නාමල් සිකුරාදා කතා කර තිබිණි. ඔහු කියා තිබුණේ තමන්ගේ වාහනය තරමක් ලස්සන කරගන්නට ඉඩක් තිබිය යුතු බවයි. අනතුරක් නොවන පරිදි එය සිදුකරගැනීම ජනතාවගේ වගකීමක් වුවද, සියලු සැරසිලි කොටස් ගැලවීම අනුමත කළ නොහැකි බව ද ඔහු කියා තිබිණි.
කෙසේ වෙතත් නාමල්ට ඉදිරියේදී එන්නේ හොඳ කාලයක් නොවන බවත් පැහැදිලි ය. ඔහුගේ නමත් පැටළී ඇති ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ විමර්ශන කඩිනම් කර තිබේ. වසීම් තාජුඩීන් ඝාතන විමර්ශන සම්බන්ධයෙන් නාමල්ගේ මව වන ශිරන්ති රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත ය. යෝෂිත ද එම දෙපාර්තමේන්තුවට කැඳවූවේය. ඒ අතර නාමල්ගේ නීතිඥ උපාධිය ගැන ද ප්‍රශ්න කරයි. ඒ ගැන පොලිසියට, නීති විද්‍යාලයේ පාලනාධිකාරියට පැමිණිලි කළ නීති ශිෂ්‍යයා ලංකාවට එන බවක් ද කියා තිබිණි.

2015 සුන් වූ බලාපොරොත්තුව යළිත්

2009 ජනවාරි 08 වැනිදා ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ස්මරණය කිරීම පසුගිය බදාදා බොරැල්ල කනත්තේදී පැවැත්විණි. එහිදී ඔහුගේ චරිතාපදානය ලියූ රේන් වික්‍රමතුංග කිව්වේ වර්තමාන ආණ්ඩුව ලසන්තගේ ඝාතන විමර්ශනය විධිමත්ව පවත්වනු ඇති බවයි. එහෙත් එහි සිටි බහුතරයක් කිව්වේ 2015 යහපාලන ආණ්ඩුව පැමිණි අවස්ථාවේ ද එවැනි බලාපොරොත්තුවක් තිබූ බවයි. එහෙත් ඒ බලාපොරොත්තු ඒ ආණ්ඩුව නැති කළ බවයි.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ හෝ ඝාතනයට අනුබල දුන් කිසිවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. අත්අඩංගුවට ගෙන තිබුණේ සාක්ෂි වසන් කළ කිහිපදෙනකු පමණි. වැඩක් එක දිගට කරන්නේ කෙසේද යන්න ලසන්ත ආන්දෝලනාත්මක මිග් ගනුදෙනුව ගැන කළ අනාවරණ පිළිබඳව බැලීමෙන් පැහැදිලි වේ. 2007 ජූලි 15, ජූලි 29, අගෝස්තු 02, සැප්තැම්බර් 05, නොවැම්බර් 09 මේ ආදී වශයෙන් එම ගනුදෙනුව පිළිබඳව ලසන්ත එකදිගට ලිව්වේය. ගෝඨාභය රාජපක්ෂ තමන් ගැන ලියන්න එපා යැයි අධිකරණයෙන් වාරණයක් ගන්නා තුරු ම ලිව්වේය.

‘මට කොහෙද ඕවට වෙලාවක්?’

රනිල් වික්‍රමසිංහ සිය ඉන්දීය - නේපාල සංචාර අවසන් කර පැමිණීමෙන් පසු ඔහුගේ සමීපතම නීතිඥ පිරිසක් ඔහු හමු වී තිබිණි. ආණ්ඩුව පවතින නීති රැසක් වෙනස් කිරීමට අදාළ නීති කෙටුම්පත් සකස් කිරීමට කටයුතු කරමින් සිටි බව මෙහිදී එම නීතිඥයන් හිටපු ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.
‘ඒක හොඳයි. මේ සමහර ඒවා අනිවාර්යෙන්ම වෙනස් වෙන්න ඕනෙ. මට කොහෙද ඕවා කරන්න වෙලාවක් තිබුණෙ, මට තිබුණෙ ඉතින් ආර්ථික ප්‍රශ්නනෙ.’
රනිල් ඔවුන්ට පිළිතුරු ලබාදී තිබුණේ එසේ ය. සජිත් - රනිල් එකතුව ගැනත් කතා කිරීමෙන් පසු, රනිල් ඔවුන්ට කියා තිබුණේ ‘මට ටිකක් ඇවිදින්න ඕනෙ’ යනුවෙනි. රනිල් තවත් සංචාරයක් සඳහා කඩිනමින් ලංකාවෙන් පිටත්වීමට නියමිතව ඇත. කෙසේ වෙතත් රනිල්ට විරුද්ධව නඩු පෝලිමක් ද එන්නට නියමිත බව ආරංචි ය.

Wednesday, January 8, 2025

ගුවන්යානය 2025න් 2024ට ගියාට

අපිත් යන්න ඕනෙ ආපස්සට ද?



නාමල් කුමාර දෙවැනි කතාවත් කියා තිබේ. ඔහු දැන් රක්ෂිත බන්ධනාගාරයේ ය. ඔහුට එරෙහිව චෝදනා ගොනු කර ඇත්තේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ ය. ඒ කාදිනල් හිමියන්ට අපහාස කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙනි. කාදිනල් හිමියන්ට මේ ගැන දිසා අධිකරණයේ අපහාස නඩුවක් පවරන්නට හැකියාව තිබියදී මේ විදිහට සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ ඔහුට එරෙහිව ක්‍රියාත්මක වීම වැරදි බව ජ්‍යෙෂ්ඨ නීතිඥයන් රැසක් ම අවධාරණය කරන කරුණකි. මේ නීතියෙන් චෝදනා ගොනුකර ඇති නිසා ඔහුට මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ගන්නට බැරි ය.
මේ නාමල් කුමාර කියන්නේ නරේන්ද්‍ර මෝදිත් හිරිවැට්ටවූ කෙනෙකි. නරේන්ද්‍ර මෝදිගේ මාධ්‍ය ඒකකයට වැඩ වැඩි කළ කෙනෙකි.
2018 වසරේ සැප්තැම්බර් 12 වැනිදා මහනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු කිව්වේ එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් ඇති බවයි. එය ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ එවකට ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා විසින් මාකඳූරේ මධුෂ් නම් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා යොදවා සිදුකිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු කිව්වේය. කෙසේ වෙතත් අවසානයට තහවුරු වූයේ සහකාර පොලිස් අධිකාරිවරයකු ඝාතනය කිරීමේ සැලසුමක් පමණක් සකස් කර ඇති බවත්, මෛත්‍රී හෝ ගෝඨාභය හෝ ඝාතන කුමන්ත්‍රණයක් තිබී නැති බවත් ය. නාමල් කුමාර යනු 2009 වසරේ හමුදාවේ සිට පළා ඇවිත්, නැවත හමුදාවට ගිය අයෙකි. 
හින්දු පුවත්පතේ පළවූ කැබිනට් රහස
කෙසේ හෝ නාමල් කුමාරගේ මේ ප්‍රකාශයෙන් පසු ඒ මාසයේ ම 16 වැනිදා ඉන්දියාවේ ද හින්දු පුවත්පතේ ලිපියක් පළ විය. එහි සඳහන් වූයේ ඉන්දියාවේ ප්‍රධාන රහස් ඔත්තු සේවය වන රෝ සංවිධානය එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඝාතනය කිරීමට සූදානමින් සිටින බවක් මෛත්‍රිපාල සිරිසේන කැබිනට් මණ්ඩල රැස්වීමේදී පැවසූ බවයි. එම කැබින ට්මණ්ඩල රැස්වීමට සහභාගි වූ ඇමැතිවරුන් හතරදෙනකුගෙන් මේ කරුණ තහවුරු කරගත් බව ද හින්දු පුවතේ සඳහන් විය. 
මේ අතර තවත් වැඩක් සිදු විය. නාමල් කුමාරගේ නිවසට පැමිණි ඉන්දීය ජාතිකයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හදිසියේ ම අත්අඩංගුවට ගැනිණි. පසුව ඔහු මානසික ආබාධයක් ඇති පුද්ගලයකු බව සඳහන් කෙරුණු අතර, ඉන් එහාට ඒ පිළිබඳ විමර්ශන සිදු වූ බවක් ආරංචි නැත. 
හින්දු පුවත පත්තු විය. සැප්තැම්බර් 17 වැනිදා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, එනම් දකුණු ආසියාවේ බලවත්ම පුද්ගලයා මෛත්‍රිපාල සිරිසේන එවකට ලංකාවේ ජනාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ගත්තේය. වාර්තාවලට අනුව දීර්ඝ වේලාවක් ඇදුණු ඒ දුරකතන ඇමතුමෙන් පසු මෝදිගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කළේය. එහි දැක්වුණේ තමන්ව ඝාතනය කිරීමට රෝ සංවිධානයේ සැලසුමක් නැතැයි මෛත්‍රිපාල සිරිසේන මෝදිට පැවසූ බවයි. කතාබහ ගියේ කොහොමද කියන්නට දන්නේ නැත. හින්දු පුවත්පත ද තම පුවත නිවැරදි කරන්නට හෝ යළිත් අලුත් කතාවක් ලියන්නට ගියේ නැත. 

කවුද මේ කවුරුත් නොදන්න උපදේශක?

මේ සියල්ල කළේ නාමල් කුමාර පත්තු කළ කතාවයි. දැන් ඔහු යළිත් කතාවක් පත්තු කර තිබේ. ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මාධ්‍යයට පැවසුවේ ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න දැන් සතුටුද, ඔය දෙන්නටත් ඇතුළට යන්න වෙනවමයි කියලා ය. ශානි කියන්නේ දැන් අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයේ ප්‍රධානියා ය. රවී කියන්නේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ය. 
මහජන ආරක්ෂක අමාත්‍යංශය ගැන කියූ නිසා තවත් කතාවක් ලිවිය යුතුය. ඒ, වතර්මාන ආණ්ඩුවෙන් පත්කර ඇති උපදේශකවරයකු ගැන කතාවකි. ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයේත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් හිටපු ප්‍රධානියෙකි. දැන් විශ්‍රාමිකයෙකි. වසීම් තාජුඩීන් ඝාතන සිදුවීම, රතුපස්වලදී නිරායුධ සිවිල් වැසියන්ට වෙඩි තැබීමේ සිදුවීම ඇතුළු අපරාධ කිහිපයක විමර්ශන සඳහා මැදිහත් වූ බවට ඔහුට චෝදනා තිබේ. මේ උපදේශකවරයා සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළ ම පාර්ශ්ව අතර ද කතාබහක් මතු වී ඇත. ඒ ඔහු මෙතැන්ට ආවේ කෙසේද යන්න සම්බන්ධයෙනි. මොනවා වුණත් කවුරුහරි හැදෙන්න අවස්ථාවක් ඉල්ලනවා නම්, හැදෙන්න අවස්ථාවක් දිය යුතුය.
නලින්ද ගින්න පත්තු කළේ සැලසුමක් ඇතිව ද?
පසුගිය සතිය අවසානයේ තීරණාත්මක කතාව මතු වූයේ කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස සම්බන්ධයෙන් ය. ඔහු මහරගම අපේක්ෂා රෝහලේදී කතරගම දේවාලයෙන් ලබාදුන් පරිත්‍යාගය විවෘත කිරීමේ අවස්ථාවේදී මෙසේ පවසා තිබිණි.
‘මේක වටිනා කාර්යයක්. ඒ වටිනාකම එන්නෙ පිළිකාවක් පිළිබඳව දැනගත්තහම ඒ පවුලක අයට, ඒ සමීපතමයන්ට දැනෙන වේදනාව කොතරම් ද කියන එක අපි කාටත් දැනෙන්න ඕනෙ. වැඩිහිටියකුටත් වඩා දරුවකුට..... සෞඛ්‍ය අමාත්‍යංශයේ තියෙනවා අරමුදලක්. ඒ අරමුදලට පොදුවේ හෝ පෞද්ගලිකව දායකවෙන්න පුළුවන්. ....... රෝහලක් බලලා හිතේ ඇති වන සංවේදී සිතුවිල්ලට උදව් කරන්න බැහැ. ඇත්තටම හිත හොඳීන් දෙන ආධාරය වුණත් අවුරුදු කීපයක් ගියාට පස්සෙ ඒක අමාත්‍යංශයට, රජයට බරක් වෙනවා. රජයත් මෙතැනින් එහාට මුදල් වියදම් කරන්නෙ ඉල්ලන ඉල්ලන විදිහට නෙමෙයි, ජාතික සැලැස්මකට අනුවයි.’
නලින්දගේ මේ කතාවට හතරවටෙන්ම පහරවදින්නට ගත්තේය. එහෙත් ඔහු මේ කතාව කියා තිබුණේ නිකම්ම නොවේ. පෙර සූදානමක් ද ඇතිව ය. ඒ පෙර සූදානමට අනුව නලින්ද තවත් ලැයිස්තුවක් හෝ තොරතුරු කිහිපයක් එළියට දමන්නට සූදානම් ය. තවත් යනුවෙන් වචනයක් එකතු කළේ මීට පෙරත් ඔහු ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගත් මැති-ඇමැති ලැයිස්තුවක් එළියට දැමූ නිසා ය. නලින්ද අර කතාවේදී කියූ සෞඛ්‍ය අමාත්‍යංශයේ අරමුදල යනු සෑහෙන මුදලක් එකතු වූ තැනක් බවත් ආරංචි ය. ඒ මුදල්වලට සිදු වූයේ කුමක්ද යන්න ගැන ඇතැම් විට ඉදිරි දින කිහිපයේදී එළියට එනු ඇත.

ඔක්කොම අවසන් - කාර්යාලයත් ඉවරයි

අප පසුගිය සතියේ මේ තීරුවේ ලියූ ආකාරයට ම ආරක්ෂක අංශ සියල්ලේම ප්‍රධානීන් මාරුකිරීමේ තීරණය ආණ්ඩුවෙන් ගත්තේය. යුද හමුදාපතිවරයාට පසුගිය 31 වැනිදා සිය දෙවැනි සේවා දිගුව අවසන්ව විශ්‍රාම යෑමට ඉඩ සැලසූ අතර, නව යුද හමුදාපතිවරයා පත්කෙරිණි. නාවික හමුදාපතිවරයාගේ සේවා දිගුව ද 31න් අවසන් කෙරිණි. ගුවන් හමුදාපතිවරයාගේ සේවා දිගුව ලබන 26 වැනිදා අවසන් වන අතර, ඔහුගේ සේවය ද එතැනින් අවසන් කිරීමට තීරණය කර ඇත. ජාතික බුද්ධි සේවයේ ප්‍රධානියා ද වෙනස් කෙරිණි. යුද හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා ඇතුළු ඉහළ තනතුරු කිහිපයක් ම වෙනස් කෙරිණි. 
තවත් වැදගත් කාරණයකි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය දැරූ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද 31 වැනිදා විශ්‍රාම ගියේය. විශ්‍රාම යෑමෙන් පසු ඔහු පවසා තිබුණේ 2022 අරගලය අවස්ථාවේ  අනීතික නියෝග තමන් ක්‍රියාත්මක නොකළ බවකි. එම නිසා තමන් යුද හමුදාපති ධුරයෙන් ඉවත් කෙරුණු බවක් ඔහු කිව්වේය.
2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනතට අනුව පත්කෙරෙන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණවලට සහාය වීම ය. ඔහුට අණදීමේ බලයක් නැතත්, ප්‍රායෝගිකව ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය සලකා ඇතැම් විට හමුදාපතිවරුන් ඔහු කියන දේට අවනත විය. 160කට වැඩි සේවක මණ්ඩලයක් එම කාර්යාලයට අනුයුක්තව සේවය කරන අතර, විවිධ පහසුකම් සහ වරප්‍රසාද රැසක් ද එහි ඇත. විශේෂ ම දේ එහි වැඩක් ද නැත. ශවේන්ද්‍රගේ විශ්‍රාම යෑමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය පිළිබඳ වාර්තාවක් කැඳවා ඇත. ඇතැම් විට ඉදිරියේදී එම තනතුර හිස් ව තිබෙන්නට ද ඉඩ ඇත.

ආණ්ඩුවට විරුද්ධ නඩුවේ වාසිය ගන්න තරගයක්

ආණ්ඩුවට විරුද්ධව දැමූ පළමු නඩුව දිනූ බව මේ දිනවල සර්ව ජන බලය පැත්තෙන් කියමින් සිටී. ඒ නඩුව වන්නේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 03ක් පිටවීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයයි. මේ අතර එක් පෙත්සම්කරුවකු වූයේ බදුල්ලේ නීතිඥවරයෙකි. ඔහු සර්ව ජන බලය පක්ෂයෙන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට තරග වැදුණු අයෙකි. බදුල්ලේ වුවද, ඔහු තරග කර තිබුණේ අම්පාර දිස්ත්‍රික්කයෙන් ය. ඔහු පෙත්සම්කරුවකු වීම නිසා නඩුව තමන් විසින් දැමූ එකක් බව සර්ව ජන බලය කියමින් සිටී. සැබෑව නම් පෙත්සම්කරුවන් විශාල සංඛ්‍යාවක් මෙහි සිටි බවයි.
අධිකරණ ක්ෂේත්‍රයේ පසුගිය සතියේ කතාබහට ලක්වූ තවත් සිදුවීමක් වූයේ බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට ගැනීමයි. ඔහු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේගේ සහෝදරයෙකි. තිළිණ ගමගේ වරක් වැඩ තහනමට ද ලක්විය. ඒ අලි ජාවාරම සම්බන්ධ නඩුවකට අදාළව ය. කෙසේ වෙතත් මේ සහෝදරයාගේ සිදුවීමෙන් පසු තිළිණ ගමගේ මොරටුව දිසා අධිකරණයට මාරු කෙරිණි. ඔහුගේ පැත්තෙන් ඊට පෙර අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබුණේ සහෝදරයාගේ නඩුව වෙනත් අධිකරණයක, වෙනත් විනිසුරුවරයකු වෙත යොමුකරන ලෙසයි. ඒ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් අධිකරණ සේවා කොමිසම සිදුකර තිබුණේ නඩුව අදාළ අධිකරණයේ ම විභාගයට යොමුකිරීමයි. තිළිණ එතැනින් මාරු කෙරිණි. 
තවත් කාරණයක් වන්නේ අධිකරණ සේවා කොමිසමට අලුත් සාමාජිකයකු පත්කිරීමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට සිටින දෙවැනි ජ්‍යෙෂ්ඨතම විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඒ කොමිසමට පත්කර ඇත. දැනට අගවිනිසුරු ධුරය දරන මුර්දු ප්‍රනාන්දුගේ සේවා කාලය මේ වසර මැදදී අවසන් වීමට නියමිත ය. ඊළඟට ලිස්ට් එකේ සිටින්නේ සූරසේන විනිසුරුවරයා ය.

85 සූරි 81 සිංග්ට කියපු දේ

ප්‍රකට දේශපාලන විචාරකයකු වූ ජේ.ආර්.පී. සූරියප්පෙරුම පසුගිය බ්‍රහස්පතින්දා 96 වැනි වියේදී අභාවප්‍රාප්ත විය. මතවාදී ගැටලු තිබුණද, තම මතවාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටි අයෙකි, ඔහු. වරක් අපූරු සිදුවීමක් සිදු විය. 
2010 සිට 2015 දක්වා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ඔහු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කෙරිණි. 2013 වසරේ දිනක සූරියප්පෙරුම මන්ත්‍රීවරයා විසින් එවකට ඉන්දීය අගමැති මන්මෝහන් සිංග්ට තදබල ප්‍රහාරයක් එල්ල කළේය. ඒ පාර්ලිමේන්තුවේදී ය. ඔහු සිංග් අගමැතිවරයා ඇමතුවේ නාකි මෝඩ යනාදී වචන යොදාගනිමිනි. කෙසේ වෙතත් ඒ වන විට මන්මෝහන් සිංග්ට වයස අවුරුදු 81කි. සූරියප්පෙරුමට වයස අවුරුදු 85කි. මන්මෝහන් සිංග් ද මීට සතියකට පෙර අභාවප්‍රාප්ත විය. ඔහු සෝනියා ගාන්ධිට යට වූයේ කෙසේද, සෝනියා ඔහු ව යටත් කරගෙන වැඩකිරීමට කටයුතු කළේ කෙසේද යන්න පිළිබඳ ව අපි පසුගිය සතියේ මේ තීරුවේ දීර්ඝ ව ලීවෙමු.
2025න් 2024ට ගිය ගුවන් ගමන මතක් කරගත්තොත් නරකද?
2025 වසරේ සිට 2024 දක්වා ගුවන් ගමනක් ගියේ පසුගිය පළමුවැනිදා ය. එසේ කී විට එක්වරම දැනෙන්නේ අපභ්‍රංසයකි. ඒත් ඒක ඇත්තකි. ඒ ඉර නැගීමේ - බැසීමේ කතාවකි. හොංකොං රාජ්‍යයෙන් මේ ගුවන් ගමන පටන්ගන්නා විට ඒ පැත්තට 2025 උදාවී අවසන් ය. ලොස්ඇන්ජලීස්වලින් ගුවන්යානය සිය ගමන අවසන් කරන විටත් ඒ පැත්තට තවමත් නව වසර උදා වී තිබුණේ නැත.
මේ කතාව මෙතැන්ට අදාළ වන්නේ සමගි ජන බලවේගයේ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් විසින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට සහ එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරට යොමුකළ ලිපියක් නිසා ය. ඉමිතියාස් කියන්නේ ආපස්සට නොව ඉදිරියට යන්නට අවශ්‍ය බවයි. පක්ෂය ඉදිරියට ගැනීම සඳහා පක්ෂය ප්‍රතිසංස්කරණය කිරීමේ, මහ පොළොවේ සක්‍රී ය සැලසුම් ක්‍රියාත්මක කිරීමේ, වගකීම් බෙදාහැරීමේ, පක්ෂ යන්ත්‍රණය විධිමත්ව ගොඩනැගීමේ අවශ්‍යතාව සභාපතිවරයා විසින් ලේකම්වරයාටත්, නායකයාටත් පෙන්වා දී ඇත.

මනෝලා - හකීම්ලා අලුතින් සැලසුම් හදති

මේ ලිපිය ගැන ආරංචි වූ සමගි ජන සන්ධානයේ දේශපාලන පක්ෂ කිහිපයක් ඉමිතියාස් සමග සාකච්ඡා කිරීමට ද සූදානම් වී ඇත. එහෙත් ඉමිතියාස් එය ප්‍රතික්ෂේප කර ඇති බවක් ආරංචි ය. මෙය සමගි ජන බලවේගයේ අභ්‍යන්තර කතාවක් බවත්, ඊට සන්ධානය ගාවාගත යුතු නැති බවත් ඔහු පෙන්වා දී ඇත. කෙසේ වෙතත් පසුගිය සතියේ මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ සමගි ජන සන්ධානයෙන් ඉවත් වන බව කිව්වේය. ඔවුන් මේ වන විටත් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තනියෙන් තරග කොට වැඩි මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් ලබාගන්නේ කෙසේද යන්න සාකච්ඡා කරමින් සිටී. ඔවුහු මෙවර තමන්ගේ ලැයිස්තුවලින් නීතිඥයන් වැඩි පිරිසකට අවස්ථාව දෙන්නට ද තීරණය කර ඇත. 
මනෝ ගනේෂන් සහ කොළඹ දිස්ත්‍රික්කයේ ඔහුට හිතවත් නීතිඥවරුන් පිරිසක් අතර පසුගියදා හමුවක් පැවැත්විණි. එම හමුවේදී මනෝ සියල්ලන්ට ආරාධනා කර තිබුණේ ඔවුන් සමග පළාත් පාලන මැතිවරණය කරන්නට ය. මුස්ලිම් කොංග්‍රසය ද දැන් ඉන්නේ වෙනම ගමනක් යන තීරණයක ය. එවැනි තත්ත්වයක් යටතේ සමගි ජන බලවේග සභාපතිවරයාගේ ලිපිය සෑහෙන වැදගත් වනු ඇත.

තලතා අයියාගේ වැඩේ පටන්ගනී

සමගි ජන බලවේගයේ සිට එක්සත් ජාතික පක්ෂයට පැමිණි තලතා අතුකෝරාල පසුගිය කාලය පුරා ම කාර්යබහුල විය. මැතිවරණයේදී ඇය සමග එජාපයට එන්නට මන්ත්‍රීවරුන් පිරිසක් සිටියද, සැලසුම් කළ ආකාරයට එය සිදුනොවීය. මේ ගැන තලතා විසින් රිෂාඩ් බදූර්දීන්ට ප්‍රිසිද්ධියේ දෝෂාරෝපණය කර තිබුණේ රිෂාඩ්ගේ පරණ සිදුවීමකදී රනිල් වික්‍රමසිංහ උද ව්කළ ආකාරය අමතක කරන්න එපා යනුවෙන් ද කියමිනි. 
කෙසේ වෙතත් පසුගිය සිකුරාදා තලතා නිල වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරය බාරගත්තේය. ඒ තමන්ගේ අයියා දැරූ තනතුරයි. ගාමිණී අතුකෝරාල මරණයට පත්වන විට ඔහු එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා මෙන්ම මහ ලේකම්වරයා ද විය. රනිල් ලංකාවේ නැති දවසක ම තලතාගේ පත්වීම ප්‍රසිද්ධ කෙරිණි. රනිල් මෙ ්දිනවල සිටින්නේ නේපාලයේ ය. රනිල්ගේ උපදෙස් පිට වජිර අවෙබ්ර්ධන ය, මේ දිනවල පක්ෂයේ වැඩ බලන්නේ. ආරංචිවල හැටියට තලතා ඉදිරි මාසයක කාලයේදී සීග්‍රගාමී ගමනක් යන්නට සැලසුම් කර තිබේ.
එහි ආරම්භක පියවර ලෙස පක්ෂයේ ආසන සංවිධායකවරුන් සියල්ල ඉදිරි සතිය තුළ මුණගැසීමටත්, ක්‍රියාකාරී-තරුණ ආසන සංවිධායකවරුන් පිරිසක් අලුතින් පත්කිරීමටත් නියමිත ය. තලතා පත්කළේ සිකුරාදා වුවද, ඒ අලුතින් පත්කරන ලැයිස්තුව තලතාගේ ප්‍රධානත්වයෙන් සකස් කර අවසන් කර දැන් දින ගණනාවක් බව ද ආරංචි ය. කෙහොම වුණත් එයින් එකක් පෙනෙන්නේය. එක්සත් ජාතික පක්ෂය යළිත් අළු ගසා දමා නැගිටින්නට ලකලෑස්ති වෙමින් සිටී. 

යෝෂිතගේ කතාවට පැටළෙන වතුර බිල

යෝෂිත රාජපක්ෂ පසුගිය සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි. ඒ කතරගම මැණික් ගඟ රක්ෂිතයේ පිහිටි ඉඩමක අයිතිය පිළිබඳ ප්‍රකාශයක් ගන්නට ය. පසුගිය 27 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන විශ්‍රාමික මේජර් නෙවිල් වන්නිආරච්චි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි. ඔහුගෙන් කරන ලද ප්‍රශ්නකිරීම්වල දිගුවක් ලෙස ය, මෙසේ යෝෂිත කැඳවා ඇත්තේ. 
මේ අතර ම කියන්නට තවත් කතාවක් තිබේ. 2010 වසරේදී මේ ප්‍රදේශයේ ඉඩමක පිහිටි ඉදිකිරීමකට ජල බිලක් පැමිණ තිබුණේ ගෝඨාභය රාජපක්ෂ නමට ය. දැන් ආණ්ඩු බලය දරන ජාතික ජන බලවේගයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ මගින් පවත්වාගෙන ගිය ලංකා පුවත්පත මගින් එය අනාවරණය කෙරිණි. එම පුවත්පත් වාර්තාවේ ජල බිල, එය නිකුත් කළ දිනය, ඊට අදාළ ලියාපදිංචි වූ දින ඇතුළු තොරතුරු රැසක් ද විය. ඉන්පසු සිදු වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලංකා පුවත්පත් කාර්යාලයේ ප්‍රධාන කර්තෘවරයා ප්‍රශ්න කිරීමයි. ප්‍රවෘත්තිය ලියූ මාධ්‍යවේදියා හඹායෑමයි. එම තොරතුරු ලැබුණේ කෙසේදැයි දිගින්-දිගටම ප්‍රශ්න කිරීමයි.

Thursday, January 2, 2025

 සෝනියා ගාන්ධි - මන්මෝහන් සිං හවුල

ලංකාවට උගන්නපු හොඳම පාඩම !


ආචාර්ය මන්මෝහන් සිංගේ මාධ්‍ය උපදේශකවරයා ලෙස කාලයක් කටයුතු කළේ සංජය බාරු ය. 2004 සිට 2014 දක්වා ඉන්දියාවේ අගමැති ධුරය දැරූ සිං ගැන ඔහු පොතක් ලිව්වේය. The Accidental Prime Minister - The making and unmaking of Manmohan Singh යනු ඒ පොතයි. මේ පොත ආශ්‍රයෙන් චිත්‍රපටයක් හැදුවේය. මේ චිත්‍රපටයේ මන්මෝහන් සිංගේ චරිතයට රඟපාන්නේ අනුපම් කේර් ය. සංජය බාරුගේ චරිතය රඟපාන්නේ අක්ෂේ ඛන්නා ය. එය ඉන්දියාවේ මෙන්ම ලංකාවේ ද ජනප්‍රිය චිත්‍රපටයක් විය.

ඒ මන්මෝහන් සිං පසුගිය බ්‍රහස්පතින්දා මියගියේය.

2004 වසරේ පැවැති ඉන්දීය මැතිවරණය කොංග‍්‍රස් පක්ෂයේ නායකත්වයෙන් යුත් ඉන්දීය ප‍්‍රගතිශීලී සන්ධානය ජයග්‍රහණය කළේය. ජයග්‍රහණයෙන් පසු සියලුදෙනාට ප්‍රශ්නයක් තිබිණි. ඒ ‘අගමැති වන්නේ කවුද’ යන ප්‍රශ්නයයි. කොංග්‍රස් පක්ෂයේ බහුතරයක් පාක්ෂිකයන් කිව්වේ පක්ෂ නායිකා සෝනියා ගාන්ධි අගමැති විය යුතු බවයි. එහෙත් ඇයට ඊට බාධා දෙකක් තිබිණි. එකක් වූයේ ඇය උපතින්ම ඉන්දීය ජාතික කාන්තාවක් නොවීමයි. දෙවැන්න වූයේ රාහුල් ගාන්ධි අම්මා අගමැති වනවාට දැඩි අකමැත්තක් දැක්වීමයි. 

මේ ප්‍රශ්න දෙකට මැදිවී සිටි සෝනියා දෙස කොංග්‍රස් පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ නෙත් දල්වා බලා සිටියහ. ඒ, සෝනියා කුමන් තීරණයක් ගන්නේද යන්න දෙස නොවේ. ඇය කවුරුන් අගමැති ධුරයට පත්කරන්නේද යන්න ගැනයි. ඒ වෙනුවෙන් ඔවුහු සෝනියාගේ සමීපතමයන් හමුවීම තරගයට කළහ. එහෙත් ඇය ගත්තේ කිසිවකු නොසිතූ තීරණයකි. මන්මෝහන් සිං අගමැති ධුරයට පත්කෙරිණි. ඇයගේ මේ තීරණය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් රැසකගේ නොසතුටට හේතු විය. ඇතැමෙක් එය ප්‍රසිද්ධියේ ම කිව්වෝය. එහෙත් තවත් පිරිසක් සෝනියා ගැන විශ්වාසය පළකළහ. ඇය දුර දිග නොබලා මෙවැනි වැඩක් නොකරන බව ඔවුහු කිව්වෝය. 


ලංකාවටත් අදාළ සෝනියාගේ මෙහෙයුම


ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රාඥයකු වූ ද, ඉන්දීය රජයේ හිටපු මූල්‍ය උපදේශකවරයකු වූ ද, ඉන්දීය තැන්පත් බැංකුවේ හිටපු අධිපතිවරයකු වූ ද, එරට මධ්‍ය සැලසුම් කොමිසමේ හිටපු සභාපතිවරයකු වූ ද, හිටපු මුදල් ඇමැතිවරයකු වූ ද, 1998 සිට 2004 දක්වා ඉන්දීය රාජ්‍ය සභාවේ විපක්ෂ නායකවරයා වූ ද ආදී වශයෙන් තීරණාත්මක තැන් රැසක සිටි ආචාර්ය මන්මෝහන් සිං වැඩ පටන් ගත්තේය. එහෙත් මේ පත්වීමට විරෝධය දැක්වූ පිරිස එක අතකින් සාධාරණ විය.

මන්මෝහන් සිං ඉතා ලජ්ජාශීලී තරමක් නිහඬ පුද්ගලයෙක් විය. ඉහත කී චිත්‍රපටයේදී එය මනාව පෙන්වයි. පළමු මහජන ඇමතීමට ඔහු ව සූදානම් කරන ආකාරය තුළින් ඒ බව ප්‍රේක්ෂකයාට හොඳීන් පැහැදිලි කරයි. එහෙත් චිත්‍රපටයෙන් තවත් කරුණක් මතුකරයි. ඒ, ඔහුගේ පසුගාමී බව තුළ සැඟවුණු ඉවසිලිවන්ත, විචක්ෂණශීලීභාවයයි. එය සංජය බාරුගේ පොතේ ද මනාව විග්‍රහ කරයි. 

සෝනියා ගාන්ධි ඇත්තටම මේ තීරණය ගත්තේ යටි හිතේ වෙනත් අරමුණක් ද තබාගෙන ය. ඇයගේ අරමුණ වූයේ තම පුත් රාහුල් ගාන්ධි අගමැති ධුරයට පත්කළ හැකි දිනයක් එන තුරු තමන්ට පහසුවෙන් නැටවිය හැකි රූකඩයක් අගමැති පුටුවේ තබාගැනීමයි. එනම් ඇයට අවශ්‍ය වූයේ ඉන්දියාවේ නිල නොලත් පාලිකාව බවට පත්වීමටයි. ඒ සඳහා ඇය අගමැති පත්කරන ගමන් ම තවත් වැඩක් කළාය. රටේ සියලු වැදගත් තීරණ ගැනීම සඳහා ජාතික උපදේශක කමිටුවක් පත්කොට, ඇය එහි සභාපති ධුරයට පත්වූවාය. තීරණාත්මක කටයුතු සියල්ලේදී අගමැතිවරයා මේ කමිටුවෙන් උපදෙස් ලබාගත යුතු විය. එනම් සෝනියාගෙන් උපදෙස් ලබාගත යුතු විය. 

මේ කතාව නිකම්ම කතාවක් නොවේ. ලංකාවේ දේශපාලනයේ මෑත ඉතිහාසය මෙන්ම අද දවස ද හිතේ තබාගෙන මේ කතාව ඔබ කියවිය යුතුය.


විනාඩි පහෙන් තීන්දු කළ මුදල් ඇමැතිකම


සෝනියා කළේ එපමණක් නොවේ. මන්මෝහන් සිං වටා සිටි නිලධාරීන් සියල්ල ද ඇය තමන්ගේ ග්‍රහණයට ගත්තාය. අගමැති හුදෙකලා විය. ඔහුට සියල්ල සෝනියා කියන විදිහට කරන්නට සිදු විය. ඇයට නතු නොවූ චරිතයක් වූයේ මන්මෝහන් සිංගේ මාධ්‍ය උපදේශක සංජය බාරු පමණි. හැබැයි එය කියන්නේත් සංජය බාරු ම ය. 

සෝනියාගේ බලපෑමේ තරම ගැන කියන්නට සංජය බාරුත් කියන, තවත් මූලාශ්‍ර කිහිපයකත් ඇති උදාහරණයක් ද ඇත. මන්මෝහන් සිං අගමැති ධුරයට පත්වීමෙන් පසු පැවැත්වූ පළමු භෝජන සංග්‍රහයේදී එක් මන්ත්‍රීවරයකු කියා ඇත්තේ තමන්ට මුදල් රාජ්‍ය ඇමැති ධුරය හිමිවන බවයි. මුදල් කැබිනට් ඇමැති ධුරය අගමැති ධුරය යටතේ තබාගන්නා බව ඔහු පවසයි. ඒ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් සමග ය. මේ කතාව මුදල් ඇමැති ධුරය අපේක්ෂාවෙන් සිටි එක් දේශපාලනඥයකුට ඇසෙයි. ඔහු මේ බව තවත් ලුණු-ඇඹුල් ටිකක් එකතු කොට සෝනියාගේ සමීපතමයකුට පවසයි. ඒ සමීපතමයා මෙය එතැනදීම සෝනියාට පවසයි. සෝනියා එතැනදීම තීරණයක් ගනී. ඇය මන්මෝහන් සිං අගමැතිවරයාට කියන්නේ මුදල් ඇමැති ධුරය බලාපොරොත්තුවෙන් සිටි දේශපාලනඥයාට එය අනිවාර්යයෙන්ම ලබාදිය යුතු බවයි. අගමැතිවරයා ඊට එකඟ වේ. විනාඩි කිහිපයක් තුළ කටකතාවක් රටේ අගමැති ධුරය තීරණය කරයි. 

මන්මෝහන් සිං දෙවැනි වර අගමැති ධුරයට පත්කිරීමට සෝනියාට අවශ්‍ය නොවුණත්, ඇයට එය කරන්නට සිදු වේ. රාහුල් ගාන්ධි ඒ වනවිටත් දියාරු චරිතයකි. රාහුල් ගාන්ධිගේ ප්‍රතිරූපය ඉහළට ඔසවන්නට ගහන සියලු සැලසුම් එකරම් සාර්ථක වන්නේ නැත. කෙසේ වෙතත් අවසානයේදී, එනම් 2014 වසරේදී රාහුල් අගමැති අපේක්ෂකයා ලෙස නම් කෙරිණි. ඔහු එම මැතිවරණයේදී දරුණු පරාජයක් ලැබීය. මන්මෝහන් සිං ඉන්දියාවේ සිටි ජනතා බුහුමනට ලක්වූ අගමැතිවරයකු ලෙස ගෙදර ගියේය.

ඒ, මන්මෝහන් සිං ය, පසුගිය බ්‍රහස්පතින්දා මිය ගියේ. එහෙත් ඔහු කිසි තැනක සෝනියා මට මෙහෙම කළා කියා නැත.


අනුරගේ ආණ්ඩුවේ ටිල්වින්ගේ තැන කුමක්ද?


මේ කතාවත් එක්ක මතක් වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පත්කළ අගමැතිවරුන්ගේ ලැයිස්තුවයි. දි.මු. ජයරත්න ඇතුළු වියපත් දේශපාලනඥයන්ට පාඩුවේ සිටීමට දුන් තනතුරක් හැටියට ය, එය ඒ කාලයේ තිබුණේ. මෙය තහවුරු වූ හොඳ ම තැනකි, හරිනි අමරසූරිය අගමැති කාර්යාලයට පැමිණීමෙන් පසු එහි කාර්යමණ්ඩලය කටයුතු කළ ආකාරය. ඔවුන්ට අගමැතිවරියගේ කාර්යයන් ඉටුකරන්නට හදිසියක් තිබුණේ නැත. විශේෂයෙන්ම මාධ්‍ය අංශයට අගමැති මාධ්‍ය ආවරණ ගැන එතරම් තැකීමක් තිබුණේ නැත. හුරු වූ විදිහ ඒක විය.

විපක්ෂය පැත්තෙන් තවත් කතාවක් කියන්නේය. ඒ, අනුර කුමාර දිසානායකටත් වඩා ටිල්වින් සිල්වා මේ පාලනයේ සිටින බවයි. එහෙත් එහෙම දෙයක් පෙනෙන්නට නම් නැත. ටිල්වින් සෝනියා මෙන් උපදේශක කමිටු හදාගන්නට හෝ අඩු තරමේ උපදේශකකමක් හෝ ගන්නට ගිය බවක් ආරංචි නැත. ඒත් ඇතුළේ කතා හරියටම කියන්නට බැරි ය. මන්මෝහන් සිංගේ කතාවේ මෙන් පසු කාලයක ඇත්ත කතා එළියට එනු ඇත. 


අලුත් අවුරුද්දේ ආරක්ෂක අංශ වෙනස්කම් රැසක්


මේ සතියේ ඇතුළේ කතා වූ වැදගත් ම කාරණා දෙකක් වූයේ නව යුද හමුදාපතිවරයා සහ නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය පිළිබඳ කතා ය. වර්තමාන යුද හමුදාපති විකුම් ලියනගේ 2022 ජුනි මාසයේදී එම ධුරයට පත්කෙරිණි. ඔහු පත්කෙරුණේත් විශේෂ තත්ත්වයක් යටතේ ය. 2022 මැයි 09 වැනිදා අරලියගහ මන්දිරයෙන් පැමිණි පිරිස සහ ගෝල්ෆේස්හි සිටි අරගලකරුවන් අතර ගැටුමත්, ඉන්පසු එදින රාත්‍රියේ සිදුවූ මැති-ඇමැතිවරුන්ගේ නිවාස ගිනි තැබීම් පිළිබඳ සිදුවීම් සියල්ලත් පාලනය කරන්නට යුද හමුදාව මැදිහත් නොවූ බවට එවකට පැවැති ආණ්ඩුව පැත්තෙන් චෝදනාවක් එල්ල විය. ඒ පිළිබඳ සොයාබැලීමට පත්කළ කමිටුවෙන් ද කිව්වේ යුද හමුදාව ඒ මොහොතේ මන්දගාමී වී ඇති බවකි. චෝදනාව ආවේ එවකට හිටපු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ය. ටිකක් වැඩේ ඇදිණි. එක්වරම ශවේන්ද්‍ර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත්කෙරිණි. රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා විසින් සිදු කළද, ඊට අදාළ ලොකු ම බලපෑම ආවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පැත්තෙන් ය.

විකුම් ලියනගේ හමුදාපති ධුරයට පත්කෙරුණේ ඉන්පසු පැමිණි ජුනි 01 වැනිදා ය. එහෙත් ඔහුට විශ්‍රාම යෑමට තිබුණේ මාස 06ක් පමණි. ඉන්පසු වසර බැගින් සේවා දිගු 02ක් රනිල් වික්‍රමසිංහ විකුම් ලියනගේට දුන්නේය. ඒ සේවා දිගු මේ 31 වැනිදා අවසන් වන්නේය. ආරංචියේ හැටියට විකුම් තවත් සේවා දිගුවක් ඉල්ලා නැත. සිකුරාදා පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක නියෝජ්‍ය ඇමැති ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීහු රැස්වූහ. එහිදී හමුදාපති ධුරය ගැන ද සාකච්ඡා කර ඇත. ඒ අනුව අලුත් හමුදාපතිවරයකු එන්නේය.

අනෙක් කාරණය ශවේන්ද්‍ර සිල්වා ය. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයෙන් ඔහු ද විශ්‍රාම යෑමට නියමිත ය. ඔහු ද තවත් සේවා දිගුවක් ඉල්ලා නැත. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති අදාළ සාකච්ඡාවේදී තවත් පැත්තකට අවධානය යොමුකර ඇත. ඒ, තවදුරටත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයක් පවත්වාගෙන යන්නේද යන්නයි. ඊට හමුදාවලට නියෝග දීමේ හෝ වෙනත් බලතල කිසිවක් නැත.  සිදුවන්නේ ධුරයේ ඉහළින් තැබීම පමණකි. එය අනවශ්‍ය වියදමක් බවට ආරක්ෂක අමාත්‍යංශය පැත්තෙන් වාර්තාවක් ද සකස් කර ඇතැයි ආරංචි ය. 

මේ ගැන දැනගත් පසු ජාතික ජන බලවේගයේ සිටින විශ්‍රාමික ආරක්ෂක ප්‍රධානීන් කිහිපදෙනකු යෝජනා කර ඇත්තේ යුද්ධය කාලයේ පැවැති ඒකාබද්ධ මෙහෙයු ම්මූලස්ථානය වැනි ඒකකයක් නැවත පිහිටුවීම යෝග්‍ය වනු ඇති බවයි. මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීමේදී එවැනි ඒකාබද්ධ මෙහෙයුම් සිදුකිරීම වැදගත් වනු ඇතැයි ද ඔවුන් පෙන්වා දී ඇත. මේ ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ යුද්ධයේ අවසාන කාලයේ සිටි ප්‍රධානියා වූයේ විශ්‍රාමික මේජර් ජෙනරාල් කුමා හේරත් ය. ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන සියල්ලන්ට පෙර ඔත්තුවක් ආවේ ඔහුට ය. ඔහු ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් කිව්වේය. ප්‍රකාශත් දුන්නේය. මොනවා වුණත් තවමත් ඒ ගැන අවසන් තීරණයක් ගෙන නැත.


ඔක්කොම යද්දි එක්කෙනෙක් ඉතුරුයි


හිටපු ජනාධිපතිවරුන් ළඟ සිටි ආරක්ෂක හමුදා සාමාජිකයන් පසුගිය සතියේ ඉවත් කෙරිණි. එහෙත් එක් අයෙක් තවමත් සිටී. ඔහු දැන් සක්‍රීය සේවයේ නැත. එහෙත් විශේෂ ඉල්ලීමක් මත ඔහු රාජකාරියේ යෙදී සිටී. ඒ කර්නල් නොයෙල් වන්නිආරච්චි ය. ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ය. මහින්දගේ විශ්වාසවන්තයා ය. ආරක්ෂක අමාත්‍යංශයෙන් ඔහුට විශේෂ අවසරයක් ලබා දී ඇත. ඒ මහින්දගේ ඉල්ලීම පිට ය. එය මේ ආණ්ඩුව ද වෙනස් කර නැත. 

කොහොමත් ප්‍රභූන්ට තමන්ට විශ්වාසවන්ත අයකු ළඟට ගන්නට අවස්ථාවක් මීට පෙර හදා තිබිණි. එය ලෝකයේ ම තිබෙන දෙයකි. මේ අතරවාරයේ ම කියන්නට තවත් කතාවක් තිබේ. යුද හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ බි්‍රගේඩියර් චන්දික මහතන්තිල පසුගියදා එම ධුරයෙන් ඉවත් කෙරිණි. ඒ වෙනුවට දැන් වැඩ බලන්නේ හිටපු නියෝජ්‍ය ප්‍රධානියා ය. මේ ගැන කතාබහකදී චන්දික මහතන්තිල ඉවත් කිරීම ආණ්ඩුව ගත් වැරදි තීරණයක් බවට ප්‍රකාශ වී තිබිණි. එහෙත් ආණ්ඩුවේ සිටින තරුණ මන්ත්‍රීවරයකු ප්‍රශ්න කර තිබුණේ ට්‍රම්ප් ආපු ගමන් සීඅයිඒ හෙවත් ඇමෙරිකානු බුද්ධි තොරතුරු කාර්යාංශයේ ප්‍රධානියා ඉවත් කළේ ඇයි යනුවෙනි. ට්‍රම්ප් ඔහුගේ හිතවතුන්ට එක දිගට බුද්ධි අංශ බාරදෙන්නේ ඇයි ද යනුවෙනි. 


පොලිසිය ගැන පොලිසියෙන් මෙහෙයුම්


මහජන ආරක්ෂක විෂය බාර නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වටගල පසුගියදා රූපවාහිනී වැඩසටහනකදී කියා තිබුණේ පොලිසියේ නිලධාරීන් පාතාලයෙන් වැටුප් ලබන බවයි. එය ප්‍රසිද්ධ කතාවක් වුවද, කවුරුත් නිල වශයෙන් ඕවා කියන්නට ගියේ නැත. දැන් ඇමැති ම ඒ ගැන කියා ඇත. රුවන්වැල්ල සහ අවිස්සාවේල්ල පොලිසිවල නිලධාරීන් විශාල පිරිසක් හිටිහැටියේ මාරු කළේ ඒ නිසා බව ද ආරංචි ය. තවත් පොලිසි තුනක නිලධාරීන් විශාල පිරිසක් එකවර මාරුකිරීමට නියමිත ය.

එසේ ම මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පහළ නිලධාරීන් කිහිපදෙනකු ද හදිසියේ වෙනස්කිරීමට නියමිත බව ආරංචි ය. මේ සියල්ලට හේතු වී ඇතැයි පැවසෙන්නේ පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග පවත්වන සම්බන්ධතා ය. මේ වසරේ ආසන්න කාලයේදී වෙඩි තැබීමේ සිදුවීම් එකසිය පනහකට අධික ප්‍රමාණයක් සිදුවී ඇත. එයින් හැටකට අධික ප්‍රමාණයක් සංවිධානාත්මක අපරාධකරුවන් අතර සිදු වූ වෙඩි තැබීම් ය. අනෙක්වා හුදෙකලා සිදුවීම් ය. මේවා කියන්නේ පොලිස් වාර්තාවලින් ය. එයින් පැහැදිලි වන තවත් වැදගත් කාරණයක් වන්නේ සංවිධානාත්මක අපරාධකරුවන් ළඟ හැර තවත් විශාල පිරිසක් ළඟ නීතිවිරෝධී ගිනි අවි ඇති බවයි.

කළුතරදී බන්ධනාගාර බස් රථයට වෙඩි තැබුවේ කඩුවෙල සමයං ඇතුළු පිරිසකි. මේ පිරිස වෙඩි තැබීමට යොදාගත් එක් පිස්තෝලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සොයාගත්තේ කිසිදු අපරාධයකට සම්බන්ධ නැති සාමාන්‍ය ව්‍යාපාරිකයකු ළඟ තිබියදී ය. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූයේ ඔහු අතේ මුදල් තිබූ වේලාවක යමෙක් පිස්තෝලයක් විකිණීමට පැමිණි බවත්, ඔහුට ඇති වුණු ආසාවට එය ගත් බවත් ය. විමර්ශකයන් ඒ ප්‍රකාශය සත්‍ය බව තහවුරු කරගැනීමෙන් පසු ඔහුට විරුද්ධව චෝදනා ගොනුකරෙැණේ නීතිවිරොධී ගිනි අවියක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් පමණි. තව පොඩ්ඩක් එහෙ-මෙහෙ වුණා නම් ඔහුට වැටෙන්නේ අතිශය බරපතළ චෝදනාවකි.


සජබයෙනුත් විශේෂ ඒකකයක්


සමගි ජන බලවේගය පසුගිය සතියේ විශේෂ ඒකකයක් පිහිටෙව්වේය. ඒ, රජය සහ පළාත් සභා මට්ටමින් අත්තනෝමතික ලෙස සිදුකරන සියලු ස්ථාන මාරු පිළිබඳව සොයාබැලීමේ ඒකකයකි. මේ සඳහා නාමිකව හෝ නිර්නාමිකව ඕනෑම අයකුට තොරතුරු ලබාදිය හැකිය.

ආණ්ඩුවේ ඉහළ පෙළේ පිරිස් කුමක් කීවද, පහළ පෙළේ ඇතැමුන් මෙසේ අත්තනෝමතික ලෙස ස්ථාන මාරු සිදුකරන බවට පසුගිය සතියේ චෝදනා කිහිපයක් ම එල්ල විය. ඊට බලපෑම් කරන බව ද පැවසිණි. මෙසේ ස්ථාන මාරුවලට මුහුණ දුන් බොහෝදෙනෙක් සමගි ජන බලවේගයට සම්බන්ධ පිරිස් ය. මෙසේ ස්ථාන මාරු කළ නිලධාරීන්ගේ ලැයිස්තුවක් සකස් කිරීමටත්, ඒ ලැයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් සමගි ජන බලවේගය තීරණය කර ඇත. 


කාරියප්පර් යන්න හදන්නෙ කොතැනටද?


මේ අතර සමගි ජන සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කළ මුස්ලිම් කොංග්‍රසයේ නිශාම් කාරියප්පර් ආණ්ඩුව සමග කටයුතු කිරීමට වැඩි කැමැත්තක් දක්වන බව ආරංචි ය. ඔහු යන-යන තැන ආණ්ඩුවේ හොඳ කියය. ආණ්ඩුවට සහාය දෙන බව කියයි. මේ ගැන ආරංචි වීමෙන් පසු විපක්ෂ නායකවරයාගේ පාර්ශ්වයෙන් ඔහුගෙන් මේ පිළිබඳව විමසීමක් කර ඇත. එහිදී ඔහු කියා ඇත්තේ ‘ඉස්සරහට වැඩ කරමු, අපි කොහොමත් ගිවිසුම ගැහුවෙ ඡන්දෙ වෙනකම්නෙ’ යනුවෙනි. 

නිශාම් කාරියප්පර් මන්ත්‍රී ධුරයට පත්කිරීම ගැන ද මුස්ලිම් කොංග්‍රසය ඇතුළෙන් ප්‍රශ්න කර තිබේ. පසුගිය සතියේ පැවැති එහි උත්තරීතර මණ්ඩල රැස්වීමේදී කාරියප්පර්ගේ ඇතැම් ක්‍රියාකාරිත්වයන් පිළිබඳ ප්‍රශ්න කර ඇතත්, රාවුෆ් හකීම් ඒ ගැන රනිල් මෙන් සිට ඇත. ඒ කියන්නේ ඔහු කිසිවක් කියා නැත. සාමාන්‍යයෙන් මෙවැනි ප්‍රශ්නයක් පැමිණි විට නිහඬව මඳ සිනහවකින් සිටින ක්‍රමයට කියන්නේ රනිල් ක්‍රමය කියා ය. 


රූපවාහිනියේ අලකලංචිය


ජාතික රූපවාහිනී සංස්ථාවට ජාතික ජන බලවේගයෙන් පත්කළ ආචාර්ය සෙනේෂ් දිසානායක එයින් ඉවත් විය. ඔහු ඉවත්වීම දැඩි කතාබහට ලක්වූ අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස ඔහුට බැණ වැදුණු බවක් ද මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරිණි. මීට පිළිතුරු දෙමින් සෙනේෂ් පවසා තිබුණේ තමන් මාස තුනකට මේ වැඩේ බාරගත් බවකි. කෙසේ වෙතත් ආරංචියේ හැටියට රූපවාහිනියේ ඇතැම් පිරිස් සෙනේෂ් සමග සුහදව කටයුතු කර නැත. එසේ ම සෙනේෂ් ද ඔවුන් සමග සුහද ව කටයුතු කර නැත. මේ අර්බුදය ඔඩු දුවා ඇත. කෙසේ වෙතත් ලබන මාසයේදී සෙනේෂ් ආණ්ඩුවේ තවත් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ධුරයක් බාරගැනීමට නියමිත ය.

ඔහුගේ පුටුවට ආවේ ගිහාන් ද සිල්වා ය. ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක අලෙවි සහ ප්‍රචාරක කටයුතු බාරව සිටි ඔහු පසුගිය කාලයේදී ජාතික ජන බලවේගයේ ප්‍රචාරක කටයුතුවලද තීරණාත්මක වැඩ රැසක් කළ අයෙකි. විශේෂයෙන්ම මේ මැතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් තීරණාත්මක බලපෑමක් කළ සමාජ මාධ්‍ය හැසිරවීම පිළිබඳ විශේෂඥයකු වන ඔහු, ජාජබ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල ඒ පැත්ත බාරව සිටියේය. 


ආණ්ඩුවට විරුද්ධ පළමු නඩුව වැටෙයි


අගමැති හරිනි අමරසූරියට විරුද්ධව පළමු නඩුව වැටිණි. ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ මූලික අයිතිවාසිකම් නඩුව පැවරුවේ රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා විසින් ය. තමන් ව ඉවත් කිරීම අසාධාරණ බවත්, අත්තනෝමතික බවත්, එමගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවත් හිටපු උප කුලපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කොට ඇති පෙත්සමේ දැක්වේ. ආණ්ඩුවට දැන්ම නඩු වැටීම නම් ඒ හැටි හොඳ කරුණක් නොවේ.

අධිකරණය ගැන ලියූ නිසා මේ ටිකත් ලිවිය යුතුය. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්නට විරුද්ධව ඔහුට දැඩි චෝදනා එල්ල කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නේය. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන විශ්‍රාමික විනිසුරු උපාලි අබේරත්නට  චෝදනා රැසක් එල්ල වී තිබේ. පසුගිය සතියේ ජනාධිපතිවරයා හමුවූ නීතිඥයන් පිරිසක් මෙසේ චෝදනා එල්ල වූ පිරිස් තීරණාත්මක තනතුරුවල සිටීම බරපතළ බව පෙන්වා දී තිබිණි.

එහිදී ජනාධිපතිවරයා කියා තිබුණේ ‘හැමදේම හරියට වෙයි, හැබැයි ඒවා වෙන්න ඕනෙ පිළිවෙළට’ යනුවෙනි. ඒ කියන්නේ එහි තේරුම් දෙකක් තිබේ. එකක් වැඩ සිදු වන බව ය. දෙක කලබලේට වැඩ සිදු නොවන බව ය.