Sunday, December 22, 2024

‘ඔබටත් වසර පහක

ඔත්තු සෙවීමේ රැකියාවක් සඳහා

වේකන්සියක් තිබේ.’


කීර්තිමත් විදේශ කටයුතු ඇමැතිවරයකු වූ ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කෙරුණේ 2005 අගෝස්තු 12 වැනිදා ය. මේ ඝාතනයට අදාළ නඩුව දැන් අවසන් ය. කදිරගාමර් ඝාතනය කළ අයෙක් නැත. මේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තේ එක් සැකකරුවකු පමණි. ඒ සැකකරු, සැකකරුවකු ලෙස වසර 14ක් රක්ෂිත බන්ධනාගාරගතව සිට වකුගඩු රෝගයෙන් මියගියේය. ඉන්පසුව ය, අධිකරණය නඩුව අවසන් කළේ.

මුත්තයියා සහාදේවන් නම් ඒ සැකකරු ගස්වල අතු කැපීම ඇතුළු එදිනෙදා වැඩ කරමින් ජීවත් වූ අයෙකි. ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ කදිරගාමර්ට වෙඩි තැබූ ස්නයිපර් වෙඩික්කරුගේ දර්ශන පථය සකස් කළ බවට චෝදනාවක් එල්ල කරමිනි. එනම් ඔහු ඒ අසල පිහිටි ඉහළ පොලිස් නිලධාරියකුගේ නිවසක පිහිටි ගසක අත්තක් ඊට දින කිහිපයකට පෙර කපා තිබිණි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් ඔහු තම පාපොච්ඡාරණයේදී කියා තිබුණේ මීට පෙරත් ඒ ගෙදර, ඒ ගසේ ම ඔහු අනන්තවත් අතු කපා ඇති බවකි. 

කෙසේ වෙතත් ඔහුගේ කතාව දැන් අවසන් ය. ජාත්‍යන්තර පොලිසියෙන් රතු වරෙන්තු නිකුත් කර ඇති ශ්‍රී ලංකාවේ සිදු වූ අපරාධවලට අදාළ සැකකරුවන් සංඛ්‍යාව පහකි. ඒ අතර ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනයට ආධාර-අනුබල දුන් බවට සැක අයෙක් ද සිටියි. ඔහු නඩරාජා සිවරාජා ය. කොළඹ 13 උපන් ඔහුගේ වයස අවුරුදු 51කි. 

මේ තීරුවෙන් හදිසියේ ම කදිරගාමර් ගැන කතාකළේ විශේෂ හේතුවක් නිසා ය. කදිරගාමර් පවුලෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ. නොනිල වශයෙන් ජනාධිපතිවරයාගේ සමීප සම්බන්ධතාවක් හරහා පැමිණ ඇති මේ ඉල්ලීමෙන් කියන්නේ හැකි නම්, කදිරගාමර් ඝාතනය පිළිබඳ නැවත පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙසයි. එයින් බරපතළ ඝාතනයක්, ඝාතන සැලසුමක්, ඊට ඈඳෙන කතා පෙළක් අනාවරණය වනු ඇතැයි ද ඔවුන් කියා ඇත. 

ආරංචි වන ආකාරයට ආණ්ඩුව පැත්තෙන් තවමත් ඊට අදාළ නිල පියවරක් ගෙන නැත. කෙසේ වෙතත් ඒ ගැන ආණ්ඩුව අවධානය යොමු කර තිබේ. පවුලේ ඉල්ලීම වගේම ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් චරිතයක් වූ ලක්ෂ්මන් කදිරගාමර්ට සිදුවූයේ කුමක්ද යන්න අනාවරණය කරගැනීම ශ්‍රී ලංකාවේ යුක්තියේ කතාවේදී වැදගත් බවට ද ආණ්ඩුව ඇතුළේ සාකච්ඡා වී ඇත. 


අනුර සිංහලෙන් කතා කරපු එක අවුල් ද?


ජනාධිපතිවරයා ඉන්දියාවේ ගොස් ආවේය. ඊළඟට ඔහු චීනයට යන්නට සූදානම් ය. ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී අගමැති නරේන්ද්‍ර මෝදි, ජනාධිපති ඩේ‍රෟපදී මුර්මූ ඇතුළු භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවේ ඉහළ ම පිරිසක් හමුවිය. ප්‍රාන්ත මහ ඇමැතිවරුන් රැසක් අනුර හමුවූයේ ඔහු නැවතී සිටි අයිටීසී හෝටලයට පැමිණ ය. අයිටීසී යනු ඉන්දියාවේ ප්‍රකට ම සංචාරක හෝටල් සමූහයකි. එය ඉන්දියාවෙන් පිටත දැනට හෝටලයක් පවත්වාගෙන යන්නේ ලංකාවේ පමණි. ඒ, ගෝල්ෆේස් අසල පිහිටි අයිටීසී රත්නදීප ය. 

ජනාධිපතිවරයා මෙහිදී සිංහලෙන් කතාකිරීම ගැනත් ආන්දෝලනයක් ඇති විය. එහිදී ජනාධිපතිවරයාගේ කතාව ඉංග්‍රීසියට පරිවතර්නය කළ පරිවර්තකයා දුර්වල බව බොහෝ දෙනෙකුගේ අදහස ය. ඒ ගැන මෙරට සති අන්ත ඉංග්‍රීසි පුවත්පත් ප්‍රධාන කර්තෘවරුන් දෙදෙනකු විසින් ම ජනාධිපතිවරයාට ද පවසා ඇත. කෙසේ වෙතත් අනුර මෙන්ම මෝදි ද විදේශ රටවලදී ඇතැම් විට කතා කරන්නේ හින්දි භාෂාවෙන් ය. පුටින් රුසියානු භාෂාවෙන් ය. ෂී ජින්පින් චීන භාෂාවෙන් ය. අනුර ඉන්දියාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් රැසක් හමු විය. එහිදී ඔහු ඉංග්‍රීසියෙන් ඔවුන් සමග දීර්ඝ සාකච්ඡා පවත්වා තිබිණි. අනුරගේ භාෂා භාවිතය ගැන විවේචන එන්නට පටන් ගත් විට, ආණ්ඩුව පැත්තෙන් මේ වීඩියෝ කිහිපයක් එළියට දැම්මේය.  ලෝකයේ ආසන්න වශයෙන් භාෂා 6,000කට වැඩි සංඛ්‍යාවක් තිබේ. ඒවාගෙන් අති බහුතරයක් මේ වන විට මළ භාෂා ය.

ආගමන විගමන දෙපාර්තමේන්තුව පැත්තෙන් කියන්නේ මීට පෙර සිටි ජනාධිපතිවරුන් විදේශ සංචාරවලට සහභාගි වන විට ඔවුන්ගේ පෞද්ගලික බෑග් පරීක්ෂා නොකෙරුණු බවකි. එහෙත් අනුර එසේ පරීක්ෂා කරන්නැයි කියා ඇත. එය යහපත් ප්‍රවණතාවකි. ජනාධිපතිවරයා එසේ කරන්නේ නම්, අනෙක් අයට එසේ නොකර සිටින්නට අයිතියක් නැත.

ජනාධිපතිවරයාගේ ආදර්ශ ගැන තවත් කතාවක් කියන්නට තිබේ. ඒ ජනාධිපති කාර්යාලයේ වියදම් අඩු කිරීම ගැන ය. මේ ගැන මීට පෙරත් මේ තීරුවේ ලියා ඇත. ඒ වියදම් අඩු කළ ආකාරය ගැන පෙර වර්ෂ සමග සංසන්දනය කරමින් වාර්තාවක් සකස් කරන ලෙස උපදෙස් ලැබී ඇත. උපදෙස්වලට අනුව මේ වන විට ඒ වාර්තාව සකස් කෙරෙමින් තිබේ. මේ වාර්තාව එළියට දැමීමෙන් පසු අමාත්‍යංශවලටත්, දෙපාර්තමේන්තුවලටත් එසේ කරන්නට සිදුවේ. යථාවාදී-තථාකාරී වෙනවා නම් විය යුත්තේ එහෙම ය. අනුරට සීයෙන් සීය දෙන්නට අපට අවශ්‍ය නැත. ඔහු ගැන ජනතාව තබා ඇති විශ්වාසය රැකීම ය, ඔහු කළ යුත්තේ.


සමගි සන්ධානයෙන් ඊළඟ ඡන්දෙට අලුත් වැඩක්


මේ අතර ම විපක්ෂය පැත්තෙන් මේ දිනවල කරන අලුත් වැඩක් ගැන ද ලිවිය යුතුය. විපක්ෂය කියන්නේ සමගි ජන සන්ධානයයි. ඔවුන් ජනතාවගේ ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කර ඇති අතර, එහි උඩින්ම ඇත්තේ එදිනෙදා ප්‍රශ්නවලට විසඳූම් ලබාගන්නේ කෙසේද යන්නයි. දෙවැන්න දූෂණ-වංචා ය. තුන්වැන්න විපක්ෂයේ දේශපාලනඥයන් එම ප්‍රශ්න විසඳන්නේ කෙසේද යන්න පිළිබඳව සංඛ්‍යා - දත්ත සහිතව කතාකිරීමයි. සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන්ට මීට අවශ්‍ය තොරතුරු සොයාදීම සඳහා වෙනම කණ්ඩායමක් ද පත්කර ඇත. 

හරියටම කියන්නේ නම් සමගි ජන සන්ධානය ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී ආණ්ඩු බලය ලබාගැනීමේ මෙහෙයුමක් දැන් සිට ම ආරම්භ කර තිබේ. කොහොම වුණත් සැලසුමකට - ඉලක්කයකට වැඩක් කරන එක හොඳ ය. ප්‍රශ්නය තිබෙන්නේ එම සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පත්කිරීම් ප්‍රශ්නය පවා තවමත් විසඳාගෙන නැති එක ය. හිටපු මන්ත්‍රී තුෂාර ඉඳූනිල් ඉන්නේ සෑහෙන කළකිරීමෙන් ය. එය තවදුරටත් උග්‍ර වන්නේ ඔහුගේ ආසනය වන පඬුවස්නුවරට අසල්වැසි ආසනයේ, එනම් බිංගිරියේ ආසන සංවිධායක නලින් බණ්ඩාර පාර්ලිමේන්තු යෑම ය. ඔහු දැන් පඬුවස්නුවරත් ඔහුගේ වගේ කරගෙන වැඩ කරන බව ඉඳූනිල් තැන් ගණනාවකදී ම කියා තිබිණි. 

ජාතික ජන බලවේගය ආණ්ඩුවක් ගන්න සැලසුම හැදුවේ 2019 ජනාධිපතිවරණයටත් පෙර ය. එය ඔවුන් පිළිවෙලකට කළේය. ඩබල් පොකට් කමිසයේ සිට, ඔවුන් භාවිත කරන වර්ණවල සිට, ඔවුන් කතා කරන භාෂාවේ සිට,  ජනතා අවශ්‍යතාවල සිට ඔවුන් අලුත් විය. සමගි ජන සන්ධානය ද එයින් පාඩමක් ඉගෙනගෙන බව පෙනෙන්නට තිබේ.

පෙර කී තොරතුරු හොයන කණ්ඩායම සමග සමගි ජන සන්ධානයේ සියලු මන්ත්‍රීවරුන්ට සම්බන්ධකම් පැවැත්විය හැකිය. අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඔවුන් ඉල්ලන තොරතුරු උපරිමයෙන් සොයාදීම ඒ කණ්ඩායමේ වගකීමකි. කණ්ඩායම කිව්වාට තවමත් එය සම්පූර්ණයෙන් සකස් කර අවසන් නැත. විවිධ විෂයයන් පිළිබඳ දැනුම සහිත කොටස් ඔවුහු එකතු කරමින් සිටිති.

ඔන්න ඔබටත් වසර පහක රැකියාවක් සඳහා වේකන්සි තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ මේ සැලසුම ගැන සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයෙන් පසු යළිත් කතාබහට ලක්වූ එට්කා ගිවිසුම ගැන ද කතා කර ඇතැයි ආරංචි ය. ආණ්ඩුව පැත්තෙන් එට්කා සහ ඉන්දියාව සමග කළ-කී දෑ පිළිබඳව ඉදිරිපත් කළ කරුණුවලට විපක්ෂයට සාර්ථකව ප්‍රතිචාර දක්වන්නට නොහැකි වීමට හේතුව තොරතුරු නොමැති වීම බව එහිදී හඳූනාගෙන ඇත.


සුදුසුකම් පිළිබඳ කතාව වෙනත් පැත්තකට යයි 


කෙටි ම කාලයක් පාර්ලිමේන්තුවේ කතානායක ධුරය දැරූ පුද්ගලයා වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල ය. ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීම ආන්දෝලනාත්මක වූ අතර, ඔහු නිවේදනයක් නිකුත් කරමින් පසුගිය 13 වැනිදා කතානායක ධුරයෙන් ඉවත් විය. එහිදී ඔහු කියා තිබුණේ තමන්ට මේ මොහොතේ එම සුදුසුකම් තහවුරු කළ නොහැකි වුවත්, ඉදිරියේදී එය කරන බවයි.

මේ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය පැත්තෙන් කිසිදු පරීක්ෂණයක් නොපැවැත්වීමට තීරණය කර ඇත. ඒ වෙනුවට ඔහුට සිය සුදුසුකම් තහවුරු කිරීමට කාලය දීමට තීරණයක් ගෙන ඇත. ජාතික ජන බලවේගයේ මහ ලේකම් නිහාල් අබේසිංහ මේ බව තහවුරු කරයි. අලුත් කතානායක පොළොන්නරුවේ ජගත් වික්‍රමරත්න ය.

අශෝක රන්වල කතානායක ධුරයට පත්වූ මොහොතේ දිගින්-දිගටම පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය ඔහුට සහාය වනු දැකිය හැකි විය. එහෙත් අලුත් කතානායක තනියම තමන්ගේ වැඩේ කරනු දැකිය හැකි විය. පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය විසින් කතානායකවරයා විසින් පැවසිය යුතු පාර්ලිමේන්තු ස්ථාවර නියෝග පිළිබඳ කතාවක්, සභානායක බිමල් රත්නායකට කියන්නට දී ප්‍රශ්නයක් ද හැදුණේය. බිමල් කළේ අවස්ථාවේ හැටියට ගැටලුවක් හැදෙන්නට නොදී එය ඉදිරිපත් කොට, ‘මේක මගේ එකක් නෙමෙයි’ යනුවෙන් දෙවරක් ම අවධාරණය කිරීම ය.

රන්වල කතානායකවරයා ලෙස ‘විග් එක’ පැළඳ සිටි ආකාරය ද සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි හාස්‍යයට ලක්විය. එය දෙපැත්තෙන් විවෘත ව තැබිය යුතු වුවද, ඔහු එය පැළඳ සිටියේ බෙල්ලට යටින් එකතු කොට ය. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව පැත්තෙන් සොයාබැලීමක් ද කර ඇත. මෙහි වගකීම දැරිය යුත්තේ පාර්ලිමේන්තුවේ ආරච්චි ය. සැරහුම් කාමරයේදී නව කතානායකවරයාට මේ පැළඳූම් සඳහා සහායවීමත්, ඒවා අවශ්‍ය පරදි සිදුකිරීමත් කරන්නේ ආරච්චි ය. මෙවරත් එය කර තිබුණේ පාර්ලිමේන්තුවේ දැනට සේවය කරන, දීර්ඝ කාලීන අත්දැකීම් ඇති ආරච්චි ය. අනෙක් අතට එම ‘විග් එකේ’ එසේ පහළින් එකතු කරන්නට බොත්තමක් හෝ අලවන යමක් ද නැත. එසේ තිබියදී මෙහෙම වුණේ ඇයි යන්න හොයන එක ආණ්ඩුව අත්හැර නැත. 

අනෙක් පැත්තෙන් පාර්ලිමේන්තුවේ මහ ලේකම්, නියෝජ්‍ය මහ ලේකම්, සහකාර මහ ලේකම් යන තනතුරු තුන ම සම්බන්ධයෙන් මේ වන විට වෙනස් කතාබහක් ද ආරම්භ වී ඇත. එහිදී කියවෙන්නේ ඔවුන්ගේ යම් පක්ෂපාතිත්වයක් ඇද්ද යනුවෙනි. කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් පාර්ලිමේන්තු මහ ලේකම් පත්කිරීම සිදුකරයි. ඉවත් කිරීම සිදුකෙරෙන්නේ පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් ය. මේ තනතුරු ගැන විවේචන රැසක් පැමිණ තිබුණත්, ආණ්ඩුව තවමත් මුනිවත රකිමින් සිටී. ඒ පිටුපස ද කතාවක් ඇතැයි ආරංචි ය. ඔවුන් සියල්ල කරන්නට සැලසුම් හදන්නේ ලිඛිත සාක්ෂි මත ය.

මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ් වරක් මෙසේ පැවසීය.

‘දහ නව වැනි ශත වර්ෂයේදී නාවික බලය තිබුණේ කා අත ද, ඔවුහු බලවත්තු වූහ. විසි වැනි ශත වර්ෂයේදී ගුවන් බලය තිබුණේ කා අත ද, ඔවුහු බලවත්තු වූහ. විස් එක් වැනි ශත වර්ෂයේදී මාධ්‍ය බලය තිබෙන්නේ කා අත ද, ඔවුහු බලවත්තු වෙති.’

කතානායක වැඩේටත්, ආචාර්ය - මහාචාර්ය උපාධි ප්‍රශ්නවලටත් මේ සියල්ල අදාළ ය. ජනතාව සහල් - පොල් ගැන සිතන විට, මාධ්‍ය මගින් ජනතාවට කියන්නේ ඒවා ගැන නෙමෙයි, මේවා ගැන හිතන්න යනුවෙනි. 


එස්.බී. එහෙමයි - සජිත් මෙහෙමයි


මෙහි තවත් කතාවක් තිබේ. එය මතු වූයේ සජිත් ප්‍රේමදාසගේ උපාධිය පිළිබඳ කතාවෙන් ය. ඔහු තම උපාධි සහතිකය පාර්ලිමේන්තුවේදී පෙන්නුවේය. එය මෙතෙක් සභාගත කර නැත. ඉදිරියේදී එය කරනු ඇත. මෙහිදී අලුත් වචනයක් ද එළියට ආවේය. ඒ ‘ඇග්‍රෝටැට්’ ය. මේ වචනයෙන් කියන්නේ ඔහු උපාධි වැඩසටහනක ලියාපදිංචි වී ඇති බවයි. හරියටම කියන්නේ නම් එය රෙජිස්ටර් වූ බවට දෙන ලේඛනයකි. සජිත් 2013 වසරේදී පවසා ඇත්තේ තමන්ට මේ ඇග්‍රෝටැට් සහතිකයක් ඇති බවකි. එය විධිමත් උපාධි ලේඛනයක් ලෙස පිළිගන්නේද, නැද්ද යන්න සම්බන්ධයෙන් මේ වන විට පුළුල් සංවාදයක් ඇති වී තිබේ. කෙසේ වෙතත් මන්ත්‍රීවරයකු වන්නට මේවා අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ නිවැරදි මතයක් සහිත දේශපාලන දැනුමයි. 

අධ්‍යාපනය පැත්තට කතාව ගිය නිසා තවත් කතාවක් ලිවිය යුතුය. එස්.බී. දිසානායක හිටපු ඇමැතිවරයා උසස් අධ්‍යාපන විෂය භාර ව සිටියේ 2010 අප්‍රේල් මාසයේ ආරම්භ වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ ය. මේ අමාත්‍යංශය යටතේ ඇති තීරණාත්මක ආයතනයකට ඒ කාලයේ එස්.බී.ගේ ලොකු පුතා වන නාරද දිසානායක පත්කර ඇත. මෙවැනි ආයතනයකට ඔහු පත්කළ හැකිද යනුවෙන් ප්‍රශ්න කරමින් 2013දී සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පතක් සති කිහිපයක් ම එක දිගට ප්‍රශ්න කර ඇත. එහෙත් ඔහු දිගටම එහි කටයුතු කර තිබේ.

වැඩේ තියෙන්නේ ඔහු ගත් තීරණ තවමත් උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ක්‍රියාත්මක කිරීමයි. විශේෂයෙන්ම විදෙස් විශ්වවිද්‍යාලවල උපාධි ලබාදෙන බව පවසන මෙරට ආයතන සියල්ල ක්‍රියාත්මක වන්නේ ඒ තීරණ මත ය. මේ සම්බන්ධයෙන් අගමැති හරිනි අමරසූරියගේ අවධානය යොමු වී ඇති බවක් ආරංචි ය. අධ්‍යාපනවේදීන් රැසක් පසුගිය සතියේ හරිනි හමුවී මේ ගැන දීර්ඝ වශයෙන් කතා කර ඇත. ඔවුන් හරිනිට යෝජනා කර ඇත්තේ මීට අදාළ ව ලංකාවේ ඇති නීති සියල්ල කණපිට ගැසිය යුතු බවයි.


කෙහෙළිය කියපු දේ හරිනිටත් අදාළයි


හොඳ ම වැඩේ වන්නේ ඒ ආයතනවල ප්‍රධානීන් පිරිසක් ද හරිනි හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටීමයි. එවැනි අවස්ථාවක් ඔවුන්ට ලැබී තිබේද යන්න තවමත් තහවුරු නැත. අනෙක් පැත්තෙන් ඔවුන්ට විෂය බාර ඇමැති හමුවීමට අවස්ථාවක් ලැබිය යුතුය. අවශ්‍ය වන්නේ තීරණ හරියට ගැනීම ය. මේ සම්බන්ධයෙන් කියන්නට තවත් කතාවක් ඇත. 2022 වසරේදී ඇති වූ ඖෂධ හිඟය සම්බන්ධයෙන් ලියුම්කරු සමග එවකට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පැවසූ කරුණකි, ඒ. එය පුවත්පතක සාක්ෂි සමග ඇත.

ප්‍රශ්නය - බ්ලැක් ලිස්ට් කරලා තියෙන ඖෂධ සමාගම්වලින් දැනටත් ඖෂධ ගෙන්වනවා. කොහොමද එහෙම වෙන්නෙ?

පිළිතුර - ඒක වෙන්නෙ මෙහෙමයි. ඒ සමාගම් ප්‍රධානීන් ඇවිත් මාව හම්බෙනවා. මගෙන් ඒ අයට අවසරයක් ලැබෙන්නෙ නෑ. ඊටපස්සෙ ඒගොල්ලො ගිහින් බැසිල් රාජපක්ෂ හමුවෙනවා. ඒගොල්ලොන්ට අවසර ලැබෙනවා. මාව වැඩක් නෑ ඉතින්.

කෙහෙළියට සුදු හුණු ගාන්නට අපට අවශ්‍ය නැත. ඔහු කවුද, මොනවද කළේ කියන එක අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. ප්‍රමිතියෙන් තොර ඖෂධ ජනතාවට පෙව්වා පමණක් නොව ඔහු ජනාධිපති අරමුදලෙන් ද මුදල් ගෙන ඇත. 


ජනාධිපති අරමුදලේ ලිපි ඔක්කොම එළියට එයි


ජනාධිපති අරමුදල කියද්දී තවත් කතාවක් මතු වේ. ඒ තවත් ලැයිස්තුවක් එළියට එන්නට සූදානම් බව ය. මේ ලැයිස්තුවේ ඇත්තේ ජනාධිපති අරමුදලෙන් අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාගත් හිටපු මැති-ඇමැතිවරුන්ගේ දරුවන්, භාර්යාවන්, සමීප ඥාතීන් ලැයිස්තුවකි. මේ ලැයිස්තුව එළියට ආවොත්, ඇතැම් නිලධාරීන්ට සමහර ඉහළ තනතුරුවල තවදුරටත් සේවය කරන්නට හැකිවේවිද කියන එකත් ගැටලුවකි. එම නිසා මානුෂික හේතු මත මේ ලැයිස්තුවේ නම් එළියට ඒම වළක්වාගැනීමේ උත්සාහයන් කිහිපයක් ද ක්‍රියාත්මක ය. 

මාතර පදිංචිකරුවකුට 2024 ජුනි මාසයේ 28 වැනි දින ජනාධිපති කාර්යාලයෙන් ලිපියක් ලැබිණි. එය අත්සන් කර තිබුණේ ජනාධිපති සහකාර ලේකම් අයි.යූ.කේ. රත්නායක ය. ඒ, ජනාධිපති අරමුදලේ ලේකම් වෙනුවට බව සඳහන් කරමින් ය. ලිපිය ලද පුද්ගලයාගේ නම සහ ලිපියන සඳහන් නොකරන්නේ ඔහුගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට ය.

‘ජනාධිපති අරමුදලෙන් මූල්‍යාධාරයක් ඉල්ලීම.

ජනාධිපති අරමුදලෙන් මූල්‍යාධාර අපේක්ෂාවෙන් දෛනිකව විශාල ඉල්ලීම් ප්‍රමාණයක් ලැබෙන නමුත් ජනාධිපති අරමුදල සතුව පවතින මූල්‍ය සම්පත් ප්‍රමාණය සීමින බැවින් සැත්කම් / වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් මූල්‍යාධාර ප්‍රදානය කරනු ලබන්නේ පාලක මණ්ඩලය විසින් අනුමත කර ඇති විධිවිධානවලට යටත්ව ය.

ඒ අනුව ඔබගේ හදවත් සැත්කම වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් මූල්‍යාධාරයක් ලබාදෙන ලෙස ඔබේ අයදුම්පත මගින් ඉල්ලීමක් කර ඇතත්, සැත්කම සඳහා වැය වූ මුදල දරාගැනීමට තරම් ප්‍රමාණවත් මූල්‍ය සම්පත් ඔබ පවුල් ඒකකයසතු බව නිරීක්ෂණය වන බැවින් ජනාධිපති අරමුදලේ අනුමත විධිවිධාන මත ඔබ විසින් යොමුකර ඇති ඉල්ලීම ඉටුකිරීමේ හැකියාවක් නොමැති බව කනගාටුවෙන් දන්වමි.’

මෙවැනි ලිපි සිය ගණනක් මේ දිනවල ජාතික ජන බලවේගයේ එක්-එක් දිස්ත්‍රික්වලින් පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙමින් පවතී. 


නාමල්ගෙන් උදව් අරන් කරන්න වැඩක් මෙන්න


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නීති උපාධිය සම්බන්ධයෙන් ද නැවතත් අලුත් කතාවක් මතුවී තිබේ. නාමල් ඊට සෘජු පිළිතුරක් ද දී ඇත. ඔහු කියන්නේ තමන්ට ඇති චෝදනා පිළිබඳ විධිමත් විමර්ශනයක් කරන ලෙසයි. තමන් ද ඊට සහාය දෙන බවයි. 

මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල කළ, අදාළ වගකිවයුතු ආයතනවලට ගිය එවකට නීති ශිෂ්‍යයකු වූ තුෂාර ජයරත්න දැන් නැවත ලංකාවට පැමිණ මේ ගැන පැමිණිලි කරන්නටත්, විමර්ශනවලට සහාය දෙන්නටත් සූදානම් බව මාධ්‍යයට කියා ඇත. මේ, ඒ සම්බන්ධයෙන් ඔහු ලියුම්කරු සමග කළ සංවාදයක කොටසකි. 

‘මේ අක්‍රමිකතාවය කරපු දවසෙ මම පැමිණිලි කරපු තැන් දෙකක් තියෙනවා, එකක් තමයි පොලීසිය. අනෙක අධිකරණ අමාත්‍යංශයෙ ලේකම්. ඒ විදිහට ලේකම්වරයට පැමිණිලි කළේ ඔහු කවුන්සිල් එකේ සාමාජිකයෙක් වුණු නිසා. හැබැයි මම බොහොම පැහැදිලිව කියනවා, මේක ඕනෙම තැනක කියන්නත් මම ලෑස්තියි. එයා ඒ වෙලාවෙ කතා කළේ මේක ෂේප් කරන්න. මට එතුමා එක්ක තරහක් නෑ. එතුමා සමහර අවස්ථාවල ඉතාම සාධාරණ විදිහට වැඩ කරපු කෙනෙක්. ඒත් මේ කියන වෙලාවෙ එයාට ඕනෙ වුණේ වෙන එකක්.

ඒ වෙලාවෙ හිටපු අග විනිසුරු ශිරානි බණ්ඩාරනායකත් කවුන්සිල් එකේ හිටියද, ඔබ කලින් එහෙම කතාවක් කියලා තිබුණා...?

ඔව්. හිටියා. ඒ වගේම ශිරාණි තිලකවර්ධනත් හිටියා. විශේෂයෙන්ම කියන්න ඕනෙ, ඔය සිද්ධියෙන් පස්සෙ නීති විද්‍යාලයෙන් පරීක්ෂණයක් කළානෙ. ඒත් ඒ පරීක්ෂණයෙ ප්‍රතිඵලය මොකක්ද කියලා අද වෙනකම් ප්‍රසිද්ධ කරලා නෑ. 

ඔබ ඒකෙදි සාක්ෂි ඉදිරිපත් කළා ද...?

ඔව්. එවකට නීති විද්‍යාලයෙ හිටපු විදුහල්පතිවරයා පත්කරපු කෙනෙක් ඉදිරියේ මම සියලු සාක්ෂි ඉදිරිපත් කළා. මම එතැනදි පැහැදිලිව කරුණු තුනක් සඳහන් කළා. එකක් තමයි නාමල්ට ඒසී කාමරයක් දීලා විභාග රීති කඩ කළා කියන එක. ඒසී කාමරේ දුන්නු එක නෙමෙයි ප්‍රශ්නෙ, ඒක කම්පියුටර් කාමරේ. ඒකෙ කම්පියුටර් එකක් විභාගය අතරතුර ක්‍රියාත්මක වෙලා තියෙනවා. අපි විභාගෙට යනකොට ශාලාධිපතිට පෝන් එක පවා බාරදෙන්න ඕනෙ. නාමල් කම්පියුටර් ඔන් කරගෙන විභාගෙ ලියනවා.

අනෙක් කාරණය තමයි, මේ විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීම. මම ඒක පැහැදිලිව කියනවා. ඒකට අදාළව ඒ දවසෙම මම පොලිස් පැමිණිල්ලක් දාලා තියෙනවා. නමුත් ඒකට අදාළව කිසිම පියවරක් අරගෙන නෑ. ඊළඟ කාරණය තමයි, මම පැමිණිල්ල කරලා දවස් හතරකින් නීති විද්‍යාලයෙ ලෑන්ඩ් පෝන් එක පාවිච්චි කරලා මගෙ හෑන්ඩ් පෝන් එකට කෝල් අරගෙන මරණ තර්ජන කළා. ඒකත් මම පොලීසියට පැමිණිලි කළා. ඒත් අද වෙනතුරු මගෙන් කටඋත්තරයක්වත් අරගෙන නෑ. ලංකාවෙ නීති විද්‍යාල ඉතිහාසයේ වැඩිම කාලයක් ප්‍රමාද කරලා නිකුත් කරපු විභාග ප්‍රතිඵලය තමයි ඔය විභාගයේ ප්‍රතිඵලය.’

නාමල් කියා ඇති පරිදි දැන් ඔහුවත් සම්බන්ධ කරගෙන මේ ගැන හරියට විමර්ශනයක් කළ හැකිය. පහේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැනත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් යන්නේය. මේකටත් යා හැකිය.


ෆයිසර්ට - චාමරට නිමල් සිරිපාල වැඩ පවරයි


පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලය පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී රැස්වුණේ එහි නායක අනුර ප්‍රියදර්ශන යාපාගේ ප්‍රධානත්වයෙනි. මේ අවස්ථාවට හිටපු ඇමැතිවරුන් වන නිමල් සිරිපාල, මහින්ද අමරවීර, නසීර් අහමඩ්, ලසන්ත අලගියවන්න, නිමල් ලාන්සා, අනූප පැස්කුවල්, චාමර සම්පත් දසනායක, ෆයිසර් මුස්තාපා සහ ජගත් ප්‍රියංකර, මොහොමඩ් මුෂාරෆ්, ලක්ෂ්මන් යාපා සහ සුගීශ්වර බණඩාර ඇතුළු පිරිසක් එක්ව සිටියහ. සුසිල් ප්‍රේමජයන්තත්, මොහොමඩ් මුසම්මිලුත් ඊට පැමිණ නැත.

මෙහිදී සියලු‍දෙනා එකඟ වී තිබුණේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට පුටුව ලකුණින් තරග කිරීමට ය. ඒ සඳහා වන අයදුම්පත් කැඳවීමට ද මෙහිදී තීරණය කර ඇත.

‘ජනාධිපතිවරයා ඉන්දියාවෙ ගිහින් එකඟ වෙලා ආපු දේවල් තවම රට හමුවෙ කතාකළේ නෑ. අපි මාධ්‍ය හමු තියලා ජනතාවට කරුණු පැහැදිලි කරන්න වෙනවා.’

මහින්ද‍ අමරවීර මෙහිදී එසේ කීය.

‘ඔව්. මම පාර්ලිමේන්තුවෙ මේ ගැන කතා කළා. ජනාධිපතිවරයා ඉන්දියාවෙ ගිහින් කළේ නංගි පෙන්නලා අක්කා දුන්නා වගේ වැඩක්.’‍

ඒ චාමර සම්පත් ය.

‘ඕක අපි මුල ඉඳල ම කිව්වා මේ අයගෙ වැඩපිළිවෙළ මොකක්ද කියලා ඇහුවා. හැබැයි ජනතාව ඇහුවෙ නෑ. දැන් නම් ටික ටික ජනතාවට මේ ගැන ඇහැඇරිලා තියෙනවා.’

‍ඒ නිමල් ලන්සා ය.

‘ඔයාලා මේ ගැන කාරක සභාවල කතාකරන්න.’‍

නිමල් සිරිපාල ද සිල්වා ෆයිසර් මුස්තාපා සහ චාමර සම්පත් දෙස බලමින් කීවේය.

පසුගිය සිකුරාදා පෙරවරුවේ විදේශ කටයුතු ඇමැති විජිත හේරත් ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය පිළිබඳ පැහැදිලි කරමින් මාධ්‍ය හමුවක් කැඳවූ අතර, එහිදී මාධ්‍යවේදීන් ඇසූ එට්කා, බලශක්ති නල එළීම ඇතුළු සියලු ප්‍රශ්නවලට පිළිතුරු දී තිබිණි.

Friday, December 20, 2024

ආණ්ඩුව කලබල කළ

ජ්‍යෙෂ්ඨයාගේ කෝල් එක !


1885 වසරින් පසු ඒ වැඩේ කරන්නට සමත් වූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ය. 1885දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට පත්වූයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ස්ටීවන් ග්‍රෝවර් ක්ලෙව්ලෑන්ඩ් ය. 1889 ජනාධිපතිවරණයෙන් ඔහු පරාජයට පත්වූ අතර, එහෙත් නැවත 1893දී ඔහු ජනාධිපති ධුරයට පත්විය. ට්‍රම්ප් ද 2016දී ජනාධිපති විය. ඒත් ඒ වෙලාවේ ඔහුගේ ප්‍රතිවාදියා වූ හිලරි ක්ලින්ටන් ට්‍රම්ප්ට වඩා ඡන්ද ලක්ෂ 29ක් වැඩියෙන් ගත්තේය. ඇමෙරිකාවේ තිබෙන මැතිවරණ ක්‍රමය අනුව ජනාධිපති වූයේ ට්‍රම්ප් ය. මේ වැඩේ ම 2000 අවුරුද්දේ දී ද සිදු විය. ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ජනාධිපත් වුවද, ඔහුගේ ප්‍රතිවාදියා වූ අල් ගෝර් ඡන්ද ලක්ෂ 6කට වඩා වැඩියෙන් ගත්තේය. 

කෙහොම වුණත් 2020දී ජෝ බයිඩ්න්ට පැරදුණු ට්‍රම්ප්, යළිත් 2024දී දිනුවේය. හරියටම 1893දී ක්ලෙව්ලෑන්ඩ් වගේ ම ය. දැන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපති ට්‍රම්ප් ය. ට්්‍රම්ප්ගේ ආණ්ඩුවේ රාජ්‍ය ලේකම් කරන්නට හදන්නේ මාර්කෝ රූබියෝ ය. මාර්කෝ යනු සෙනෙටි සභිකයෙකි. වමේ දේශපාලනය දැඩිව ප්‍රතික්ෂේප කරන්නෙකි. ඔහු වරක් ප්‍රසිද්ධියේ පවසා තිබුණේිමාක්ස්වාදය යනු මානව වර්ගයා මෙතෙක් දැන සිටි එකම දුෂ්ඨ හා විනාශකාරී දෘෂ්ඨිවාදය බවයි.’ ඔහුගේ එම ප්‍රකාශයට චීනය පැල් බැඳගෙන ගැහුවේය. රූබියෝට චීනය ආරාධනා කළේ මාක්ස්වාදය උගන්වන්න එන්න යනුවෙනි.

ඒ රූබියෝ රාජ්‍ය ලේකම් වුණත්, නැතත් ඔහු ට්‍රම්ප්ගේ අතිශය සමීප කවයේ අයෙකි. ලංකාවේ බලයට පත්වූ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ද ජාත්‍යන්තර මාධ්‍ය හැඳින්වූයේ මාක්ස්වාදය පෙරටු කරගත් ආණ්ඩුවක් බවයි. කොහොම වුණත් ලංකාවේ දැනට සිටින ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් ආණ්ඩුව සමග සුහදශීලීව කටයුතු කරමින් සිටී. එහෙත් ඇය වෙනුවට දැන් පත්ව එන්නට ඉන්නේ එලිසබෙත් කේ. හෝර්ස්ට් ය. ඇයට ට්‍රම්ප්ගේ ආණ්ඩුවෙන් ලැබෙන උපදෙස් වෙනස් ඒවා විය හැකිය. අනෙක් අතට හෝර්ස්ට්ගේ ස්වාමි පුරුෂයා යනු ජේසන් පී. ග්‍රේෂ් ය. ඔහු ඇමෙරිකානු ආරක්ෂක ලේකම් කාර්යාලයේ සේවය කරන, යුක්රේනයේ සිටි රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ උපදේශකවරයෙකි. 

ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් පසු කතාබහට ලක්වන තවත් කාරණයකි, ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ හැසිරීම. ට්්‍රම්ප් දිනුවා කියන්නේ ඔහු දිනුවා වගේ ය. නෙතන්යාහුගේ දීර්ඝ කාලීන ඉලක්කයකි, ඉරානයට පහරදීම. ඒ සඳහා ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන ඔබාමාගේ සිට ඇමෙරිකානු ජනාධිපතිවරුන් පොළඹවා ගන්නට උත්සාහ කළද, එය අසාර්ථක විය. 2020 සිට පැවැති ජෝ බයිඩ්න් ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ තීරණාත්මක කාර්යභාරයක් තිරය පිටුපස සිට කළේ ඔබාමා ය. කමලා හැරිස්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ බර ඇද්දේද ඔහු ය. ඒ පැත්තෙන් බලන විට මේ පරාජයට පත්වී ඇත්තේ කමලා හැරිස්ටත් වඩා ඔබාමා ය. ලෝකයේ විශිෂ්ඨතම නායකයකු ලෙස ඉහළට එසවුණු ඔබාමා ය. 


ට්‍රම්ප්ලා - නෙතන්යාහුලා එක්ව යන ගමන


කතාව පටන් ගත්තේ නෙතන්යාහු ගැන කියන්නට ය. ඊශ්‍රායල් යුද්ධය නෙතන්යාහු විසින් පසුගිය වසරේ සිට ඇදගෙන යන්නට පටන්ගත්තේ ද ට්‍රම්ප් ජනාධිපති කරන්නට බව අපි මේ තීරයේත් ලීවෙමු. මේ පිටුපස වෙනස් කතාවක් ද තිබේ. 

ට්‍රම්ප්ලා නියෝජනය කරන්නේ නව ක්‍රිස්තියානි දහමකි. එය ඊශ්‍රායල් - ඇමෙරිකා සම්මිශ්‍රණයකි. එහි ඇති විශේෂ කරුණක් වන්නේ ලෝක යුද්ධයක් ඇතිවී, ඔවුන් විශ්වාස කරන දෙවියන් විසින් එම දහම ව්‍යාපාත් කිරීමයි. ට්‍රම්ප් සහ ඔහුගේ සමීපතමයෝ මෙය අදහති. නෙතන්යාහු ද ඉන්නේ එතැන ය. ඒ කියන්නේ තකට-තක ය. ඔවුන් මේ විශ්වාසය මත ඉරානයට පහර දී මැද පෙරදිග දරුණු යුද්ධයකට ඇද නොදමන්නේ යැයි කිව නොහැකිය. ඒ නිසා ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ලෝකයට ම තීරණාත්මක ය. 

මේ අතර හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ග්‍රැහැම් ඇලිසන් කියන්නේ තවත් බලවතකු නැගීගෙන එන බවක් පෙනෙන විට සිටින බලවතා කරන්නේ වහාම ඔහුගේ ගමන කඩාවැට්ටවීමේ උපක්‍රම නිර්මාණය කරන බවයි. ඊශ්‍රායලය සහ ඉරානය අතර කතාවත්, ඇමෙරිකාව සහ චීනය අතර කතාවත් මේ ඔස්සේ කියවාගැනීම ද වැදගත් ය.


ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ගැන අනුර අවදියෙන්


මේ ජාත්‍යන්තර දේශපාලනයේ තීරණාත්මක තත්ත්වයන් ගැන ආණ්ඩුව මේ දිනවල සිටින්නේ දැඩි අවධානයෙන් ය. ඔවුන් දැනටමත් තීරණාත්මක රටවල් සියල්ලේ ම තානාපති නිලධාරීන් වෙනස් කිරීමට තීරණය කර තිබේ. ඔවුන් ආපසු කැඳවා ඇත. මේ ආපසු කැඳවීම කියන්නේ ද එක රැයකින් සිදු කළ හැකි දෙයක් නොවේ. ඊට යම් කාලයක් ගතවේ. තානාපති නිලධාරීන් තම-තමන්ගේ රාජකාරි බාරදීම, භාවිත කළ භාණ්ඩ, වාහන ඇතුළු සියල්ල බාරදීම, තමන් සේවය කළ රාජ්‍යයෙන් නිල වශයෙන් සමුගැනීම වැනි කරුණු ද මේ අතර වේ.


නීතිපති හොඳට අහගනී


පසුගිය සතියේ සියල්ලන්ගේ අවධානය හදිසියේ යොමුවූ සිදුවීමක් විය. එමගින් ආණ්ඩුවට දැඩි විවේචනයක් ද එල්ල වූ අතර, සිදුවීමෙන් ආණ්ඩුව ද කලබලයට පත්වූ බවක් පෙනෙන්නට තිබිණි. පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවකු ආයුධ පෙන්වීමට ගොස් මියයෑම මෙහි මුල් සිදුවීම විය. නිලධාරීන් ආක්මාරක්ෂාවට වෙඩි තැබූ බව පැවසුවද, මරණ පරීක්ෂණයෙන් පසු බලපිටිය මහෙස්ත්‍රාත්වරයා තීරණය කර තිබුණේ මෙහිදී අපරාධයක් සිදු වී ඇති බවයි. එම නිසා ඊට වගකිවයුතු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ද අධිකරණයෙන් නියෝග කර තිබිණි. ඒ පසුගිය ජූලි මාසයේදී ය.

හදිසියේම පසුගිය නොවැම්බර් 04 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුවෙන් පොලිස් නීති කොට්ඨාසයටත්, බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයටත් ලිපියක් යවා තිබුණේ මේ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා බව දන්වමින් ය. හරියටම මහර බන්ධනාගාරයේ සිදුවීම වගේ ම ය. එහිදී ද නීතිපති දෙපාර්තමේන්තුව ලිපියන් යවමින් පොලිස් නීති කොට්ඨාසයටත්, වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයටත් දැනුම් දී තිබුණේ එම නඩුව ඉදිරියට පවත්වාගෙන නොයන බවටයි.

බලිපිටියේ සිදුවීම පත්තු විය. නීතිපතිවරයාට දැඩි දෝෂාරෝපණයක් එල්ල වූ අතර, ජනාධිපතිවරයාගේ පැත්තෙන් මේ පිළිබඳ ගැඹුරු විමසීමක් ද සිදු කර ඇත. නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළෙන් ද මීට විරෝධය එල්ල වී ඇති අතර, ඒ අනුව ආරංචි විදිහට ඒ ලියුම නැවත කැඳවීමටත්, අධිකරණ නියෝග අනුව ඉදිරි කටයුතු සිදුවීමටත් නියමිත ය. නීතිපති දෙපාර්තමේන්තුව මින් ඉදිරියට මෙවැනි වැඩ නොකරනු ඇතැයි යන්න පසුගිය සතියේ උපරිමාධිකරණ සංකීර්ණයේ කතා වූ විශේෂ ම කතාව විය. 


බල්ලෝ අනිති - මී හරක් බුරති


පසුගිය සතියේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී විජිත හේරත් ඇමැතිවරයා අමුතු කතාවක් කිව්වේය. එය ඔහුගේ කතාවක් නොවේ. පැහැරගෙන ගොස් ඝාතනය කරන ලද මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා කී කතාවකි.

‘බල්ලෝ අනිති. මී හරක් බුරති. නරියෝ සිනාසෙති. සිංහයෝ බලා හිඳිති.’

1990 පෙබරවාරි 18 වැනිදා අලු‍‍යම 3.30ට රිචඩ් ද සොයිසා සහ ඔහුගේ මව ජීවත් වූ වැලිකඩවත්ත නිවාස සංකීරණයේ නිවසට 32 ශ්‍රී 4748 දරන ලියාපදිංචි අංකය සහිත කොළ පැහැති ජීප් රථයකින් කඩාවැදුණු සන්නද්ධ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහු ව පැහැරගන්නා ලදි. රිචඩ්ගේ පැහැරගැනීම සම්බන්ධයෙන් ඔහුගේ මව වන ආචාර්ය මනෝරානි සරවනමුත්තු විසින් එදින ම අලු‍‍යම 4.15ට පමණ වැලිකඩ පොලිසියේ පැමිණිල්ලක් ගොනු කර තිබිණි. පැහැරගැනීම ඇසින් දුටු සාක්ෂි 07කි.

රිචඩ්ගේ ඝාතනයේ ප්‍රධාන විත්තිකරු වූ රොනී ගුණසිංහ ඇතුළු අපරාධ චූදිතයන් එවකට ආරක්ෂක ඇමැති රංජන් විජේරත්න විසින් ප්‍රසිද්ධියේ ආරක්ෂා කළ බවට චෝදනා එල්ල විය. වසර 15ක් තිස්සේ විභාග වූ රිචඩ් ද සොයිසා ඝාතන නඩුවේ අවසන් තීන්දුව 2005 ඔක්තෝබර් 09 වැනි දින ප්‍රකාශයට පත්කෙරිණි. තීන්දුවට අනුව අපරාධයේ සියලු‍‍ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් ය. තීන්දුවේ සඳහන් වුයේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි පරස්පර විරෝධී බැවින් විත්තිකරුවන්ට එරහිව ගොනුකොට තිබු චෝදනා ඔප්පු වී නොමැති බවයි. ඒ වනවිටත් රිචඩ්ගේ මව ඇතුළු සාක්ෂිකරුවන් කිහිපදෙනකු මියගොස් තිබිණි.

රිචඩ්ගේ මව විසින් හඳුනාගෙන තිබූ ආකාරයට ඔහු ව පැහැරගැනීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොනී ගුණසිංහ, පොලිස් පරීක්ෂක ලාල් ක්‍රිෂාන්ත ධර්මසිරි පැමිණ තිබිණි. රොනී ගුණසිංහ මියගියේ රණසිංහ ප්‍රේමදාස ඝාතනය කෙරුණු බෝම්බයෙනි. පසුව අනාවරණය වූ ආකාරයට රිචඩ් ඝාතනයට පොලිස්‌ පරීක්‌ෂක එම්.ජී.ජී. දේවසුරේන්ද්‍ර, පොලිස්‌ සැරයන් වෙඩික්‌කාරගේ සරත්චන්ද්‍ර සම්බන්ධ වී ඇත.


ජනතාව ඉල්ලන වේගයට බඩු නැත 


මේ කතාව ලිව්වේ දැන් ආණ්ඩුව පසුගිය අපරාධ පිළිබඳව විමර්ශන වේගවත් කර ඇති නිසා ය. ඒවා නිවැරදිව ඉදිරියට ගියහොත් වින්දිතයන්ට යුක්තිය ඉටුවනු ඇත. ජනතාවත් ඒ පිළිබඳව සිටින්නේ දැඩි අවධානයෙන් ය. ඒ අවධානයේ තරම හොඳින්ම පෙනෙන්නේ ජනාධිපති කාර්යාලයෙන් ආරම්භ කළ දූෂණ චෝදනා පිළිබඳ තොරතුරු එකතු කිරීමේ මෙහෙයුමට ලැබෙන ප්‍රතිචාරවලින් ය. ඒ සියල්ල කඩිනමින් විමර්ශන අංශ වෙත ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කර ඇත.

එහෙත් දැන් තවත් අඩුවක් පුරවන්නට සිදුවී තිබේ. ජනතාව ප්‍රතිචාර දක්වන වේගයට වැඩ කරන්නට විමර්ශකයන් ප්‍රමාණවත් නැත. විශේෂයෙන්ම අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව වැනි ආයතනවල මේ තත්ත්වය බරපතළ ය.


යෝෂිතට ලයිෂන් ගිනි අවි 07ක්


ආරක්ෂක අමාත්‍යංශයෙන් ලබාදී ඇති බලපත්‍ර සහිත ගිනි අවි ආපසු බාරදීම සඳහා රජය කාලයක් දුන්නේය. ඒ කාලය පසුගිය නොවැම්බර් 07 වැනිදායින් අවසන් විය. කෙසේ වෙතත් රජය තීරණය කර ඇත්තේ තවත් මාසයකින් එම කාලය දීර්ඝ කිරීමටයි. මේ ගිනි අවි සම්බන්ධයෙන් අනාවරණය වූ කතා ද රැසකි.

ඒ අතරින් එකක් වන්නේ යෝෂිත රාජපක්ෂගේ කතාවයි. යෝෂිත රාජපක්ෂට මෙවැනි ගිනි අවි 07ක් නිකුත් කර තිබී ඇත. පසුගිය සතියේදී යෝෂිතගේ පැත්තෙන් එම ගිනි අවි ආරක්ෂක අමාත්‍යංශයට බාරදී තිබේ. මේ ගිනි අවි 07 ගැන ආණ්ඩුවේ ඉහළ ම සාකච්ඡාවකදී ද අවධානය යොමුවී තිබිණි. 

‘මේ ඔක්කොම දීලා තියෙන්නෙ බුද්ධි තොරතුරු බලලද?’

මේ ප්‍රශ්නයට බුද්ධි අංශ නිලධාරීන් සතුව තොරතුරු තිබී නැත. සිවිල් පුද්ගලයකුට මෙවැනි විශාල ගිනි අවි සංඛ්‍යාවක් කෙසේ හෝ ලබාදී ඇත. එම නිසා ආණ්ඩුව තීරණය කර ඇත්තේ මෙවර ගිනි අවි ලබාදීමේදී අනිවාර්යෙන්ම පුද්ගලයන්ට ඇති තර්ජන පිළිබඳ බුද්ධි වාර්තා කැඳවීමටයි. එම බුද්ධි වාර්තා මත පදනම්ව, ගිනි අවි භාවිතය පිළිබඳ අදාළ පුද්ගලයා සතු දැනුම ද පරීක්ෂා කර අවි ලබාදීමට තීරණය කර ඇත.


බර වචන වෙනුවට සරල සිංහල


මහ බැංකුවෙන් අලු‍තින් මුදල් අච්චු ගැසීම පිළිබඳ කතාව පසුගිය සති කිහිපයේදීම සංවාදයට ලක් විය. එය මුදල් අච්චු ගැසීමක් නොවන බව මහ බැංකුවෙන් පැහැදිලිව නිවේදනය කර තිබිණි. ඒ අතර තවත් කතාවක් එළියට ආවේය. ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අයවැය පිළිබඳ කතාවකි. 

මේ අවුරුද්දේ අයවැය වාර්තාවට අනුව ලංකාවේ මුළු ණය ගැනීම් අවශ්‍යතාව රුපියල් බිලියන 7,350කි. රජයේ මුළු ලැබීම්වල එකතුව බිලියන 4,164කි. ණය සේවා සඳහා කළ යුතු ගෙවීම් බිලියන 6,919කි. 

මේ කරුණු නිවැරදිව එළියට ආවේ නැත. එම නිසා ජනතාව අතර ද තිබුණේ කුතුහලයකි. ද්‍රවශීලතාව, මුදල් සැපයුම වැනි බර වචන කිව්වාට ජනතාවට තේරෙන්නේ නැත. මේ ගැන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් යොදවා ජනතාවට පැහැදිලි කරන්නට ආණ්ඩුව කළ වැඩේ ද තරමක් අසාර්ථක විය. ඔවුන්ගේ වචන බර වැඩි ය. එම නිසා ආණ්ඩුවේ මාධ්‍ය මෙහෙයුම් කණ්ඩායම් එකතු වී තීරණය කර ඇත්තේ ජනතාවට තේරෙන සිංහලෙන් මේවා කියන්නට ය. ඒ පිළිබඳ සැලසුමක් ද ඔවුන් සකස් කර ඇතැයි වාර්තා වේ.


ජ්‍යෙෂ්ඨයාගේ කෝල් එකෙන් ආණ්ඩුව කලබල වෙයි


ඡන්ද දිනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කෙරිණි. පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව එම දිනය සහ ඊට අදාළ ගැසට් නිවේදනය නීත්‍යනුකූල බව අධිකරණය පිළිගෙන ඇත. 

කෙසේ වෙතත් මේ ගැන කියන්නට තවත් කතාවක් තිබේ. ජනාධිපතිවරයාගේ අත්සනින්, ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව නිකුත් කළ මේ ගැසට් නිවෙදනයෙන් පසු මුලින්ම කතා කර තිබුණේ ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රයේ දැවැන්තයෙකි. ඔහු තවත් පිරිසක් ද සමග කතා කොට ආණ්ඩුවට කියා තිබුණේ මෙහි ගැටලු‍වක් ඇති බවක් පෙනෙන නිසා නැවත සොයාබලන ලෙසයි.

ඒ අනුව කලබල වූ ආණ්ඩුවේ නීති අංශය ජ්‍යෙෂ්ඨ නීතිඥ විජේබණ්ඩාර ප්‍රමුඛ පිරිසක් සමග මේ දින කලබලය පිළිබඳව සොයා බැලු‍වේය. ඇඟිලි ගනිමින්, නීති පොත් පෙරළමින් ඔවුන් ජනාධිපති කාර්යාලයේ දිනයක් ම මීට වෙන් කර තිබිණි. අවසානයේදී තීරණය කර තිබුණේ ගැටලු‍වක් නැති බවකි. නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න ශ්‍රේෂ්ඨාධිකරණයේදී පවසා තිබුණේ ඡන්දයක් නොතියා සිටිනවාට වඩා තියන එක වැදගත් බවයි.


ලන්සා කරේ තබාගත් රනිල්


පාර්ලිමේන්තු ඡන්දය අතිශය සාමකාමී ය. එහි ගැටුම් නැත. පොලිසිය පොලිසියේ රාජකාරි කරයි. මැතිවරණ කොමිසම තදින් සිටී. මේ මැතිවරණයේදී වැඩි ම වාසිය ලබාඇත්තේ හෝටල් හිමියන් ය. ඔවුන් තමන් සහයෝගය දෙන පක්ෂයේ අපේක්ෂකයාට හෝටලයේ ශාලාව ලබාදෙයි. එපමණකි. සහභාගිවන්නන්ට කෑම - බීම ලබාදීම මැතිවරණ අල්ලස් ලබාදීමක් වන නිසා ඒවා තහනම් ය. එම නිසා හෝටල් හිමියන්ගේ මුදල් ඉතුරු ය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර වැඩියෙන්ම සහයෝගය දෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වදින නිමල් ලන්සාට ය. ඔහු කෙලින්ම කියන්නේ තමන් ජනාධිපති කරවන්නට ලන්සා වැඩ කළ බවකි. ඒ නිසා ම සමගි ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන් ද ලන්සා සමග වැඩ කරන බවක් ආරංචි ය. කෙසේ වෙතත් ලන්සාට ජනතාව අතර ඇත්තේ නම් එතරම් හොඳ නමක් නොවේ. ඔහුට එරෙහිව බරපතළ චෝදනා ඇත. එල්ලෙන්න තැනක් නැති පාක්ෂිකයන් සමහරකට ලන්සාගේ නවාතැන හොඳ තැනක් වී තිබේ.


සජිත්ගේ උපක්‍රමය වැඩ කරයි 


සමගි ජන බලවේගය ඇතුළේ සාකච්ඡාවලදී මේ දිනවල වැඩියෙන්ම අවධානය යොමුවී ඇත්තේ ඉලක්කම් වෙත ය. ජාතික ජන බලවේගයට කීයද, අපිට කීයද යන්නයි, ඒ. සජිත් ප්‍රේමදාස පසුගිය සතියේ පැවැති එවැනි සාකච්ඡාවකදී පැහැදිලිව පවසා තිබුණේ 2020 පාර්ලිමේන්තු මැතිවරණයට වඩා මෙවර සමගි ජන බලවේගය ඡන්ද ගන්නා බවයි. 

2019 ජනාධිපතිවරණයෙන් ලබාගත් ඡන්ද සංඛ්‍යාවට වඩා බාගයකින් අඩු ගණනකි, 2020 අගෝස්තු 05 වැනිදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගය ලබාගත්තේ. සජිත්ගේ මේ ආකාරයේ රැස්වීම් ගණනාවකින් පසු සජබයට හිතවත් ව්‍යාපාරිකයන් තරමක් මුදල් විසිකරන්නට ද පටන්ගෙන ඇත. පසුගිය ටිකේ ඔවුන් සිටියේ නිහඬව ය. කොහොමත් මොනවා කරන්නටත් ප්‍රචාරක කටයුතුවලට තව ඇත්තේ දින 02කි. ලබන සතියේ අලු‍ත් ආණ්ඩුවකි.

ලොකු අයියා ගැන 

අවධානයෙන් සිටින ලාල්

ඒක කිව්වෙ නිකම්මද?


සතිය අවසානය වන විට සියල්ල ලාල්කාන්තගේ පිටින් ගොස් තිබිණි. ඒ ලාල්කාන්ත පාර්ලිමේන්තුවේදී කළ කතාවේ කොටසක් නිසා ය. වගා භූමිවලට හානිකරන සතුන් ගැන බලාගන්නැයි කෘෂිකර්ම විෂය බාර ඇමැතිවරයා ලෙස ඔහු කියා තිබිණි. පරිසරවේදීන් ඇතුළු සියල්ල ඔහුට එරෙහිව අවි අමෝරද්දී, ගොවීහු ඔහුගේ පැත්තේ හිටගත්හ. මේ ගැන පාර්ලිමේන්තුවේ ඇති වූ කතාබහකදී ලාල්කාන්තගේ පැත්තෙන් කියා තිබුණේ ‘බහුතරය ගැන හිතන්න ඕනෙ, ඒ වගේම මෙහෙම එකක් කියපු පළියට මිනිස්සු එහෙම කරන්නෙ නෑ, මිනිස්සු ඊට වඩා සංස්කෘතිකයි’ යනුවෙනි. ඒ කතාව ම වෙනස් විදිහකට ඔහුගේ පැත්තේ හිටගත් ගොවීහු ද කියමින් සිටිති. 

‘එහෙම මරනවද අපි?’

කොහොම වුණත් ලංකාවේ වනජීවීන් පිළිබඳව ඇති නීතිවලට අනුව ද එය කළ නොහැකිය. මේ කතාවත් එක්ක මතක් වන තවත් කතාවක් තිබේ. ඒ රිලවු ගැන කතාවකි.


පොඩි මල්ලී ලොකු අයියා ගැන අවධානයෙන්


සංඛ්‍යාලේඛනවලට අනුව ඉන්දියාවේ ආසන්න වශයෙන් මිලියන 50කට වැඩි රිලවු ගහනයක් සිටිති. ඒ රීසස් මැකාකස් නම් වර්ගයයි. 2023 මාර්තු 10 වැනිදා ආචාර්ය රාජේෂ් සිං ප්‍රමුඛ පිරිසක් විශේෂ පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කළහ. ඉන්දියාවේ හිමාලය ප්‍රදේශයේ 2007 - 2010 කාලයේදී රිලවුන්ගෙන් වගාවලට සිදු වූ හානිය ඉන්දියන් රුපියල් කෝටි 2,200 ඉක්මවන බව වාර්තා කර ඇත. ජම්මු කාශ්මීර් ප්‍රදේශයේ ඇති ගම්මාන 250ක, වසරකට රුපියල් කෝටි 33ක වගා හානියක් රිලවු නිසා සිදුවන බවට ද වාර්තා තිබේ. කර්ණාටක ප්‍රදේශයේ වාර්තා අනුව 2012 වසරේ හානිය රුපියල් කෝටි පහකි. පදිංචිකරුවන් 800ක් පමණක් සිටින කර්කලා-ටකුලා ගම්මානයේ සමස්ත වගා අස්වැන්නෙන් සියයට 75ක් සතුන් නිසා විනාශ වී තිබේ. 

ආචාර්ය රාජේෂ් ඇතුළු පිරිස පවසන්නේ මීට මූලික හේතුව මිනිසුන් විසින් රිලවුන්ගේ ජීවිතයට කළ බලපෑම බවයි. කැලෑ විනාශ කරමින් සතුන්ට ගම්මානවලට එන්නටත්, ඔවුන්ට ආහාර නැතිවන්නටත් ඉඩ හදා ඇත්තේ මිනිසුන් බව ඔවුහු සංඛ්‍යා සහිතව පෙන්වා දෙති. අසූව දශකයේදී ඉන්දියාව වගා සංග්‍රාමයක් සිදුකළේය. එහිදී වනාන්තර විශාල වශයෙන් විනාශ කර ඇත. ඉන්පසුව ය, මේ සතුන් සහ මිනිසුන් අතර ගැටුම සීග්‍රයෙන් වැඩි වී ඇත්තේ.

මෙහි තවත් වටිනා පැත්තක් තිබේ. ඒ වනාන්තරවල සිටින විට සාමාන්‍යයෙන් අලුතින් බිහිවන රිලා පැටවුන්ගෙන් සියයට 60 - 65 අතර ප්‍රමාණයක් විවිධ හේතු මත කුඩා කාලයේදී ම මිය යන බවයි. ආහාර හිඟවීම්, විලෝපිකයන් ආදී හේතු මීට බලපාන බව ද රාජේෂ්ලා කියති. එනම් එහිදී සිදුවන්නේ ස්වභාවික පාලනයකි. නමුත් මිනිසා සමග වගාවන් සමග සිටින රිලවුන් එසේ මියයෑම සිදුනොවන බව ද ඔවුහු පෙන්වා දෙති. වනාන්තරවලදී සිය ආහාර සොයාගැනීමට දිනකට පැය 12 - 14 අතර කාලයක් ගතවුවද, රිලවුන්ට වගා භූමිවලදී, ගම්වලදී ඒ සඳහා ගතවන්නේ පැයකටත් අඩු කාලයක් බව ද එම වාර්තාවේ දැක්වේ.

එහි අඩංගු ඊළඟ වැදගත් කරුණක් වන්නේ මේ හේතු නිසා ඉන්දියාවේ රිලවුන්ගේ වර්ධන වේගය සියයට 36ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.


ලංකාව තවමත් සද්ද නෑ 


ලංකාවේ තවමත් මේ පිළිබඳ කිසිදු විධිමත් පර්යේෂණයක් සිදු කර නැතත්, ඉන්දියාව - කැලිෆෝනියා සමග එක්ව සිදුකරන ලද පර්යේෂණයක ප්‍රතිඵල ලෙස ආහාර සමග මිශ්‍ර කොට වඳ පෙති ලබාදීම ඔවුහු දැනටමත් සිදුකරති. පුහුණු කරන ලද කළු වඳූරන් යොදාගනිමින් රිලවුන් බියවැද්දීම ද ඉන්දියාව මේ සඳහා ප්‍රාදේශීය වශයෙන් යොදාගනිමින් සිටින උපක්‍රමයකි. එසේම රිලවුන් අකමැති විවිධ ඖෂධ වර්ග භාවිත කිරීම, විවිධ ශබ්ද භාවිත කිරීම ද එරට ජනප්‍රිය උපක්‍රම අතර වේ. 

ඔවුන් පසුගිය කාලයේදී පර්යේෂණ මගින් සොයාගත් තවත් දෙයකි, අරව්කානා නම් ශාක විශේෂය වගා බිම් වටේට වැට දිගට වගාකිරීම. මේ ශාකවලට රිලවුන් දැඩි අකමැත්තක් දක්වන අතර, එම ශාක මගහැරීමට රිලවු නිතරම කටයුතු කරති. තෙලංගානා ප්‍රාන්ත රජය මේ ආකාරයේ වගාවලට සිදු වන සත්ත්ව හානිවලට විසඳූමක් ලෙස එහි ඇති සියයට 24ක වනගහනය සියයට 33 දක්වා ඉහළ නැංවීමට තීරණයක් ගෙන ඇත. කෙසේ වෙතත් විවිධ රටවල් මෙහිදී විවිධ ආකාරයට කටයුතු කර ඇති බව ද පෙනේ. ඉන්දියාව මානුෂික වුවද, ජපානය සිදු කළේ වඳ සැත්කම් සහ වගා හානි කරන සතුන්ගෙන් කොටසක් මරා දැමීම ය. 

ලාල්කාන්තගේ පාර්ලිමේන්තු කතාව ගැන මෙසේ ලොකු විස්තරයක් ලිව්වේ නිකම් ම නොවේ. සතුන්ගෙන් වගාවලට සිදු වන හානිය ගැන ආණ්ඩුව ලෝකය පුරා තොරතුරු එකතු කරමින් සිටී. එසේ එකතු කළ සහ සාකච්ඡාවට ගත් තොරතුරු එකතුවකින් කොටසකි, මේ. මතුපිටින් පේනවාට වඩා කරළියේ රහස් තිබේ.


වැඩක් ගත්තෙ නැති තැන් වැඩට බස්සන්න උපදෙස්


ඊළඟට කතා කළ යුත්තේ සතියේ අනෙක් වැදගත් ම මාතෘකාව ගැන ය. ඒ සහල් ය. කෘෂිකර්ම වාර්තාවලට අනුව ලංකාවේ සහල් පරිභෝජනයට වඩා සහල් නිෂ්පාදනය වැඩි ය. ඒ කියන්නේ කොහේ හෝ තැනක මොකක් හෝ බරපතළ අවුලක් තිබේ.

1972 පිහිටවූ වී අලෙවි මණ්ඩලය වසාදැමීම සඳහා 1999 ජූලි 14 වැනිදා වන විට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කෙරිණි. 2001 අප්‍රේල් 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තු පනත් කෙටුම්පතක් මගින් මේ මණ්ඩලය අහෝසි කිරීමට සැලසුම් කෙරුණද, එය සම්මත වූයේ නැත. 1999 සිට 2008 දක්වා වී අලෙවි මණ්ඩලය ක්‍රියාත්මක වූ බවට වාර්තා නැත. 2006 වසරේදී යළිත් කෘෂි නිෂ්පාදන මිලදීගැනීම සඳහා වෙනම මණ්ඩලයක් පිහිටුවන ලදි. 2007 ජූලි 10 වැනිදා නැවතත් කැබිනට් පත්‍රිකාවක් මගින් මේ නව මණ්ඩලය අහෝසි කොට වී අලෙවි මණ්ඩලය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනිණි. ඒ අලුත් කරන ලද වී අලෙවි මණ්ඩලයේ වාර්තා අනුව 2008 සිට 2018 දක්වා එක දිගට පාඩු ලබා තිබේ. වී මිලදී ගැනීම සඳහා එක දිගට මහා භාණ්ඩාගාරයෙන් ණයට මුදල් ගෙන ඇත. එහෙත් විගණන වාර්තා අනුව බලන විට එසේ ලබාගත් මුදල්වලට සමානව වී මිලයට ගෙන නැත. මණ්ඩලය මගින් රුපියල් 45ට ගොවීන්ගෙන් මිලට ගත් වී කිලෝව මෙන්ඩිස් සමාගමට විකුණා ඇත්තේ කිලෝව රුපියල් 42 ගණනේ ය. මේ ආණ්ඩුව පසුගිය දින කිහිපයේ පරීක්ෂාවට ගත් විගණන වාර්තාවල ඇති තොරතුරු ය.

ජාතික විගණන කාර්යාලයෙන් වැඩගත යුතුය. ඔවුන් වාර්ෂිකව වැදගත් වාර්තා එළියට දමයි. ඒ පිළිබඳ මාධ්‍ය මගින් වැදගත් අනාවරණ ද සිදුකරයි. එහෙත් ටික දිනකට පසු ඒවා එහෙම්ම යට යන්නේය. දැන්වත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම වෙනුවෙන් මේවාගෙන් වැඩ ගත යුතුය. මේ ජාතික විගණන කාර්යාලයේ වාර්තාවලින් වැඩ ගන්නා වැඩේට අදාළ උපදෙස් පැමිණ ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ම පැත්තෙන් ය. සංඛ්‍යා මූලික කොටගෙන් කරුණු ඉදිරිපත් කිරීමට ප්‍රසිද්ධ ජනාධිපතිවරයා අමාත්‍යංශ ලේකම්වරුන්ට උපදෙස් දී ඇත්තේ මේ වාර්තා විධිමත්ව අධ්‍යයනය කරන ලෙසයි.


ඉතියෝපියාවෙන් උගත යුතු පාඩම


අභී අහ්මඩ් ඉතියෝපියා ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නට පටන්ගත්තේ 2018 වසරේදී ය. ඔහු ඉතියෝපියාවට වෙනස් වැඩක් හඳූන්වා දුන්නේය. ආණ්ඩුවේ ප්‍රධාන තනතුරු සියල්ලට පත්කෙරුණේ කාන්තාවන් ය. ඔහු ඊට හේතුවක් කිව්වේය. ඒ, දූෂණය අවම කිරීමේ උපක්‍රමයක් ලෙස මෙය භාවිත කළ හැකි බවයි.

මේ ගැන කිව්වේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ අලුත් පත්වීම් රැසක් ගැන කියන්නට ය. අගමැති හරිනි අමරසූරිය වන බව ඡන්දයට පෙර සිට ම තහවුරු වී තිබූ කතාවකි. දැන් අගවිනිසුරුත් කාන්තාවකි. ඇය මුර්දු නිරූපා බිඳූෂිනී ප්‍රනාන්දු ය. මීට පෙර ලංකාවේ අගවිනිසුරුවරියන් සිටියේ එක් අයකු පමණි. ඒ, 42 වැනි අගවිනිසුරු ධුරයට පත්වූ ශිරාණි බණ්ඩාරනායක ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන භාවිත කරමින් දෝෂාභියෝගයකින් ඉවත් කළ පළමු අගවිනිසුරුවරයා ද ඇය විය. 2013 වසරේදී ඇය ව ඉවත් කරන ලද අතර, 2015 ජනවාරි 28 වැනිදා යළිත් ඇය අගවිනිසුරු ධුරයට පත්ව, එදිනම විශ්‍රාම ගියාය. ශිරාණි බණ්ඩාරනායක සමග මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ගැටලුව හදාගත්තේ ඉසෙඩ් ස්කෝර් නඩුවේ තීන්දුව සහ බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාගේ ආර්ථික සංවර්ධන පනත් තීන්දු නිසා ය.

කෙසේ හෝ දැන් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ය. ඇය ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරියයි. එහෙත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසූ ගැටය සාර්ථක වූයේ නම් මුර්දුට f ම්තැනට එන්නට ලැබෙන්නේ නැත. ඒ වෙනුවට මේ තැනට එන්නේ බොහෝ විට හිටපු නීතිපති සංජේ රාජරත්නම් ය. ඔහුට සේවා දිගු දෙකක් ලබාදෙමින් නොවැම්බර් 30 වැනිදා විශ්‍රාම ගිය ජයන්ත ජයසූරිය අගිවිනිසුරුවරයාගේ පුටුවට ඔහු ගෙන ඒම රනිල්ගේ ඉලක්කය විය. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දෙවරක් ම රනිල්ගේ එම නිර්දේශය ප්‍රතික්ෂේප කිරීම නිසා වැඩේ අවුල් විය. 


එකේ ඒවා ගොඩයි - දෙකේ ඒවා එකයි


මුර්දු මෙන්ම පොලිසියේ ද ප්‍රධාන තනතුරු හතරකට පසුගියදා කාන්තාවන් පත්කෙරිණි. පොලිස්පතිවරයා යටතේ ඇති පොලිස් නිලධාරීන් පිළිබඳ විමර්ශනය කිරීමේ බලය සහිත ආයතනය වන පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස ප්‍රථම වරට කාන්තාවක පත්කෙරිණි. එසේම පොලිස්පතිවරයාගේ සෘජු උපදෙස් මත ක්‍රියාත්මක වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ද ඉතිහාසයේ මුල් වරට කාන්තාවක පත්කෙරිණි. පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණදෙන නිලධාරි ධුරයටත් කාන්තාවක පත්කෙරුණේ මුල් වරට ය. පොලිස් වෛද්‍ය බලකායට ද මෙවර පත්කෙරුණේ කාන්තාවකි. එහෙත් එහි පමණක් අධ්‍යක්ෂ ධුරය මීට පෙර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිනියන් දරා ඇත. තීරණාත්මක අමාත්‍යංශ කිහිපයක ම ලේකම් ධුර දරන්නේ ද කාන්තාවන් ය.

මේ පත්කිරීම් සම්බන්ධයෙන් විපක්ෂයේ ද සංවාදයක් ඇති වී තිබේ. ඔවුන් කියන්නේ මේ වැඩේ අගය කළ යුතු බවයි. විශේෂයෙන්ම කංචන විජේසේකර වැනි සිලින්ඩර්වාදීන් ද, හර්ෂණ රාජකරුණා වැනි සජබවාදීන් ද මීට හොඳ කියා තිබිණි. කවුරු වුණත් කොහොමත් වැඩි හොඳ කියන්නටත් හදිසි විය යුතු නැත. ඊට පෙර වැඩ කරන ආකාරය දෙස බැලිය යුතුය.


මාධ්‍ය ලේකම්ලා හරි පාරට වැටෙති


ආණ්ඩුවේ අමාත්‍යංශ සහ ඇමැතිවරුන්ගේ කාර්යමණ්ඩල පත්කිරීමෙන් පසු සාමාන්‍යයෙන් සිදු වන දෙයකි, ඔවුන්ගේ නම්වලට විසිටින් කාඩ් මුද්‍රණය කිරීම. පැවැති මිල ගණන් සලකාබැලීමේදී රාජ්‍ය ලාංඡනය සහිත ඒ කාඩ් එකක් සඳහා රුපියල් 100ක් වැයකිරීමට සිදු වී තිබිණි. 

එහෙත් පත්වූ මාධ්‍ය ලේකම්වරුන් කිහිපදෙනකු කළේ තමන්ගේ හිතවත් මුද්‍රණ ආයතන කිහිපයක් සමග මේ ගැන කතා කිරීම ය. ඔවුන්ට එම කාඩ් එකක් රුපියල් 50ට අඩු මුදලකට මුද්‍රණය කළ හැකි බව ආරංචි විය. මේ ගැන ආණ්ඩුවේ ඉහළට වාර්තා කිරීමෙන් පසු වැයකිරීමට නියමිතව තිබූ මුදලට වඩා අඩක් අඩුවෙන් ඒ වැඩේ කිරීමට අනුමැතිය ලැබිණි. අත්‍යවශ්‍ය වියදම් කරමින්, අනවශ්‍ය වියදම් කැපීම හොඳ දෙයකි. එසේ කරන්නට පටන් ගත් විය ජනතාවට බදු ගෙවන්නට හිතෙන්නේය. එහෙත් හිරවන තැන් අපමණ ය.

ඒ ගැන සුනිල් හඳූන්නෙත්ති ඇමැතිවරයා පසුගියදා අපූරු කතාවක් කිව්වේය. සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී කබීර් හෂීම් පවසා තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුකරන ණය ප්‍රතිව්‍යූහගතකරණ කටයුතුවලදී නීතිඥ සහාය ලබාගැනීම වෙනුවෙන් චාර්ල්ස් ඇන්ඩ් ක්ලිෆර්ඩ් සමාගමට දැවැන්ත මුදලක් ගෙවීමට බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු සමම්ත ගිණුමෙන් මුදල් වෙන්කර ඇති බවයි. එය එසේ නොකළ යුතු බවට සමගි ජන බලවේගයේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනකු සමග කබීර් තර්ක කළේය.

‘අපිට පරණ පව් ටිකක් ගෙවන්න වෙනවා කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි. ඒ ගහලා තියෙන ගිවිසුම් නිසයි එහෙම කරන්න වෙන්නෙ. අයිඑම්එෆ් එක්ක වැඩකරන්න ගෙනාපු චාර්ල්ස් ඇන්ඩ් ක්ලිෆර්ඩ් කුලිය අච්චරයි, මෙච්චරයි කියනවා. කවුද ඒවා ගෙනාවෙ. කවුද ගිවිසුම් ගැහුවෙ. අපි ගෙනැල්ලා නෙමෙයි. 

අපි හෙට ඒගොල්ලො අයින් කළොත් චාර්ල්ස්ලා අපිට නඩු දානවා. ඒක නිසා සමහර බැඳීයාවන් අපිට ආණ්ඩුවක් විදිහට කරන්න වෙනවා. ඒත් ඒක අපේ කැමැත්ත නෙමෙයි.’

ආණ්ඩුවක් කරද්දී එහෙම ය. දැන් කොහොමත් කන්කෙඳීරි ගාන්නට ඉඩක් නැත. ජනතාව දෙන්න පුළුවන් උපරිම බලයක් ආණ්ඩුවට ලබාදී ඇත. 


උතුරෙන් අලුත් - අලුත් වැඩ


දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරසු කච්චිහි ජ්‍යෙෂ්ඨයන් ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට පැමිණ කිව්වේත් මේ ගැන ය. පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ වැදගත්කම, ජනතාවට සහන දීමේ වැදගත්කම ආදී දේවල් ගැන කතා කිරීමෙන් පසු ජනාධිපතිවරයාට උතුරේ ජනතාවගේ ඇති ප්‍රසාදය ගැන ද ඔවුහු කීහ.

‘ආපහු කතාකරන්නවත් දෙයක් අපිට එහෙ ඉතුරු කරලා නෑ.’

ඔවුන් එසේ අවංක වී තිබිණි. කෙසේ වෙතත් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ තවත් පිරිසක් සිටින්නේ මීට වෙනස් මතයක ය. ඔවුන් පසුගිය දිනෙක සාකච්ඡාවක් පවත්වා ඇත්තේ වෙනත් එකතුවක් හදන්නට ය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී අලුත් සන්ධානයක් හැදීම ය, මේ පිරිසේ සැලසුම. මඩකලපුව දිස්ත්‍රික්කයටත්, වව්නියාව - කිලිනොච්චි - මන්නාරම ඇතුළත් වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයටත් එසේ සන්ධානයක් ලෙස තරග කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇත. දැනටමත් වන්නි දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් ලෙස තරග කරන්නේ කවුද යන්න සම්බන්ධයෙන් ඔවුන් තීරණ කිහිපයක් ද ගෙන තිබේ. ජනාධිපතිවරණයේදී උතුරේ පොදු අපේක්ෂකයා ලෙස තරග කළ පී. අරියනේත්‍රම් සමග ද මේ කණ්ඩායම සාකච්ඡා කර ඇත. එසේ ම මානව හිමිකම් සහ පරිසර ඇතුළු විවිධ ක්‍රියාකාරිකයන් පිරිසක් ද මේ පිරිස හමුවී ඇතැයි වාර්තා වේ.


සජිත් පාරක් තෝරාගනී


සමගි ජන බලවේගය පැත්තේ මේ වන විට වෙනත් අවුලක් නිර්මාණය වෙමින් පවතින බවත්, ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සාර්ථකව ප්‍රතිචාර දක්වමින් සිටින බවත් ආරංචි ය. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කතා කාලය පිළිබඳව ද යම් සාකච්ඡාවක් නිර්මාණය වී ඇත. කෙසේ වෙතත් සජිත් කියන්නේ ආණ්ඩුවේ කටයුතුවලට යම් සහායක් ලබාදිය යුතු බවකි. එහෙත් බලවේගයේ තවත් ජ්‍යෙෂ්ඨයන් පිරිසක් කියන්නේ ආණ්ඩුවට දැඩිව පහර නොදුන්නහොත් එය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී බරපතළ අවාසියක් වනු ඇති බවයි.

එම නිසා ආණ්ඩු විරෝධී සියලු කණ්ඩායම් සමගි ජන බලවේගය වටා එක්කර ගැනීමේ සැලසුමක් සහිතව දැන් සිටම වැඩ පටන් ගත යුතු බව එම පිරිසේ අදහස වී තිබේ. සජිත්ගේ සමීපතමයකු ලෙස ප්‍රකට ලක්ෂ්මන් ෆොන්සේකා ඇතුළු පිරිසක් ද මේ වන විට සිටින්නේ සජිත්ගේ මතයේ ම බව ආරංචි ය.

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනාධිපති ළඟටත් ගොස්

සතිය වෙනස් කළ

සීසර්ගේ බිරිඳ !


ලංකාවෙන් එළියට ගොස් නැවතත් ලංකාවට පැමිණිය යුතුය. ඒ මෙහෙම ය. වැඩේ පටන්ගත යුත්තේ අල්ලස් කොමිසමෙන් ය. අල්ලස් කොමිසම පසුගිය 09 වැනිදා දූෂණ විරෝධී දිනය සැමරුවේය. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක ය. අනුර එහිදී කොමිසමේ ක්‍රියාකාරිත්වය ගැන, රටේ සිද්ධ වුණු දේවල් ගැන, ඒවාට දැමූ නඩුවලට වුණු දේවල් ගැන සැරට කතා කළේය. 

එතැන්ට යන්නට පෙර ඇමෙරිකාවට යා යුතුය. ලබන ජනවාරියේදී එරට තේරීපත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිවුරුම් දීමේ උත්සවය පැවැත්වීමට නියමිත ය. මේ උත්සවය සඳහා සකර්බර්ග් ඇමෙරිකානු ඩොලර් මිලියනයක් පරිත්‍යාග කර තිබේ. ෆේස්බුක්, වට්සැප්, ඉන්ස්ටර්ග්‍රෑම් යන සමාජ මාධ්‍ය වේදිකාවල මව් සමාගම වන්නේ මෙටා සමාගමයි. මෙටා සමාගමේ ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය මේ බව තහවුරු කරයි. මේ වැඩේ තවත් විශේෂත්වයක් ඇත.

මෙටා සමාගම පවත්වාගෙන ආ පරණ පුරුද්දක් තිබිණි. ඒ, මෙවැනි වැඩ නොකිරීම ය. වෝල් ස්ටී්‍රට් ජර්නල් පුවත්පත ඒ බව පැහැදිලිව පවසා තිබිණි. ඇමෙරිකාවේ ජනාධිපති ධුරය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයෙන් මුලින් ඉදිරිපත් වූයේ ජෝ බයිඩ්න් ය. ඉන්පසු බයිඩ්න් ඉවත් වී කමලා හැරිස් ආවාය. ඇමෙරිකාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් දෙපැත්තට බෙදී අපේක්ෂකයන් දෙදෙනාට සහාය දීමට කටයුත් කරද්දී, සකර්බර්ග් ප්‍රසිද්ධියේ කිව්වේ මෙසේ ය.

‘මම ට්‍රම්ප්ට හෝ හැරිස්ට සහාය දෙන්නෙ නෑ. මගේ ස්ථාවරය වෙනස් කරන්නෙ නෑ.’


සකර්බර්ග් වගේ අපේ අය මතක් කරගන්න 


එසේ කියූ සකර්බර්ග් ය, මේ විදිහට ට්‍රම්ප්ගේ දිවුරුම් දීමේ උත්සවයට ඩොලර් මිලියනයක් දෙන්නේ. මේ මුදල් වැඩේට තවත් හේතුවක් බලපෑවේය. ලෝකයේ ධනවතුන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානයේ සිටින්නේ එලෝන් මස්ක් ය. ඒ ෆෝර්බ්ස් සඟරාව වාර්ෂිකව හදන ලැයිස්තුවට අනුව ය. එහි සකර්බර්ග්ට හිමි වී ඇත්තේ සිව්වැනි ස්ථානයයි. මස්ක් මේ වන විට ට්‍රම්ප්ගේ ආණ්ඩුවේ තනතුරක් ද දරයි. ඔහු සෘජුව දිගටම ට්‍රම්ප් වෙනුවෙන් පෙනීසිටියේය. මෙසේ ට්‍රම්ප් වෙනුවෙන් පෙනී සිටි ව්‍යාපාරිකයෝ දිගටම ඉහළට ආහ. ඒ අතරවාරයේ ය, සුප්‍රකට ටයිම් සඟරාව දෙවැනි වරටත් වසරේ පුද්ගලයා ලෙස ට්‍රම්ප් නම් කළේ.

නැවතත් ලංකාවට පැමිණිය යුතුය. පසුගිය කාලයේ ලංකාවේ අල්ලස් නඩු රැසක් ඒ නඩු පැවරූ අල්ලස් කොමිසම මගින් ම ඉල්ලා අස්කරගත්තේය. මේ ගැන මුලින් කියූ දූෂණ විරෝධී සැමරුමේදී ජනාධිපතිවරයා ද අදහස් දක්වා තිබිණි. පසුගිය මැතිවරණවලදී සහ මැතිවරණවලින් පසුව ද ට්‍රම්ප්ට සකර්බර්ග් මුදල් දුන්නා වගේ පරිත්‍යාග රැසක් ගැන කියවිණි. මැතිවරණවල ආදායම් - වියදම් පනතට අනුව ජනාධිපති අපේක්ෂකයන් ඉදිරිපත් කළ තොරතුරු සැකයට භාජනය වී ඇත. පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ඒ ආදායම් - වියදම් වාර්තා දිය යුතු අවසාන දිනය වූයේ පසුගිය 06 වැනිදා ය. එදින වන විට ඒ වාර්තා නොදුන් පිරිස 800කට අධික ය. දුන් අයගේත් ප්‍රශ්න තිබෙන බව ආරංචි ය.


අල්ලස් නඩුවලට සිද්ධ වුණු දේ


කෙසේ වෙතත් අර කී අල්ලස් නඩු ඉවත් කරගැනීමේදී ක්‍රම දෙකක් පාවිච්චි කර තිබේ. එකක් නම් නැවත නඩු පැවරිය හැකි පරිදි නඩු ඉවත් කරගැනීමයි. අනෙක නම් නැවත නඩු පැවරිය නොහැකි පරිදි නඩු ඉවත් කර ගැනීමයි. ආන්දෝලනාත්මක විනිසුරුවරයකු නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු කරන කාලයේදී සිදු කළ විදුලිබල නඩුවකට සම්බන්ධ අල්ලස් නඩුවක් කොමිසමෙන් පවරා තිබිණි. ඒ නඩුව ඉවත් කරගෙන ඇත්තේ නැවත පැවරිය නොහැකි වන ආකාරයට ය. කොමිසමේ කොමසාරිස්වරුන් සියල්ලන්ගේ අත්සනින් නැවත පැවරිය හැකි නඩු වුවද, මෙතෙක් විධිමත්ව පවරා නැත.

දූෂණ විරෝධී දිනයෙන් පසු මෙසේ නැවත නොපැවරූ නඩු ලැයිස්තුවක් ආණ්ඩුවෙන් ලබාගෙන ඇත. ඒ ගැන වැඩ සිදුවන්නේ කෙසේද යන්න දැනට දන්නේ නැත. 

නඩු ගැන කතා කළ නිසා තවත් නඩුවක් ගැන කිව යුතුය. ඒ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිදුවීමට අදාළ නඩුවයි. එහි මූලික විමර්ශනවලින් පසු, සියලු විමර්ශන වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට බාරදී දැන් වසර ගණනාවකි. එහෙත් නීතිපති දෙපාර්තමේන්තුව තවමත් එය අධ්‍යයනය කරමින් සිටී. තවමත් විමර්ශන අංශවලට උපදෙස් එවා නැත. මේ ගැන ද ආණ්ඩුව පැත්තෙන් තොරතුරු ඉල්ලා ඇතැයි වාර්තා වේ.


හදිසියේ මතු වූ සීසර්ගේ බිරිඳගේ කතාව


රෝම අධිරාජ්‍යයේ අධිරාජයා වූ සීසර්ගේ බිරිඳ පොම්පෙයාගේ කතාව එන්නේ ක්‍රිස්තු පූර්ව 67 කතාවක් ලෙස ය. සීසර්ගේ බිරිඳ පොම්පෙයා පිළිබඳ යම් සැකයක් ගැන කටකතාවක් පැතිරිණි. කිසිදු සාක්ෂියක් නැති වුවද, විචිකිච්ඡාවක් විය. මේ විචිකිච්ඡාව හේතුවෙන් පමණක් සීසර් ඇය තමන්ගේ බිරිඳ තනතුරෙන් ඉවත් කළේය. 

පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින දෙකේ නීති ක්ෂේත්‍රයේ වැඩියෙන්ම කතා වූ මාතෘකාවක් වූයේ මේ සීසර්ගේ බිරිඳගේ කතාවයි. ඊට හේතු වූයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨත්වයෙන් දෙවැනි විනිසුරුවරයා වන ප්‍රීති පද්මන් සූරසේන ලියූ තීන්දුවක 20 වැනි පිටුවයි. එහි දැක්වුණේ විනිසුරුවරුන් සීසර්ගේ බිරිඳටත් වඩා සැකයක්, විචිකිච්ඡාවක් ඇති නොවන පරිදි කටයුතු කළ යුතු බවකි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කළ නිර්දේශය දෙවරක්ම එම සභාවෙන් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ය, මෙසේ ලබාදී තිබුණේ. 

ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේ රෝමයේ ජීවත් වූ ප්‍රකට කවි ජුවෙනාල්ගේ ලතින් කවියක කොටසක් ද මේ තීන්දුවේ ඇත. එහි සරල අදහස වන්නේ ආරක්ෂකයන් තමන් විසින් ම ආරක්ෂා විය යුතු බවත්, ආරක්ෂකයන් ආරක්ෂා කිරීමට කිසිවකු නැති බවත් ය. මෙය විනිසුරුවරුන්ට පමණක් නොව, සියල්ලන්ට අදාළ කතාවකි. අල්ලස් කොමිසමටත් අදාළ ය. ජාතික ජන බලවේග ආණ්ඩුවටත් අදාළ ය.

මේ කතාව පසුගිය සිකුරාදා උදෑසන ජනාධිපති කාර්යාලයේදී ද ඇදිණි. ජනාධිපතිවරයාගේ සමීප නීතිඥයන් පිරිසක් මේ නඩු තීන්දුව ගැනත් කතා කරමින්, ආණ්ඩුවකට එහි ඇති වැදගත්කම ගැන ටිකක් දිගට කතා කළහ. ජනාධිපතිවරයා ද සියල්ලට ඇහුම්කන් දෙමින් ඒ කතාබහට සුළු වේලාවක් සම්බන්ධ වූ අතර, ඒ සුළු වේලාවෙන් පසුව ජනාධිපතිවරයා වාඩි වී තිබුණේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡාවකට ය.


කතානායකගේ කතාවෙන් එළියට එන අනෙක් කතා


මේ දිනවල මාධ්‍යවල වැඩියෙන්ම කතාබහට ලක්වන කතාවකි, ආචාර්ය උපාධි යනු. ඒ ගැන පරණ කතාවක් ද ලිවිය යුතුය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පරණ උපක්‍රමයක් වූයේ කටකතා යැවීමයි. මෙය දිවංගත මංගල සමරවීර විසින් ද සිදු කර තිබූ බවට ඔහු සමග සිටි පිරිස් සාක්ෂි දරති. වට්සැප් සමූහ වැනි තාක්ෂණික උපක්‍රම නොතිබූ කාලයේ මේ කටකතා සෑහෙන වැඩක් කර තිබිණි. කතානායකවරයාගේ ආචාර්ය උපාධිය ගැන අනිද්දා (17) ඔහු ප්‍රකාශයක් කරන බව පවසා තිබේ. එම නිසා එය මෙහි විසඳීය යුතු නැත. 

ආචාර්ය උපාධි ඇතුළු අනෙකුත් වෘත්තීය සුදුසුකම් ජාතික ජන බලවේග ආණ්ඩුව මැතිවරණ සමයේදී ඉහළට එසවීය. එය ජනතාව පිළිගත්තේය. එම නිසා ජනතාව අතර ඒ පිළිබඳ අවුලක් හැදීමේ සැලැස්මක් ද ක්‍රියාත්මක වී තිබිණි. ඒ අනුව මේ සියල්ලන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබුණේ ඡන්දයට පෙර සිට ය. කතානායකවරයාගේ ප්‍රශ්නය එතැනින් අහුවුණාද කියන්නට දන්නේ නැත. කොහොම වුණත් එහෙම වැඩක් තිබූ බව ලියාතැබීම වටී. හොඳ හොඳ සෙල්ලම් එන්නේ එළිවෙන ජාමෙට ය. එහෙම කියා කිසිවකුට කිසිවකු රැවටීමට අයිතියක් නැත. 

මේ ගැන සමගි ජන බලවේගයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසා තිබූ කතාව මෙසේ ය. 

‘පාර්ලිමේන්තුවෙ හැමෝම තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රසිද්ධ කරන්න ඕනෙ. මම මගේ සුදුසුකම් ප්‍රසිද්ධ කරනවා. අනෙක් හැමෝමත් එහෙම කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.’

සිකුරාදා උදෑසන විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී ද ප්‍රධාන මාතෘකාවක් වූයේ මෙයයි. එහිදී ජනාධිපතිවරයා තම ස්ථාවරය පැහැදිලිව කිව්වේ මෙසේය.

‘වැරදි කරන කිසිවෙක්, කිසිම හේතුවකට ආරක්ෂා කරන්න අපේ ආණ්ඩුව සූදානම් නෑ. අපේ ආණ්ඩුව ඇතුළෙ වුණත්, කවර තරාතිරමක කෙනෙක් වුණත් වැරැද්දක් කරනවා නම් ඒ වැරැද්දට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න අපි පැකිළෙන්නෙ නෑ. ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග නිවැරදි මොහොතේ ගන්න අපි දෙවරක් කල්පනා කරන්නෙ නෑ.’


ස්වාධීන කොමිෂන් ගැනත් අලුත් සාකච්ඡාවක්


මේ ගැන තවත් හොඳ ම කතාවක් කිව්වේ පසුගිය බදාදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයකදී මහාචාර්ය දීපිකා උඩගම ය. ඇය මෙහිදී කතා කළේ ප්‍රජාචාරය හෙවත් සිවික් එඩියුකේෂන් යනුවෙන් භාවිත වන වචනය ගැන ය. ලංකාවේ මේ ප්‍රජාචාරය ඉගැන්වීමේ සීමා ගැනත්, එමගින් උගන්වන අයිතිවාසිකම්, වගකීම්, වගවීම්, සමාජ වටිනාකම් ගැන ඇය කතා කළාය. උපාධි පස්සේ ම නොගොස් අධ්‍යාපනය විධිමත් කරගැනීමේ වැදගතකම් ගැන ඇය මෙහිදී අවධාරණය කළාය.

මේ වැඩේදී ම තවත් වැදගත් දෙයක් එළියට ආවේය. ඒ, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තම කොමිසමේ බලය වැඩිකර ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුව සමග සාකච්ඡාවක් ආරම්භ කර ඇති බවයි, ඒ. දැනට මානව හිමිකම් කොමිසමෙන් ලබාදෙන නිර්දේශ රජයේ ආයතන සමහරක් ඉටු නොකරන බවත්, එම නිසා බලය වැඩිකර ගැනීමේ අවශ්‍යතාව මතුවී ඇති බවත් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති, මානව හිමිකම් කොමිසමේ වර්තමාන කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා කිව්වේය. ලංකාව තියෙන්නේ වෙනම තැනක ය. පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි නොපැවැත්වීම පිළිබඳ නඩු තීන්දුවේදී වරදකරු කරන ලද අයෙකි, මේ නිමල් පුංචිහේවා යනු. 


ආරක්ෂක මණ්ඩල රැස්වීමෙන් පසු කතාව වෙනතක යයි


පසුගිය සතියේ පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී වැඩි අවධානයක් යොමු වූ කරුණක් වූයේ අධ්‍යාපන අමාත්‍යංශය පිහිටි බත්තරමුල්ල, ඉසුරුපාය ඉදිරිපට පැවැති සංවර්ධන නිලධාරීන්ගේ විරෝධතාවයේදී පිහියක් පාවිච්චි කළ පුද්ගලයා කවුද යන්නයි. ඔහු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයකු ය යන කතාවත් සමග මෙය තීරණාත්මක වී තිබිණි. මේ දිනවලම ය, යුද හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ බි්‍රගේඩියර් චන්දික මහතන්තිල එම ධුරයෙන් ඉවත් කෙරුණේ. ආරක්ෂක මණ්ඩල රැස්වීමේ සාකච්ඡාවට අනුව පිහියේ වැඩේ කර තිබුණේ බුද්ධි අංශ සාමාජිකයකු නොවේලු. 

කෙසේ වෙතත් මීට අදාළ ව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වීමේදී පොලිසිය මීට බුද්ධි අංශ සම්බන්ධයක් ඇතැයි කියා තිබූ බව මාධ්‍ය වාර්තා කළේය. එය කිව්වාද, නැද්ද යන්න වෙනම කතාවකි. දැන් ඒ ගැනත් සෘජුවම පොලිස්පතිවරයා යටතේ ඇති පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත. දැන්-දැන් වාර්තා වන ආකාරයට යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් සිටි තැනක සිටි අයකු ය, මේ පිහි වැඩේ කර තිබෙන්නේ. ඔහු සිකුරාදා වන විට අත්අඩංගුවට ගැනීමට ද නියමිතව තිබිණි.


10.30 සිට 1.30ට ගතවූ පැය තුන


සමගි ජන සන්ධානයට පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබුණු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 05කි. එයින් එකක් එම බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ගත්තේය. ඔහුගේ නම ගැසට් කෙරිණි. ඉන්පසු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඩලස් අලහප්පෙරුම ගැන කතා රැසක් තිබිණි. ඒ දෙදෙනා ද මේ ගැන සජිත් ප්‍රේමදාස සජස නායකයා සමග සාකච්ඡා කර තිබිණි. ඒ අතර මනෝ ගනේෂන් වැනි සන්ධානයේ අනෙක් පක්ෂ දිගටම කිව්වේ පොරොන්දු වූ පරිදි අපට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් අත්‍යවශ්‍යයි යනුවෙනි. කෙසේ වෙතත් අවසානයේදී ඊට නඩුවක් ගියේය.

මේ සන්ධානයේ සාමාජිකයකු වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් පසුගියදා කොළඹ දිසා අධිකරණයට පැමිණිල්ලක් ගොනුකර තිබිණි. එහි විත්තිකරු ලෙස නම් කර තිබුණේ රංජිත් මද්දුම බණ්ඩාර ය. මේ පැමිණිල්ල සලකා බැලූ කොළඹ දිසා අධිකරණය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් නිසාම් කාරියප්පර්ගේ නම ඇතුළත් නොකොට සමගි ජන සන්ධානයේ ජාතික ලැයිස්තුව මැතිවරණ කොමිසමට යැවීම වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කළේය. ඒ කියන්නේ හකීම්ට වාසි ය. මද්දුම බණ්ඩාරලාට පාඩු ය.

අධිකරණයෙන් මේ වාරණ නියෝගය දුන්නේ බ්‍රහස්පතින්දා පෙරවරු 10.30ට ආසන්න වෙලාවක ය. රංජිත් මද්දුම බණ්ඩාරලා ලැයිස්තුව මැතිවරණ කොමිසමට යැව්වේ එදින පස්වරු 1.30ට ආසන්න වෙලාවක ය. ඒ ලැයිස්තුවේ නිසාම් කාරියප්පර්ගේ නම තිබිණි. එහෙත් රංජිත් මද්දුම බණ්ඩාර මාධ්‍යයට කිව්වේ ‘අපි කොහොමත් එයාව යවන්න තීරණය කරලා තිබුණෙ’ කියලා ය. ඒත් ඇත්ත කතාව නම් නියෝගයෙන් පසු ඒ වැඩේ කිරීම ය. ඒ අනුව සුජීව සේනසිංහ, මනෝ ගනේෂන්, නිසාම් කාරියප්පර්, මොහොම්මදු ඉස්මයිල් මොහොම්මදු මුත්තු සමග රංජිත් මද්දුම බණ්ඩාර අවසානයේදී සමගි ජන සන්ධානය වෙනුවෙන් දස වැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන ජාතික ලැයිස්තු මන්ත්‍රී කණ්ඩායම වූහ.


රනිල්ගේ සමීපතමයන් පැරදවූ ෆයිසර්


අනෙක් පැත්තෙන් මේ වැඩේට පැටළුණේ සිලින්ඩරයයි. රවී කරුණානායක එහි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස ගැසට් කෙරිණි. ඉන්පසු ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට යවන්නේ කවුද යන්න පිළිබඳ සංවාදයක් විය. ඒ තැනට යන්නට වජිර අබේවර්ධන හිටපු ඇමැතිවරයා ද සෑහෙන උත්සාහයක් දැරුවේය. රනිල්ගේ සමීපතමයන් රැසක් ද වජිර යවන්නැයි කීවද, රනිල් පරණ පුරුදු සිනාමුසු මුහුණෙන්ම සිට ඇත. අවසානයේදී එතැන්ට ගියේ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ය. ඒ කියන්නේ ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපාගේ පුත්‍රයා ය. ෆායිස් මුස්තාපා කියන්නේ යනු හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේත් සමීපතමයෙකි. දැන් ඔහුගේ පුතා රනිල්ගේ සමීපතමයන් අබිබවා පාර්ලිමේන්තු ගොස් ඇත.

කොහොම වුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ෆයිසර් මුස්තාපා පාර්ලිමේන්තු යැවීමෙන් පසු සිලින්ඩරය සමග ඇති සියලු ඇයි-හොඳයිකම් නවත්වන බවයි. ඉදිරි පළාත් පාලන මැතිවරණයට පුටුව ලකුණින් ඉදිරිපත් වීමට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණයක් ගෙන ඇත. පුටුව යනු ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ ලකුණයි. එහි ලේකම්වරයා ලෙස සිටියේ හිටපු අගමැති දි.මු. ජයරත්නයි. දැන් ලසන්ත අලගියවන්න එම තනතුරේ සිටී.


සාගරලා එක පැත්තක - නාමල් තව පැත්තක


කතානායක කතාවත් සමග පොදුජන පෙරමුණ විශ්වාස භංගයක් ගෙන ඒමට සූදානම් වන බව එම පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් පවසද්දී, නාමල් රාජපක්ෂ සිටින්නේ වෙනත් වැඩක ය. ඔහු පසුගිය සති කිහිපය පුරා ම මේ වැඩේ සමග සිටි අතර සිකුරාදා දිනයේ ඔහු තමන්ගේ මේ වැඩේ ගැන එක්ස් පණිවුඩයක් ද තබා තිබිණි.

එහි දැක්වුණේ යුද්ධයේ පීඩාවන් තවදුරටත් ලංකාවේ තරුණයන්ට දැනෙන්නට ඉඩ නොදිය යුතු බවයි. එම නිසා ඉන්දියාවේ සිටින දෙමළ තරුණයන්ට ලංකාවට පැමිණීමටත්, ඔවුන්ගේ පවුල් සමග එක්වීමටත් අවශ්‍ය පහසුකම් සපයන්නට ආණ්ඩුව මැදිහත් විය යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය ඕනෑම සහායක් ආණ්ඩුවට ලබාදීමට තමන් සූදානම් බවත් නාමල් රාජපක්ෂ කියයි. මෙවැනි ප්‍රශ්නවලට මුහුණ පා ඇති උතුරේ දෙමළ තරුණයන් මුණගැසීමට ද නාමල් පසුගිය කාලයේ කටයුතු කර තිබිණි.

එසේ ම ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සමග ද ඒ ගැන සාකච්ඡාවකට නාමල් සහභාගි වී ඇති අතර, නාමල්ගේ සමීපතමයන් පිරිසක් මේ ගැන සොයාබලන්නට ඉන්දියාවට යෑමට සූදානමින් සිටින බවක් ද ආරංචි ය. ඒ කියන්නේ සාගර කාරියවසම්ලා වෙන වැඩක් කරද්දී නාමල් රාජපක්ෂ ඉන්නේ වෙන වැඩක ය.

කෙහෙළියව විශ්වාස කරපු අයට

නාමල් ව අවිශ්වාස වුණේ ඇයි?


දීඝදන්තු 1 හස්තියා මරා දැමිණි. ඒ කනගාටුදායක කතාවෙන් අද මේ තීරය පටන්ගත යුතුය. දීඝදන්තු 1 යනුවෙන් ඔහු හඳූන්වන්නේ දීඝදන්තු 2ත් සිටි නිසා ය. ඔහුත් දැන් නැත. ඌ යනුවෙන් නොව ඔහු යනුවෙන් හඳූන්වන්නේ අලි-ඇතුන් සමග බැඳූණු වෙනම සංස්කෘතියක් ලංකාවට ඇති නිසා ය.

මේ දීඝදන්තු මරාදැමීම නිසා වසරකට ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 900කට වැඩි පාඩුවක් ලංකාවට සිදු වේ. එවැනි ඉලක්කමක් කී විට එය පුදුමයට කරුණක් වේ. ඒත් එය ඇත්ත ය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ, පරිසර අමාත්‍යංශයේ නිලධාරීන්, විෂය බාර දේශපාලනඥයන් සහ පරිසර ක්ෂේත්‍රයේ සක්‍රීය ව වැඩ කරන පිරිසක් මේ ඝාතනය ගැන කළ සාකච්ඡාවකදී මේ ඉලක්කම එළියට ඇවිත් තිබිණි.

ඇතැම් සංචාරකයන් කලාවැව ජාතික වනෝද්‍යානයට එන්නේ ම ඔහු බලන්නට ය. ඇතැම් සංචාරකයන් කලාවැව අවට නවතින්නේ ම ඔහු බලන්නට ය. ඇතැම් සංචාරකයන් ලංකාවට පැමිණීමට පෙර මාර්ගෝපදේශකයන්ට කියන්නේ අනිවාර්යෙන්ම ඔහු බැලිය යුතු බවයි. අහිමි වන්නේ ඒ ආදායමයි. ජනාධිපති අනුර කුමාර දිසානායක ද මේ පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා තිබිණි. එහිදී අලි-මිනිස් ගැටුම අවම කිරීම පිළිබඳ කඩිනම් තීරණ ගැනීමේ වැදගත්කමත්, එම තීරණ හිර වී ඇත්තේ කොතැනද යන්නත් ගැන ජනාධිපතිවරයා දැඩි අවධානයක් යොමුකර තිබිණි.


අනුරගෙයි - රනිල්ගෙයි වෙනස


අනුර ද අලි ගැන දන්නේය. ඔහු තඹුත්තේගම ය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන කාලයේදී වරක් අලි ගැන කතාවක් ඇදුණේය. අලි - මිනිස් ගැටුම විසඳීම සම්බන්ධයෙන් සකස් කළ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව ගැන එහිදී කතා කෙරිණි. මේ සැලැස්ම හැදුවේ ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දුගේ සභාපතිත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් මගිනි. එහි විශ්වවිද්‍යාල ආචාර්යවරු, ක්ෂේත්‍රයේ විශේෂඥයෝ, දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු පරිපාලන නිලධාරීහු, දීර්ඝකාලීන අත්දැකීම් ඇති පර්යේෂකයෝ සිටියහ. රනිල්ට ඒ වෙලාවේ කිව්වේ මේ සැලැස්ම හමස් පෙට්ටියේ නොදමා එය ක්‍රියාත්මක කරන ලෙසයි. ඒ සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පත්කරන ලෙසයි.


රනිල් කියා තිබුණේ කුමක්ද?


‘ඕක පස්සට දාන්න. ඔයිට වඩා මූලිකත්වය දෙන්න ඕනෙ දේවල් තව කොච්චර තියෙනවද?’

ඇත්තටම ඒකෙත් ඇති අසාධාරණයක් නැත. රනිල්ට අලි-මිනිස් ගැටුම අදාළ නොවේ. එහෙත් අනුරට අදාළ ය. අනුරට අදාළ වන්නේත් ඔහු තඹුත්තේගම උපන් නිසා නොවේ. මෙය ලංකාවේ ආර්ථිකයට සෘජුව බලපාන නිසා ය. අනුර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ ගැනත් ඇසූ බවක් ආරංචි ය. ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයට පෙර ඉදිරිපත් කළ මිහිකත පරිසර ප්‍රතිපත්තියේ මේවා ගැන සඳහන් වේ.


අහමඩ්ගේ කතාව


මෙහි තවත් කතාවක් තිබේ. කෙන්යාවට විශාල ආර්ථික වාසියක් නැතහොත් සංචාරක ආදායමක් ගෙනාවේ අහමඩ් ය. සංචාරකයෝ ඔහු බලන්නටම එහි පැමිණියහ. ජාත්‍යන්තර මාධ්‍ය ඔහු ගැන විවිධ වැඩසටහන් කළේය. චිත්‍රපට හැදිණි. අහමඩ් යනු කෙන්යාවේ පමණක් නොව ලෝකයේ ම සිටි විශාලතම දළ යුගලක් හිමිව තිබූ දැවැන්ත අප්‍රිකානු හස්තියා ය. 1919 සිට 1974 දක්වා ජීවත් වූ ඔහුට කෙන්යා රජයේ එවකට ජනාධිපතිවරුන්ගේ නියෝග මත විශේෂ ආරක්ෂාවක් සපයා තිබිණි. එම ආරක්ෂාවත් නිකම්ම එකක් නොවේ. එය තුවක්කුවලින් බේරීමක් පමණක් ද නොවේ. කෙන්යා හමුදාවේ විශේෂ බලකායක අවි ගත් සෙබළුන්, වෙනම වෛද්‍යවරුන් ඔහු වෙනුවෙන් යොදවා තිබිණි. වාර්තාවලට අනුව අහමඩ්ගේ ආරක්ෂාවට එරට රජය වාර්ෂිකව විශාල වියදමක් දරා ඇත. එහෙත් ඒ වියදම මෙන් දහස් ගුණයක ආදායමක් අහමඩ් කෙන්යාවට සොයාදී තිබේ.


දීඝදන්තු සහ එස්.එම්


දීඝදන්තු කතාවේ තවත් පැත්තක් තිබේ. කලා, බළලු වැව් ආශ්‍රිත කලාපයේ ජීවත් වූ මේ හස්තියා ඇතුළු අලි-ඇතුන් පසුගිය කාලයේ දැඩි අර්බුදයකට මුහුණ දුන්නේ දිගටම කලා වැවේ ජලය පුරවා තිබීම නිසා ය. මේ නිසා කාලයකට වැව් පිටියේ සිටින්නට තිබූ අවස්ථාව අහිමි විය. ඔවුන් පටු කැලෑ තීරුවලට කොටු විය. මේ වැඩේට හේතුව වූයේ හිටපු ඇමැති එස්.එම්. චන්ද්‍රසේනගේ වැඩක් බව ආරංචි ය. ඔහුගේ ව්‍යාපෘතියකට අනුව පිහිටවූ කුඩා ජල විදුලි බලාගාර කිහිපයකට අවශ්‍ය ජල අවශ්‍යතාව වෙනුවෙන් ය, මෙසේ වසර පුරා කලා වැව පුරවා තබා ඇත්තේ. වාරි ඉංජිනේරුවන් පවා විරුද්ධ වී ඇතත්, ඒ කාලයේ ඒ වැඩි සිදු වී ඇත්තේ ඒ තාලයට ය.

මේ දීඝදන්තුගෙන් පසු තවත් කනගාටුදායක කතාවක ඇතුළු කතා ටිකක් කියන්නට තිබේ. සාම්ප්‍රදායික දේශපාලන ඕපාදූප වෙනුවට අප මේ තීරයෙන් උත්සාහ කරන්නේ ම දේශපාලනයේ ඇතුළේ රහස්, දේශපාලන සංස්කෘතිය සමග ගැටගැහෙන හැටි කියන්නට ය. මේත් එහෙම කතාවකි.


ෆෙන්ගන් සහ දයා ගමගේ


ෆෙන්ගන් සුළිකුණාටුවත් සමග ඇතිවූ වැස්සෙන් දැවැන්ත විනාශයක් සිදු විය. තවමත් එයින් සිදුවූ දේපොළ හානි කොතෙක් ද යන්න ගණන් බලා නැත. ඒවා හරියට ම ගණන් හදන්නට ද නොහැක. මේ වැස්සෙන් වැඩි ම විනාශයක් සිදු වූ දිස්ත්‍රික්කයකි, අම්පාර. මේ වෙලාවේ වැස්ස වැඩි නිසා ගංවතුර එන එක සාමාන්‍ය දෙයකි. ඒත් ඒ වතුර මුහුදට බහින්නට ඇති පාරවල් අවහිර කිරීම නිසා විනාශය වැඩි විය.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළට ම ආ වාර්තාවක ප්‍රධාන චූදිතයෙක් සිටී. ඒ, හිටපු ඇමැති දයා ගමගේ ය. අම්පාරේ, ධර්මපාල මාවතේ, බුද්ධංගල හන්දියේ, වයිඑම්සීඒ නිවාස සංකීර්ණයේ, මුස්ලිම් පල්ලිය අසල ආදී වශයෙන් මේ සියලු තැන්වල ජලය බසින තැන් අවහිර කර ඇත්තේ දයා ගමගේගේ ව්‍යාපාරයට අදාළ ඉදිකිරීම් නිසා බවක් ඒ වාර්තාවේ සඳහන් කර ඇත. ඉලක්කම් සහිතව තොරතුරු ඇති මේ වාර්තාවට අදාළ නීතිමය පියවර කඩිනමින් ගන්නැයි ඒ ඉහළ ම තැනින් නියෝග ලබාදී තිබෙන බවක් ද ආරංචි ය. එපමණක් නොවේ. ලංකාවේ ම මෙවැනි අවහිර කිරීම් ගැන සොයන්නැයි ජනාධිපතිවරයාගේ පැත්තෙන් අදාළ සියලු රාජ්‍ය ආයතනවලට දැනුම් දී තිබේ.


සැලසුම් ශිල්පීහු පෙරට එති


මොරටුව විශ්වවිද්‍යාලයේ නගර හා ග්‍රාම නිර්මාණ විෂය පිළිබඳ වෙනම අධ්‍යයන දෙපාර්තමේන්තුවක් ඇත. මෙයින් පිටවී, වරලත් සැලසුම් ශිල්පීන් බවට පත්වූ පිරිසක් පසුගිය සතියේ ජනාධිපතිවරයාගෙන් වේලාවක් ඉල්ලා තිබේ. එය තවම ලැබී නැත. එහිදී කතා කරන්නේ මොනවාද යනුවෙන් ඔවුන් දීර්ඝ ලැයිස්තුවක් සකස් කරගෙන සිටී. ඒ අතර ඉහළින්ම ඇත්තේ නගර සැලසුම් සඳහා තමන්ගේ විෂය දැනුම යොදාගන්නා ලෙස කරන ඉල්ලීමකි. සෑම පළාත් පාලන ආයතනයක ම සැලසුම් ශිල්පියෙක් සිටිය යුතු බව පළාත් පාලන ආයතන පනතේ ම දැක්වේ. එහෙත් ඇතැම් තැන්වල ඔවුන් සිටින්නේ ම නමට පමණි. හිටපු ඇමැති පාඨලී චම්පික රණවක එය පිළිවෙලක් කරන්නට, ඔවුන්ගෙන් වැඩක් ගන්නට යම් උත්සාහයක් දැරුවද, එය සාර්ථක වූයේ නැත.


යාපනයේ අලුත් කතාව


රාමලිංගම් චන්ද්‍රසේකර් ධීවර ඇමැතිවරයා දිගටම සිටියේ යාපනයේ ය. ඔහු යාපනයේ වතුරෙන් යටවූ ප්‍රදේශවලට නිතරම ගොස් තිබිණි. නිලධාරීන් සමග පමණක් නොව දෙමළ ජාතික සන්ධානයේ සහ උතුරේ වෙනත් දේශපාලන පක්ෂ ක්‍රියාකාරිකයන්ගේ ද සහාය ඔහු මෙහිදී ලබාගෙන තිබිණි. උතුරේ දේශපාලන පක්ෂ ද වෙනත් කිසි දවසක නැති සහයෝගයක් රාමලිංගම්ට ලබාදී ඇති බවක් ආරංචි ය. යාපනයේ මේ කතාවත් සමග කියන්නට තවත් කතා දෙකක් ද ඇත.

එකක් නම් පොන්නාවෙලි සිමෙන්ති කර්මාන්ත ශාලාව නිසා විපතට පත් ජනතාව බලන්නට ගොස් තිබුණේ රාමලිංගම් පමණි. අනෙක නම් චුන්නාකම් බලාගාරයෙන් ජලය දූෂණය වීමේ අපරාධයට මැදිහත් වී තිබුණේ ද ඒ පැත්තෙන් ය. ඊට අදාළ ව පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ද තිබිණි. ඒ අධිකරණ තීන්දුව ගැනත් යමක් කිව යුතුය. ලංකාවේ මුල් වතාවට දූෂකයා ගෙවීමේ මූලධර්මය තීන්දුවකට ඇතුළත් කර තිබුණේ මේ තීන්දුවේ ය. එය ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවල බහුලව භාවිත වන්නකි.


පොඩි මල්ලි ගිය තාලයට ම යන ලොකු අයියා


ඉන්දියාව ගැන කියපු නිසා ලංකාවේ ක්‍රමයට ඉන්දියාවේ සිදු වූ සිදුවීමක් ගැන කිව යුතුය. ලංකාවේ මන්නාරමේ සුළං බලාගාරය ඇතුළු ආන්දෝලනාත්මක ව්‍යාපෘති කිහිපයක් නිසා නම කියවුණු අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයකට වාර්තාවක් ඉදිරිපත් කර ඇත. එහි ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක දූෂණ සම්බන්ධයෙන් ය.

මේ කියන සිදුවීම වූයේ පසුගිය බ්‍රහස්පතින්දා ය. අදානි සමූහ ව්‍යාපාරයට එරෙහි චෝදනා සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු තුන්වැනි දිනටත් විවාදයක් ඉල්ලූහ. ඒත් මෙතෙක් එය ලැබුණේ නැත. ඒ වෙනුවට බ්‍රහස්පතින්දාත් සිදු වූයේ පාර්ලිමේන්තුව කල්තැබීමයි. ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ මන්ත්‍රී මානික්කම් තාගෝර් කියන්නේ මෙසේ ය.

‘අපිට ඕනෙ මේ ගැන පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක් කරන්න. අදානි ප්‍රශ්නය ගැන අපි අගමැතිතුමාගෙන් දවස් තුනක් පිළිතුරක් ඉල්ලුවා. තවමත් නෑ.’

ගෞතම් අදානි යනු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුවේ කැපීපෙනෙන චරිතයකි. මෝදිගේ සමීපතමයෙකි. මේ අදානි චෝදනා ගැන විවාදයේ කතාවත් සමග ම කරළියට පැමිණි තවත් කතාවක් තිබේ. ඒ කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධිගේ ඉන්දීය පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් එරට අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වීමයි. ඔහු එංගලන්ත පුරවැසියකු බවත්, ඔහුගේ ඉන්දීය පුරවැසිභාවය ප්‍රශ්න සහගත පෙත්සමේ සඳහන් වේ. සිදුවීම් සිදුවන්නේ හරියට ලංකාවේ වගේ ම ය.

‘මේවා ඉතින් ඉන්දියාවෙන.’

එහෙම කියා පාඩුවේ ඉන්නට ලංකාවට හැකියාවක් නැත. ජනාධිපති අනුර කුමාර දිසානායක තමන්ගේ පළමු නිල විදෙස් සංචාරය ලෙස ඉන්දියාවට යන්නට නියමිතව ඇත්තේ දෙසැම්බර් මාසයේ ය. කොටින්ම ලංකාවේ ලොකු අයියා ඉන්දියාවයි. අදානිගේ ව්‍යාපෘති ලංකාවේ ක්‍රියාත්මක ය. තවත් ඒවා එන්නට නියමිත ය. බැසිල් රාජපක්ෂ සහ ඉන්දියාවේ ආණ්ඩු බලය හිමි භාරතීය ජනතා පක්ෂයේ න්‍යායාචාර්යවරුන් වන රාශ්ත්‍රීය ස්වායම් සේවක්සංග්හි නායකයකු වන රාම් මාධව්ගේ සම්බන්ධයත්, රාම් මාධව්ලාගේ අදානි සම්බන්ධත් ප්‍රකට එකකි. බැසිල් රාජපක්ෂ 2020 මාර්තු මාසයේදී ලංකාවේ දිනපතා ඉංග්‍රීසි පුවත්පතක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී කිව්වේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, භාරතීය ජනතා පක්ෂය වගේ කරන්නට තමන්ට අවශ්‍ය බවකි.


සජිත්ට ලැබුණු නොනිල දැනුම්දීම


කනගාටුදායක කතා ඔස්සේ ඉන්දියාවට ගොස් ලංකාවට පැමිණි පසු තවමත් අවසන් ව නැති ජාතික ලැයිස්තු අර්බුදය පෙනෙන්නේය. මේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ප්‍රශ්නය නිසා සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය දෙකඩ වන්නට ඔන්න-මෙන්න ය. එම සන්ධානයේ සාමාජික පක්ෂ නොනිල වශයෙන් එහි නායකත්වයට, එනම් සජිත් ප්‍රේමදාසට දැනුම් දී ඇත්තේ පොරොන්දු වූ පරිදි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබානොදුන්නහොත් පළාත් පාලන මැතිවරණයේදී වෙනම තරග කරන බවයි. මේ දැනුම්දීමෙන් සජිත් සම්පූර්ණයෙන්ම අවුල් වී තිබේ. ඔහු පවසා ඇත්තේ ‘අපි මේක ගැන පුළුල් ව කතා කරමු’ යනුවෙනි.

සමගි ජන සන්ධානයේ සාමාජික පක්ෂ වන්නේ නිදහස ජනතා සභාව, දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයකි. පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔවුන්ට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පහෙන් එකක් සඳහා රංජිත් මද්දුම බණ්ඩාර තමන්ගේ නම මැතිවරණ කොමිසමට යැව්වේය. සන්ධානයේ මහ ලේකම්වරයා ඔහු ය. ඔහුගේ නම ඔහු ම යැව්වා කිව්වේ ඒක ය. ඔහුට මන්ත්‍රී ධුරය ලබාදීම සහ ඒ පත්කිරීම ගැන සන්ධානයේ කිසිදු පක්ෂයක් ප්‍රශ්න කර නැත. එය සියල්ලන් එක්ව ගත් තීරණයකි.

දැන් ප්‍රශ්නය ඇත්තේ ඉතිරි මන්ත්‍රී ධුර හතර ගැන ය. සජිත් ගැටලුවකට මැදිව ඇත්තේ සන්ධානයේ පක්ෂවලට දුන් පොරොන්දුත්, මැතිවරණයෙන් පරාජයට පත්වූ ඔහුගේ සමීපතමයන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්නට දැඟලීමත් නිසා ය. සමගි ජන සන්ධානයේ ජාතික ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයේ සිට පස්වැනි ස්ථානය දක්වා සිටියේ නිදහස ජනතා සභාවේ ඩලස් අලහප්පෙරුම, දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ සාගරන් විජයාන්ද්‍රිරන් සහ මුස්ලිම් කොංග්‍රසයේ නිෂාම් කාරියප්පර් ය. ලැයිස්තුවේ දෙවැනියා ලෙස සිටින්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් ය.

මේ ප්‍රශ්නය ඔඩුදුවන්නට තවත් හේතුවක් බලපා තිබේ. ඒ 2020 පාර්ලිමේන්තු මැතිවරණයයි. එම මැතිවරණයේදී ද සමගි ජන බලවේගය තරග කළේ සන්ධානයක් ලෙස ය. එහිදී ද මේ ආකාරයට ම පොරොන්දු වූ පරිදි සන්ධානයේ අනෙකුත් පක්ෂවලට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබානොදීමත්, එහි ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගයේ පරාජිත අපේක්ෂකයන්ට එම මන්ත්‍රී ධුර ලබාදීමත් දැඩි විවේචනයට ලක් විය.


රනිල්ගේ මද සිනහව


එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ප්‍රශ්නය ද තවමත් විසඳී නැත. රවී කරුණානායක හිටපු මුදල් ඇමැතිවරයාගේ නම යැවීමට මුලදී රනිල් වික්‍රමසිංහ ද විරුද්ධ විය. එහෙත් ආරංචියේ හැටියට දැන් ඒ තත්ත්වය වෙනස් වී තිබේ. ඊට දිගටම විරුද්ධ වූ අසාද් සාලිලා රනිල් හමු වූ අවස්ථාවේ මුලදී මෙන් රවීගේ පත්වීමට විරෝධය දැක්වීමට රනිල් කටයුතු කර නැත. ඒ වෙනුවට රනිල් පුරුදු විදිහට සිට ඇත. එනම් නිහඬව මද සිනහවකින් සිටීමයි.


පුංචි ඡන්දය කට උඩ - දැනගත යුතු කතාවක්


පළාත් පාලන මැතිවරණය ලබන වසර මුලදී පැවැත්වීමට නියමිත ය. මීට පෙර පැවැත්වුණේ 2018 පෙබරවාරි පළාත් පාලන මැතිවරණයයි. එම මැතිවරණයේදී විපක්ෂයේ සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළේය. ඒ මැතිවරණයෙන් පසු තවත් විශේෂ සිදුවීමක් සිදු විය. එය කියන්නේ අප නොවේ. එවකට හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ය. ඔහු එය කියනවා පමණක් නොව ඔහුගේ අලුත් පොතේ ලියා ඇත. 

2018 පෙබරවාරි මැතිවරණයෙන් පසු මාර්තු මාසයේදී මහින්ද රාජපක්ෂ අගමැති කිරීමේ උත්සාහයයි, ඒ. යහපාලන ආණ්ඩුවේ අගමැති වූ රනිල් ඉවත් කොට මහින්ද අගමැති කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් ඓතිහාසික තීන්දු සිදුවූයේ 2018 ඔක්තෝබර් 26 සහ නොවැම්බර් අවසානය අතර ය. එහෙත් ඔස්ටින් කියන විදිහට මේ උත්සාහය මුලින්ම ක්‍රියාත්මක වී ඇත්තේ 2018 මාර්තුවේදී සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු හිටපු ඇමැතිවරුන්ගේ මූලිකත්වයෙනි. එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද මේ සුසිල්ලාගේ වැඩේට එකඟ වී ඇත. එහෙත් ඔස්ටින් ද ඇතුළු ව මෛත්‍රීට සමීපව සිටි නීතිඥයන් පිරිසක් ඊට විරුද්ධ වී තිබේ. ඒ විරෝධතාව නිසා ඒ වෙලාවේ වැඩේ නැවතී ඇත.


නලින්ද වැඩ බාරගත් දවසේ සිදු වූ දේ


ජුලම්පිටියේ අමරේගේ මරණ දඬුවම පසුගිය සතියේ අභියාචනාධිකරණයෙන් ස්ථිර කළේය.

‘අමරේ, මම මහින්ද ඇවිත් ඉන්නේ.’

මේක ප්‍රසිද්ධ කතාවකි. තංගල්ල බන්ධනාගාරයට ගිය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කියපු කතාවකි. අමරේට මරණ දඬුවම හිමි වූයේ 2012 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස කතා කරමින් සිටි රැස්වීමකට වෙඩි තබා පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිදුවීමටයි. අභියාචනාධිකරණ තීන්දුවේ 06 වැනි පිටුවේ දෙවැනි ඡේදයේ මෙසේ දැක්වේ.

‘මම තමයි යකෝ මැදමුලනේ වලව්වේ දඩ බල්ලා. තොපි පුළුවන් නම් වරෙව්. කවුද මේක සංවිධානය කරපු එවුන්.’

නලින්ද ජයතිස්ස රැස්වීමේ කතා කරමින් සිටියදී ඔහු එසේ තර්ජනය කර ඇත. ඒ නලින්ද ජයතිස්ස අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැති ධුරයේ වැඩ බාරගත් දවසේ ම අමරේගේ මරණ දඬුවම ද ස්ථිර විය. 


නාමල්ව විශ්වාස ද?


ලියන්ට ආවේ වෙනත් කතාවකි. අමරේගේ මරණ දඬුවම පිළිබඳ කාරණය පොදුජන පෙරමුණේ පසුගිය සතියේ මාතෘකාවක් වී තිබිණි. සමීපතමයන් කිහිපදෙනෙක් නාමල් රාජපක්ෂගෙන් මේ පිළිබඳව විමසා තිබිණි. නාමල් ඔවුන්ට පැහැදිලි පිළිතුරක් දී ඇත. එහි සරල අදහස වී ඇත්තේ ‘පරණ කතා තියෙන්න පුළුවන්, ඒත් නීතියට අපි ගරු කරනවා, මේවා ඔක්කොම වෙනස්වෙන්න ඕනෙ’ යනුවෙනි. ලංකාවේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් බලාපොරොත්තුවෙන් ජනතාව ඉදිරියට පැමිණ ඇති අවස්ථාවක නාමල්ලා එසේ සිතීමත් වැදගත් ය.

කෙසේ වෙතත් කෙහෙළිය රඹුක්වැල්ලගේ බාල ඖෂධ කැබිනට් පත්‍රිකාව පිළිබඳව ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ එවකට කැබිනට් මණ්ඩලයේ සිටි ඇමැතිවරුන්ගෙන් බහුතරය ඒ ගැන අහද්දී පවසා ඇත්තේ ‘අපි කෙහෙළියව විශ්වාස කළා’ යනුවෙනි. ඒ පිරිසෙන් බහුතරයක් නාමල් සමග නැත.

එක්සත් ජාතීන් සහ ලෝක බැංකුව සමග

ජාජබ කළ රහස් සාකච්ඡාවල තොරතුරු එළියට !


එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක බැංකුව සමග නිල නොවන සාකච්ඡා වටයක් ජාතික ජන බලවේගයට සමීප පාර්ශ්ව ආරම්භ කර තිබුණු බව කියන්නේ මීට සෑහෙන දවසකට පෙර ය. ඒ සාකච්ඡා නිල නොවන ඒවා කිව්වාට මේවාට සම්බන්ධ වී තිබුණේ නිල පාර්ශ්ව ය. ආරංචි විදිහට මේ එකදු සාකච්ඡාවක හෝ ඉලක්කය වී තිබුණේ සෘජු ව ආර්ථිකය ගොඩගැනීමක් නොවේ. ඊට වෙනස් එකකි.

ලංකාවෙන් පිට ගොඩගැසූ මුදල් නැවත ලංකාවට ගෙන ඒම මෙහි අරමුණ විය. එය පිළිවෙලකට කියන්නේ නම් සොරකම් කරන ලද වත්කම් නැවත අයකර ගැනීමට මුල පිරීම මේ සාකච්ඡාවලදී සිදු වී ඇත. දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියෙන් මෙහිදී වැඩ ගොඩක් ගත හැකිය. ලෝකයේ රටවල්වලින් අති බහුතරයක් අත්සන් කර ඇති එම සම්මුතියේ මූලික ම අරමුණක් වන්නේ වත්කම් ප්‍රතිසාධනය කිරීමයි. ඒ කියන්නේ වත්කම් නැවත අයකරගැනීම සහ දූෂණය වැලැක්වීමයි. 

ඊළඟට අවධානය යොමුකර තිබුණේ මූල්‍ය ක්‍රියාකාරී කාර්යසාධක බලකාය වෙතයි. මේ බලකාය ගැන මෑතකදී ලෝකයේ අවධානය යොමු වූ කරුණක් වූයේ 2023 වසර මුලදී ඔවුන් රුසියාවේ සාමාජිකත්වය අත්හිටුවීම නිසයි. ඊට හේතු වූයේ ද මූල්‍ය ගනුදෙනු පිළිබඳ ප්‍රශ්නයකි.

මේ බලකාය ආරම්භ කරන ලද්දේ 1989 වසරේදී ය. ජී-7 රටවල දූෂණය වැලැක්වීම මේ බලකාය ආරම්භයේ ඉලක්කය විය. පසුව යුරෝපා කොමිසම සමග ද එය සම්බන්ධ විය. ඉන්පසු සාමාජික රටවල් විවෘත ආර්ථික සම්මුතියට අත්සන් කරන ලදි. ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ කළු සල්ලි ගනුදෙනු, ඒ සඳහා භාවිත කරන තාක්ෂණික ක්‍රම, ඒවා පාලනය කරන්නේ කෙසේද, ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ඒ සඳහා දැනුම හුවමාරු කරගන්නා ආකාරය යනාදී වශයෙන් වගකීම් රැසක් මේ බලකාය දරයි. 2001 වසරේ සිට ඔවුහු ත්‍රස්තවාදීන්ට අරමුදල සපයන ආකාර සහ ක්‍රම සම්බන්ධයෙන් ද ගවේෂණය කරති.

මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය, ලෝක බැංකුව යටතේ ඇති සොරකම් කරන ලද වත්කම් නැවත ලබාගැනීම සඳහා මුලපිරීමේ අංශය සමග ද කටයුතු කිරීම ජාතික ජන බලවේගය අරඹා තිබිණි. මේ සාකච්ඡා යන අතර ය, ඔවුන්ගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළදැක්වූයේ. එහි මේ සොරකම් කරන ලද වත්කම් අයකර ගැනීම පිළිබඳව පැහැදිලිව සඳහන් විය.


මොනවා වුණත් නීතියේ හිඩැස් 


පාර්ලිමේන්තු මැතිවරණයත් සමග ආණ්ඩුවේ මූලික කටයුතු පිළිබඳව පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳ වැඩ අවධානයක් යොමුකර තිබිණි. එහිදී නීතිඥයන්ගේ පැත්තෙන් මතු කර තිබුණේ මේ සඳහා ලෝකයේ සහයෝගය ලබාගැනීම සම්බන්ධයෙන් දැනටමත් වැඩ ආරම්භ කර තිබුණත් බරපතළ ගැටලුවක් තවමත් ඉතිරි ව ඇති බවයි. එනම් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ප්‍රමාණවත් නීති ලංකාවේ නොමැතිවීමයි. එම නිසා කඩිනමින් එම නීති සකස් කිරීමේ වැදගත්කම අවධාරණය කර ඇත.

එහි වගකීම දරන්නේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර ය. එහි අනෙක් පැත්තේ වගකීම දරන්නේ මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල ය. ආනන්ද විජේපාල ගැනත් ලියන්නට දෙයක් තිබේ. ඔහු රැකියා ජීවිතය ආරම්භ කර ඇත්තේ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස ය. ටික කාලයකට පසු පුනරුත්ථාපන සේවයට එක්වී ඇති ඔහු, එහි අධ්‍යක්ෂ ජනරාල් ධුරය දක්වා ගොස් ඇත. ක්ෂේත්‍රයේ කියන්නේ මේ වැඩේට දෙන්නා තකට-තක කියා ය. 


එෆ්සීඅයිඩියක් ඕනෙම නෑ


යහපාලන ආණ්ඩුව පැවැති 2015 - 2019 කාලයේ පැවැති පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය යළිත් බලාත්මක කරන්නේද යන්න පිළිබඳව ද ආණ්ඩුව ඇතුළේ සාකච්ඡාවක් ආරම්භ වී තිබේ. එහෙත් ආරංචිවල හැටියට එය නැවත පණගන්වන්නේ නැත. ඒ සම්බන්ධයෙන් පසුගිය කාලයේ සමාජයේ තිබුණේ ද එතරම් හොඳ අදහසක් නොවේ. එහි ප්‍රධානීන් ලෙස කටයුතු කළ පිරිස් මූල්‍ය අපරාධ විමර්ශනය පසෙක තබා, ඒවාට සම්බන්ධ සමාගම්වලින් අල්ලස් ලෙස විවිධ තනතුරු ගැනීම ගැන කොළඹ - කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට නිල වශයෙන් පවා තොරතුරු වාර්තා කෙරිණි. එම නිසා නැවත එෆ්සීඅයිඩිය පණගන්වනවාට වඩා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ වෙනම මේ විමර්ශන පවත්වාගෙන යෑම වඩාත් සුදුසු බව තීරණය කර ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වන්නේ ද ඊට ගැළපෙන අයෙකි. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ව දීර්ඝ කාලයක් සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න ය. ආන්දෝලනයට තුඩු දුන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ද දැන් නැවත සේවයේ ය. ඒ, කැබිනට් මණ්ඩලයේ විශේෂ අනුමැතියකිනි. ඊට ජාතික පොලිස් කොමිෂන් සභාවේ ද අනුමැතිය ලැබී තිබේ. පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ සහ බුද්ධි දිසාවේ අධ්‍යක්ෂවරයා ලෙස දැන් සිටින්නේ ඔහු ය. පසුගිය සතියේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නව ඇමැතිවරයා වැඩ බාරගැනීමේ උත්සවයට මේ ශානි පැමිණ සිටියේ නිල ඇඳූමෙන් ය. එය සමාජයේ සෑහෙන කතාබහට ලක්වූ මාතෘකාවක් විය. සාමාන්‍යයෙන් ඔහු වැඩියෙන් සිටින්නේ සිවිල් ඇඳූමෙන් ය. 


සිලින්ඩරය පුපුරා ගිය හැටි


අපරාධ විමර්ශනයට, සොරකම් කරන ලද වත්කම් නැවත අත්පත් කරගැනීමට, කෘෂිකර්මයට මූලිකත්වය දෙන්නට ආණ්ඩුව සැලසුම් කරන විට ජාතික ලැයිස්තු හොරකම් ගැන කතාවලින් මාධ්‍ය පිරීගියේය. ඒ, වැඩේට අත තබා තිබුණේ හිටපු ආන්දෝලනාත්මක ඇමැති රවී කරුණානායක ය. ආන්දෝලනාත්මක ඇමැති කියා ලිව්වේ ඔහු ගැන හැමදාම අලුත් පුවත් ඇති නිසා ය. බැඳූම්කර කොමිසමේදී දුරකතන පණිවුඩ කතාබහක් එළියට ආවේය. ඔහු එම පණිවුඩ යවා තිබුණේ ආර්කේ නමිනි. 

ආරංචිවල හැටියට පසුගිය සතියේ මතුවූ සිලින්ඩරයේ ජාතික ලැයිස්තු ගැටලුව ගැන විමසූ අයට ද රවී පිළිතුරු යවා තිබුණේ ආර්කේ යනුවෙන් පණිවුඩය අවසානයේ සඳහන් කරමිනි. ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ ඡන්දය ඉල්ලූ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හෙවත් සිලින්ඩරයට පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර දෙකක් ලැබිණි. පෙරමුණේ කාටවත් නොකියා පක්ෂයේ ලේකම් මගින් රවී කරුණානායක තමන්ගේ නම මැතිවරණ කොමිසමට යවා තිබිණි. ඒ ගැන පක්ෂය ඇතුළෙන්, පිටින්, හැමතැනින්ම විවේචන ආවත්, මැතිවරණ කොමිසමෙන් රවීගේ නම ගැසට් කළේය. ඊට හේතුව බලය තියෙන්නේ ලේකම් අතේ වීම නිසා ය. 

මේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකට කාංචන විජේසේකර සමග තවත් තරුණයෙක් යවන්නටත්, රනිල්ගේ යෝජනාවක් ලෙස සාගල රත්නායක සහ තවත් අයෙක් යවන්නටත් ආදී වශයෙන් සාකච්ඡා රැසක් විය. මේ අතර අසාද් සාලි කියන්නේ සිලින්ඩරයට ලැබුණු ඡන්දවලින් සැලකිය යුතු මට්ටමකට තමන්ගේ පක්ෂයේ මැදිහත්වීමත් ඇති බවයි. ඒත් ඔහු අපිව යවන්නැයි කියන්නේ නැත. අපෙන් හැමදේම අහන්නැයි කියයි.


සජබයේ ගැටුම උග්‍ර වෙයි


මේ ගැටලුව ඇති තවත් තැනකි, සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව. සමගි ජන බලවේගයට පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පහක් ලැබිණි. එයින් දැනට ගැසට් කර ඇත්තේ එකක් පමණි. ඒ, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගේ නමයි. ඒ නම ලේකම්වරයාගේ ම මැදිහත්වීමෙන් යවා තිබුණත්, ඊට පක්ෂය ඇතුළෙන් හෝ පිටින් හෝ විරෝධයක් පැමිණ නැත. ඊට හේතු වී තිබුණේ රංජිත්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය දෙන්නට මුල සිටම සියල්ලන් අතර පැවැති එකඟතාවකි.

එහෙත් දැන් ඉතිරි මන්ත්‍රී ධුර හතර ප්‍රශ්නයකි. කාන්තා නියෝජනයකට අවස්ථාවක් දෙන්නේ නම්, තමන්ට මන්ත්‍රී ධුරයක් අවශ්‍ය බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියයි. ඩලස් අලහප්පෙරුමගේ පැත්තෙන් ඒ මන්ත්‍රී ධුරයක් තමන්ට අවශ්‍ය බව කියයි. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයකු ලෙස ඡන්දයෙන් පත්වුවද, ඔහු ද කියන්නේ තමන්ගේ පැත්තටත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් අවශ්‍ය බවයි. මනෝ ගනේෂන් පාර්ශ්වය මුල සිටම කිව්වේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස තමන්ට පොරොන්දුවක් ලබාදී තිබූ බවයි. කොහොම වුණත් තවමත් තීරණය වැට උඩ ය. පසුගිය සති අන්තයේ වාර්තා වූයේ සජිත් ප්‍රේමදාස මෙහි දී නිශ්ක්‍රීය චරිතයක් ලෙස කටයුතු කරමින් සිටින බවයි.

දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය පැවැති පසුගිය 21 වැනිදාට පෙර දින දෙකේදී විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් ද යම් කතාබහක් මතු විය. සජිත් වෙනුවට කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්දයෙන් තේරීපත්වූ හර්ෂ ද සිල්වාට එම වගකීම පැවරිය යුතු යැයි යනුවෙන් යෝජනාවක් පැමිණ තිබිණි. එහෙත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් බහුතරයකගේ අදහස වී තිබුණේ සජිත් විපක්ෂ නායක ධුරයෙන් ඉවත් නොකළ යුතු බවයි. එසේ වුවහොත් එය ලබන වසර මුලදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයට විශාල බලපෑමක් වනු ඇතැයි ඔවුන් පෙන්වා දී ඇත. මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදී හර්ෂ ද සිල්වා ද පවසා ඇතැයි කියන්නේ තමන් කඩිමුඩියේ එම ධුරය බාරගැනීම ගැටලුවක් වනු ඇති බවයි.

අනෙක් ගැටලුව ඇත්තේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සම්බන්ධයෙන් ය. ඊට පත්කරන්නේ කවුද යන්න ද තවමත් සංවාදයකි. ඒ ගැටලුව ලිහාගන්නට  බැරිවී ඇත්තේතේ සමගි ජන බලවේගයේ ඇති තරුණ - ජ්‍යෙෂ්ඨ ඝට්ටනය නිසා ය.


දකුණ මොකද, උතුරත් එහෙමයි


දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට ජනාධිපති නීතිඥ සුමන්තිරන්ගේ නම යෝජනා විය. පුරුදු නම දෙමළ ජාතික සන්ධානය වූවද, ඇත්තටම මෙවර ඔවුන් ඡන්දයට ආවේ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයෙනි. ජාතික ජන බලවේගය උතුරේ ජනතාවගේ කැමැත්ත දිනාගන්නට ඒකත් හේතුවක් විය. පසුගිය කාලය පුරා ම ඔවුහු දෙපැත්තට අදිමින් බලය වෙනුවෙන් ඇණකොටා ගත්හ. අවසානයේදී දෙමළ ජාතික සන්ධානය විසිරිණි.

ඉන්පසු ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ගැටලුවක් ආවේය. නායකත්වය පිළිබඳ නඩුවක් ද ආවේය. සුමන්තිරන් පරාජය විය. ශ්‍රීධරන් දිනුවේය. මේ ගැටුම් අස්සේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සුමන්තිරන්ට දීමේ යෝජනාව පැමිණ තිබුණේ යාපනයේ නීතිඥ ප්‍රජාවගෙන් ය. එම නීතිඥ ප්‍රජාවගෙන් මෙන්ම කොළඹ නීතිඥ ප්‍රජාව ද සුමන්තිරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිටිය යුතුය යන ස්ථාවරයේ විය.

එහෙත් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සංවිධායකවරුන් බහුතරයකගේ ස්ථාවරය එය නොවීය. ඔවුන්ට සුමන්තිරන් යනු දුරස් අයෙකි. තමන්ගේ නම යෝජනා වූ බව දැනගත් පසු මුලදී සුමන්තිරන් සිටියේ නිහඬ ස්ථාවරයක ය. එහෙත් පසුව පක්ෂය ඇතුළේ විරෝධයක් ඇති බව දැනගත් ඔහු, තමන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන්නට සූදානම් නැති බව ප්‍රසිද්ධියේ කිව්වේය. කෙසේ වෙතත් සියල්ලන්ම පිළිගන්නා ආකාරයට සුමන්තිරන් යනු පාර්ලිමේන්තුවේදී එක් නිශ්චිත එල්ලයක් ඔස්සේ කරුණු ගොනුකරමින් කතා කරන්නට දක්ෂයෙකි.


පොලිසිය ඇතුළේ තවත් පොලිසියක්


පොලිසිය පිළිබඳව මේ දිනවල ඇත්තේ තරමක් හොඳ නමකි. නීතිවිරෝධී වැඩ කළ බවට චෝදනා එල්ල වූ පොලිස් නිලධාරීන් 218 දෙනකුගේ වැඩ තහනම් කර තිබේ. වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය උපදෙස් දී ඇත්තේ නීතිය හරියට ක්‍රියාත්මක කරන ලෙසයි. කොච්චිකඩේ පොලිසියේ ස්ථානාධිපතිවරයා කොළඹ උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගත්තේ හිටපු ඇමැති නිමල් ලංසා වෙනුවෙන් මැතිවරණ නීති උල්ලංඝනය කරන්නැයි පොලිසියට උපදෙස් දුන් නිසා ය. එය ඇත්තටම උපදෙස් නොවේ. තර්ජනයකි. මේ පිළිබඳව තර්ජනයට ලක්වූ උප පොලිස් පරීක්ෂකවරයා මැතිවරණ කොමිසමටත්, පොලිසියේ මැතිවරණ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිටටත් පැමිණිලි කළේය.

හොඳම කතාව එය නොවේ. නිමල් ලංසා මේ පොලිස් ස්ථානාධිපතිවරයා ගැන සොයාබලාවත් නැති බවක් ආරංචි ය. ඒ ගැන ඔහුගේ මිතුරන් සිටින්නේ දැඩි කළකිරීමෙන් ය. ඒ මිතුරන් අතර ලංසාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයෙක් ද සිටී. ඔහු ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයෙන් ම ඉවත් වීමට ඉල්ලීමක් කර ඇත. 

කියන්නට ආවේ එය නොවේ. පොලිසිය ඇතුළේ මේ සිදු වන දේ පිළිබඳව වෙනත් කතාවක් ද තිබේ. ඒ පොලිසියේ ම කොටසක් මීට එරෙහිව වැඩ කරමින් සිටින බව ය. ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ පොලිසිය තිබුණු ආකාරයෙන් ම පවත්වාගෙන යෑමයි. එහිදී චෝදනාවලට ලක්වන පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කෙරෙන්නේ නැත. ඔවුන් අත්අඩංගුවට ගැනෙන්නේ නැත. පසුගිය දවස් 28ට අත්තනෝමතික ලෙස වැඩ කළ පොලිස් නිලධාරීන් 15 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. 

නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් කිහිපදෙනකු එක්ව මේ පිළිබඳ සාකච්ඡා කිහිපයක් පවත්වා තිබේ. ඒ සාකච්ඡාවලට විශේෂ උපදෙස් සපයා ඇතැයි කියන්නේ පසුගිය කාලයේ කතාබහට ලක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. හොඳම දේ කියන්නේ මේ ගැන හැරෙන තැපෑලෙන් වැඩ බලන පොලිස්පතිවරයාටත්, මහජන ආරක්ෂක අමාත්‍යංශයටත් ආරංචි වී තිබීමයි. තවත් කාරණයකි. ඒ පොලිසියටත්, නීතිපති දෙපාර්තමේන්තුවටත් අදාළ එකකි. පොලිසියෙන් විමර්ශන අවසන් කර, නීතිපති දෙපාර්තමේන්තුවට යවා තිබූ විමර්ශන ලිපිගොනු රැසකට අතවත් තියා නැති බව හෙළි වී තිබේ. ඒවාගේ ඇත්තේ අධිචෝදනා ගොනුකිරීමට පමණි.


හුදෙකලා නොවූ ජනප්‍රිය චරිත


පාර්ලිමේන්තු සභාවාරයෙන් පසු තේ සාදයේදී සියල්ලන්ගේ අවදානය යොමු වූයේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙත ය. ඔහු සියල්ලන් සමග සුහදව කටයුතු කළ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක ඔහුට සුබ පතන ආකාරය ද දැකිය හැකි විය. රෝහිත අබේගුණවර්ධන සහ චාමර සම්පත් දසනායක ද එදින තේ සාදයේ කතා නායකයෝ වූහ. ඊට හේතු වූයේ සමාජ මාධ්‍යයෙන් මතුවූ සංවාදයයි. 

මෙහිදී ජාතික ජන බලවේගයේ බොහෝ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් ඔවුන් දෙදෙනා වෙත ගොස් කතා කරනු දැකිය හැකි විය. ඔවුන් දෙදෙනා මුලින් සිටියේ තරමක් හුදෙකලාව ය. ඉන්පසු වැඩියෙන්ම පිරිස සිටියේ ඔවුන් දෙදෙනා සිටි තැන ය. පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ කිරීමේ අවස්ථාව චාම් සහ අඩු වියදම් වැඩක් විය. තේ සාදය සුපුරුදු පරිදි පැවැති අතර, ඊට සියල්ලන්ම සහභාගි වීම ද විශේෂත්වයකි. මීට පෙර ඇතැම් අවස්ථාවලදී මේ තේ සාදය සමහර මන්ත්‍රීවරු මගහැරියහ. 

‘ආණ්ඩු බලය එපා කියන ඡන්දයක් ආවමයි’


අමිත් ෂා යනු ඉන්දීය රජයේ ප්‍රබල චරිතයකි. අගමැති නරේන්ද්‍ර මෝදිගේ සමීපතමයෙකි. මෝදිගේ තුන්වැනි ධුර කාලයේදී මෙන්ම මීට පෙර ධුර කාල දෙකේදී ම ෂා කැපීපෙනෙන චරිතයක් විය.

මෝදි දැන් අමිත් ෂා නිසා හිරවී සිටී. උණු හින්දා බොන්නත් බෑ, කැඳ හින්දා අහකදාන්නත් බෑ ජාතියේ වැඩක් නම්, මෝදි මේ වෙලාවේ අනිවාර්යෙන්ම මුල් එක තෝරාගන්නේය. අහකදාන්නේ ය. ඒත් මේ ෂා ය. ෂා යනු දැඩි හින්දු භක්තිකයෙකි. භාරතීය ජනතා පක්ෂයේ කොඳූ නාරටිය වන රාෂ්ත්‍රීය ස්වායම් සේවක් සංග් හි ප්‍රබලයෙකි. භාරතීය ජනතා පක්ෂයේ ජාතික මහ ලේකම් වාරානසී රාම් මාධව්ගේ ගජයෙකි. මේ විදිහට ෂා ව හැඳීන්වූයේ ඔහු ඉන්දීය ආණ්ඩුවේ තීරණාත්මක චරිතයක් බව පැහැදිලි කරන්නට ය.

ඔහු දැන් එරට ස්වදේශ කටයුතු ඇමැතිවරයා ය. ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාව වන්නේ කැනඩාවේ ජීවත් වන ඉන්දීය සික් ජාතිකයන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණවලට සම්බන්ධවීමයි. හර්දීප් සිං නිජ්ජාර් නම් කැනඩාවේ සිටි සික් බෙදුම්වාදී නායකයා ඝාතනය කිරීම මෙහි තීරණාත්මක සිද්ධියක් විය. කැනඩාවෙන් පිටට මේ ඝාතන කතාව ගියේය. වොෂින්ටන් පෝස්ට් පුවත්පත කෙලින්ම කියා තිබුණේ මේ පිටුපස අමිත් ෂා සිටින බවකි. මෙසේ වැඩේ අවුල් වන විට ඉන්දියාව කිසිවක් නොකියා නිහඬව ම සිටියේය.

ඒ අතර රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඉවත් කර ගැනීම් වැනි අභ්‍යන්තර දේ ද සිදු විය. අවසානයේදී ඉන්දියාව ද එළිපිට වැඩි පටන්ගත්තේය. ඉන්දියාව පැවසුවේ මේ ඝාතනවලට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් විදෙස් මාධ්‍ය පවසා තිබුණේ අමිත් ෂා වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනීසිටින්නට මෝදි තීරණය කර ඇති බවයි. මේ සිදුවීම්වලින් පසු ඉන්දියාව සික් බෙදුම්වාදීන් ත්‍රස්තවාදීන් ලෙස හැඳීන්වීමට ද පටන් ගත්තේය. 


ඉන්දියාව තීරණාත්මක තැනක


දැන් වැඩේ ඇත්තේ තීරණාත්මක තැනක ය. අමිත් ෂාගෙන් වැඩේ සමස්ත භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව අතට ගෙන තිබේ. දේශපාලන විචාරකයන් කියන්නේ භාරතීය ජනතා පක්ෂයේ ආණ්ඩු කිරීමේ අවසානය මේ සිදුවීම් ජාලයෙන් ආරම්භ වනු ඇති බවයි. සික් බෙදුම්වාදීන් යුරෝපයේ රටවල් ගණනාවක සිය ආධිපත්‍යය විහිදුවමින් සිටී.

ඛලිස්තානය නමින් ස්වාධීන නිජබිමක් ඉල්ලා සික් බෙදුම්වාදීන් අරගල කිරීම ඇරඹුවේ අසූව දශකයේ මුල ය. අසූව - අනූව දශකයේදී මේ පිළිබඳව ඇති වූ කැරැල්ලකින් පුද්ගලයෝ දහස් ගණනක් මියගියහ. අද දක්වා ම බලපාන තීරණාත්මක සිදුවීමක් ද සිදුවූයේ මේ අතර ය.

ඒ ඉන්දිරා ගාන්ධි ඝාතනයයි. වරක් සික් බෙදුම්වාදීන් පළවාහැරීම සඳහා ශුද්ධ වූ සික් කෝවිලකට පහර දෙන ලෙස එවකට ඉන්දීය අගමැති ඉන්දිරා ගාන්ධි නියෝග කළාය. එම නියෝගයෙන් පසු ඇයගේ ආරක්ෂාවට සිටි සික් ජාතිකයන් විසින් ම අගමැතිවයරි ඝාතනය කෙරිණි.


එකකට - එකක් සම්බන්ධ කතා පෙළක්


මේ සිදුවීම් හුදෙකලා නැත. සික් බෙදුම්වාදීන් ලෝකය පුරා ත්‍රස්ත සංවිධාන සමග සම්බන්ධතා පවත්වන බව ඉන්දීය ආරක්ෂක අංශ පසුගිය කාලයේ පවසා තිබිණි. ඉන්දීය රහස් ඔත්තු සේවය වන රෝ සංවිධානය තීරණාත්මක ලෙස සික් බෙදුම්වාදීන් පසුපස හඹායන බව ප්‍රකට කරුණකි. ඒ අතර ය, ඊශ්‍රායල් සංචාරකයන් පිළිබඳ ප්‍රශ්නයක් ලංකාවෙන් මතුවූයේ. 

මේ සම්බන්ධයෙන් පැවැති රාජ්‍ය තාන්ත්‍රික හමුවකදී ලංකාවේ සිටින විදෙස් තානාපතිවරුන් කිහිපදෙනකු ම ආණ්ඩුවට අවධාරණය කර ඇත්තේ ඊශ්‍රායල් සංචාරකයන් සම්බන්ධයෙන් අනුගමනය කරන ලිහිල් පිළිවෙත වෙනස් කළ යුතු බවයි. එහිදී ආණ්ඩුව පාර්ශ්වයෙන් පෙන්වා දී ඇත්තේ කිසිදු රාජ්‍යයක් සමග ගැටුමකට නොගොස් විදේශ ප්‍රතිපත්තිය සමබරව පවත්වාගෙන යෑමේ වැදගත්කමයි.

‘ලෝකයේ බොහෝ රටවල් ඔවුන්ගේ බිහිසුණු ජන සංහාරයට විරෝධය පළකරලා තියෙනවා. අපේ රටවල ස්ථාවරයත් ඒක. මේක ලංකාවට බලපෑම් කිරීමක් නෙමෙයි. අපේ රටවල ස්ථාවරය පැහැදිලි කිරීමක් විතරයි.’

මෙහිදී රාජ්‍ය තාන්ත්‍රිකයන් කරුණු පැහැදිලි කර ඇත්තේ එසේ ය.


ඩේවිඩ් තාරකාවේ කතාව 


මේ අතර ආරක්ෂක අංශවල ඉහළ පෙළේ නිලධාරීන් සහ ආරක්ෂක ක්ෂේත්‍රයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨයන් අතර හමුවක් පසුගිය සතියේ පවත්වා තිබිණි. එහිදී ඔවුන්ගේ අවධානය යොමුවී තිබූ එක් ප්‍රධාන මාතෘකාවකි, ඩේවිඩ් තාරකාව. ඩේවිඩ් තාරකාව කියන්නේ යුදෙව් සංකේතයයි. නිල් පැහැ තරුවයි. මේ තරුව ලංකාවේ වීදිවල, තාප්පවල ගසා තිබීමත්, ඒවා ඉවත් කළ හැකිද යන්න පිළිබඳවත් මෙහිදී කතා කර ඇත. 

‘බලහත්කාරයෙන් මේවා ඉවත් කරන්නත් බෑ. ඒත් මේවා දිගටම තියෙන එකත් ප්‍රශ්නයක්.’

මේ සාකච්ඡාවේදී අවධානය යොමුකර ඇති තවත් කරුණක් වන්නේ ඊශ්‍රායල් හමුදා සේවයේ සිටින පිරිස් නිවාඩු සඳහා ලංකාවට පැමිණීම ලංකාවේ ආරක්ෂාවට කෙසේ බලපාන්නේ ද යන්නයි. ලෝකයේ වෝ ටුවරිසම් හෙවත් යුද සංචාරක කර්මාන්තය යනුවෙන් මාතෘකාවක් තිබේ. එමගින් හැඳීන්වූයේ යුද්ධ පැවැති ප්‍රදේශවල සංචාරය කිරීමයි.

එහෙත් ඇමෙරිකානු හමුදාව, ඉරාකයට සහ ඇෆ්ගනිස්තානයට පහර දීමේ සිදුවීම්වලින් පසු මේ වචනයේ තේරුම තරමක් වෙනස් විය. ඇමෙරිකානු රජය වියදම් දරමින් එම යුද්ධවලට සම්බන්ධ වූ සෙබළුන්ට විදෙස් සංචාර දෙන්නට පටන් ගත්තේය. ඊශ්‍රායලය ද එවැන්නක් සිදුකරන බවට වාර්තා තිබේ. එවැනි ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත්වී නැති බව ආණ්ඩුව තහවුරු කරයි. සංචාරක සංවර්ධන අධිකාරිය ද තහවුරු කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය 1975දී තීරණයක් ගත්තේය. ඒ, සියොන්වාදය අන්තවාදයක් යනුවෙන් හැඳීන්වීමට ය. 1991 වසරේදී මීට එරෙහි යෝජනාවක් එවකට ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ් විසින් ඉදිරිපත් කෙරිණි. ඊට එරෙහි වූ රටවල් 25 අතර ශ්‍රී ලංකාවත් සිටියේය. එවකට ලංකාවේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ය. ඉස්ලාම් හෝ කොමියුනිස්ට් රාජ්‍යය නොවන රටක් ලෙස මේ යෝජනාවට විරුද්ධ වූ තීරණාත්මක රටක් ලෙස ඒ කාලයේදී ලංකාව හැඳින්විණි. මේ ඉතිහාසයත් සමග අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව සිය විදේශ ප්‍රතිපත්තිය සමබර කරගැනීමට උත්සාහ කරන බවක් පෙනෙන්නට තිබේ.

ඉන්දියාවේ මෝදි, අමිත් ෂා ඇතුළු සමීපතමයන්ගේ ක්‍රියාකාරිත්වය වෙනුවෙන් යුරෝපා රටවල් පිළිබඳ සිය විදේශ ප්‍රතිපත්ති වෙනස් කරමින් සිටී. ඉන්දියාවේ අසල්වැසියා ලෙස ලංකාව ද විදේශ ප්‍රතිපත්ති පිළිබඳ තීරණාත්මක තැනක සිටී. ගැටලු‍ව වන්නේ ඉන්දියාව වැනි ආර්ථික පැත්තෙන් ස්ථාවර රටකට මෙන් ණය බරින් පීඩිත බවට පත්කර ඇති ලංකාවට සෙල්ලම් දමන්නට නොහැකි වීම ය.


ජනපතිගෙන් සුදුසුකම් ගැන නියෝගයක්


ඊට අදාළ වැදගත් පියවරක් තියන්නට ජනාධිපතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා කටයුතු කළේය. විදේශ කටයුතු අමාත්‍යංශයට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් උපදෙස් දී තිබුණේ ලංකාව නියෝජනය කරමින් විදෙස් රටවල සේවය කරන තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන්, එම කාර්යාලවල සේවය කරන පළමු ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ගේ සුදුසුකම් සියල්ල පිළිබඳ වාරතාවක් සකස් කරන ලෙසයි. පාර්ලිමේන්තුවේ ඉහළ නිලතල පිළිබඳ කාරකසභාවෙන් ද මේවා පරීක්ෂාවට ලක්කෙරේ. එහෙත් ඒවා නමට පරීක්ෂා කිරීමක් ය, පසුගිය කාලයේ සිදු වී තිබුණේ. 


ගෙන්වන ලිස්ට් එක මෙන්න


මේ සුදුසුකම් පරීක්ෂාවට පෙර ම ආණ්ඩුව පසුගිය සතියේ මුල තීරණයක් ගත්තේය. එම තීරණයට අනුව ඥාතිකම්, හිතවත්කම්, දේශපාලන සම්බන්ධතා මත තානාපති සේවා සඳහා යැවූ දහසයදෙනකුගේ ලැයිස්තුවක් සකස් කෙරිණි. ඔවුන්ට වහාම දැනුම් දුන්නේ යළිත් මෙරටට පැමිණෙන ලෙසයි.  

ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කරන වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස, චීනයේ ෂැංහයි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කරන අනුර ප්‍රනාන්දු, ඉන්දියාවේ චෙන්නායි නුවර නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරන ආචාර්ය ඩී. වෙන්කටේෂ්වරන්, සවුදි අරාබියේ ජෙඩා හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කරන එස්.එම්.ඒ.එෆ්. මවුලානා, ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිශාන් මුතුක්‍රිෂ්ණ, එහි තෙවැනි ලේකම්වරයා ලෙස කටයුතු කරන තාරක දිසානායක, බි්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම් ධුරයේ කටයුතු කරන අසෙනිය පුංචිනිලමේ, ප්‍රංශයේ පැරිස් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම් සහස්‍ර බණ්ඩාර, ඉතාලියේ රෝමයේ තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් මෙල්කි චන්දිමා, ඕස්ටේ්‍රලියාවේ කැන්බරාහි පිහිටි මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරන දිනූකා කාර්මලීන් ප්‍රනාන්දුපුල්ලේ, රුසියාවේ මොස්කව් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශක පණ්ඩුල ද සොයිසා, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආචාර්ය අන්වර් මොහොමඩ්, ලෙබනනයේ බීරූට් හි තෙවැනි ලේකම් ප්‍රියංගිකා දිසානායක, තුර්කියේ අන්කාරාහි දෙවැනි ලේකම් යෂ්මින් මොහොමඩ් ඇතුළු පිරිසක් මේ ලැයිස්තුවේ සිටිති.


ඇමැතිට වඩා බලවත් ලේකම් කෙනෙක්


ජාත්‍යන්තර ක්ෂේත්‍රය මෙසේ සීරුමාරුවෙන් බේරාගනිමින් සිටින විට, ආණ්ඩුවට ඇතුළෙන් අර්බුදත් පැමිණෙන්නේය. පසුගිය 30 වැනිදා මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත් අමාත්‍යංශයට ගොස් තිබිණි. එහිදී කාර්යමණ්ඩලයේ පිරිස් ද හමුවී කතාබහ කොට විජිත පිටවී ගිය පසුව ය, අලු‍ත් ම සිදුවීම සිදුවී තිබෙන්නේ. 

ඇමැතිවරයා ගිය පසු කාර්යමණ්ඩලය අතරට පැමිණි අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියක පවසා තිබුණේ ටිරාන් අලස් ඇමැතිවරයා ලබන 14 වැනිදායින් පසු යළිත් මේ අමාත්‍යංශය බාරගන්නා බවයි. එම නිසා තැපැල් ඡන්දය දැමීමේදී සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසත්, එසේ නොවුණහොත් ගැටලු‍ ඇති විය හැකි බවත් ඇය පවසා ඇත. මේ සම්බන්ධයෙන් අමාත්‍යංශයේ පිරිසක් මැතිවරණ කොමිසමට ද පැමිණිලි කිරීමට සූදානම් වී සිටී. 

මේ ලේකම්වරිය සම්බන්ධයෙන් කියන්නට තවත් කතාවක් තිබේ. ඒ, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරයට අලු‍තින් පත්කෙරුණු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සම්බන්ධ කතාවකි. උදය ගම්මන්පිල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉමාම් කමිටු වාර්තාව සහ ජයිකි ස අල්විස් කමිටු වාර්තාව එළියට දැම්මේය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කළ මේ කමිටු දෙකෙන් ම චෝදනා කර තිබුණේ පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් රවී සෙනෙවිරත්නට ගැලවීමට නොහැකි බවකි. පසුව ඊට පැහැදිලි පිළිතුරු රවී සෙනෙවිරත්න පාර්ශ්වයෙන් ලබාදී තිබුණේ ලේඛන සාක්ෂි ද සහිතව ය.

වාර්තා ගැන ගම්මන්පිල පැවැත්වූ මාධ්‍ය හමුවෙන් පසු මේ කතා නායිකා ලේකම්වරිය අමාත්‍යංශයේ කාර්යමණ්ඩලය ඉදිරියේ උස් හඬින් පවසා තිබුණේිදැන් හරිනෙ, ආවට වඩා වේගෙන් ලේකම්ට ආපහු යන්න පුළුවන්’ යනුවෙනි. ගම්මන්පිල ද ඉල්ලා තිබුණේ රවී සෙනෙවිරත්න ඉවත් කරන ලෙසයි. එහෙත් ආණ්ඩුව ස්ථිරව පවසා තිබුණේ එසේ නොකරන බවයි.


ලොහාන්ගේ තේ එකෙන් තරුණයා නිදහස්


ලොහාන් රත්වත්තේ අනුරාධපුරයේ සිට කොළඹ බලා පැමිණෙමින් සිටියදී වාරියපොළ ප්‍රදේශයේදී පසුගිය සතියේ අනතුරට ලක්විය. ඔහුගේ රථය බස් නැවතුම්පොළක් කඩාගෙන ගොස් තිබූ අතර, පසුව ඔහු වාරියපොළ පොලිසියට පැමිණ තිබිණි. කතාවේ ඇත්තේ එය නොවේ.

අනතුරෙන් පසු ඔහුගේ වාහනය සහ එහි ඇතුළත වීඩියෝගත කළ තරුණයකු පොලිසියෙන් අත්අඩංගුවට ගැනිණි. ඔහු වහාම පොලිසියට රැගෙන ආවේය. ඒ වන විට ලොහාන් සිටියේ පොලිසියේ ස්ථානාධිපතිවරයා සමග තේ පානය කරමින් ය. තරුණයා අත්අඩංගුවට ගත් වාරියපොළ පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඔහුට තර්ජනය කරමින් පැවසුවේ දණ ගසා සමාව ගන්නා ලෙසයි. තරුණයා එසේ කළේ නැත.

තත්ත්වය තේරුම් ගත් පොලිස් ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක විය. සමාව ගැනීමට අවශ්‍ය නැති බව පවසා ඔහු තරුණයා නිදහස් කළේය. එය ශුද්ධ චේතනාවකින් කළේද, ලොහාන් ද එහි සිටි නිසා කළේද යන්න වෙනම කතාවකි. පසුව තරුණයා අත්අඩංගුවට ගත් සිදුවීම පිළිබඳ ඉහළ පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂණ ආරම්භ කරන ලදි. 

ලොහාන්ගේ මේ වාහනයේ චැසි අංක සම්බන්ධයෙන් ද ගැටලු‍වක් මතු වී ඇත. ඉන්පසු එවැනි තවත් වාහනයක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ද ගැනිණි. දැන් ඔහු සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේ ය. ඒ අතර මහනුවරදී ලොහාන්ට අයත් බවට සැක කෙරෙන තවත් එකලස් කළ වාහනයක් අත්අඩංගුවට ගැනිණි. ඒ කියන්නේ මේ ජාවාරම සුළුපටු නැත. හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාරගත ව සිට, ඇප ලැබුවේද මෙවැනි එකලස් කළ වාහනයක සිදුවීමකට ය. ඒ වාහනය හිල්ටන් හෝටලයට ගෙනැවිත් තිබුණේ ව්‍යාපාරිකයකු ලෙස ප්‍රකට ගාමිණී අබේරත්න හෙවත් ටැක්සි අබේ විසින් ය. ටැක්සි අබේ යනු 2010 වසරේදී සරත් ෆොන්සේකාට එරෙහිව ජොන්ස්ටන් ප්‍රනාන්දු සමග සාක්ෂි ලබාදුන් අයෙකි. ඔහු පසුව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ධුරයට ද පත්කෙරිණි. මේ දැල්වල ගැට ලිහාගැනීම ආණ්ඩුවට පහසු නැත.


අධිකරණ නියෝග ක්‍රියාත්මක කෙරෙන කාලයක්


නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු වූ ශමින්ද වික්‍රමගේ වැඩ තහනම් කිරීමට පසුගිය සතියේ එම දෙපාර්තමේන්තුව පැත්තෙන් කටයුතු කර තිබිණි. ඒ ගැන කිසිදු කතාවක් එළියට ආවේ නැත. ඔහුට විරුද්ධව පොලිසියට ද පැමිණිලි කිහිපයක් ලැබී ඇති අතර, ඒවා ද වැඩ තහනම් කිරීමේදී සලකා බලා ඇත.

2022 ජන අරගලය පැවැති අවස්ථාවේ විරෝධතාවකට බාධාකිරීම සම්බන්ධයෙන් කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ 22470/22 දරන නඩුව ගොනුකෙරිණි. මේ නඩුවේදී විත්තියට නොදන්වා වෙනත් පාර්ශ්වයක් ලෙස පැමිණ කරුණු දැක්වීමේ නීතිඥවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් එවකට කොළඹ, කොටුව මහෙස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ වර්තමානයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් ද දැඩි අවධානය යොමු කර තිබිණි. 

තවත් සිදුවීමක් තිබේ. ඒ, කොළඹ විශ්වවිද්‍යාලයට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමේ නඩුවයි. තැන ශ්‍රේෂ්ඨාධිකරණයයි. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණේ මේ නඩුවෙිදී ශමින්ද වික්‍රමගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට දැනුම් දෙන ලෙසයි. නියෝගය නිකුත් කරනු ලැබුවෙි ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරයාට ය. 


රනිල් මොකටද එහෙම කරන්නෙ?


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ අපේක්ෂකයන් වෙනුවෙන් පවත්වන පළමු රැලියට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්වුණේ පසුගිය ඉරිදා ය. එම රැස්වීම මීගමුව ඔලැන්රෝ හෝටලයේදී පැවැත්වුණු අතර, මීට දිස්ත්‍රික්කයේ සිලින්ඩරය ලකුණ යටතේ තරග වදින සියලු‍‍ අපේක්ෂකයෝ එක්ව සිටියහ.

‘ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවෙ ආර්ථික අර්බුදය ඇවිල්ලා රට යුද පිටියක් වගේ තියෙනකොට මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වෙලා අගමැති කෙනෙක් හොයන්න පටන් ගත්තා. හැමෝම බාරගන්න බෑ කියල දුවනවා. මේ අතරෙ ලන්සාගෙන් මට කෝල් එකක් ආවා. ඔබතුමා අගමැතිකම බාරගන්න කිව්වා. මම ඇහුවා ඔබතුමා කොහොමද මට අගමැතිකම දෙන්නෙ කියලා. ඊට පස්සෙ ලන්සා මට කිව්වා ඉක්මනින්ම ජනාධිපතිතුමා හම්බෙන්න. එතුමා බලාගෙන ඉන්නවා ඔබතුමා එනකම්. අපි කණ්ඩායමක් විදිහට ඔබතුමාට උදව් කරනව කියලා.’

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ළඟ තබාගෙන රනිල් වික්‍රමසිංහ නිමල් ලන්සාට මෙසේ ලකුණු ලබාදීම සම්බන්ධයෙන් එහි සිටි අපේක්ෂකයන් අතර තරමක කතාබහක් ද ඇති විය. රනිල් රැස්වීමෙන් පසු දිවා ආහාරයට ගොස් තිබුණේ ද ලන්සා සමග එක ම වාහනයේ ය. අපේක්ෂකයන් අතර සිටි ප්‍රධානීන් වූ රුවන් විජේවර්ධන සහ ලසන්ත අලගියවන්න තම-තමන්ගේ වාහනවලින් දිවා ආහාරය සූදානම් කර තිබූ තැනට ගොස් තිබිණි.


සුමන්තිරන් නොකියන කතාව


මේ ඡන්දයේ ඇති සුවිශේෂී තත්ත්වයක් තිබේ.

‘අපිව විපක්ෂයෙ වාඩිකරවන්න.’

ඒ, විශාල පිරිසක් කරන ඉල්ලීමකි. පක්ෂ ගණනාවක් ම කියන්නේ හොඳ ම විපක්ෂය වන්නට තමන් සූදානම් බවකි. ඔවුන් ආණ්ඩු කරන්නට ඉල්ලන්නේ නැත.

මේ අතරවාරයේ ය, දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන තමිල් අරසු කච්චිහි සුමන්තිරන් මන්ත්‍රීවරයා ලොකු කතාවක් කිව්වේ. ඔහු කිව්වේ මාලිමා ආණ්ඩුවකින් ඇමැති ධුරයක් ලබාදෙන්නේ නම්, කරන්නට සූදානම් තාලයේ කතාවකි. 

සුමන්තිරන් මෙසේ කීවද, දෙමළ ජාතික සන්ධානයේ බහුතරය පසුගිය සතියේ පැවැති එහි ප්‍රධාන පෙළේ රැස්වීමකදී අවධානය යොමු කර තිබුණේ ආණ්ඩුවට එක් නොවී සිටීම ගැන ය. ආණ්ඩුවට එක් නොවී ආණ්ඩුවේ වැඩවලට සහාය දීම මේ වන විට ඔවුන්ගේ කතාබහේ ඇති අනාගත සැලැස්මයි. කොහොම වුණත් සුමන්තිරන් මන්ත්‍රීවරයා පසුගිය කාලය පුරා ජාතික ජන බලවේගය ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් දැඩි ප්‍රසාදයෙන් කතා කළ අතර, ඔවුන් සමග විවිධ සාකච්ඡාවලට ද එකතු වී තිබිණි.

අනුර පාඩම පටන් ගනී !


දෙවැනි ආරක්ෂක මණ්ඩල රැස්වීම පැවැත්වුණේ උදෑසන හතට ය. වෙලාවටත් කලින් ආරක්ෂක අංශවල සියලුම ප්‍රධානීහු ජනාධිපති කාර්යාලයට පැමිණ සිටියහ. ඊට හේතු වූයේ ඔවුන්ට දවසේ වැදගත්කම, නැතහොත් ඒ රැස්වීමේ වැදගත්කම ගැන පුළුල් අවබෝධයක් තිබීම ය.

බුද්ධි තොරතුරු සහ බුද්ධි අංශ පිළිබඳ ජනතාව අතර මතුවී ඇති කුකුස තියෙන්නේ බරපතළ තැනක ය. මේත් බුද්ධි තොරතුරක් ගැන සාකච්ඡාවකි. විදේශීය බුද්ධි අංශයකින් මේ තොරතුර ලැබී ඇත්තේ සති කිහිපයකට පෙර ය. එය නිශ්චිත වූවක් නොවේ. ‘ඇතැම් විට’ ජාතියේ එකකි. ඉන්පසු තවත් විදේශීය බුද්ධි අංශයකින් මේ ගැන ඊට වඩා යමක් සහිත තොරතුරක් ලැබී ඇත. 2019 අප්‍රේල් 21 වැනිදා ගැන ජනතාවට අමතක නැත.

බුද්ධි තොරතුර ලැබී තිබුණේ 2019 අප්‍රේල් 04 වැනිදා ය. ඉන්පසු අවස්ථා කිහිපයකදී ම ඒ තොරතුර තව-තවත් නිශ්චිත වෙමින් ලැබිණි. එහෙත් අවශ්‍ය පියවර අවශ්‍ය වේලාවේදී නොගැනීම නිසා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය නම් බරපතළ ඛේදවාචකය මේ පොළොවේ සිදු විය. 1953 - 1961 කාලයේ ඇමෙරිකානු ජනාධිපතිවරයා වූ ඩ්වයිට් ඩී. අයිසන්හවර් පවසා ඇත්තේ අවශ්‍ය මොහොතේ අවශ්‍ය ම දේ නොකරන්නේ නම්, ඊට නැවත කිසිදු දිනක අවස්ථාවක් නොලැබෙන බවයි. ඔහු දෙවැනි ලෝක යුද සමයේදී ඇමෙරිකාවේ සිටි ඉහළ ම හමුදා නිලධාරියා ද විය.


ඒකාබද්ධ මෙහෙයුමක්


අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ මේ ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී සම්පූර්ණයෙන් ම සාකච්ඡා කර තිබුණේ ඊශ්‍රායල් ජාතිකයන්ට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් සම්බන්ධ බුද්ධි තොරතුර ගැනයි. මීට පෙර ද ඒ ගැන කතා කරන්නට හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳවා තිබිණි. එහිදී ගත් තීරණයක් වී තිබුණේ ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමයි. ඒ අනුව බුද්ධි අංශ, ආරක්ෂක හමුදා, පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිසිය ඇතුළු සියලු අංශ ඒකාබද්ධ ව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු පිරිසකගේ මූලිකත්වයෙන් සියලු සැලසුම් සකස් කෙරිණි. 

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ව විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේදී අනාවරණය වූයේ ආරක්ෂක මණ්ඩල රැස්වීම් විධිමත්ව පවත්වා නැති බවයි. ඇතැම් රැස්වීම්වලට අත්‍යවශ්‍ය ආරක්ෂක ප්‍රධානීන් කැඳවා නැති බවයි. ඇතැම් රැස්වීම්වලට නිශ්චිත හේතුවක් නොමැතිව එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සමීප දේශපාලනඥයන් ද සහභාගි වී ඇති බවයි. 2018 වසරේ අවසානයෙන් පසු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු වන තුරු ඒ රැස්වීම පවත්වා තිබුණේ නැත. 


මෙන්න ආරක්ෂක මණ්ඩල


මේ අතර ම කියන්නට තවත් කතාවක් තිබේ. පසුව පෙරටුගාමී සමාජවාදී පක්ෂය බවට පත්වූ ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන් වූයේ 2011 දෙසැම්බර් 09 වැනිදා ය. දැන් අලුත් ආණ්ඩුව මගින් එහි විමර්ශන ද කඩිනම් කිරීමට තීරණය කර ඇත. මේ ක්‍රියාකාරිකයන් දෙදෙනා අතුරුදන් වී, දින කිහිපයකට පසු එනම් දෙසැම්බර් 15 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී එවකට කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල පවසා තිබුණේ ලලිත් - කුගන් අතුරුදන් වී නැති බවත්, ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් ය. ඔවුන් කඩිනමින් අධිකරණයකට ඉදිරිපත් කරනු ඇතැයි ද ඔහු ඒ වෙලාවේ කියා තිබිණි.

ඉන්පසු මේ කරුණ අධිකරණයට ඉදිරිපත් කෙරිණි. ඒ අනුව මේ අත්අඩංගුවට ගත් කතාව ගැන විමසන්නට කෙහෙළිය රඹුක්වැල්ල යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට කැඳවිණි. ඔහු කිව්වේ කුමක්ද? ඒත් ආරක්ෂක මණ්ඩල කතාවකි. ආරක්ෂක මණ්ඩලයේ සිටි කෙනෙක් තමන්ට එසේ කී බවක් ඔහු අධිකරණයට කිව්වේය. තවත් එක් අතීත ආරක්ෂක මණ්ඩල කතාවක් ලිවිය යුතුය. ඒ ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙන් පසු පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීමක් ගැන කතාවකි. මේ කතාව මාධ්‍යයකට කියා තිබුණේ ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ එවකට ප්‍රධානියා ව සිටි වර්තමානයේ විශ්‍රාමික මේජර් ජෙනරාල් කුමා හේරත් ය. ඒ, ඔහු විසින් ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී ලසන්ත ඝාතනය ගැන කතා කරන්නට ගත් විට ඒක මෙතැන්ට අවශ්‍ය නැති බවක් බහුතරයෙන් පැවසුණු බවයි. මේවා ඕපාදූප නොවේ. සාක්ෂි සහිත කතා ය.


මේ හදිස්සිය මොකක්ද?


දැන් නැවතත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආරක්ෂක මණ්ඩල රැස්වීමට පැමිණිය යුතුය. ඊශ්‍රායල ජාතිකයන්ට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ලද බුද්ධි තොරතුර අනුව ආරක්ෂක අංශ යෙදවිණි. සාමාන්‍යයෙන් ඊශ්‍රායල ජාතිකයන් වැඩියෙන්ම පැමිණෙන තැනකි, ආරුගම්බේ. ඊට හේතුව වන්නේ ඔවුන් සර්ෆින් හෙවත් මුහුදේ ලිස්සා යෑමේ ක්‍රීඩාවට ඇති කැමැත්තයි. ඒ අතරත් වැඩියෙන්ම සිටින්නේ තරුණ ඊශ්‍රායල් ජාතිකයන් ය. ඔවුන්ගෙන් ද වැඩි පිරිසක් හමුදාවෙන් නිවාඩු ලැබූ හෝ හමුදා සේවයෙන් විශ්‍රාම ලැබූ පිරිස් ය. 

ආරුගම්බේ මෙන්ම දෙහිවල අල්විස් ටවුන් ප්‍රදේශයේ, මීගමුවේ ඇතුළු බුද්ධි අංශ විසින් හඳූනාගත් ඊශ්‍රායල් ජාතිකයන් සිටින ප්‍රදේශවල ආරක්ෂාව තර කෙරිණි. දකුණු මුහුදු තීරයත් ඒ අතර විය. ජනතාව අතර කතාබහක් ඇති වූයේ ‘මොකද මේ හදිසියේ’ යනුවෙනි. එහෙත් ආණ්ඩුව පැත්තෙන් සද්දයක් තිබුණේ නැත. ආරක්ෂක මණ්ඩල රැස්වීමෙන් නොනැවතී ජනාධිපතිවරයා විසින් නිරන්තරයෙන් මේ පිළිබඳව මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත්ගෙන් සහ වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගෙන් විමසීම් කෙරිණි. රාජ්‍ය බුද්ධි අංශයේ නව ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ධම්මික ද සියලු තොරතුරු දැනුම් දෙනු ලැබිණි. 


පෞද්ගලික සොයාබැලීම් අරඹයි


මේ අතර ය, ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් කෙරුණේ. එහි පැහැදිලිව සඳහන් වූයේ ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති බවයි. ඒ අනුව තවත් තානාපති කාර්යාල කිහිපයක් ද මේ නිවේදනය උපුටා දක්වනු ලැබිණි. ජනතාව කලබල වූයේ ඉන්පසුව ය. තානාපති කාර්යාල නිවේදනය නිකුත් කිරීමත් සමග ආණ්ඩුව පාර්ශ්වයෙන් මේ සියලු තානාපති කාර්යාලවලට නිල වශයෙන් දැනුම්දීමක් කෙරිණි. එහි සඳහන් වූයේ අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසත්, ආරක්ෂක අංශ අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවත් ය. ඉන්පසු විදේශ කටයුතු අමාත්‍යංශයට ද දැනුම් දුන්නේ මේ පිළිබඳ නිරන්තරයෙන් තානාපති අංශ දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසයි. 

විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුණි විජේවර්ධන පෞද්ගලිකවම තානාපතිවරුන් අමතමින් මේ කලබලය නතර කිරීමට කටයුතු කළාය. ඒ අතර රජයේ ආරක්ෂක වැඩපිළිවෙල පිළිබඳ සංක්ෂිප්ත වාර්තාවක් ද ඉදිරිපත් කෙරිණි. වැඩේ සාර්ථක විය. තානාපති අංශ පාර්ශ්වයෙන් නොනිල වශයෙන් මෙරටට පැමිණ සිටින සිය රටවල සංචාරකයන්ට දැනුම් දී තිබුණේ හදිසියේ රටින් පිටවීම අවශ්‍ය නැති බවයි. ඊට හේතුවක් ද තිබිණි. ඒ, මේ නිවේදනයෙන් පසු සංචාරක කණ්ඩායම් කිහිපයක් හදිසියේ රටින් පිටවීමට උත්සාහ දැරීමයි. කෙසේ වෙතත් මේ නිවේදනයෙන් පසු එසේ පිටවූ පිරිසක් ද වූහ. ඒ අතර ඊශ්‍රායල ජාතිකයෝ 50කට ආසන්න සංඛ්‍යාවක් ද වූහ.

මේ අතර තවත් වැඩක් සිදු විය. ඒ, ශ්‍රී ලංකා සංචාරක එකමුතුව නිකුත් කළ නිවේදනයකි. මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයට අමතරව ඔවුන් තානාපති කාර්යාල වෙත ලිපි කිහිපයක් ද යවා තිබිණි. එහි දක්වා තිබුණේ නිශ්චිත සාක්ෂි නොමැති තත්ත්වයක් තුළ ජනතාව කලබලයට පත්වන පරිදි ප්‍රහාරයක් පිළිබඳ කළ අනතුරු ඇඟවීම සංචාරක කර්මාන්තයට අයහපත් ලෙස බලපානු ඇති බවයි. ඒ ලිපිවල තවත් වැදගත් කරුණක් ද විය. ඒ, ඔස්ටේ්‍රලියානු බුද්ධි අංශ තොරතුරු මත ජර්මනිය නිකුත් කළ නිවේදනයක් ගැන කතාවකි. ජර්මනිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ ත්‍රස්තවාදීන් ලෝකය පුරා සක්‍රීය ව සිටින නිසා දැඩි අවධානයෙන් සිටින ලෙසයි. 


අද මාතෘකාව මෙන්න


මේ සියල්ලෙන් පසු ජනාධිපතිවරයා පාඩමක් කළේය. එහි මාතෘකාව වූයේ ආණ්ඩු යනු මොනවාද යන්නයි.

‘මීට සති දෙකකට පමණ පෙර අපිට වාර්තා වුණා, ලෝකයේ ඇති වී තිබෙන යුද ගැටුමට සම්බන්ධ දෙයක් ලංකාවෙත් සිදු විය හැකියි කියලා. අපි අදාළ ස්ථානවල වේගයෙන් ආරක්ෂාව තහවුරු කළා. බුද්ධි අංශ තොරතුරු එනකොට අපි මාධ්‍ය සාකච්ඡා තිබ්බෙ නෑ. බුද්ධි අංශ තොරතුරු එනකොට අපේ වගකීම තමයි, ඒ වාර්තාවලට අනුරූපව කටයුතු කරන එක. අපේ වගකීම පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම. යම් සිදුවීමක් වෙන්න යනව නම්, ඒක වැළැක්වීම තමයි අපේ වගකීම. හැබැයි වෙනදා මොකක්ද වුණේ? ඒ බුද්ධි අංශ තොරතුරු සැලකිල්ලට ගත්තෙ නෑ. එක්කො ඒ තොරතුරුවලින් කලබලයක් නිර්මාණය කළා. අපි අවශ්‍ය වැඩ වේගයෙන් කළා. මතක තියාගන්න, අන්න ඒවට තමයි ආණ්ඩු කියන්නෙ.’

ජනාධිපතිවරයා පුත්තලමේදී පාඩම අවසන් කළේ එසේ ය. 


අධිකරණය ඇතුළේ තවත් අධිකරණයක්


ඡන්දයේ දිනය සම්බන්ධයෙන් ගැටලුවක් මතු කර තිබේ. එය දැන් ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය අතේ ය. පසුගිය බදාදා ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී මේ ගැන පුළුල් සාකච්ඡාවක් ඇති විය. ඒ, නඩුවේදී විනිසුරුවරුන් ඉදිරියේ නොවේ. ජනාධිපති නීතිඥවරුන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයන් ඇතුළු පිරිසක් අතර ය. ඔවුහු එහිදී පාර්ලිමේන්තු මැතිවරණ පනතේ මැතිවරණ දිනය පිළිබඳ සඳහන් කරුණුත්, ව්‍යවස්ථාවේ ජනතා පරමාධිපත්‍යය පිළිබඳව සඳහන් වන කරුණුත්, ප්‍රායෝගික තත්ත්වයන් සමග සංසන්දනය කළහ.

කිහිපදෙනකුගේ අදහස වූයේ මැතිවරණ දිනය අනිවාර්යෙන්ම වෙනස් කිරීමට සිදු වන බවයි. එහෙත් දීර්ඝ සාකච්ඡාවෙන් පසු සියල්ලන්ගේ අදහස වූයේ එහි ගැටලුවක් නැති බවයි. මේ වෙලාවේ හොඳ ම කතාව කිව්වේ නීතිඥයකු නොවන, එහෙත් නීතිඥයන් සමග සමීප සම්බන්ධකම් පවත්වන දේශපාලනයට ද සම්බන්ධ අයෙකි. ඔහු පැවසුවේ ‘මොනවා වුණත් මිනිස්සුන්ගෙ බලාපොරොත්තුව නම් ඡන්දෙ’ යනුවෙනි. කෙසේ වෙතත් නීතිඥයන් කිව්වේ උසාවිය වැඩ කරන්නේ නීති පොතට අනුව බවයි. 


ජොන්ස්ටන් නීතියට වැඩ


හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු දැන් සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේ ය. ඔහු වැරදිකරුවකු නොවේ. සැකකරුවෙකි. එම නිසා දිනකට තිදෙනකුට ඔහු ව බැලීමට හැකියාව ඇත. එහෙත් රක්ෂිත බන්ධනාගාරයේ සිටි පසුගිය දින කිහිපයේ ම ඔහු බලන්නට ගොස් තිබුණේ එක් අයකු පමණි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවකු මුල් දින දෙකේදී ඔහු බලන්නට ගොස් තිබුණේ නැත. දැන් කොහොමත් ඔවුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිසා වරප්‍රසාද නැත. බලන්නට වෙන්නේ පෝලිමේ සිට ය. 

ජොන්ස්ටන් සිකුරාදා උදෑසන වන තෙක් කිසිදු විශේෂ ඉල්ලීමක් බන්ධනාගාර නිලධාරීන්ගෙන් කර තිබුණේ ද නැත. ඔහු රක්ෂිත බන්ධනාගාරයේ පළමු දිනයේ උදේට සම්බෝල සමග බත් ද, දවල්ට මාළු සහ ව්‍යංජන දෙකක් සමග බත් ද, රාත්‍රියට ව්‍යංජන දෙකක් සමග බත් ද ආහාරයට ගෙන තිබිණි. රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන සැකකරුවන්ට අවශ්‍ය නම්, නිවසින් ආහාර ගෙන්වා ගත හැකිය. එහෙත් මෙතෙක් ජොනී එතැනට පැමිණ නැත. ජොනී කර ඇත්තේ වරදක් ද, නැද්ද යන්න අධිකරණය තීන්දු කළ යුතුය. එහෙත් වැදගත් දෙයක් අගය කරන්නට පැකිළිය යුතු නැත. 

ජොන්ස්ටන් සිටින සිර මැඳීරියට බ්‍රහස්පතින්දා දිනයේ ‘විසිටර්’ කෙනකු නැතහොත් අමුත්තකු පැමිණ තිබිණි. බන්ධනාගාරයේ අමුත්තන් පරීක්ෂා කරන ස්ථානයේදී ඒ කාන්තාව ගෙනා විශාල පාර්සලයක් ලිහනු ලැබිණි. එහි තිබුණේ ඌරු මස් ය. බන්ධනාගාර නිලධාරීන් මුලින් සිතා තිබුණේ සියලු රැඳවියන්ට ද සමග ජොන්ස්ටන්ට මේවා ගෙනැවිත් ඇති බවකි. එහෙත් නැත. එහි ඌරු මස්වලට යටින්, කුකුළු මස් ද, ඊට යටින් මත්ද්‍රව්‍යය ද තිබිණි. විසිටර් බන්ධනාගාර නිලධාරීන්ගේ බාරයට ගැනිණි. එතැනින් ඇය බොරැල්ල පොලිසියට යැවිණි. වැදගත් ම දේ විසිටර් පැමිණ තිබුණේ ජොන්ස්ටන් බලන්නට නොවේ. වෙනත් රැඳවියකු බලන්නට ය. එහෙත් ජොන්ස්ටන් බලන්නට පැමිණි විසිටර් කෙනකු ඇල්ලූ බවක් ය, මුලදී බන්ධනාගාරය පුරා පැතිරුණු ආරංචිය වූයේ.


සල්ලි නැතුව වෙච්ච දෙයක්


මැතිවරණ වියදම් පනතට අනුව පැවැති පළමු මැතිවරණය වූයේ පසුගිය ජනාධිපතිවරණයයි. එහිදී වියදම් කළ ආකාරය අපේක්ෂකයන් තිදෙනකු හැර, අනෙක් සියලු අපේක්ෂකයන් මැතිවරණ කොමිසමට බාරදී තිබිණි. කොමිසමෙන් ලබාදී තිබූ ආකාරයට එක් ඡන්දදායකයකු වෙනුවෙන් වැය කළ හැකිව තිබූ උපරිම මුදල වූ රුපියල් ... ක් කිසිවකු වැය කර තිබුණේ නැත. එය එතරම් ම විශාල මුදලකි.

කෙසේ වෙතත් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රචාරක කටයුතු සිදුකරන සමාජ මාධ්‍ය පිටු හිමිකරුවන් ඇතුළු පාර්ශ්ව ගැටලුවකට මුහුණ පා තිබේ. ඒ, අපේක්ෂකයන් සිතූ තරම් වියදම් නොකිරීමයි. ඔවුන් සියලු වැඩ අවම වියදමකින් සිදුකිරීමට උත්සාහ කිරීමයි. එම නිසා සමාජ මාධ්‍ය පිටුවල ප්‍රචාරක වියදම් පළකිරීමේ ගාස්තු ද ජනාධිපතිවරණයට සාපේක්ෂව බාගෙට බාගයකින් අඩු කිරීමට ඔවුන්ට සිදු වී තිබේ. ඊට හේතු වී ඇත්තේ අනාගතයේ ආදායම් ඉපයීම පිළිබඳව ඇති අවිනිශ්චිතතාවක් ද විය හැකිය. 

මේ වැඩේ වැඩියෙන්ම ඇත්තේ සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් අතර ය. ඇතැම් අපේක්ෂකයන් විශාල වියදමක් කරද්දී, තවත් සමහර ජනප්‍රිය අපේක්ෂකයෝ අවම වියදමක් මැතිවරණය වෙනුවෙන් සිදුකරමින් සිටිති. මේ අතර තවත් වැදගත් කරුණක් වන්නේ සමගි ජන බලවේගයේ පැවැති අභ්‍යන්තර ගැටුම් ද මේ වන විට සෑහෙන තරම් සමථයකට පත්වී තිබීමයි. ඒවා සමථ වී ඇත්තේ ද විසඳූම් ලැබීමෙන් නොවේ. ගැටුමට සම්බන්ධ වූ එක් පාර්ශ්වයක් ගැටුම අත්හැරීමෙනි.


සජිත්ගේ කළු වළා පහව යයි


කෙසේ වෙතත් පසුගිය සතියේ සජිත් ප්‍රේමදාසගේ කළු වළාව පහව ගොස් ඇති බව පෙනිණි. ඔහු දිගින්-දිගටම අනෙක් මාතෘකා අත්හැර බඩු මිල ගැන කතා කිරීමට පටන් ගත්තේය. ඔහු අනෙකුත් අපේක්ෂකයන්ට ද උපදෙස් දී තිබුණේ එසේ කරන ලෙසයි. 

‘මේ වෙලාවේ ජනතාවට දැනෙන එක ම දේ බඩු මිල. අපිට කතා කරන්න පුළුවන් හොඳම දේත් බඩු මිල. හොඳට ඉලක්කම් එක්ක ඒ ගැන කතාකරන්න.’

මේ උපදෙසට අනුව පසුගිය සතියේ සමගි ජන බලවේගයේ මාධ්‍ය කටයුතුවල යෙදෙන පිරිසකට වැඩක් පැවරිණි. ඒ, විවිධ ප්‍රදේශවල අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන්, පොල් ඇතුළු හිඟ භාණ්ඩ පිළිබඳ වාර්තාවක් සකස් කරන ලෙසයි. එම වාර්තාව ලබන සඳූදා වන විට සකස් කර බාර දෙන ලෙස ඔවුන්ට උපදෙස් ලැබී තිබේ.


ලන්සා කියයි - ජනතාව අහයි


සිලින්ඩරයේ හෙවත් රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයේ වැඩි වැඩියෙන්ම පෙනෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ය. නිමල් ලන්සා, නලින් ප්‍රනාන්දු, කෝකිලා ගුණවර්ධන, ලසන්ත අලගියවන්න, මොහොමඩ් නව්ශාඩ් වැනි පිරිස් මේ දිනවල පාරේ ම ය. ප්‍රසන්න රණතුංග ද එහි සිටී. ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ ව්‍යාපාරිකයන් පිරිසක් තමන් ළඟට ගැනීම ය. ඒ වෙනුවෙන් ඔවුහු පෞද්ගලිකව ම ව්‍යාපාරිකයන් මුණගැසෙමින් සිටිති. ඒ අතර ජනාධිපතිවරණයට සහාය දැක්වූ මාලිමාවේ පිරිස් ද සිටී. 

ඔවුන්ගේ ද ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ බඩු මිලයි. 

‘ඔයගොල්ලො මාලිමාවට ඡන්දෙ දුන්නෙ මොනවටද, බඩු මිල අඩු කරගන්න, පඩි වැඩි කරගන්න. දැන් මොකක්ද වෙලා තියෙන්නෙ...?’

ලන්සලා කියන සියල්ල ඔවුහු අසා සිටිති.

‘දැන් ජනතාවත් මේක තේරුම් ගන්න ඕනෙ. අපි එදත් කිව්වා අනුර කුමාරට බෑ කියලා. අදත් කියනවා. ඒත් මිනිස්සු මේක අහන්නෙ නෑ. මහ මැතිවරණය ඉවර වුණාට පස්සෙ හොඳටම තේරෙයි අපි විපක්ෂයේ කාර්යභාරය හොඳට කරගෙන ඉන්නවා.’

ලන්සාගේ මේ කතාවට ගම්පහ එක් ව්‍යාපාරිකයකු ඇසුවේ ‘එතකොට ඔබතුමාලා පිළිගන්නවනෙ මාලිමාව මේ ඡන්දෙත් දිනනවා කියලා’ යනුවෙනි.

ප්‍රසන්න ඊට පිළිතුරු දී තිබිණි. 

‘බලන්නකො ඉස්සරහට වෙන දේවල්.’

‘‍දැන් බලන්න අපේ ආණ්ඩුවෙ වැඩපිළිවෙළ නිසා සංචාරක කර්මාන්තය විශාල වශයෙන් ඉහළ ගියා. ආරුගම්බේ සිද්ධිය නිසා ඒක කඩාකප්පල් වුණා. ආණ්ඩුවෙ ජාතික ආරක්ෂක වැඩපිළිවෙළ ගැන හිතාගන්න පුළුවන්නෙ. ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරනකම් ම හිටියා ඒ ගැන කියන්න. තව නූලෙන් තවත් පාස්කු ප්‍රහාරයක් වෙන්න තිබ්බා. තානාපති කාර්යාලය ඇලර්ට් එකේ හිටිය නිසා ඒකෙන් බේරුණා.’

කතා කරන්නේ ලන්සා ය. අහගෙන සිටින්නේ ජනතාව ය.