‘ඔබටත් වසර පහක
ඔත්තු සෙවීමේ රැකියාවක් සඳහා
වේකන්සියක් තිබේ.’
කීර්තිමත් විදේශ කටයුතු ඇමැතිවරයකු වූ ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කෙරුණේ 2005 අගෝස්තු 12 වැනිදා ය. මේ ඝාතනයට අදාළ නඩුව දැන් අවසන් ය. කදිරගාමර් ඝාතනය කළ අයෙක් නැත. මේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තේ එක් සැකකරුවකු පමණි. ඒ සැකකරු, සැකකරුවකු ලෙස වසර 14ක් රක්ෂිත බන්ධනාගාරගතව සිට වකුගඩු රෝගයෙන් මියගියේය. ඉන්පසුව ය, අධිකරණය නඩුව අවසන් කළේ.
මුත්තයියා සහාදේවන් නම් ඒ සැකකරු ගස්වල අතු කැපීම ඇතුළු එදිනෙදා වැඩ කරමින් ජීවත් වූ අයෙකි. ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ කදිරගාමර්ට වෙඩි තැබූ ස්නයිපර් වෙඩික්කරුගේ දර්ශන පථය සකස් කළ බවට චෝදනාවක් එල්ල කරමිනි. එනම් ඔහු ඒ අසල පිහිටි ඉහළ පොලිස් නිලධාරියකුගේ නිවසක පිහිටි ගසක අත්තක් ඊට දින කිහිපයකට පෙර කපා තිබිණි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් ඔහු තම පාපොච්ඡාරණයේදී කියා තිබුණේ මීට පෙරත් ඒ ගෙදර, ඒ ගසේ ම ඔහු අනන්තවත් අතු කපා ඇති බවකි.
කෙසේ වෙතත් ඔහුගේ කතාව දැන් අවසන් ය. ජාත්‍යන්තර පොලිසියෙන් රතු වරෙන්තු නිකුත් කර ඇති ශ්‍රී ලංකාවේ සිදු වූ අපරාධවලට අදාළ සැකකරුවන් සංඛ්‍යාව පහකි. ඒ අතර ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනයට ආධාර-අනුබල දුන් බවට සැක අයෙක් ද සිටියි. ඔහු නඩරාජා සිවරාජා ය. කොළඹ 13 උපන් ඔහුගේ වයස අවුරුදු 51කි.
මේ තීරුවෙන් හදිසියේ ම කදිරගාමර් ගැන කතාකළේ විශේෂ හේතුවක් නිසා ය. කදිරගාමර් පවුලෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ. නොනිල වශයෙන් ජනාධිපතිවරයාගේ සමීප සම්බන්ධතාවක් හරහා පැමිණ ඇති මේ ඉල්ලීමෙන් කියන්නේ හැකි නම්, කදිරගාමර් ඝාතනය පිළිබඳ නැවත පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙසයි. එයින් බරපතළ ඝාතනයක්, ඝාතන සැලසුමක්, ඊට ඈඳෙන කතා පෙළක් අනාවරණය වනු ඇතැයි ද ඔවුන් කියා ඇත.
ආරංචි වන ආකාරයට ආණ්ඩුව පැත්තෙන් තවමත් ඊට අදාළ නිල පියවරක් ගෙන නැත. කෙසේ වෙතත් ඒ ගැන ආණ්ඩුව අවධානය යොමු කර තිබේ. පවුලේ ඉල්ලීම වගේම ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් චරිතයක් වූ ලක්ෂ්මන් කදිරගාමර්ට සිදුවූයේ කුමක්ද යන්න අනාවරණය කරගැනීම ශ්‍රී ලංකාවේ යුක්තියේ කතාවේදී වැදගත් බවට ද ආණ්ඩුව ඇතුළේ සාකච්ඡා වී ඇත.
අනුර සිංහලෙන් කතා කරපු එක අවුල් ද?
ජනාධිපතිවරයා ඉන්දියාවේ ගොස් ආවේය. ඊළඟට ඔහු චීනයට යන්නට සූදානම් ය. ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී අගමැති නරේන්ද්‍ර මෝදි, ජනාධිපති ඩේරෟපදී මුර්මූ ඇතුළු භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවේ ඉහළ ම පිරිසක් හමුවිය. ප්‍රාන්ත මහ ඇමැතිවරුන් රැසක් අනුර හමුවූයේ ඔහු නැවතී සිටි අයිටීසී හෝටලයට පැමිණ ය. අයිටීසී යනු ඉන්දියාවේ ප්‍රකට ම සංචාරක හෝටල් සමූහයකි. එය ඉන්දියාවෙන් පිටත දැනට හෝටලයක් පවත්වාගෙන යන්නේ ලංකාවේ පමණි. ඒ, ගෝල්ෆේස් අසල පිහිටි අයිටීසී රත්නදීප ය.
ජනාධිපතිවරයා මෙහිදී සිංහලෙන් කතාකිරීම ගැනත් ආන්දෝලනයක් ඇති විය. එහිදී ජනාධිපතිවරයාගේ කතාව ඉංග්‍රීසියට පරිවතර්නය කළ පරිවර්තකයා දුර්වල බව බොහෝ දෙනෙකුගේ අදහස ය. ඒ ගැන මෙරට සති අන්ත ඉංග්‍රීසි පුවත්පත් ප්‍රධාන කර්තෘවරුන් දෙදෙනකු විසින් ම ජනාධිපතිවරයාට ද පවසා ඇත. කෙසේ වෙතත් අනුර මෙන්ම මෝදි ද විදේශ රටවලදී ඇතැම් විට කතා කරන්නේ හින්දි භාෂාවෙන් ය. පුටින් රුසියානු භාෂාවෙන් ය. ෂී ජින්පින් චීන භාෂාවෙන් ය. අනුර ඉන්දියාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් රැසක් හමු විය. එහිදී ඔහු ඉංග්‍රීසියෙන් ඔවුන් සමග දීර්ඝ සාකච්ඡා පවත්වා තිබිණි. අනුරගේ භාෂා භාවිතය ගැන විවේචන එන්නට පටන් ගත් විට, ආණ්ඩුව පැත්තෙන් මේ වීඩියෝ කිහිපයක් එළියට දැම්මේය. ලෝකයේ ආසන්න වශයෙන් භාෂා 6,000කට වැඩි සංඛ්‍යාවක් තිබේ. ඒවාගෙන් අති බහුතරයක් මේ වන විට මළ භාෂා ය.
ආගමන විගමන දෙපාර්තමේන්තුව පැත්තෙන් කියන්නේ මීට පෙර සිටි ජනාධිපතිවරුන් විදේශ සංචාරවලට සහභාගි වන විට ඔවුන්ගේ පෞද්ගලික බෑග් පරීක්ෂා නොකෙරුණු බවකි. එහෙත් අනුර එසේ පරීක්ෂා කරන්නැයි කියා ඇත. එය යහපත් ප්‍රවණතාවකි. ජනාධිපතිවරයා එසේ කරන්නේ නම්, අනෙක් අයට එසේ නොකර සිටින්නට අයිතියක් නැත.
ජනාධිපතිවරයාගේ ආදර්ශ ගැන තවත් කතාවක් කියන්නට තිබේ. ඒ ජනාධිපති කාර්යාලයේ වියදම් අඩු කිරීම ගැන ය. මේ ගැන මීට පෙරත් මේ තීරුවේ ලියා ඇත. ඒ වියදම් අඩු කළ ආකාරය ගැන පෙර වර්ෂ සමග සංසන්දනය කරමින් වාර්තාවක් සකස් කරන ලෙස උපදෙස් ලැබී ඇත. උපදෙස්වලට අනුව මේ වන විට ඒ වාර්තාව සකස් කෙරෙමින් තිබේ. මේ වාර්තාව එළියට දැමීමෙන් පසු අමාත්‍යංශවලටත්, දෙපාර්තමේන්තුවලටත් එසේ කරන්නට සිදුවේ. යථාවාදී-තථාකාරී වෙනවා නම් විය යුත්තේ එහෙම ය. අනුරට සීයෙන් සීය දෙන්නට අපට අවශ්‍ය නැත. ඔහු ගැන ජනතාව තබා ඇති විශ්වාසය රැකීම ය, ඔහු කළ යුත්තේ.
සමගි සන්ධානයෙන් ඊළඟ ඡන්දෙට අලුත් වැඩක්
මේ අතර ම විපක්ෂය පැත්තෙන් මේ දිනවල කරන අලුත් වැඩක් ගැන ද ලිවිය යුතුය. විපක්ෂය කියන්නේ සමගි ජන සන්ධානයයි. ඔවුන් ජනතාවගේ ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කර ඇති අතර, එහි උඩින්ම ඇත්තේ එදිනෙදා ප්‍රශ්නවලට විසඳූම් ලබාගන්නේ කෙසේද යන්නයි. දෙවැන්න දූෂණ-වංචා ය. තුන්වැන්න විපක්ෂයේ දේශපාලනඥයන් එම ප්‍රශ්න විසඳන්නේ කෙසේද යන්න පිළිබඳව සංඛ්‍යා - දත්ත සහිතව කතාකිරීමයි. සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන්ට මීට අවශ්‍ය තොරතුරු සොයාදීම සඳහා වෙනම කණ්ඩායමක් ද පත්කර ඇත.
හරියටම කියන්නේ නම් සමගි ජන සන්ධානය ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී ආණ්ඩු බලය ලබාගැනීමේ මෙහෙයුමක් දැන් සිට ම ආරම්භ කර තිබේ. කොහොම වුණත් සැලසුමකට - ඉලක්කයකට වැඩක් කරන එක හොඳ ය. ප්‍රශ්නය තිබෙන්නේ එම සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පත්කිරීම් ප්‍රශ්නය පවා තවමත් විසඳාගෙන නැති එක ය. හිටපු මන්ත්‍රී තුෂාර ඉඳූනිල් ඉන්නේ සෑහෙන කළකිරීමෙන් ය. එය තවදුරටත් උග්‍ර වන්නේ ඔහුගේ ආසනය වන පඬුවස්නුවරට අසල්වැසි ආසනයේ, එනම් බිංගිරියේ ආසන සංවිධායක නලින් බණ්ඩාර පාර්ලිමේන්තු යෑම ය. ඔහු දැන් පඬුවස්නුවරත් ඔහුගේ වගේ කරගෙන වැඩ කරන බව ඉඳූනිල් තැන් ගණනාවකදී ම කියා තිබිණි.
ජාතික ජන බලවේගය ආණ්ඩුවක් ගන්න සැලසුම හැදුවේ 2019 ජනාධිපතිවරණයටත් පෙර ය. එය ඔවුන් පිළිවෙලකට කළේය. ඩබල් පොකට් කමිසයේ සිට, ඔවුන් භාවිත කරන වර්ණවල සිට, ඔවුන් කතා කරන භාෂාවේ සිට, ජනතා අවශ්‍යතාවල සිට ඔවුන් අලුත් විය. සමගි ජන සන්ධානය ද එයින් පාඩමක් ඉගෙනගෙන බව පෙනෙන්නට තිබේ.
පෙර කී තොරතුරු හොයන කණ්ඩායම සමග සමගි ජන සන්ධානයේ සියලු මන්ත්‍රීවරුන්ට සම්බන්ධකම් පැවැත්විය හැකිය. අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඔවුන් ඉල්ලන තොරතුරු උපරිමයෙන් සොයාදීම ඒ කණ්ඩායමේ වගකීමකි. කණ්ඩායම කිව්වාට තවමත් එය සම්පූර්ණයෙන් සකස් කර අවසන් නැත. විවිධ විෂයයන් පිළිබඳ දැනුම සහිත කොටස් ඔවුහු එකතු කරමින් සිටිති.
ඔන්න ඔබටත් වසර පහක රැකියාවක් සඳහා වේකන්සි තිබේ.
පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ මේ සැලසුම ගැන සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයෙන් පසු යළිත් කතාබහට ලක්වූ එට්කා ගිවිසුම ගැන ද කතා කර ඇතැයි ආරංචි ය. ආණ්ඩුව පැත්තෙන් එට්කා සහ ඉන්දියාව සමග කළ-කී දෑ පිළිබඳව ඉදිරිපත් කළ කරුණුවලට විපක්ෂයට සාර්ථකව ප්‍රතිචාර දක්වන්නට නොහැකි වීමට හේතුව තොරතුරු නොමැති වීම බව එහිදී හඳූනාගෙන ඇත.
සුදුසුකම් පිළිබඳ කතාව වෙනත් පැත්තකට යයි
කෙටි ම කාලයක් පාර්ලිමේන්තුවේ කතානායක ධුරය දැරූ පුද්ගලයා වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල ය. ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීම ආන්දෝලනාත්මක වූ අතර, ඔහු නිවේදනයක් නිකුත් කරමින් පසුගිය 13 වැනිදා කතානායක ධුරයෙන් ඉවත් විය. එහිදී ඔහු කියා තිබුණේ තමන්ට මේ මොහොතේ එම සුදුසුකම් තහවුරු කළ නොහැකි වුවත්, ඉදිරියේදී එය කරන බවයි.
මේ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය පැත්තෙන් කිසිදු පරීක්ෂණයක් නොපැවැත්වීමට තීරණය කර ඇත. ඒ වෙනුවට ඔහුට සිය සුදුසුකම් තහවුරු කිරීමට කාලය දීමට තීරණයක් ගෙන ඇත. ජාතික ජන බලවේගයේ මහ ලේකම් නිහාල් අබේසිංහ මේ බව තහවුරු කරයි. අලුත් කතානායක පොළොන්නරුවේ ජගත් වික්‍රමරත්න ය.
අශෝක රන්වල කතානායක ධුරයට පත්වූ මොහොතේ දිගින්-දිගටම පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය ඔහුට සහාය වනු දැකිය හැකි විය. එහෙත් අලුත් කතානායක තනියම තමන්ගේ වැඩේ කරනු දැකිය හැකි විය. පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය විසින් කතානායකවරයා විසින් පැවසිය යුතු පාර්ලිමේන්තු ස්ථාවර නියෝග පිළිබඳ කතාවක්, සභානායක බිමල් රත්නායකට කියන්නට දී ප්‍රශ්නයක් ද හැදුණේය. බිමල් කළේ අවස්ථාවේ හැටියට ගැටලුවක් හැදෙන්නට නොදී එය ඉදිරිපත් කොට, ‘මේක මගේ එකක් නෙමෙයි’ යනුවෙන් දෙවරක් ම අවධාරණය කිරීම ය.
රන්වල කතානායකවරයා ලෙස ‘විග් එක’ පැළඳ සිටි ආකාරය ද සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි හාස්‍යයට ලක්විය. එය දෙපැත්තෙන් විවෘත ව තැබිය යුතු වුවද, ඔහු එය පැළඳ සිටියේ බෙල්ලට යටින් එකතු කොට ය. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව පැත්තෙන් සොයාබැලීමක් ද කර ඇත. මෙහි වගකීම දැරිය යුත්තේ පාර්ලිමේන්තුවේ ආරච්චි ය. සැරහුම් කාමරයේදී නව කතානායකවරයාට මේ පැළඳූම් සඳහා සහායවීමත්, ඒවා අවශ්‍ය පරදි සිදුකිරීමත් කරන්නේ ආරච්චි ය. මෙවරත් එය කර තිබුණේ පාර්ලිමේන්තුවේ දැනට සේවය කරන, දීර්ඝ කාලීන අත්දැකීම් ඇති ආරච්චි ය. අනෙක් අතට එම ‘විග් එකේ’ එසේ පහළින් එකතු කරන්නට බොත්තමක් හෝ අලවන යමක් ද නැත. එසේ තිබියදී මෙහෙම වුණේ ඇයි යන්න හොයන එක ආණ්ඩුව අත්හැර නැත.
අනෙක් පැත්තෙන් පාර්ලිමේන්තුවේ මහ ලේකම්, නියෝජ්‍ය මහ ලේකම්, සහකාර මහ ලේකම් යන තනතුරු තුන ම සම්බන්ධයෙන් මේ වන විට වෙනස් කතාබහක් ද ආරම්භ වී ඇත. එහිදී කියවෙන්නේ ඔවුන්ගේ යම් පක්ෂපාතිත්වයක් ඇද්ද යනුවෙනි. කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් පාර්ලිමේන්තු මහ ලේකම් පත්කිරීම සිදුකරයි. ඉවත් කිරීම සිදුකෙරෙන්නේ පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් ය. මේ තනතුරු ගැන විවේචන රැසක් පැමිණ තිබුණත්, ආණ්ඩුව තවමත් මුනිවත රකිමින් සිටී. ඒ පිටුපස ද කතාවක් ඇතැයි ආරංචි ය. ඔවුන් සියල්ල කරන්නට සැලසුම් හදන්නේ ලිඛිත සාක්ෂි මත ය.
මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ් වරක් මෙසේ පැවසීය.
‘දහ නව වැනි ශත වර්ෂයේදී නාවික බලය තිබුණේ කා අත ද, ඔවුහු බලවත්තු වූහ. විසි වැනි ශත වර්ෂයේදී ගුවන් බලය තිබුණේ කා අත ද, ඔවුහු බලවත්තු වූහ. විස් එක් වැනි ශත වර්ෂයේදී මාධ්‍ය බලය තිබෙන්නේ කා අත ද, ඔවුහු බලවත්තු වෙති.’
කතානායක වැඩේටත්, ආචාර්ය - මහාචාර්ය උපාධි ප්‍රශ්නවලටත් මේ සියල්ල අදාළ ය. ජනතාව සහල් - පොල් ගැන සිතන විට, මාධ්‍ය මගින් ජනතාවට කියන්නේ ඒවා ගැන නෙමෙයි, මේවා ගැන හිතන්න යනුවෙනි.
එස්.බී. එහෙමයි - සජිත් මෙහෙමයි
මෙහි තවත් කතාවක් තිබේ. එය මතු වූයේ සජිත් ප්‍රේමදාසගේ උපාධිය පිළිබඳ කතාවෙන් ය. ඔහු තම උපාධි සහතිකය පාර්ලිමේන්තුවේදී පෙන්නුවේය. එය මෙතෙක් සභාගත කර නැත. ඉදිරියේදී එය කරනු ඇත. මෙහිදී අලුත් වචනයක් ද එළියට ආවේය. ඒ ‘ඇග්‍රෝටැට්’ ය. මේ වචනයෙන් කියන්නේ ඔහු උපාධි වැඩසටහනක ලියාපදිංචි වී ඇති බවයි. හරියටම කියන්නේ නම් එය රෙජිස්ටර් වූ බවට දෙන ලේඛනයකි. සජිත් 2013 වසරේදී පවසා ඇත්තේ තමන්ට මේ ඇග්‍රෝටැට් සහතිකයක් ඇති බවකි. එය විධිමත් උපාධි ලේඛනයක් ලෙස පිළිගන්නේද, නැද්ද යන්න සම්බන්ධයෙන් මේ වන විට පුළුල් සංවාදයක් ඇති වී තිබේ. කෙසේ වෙතත් මන්ත්‍රීවරයකු වන්නට මේවා අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ නිවැරදි මතයක් සහිත දේශපාලන දැනුමයි.
අධ්‍යාපනය පැත්තට කතාව ගිය නිසා තවත් කතාවක් ලිවිය යුතුය. එස්.බී. දිසානායක හිටපු ඇමැතිවරයා උසස් අධ්‍යාපන විෂය භාර ව සිටියේ 2010 අප්‍රේල් මාසයේ ආරම්භ වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ ය. මේ අමාත්‍යංශය යටතේ ඇති තීරණාත්මක ආයතනයකට ඒ කාලයේ එස්.බී.ගේ ලොකු පුතා වන නාරද දිසානායක පත්කර ඇත. මෙවැනි ආයතනයකට ඔහු පත්කළ හැකිද යනුවෙන් ප්‍රශ්න කරමින් 2013දී සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පතක් සති කිහිපයක් ම එක දිගට ප්‍රශ්න කර ඇත. එහෙත් ඔහු දිගටම එහි කටයුතු කර තිබේ.
වැඩේ තියෙන්නේ ඔහු ගත් තීරණ තවමත් උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ක්‍රියාත්මක කිරීමයි. විශේෂයෙන්ම විදෙස් විශ්වවිද්‍යාලවල උපාධි ලබාදෙන බව පවසන මෙරට ආයතන සියල්ල ක්‍රියාත්මක වන්නේ ඒ තීරණ මත ය. මේ සම්බන්ධයෙන් අගමැති හරිනි අමරසූරියගේ අවධානය යොමු වී ඇති බවක් ආරංචි ය. අධ්‍යාපනවේදීන් රැසක් පසුගිය සතියේ හරිනි හමුවී මේ ගැන දීර්ඝ වශයෙන් කතා කර ඇත. ඔවුන් හරිනිට යෝජනා කර ඇත්තේ මීට අදාළ ව ලංකාවේ ඇති නීති සියල්ල කණපිට ගැසිය යුතු බවයි.
කෙහෙළිය කියපු දේ හරිනිටත් අදාළයි
හොඳ ම වැඩේ වන්නේ ඒ ආයතනවල ප්‍රධානීන් පිරිසක් ද හරිනි හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටීමයි. එවැනි අවස්ථාවක් ඔවුන්ට ලැබී තිබේද යන්න තවමත් තහවුරු නැත. අනෙක් පැත්තෙන් ඔවුන්ට විෂය බාර ඇමැති හමුවීමට අවස්ථාවක් ලැබිය යුතුය. අවශ්‍ය වන්නේ තීරණ හරියට ගැනීම ය. මේ සම්බන්ධයෙන් කියන්නට තවත් කතාවක් ඇත. 2022 වසරේදී ඇති වූ ඖෂධ හිඟය සම්බන්ධයෙන් ලියුම්කරු සමග එවකට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පැවසූ කරුණකි, ඒ. එය පුවත්පතක සාක්ෂි සමග ඇත.
ප්‍රශ්නය - බ්ලැක් ලිස්ට් කරලා තියෙන ඖෂධ සමාගම්වලින් දැනටත් ඖෂධ ගෙන්වනවා. කොහොමද එහෙම වෙන්නෙ?
පිළිතුර - ඒක වෙන්නෙ මෙහෙමයි. ඒ සමාගම් ප්‍රධානීන් ඇවිත් මාව හම්බෙනවා. මගෙන් ඒ අයට අවසරයක් ලැබෙන්නෙ නෑ. ඊටපස්සෙ ඒගොල්ලො ගිහින් බැසිල් රාජපක්ෂ හමුවෙනවා. ඒගොල්ලොන්ට අවසර ලැබෙනවා. මාව වැඩක් නෑ ඉතින්.
කෙහෙළියට සුදු හුණු ගාන්නට අපට අවශ්‍ය නැත. ඔහු කවුද, මොනවද කළේ කියන එක අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. ප්‍රමිතියෙන් තොර ඖෂධ ජනතාවට පෙව්වා පමණක් නොව ඔහු ජනාධිපති අරමුදලෙන් ද මුදල් ගෙන ඇත.
ජනාධිපති අරමුදලේ ලිපි ඔක්කොම එළියට එයි
ජනාධිපති අරමුදල කියද්දී තවත් කතාවක් මතු වේ. ඒ තවත් ලැයිස්තුවක් එළියට එන්නට සූදානම් බව ය. මේ ලැයිස්තුවේ ඇත්තේ ජනාධිපති අරමුදලෙන් අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාගත් හිටපු මැති-ඇමැතිවරුන්ගේ දරුවන්, භාර්යාවන්, සමීප ඥාතීන් ලැයිස්තුවකි. මේ ලැයිස්තුව එළියට ආවොත්, ඇතැම් නිලධාරීන්ට සමහර ඉහළ තනතුරුවල තවදුරටත් සේවය කරන්නට හැකිවේවිද කියන එකත් ගැටලුවකි. එම නිසා මානුෂික හේතු මත මේ ලැයිස්තුවේ නම් එළියට ඒම වළක්වාගැනීමේ උත්සාහයන් කිහිපයක් ද ක්‍රියාත්මක ය.
මාතර පදිංචිකරුවකුට 2024 ජුනි මාසයේ 28 වැනි දින ජනාධිපති කාර්යාලයෙන් ලිපියක් ලැබිණි. එය අත්සන් කර තිබුණේ ජනාධිපති සහකාර ලේකම් අයි.යූ.කේ. රත්නායක ය. ඒ, ජනාධිපති අරමුදලේ ලේකම් වෙනුවට බව සඳහන් කරමින් ය. ලිපිය ලද පුද්ගලයාගේ නම සහ ලිපියන සඳහන් නොකරන්නේ ඔහුගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට ය.
‘ජනාධිපති අරමුදලෙන් මූල්‍යාධාරයක් ඉල්ලීම.
ජනාධිපති අරමුදලෙන් මූල්‍යාධාර අපේක්ෂාවෙන් දෛනිකව විශාල ඉල්ලීම් ප්‍රමාණයක් ලැබෙන නමුත් ජනාධිපති අරමුදල සතුව පවතින මූල්‍ය සම්පත් ප්‍රමාණය සීමින බැවින් සැත්කම් / වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් මූල්‍යාධාර ප්‍රදානය කරනු ලබන්නේ පාලක මණ්ඩලය විසින් අනුමත කර ඇති විධිවිධානවලට යටත්ව ය.
ඒ අනුව ඔබගේ හදවත් සැත්කම වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් මූල්‍යාධාරයක් ලබාදෙන ලෙස ඔබේ අයදුම්පත මගින් ඉල්ලීමක් කර ඇතත්, සැත්කම සඳහා වැය වූ මුදල දරාගැනීමට තරම් ප්‍රමාණවත් මූල්‍ය සම්පත් ඔබ පවුල් ඒකකයසතු බව නිරීක්ෂණය වන බැවින් ජනාධිපති අරමුදලේ අනුමත විධිවිධාන මත ඔබ විසින් යොමුකර ඇති ඉල්ලීම ඉටුකිරීමේ හැකියාවක් නොමැති බව කනගාටුවෙන් දන්වමි.’
මෙවැනි ලිපි සිය ගණනක් මේ දිනවල ජාතික ජන බලවේගයේ එක්-එක් දිස්ත්‍රික්වලින් පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙමින් පවතී.
නාමල්ගෙන් උදව් අරන් කරන්න වැඩක් මෙන්න
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නීති උපාධිය සම්බන්ධයෙන් ද නැවතත් අලුත් කතාවක් මතුවී තිබේ. නාමල් ඊට සෘජු පිළිතුරක් ද දී ඇත. ඔහු කියන්නේ තමන්ට ඇති චෝදනා පිළිබඳ විධිමත් විමර්ශනයක් කරන ලෙසයි. තමන් ද ඊට සහාය දෙන බවයි.
මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල කළ, අදාළ වගකිවයුතු ආයතනවලට ගිය එවකට නීති ශිෂ්‍යයකු වූ තුෂාර ජයරත්න දැන් නැවත ලංකාවට පැමිණ මේ ගැන පැමිණිලි කරන්නටත්, විමර්ශනවලට සහාය දෙන්නටත් සූදානම් බව මාධ්‍යයට කියා ඇත. මේ, ඒ සම්බන්ධයෙන් ඔහු ලියුම්කරු සමග කළ සංවාදයක කොටසකි.
‘මේ අක්‍රමිකතාවය කරපු දවසෙ මම පැමිණිලි කරපු තැන් දෙකක් තියෙනවා, එකක් තමයි පොලීසිය. අනෙක අධිකරණ අමාත්‍යංශයෙ ලේකම්. ඒ විදිහට ලේකම්වරයට පැමිණිලි කළේ ඔහු කවුන්සිල් එකේ සාමාජිකයෙක් වුණු නිසා. හැබැයි මම බොහොම පැහැදිලිව කියනවා, මේක ඕනෙම තැනක කියන්නත් මම ලෑස්තියි. එයා ඒ වෙලාවෙ කතා කළේ මේක ෂේප් කරන්න. මට එතුමා එක්ක තරහක් නෑ. එතුමා සමහර අවස්ථාවල ඉතාම සාධාරණ විදිහට වැඩ කරපු කෙනෙක්. ඒත් මේ කියන වෙලාවෙ එයාට ඕනෙ වුණේ වෙන එකක්.
ඒ වෙලාවෙ හිටපු අග විනිසුරු ශිරානි බණ්ඩාරනායකත් කවුන්සිල් එකේ හිටියද, ඔබ කලින් එහෙම කතාවක් කියලා තිබුණා...?
ඔව්. හිටියා. ඒ වගේම ශිරාණි තිලකවර්ධනත් හිටියා. විශේෂයෙන්ම කියන්න ඕනෙ, ඔය සිද්ධියෙන් පස්සෙ නීති විද්‍යාලයෙන් පරීක්ෂණයක් කළානෙ. ඒත් ඒ පරීක්ෂණයෙ ප්‍රතිඵලය මොකක්ද කියලා අද වෙනකම් ප්‍රසිද්ධ කරලා නෑ.
ඔබ ඒකෙදි සාක්ෂි ඉදිරිපත් කළා ද...?
ඔව්. එවකට නීති විද්‍යාලයෙ හිටපු විදුහල්පතිවරයා පත්කරපු කෙනෙක් ඉදිරියේ මම සියලු සාක්ෂි ඉදිරිපත් කළා. මම එතැනදි පැහැදිලිව කරුණු තුනක් සඳහන් කළා. එකක් තමයි නාමල්ට ඒසී කාමරයක් දීලා විභාග රීති කඩ කළා කියන එක. ඒසී කාමරේ දුන්නු එක නෙමෙයි ප්‍රශ්නෙ, ඒක කම්පියුටර් කාමරේ. ඒකෙ කම්පියුටර් එකක් විභාගය අතරතුර ක්‍රියාත්මක වෙලා තියෙනවා. අපි විභාගෙට යනකොට ශාලාධිපතිට පෝන් එක පවා බාරදෙන්න ඕනෙ. නාමල් කම්පියුටර් ඔන් කරගෙන විභාගෙ ලියනවා.
අනෙක් කාරණය තමයි, මේ විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීම. මම ඒක පැහැදිලිව කියනවා. ඒකට අදාළව ඒ දවසෙම මම පොලිස් පැමිණිල්ලක් දාලා තියෙනවා. නමුත් ඒකට අදාළව කිසිම පියවරක් අරගෙන නෑ. ඊළඟ කාරණය තමයි, මම පැමිණිල්ල කරලා දවස් හතරකින් නීති විද්‍යාලයෙ ලෑන්ඩ් පෝන් එක පාවිච්චි කරලා මගෙ හෑන්ඩ් පෝන් එකට කෝල් අරගෙන මරණ තර්ජන කළා. ඒකත් මම පොලීසියට පැමිණිලි කළා. ඒත් අද වෙනතුරු මගෙන් කටඋත්තරයක්වත් අරගෙන නෑ. ලංකාවෙ නීති විද්‍යාල ඉතිහාසයේ වැඩිම කාලයක් ප්‍රමාද කරලා නිකුත් කරපු විභාග ප්‍රතිඵලය තමයි ඔය විභාගයේ ප්‍රතිඵලය.’
නාමල් කියා ඇති පරිදි දැන් ඔහුවත් සම්බන්ධ කරගෙන මේ ගැන හරියට විමර්ශනයක් කළ හැකිය. පහේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැනත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් යන්නේය. මේකටත් යා හැකිය.
ෆයිසර්ට - චාමරට නිමල් සිරිපාල වැඩ පවරයි
පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලය පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී රැස්වුණේ එහි නායක අනුර ප්‍රියදර්ශන යාපාගේ ප්‍රධානත්වයෙනි. මේ අවස්ථාවට හිටපු ඇමැතිවරුන් වන නිමල් සිරිපාල, මහින්ද අමරවීර, නසීර් අහමඩ්, ලසන්ත අලගියවන්න, නිමල් ලාන්සා, අනූප පැස්කුවල්, චාමර සම්පත් දසනායක, ෆයිසර් මුස්තාපා සහ ජගත් ප්‍රියංකර, මොහොමඩ් මුෂාරෆ්, ලක්ෂ්මන් යාපා සහ සුගීශ්වර බණඩාර ඇතුළු පිරිසක් එක්ව සිටියහ. සුසිල් ප්‍රේමජයන්තත්, මොහොමඩ් මුසම්මිලුත් ඊට පැමිණ නැත.
මෙහිදී සියලුදෙනා එකඟ වී තිබුණේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට පුටුව ලකුණින් තරග කිරීමට ය. ඒ සඳහා වන අයදුම්පත් කැඳවීමට ද මෙහිදී තීරණය කර ඇත.
‘ජනාධිපතිවරයා ඉන්දියාවෙ ගිහින් එකඟ වෙලා ආපු දේවල් තවම රට හමුවෙ කතාකළේ නෑ. අපි මාධ්‍ය හමු තියලා ජනතාවට කරුණු පැහැදිලි කරන්න වෙනවා.’
මහින්ද අමරවීර මෙහිදී එසේ කීය.
‘ඔව්. මම පාර්ලිමේන්තුවෙ මේ ගැන කතා කළා. ජනාධිපතිවරයා ඉන්දියාවෙ ගිහින් කළේ නංගි පෙන්නලා අක්කා දුන්නා වගේ වැඩක්.’
ඒ චාමර සම්පත් ය.
‘ඕක අපි මුල ඉඳල ම කිව්වා මේ අයගෙ වැඩපිළිවෙළ මොකක්ද කියලා ඇහුවා. හැබැයි ජනතාව ඇහුවෙ නෑ. දැන් නම් ටික ටික ජනතාවට මේ ගැන ඇහැඇරිලා තියෙනවා.’
ඒ නිමල් ලන්සා ය.
‘ඔයාලා මේ ගැන කාරක සභාවල කතාකරන්න.’
නිමල් සිරිපාල ද සිල්වා ෆයිසර් මුස්තාපා සහ චාමර සම්පත් දෙස බලමින් කීවේය.
පසුගිය සිකුරාදා පෙරවරුවේ විදේශ කටයුතු ඇමැති විජිත හේරත් ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය පිළිබඳ පැහැදිලි කරමින් මාධ්‍ය හමුවක් කැඳවූ අතර, එහිදී මාධ්‍යවේදීන් ඇසූ එට්කා, බලශක්ති නල එළීම ඇතුළු සියලු ප්‍රශ්නවලට පිළිතුරු දී තිබිණි.