අනුර පිටියට බහිද්දී
සජිත් හතර දෙනාගේ කල්ලිය හදයි
අනුර පිටියට බහිද්දී
සජිත් හතර දෙනාගේ කල්ලිය හදයි
ගුවන්යානය 2025න් 2024ට ගියාට
අපිත් යන්න ඕනෙ ආපස්සට ද?
සෝනියා ගාන්ධි - මන්මෝහන් සිං හවුල
ලංකාවට උගන්නපු හොඳම පාඩම !
ආචාර්ය මන්මෝහන් සිංගේ මාධ්‍ය උපදේශකවරයා ලෙස කාලයක් කටයුතු කළේ සංජය බාරු ය. 2004 සිට 2014 දක්වා ඉන්දියාවේ අගමැති ධුරය දැරූ සිං ගැන ඔහු පොතක් ලිව්වේය. The Accidental Prime Minister - The making and unmaking of Manmohan Singh යනු ඒ පොතයි. මේ පොත ආශ්‍රයෙන් චිත්‍රපටයක් හැදුවේය. මේ චිත්‍රපටයේ මන්මෝහන් සිංගේ චරිතයට රඟපාන්නේ අනුපම් කේර් ය. සංජය බාරුගේ චරිතය රඟපාන්නේ අක්ෂේ ඛන්නා ය. එය ඉන්දියාවේ මෙන්ම ලංකාවේ ද ජනප්‍රිය චිත්‍රපටයක් විය.
ඒ මන්මෝහන් සිං පසුගිය බ්‍රහස්පතින්දා මියගියේය.
2004 වසරේ පැවැති ඉන්දීය මැතිවරණය කොංග‍්‍රස් පක්ෂයේ නායකත්වයෙන් යුත් ඉන්දීය ප‍්‍රගතිශීලී සන්ධානය ජයග්‍රහණය කළේය. ජයග්‍රහණයෙන් පසු සියලුදෙනාට ප්‍රශ්නයක් තිබිණි. ඒ ‘අගමැති වන්නේ කවුද’ යන ප්‍රශ්නයයි. කොංග්‍රස් පක්ෂයේ බහුතරයක් පාක්ෂිකයන් කිව්වේ පක්ෂ නායිකා සෝනියා ගාන්ධි අගමැති විය යුතු බවයි. එහෙත් ඇයට ඊට බාධා දෙකක් තිබිණි. එකක් වූයේ ඇය උපතින්ම ඉන්දීය ජාතික කාන්තාවක් නොවීමයි. දෙවැන්න වූයේ රාහුල් ගාන්ධි අම්මා අගමැති වනවාට දැඩි අකමැත්තක් දැක්වීමයි.
මේ ප්‍රශ්න දෙකට මැදිවී සිටි සෝනියා දෙස කොංග්‍රස් පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ නෙත් දල්වා බලා සිටියහ. ඒ, සෝනියා කුමන් තීරණයක් ගන්නේද යන්න දෙස නොවේ. ඇය කවුරුන් අගමැති ධුරයට පත්කරන්නේද යන්න ගැනයි. ඒ වෙනුවෙන් ඔවුහු සෝනියාගේ සමීපතමයන් හමුවීම තරගයට කළහ. එහෙත් ඇය ගත්තේ කිසිවකු නොසිතූ තීරණයකි. මන්මෝහන් සිං අගමැති ධුරයට පත්කෙරිණි. ඇයගේ මේ තීරණය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් රැසකගේ නොසතුටට හේතු විය. ඇතැමෙක් එය ප්‍රසිද්ධියේ ම කිව්වෝය. එහෙත් තවත් පිරිසක් සෝනියා ගැන විශ්වාසය පළකළහ. ඇය දුර දිග නොබලා මෙවැනි වැඩක් නොකරන බව ඔවුහු කිව්වෝය.
ලංකාවටත් අදාළ සෝනියාගේ මෙහෙයුම
ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රාඥයකු වූ ද, ඉන්දීය රජයේ හිටපු මූල්‍ය උපදේශකවරයකු වූ ද, ඉන්දීය තැන්පත් බැංකුවේ හිටපු අධිපතිවරයකු වූ ද, එරට මධ්‍ය සැලසුම් කොමිසමේ හිටපු සභාපතිවරයකු වූ ද, හිටපු මුදල් ඇමැතිවරයකු වූ ද, 1998 සිට 2004 දක්වා ඉන්දීය රාජ්‍ය සභාවේ විපක්ෂ නායකවරයා වූ ද ආදී වශයෙන් තීරණාත්මක තැන් රැසක සිටි ආචාර්ය මන්මෝහන් සිං වැඩ පටන් ගත්තේය. එහෙත් මේ පත්වීමට විරෝධය දැක්වූ පිරිස එක අතකින් සාධාරණ විය.
මන්මෝහන් සිං ඉතා ලජ්ජාශීලී තරමක් නිහඬ පුද්ගලයෙක් විය. ඉහත කී චිත්‍රපටයේදී එය මනාව පෙන්වයි. පළමු මහජන ඇමතීමට ඔහු ව සූදානම් කරන ආකාරය තුළින් ඒ බව ප්‍රේක්ෂකයාට හොඳීන් පැහැදිලි කරයි. එහෙත් චිත්‍රපටයෙන් තවත් කරුණක් මතුකරයි. ඒ, ඔහුගේ පසුගාමී බව තුළ සැඟවුණු ඉවසිලිවන්ත, විචක්ෂණශීලීභාවයයි. එය සංජය බාරුගේ පොතේ ද මනාව විග්‍රහ කරයි.
සෝනියා ගාන්ධි ඇත්තටම මේ තීරණය ගත්තේ යටි හිතේ වෙනත් අරමුණක් ද තබාගෙන ය. ඇයගේ අරමුණ වූයේ තම පුත් රාහුල් ගාන්ධි අගමැති ධුරයට පත්කළ හැකි දිනයක් එන තුරු තමන්ට පහසුවෙන් නැටවිය හැකි රූකඩයක් අගමැති පුටුවේ තබාගැනීමයි. එනම් ඇයට අවශ්‍ය වූයේ ඉන්දියාවේ නිල නොලත් පාලිකාව බවට පත්වීමටයි. ඒ සඳහා ඇය අගමැති පත්කරන ගමන් ම තවත් වැඩක් කළාය. රටේ සියලු වැදගත් තීරණ ගැනීම සඳහා ජාතික උපදේශක කමිටුවක් පත්කොට, ඇය එහි සභාපති ධුරයට පත්වූවාය. තීරණාත්මක කටයුතු සියල්ලේදී අගමැතිවරයා මේ කමිටුවෙන් උපදෙස් ලබාගත යුතු විය. එනම් සෝනියාගෙන් උපදෙස් ලබාගත යුතු විය.
මේ කතාව නිකම්ම කතාවක් නොවේ. ලංකාවේ දේශපාලනයේ මෑත ඉතිහාසය මෙන්ම අද දවස ද හිතේ තබාගෙන මේ කතාව ඔබ කියවිය යුතුය.
විනාඩි පහෙන් තීන්දු කළ මුදල් ඇමැතිකම
සෝනියා කළේ එපමණක් නොවේ. මන්මෝහන් සිං වටා සිටි නිලධාරීන් සියල්ල ද ඇය තමන්ගේ ග්‍රහණයට ගත්තාය. අගමැති හුදෙකලා විය. ඔහුට සියල්ල සෝනියා කියන විදිහට කරන්නට සිදු විය. ඇයට නතු නොවූ චරිතයක් වූයේ මන්මෝහන් සිංගේ මාධ්‍ය උපදේශක සංජය බාරු පමණි. හැබැයි එය කියන්නේත් සංජය බාරු ම ය.
සෝනියාගේ බලපෑමේ තරම ගැන කියන්නට සංජය බාරුත් කියන, තවත් මූලාශ්‍ර කිහිපයකත් ඇති උදාහරණයක් ද ඇත. මන්මෝහන් සිං අගමැති ධුරයට පත්වීමෙන් පසු පැවැත්වූ පළමු භෝජන සංග්‍රහයේදී එක් මන්ත්‍රීවරයකු කියා ඇත්තේ තමන්ට මුදල් රාජ්‍ය ඇමැති ධුරය හිමිවන බවයි. මුදල් කැබිනට් ඇමැති ධුරය අගමැති ධුරය යටතේ තබාගන්නා බව ඔහු පවසයි. ඒ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් සමග ය. මේ කතාව මුදල් ඇමැති ධුරය අපේක්ෂාවෙන් සිටි එක් දේශපාලනඥයකුට ඇසෙයි. ඔහු මේ බව තවත් ලුණු-ඇඹුල් ටිකක් එකතු කොට සෝනියාගේ සමීපතමයකුට පවසයි. ඒ සමීපතමයා මෙය එතැනදීම සෝනියාට පවසයි. සෝනියා එතැනදීම තීරණයක් ගනී. ඇය මන්මෝහන් සිං අගමැතිවරයාට කියන්නේ මුදල් ඇමැති ධුරය බලාපොරොත්තුවෙන් සිටි දේශපාලනඥයාට එය අනිවාර්යයෙන්ම ලබාදිය යුතු බවයි. අගමැතිවරයා ඊට එකඟ වේ. විනාඩි කිහිපයක් තුළ කටකතාවක් රටේ අගමැති ධුරය තීරණය කරයි.
මන්මෝහන් සිං දෙවැනි වර අගමැති ධුරයට පත්කිරීමට සෝනියාට අවශ්‍ය නොවුණත්, ඇයට එය කරන්නට සිදු වේ. රාහුල් ගාන්ධි ඒ වනවිටත් දියාරු චරිතයකි. රාහුල් ගාන්ධිගේ ප්‍රතිරූපය ඉහළට ඔසවන්නට ගහන සියලු සැලසුම් එකරම් සාර්ථක වන්නේ නැත. කෙසේ වෙතත් අවසානයේදී, එනම් 2014 වසරේදී රාහුල් අගමැති අපේක්ෂකයා ලෙස නම් කෙරිණි. ඔහු එම මැතිවරණයේදී දරුණු පරාජයක් ලැබීය. මන්මෝහන් සිං ඉන්දියාවේ සිටි ජනතා බුහුමනට ලක්වූ අගමැතිවරයකු ලෙස ගෙදර ගියේය.
ඒ, මන්මෝහන් සිං ය, පසුගිය බ්‍රහස්පතින්දා මිය ගියේ. එහෙත් ඔහු කිසි තැනක සෝනියා මට මෙහෙම කළා කියා නැත.
අනුරගේ ආණ්ඩුවේ ටිල්වින්ගේ තැන කුමක්ද?
මේ කතාවත් එක්ක මතක් වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පත්කළ අගමැතිවරුන්ගේ ලැයිස්තුවයි. දි.මු. ජයරත්න ඇතුළු වියපත් දේශපාලනඥයන්ට පාඩුවේ සිටීමට දුන් තනතුරක් හැටියට ය, එය ඒ කාලයේ තිබුණේ. මෙය තහවුරු වූ හොඳ ම තැනකි, හරිනි අමරසූරිය අගමැති කාර්යාලයට පැමිණීමෙන් පසු එහි කාර්යමණ්ඩලය කටයුතු කළ ආකාරය. ඔවුන්ට අගමැතිවරියගේ කාර්යයන් ඉටුකරන්නට හදිසියක් තිබුණේ නැත. විශේෂයෙන්ම මාධ්‍ය අංශයට අගමැති මාධ්‍ය ආවරණ ගැන එතරම් තැකීමක් තිබුණේ නැත. හුරු වූ විදිහ ඒක විය.
විපක්ෂය පැත්තෙන් තවත් කතාවක් කියන්නේය. ඒ, අනුර කුමාර දිසානායකටත් වඩා ටිල්වින් සිල්වා මේ පාලනයේ සිටින බවයි. එහෙත් එහෙම දෙයක් පෙනෙන්නට නම් නැත. ටිල්වින් සෝනියා මෙන් උපදේශක කමිටු හදාගන්නට හෝ අඩු තරමේ උපදේශකකමක් හෝ ගන්නට ගිය බවක් ආරංචි නැත. ඒත් ඇතුළේ කතා හරියටම කියන්නට බැරි ය. මන්මෝහන් සිංගේ කතාවේ මෙන් පසු කාලයක ඇත්ත කතා එළියට එනු ඇත.
අලුත් අවුරුද්දේ ආරක්ෂක අංශ වෙනස්කම් රැසක්
මේ සතියේ ඇතුළේ කතා වූ වැදගත් ම කාරණා දෙකක් වූයේ නව යුද හමුදාපතිවරයා සහ නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය පිළිබඳ කතා ය. වර්තමාන යුද හමුදාපති විකුම් ලියනගේ 2022 ජුනි මාසයේදී එම ධුරයට පත්කෙරිණි. ඔහු පත්කෙරුණේත් විශේෂ තත්ත්වයක් යටතේ ය. 2022 මැයි 09 වැනිදා අරලියගහ මන්දිරයෙන් පැමිණි පිරිස සහ ගෝල්ෆේස්හි සිටි අරගලකරුවන් අතර ගැටුමත්, ඉන්පසු එදින රාත්‍රියේ සිදුවූ මැති-ඇමැතිවරුන්ගේ නිවාස ගිනි තැබීම් පිළිබඳ සිදුවීම් සියල්ලත් පාලනය කරන්නට යුද හමුදාව මැදිහත් නොවූ බවට එවකට පැවැති ආණ්ඩුව පැත්තෙන් චෝදනාවක් එල්ල විය. ඒ පිළිබඳ සොයාබැලීමට පත්කළ කමිටුවෙන් ද කිව්වේ යුද හමුදාව ඒ මොහොතේ මන්දගාමී වී ඇති බවකි. චෝදනාව ආවේ එවකට හිටපු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ය. ටිකක් වැඩේ ඇදිණි. එක්වරම ශවේන්ද්‍ර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත්කෙරිණි. රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා විසින් සිදු කළද, ඊට අදාළ ලොකු ම බලපෑම ආවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පැත්තෙන් ය.
විකුම් ලියනගේ හමුදාපති ධුරයට පත්කෙරුණේ ඉන්පසු පැමිණි ජුනි 01 වැනිදා ය. එහෙත් ඔහුට විශ්‍රාම යෑමට තිබුණේ මාස 06ක් පමණි. ඉන්පසු වසර බැගින් සේවා දිගු 02ක් රනිල් වික්‍රමසිංහ විකුම් ලියනගේට දුන්නේය. ඒ සේවා දිගු මේ 31 වැනිදා අවසන් වන්නේය. ආරංචියේ හැටියට විකුම් තවත් සේවා දිගුවක් ඉල්ලා නැත. සිකුරාදා පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක නියෝජ්‍ය ඇමැති ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීහු රැස්වූහ. එහිදී හමුදාපති ධුරය ගැන ද සාකච්ඡා කර ඇත. ඒ අනුව අලුත් හමුදාපතිවරයකු එන්නේය.
අනෙක් කාරණය ශවේන්ද්‍ර සිල්වා ය. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයෙන් ඔහු ද විශ්‍රාම යෑමට නියමිත ය. ඔහු ද තවත් සේවා දිගුවක් ඉල්ලා නැත. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති අදාළ සාකච්ඡාවේදී තවත් පැත්තකට අවධානය යොමුකර ඇත. ඒ, තවදුරටත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයක් පවත්වාගෙන යන්නේද යන්නයි. ඊට හමුදාවලට නියෝග දීමේ හෝ වෙනත් බලතල කිසිවක් නැත. සිදුවන්නේ ධුරයේ ඉහළින් තැබීම පමණකි. එය අනවශ්‍ය වියදමක් බවට ආරක්ෂක අමාත්‍යංශය පැත්තෙන් වාර්තාවක් ද සකස් කර ඇතැයි ආරංචි ය.
මේ ගැන දැනගත් පසු ජාතික ජන බලවේගයේ සිටින විශ්‍රාමික ආරක්ෂක ප්‍රධානීන් කිහිපදෙනකු යෝජනා කර ඇත්තේ යුද්ධය කාලයේ පැවැති ඒකාබද්ධ මෙහෙයු ම්මූලස්ථානය වැනි ඒකකයක් නැවත පිහිටුවීම යෝග්‍ය වනු ඇති බවයි. මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීමේදී එවැනි ඒකාබද්ධ මෙහෙයුම් සිදුකිරීම වැදගත් වනු ඇතැයි ද ඔවුන් පෙන්වා දී ඇත. මේ ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ යුද්ධයේ අවසාන කාලයේ සිටි ප්‍රධානියා වූයේ විශ්‍රාමික මේජර් ජෙනරාල් කුමා හේරත් ය. ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන සියල්ලන්ට පෙර ඔත්තුවක් ආවේ ඔහුට ය. ඔහු ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් කිව්වේය. ප්‍රකාශත් දුන්නේය. මොනවා වුණත් තවමත් ඒ ගැන අවසන් තීරණයක් ගෙන නැත.
ඔක්කොම යද්දි එක්කෙනෙක් ඉතුරුයි
හිටපු ජනාධිපතිවරුන් ළඟ සිටි ආරක්ෂක හමුදා සාමාජිකයන් පසුගිය සතියේ ඉවත් කෙරිණි. එහෙත් එක් අයෙක් තවමත් සිටී. ඔහු දැන් සක්‍රීය සේවයේ නැත. එහෙත් විශේෂ ඉල්ලීමක් මත ඔහු රාජකාරියේ යෙදී සිටී. ඒ කර්නල් නොයෙල් වන්නිආරච්චි ය. ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ය. මහින්දගේ විශ්වාසවන්තයා ය. ආරක්ෂක අමාත්‍යංශයෙන් ඔහුට විශේෂ අවසරයක් ලබා දී ඇත. ඒ මහින්දගේ ඉල්ලීම පිට ය. එය මේ ආණ්ඩුව ද වෙනස් කර නැත.
කොහොමත් ප්‍රභූන්ට තමන්ට විශ්වාසවන්ත අයකු ළඟට ගන්නට අවස්ථාවක් මීට පෙර හදා තිබිණි. එය ලෝකයේ ම තිබෙන දෙයකි. මේ අතරවාරයේ ම කියන්නට තවත් කතාවක් තිබේ. යුද හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ බි්‍රගේඩියර් චන්දික මහතන්තිල පසුගියදා එම ධුරයෙන් ඉවත් කෙරිණි. ඒ වෙනුවට දැන් වැඩ බලන්නේ හිටපු නියෝජ්‍ය ප්‍රධානියා ය. මේ ගැන කතාබහකදී චන්දික මහතන්තිල ඉවත් කිරීම ආණ්ඩුව ගත් වැරදි තීරණයක් බවට ප්‍රකාශ වී තිබිණි. එහෙත් ආණ්ඩුවේ සිටින තරුණ මන්ත්‍රීවරයකු ප්‍රශ්න කර තිබුණේ ට්‍රම්ප් ආපු ගමන් සීඅයිඒ හෙවත් ඇමෙරිකානු බුද්ධි තොරතුරු කාර්යාංශයේ ප්‍රධානියා ඉවත් කළේ ඇයි යනුවෙනි. ට්‍රම්ප් ඔහුගේ හිතවතුන්ට එක දිගට බුද්ධි අංශ බාරදෙන්නේ ඇයි ද යනුවෙනි.
පොලිසිය ගැන පොලිසියෙන් මෙහෙයුම්
මහජන ආරක්ෂක විෂය බාර නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වටගල පසුගියදා රූපවාහිනී වැඩසටහනකදී කියා තිබුණේ පොලිසියේ නිලධාරීන් පාතාලයෙන් වැටුප් ලබන බවයි. එය ප්‍රසිද්ධ කතාවක් වුවද, කවුරුත් නිල වශයෙන් ඕවා කියන්නට ගියේ නැත. දැන් ඇමැති ම ඒ ගැන කියා ඇත. රුවන්වැල්ල සහ අවිස්සාවේල්ල පොලිසිවල නිලධාරීන් විශාල පිරිසක් හිටිහැටියේ මාරු කළේ ඒ නිසා බව ද ආරංචි ය. තවත් පොලිසි තුනක නිලධාරීන් විශාල පිරිසක් එකවර මාරුකිරීමට නියමිත ය.
එසේ ම මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පහළ නිලධාරීන් කිහිපදෙනකු ද හදිසියේ වෙනස්කිරීමට නියමිත බව ආරංචි ය. මේ සියල්ලට හේතු වී ඇතැයි පැවසෙන්නේ පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග පවත්වන සම්බන්ධතා ය. මේ වසරේ ආසන්න කාලයේදී වෙඩි තැබීමේ සිදුවීම් එකසිය පනහකට අධික ප්‍රමාණයක් සිදුවී ඇත. එයින් හැටකට අධික ප්‍රමාණයක් සංවිධානාත්මක අපරාධකරුවන් අතර සිදු වූ වෙඩි තැබීම් ය. අනෙක්වා හුදෙකලා සිදුවීම් ය. මේවා කියන්නේ පොලිස් වාර්තාවලින් ය. එයින් පැහැදිලි වන තවත් වැදගත් කාරණයක් වන්නේ සංවිධානාත්මක අපරාධකරුවන් ළඟ හැර තවත් විශාල පිරිසක් ළඟ නීතිවිරෝධී ගිනි අවි ඇති බවයි.
කළුතරදී බන්ධනාගාර බස් රථයට වෙඩි තැබුවේ කඩුවෙල සමයං ඇතුළු පිරිසකි. මේ පිරිස වෙඩි තැබීමට යොදාගත් එක් පිස්තෝලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සොයාගත්තේ කිසිදු අපරාධයකට සම්බන්ධ නැති සාමාන්‍ය ව්‍යාපාරිකයකු ළඟ තිබියදී ය. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූයේ ඔහු අතේ මුදල් තිබූ වේලාවක යමෙක් පිස්තෝලයක් විකිණීමට පැමිණි බවත්, ඔහුට ඇති වුණු ආසාවට එය ගත් බවත් ය. විමර්ශකයන් ඒ ප්‍රකාශය සත්‍ය බව තහවුරු කරගැනීමෙන් පසු ඔහුට විරුද්ධව චෝදනා ගොනුකරෙැණේ නීතිවිරොධී ගිනි අවියක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් පමණි. තව පොඩ්ඩක් එහෙ-මෙහෙ වුණා නම් ඔහුට වැටෙන්නේ අතිශය බරපතළ චෝදනාවකි.
සජබයෙනුත් විශේෂ ඒකකයක්
සමගි ජන බලවේගය පසුගිය සතියේ විශේෂ ඒකකයක් පිහිටෙව්වේය. ඒ, රජය සහ පළාත් සභා මට්ටමින් අත්තනෝමතික ලෙස සිදුකරන සියලු ස්ථාන මාරු පිළිබඳව සොයාබැලීමේ ඒකකයකි. මේ සඳහා නාමිකව හෝ නිර්නාමිකව ඕනෑම අයකුට තොරතුරු ලබාදිය හැකිය.
ආණ්ඩුවේ ඉහළ පෙළේ පිරිස් කුමක් කීවද, පහළ පෙළේ ඇතැමුන් මෙසේ අත්තනෝමතික ලෙස ස්ථාන මාරු සිදුකරන බවට පසුගිය සතියේ චෝදනා කිහිපයක් ම එල්ල විය. ඊට බලපෑම් කරන බව ද පැවසිණි. මෙසේ ස්ථාන මාරුවලට මුහුණ දුන් බොහෝදෙනෙක් සමගි ජන බලවේගයට සම්බන්ධ පිරිස් ය. මෙසේ ස්ථාන මාරු කළ නිලධාරීන්ගේ ලැයිස්තුවක් සකස් කිරීමටත්, ඒ ලැයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් සමගි ජන බලවේගය තීරණය කර ඇත.
කාරියප්පර් යන්න හදන්නෙ කොතැනටද?
මේ අතර සමගි ජන සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කළ මුස්ලිම් කොංග්‍රසයේ නිශාම් කාරියප්පර් ආණ්ඩුව සමග කටයුතු කිරීමට වැඩි කැමැත්තක් දක්වන බව ආරංචි ය. ඔහු යන-යන තැන ආණ්ඩුවේ හොඳ කියය. ආණ්ඩුවට සහාය දෙන බව කියයි. මේ ගැන ආරංචි වීමෙන් පසු විපක්ෂ නායකවරයාගේ පාර්ශ්වයෙන් ඔහුගෙන් මේ පිළිබඳව විමසීමක් කර ඇත. එහිදී ඔහු කියා ඇත්තේ ‘ඉස්සරහට වැඩ කරමු, අපි කොහොමත් ගිවිසුම ගැහුවෙ ඡන්දෙ වෙනකම්නෙ’ යනුවෙනි.
නිශාම් කාරියප්පර් මන්ත්‍රී ධුරයට පත්කිරීම ගැන ද මුස්ලිම් කොංග්‍රසය ඇතුළෙන් ප්‍රශ්න කර තිබේ. පසුගිය සතියේ පැවැති එහි උත්තරීතර මණ්ඩල රැස්වීමේදී කාරියප්පර්ගේ ඇතැම් ක්‍රියාකාරිත්වයන් පිළිබඳ ප්‍රශ්න කර ඇතත්, රාවුෆ් හකීම් ඒ ගැන රනිල් මෙන් සිට ඇත. ඒ කියන්නේ ඔහු කිසිවක් කියා නැත. සාමාන්‍යයෙන් මෙවැනි ප්‍රශ්නයක් පැමිණි විට නිහඬව මඳ සිනහවකින් සිටින ක්‍රමයට කියන්නේ රනිල් ක්‍රමය කියා ය.
රූපවාහිනියේ අලකලංචිය
ජාතික රූපවාහිනී සංස්ථාවට ජාතික ජන බලවේගයෙන් පත්කළ ආචාර්ය සෙනේෂ් දිසානායක එයින් ඉවත් විය. ඔහු ඉවත්වීම දැඩි කතාබහට ලක්වූ අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස ඔහුට බැණ වැදුණු බවක් ද මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරිණි. මීට පිළිතුරු දෙමින් සෙනේෂ් පවසා තිබුණේ තමන් මාස තුනකට මේ වැඩේ බාරගත් බවකි. කෙසේ වෙතත් ආරංචියේ හැටියට රූපවාහිනියේ ඇතැම් පිරිස් සෙනේෂ් සමග සුහදව කටයුතු කර නැත. එසේ ම සෙනේෂ් ද ඔවුන් සමග සුහද ව කටයුතු කර නැත. මේ අර්බුදය ඔඩු දුවා ඇත. කෙසේ වෙතත් ලබන මාසයේදී සෙනේෂ් ආණ්ඩුවේ තවත් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ධුරයක් බාරගැනීමට නියමිත ය.
ඔහුගේ පුටුවට ආවේ ගිහාන් ද සිල්වා ය. ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක අලෙවි සහ ප්‍රචාරක කටයුතු බාරව සිටි ඔහු පසුගිය කාලයේදී ජාතික ජන බලවේගයේ ප්‍රචාරක කටයුතුවලද තීරණාත්මක වැඩ රැසක් කළ අයෙකි. විශේෂයෙන්ම මේ මැතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් තීරණාත්මක බලපෑමක් කළ සමාජ මාධ්‍ය හැසිරවීම පිළිබඳ විශේෂඥයකු වන ඔහු, ජාජබ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල ඒ පැත්ත බාරව සිටියේය.
ආණ්ඩුවට විරුද්ධ පළමු නඩුව වැටෙයි
අගමැති හරිනි අමරසූරියට විරුද්ධව පළමු නඩුව වැටිණි. ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ මූලික අයිතිවාසිකම් නඩුව පැවරුවේ රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා විසින් ය. තමන් ව ඉවත් කිරීම අසාධාරණ බවත්, අත්තනෝමතික බවත්, එමගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවත් හිටපු උප කුලපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කොට ඇති පෙත්සමේ දැක්වේ. ආණ්ඩුවට දැන්ම නඩු වැටීම නම් ඒ හැටි හොඳ කරුණක් නොවේ.
අධිකරණය ගැන ලියූ නිසා මේ ටිකත් ලිවිය යුතුය. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්නට විරුද්ධව ඔහුට දැඩි චෝදනා එල්ල කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නේය. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන විශ්‍රාමික විනිසුරු උපාලි අබේරත්නට චෝදනා රැසක් එල්ල වී තිබේ. පසුගිය සතියේ ජනාධිපතිවරයා හමුවූ නීතිඥයන් පිරිසක් මෙසේ චෝදනා එල්ල වූ පිරිස් තීරණාත්මක තනතුරුවල සිටීම බරපතළ බව පෙන්වා දී තිබිණි.
එහිදී ජනාධිපතිවරයා කියා තිබුණේ ‘හැමදේම හරියට වෙයි, හැබැයි ඒවා වෙන්න ඕනෙ පිළිවෙළට’ යනුවෙනි. ඒ කියන්නේ එහි තේරුම් දෙකක් තිබේ. එකක් වැඩ සිදු වන බව ය. දෙක කලබලේට වැඩ සිදු නොවන බව ය.
‘ඔබටත් වසර පහක
ඔත්තු සෙවීමේ රැකියාවක් සඳහා
වේකන්සියක් තිබේ.’
කීර්තිමත් විදේශ කටයුතු ඇමැතිවරයකු වූ ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කෙරුණේ 2005 අගෝස්තු 12 වැනිදා ය. මේ ඝාතනයට අදාළ නඩුව දැන් අවසන් ය. කදිරගාමර් ඝාතනය කළ අයෙක් නැත. මේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තේ එක් සැකකරුවකු පමණි. ඒ සැකකරු, සැකකරුවකු ලෙස වසර 14ක් රක්ෂිත බන්ධනාගාරගතව සිට වකුගඩු රෝගයෙන් මියගියේය. ඉන්පසුව ය, අධිකරණය නඩුව අවසන් කළේ.
මුත්තයියා සහාදේවන් නම් ඒ සැකකරු ගස්වල අතු කැපීම ඇතුළු එදිනෙදා වැඩ කරමින් ජීවත් වූ අයෙකි. ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ කදිරගාමර්ට වෙඩි තැබූ ස්නයිපර් වෙඩික්කරුගේ දර්ශන පථය සකස් කළ බවට චෝදනාවක් එල්ල කරමිනි. එනම් ඔහු ඒ අසල පිහිටි ඉහළ පොලිස් නිලධාරියකුගේ නිවසක පිහිටි ගසක අත්තක් ඊට දින කිහිපයකට පෙර කපා තිබිණි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් ඔහු තම පාපොච්ඡාරණයේදී කියා තිබුණේ මීට පෙරත් ඒ ගෙදර, ඒ ගසේ ම ඔහු අනන්තවත් අතු කපා ඇති බවකි.
කෙසේ වෙතත් ඔහුගේ කතාව දැන් අවසන් ය. ජාත්‍යන්තර පොලිසියෙන් රතු වරෙන්තු නිකුත් කර ඇති ශ්‍රී ලංකාවේ සිදු වූ අපරාධවලට අදාළ සැකකරුවන් සංඛ්‍යාව පහකි. ඒ අතර ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනයට ආධාර-අනුබල දුන් බවට සැක අයෙක් ද සිටියි. ඔහු නඩරාජා සිවරාජා ය. කොළඹ 13 උපන් ඔහුගේ වයස අවුරුදු 51කි.
මේ තීරුවෙන් හදිසියේ ම කදිරගාමර් ගැන කතාකළේ විශේෂ හේතුවක් නිසා ය. කදිරගාමර් පවුලෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ. නොනිල වශයෙන් ජනාධිපතිවරයාගේ සමීප සම්බන්ධතාවක් හරහා පැමිණ ඇති මේ ඉල්ලීමෙන් කියන්නේ හැකි නම්, කදිරගාමර් ඝාතනය පිළිබඳ නැවත පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙසයි. එයින් බරපතළ ඝාතනයක්, ඝාතන සැලසුමක්, ඊට ඈඳෙන කතා පෙළක් අනාවරණය වනු ඇතැයි ද ඔවුන් කියා ඇත.
ආරංචි වන ආකාරයට ආණ්ඩුව පැත්තෙන් තවමත් ඊට අදාළ නිල පියවරක් ගෙන නැත. කෙසේ වෙතත් ඒ ගැන ආණ්ඩුව අවධානය යොමු කර තිබේ. පවුලේ ඉල්ලීම වගේම ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් චරිතයක් වූ ලක්ෂ්මන් කදිරගාමර්ට සිදුවූයේ කුමක්ද යන්න අනාවරණය කරගැනීම ශ්‍රී ලංකාවේ යුක්තියේ කතාවේදී වැදගත් බවට ද ආණ්ඩුව ඇතුළේ සාකච්ඡා වී ඇත.
අනුර සිංහලෙන් කතා කරපු එක අවුල් ද?
ජනාධිපතිවරයා ඉන්දියාවේ ගොස් ආවේය. ඊළඟට ඔහු චීනයට යන්නට සූදානම් ය. ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී අගමැති නරේන්ද්‍ර මෝදි, ජනාධිපති ඩේරෟපදී මුර්මූ ඇතුළු භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවේ ඉහළ ම පිරිසක් හමුවිය. ප්‍රාන්ත මහ ඇමැතිවරුන් රැසක් අනුර හමුවූයේ ඔහු නැවතී සිටි අයිටීසී හෝටලයට පැමිණ ය. අයිටීසී යනු ඉන්දියාවේ ප්‍රකට ම සංචාරක හෝටල් සමූහයකි. එය ඉන්දියාවෙන් පිටත දැනට හෝටලයක් පවත්වාගෙන යන්නේ ලංකාවේ පමණි. ඒ, ගෝල්ෆේස් අසල පිහිටි අයිටීසී රත්නදීප ය.
ජනාධිපතිවරයා මෙහිදී සිංහලෙන් කතාකිරීම ගැනත් ආන්දෝලනයක් ඇති විය. එහිදී ජනාධිපතිවරයාගේ කතාව ඉංග්‍රීසියට පරිවතර්නය කළ පරිවර්තකයා දුර්වල බව බොහෝ දෙනෙකුගේ අදහස ය. ඒ ගැන මෙරට සති අන්ත ඉංග්‍රීසි පුවත්පත් ප්‍රධාන කර්තෘවරුන් දෙදෙනකු විසින් ම ජනාධිපතිවරයාට ද පවසා ඇත. කෙසේ වෙතත් අනුර මෙන්ම මෝදි ද විදේශ රටවලදී ඇතැම් විට කතා කරන්නේ හින්දි භාෂාවෙන් ය. පුටින් රුසියානු භාෂාවෙන් ය. ෂී ජින්පින් චීන භාෂාවෙන් ය. අනුර ඉන්දියාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් රැසක් හමු විය. එහිදී ඔහු ඉංග්‍රීසියෙන් ඔවුන් සමග දීර්ඝ සාකච්ඡා පවත්වා තිබිණි. අනුරගේ භාෂා භාවිතය ගැන විවේචන එන්නට පටන් ගත් විට, ආණ්ඩුව පැත්තෙන් මේ වීඩියෝ කිහිපයක් එළියට දැම්මේය. ලෝකයේ ආසන්න වශයෙන් භාෂා 6,000කට වැඩි සංඛ්‍යාවක් තිබේ. ඒවාගෙන් අති බහුතරයක් මේ වන විට මළ භාෂා ය.
ආගමන විගමන දෙපාර්තමේන්තුව පැත්තෙන් කියන්නේ මීට පෙර සිටි ජනාධිපතිවරුන් විදේශ සංචාරවලට සහභාගි වන විට ඔවුන්ගේ පෞද්ගලික බෑග් පරීක්ෂා නොකෙරුණු බවකි. එහෙත් අනුර එසේ පරීක්ෂා කරන්නැයි කියා ඇත. එය යහපත් ප්‍රවණතාවකි. ජනාධිපතිවරයා එසේ කරන්නේ නම්, අනෙක් අයට එසේ නොකර සිටින්නට අයිතියක් නැත.
ජනාධිපතිවරයාගේ ආදර්ශ ගැන තවත් කතාවක් කියන්නට තිබේ. ඒ ජනාධිපති කාර්යාලයේ වියදම් අඩු කිරීම ගැන ය. මේ ගැන මීට පෙරත් මේ තීරුවේ ලියා ඇත. ඒ වියදම් අඩු කළ ආකාරය ගැන පෙර වර්ෂ සමග සංසන්දනය කරමින් වාර්තාවක් සකස් කරන ලෙස උපදෙස් ලැබී ඇත. උපදෙස්වලට අනුව මේ වන විට ඒ වාර්තාව සකස් කෙරෙමින් තිබේ. මේ වාර්තාව එළියට දැමීමෙන් පසු අමාත්‍යංශවලටත්, දෙපාර්තමේන්තුවලටත් එසේ කරන්නට සිදුවේ. යථාවාදී-තථාකාරී වෙනවා නම් විය යුත්තේ එහෙම ය. අනුරට සීයෙන් සීය දෙන්නට අපට අවශ්‍ය නැත. ඔහු ගැන ජනතාව තබා ඇති විශ්වාසය රැකීම ය, ඔහු කළ යුත්තේ.
සමගි සන්ධානයෙන් ඊළඟ ඡන්දෙට අලුත් වැඩක්
මේ අතර ම විපක්ෂය පැත්තෙන් මේ දිනවල කරන අලුත් වැඩක් ගැන ද ලිවිය යුතුය. විපක්ෂය කියන්නේ සමගි ජන සන්ධානයයි. ඔවුන් ජනතාවගේ ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කර ඇති අතර, එහි උඩින්ම ඇත්තේ එදිනෙදා ප්‍රශ්නවලට විසඳූම් ලබාගන්නේ කෙසේද යන්නයි. දෙවැන්න දූෂණ-වංචා ය. තුන්වැන්න විපක්ෂයේ දේශපාලනඥයන් එම ප්‍රශ්න විසඳන්නේ කෙසේද යන්න පිළිබඳව සංඛ්‍යා - දත්ත සහිතව කතාකිරීමයි. සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන්ට මීට අවශ්‍ය තොරතුරු සොයාදීම සඳහා වෙනම කණ්ඩායමක් ද පත්කර ඇත.
හරියටම කියන්නේ නම් සමගි ජන සන්ධානය ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී ආණ්ඩු බලය ලබාගැනීමේ මෙහෙයුමක් දැන් සිට ම ආරම්භ කර තිබේ. කොහොම වුණත් සැලසුමකට - ඉලක්කයකට වැඩක් කරන එක හොඳ ය. ප්‍රශ්නය තිබෙන්නේ එම සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පත්කිරීම් ප්‍රශ්නය පවා තවමත් විසඳාගෙන නැති එක ය. හිටපු මන්ත්‍රී තුෂාර ඉඳූනිල් ඉන්නේ සෑහෙන කළකිරීමෙන් ය. එය තවදුරටත් උග්‍ර වන්නේ ඔහුගේ ආසනය වන පඬුවස්නුවරට අසල්වැසි ආසනයේ, එනම් බිංගිරියේ ආසන සංවිධායක නලින් බණ්ඩාර පාර්ලිමේන්තු යෑම ය. ඔහු දැන් පඬුවස්නුවරත් ඔහුගේ වගේ කරගෙන වැඩ කරන බව ඉඳූනිල් තැන් ගණනාවකදී ම කියා තිබිණි.
ජාතික ජන බලවේගය ආණ්ඩුවක් ගන්න සැලසුම හැදුවේ 2019 ජනාධිපතිවරණයටත් පෙර ය. එය ඔවුන් පිළිවෙලකට කළේය. ඩබල් පොකට් කමිසයේ සිට, ඔවුන් භාවිත කරන වර්ණවල සිට, ඔවුන් කතා කරන භාෂාවේ සිට, ජනතා අවශ්‍යතාවල සිට ඔවුන් අලුත් විය. සමගි ජන සන්ධානය ද එයින් පාඩමක් ඉගෙනගෙන බව පෙනෙන්නට තිබේ.
පෙර කී තොරතුරු හොයන කණ්ඩායම සමග සමගි ජන සන්ධානයේ සියලු මන්ත්‍රීවරුන්ට සම්බන්ධකම් පැවැත්විය හැකිය. අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඔවුන් ඉල්ලන තොරතුරු උපරිමයෙන් සොයාදීම ඒ කණ්ඩායමේ වගකීමකි. කණ්ඩායම කිව්වාට තවමත් එය සම්පූර්ණයෙන් සකස් කර අවසන් නැත. විවිධ විෂයයන් පිළිබඳ දැනුම සහිත කොටස් ඔවුහු එකතු කරමින් සිටිති.
ඔන්න ඔබටත් වසර පහක රැකියාවක් සඳහා වේකන්සි තිබේ.
පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ මේ සැලසුම ගැන සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයෙන් පසු යළිත් කතාබහට ලක්වූ එට්කා ගිවිසුම ගැන ද කතා කර ඇතැයි ආරංචි ය. ආණ්ඩුව පැත්තෙන් එට්කා සහ ඉන්දියාව සමග කළ-කී දෑ පිළිබඳව ඉදිරිපත් කළ කරුණුවලට විපක්ෂයට සාර්ථකව ප්‍රතිචාර දක්වන්නට නොහැකි වීමට හේතුව තොරතුරු නොමැති වීම බව එහිදී හඳූනාගෙන ඇත.
සුදුසුකම් පිළිබඳ කතාව වෙනත් පැත්තකට යයි
කෙටි ම කාලයක් පාර්ලිමේන්තුවේ කතානායක ධුරය දැරූ පුද්ගලයා වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල ය. ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීම ආන්දෝලනාත්මක වූ අතර, ඔහු නිවේදනයක් නිකුත් කරමින් පසුගිය 13 වැනිදා කතානායක ධුරයෙන් ඉවත් විය. එහිදී ඔහු කියා තිබුණේ තමන්ට මේ මොහොතේ එම සුදුසුකම් තහවුරු කළ නොහැකි වුවත්, ඉදිරියේදී එය කරන බවයි.
මේ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය පැත්තෙන් කිසිදු පරීක්ෂණයක් නොපැවැත්වීමට තීරණය කර ඇත. ඒ වෙනුවට ඔහුට සිය සුදුසුකම් තහවුරු කිරීමට කාලය දීමට තීරණයක් ගෙන ඇත. ජාතික ජන බලවේගයේ මහ ලේකම් නිහාල් අබේසිංහ මේ බව තහවුරු කරයි. අලුත් කතානායක පොළොන්නරුවේ ජගත් වික්‍රමරත්න ය.
අශෝක රන්වල කතානායක ධුරයට පත්වූ මොහොතේ දිගින්-දිගටම පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය ඔහුට සහාය වනු දැකිය හැකි විය. එහෙත් අලුත් කතානායක තනියම තමන්ගේ වැඩේ කරනු දැකිය හැකි විය. පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය විසින් කතානායකවරයා විසින් පැවසිය යුතු පාර්ලිමේන්තු ස්ථාවර නියෝග පිළිබඳ කතාවක්, සභානායක බිමල් රත්නායකට කියන්නට දී ප්‍රශ්නයක් ද හැදුණේය. බිමල් කළේ අවස්ථාවේ හැටියට ගැටලුවක් හැදෙන්නට නොදී එය ඉදිරිපත් කොට, ‘මේක මගේ එකක් නෙමෙයි’ යනුවෙන් දෙවරක් ම අවධාරණය කිරීම ය.
රන්වල කතානායකවරයා ලෙස ‘විග් එක’ පැළඳ සිටි ආකාරය ද සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි හාස්‍යයට ලක්විය. එය දෙපැත්තෙන් විවෘත ව තැබිය යුතු වුවද, ඔහු එය පැළඳ සිටියේ බෙල්ලට යටින් එකතු කොට ය. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව පැත්තෙන් සොයාබැලීමක් ද කර ඇත. මෙහි වගකීම දැරිය යුත්තේ පාර්ලිමේන්තුවේ ආරච්චි ය. සැරහුම් කාමරයේදී නව කතානායකවරයාට මේ පැළඳූම් සඳහා සහායවීමත්, ඒවා අවශ්‍ය පරදි සිදුකිරීමත් කරන්නේ ආරච්චි ය. මෙවරත් එය කර තිබුණේ පාර්ලිමේන්තුවේ දැනට සේවය කරන, දීර්ඝ කාලීන අත්දැකීම් ඇති ආරච්චි ය. අනෙක් අතට එම ‘විග් එකේ’ එසේ පහළින් එකතු කරන්නට බොත්තමක් හෝ අලවන යමක් ද නැත. එසේ තිබියදී මෙහෙම වුණේ ඇයි යන්න හොයන එක ආණ්ඩුව අත්හැර නැත.
අනෙක් පැත්තෙන් පාර්ලිමේන්තුවේ මහ ලේකම්, නියෝජ්‍ය මහ ලේකම්, සහකාර මහ ලේකම් යන තනතුරු තුන ම සම්බන්ධයෙන් මේ වන විට වෙනස් කතාබහක් ද ආරම්භ වී ඇත. එහිදී කියවෙන්නේ ඔවුන්ගේ යම් පක්ෂපාතිත්වයක් ඇද්ද යනුවෙනි. කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් පාර්ලිමේන්තු මහ ලේකම් පත්කිරීම සිදුකරයි. ඉවත් කිරීම සිදුකෙරෙන්නේ පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් ය. මේ තනතුරු ගැන විවේචන රැසක් පැමිණ තිබුණත්, ආණ්ඩුව තවමත් මුනිවත රකිමින් සිටී. ඒ පිටුපස ද කතාවක් ඇතැයි ආරංචි ය. ඔවුන් සියල්ල කරන්නට සැලසුම් හදන්නේ ලිඛිත සාක්ෂි මත ය.
මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ් වරක් මෙසේ පැවසීය.
‘දහ නව වැනි ශත වර්ෂයේදී නාවික බලය තිබුණේ කා අත ද, ඔවුහු බලවත්තු වූහ. විසි වැනි ශත වර්ෂයේදී ගුවන් බලය තිබුණේ කා අත ද, ඔවුහු බලවත්තු වූහ. විස් එක් වැනි ශත වර්ෂයේදී මාධ්‍ය බලය තිබෙන්නේ කා අත ද, ඔවුහු බලවත්තු වෙති.’
කතානායක වැඩේටත්, ආචාර්ය - මහාචාර්ය උපාධි ප්‍රශ්නවලටත් මේ සියල්ල අදාළ ය. ජනතාව සහල් - පොල් ගැන සිතන විට, මාධ්‍ය මගින් ජනතාවට කියන්නේ ඒවා ගැන නෙමෙයි, මේවා ගැන හිතන්න යනුවෙනි.
එස්.බී. එහෙමයි - සජිත් මෙහෙමයි
මෙහි තවත් කතාවක් තිබේ. එය මතු වූයේ සජිත් ප්‍රේමදාසගේ උපාධිය පිළිබඳ කතාවෙන් ය. ඔහු තම උපාධි සහතිකය පාර්ලිමේන්තුවේදී පෙන්නුවේය. එය මෙතෙක් සභාගත කර නැත. ඉදිරියේදී එය කරනු ඇත. මෙහිදී අලුත් වචනයක් ද එළියට ආවේය. ඒ ‘ඇග්‍රෝටැට්’ ය. මේ වචනයෙන් කියන්නේ ඔහු උපාධි වැඩසටහනක ලියාපදිංචි වී ඇති බවයි. හරියටම කියන්නේ නම් එය රෙජිස්ටර් වූ බවට දෙන ලේඛනයකි. සජිත් 2013 වසරේදී පවසා ඇත්තේ තමන්ට මේ ඇග්‍රෝටැට් සහතිකයක් ඇති බවකි. එය විධිමත් උපාධි ලේඛනයක් ලෙස පිළිගන්නේද, නැද්ද යන්න සම්බන්ධයෙන් මේ වන විට පුළුල් සංවාදයක් ඇති වී තිබේ. කෙසේ වෙතත් මන්ත්‍රීවරයකු වන්නට මේවා අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ නිවැරදි මතයක් සහිත දේශපාලන දැනුමයි.
අධ්‍යාපනය පැත්තට කතාව ගිය නිසා තවත් කතාවක් ලිවිය යුතුය. එස්.බී. දිසානායක හිටපු ඇමැතිවරයා උසස් අධ්‍යාපන විෂය භාර ව සිටියේ 2010 අප්‍රේල් මාසයේ ආරම්භ වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ ය. මේ අමාත්‍යංශය යටතේ ඇති තීරණාත්මක ආයතනයකට ඒ කාලයේ එස්.බී.ගේ ලොකු පුතා වන නාරද දිසානායක පත්කර ඇත. මෙවැනි ආයතනයකට ඔහු පත්කළ හැකිද යනුවෙන් ප්‍රශ්න කරමින් 2013දී සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පතක් සති කිහිපයක් ම එක දිගට ප්‍රශ්න කර ඇත. එහෙත් ඔහු දිගටම එහි කටයුතු කර තිබේ.
වැඩේ තියෙන්නේ ඔහු ගත් තීරණ තවමත් උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ක්‍රියාත්මක කිරීමයි. විශේෂයෙන්ම විදෙස් විශ්වවිද්‍යාලවල උපාධි ලබාදෙන බව පවසන මෙරට ආයතන සියල්ල ක්‍රියාත්මක වන්නේ ඒ තීරණ මත ය. මේ සම්බන්ධයෙන් අගමැති හරිනි අමරසූරියගේ අවධානය යොමු වී ඇති බවක් ආරංචි ය. අධ්‍යාපනවේදීන් රැසක් පසුගිය සතියේ හරිනි හමුවී මේ ගැන දීර්ඝ වශයෙන් කතා කර ඇත. ඔවුන් හරිනිට යෝජනා කර ඇත්තේ මීට අදාළ ව ලංකාවේ ඇති නීති සියල්ල කණපිට ගැසිය යුතු බවයි.
කෙහෙළිය කියපු දේ හරිනිටත් අදාළයි
හොඳ ම වැඩේ වන්නේ ඒ ආයතනවල ප්‍රධානීන් පිරිසක් ද හරිනි හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටීමයි. එවැනි අවස්ථාවක් ඔවුන්ට ලැබී තිබේද යන්න තවමත් තහවුරු නැත. අනෙක් පැත්තෙන් ඔවුන්ට විෂය බාර ඇමැති හමුවීමට අවස්ථාවක් ලැබිය යුතුය. අවශ්‍ය වන්නේ තීරණ හරියට ගැනීම ය. මේ සම්බන්ධයෙන් කියන්නට තවත් කතාවක් ඇත. 2022 වසරේදී ඇති වූ ඖෂධ හිඟය සම්බන්ධයෙන් ලියුම්කරු සමග එවකට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පැවසූ කරුණකි, ඒ. එය පුවත්පතක සාක්ෂි සමග ඇත.
ප්‍රශ්නය - බ්ලැක් ලිස්ට් කරලා තියෙන ඖෂධ සමාගම්වලින් දැනටත් ඖෂධ ගෙන්වනවා. කොහොමද එහෙම වෙන්නෙ?
පිළිතුර - ඒක වෙන්නෙ මෙහෙමයි. ඒ සමාගම් ප්‍රධානීන් ඇවිත් මාව හම්බෙනවා. මගෙන් ඒ අයට අවසරයක් ලැබෙන්නෙ නෑ. ඊටපස්සෙ ඒගොල්ලො ගිහින් බැසිල් රාජපක්ෂ හමුවෙනවා. ඒගොල්ලොන්ට අවසර ලැබෙනවා. මාව වැඩක් නෑ ඉතින්.
කෙහෙළියට සුදු හුණු ගාන්නට අපට අවශ්‍ය නැත. ඔහු කවුද, මොනවද කළේ කියන එක අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. ප්‍රමිතියෙන් තොර ඖෂධ ජනතාවට පෙව්වා පමණක් නොව ඔහු ජනාධිපති අරමුදලෙන් ද මුදල් ගෙන ඇත.
ජනාධිපති අරමුදලේ ලිපි ඔක්කොම එළියට එයි
ජනාධිපති අරමුදල කියද්දී තවත් කතාවක් මතු වේ. ඒ තවත් ලැයිස්තුවක් එළියට එන්නට සූදානම් බව ය. මේ ලැයිස්තුවේ ඇත්තේ ජනාධිපති අරමුදලෙන් අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාගත් හිටපු මැති-ඇමැතිවරුන්ගේ දරුවන්, භාර්යාවන්, සමීප ඥාතීන් ලැයිස්තුවකි. මේ ලැයිස්තුව එළියට ආවොත්, ඇතැම් නිලධාරීන්ට සමහර ඉහළ තනතුරුවල තවදුරටත් සේවය කරන්නට හැකිවේවිද කියන එකත් ගැටලුවකි. එම නිසා මානුෂික හේතු මත මේ ලැයිස්තුවේ නම් එළියට ඒම වළක්වාගැනීමේ උත්සාහයන් කිහිපයක් ද ක්‍රියාත්මක ය.
මාතර පදිංචිකරුවකුට 2024 ජුනි මාසයේ 28 වැනි දින ජනාධිපති කාර්යාලයෙන් ලිපියක් ලැබිණි. එය අත්සන් කර තිබුණේ ජනාධිපති සහකාර ලේකම් අයි.යූ.කේ. රත්නායක ය. ඒ, ජනාධිපති අරමුදලේ ලේකම් වෙනුවට බව සඳහන් කරමින් ය. ලිපිය ලද පුද්ගලයාගේ නම සහ ලිපියන සඳහන් නොකරන්නේ ඔහුගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට ය.
‘ජනාධිපති අරමුදලෙන් මූල්‍යාධාරයක් ඉල්ලීම.
ජනාධිපති අරමුදලෙන් මූල්‍යාධාර අපේක්ෂාවෙන් දෛනිකව විශාල ඉල්ලීම් ප්‍රමාණයක් ලැබෙන නමුත් ජනාධිපති අරමුදල සතුව පවතින මූල්‍ය සම්පත් ප්‍රමාණය සීමින බැවින් සැත්කම් / වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් මූල්‍යාධාර ප්‍රදානය කරනු ලබන්නේ පාලක මණ්ඩලය විසින් අනුමත කර ඇති විධිවිධානවලට යටත්ව ය.
ඒ අනුව ඔබගේ හදවත් සැත්කම වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් මූල්‍යාධාරයක් ලබාදෙන ලෙස ඔබේ අයදුම්පත මගින් ඉල්ලීමක් කර ඇතත්, සැත්කම සඳහා වැය වූ මුදල දරාගැනීමට තරම් ප්‍රමාණවත් මූල්‍ය සම්පත් ඔබ පවුල් ඒකකයසතු බව නිරීක්ෂණය වන බැවින් ජනාධිපති අරමුදලේ අනුමත විධිවිධාන මත ඔබ විසින් යොමුකර ඇති ඉල්ලීම ඉටුකිරීමේ හැකියාවක් නොමැති බව කනගාටුවෙන් දන්වමි.’
මෙවැනි ලිපි සිය ගණනක් මේ දිනවල ජාතික ජන බලවේගයේ එක්-එක් දිස්ත්‍රික්වලින් පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙමින් පවතී.
නාමල්ගෙන් උදව් අරන් කරන්න වැඩක් මෙන්න
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නීති උපාධිය සම්බන්ධයෙන් ද නැවතත් අලුත් කතාවක් මතුවී තිබේ. නාමල් ඊට සෘජු පිළිතුරක් ද දී ඇත. ඔහු කියන්නේ තමන්ට ඇති චෝදනා පිළිබඳ විධිමත් විමර්ශනයක් කරන ලෙසයි. තමන් ද ඊට සහාය දෙන බවයි.
මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල කළ, අදාළ වගකිවයුතු ආයතනවලට ගිය එවකට නීති ශිෂ්‍යයකු වූ තුෂාර ජයරත්න දැන් නැවත ලංකාවට පැමිණ මේ ගැන පැමිණිලි කරන්නටත්, විමර්ශනවලට සහාය දෙන්නටත් සූදානම් බව මාධ්‍යයට කියා ඇත. මේ, ඒ සම්බන්ධයෙන් ඔහු ලියුම්කරු සමග කළ සංවාදයක කොටසකි.
‘මේ අක්‍රමිකතාවය කරපු දවසෙ මම පැමිණිලි කරපු තැන් දෙකක් තියෙනවා, එකක් තමයි පොලීසිය. අනෙක අධිකරණ අමාත්‍යංශයෙ ලේකම්. ඒ විදිහට ලේකම්වරයට පැමිණිලි කළේ ඔහු කවුන්සිල් එකේ සාමාජිකයෙක් වුණු නිසා. හැබැයි මම බොහොම පැහැදිලිව කියනවා, මේක ඕනෙම තැනක කියන්නත් මම ලෑස්තියි. එයා ඒ වෙලාවෙ කතා කළේ මේක ෂේප් කරන්න. මට එතුමා එක්ක තරහක් නෑ. එතුමා සමහර අවස්ථාවල ඉතාම සාධාරණ විදිහට වැඩ කරපු කෙනෙක්. ඒත් මේ කියන වෙලාවෙ එයාට ඕනෙ වුණේ වෙන එකක්.
ඒ වෙලාවෙ හිටපු අග විනිසුරු ශිරානි බණ්ඩාරනායකත් කවුන්සිල් එකේ හිටියද, ඔබ කලින් එහෙම කතාවක් කියලා තිබුණා...?
ඔව්. හිටියා. ඒ වගේම ශිරාණි තිලකවර්ධනත් හිටියා. විශේෂයෙන්ම කියන්න ඕනෙ, ඔය සිද්ධියෙන් පස්සෙ නීති විද්‍යාලයෙන් පරීක්ෂණයක් කළානෙ. ඒත් ඒ පරීක්ෂණයෙ ප්‍රතිඵලය මොකක්ද කියලා අද වෙනකම් ප්‍රසිද්ධ කරලා නෑ.
ඔබ ඒකෙදි සාක්ෂි ඉදිරිපත් කළා ද...?
ඔව්. එවකට නීති විද්‍යාලයෙ හිටපු විදුහල්පතිවරයා පත්කරපු කෙනෙක් ඉදිරියේ මම සියලු සාක්ෂි ඉදිරිපත් කළා. මම එතැනදි පැහැදිලිව කරුණු තුනක් සඳහන් කළා. එකක් තමයි නාමල්ට ඒසී කාමරයක් දීලා විභාග රීති කඩ කළා කියන එක. ඒසී කාමරේ දුන්නු එක නෙමෙයි ප්‍රශ්නෙ, ඒක කම්පියුටර් කාමරේ. ඒකෙ කම්පියුටර් එකක් විභාගය අතරතුර ක්‍රියාත්මක වෙලා තියෙනවා. අපි විභාගෙට යනකොට ශාලාධිපතිට පෝන් එක පවා බාරදෙන්න ඕනෙ. නාමල් කම්පියුටර් ඔන් කරගෙන විභාගෙ ලියනවා.
අනෙක් කාරණය තමයි, මේ විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීම. මම ඒක පැහැදිලිව කියනවා. ඒකට අදාළව ඒ දවසෙම මම පොලිස් පැමිණිල්ලක් දාලා තියෙනවා. නමුත් ඒකට අදාළව කිසිම පියවරක් අරගෙන නෑ. ඊළඟ කාරණය තමයි, මම පැමිණිල්ල කරලා දවස් හතරකින් නීති විද්‍යාලයෙ ලෑන්ඩ් පෝන් එක පාවිච්චි කරලා මගෙ හෑන්ඩ් පෝන් එකට කෝල් අරගෙන මරණ තර්ජන කළා. ඒකත් මම පොලීසියට පැමිණිලි කළා. ඒත් අද වෙනතුරු මගෙන් කටඋත්තරයක්වත් අරගෙන නෑ. ලංකාවෙ නීති විද්‍යාල ඉතිහාසයේ වැඩිම කාලයක් ප්‍රමාද කරලා නිකුත් කරපු විභාග ප්‍රතිඵලය තමයි ඔය විභාගයේ ප්‍රතිඵලය.’
නාමල් කියා ඇති පරිදි දැන් ඔහුවත් සම්බන්ධ කරගෙන මේ ගැන හරියට විමර්ශනයක් කළ හැකිය. පහේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැනත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් යන්නේය. මේකටත් යා හැකිය.
ෆයිසර්ට - චාමරට නිමල් සිරිපාල වැඩ පවරයි
පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලය පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී රැස්වුණේ එහි නායක අනුර ප්‍රියදර්ශන යාපාගේ ප්‍රධානත්වයෙනි. මේ අවස්ථාවට හිටපු ඇමැතිවරුන් වන නිමල් සිරිපාල, මහින්ද අමරවීර, නසීර් අහමඩ්, ලසන්ත අලගියවන්න, නිමල් ලාන්සා, අනූප පැස්කුවල්, චාමර සම්පත් දසනායක, ෆයිසර් මුස්තාපා සහ ජගත් ප්‍රියංකර, මොහොමඩ් මුෂාරෆ්, ලක්ෂ්මන් යාපා සහ සුගීශ්වර බණඩාර ඇතුළු පිරිසක් එක්ව සිටියහ. සුසිල් ප්‍රේමජයන්තත්, මොහොමඩ් මුසම්මිලුත් ඊට පැමිණ නැත.
මෙහිදී සියලුදෙනා එකඟ වී තිබුණේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට පුටුව ලකුණින් තරග කිරීමට ය. ඒ සඳහා වන අයදුම්පත් කැඳවීමට ද මෙහිදී තීරණය කර ඇත.
‘ජනාධිපතිවරයා ඉන්දියාවෙ ගිහින් එකඟ වෙලා ආපු දේවල් තවම රට හමුවෙ කතාකළේ නෑ. අපි මාධ්‍ය හමු තියලා ජනතාවට කරුණු පැහැදිලි කරන්න වෙනවා.’
මහින්ද අමරවීර මෙහිදී එසේ කීය.
‘ඔව්. මම පාර්ලිමේන්තුවෙ මේ ගැන කතා කළා. ජනාධිපතිවරයා ඉන්දියාවෙ ගිහින් කළේ නංගි පෙන්නලා අක්කා දුන්නා වගේ වැඩක්.’
ඒ චාමර සම්පත් ය.
‘ඕක අපි මුල ඉඳල ම කිව්වා මේ අයගෙ වැඩපිළිවෙළ මොකක්ද කියලා ඇහුවා. හැබැයි ජනතාව ඇහුවෙ නෑ. දැන් නම් ටික ටික ජනතාවට මේ ගැන ඇහැඇරිලා තියෙනවා.’
ඒ නිමල් ලන්සා ය.
‘ඔයාලා මේ ගැන කාරක සභාවල කතාකරන්න.’
නිමල් සිරිපාල ද සිල්වා ෆයිසර් මුස්තාපා සහ චාමර සම්පත් දෙස බලමින් කීවේය.
පසුගිය සිකුරාදා පෙරවරුවේ විදේශ කටයුතු ඇමැති විජිත හේරත් ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය පිළිබඳ පැහැදිලි කරමින් මාධ්‍ය හමුවක් කැඳවූ අතර, එහිදී මාධ්‍යවේදීන් ඇසූ එට්කා, බලශක්ති නල එළීම ඇතුළු සියලු ප්‍රශ්නවලට පිළිතුරු දී තිබිණි.
ආණ්ඩුව කලබල කළ
ජ්‍යෙෂ්ඨයාගේ කෝල් එක !
1885 වසරින් පසු ඒ වැඩේ කරන්නට සමත් වූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ය. 1885දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට පත්වූයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ස්ටීවන් ග්‍රෝවර් ක්ලෙව්ලෑන්ඩ් ය. 1889 ජනාධිපතිවරණයෙන් ඔහු පරාජයට පත්වූ අතර, එහෙත් නැවත 1893දී ඔහු ජනාධිපති ධුරයට පත්විය. ට්‍රම්ප් ද 2016දී ජනාධිපති විය. ඒත් ඒ වෙලාවේ ඔහුගේ ප්‍රතිවාදියා වූ හිලරි ක්ලින්ටන් ට්‍රම්ප්ට වඩා ඡන්ද ලක්ෂ 29ක් වැඩියෙන් ගත්තේය. ඇමෙරිකාවේ තිබෙන මැතිවරණ ක්‍රමය අනුව ජනාධිපති වූයේ ට්‍රම්ප් ය. මේ වැඩේ ම 2000 අවුරුද්දේ දී ද සිදු විය. ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ජනාධිපත් වුවද, ඔහුගේ ප්‍රතිවාදියා වූ අල් ගෝර් ඡන්ද ලක්ෂ 6කට වඩා වැඩියෙන් ගත්තේය.
කෙහොම වුණත් 2020දී ජෝ බයිඩ්න්ට පැරදුණු ට්‍රම්ප්, යළිත් 2024දී දිනුවේය. හරියටම 1893දී ක්ලෙව්ලෑන්ඩ් වගේ ම ය. දැන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපති ට්‍රම්ප් ය. ට්්‍රම්ප්ගේ ආණ්ඩුවේ රාජ්‍ය ලේකම් කරන්නට හදන්නේ මාර්කෝ රූබියෝ ය. මාර්කෝ යනු සෙනෙටි සභිකයෙකි. වමේ දේශපාලනය දැඩිව ප්‍රතික්ෂේප කරන්නෙකි. ඔහු වරක් ප්‍රසිද්ධියේ පවසා තිබුණේිමාක්ස්වාදය යනු මානව වර්ගයා මෙතෙක් දැන සිටි එකම දුෂ්ඨ හා විනාශකාරී දෘෂ්ඨිවාදය බවයි.’ ඔහුගේ එම ප්‍රකාශයට චීනය පැල් බැඳගෙන ගැහුවේය. රූබියෝට චීනය ආරාධනා කළේ මාක්ස්වාදය උගන්වන්න එන්න යනුවෙනි.
ඒ රූබියෝ රාජ්‍ය ලේකම් වුණත්, නැතත් ඔහු ට්‍රම්ප්ගේ අතිශය සමීප කවයේ අයෙකි. ලංකාවේ බලයට පත්වූ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ද ජාත්‍යන්තර මාධ්‍ය හැඳින්වූයේ මාක්ස්වාදය පෙරටු කරගත් ආණ්ඩුවක් බවයි. කොහොම වුණත් ලංකාවේ දැනට සිටින ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් ආණ්ඩුව සමග සුහදශීලීව කටයුතු කරමින් සිටී. එහෙත් ඇය වෙනුවට දැන් පත්ව එන්නට ඉන්නේ එලිසබෙත් කේ. හෝර්ස්ට් ය. ඇයට ට්‍රම්ප්ගේ ආණ්ඩුවෙන් ලැබෙන උපදෙස් වෙනස් ඒවා විය හැකිය. අනෙක් අතට හෝර්ස්ට්ගේ ස්වාමි පුරුෂයා යනු ජේසන් පී. ග්‍රේෂ් ය. ඔහු ඇමෙරිකානු ආරක්ෂක ලේකම් කාර්යාලයේ සේවය කරන, යුක්රේනයේ සිටි රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ උපදේශකවරයෙකි.
ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් පසු කතාබහට ලක්වන තවත් කාරණයකි, ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ හැසිරීම. ට්්‍රම්ප් දිනුවා කියන්නේ ඔහු දිනුවා වගේ ය. නෙතන්යාහුගේ දීර්ඝ කාලීන ඉලක්කයකි, ඉරානයට පහරදීම. ඒ සඳහා ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන ඔබාමාගේ සිට ඇමෙරිකානු ජනාධිපතිවරුන් පොළඹවා ගන්නට උත්සාහ කළද, එය අසාර්ථක විය. 2020 සිට පැවැති ජෝ බයිඩ්න් ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ තීරණාත්මක කාර්යභාරයක් තිරය පිටුපස සිට කළේ ඔබාමා ය. කමලා හැරිස්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ බර ඇද්දේද ඔහු ය. ඒ පැත්තෙන් බලන විට මේ පරාජයට පත්වී ඇත්තේ කමලා හැරිස්ටත් වඩා ඔබාමා ය. ලෝකයේ විශිෂ්ඨතම නායකයකු ලෙස ඉහළට එසවුණු ඔබාමා ය.
ට්‍රම්ප්ලා - නෙතන්යාහුලා එක්ව යන ගමන
කතාව පටන් ගත්තේ නෙතන්යාහු ගැන කියන්නට ය. ඊශ්‍රායල් යුද්ධය නෙතන්යාහු විසින් පසුගිය වසරේ සිට ඇදගෙන යන්නට පටන්ගත්තේ ද ට්‍රම්ප් ජනාධිපති කරන්නට බව අපි මේ තීරයේත් ලීවෙමු. මේ පිටුපස වෙනස් කතාවක් ද තිබේ.
ට්‍රම්ප්ලා නියෝජනය කරන්නේ නව ක්‍රිස්තියානි දහමකි. එය ඊශ්‍රායල් - ඇමෙරිකා සම්මිශ්‍රණයකි. එහි ඇති විශේෂ කරුණක් වන්නේ ලෝක යුද්ධයක් ඇතිවී, ඔවුන් විශ්වාස කරන දෙවියන් විසින් එම දහම ව්‍යාපාත් කිරීමයි. ට්‍රම්ප් සහ ඔහුගේ සමීපතමයෝ මෙය අදහති. නෙතන්යාහු ද ඉන්නේ එතැන ය. ඒ කියන්නේ තකට-තක ය. ඔවුන් මේ විශ්වාසය මත ඉරානයට පහර දී මැද පෙරදිග දරුණු යුද්ධයකට ඇද නොදමන්නේ යැයි කිව නොහැකිය. ඒ නිසා ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ලෝකයට ම තීරණාත්මක ය.
මේ අතර හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ග්‍රැහැම් ඇලිසන් කියන්නේ තවත් බලවතකු නැගීගෙන එන බවක් පෙනෙන විට සිටින බලවතා කරන්නේ වහාම ඔහුගේ ගමන කඩාවැට්ටවීමේ උපක්‍රම නිර්මාණය කරන බවයි. ඊශ්‍රායලය සහ ඉරානය අතර කතාවත්, ඇමෙරිකාව සහ චීනය අතර කතාවත් මේ ඔස්සේ කියවාගැනීම ද වැදගත් ය.
ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ගැන අනුර අවදියෙන්
මේ ජාත්‍යන්තර දේශපාලනයේ තීරණාත්මක තත්ත්වයන් ගැන ආණ්ඩුව මේ දිනවල සිටින්නේ දැඩි අවධානයෙන් ය. ඔවුන් දැනටමත් තීරණාත්මක රටවල් සියල්ලේ ම තානාපති නිලධාරීන් වෙනස් කිරීමට තීරණය කර තිබේ. ඔවුන් ආපසු කැඳවා ඇත. මේ ආපසු කැඳවීම කියන්නේ ද එක රැයකින් සිදු කළ හැකි දෙයක් නොවේ. ඊට යම් කාලයක් ගතවේ. තානාපති නිලධාරීන් තම-තමන්ගේ රාජකාරි බාරදීම, භාවිත කළ භාණ්ඩ, වාහන ඇතුළු සියල්ල බාරදීම, තමන් සේවය කළ රාජ්‍යයෙන් නිල වශයෙන් සමුගැනීම වැනි කරුණු ද මේ අතර වේ.
නීතිපති හොඳට අහගනී
පසුගිය සතියේ සියල්ලන්ගේ අවධානය හදිසියේ යොමුවූ සිදුවීමක් විය. එමගින් ආණ්ඩුවට දැඩි විවේචනයක් ද එල්ල වූ අතර, සිදුවීමෙන් ආණ්ඩුව ද කලබලයට පත්වූ බවක් පෙනෙන්නට තිබිණි. පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවකු ආයුධ පෙන්වීමට ගොස් මියයෑම මෙහි මුල් සිදුවීම විය. නිලධාරීන් ආක්මාරක්ෂාවට වෙඩි තැබූ බව පැවසුවද, මරණ පරීක්ෂණයෙන් පසු බලපිටිය මහෙස්ත්‍රාත්වරයා තීරණය කර තිබුණේ මෙහිදී අපරාධයක් සිදු වී ඇති බවයි. එම නිසා ඊට වගකිවයුතු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ද අධිකරණයෙන් නියෝග කර තිබිණි. ඒ පසුගිය ජූලි මාසයේදී ය.
හදිසියේම පසුගිය නොවැම්බර් 04 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුවෙන් පොලිස් නීති කොට්ඨාසයටත්, බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයටත් ලිපියක් යවා තිබුණේ මේ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා බව දන්වමින් ය. හරියටම මහර බන්ධනාගාරයේ සිදුවීම වගේ ම ය. එහිදී ද නීතිපති දෙපාර්තමේන්තුව ලිපියන් යවමින් පොලිස් නීති කොට්ඨාසයටත්, වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයටත් දැනුම් දී තිබුණේ එම නඩුව ඉදිරියට පවත්වාගෙන නොයන බවටයි.
බලිපිටියේ සිදුවීම පත්තු විය. නීතිපතිවරයාට දැඩි දෝෂාරෝපණයක් එල්ල වූ අතර, ජනාධිපතිවරයාගේ පැත්තෙන් මේ පිළිබඳ ගැඹුරු විමසීමක් ද සිදු කර ඇත. නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළෙන් ද මීට විරෝධය එල්ල වී ඇති අතර, ඒ අනුව ආරංචි විදිහට ඒ ලියුම නැවත කැඳවීමටත්, අධිකරණ නියෝග අනුව ඉදිරි කටයුතු සිදුවීමටත් නියමිත ය. නීතිපති දෙපාර්තමේන්තුව මින් ඉදිරියට මෙවැනි වැඩ නොකරනු ඇතැයි යන්න පසුගිය සතියේ උපරිමාධිකරණ සංකීර්ණයේ කතා වූ විශේෂ ම කතාව විය.
බල්ලෝ අනිති - මී හරක් බුරති
පසුගිය සතියේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී විජිත හේරත් ඇමැතිවරයා අමුතු කතාවක් කිව්වේය. එය ඔහුගේ කතාවක් නොවේ. පැහැරගෙන ගොස් ඝාතනය කරන ලද මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා කී කතාවකි.
‘බල්ලෝ අනිති. මී හරක් බුරති. නරියෝ සිනාසෙති. සිංහයෝ බලා හිඳිති.’
1990 පෙබරවාරි 18 වැනිදා අලුයම 3.30ට රිචඩ් ද සොයිසා සහ ඔහුගේ මව ජීවත් වූ වැලිකඩවත්ත නිවාස සංකීරණයේ නිවසට 32 ශ්‍රී 4748 දරන ලියාපදිංචි අංකය සහිත කොළ පැහැති ජීප් රථයකින් කඩාවැදුණු සන්නද්ධ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහු ව පැහැරගන්නා ලදි. රිචඩ්ගේ පැහැරගැනීම සම්බන්ධයෙන් ඔහුගේ මව වන ආචාර්ය මනෝරානි සරවනමුත්තු විසින් එදින ම අලුයම 4.15ට පමණ වැලිකඩ පොලිසියේ පැමිණිල්ලක් ගොනු කර තිබිණි. පැහැරගැනීම ඇසින් දුටු සාක්ෂි 07කි.
රිචඩ්ගේ ඝාතනයේ ප්‍රධාන විත්තිකරු වූ රොනී ගුණසිංහ ඇතුළු අපරාධ චූදිතයන් එවකට ආරක්ෂක ඇමැති රංජන් විජේරත්න විසින් ප්‍රසිද්ධියේ ආරක්ෂා කළ බවට චෝදනා එල්ල විය. වසර 15ක් තිස්සේ විභාග වූ රිචඩ් ද සොයිසා ඝාතන නඩුවේ අවසන් තීන්දුව 2005 ඔක්තෝබර් 09 වැනි දින ප්‍රකාශයට පත්කෙරිණි. තීන්දුවට අනුව අපරාධයේ සියලු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් ය. තීන්දුවේ සඳහන් වුයේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි පරස්පර විරෝධී බැවින් විත්තිකරුවන්ට එරහිව ගොනුකොට තිබු චෝදනා ඔප්පු වී නොමැති බවයි. ඒ වනවිටත් රිචඩ්ගේ මව ඇතුළු සාක්ෂිකරුවන් කිහිපදෙනකු මියගොස් තිබිණි.
රිචඩ්ගේ මව විසින් හඳුනාගෙන තිබූ ආකාරයට ඔහු ව පැහැරගැනීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොනී ගුණසිංහ, පොලිස් පරීක්ෂක ලාල් ක්‍රිෂාන්ත ධර්මසිරි පැමිණ තිබිණි. රොනී ගුණසිංහ මියගියේ රණසිංහ ප්‍රේමදාස ඝාතනය කෙරුණු බෝම්බයෙනි. පසුව අනාවරණය වූ ආකාරයට රිචඩ් ඝාතනයට පොලිස් පරීක්‌ෂක එම්.ජී.ජී. දේවසුරේන්ද්‍ර, පොලිස් සැරයන් වෙඩික්‌කාරගේ සරත්චන්ද්‍ර සම්බන්ධ වී ඇත.
ජනතාව ඉල්ලන වේගයට බඩු නැත
මේ කතාව ලිව්වේ දැන් ආණ්ඩුව පසුගිය අපරාධ පිළිබඳව විමර්ශන වේගවත් කර ඇති නිසා ය. ඒවා නිවැරදිව ඉදිරියට ගියහොත් වින්දිතයන්ට යුක්තිය ඉටුවනු ඇත. ජනතාවත් ඒ පිළිබඳව සිටින්නේ දැඩි අවධානයෙන් ය. ඒ අවධානයේ තරම හොඳින්ම පෙනෙන්නේ ජනාධිපති කාර්යාලයෙන් ආරම්භ කළ දූෂණ චෝදනා පිළිබඳ තොරතුරු එකතු කිරීමේ මෙහෙයුමට ලැබෙන ප්‍රතිචාරවලින් ය. ඒ සියල්ල කඩිනමින් විමර්ශන අංශ වෙත ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කර ඇත.
එහෙත් දැන් තවත් අඩුවක් පුරවන්නට සිදුවී තිබේ. ජනතාව ප්‍රතිචාර දක්වන වේගයට වැඩ කරන්නට විමර්ශකයන් ප්‍රමාණවත් නැත. විශේෂයෙන්ම අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව වැනි ආයතනවල මේ තත්ත්වය බරපතළ ය.
යෝෂිතට ලයිෂන් ගිනි අවි 07ක්
ආරක්ෂක අමාත්‍යංශයෙන් ලබාදී ඇති බලපත්‍ර සහිත ගිනි අවි ආපසු බාරදීම සඳහා රජය කාලයක් දුන්නේය. ඒ කාලය පසුගිය නොවැම්බර් 07 වැනිදායින් අවසන් විය. කෙසේ වෙතත් රජය තීරණය කර ඇත්තේ තවත් මාසයකින් එම කාලය දීර්ඝ කිරීමටයි. මේ ගිනි අවි සම්බන්ධයෙන් අනාවරණය වූ කතා ද රැසකි.
ඒ අතරින් එකක් වන්නේ යෝෂිත රාජපක්ෂගේ කතාවයි. යෝෂිත රාජපක්ෂට මෙවැනි ගිනි අවි 07ක් නිකුත් කර තිබී ඇත. පසුගිය සතියේදී යෝෂිතගේ පැත්තෙන් එම ගිනි අවි ආරක්ෂක අමාත්‍යංශයට බාරදී තිබේ. මේ ගිනි අවි 07 ගැන ආණ්ඩුවේ ඉහළ ම සාකච්ඡාවකදී ද අවධානය යොමුවී තිබිණි.
‘මේ ඔක්කොම දීලා තියෙන්නෙ බුද්ධි තොරතුරු බලලද?’
මේ ප්‍රශ්නයට බුද්ධි අංශ නිලධාරීන් සතුව තොරතුරු තිබී නැත. සිවිල් පුද්ගලයකුට මෙවැනි විශාල ගිනි අවි සංඛ්‍යාවක් කෙසේ හෝ ලබාදී ඇත. එම නිසා ආණ්ඩුව තීරණය කර ඇත්තේ මෙවර ගිනි අවි ලබාදීමේදී අනිවාර්යෙන්ම පුද්ගලයන්ට ඇති තර්ජන පිළිබඳ බුද්ධි වාර්තා කැඳවීමටයි. එම බුද්ධි වාර්තා මත පදනම්ව, ගිනි අවි භාවිතය පිළිබඳ අදාළ පුද්ගලයා සතු දැනුම ද පරීක්ෂා කර අවි ලබාදීමට තීරණය කර ඇත.
බර වචන වෙනුවට සරල සිංහල
මහ බැංකුවෙන් අලුතින් මුදල් අච්චු ගැසීම පිළිබඳ කතාව පසුගිය සති කිහිපයේදීම සංවාදයට ලක් විය. එය මුදල් අච්චු ගැසීමක් නොවන බව මහ බැංකුවෙන් පැහැදිලිව නිවේදනය කර තිබිණි. ඒ අතර තවත් කතාවක් එළියට ආවේය. ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අයවැය පිළිබඳ කතාවකි.
මේ අවුරුද්දේ අයවැය වාර්තාවට අනුව ලංකාවේ මුළු ණය ගැනීම් අවශ්‍යතාව රුපියල් බිලියන 7,350කි. රජයේ මුළු ලැබීම්වල එකතුව බිලියන 4,164කි. ණය සේවා සඳහා කළ යුතු ගෙවීම් බිලියන 6,919කි.
මේ කරුණු නිවැරදිව එළියට ආවේ නැත. එම නිසා ජනතාව අතර ද තිබුණේ කුතුහලයකි. ද්‍රවශීලතාව, මුදල් සැපයුම වැනි බර වචන කිව්වාට ජනතාවට තේරෙන්නේ නැත. මේ ගැන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් යොදවා ජනතාවට පැහැදිලි කරන්නට ආණ්ඩුව කළ වැඩේ ද තරමක් අසාර්ථක විය. ඔවුන්ගේ වචන බර වැඩි ය. එම නිසා ආණ්ඩුවේ මාධ්‍ය මෙහෙයුම් කණ්ඩායම් එකතු වී තීරණය කර ඇත්තේ ජනතාවට තේරෙන සිංහලෙන් මේවා කියන්නට ය. ඒ පිළිබඳ සැලසුමක් ද ඔවුන් සකස් කර ඇතැයි වාර්තා වේ.
ජ්‍යෙෂ්ඨයාගේ කෝල් එකෙන් ආණ්ඩුව කලබල වෙයි
ඡන්ද දිනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කෙරිණි. පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව එම දිනය සහ ඊට අදාළ ගැසට් නිවේදනය නීත්‍යනුකූල බව අධිකරණය පිළිගෙන ඇත.
කෙසේ වෙතත් මේ ගැන කියන්නට තවත් කතාවක් තිබේ. ජනාධිපතිවරයාගේ අත්සනින්, ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව නිකුත් කළ මේ ගැසට් නිවෙදනයෙන් පසු මුලින්ම කතා කර තිබුණේ ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රයේ දැවැන්තයෙකි. ඔහු තවත් පිරිසක් ද සමග කතා කොට ආණ්ඩුවට කියා තිබුණේ මෙහි ගැටලුවක් ඇති බවක් පෙනෙන නිසා නැවත සොයාබලන ලෙසයි.
ඒ අනුව කලබල වූ ආණ්ඩුවේ නීති අංශය ජ්‍යෙෂ්ඨ නීතිඥ විජේබණ්ඩාර ප්‍රමුඛ පිරිසක් සමග මේ දින කලබලය පිළිබඳව සොයා බැලුවේය. ඇඟිලි ගනිමින්, නීති පොත් පෙරළමින් ඔවුන් ජනාධිපති කාර්යාලයේ දිනයක් ම මීට වෙන් කර තිබිණි. අවසානයේදී තීරණය කර තිබුණේ ගැටලුවක් නැති බවකි. නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න ශ්‍රේෂ්ඨාධිකරණයේදී පවසා තිබුණේ ඡන්දයක් නොතියා සිටිනවාට වඩා තියන එක වැදගත් බවයි.
ලන්සා කරේ තබාගත් රනිල්
පාර්ලිමේන්තු ඡන්දය අතිශය සාමකාමී ය. එහි ගැටුම් නැත. පොලිසිය පොලිසියේ රාජකාරි කරයි. මැතිවරණ කොමිසම තදින් සිටී. මේ මැතිවරණයේදී වැඩි ම වාසිය ලබාඇත්තේ හෝටල් හිමියන් ය. ඔවුන් තමන් සහයෝගය දෙන පක්ෂයේ අපේක්ෂකයාට හෝටලයේ ශාලාව ලබාදෙයි. එපමණකි. සහභාගිවන්නන්ට කෑම - බීම ලබාදීම මැතිවරණ අල්ලස් ලබාදීමක් වන නිසා ඒවා තහනම් ය. එම නිසා හෝටල් හිමියන්ගේ මුදල් ඉතුරු ය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර වැඩියෙන්ම සහයෝගය දෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වදින නිමල් ලන්සාට ය. ඔහු කෙලින්ම කියන්නේ තමන් ජනාධිපති කරවන්නට ලන්සා වැඩ කළ බවකි. ඒ නිසා ම සමගි ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන් ද ලන්සා සමග වැඩ කරන බවක් ආරංචි ය. කෙසේ වෙතත් ලන්සාට ජනතාව අතර ඇත්තේ නම් එතරම් හොඳ නමක් නොවේ. ඔහුට එරෙහිව බරපතළ චෝදනා ඇත. එල්ලෙන්න තැනක් නැති පාක්ෂිකයන් සමහරකට ලන්සාගේ නවාතැන හොඳ තැනක් වී තිබේ.
සජිත්ගේ උපක්‍රමය වැඩ කරයි
සමගි ජන බලවේගය ඇතුළේ සාකච්ඡාවලදී මේ දිනවල වැඩියෙන්ම අවධානය යොමුවී ඇත්තේ ඉලක්කම් වෙත ය. ජාතික ජන බලවේගයට කීයද, අපිට කීයද යන්නයි, ඒ. සජිත් ප්‍රේමදාස පසුගිය සතියේ පැවැති එවැනි සාකච්ඡාවකදී පැහැදිලිව පවසා තිබුණේ 2020 පාර්ලිමේන්තු මැතිවරණයට වඩා මෙවර සමගි ජන බලවේගය ඡන්ද ගන්නා බවයි.
2019 ජනාධිපතිවරණයෙන් ලබාගත් ඡන්ද සංඛ්‍යාවට වඩා බාගයකින් අඩු ගණනකි, 2020 අගෝස්තු 05 වැනිදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගය ලබාගත්තේ. සජිත්ගේ මේ ආකාරයේ රැස්වීම් ගණනාවකින් පසු සජබයට හිතවත් ව්‍යාපාරිකයන් තරමක් මුදල් විසිකරන්නට ද පටන්ගෙන ඇත. පසුගිය ටිකේ ඔවුන් සිටියේ නිහඬව ය. කොහොමත් මොනවා කරන්නටත් ප්‍රචාරක කටයුතුවලට තව ඇත්තේ දින 02කි. ලබන සතියේ අලුත් ආණ්ඩුවකි.
ලොකු අයියා ගැන
අවධානයෙන් සිටින ලාල්
ඒක කිව්වෙ නිකම්මද?
සතිය අවසානය වන විට සියල්ල ලාල්කාන්තගේ පිටින් ගොස් තිබිණි. ඒ ලාල්කාන්ත පාර්ලිමේන්තුවේදී කළ කතාවේ කොටසක් නිසා ය. වගා භූමිවලට හානිකරන සතුන් ගැන බලාගන්නැයි කෘෂිකර්ම විෂය බාර ඇමැතිවරයා ලෙස ඔහු කියා තිබිණි. පරිසරවේදීන් ඇතුළු සියල්ල ඔහුට එරෙහිව අවි අමෝරද්දී, ගොවීහු ඔහුගේ පැත්තේ හිටගත්හ. මේ ගැන පාර්ලිමේන්තුවේ ඇති වූ කතාබහකදී ලාල්කාන්තගේ පැත්තෙන් කියා තිබුණේ ‘බහුතරය ගැන හිතන්න ඕනෙ, ඒ වගේම මෙහෙම එකක් කියපු පළියට මිනිස්සු එහෙම කරන්නෙ නෑ, මිනිස්සු ඊට වඩා සංස්කෘතිකයි’ යනුවෙනි. ඒ කතාව ම වෙනස් විදිහකට ඔහුගේ පැත්තේ හිටගත් ගොවීහු ද කියමින් සිටිති.
‘එහෙම මරනවද අපි?’
කොහොම වුණත් ලංකාවේ වනජීවීන් පිළිබඳව ඇති නීතිවලට අනුව ද එය කළ නොහැකිය. මේ කතාවත් එක්ක මතක් වන තවත් කතාවක් තිබේ. ඒ රිලවු ගැන කතාවකි.
පොඩි මල්ලී ලොකු අයියා ගැන අවධානයෙන්
සංඛ්‍යාලේඛනවලට අනුව ඉන්දියාවේ ආසන්න වශයෙන් මිලියන 50කට වැඩි රිලවු ගහනයක් සිටිති. ඒ රීසස් මැකාකස් නම් වර්ගයයි. 2023 මාර්තු 10 වැනිදා ආචාර්ය රාජේෂ් සිං ප්‍රමුඛ පිරිසක් විශේෂ පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කළහ. ඉන්දියාවේ හිමාලය ප්‍රදේශයේ 2007 - 2010 කාලයේදී රිලවුන්ගෙන් වගාවලට සිදු වූ හානිය ඉන්දියන් රුපියල් කෝටි 2,200 ඉක්මවන බව වාර්තා කර ඇත. ජම්මු කාශ්මීර් ප්‍රදේශයේ ඇති ගම්මාන 250ක, වසරකට රුපියල් කෝටි 33ක වගා හානියක් රිලවු නිසා සිදුවන බවට ද වාර්තා තිබේ. කර්ණාටක ප්‍රදේශයේ වාර්තා අනුව 2012 වසරේ හානිය රුපියල් කෝටි පහකි. පදිංචිකරුවන් 800ක් පමණක් සිටින කර්කලා-ටකුලා ගම්මානයේ සමස්ත වගා අස්වැන්නෙන් සියයට 75ක් සතුන් නිසා විනාශ වී තිබේ.
ආචාර්ය රාජේෂ් ඇතුළු පිරිස පවසන්නේ මීට මූලික හේතුව මිනිසුන් විසින් රිලවුන්ගේ ජීවිතයට කළ බලපෑම බවයි. කැලෑ විනාශ කරමින් සතුන්ට ගම්මානවලට එන්නටත්, ඔවුන්ට ආහාර නැතිවන්නටත් ඉඩ හදා ඇත්තේ මිනිසුන් බව ඔවුහු සංඛ්‍යා සහිතව පෙන්වා දෙති. අසූව දශකයේදී ඉන්දියාව වගා සංග්‍රාමයක් සිදුකළේය. එහිදී වනාන්තර විශාල වශයෙන් විනාශ කර ඇත. ඉන්පසුව ය, මේ සතුන් සහ මිනිසුන් අතර ගැටුම සීග්‍රයෙන් වැඩි වී ඇත්තේ.
මෙහි තවත් වටිනා පැත්තක් තිබේ. ඒ වනාන්තරවල සිටින විට සාමාන්‍යයෙන් අලුතින් බිහිවන රිලා පැටවුන්ගෙන් සියයට 60 - 65 අතර ප්‍රමාණයක් විවිධ හේතු මත කුඩා කාලයේදී ම මිය යන බවයි. ආහාර හිඟවීම්, විලෝපිකයන් ආදී හේතු මීට බලපාන බව ද රාජේෂ්ලා කියති. එනම් එහිදී සිදුවන්නේ ස්වභාවික පාලනයකි. නමුත් මිනිසා සමග වගාවන් සමග සිටින රිලවුන් එසේ මියයෑම සිදුනොවන බව ද ඔවුහු පෙන්වා දෙති. වනාන්තරවලදී සිය ආහාර සොයාගැනීමට දිනකට පැය 12 - 14 අතර කාලයක් ගතවුවද, රිලවුන්ට වගා භූමිවලදී, ගම්වලදී ඒ සඳහා ගතවන්නේ පැයකටත් අඩු කාලයක් බව ද එම වාර්තාවේ දැක්වේ.
එහි අඩංගු ඊළඟ වැදගත් කරුණක් වන්නේ මේ හේතු නිසා ඉන්දියාවේ රිලවුන්ගේ වර්ධන වේගය සියයට 36ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ලංකාව තවමත් සද්ද නෑ
ලංකාවේ තවමත් මේ පිළිබඳ කිසිදු විධිමත් පර්යේෂණයක් සිදු කර නැතත්, ඉන්දියාව - කැලිෆෝනියා සමග එක්ව සිදුකරන ලද පර්යේෂණයක ප්‍රතිඵල ලෙස ආහාර සමග මිශ්‍ර කොට වඳ පෙති ලබාදීම ඔවුහු දැනටමත් සිදුකරති. පුහුණු කරන ලද කළු වඳූරන් යොදාගනිමින් රිලවුන් බියවැද්දීම ද ඉන්දියාව මේ සඳහා ප්‍රාදේශීය වශයෙන් යොදාගනිමින් සිටින උපක්‍රමයකි. එසේම රිලවුන් අකමැති විවිධ ඖෂධ වර්ග භාවිත කිරීම, විවිධ ශබ්ද භාවිත කිරීම ද එරට ජනප්‍රිය උපක්‍රම අතර වේ.
ඔවුන් පසුගිය කාලයේදී පර්යේෂණ මගින් සොයාගත් තවත් දෙයකි, අරව්කානා නම් ශාක විශේෂය වගා බිම් වටේට වැට දිගට වගාකිරීම. මේ ශාකවලට රිලවුන් දැඩි අකමැත්තක් දක්වන අතර, එම ශාක මගහැරීමට රිලවු නිතරම කටයුතු කරති. තෙලංගානා ප්‍රාන්ත රජය මේ ආකාරයේ වගාවලට සිදු වන සත්ත්ව හානිවලට විසඳූමක් ලෙස එහි ඇති සියයට 24ක වනගහනය සියයට 33 දක්වා ඉහළ නැංවීමට තීරණයක් ගෙන ඇත. කෙසේ වෙතත් විවිධ රටවල් මෙහිදී විවිධ ආකාරයට කටයුතු කර ඇති බව ද පෙනේ. ඉන්දියාව මානුෂික වුවද, ජපානය සිදු කළේ වඳ සැත්කම් සහ වගා හානි කරන සතුන්ගෙන් කොටසක් මරා දැමීම ය.
ලාල්කාන්තගේ පාර්ලිමේන්තු කතාව ගැන මෙසේ ලොකු විස්තරයක් ලිව්වේ නිකම් ම නොවේ. සතුන්ගෙන් වගාවලට සිදු වන හානිය ගැන ආණ්ඩුව ලෝකය පුරා තොරතුරු එකතු කරමින් සිටී. එසේ එකතු කළ සහ සාකච්ඡාවට ගත් තොරතුරු එකතුවකින් කොටසකි, මේ. මතුපිටින් පේනවාට වඩා කරළියේ රහස් තිබේ.
වැඩක් ගත්තෙ නැති තැන් වැඩට බස්සන්න උපදෙස්
ඊළඟට කතා කළ යුත්තේ සතියේ අනෙක් වැදගත් ම මාතෘකාව ගැන ය. ඒ සහල් ය. කෘෂිකර්ම වාර්තාවලට අනුව ලංකාවේ සහල් පරිභෝජනයට වඩා සහල් නිෂ්පාදනය වැඩි ය. ඒ කියන්නේ කොහේ හෝ තැනක මොකක් හෝ බරපතළ අවුලක් තිබේ.
1972 පිහිටවූ වී අලෙවි මණ්ඩලය වසාදැමීම සඳහා 1999 ජූලි 14 වැනිදා වන විට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කෙරිණි. 2001 අප්‍රේල් 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තු පනත් කෙටුම්පතක් මගින් මේ මණ්ඩලය අහෝසි කිරීමට සැලසුම් කෙරුණද, එය සම්මත වූයේ නැත. 1999 සිට 2008 දක්වා වී අලෙවි මණ්ඩලය ක්‍රියාත්මක වූ බවට වාර්තා නැත. 2006 වසරේදී යළිත් කෘෂි නිෂ්පාදන මිලදීගැනීම සඳහා වෙනම මණ්ඩලයක් පිහිටුවන ලදි. 2007 ජූලි 10 වැනිදා නැවතත් කැබිනට් පත්‍රිකාවක් මගින් මේ නව මණ්ඩලය අහෝසි කොට වී අලෙවි මණ්ඩලය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනිණි. ඒ අලුත් කරන ලද වී අලෙවි මණ්ඩලයේ වාර්තා අනුව 2008 සිට 2018 දක්වා එක දිගට පාඩු ලබා තිබේ. වී මිලදී ගැනීම සඳහා එක දිගට මහා භාණ්ඩාගාරයෙන් ණයට මුදල් ගෙන ඇත. එහෙත් විගණන වාර්තා අනුව බලන විට එසේ ලබාගත් මුදල්වලට සමානව වී මිලයට ගෙන නැත. මණ්ඩලය මගින් රුපියල් 45ට ගොවීන්ගෙන් මිලට ගත් වී කිලෝව මෙන්ඩිස් සමාගමට විකුණා ඇත්තේ කිලෝව රුපියල් 42 ගණනේ ය. මේ ආණ්ඩුව පසුගිය දින කිහිපයේ පරීක්ෂාවට ගත් විගණන වාර්තාවල ඇති තොරතුරු ය.
ජාතික විගණන කාර්යාලයෙන් වැඩගත යුතුය. ඔවුන් වාර්ෂිකව වැදගත් වාර්තා එළියට දමයි. ඒ පිළිබඳ මාධ්‍ය මගින් වැදගත් අනාවරණ ද සිදුකරයි. එහෙත් ටික දිනකට පසු ඒවා එහෙම්ම යට යන්නේය. දැන්වත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම වෙනුවෙන් මේවාගෙන් වැඩ ගත යුතුය. මේ ජාතික විගණන කාර්යාලයේ වාර්තාවලින් වැඩ ගන්නා වැඩේට අදාළ උපදෙස් පැමිණ ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ම පැත්තෙන් ය. සංඛ්‍යා මූලික කොටගෙන් කරුණු ඉදිරිපත් කිරීමට ප්‍රසිද්ධ ජනාධිපතිවරයා අමාත්‍යංශ ලේකම්වරුන්ට උපදෙස් දී ඇත්තේ මේ වාර්තා විධිමත්ව අධ්‍යයනය කරන ලෙසයි.
ඉතියෝපියාවෙන් උගත යුතු පාඩම
අභී අහ්මඩ් ඉතියෝපියා ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නට පටන්ගත්තේ 2018 වසරේදී ය. ඔහු ඉතියෝපියාවට වෙනස් වැඩක් හඳූන්වා දුන්නේය. ආණ්ඩුවේ ප්‍රධාන තනතුරු සියල්ලට පත්කෙරුණේ කාන්තාවන් ය. ඔහු ඊට හේතුවක් කිව්වේය. ඒ, දූෂණය අවම කිරීමේ උපක්‍රමයක් ලෙස මෙය භාවිත කළ හැකි බවයි.
මේ ගැන කිව්වේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ අලුත් පත්වීම් රැසක් ගැන කියන්නට ය. අගමැති හරිනි අමරසූරිය වන බව ඡන්දයට පෙර සිට ම තහවුරු වී තිබූ කතාවකි. දැන් අගවිනිසුරුත් කාන්තාවකි. ඇය මුර්දු නිරූපා බිඳූෂිනී ප්‍රනාන්දු ය. මීට පෙර ලංකාවේ අගවිනිසුරුවරියන් සිටියේ එක් අයකු පමණි. ඒ, 42 වැනි අගවිනිසුරු ධුරයට පත්වූ ශිරාණි බණ්ඩාරනායක ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන භාවිත කරමින් දෝෂාභියෝගයකින් ඉවත් කළ පළමු අගවිනිසුරුවරයා ද ඇය විය. 2013 වසරේදී ඇය ව ඉවත් කරන ලද අතර, 2015 ජනවාරි 28 වැනිදා යළිත් ඇය අගවිනිසුරු ධුරයට පත්ව, එදිනම විශ්‍රාම ගියාය. ශිරාණි බණ්ඩාරනායක සමග මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ගැටලුව හදාගත්තේ ඉසෙඩ් ස්කෝර් නඩුවේ තීන්දුව සහ බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාගේ ආර්ථික සංවර්ධන පනත් තීන්දු නිසා ය.
කෙසේ හෝ දැන් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ය. ඇය ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරියයි. එහෙත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසූ ගැටය සාර්ථක වූයේ නම් මුර්දුට f ම්තැනට එන්නට ලැබෙන්නේ නැත. ඒ වෙනුවට මේ තැනට එන්නේ බොහෝ විට හිටපු නීතිපති සංජේ රාජරත්නම් ය. ඔහුට සේවා දිගු දෙකක් ලබාදෙමින් නොවැම්බර් 30 වැනිදා විශ්‍රාම ගිය ජයන්ත ජයසූරිය අගිවිනිසුරුවරයාගේ පුටුවට ඔහු ගෙන ඒම රනිල්ගේ ඉලක්කය විය. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දෙවරක් ම රනිල්ගේ එම නිර්දේශය ප්‍රතික්ෂේප කිරීම නිසා වැඩේ අවුල් විය.
එකේ ඒවා ගොඩයි - දෙකේ ඒවා එකයි
මුර්දු මෙන්ම පොලිසියේ ද ප්‍රධාන තනතුරු හතරකට පසුගියදා කාන්තාවන් පත්කෙරිණි. පොලිස්පතිවරයා යටතේ ඇති පොලිස් නිලධාරීන් පිළිබඳ විමර්ශනය කිරීමේ බලය සහිත ආයතනය වන පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස ප්‍රථම වරට කාන්තාවක පත්කෙරිණි. එසේම පොලිස්පතිවරයාගේ සෘජු උපදෙස් මත ක්‍රියාත්මක වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ද ඉතිහාසයේ මුල් වරට කාන්තාවක පත්කෙරිණි. පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණදෙන නිලධාරි ධුරයටත් කාන්තාවක පත්කෙරුණේ මුල් වරට ය. පොලිස් වෛද්‍ය බලකායට ද මෙවර පත්කෙරුණේ කාන්තාවකි. එහෙත් එහි පමණක් අධ්‍යක්ෂ ධුරය මීට පෙර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිනියන් දරා ඇත. තීරණාත්මක අමාත්‍යංශ කිහිපයක ම ලේකම් ධුර දරන්නේ ද කාන්තාවන් ය.
මේ පත්කිරීම් සම්බන්ධයෙන් විපක්ෂයේ ද සංවාදයක් ඇති වී තිබේ. ඔවුන් කියන්නේ මේ වැඩේ අගය කළ යුතු බවයි. විශේෂයෙන්ම කංචන විජේසේකර වැනි සිලින්ඩර්වාදීන් ද, හර්ෂණ රාජකරුණා වැනි සජබවාදීන් ද මීට හොඳ කියා තිබිණි. කවුරු වුණත් කොහොමත් වැඩි හොඳ කියන්නටත් හදිසි විය යුතු නැත. ඊට පෙර වැඩ කරන ආකාරය දෙස බැලිය යුතුය.
මාධ්‍ය ලේකම්ලා හරි පාරට වැටෙති
ආණ්ඩුවේ අමාත්‍යංශ සහ ඇමැතිවරුන්ගේ කාර්යමණ්ඩල පත්කිරීමෙන් පසු සාමාන්‍යයෙන් සිදු වන දෙයකි, ඔවුන්ගේ නම්වලට විසිටින් කාඩ් මුද්‍රණය කිරීම. පැවැති මිල ගණන් සලකාබැලීමේදී රාජ්‍ය ලාංඡනය සහිත ඒ කාඩ් එකක් සඳහා රුපියල් 100ක් වැයකිරීමට සිදු වී තිබිණි.
එහෙත් පත්වූ මාධ්‍ය ලේකම්වරුන් කිහිපදෙනකු කළේ තමන්ගේ හිතවත් මුද්‍රණ ආයතන කිහිපයක් සමග මේ ගැන කතා කිරීම ය. ඔවුන්ට එම කාඩ් එකක් රුපියල් 50ට අඩු මුදලකට මුද්‍රණය කළ හැකි බව ආරංචි විය. මේ ගැන ආණ්ඩුවේ ඉහළට වාර්තා කිරීමෙන් පසු වැයකිරීමට නියමිතව තිබූ මුදලට වඩා අඩක් අඩුවෙන් ඒ වැඩේ කිරීමට අනුමැතිය ලැබිණි. අත්‍යවශ්‍ය වියදම් කරමින්, අනවශ්‍ය වියදම් කැපීම හොඳ දෙයකි. එසේ කරන්නට පටන් ගත් විය ජනතාවට බදු ගෙවන්නට හිතෙන්නේය. එහෙත් හිරවන තැන් අපමණ ය.
ඒ ගැන සුනිල් හඳූන්නෙත්ති ඇමැතිවරයා පසුගියදා අපූරු කතාවක් කිව්වේය. සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී කබීර් හෂීම් පවසා තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුකරන ණය ප්‍රතිව්‍යූහගතකරණ කටයුතුවලදී නීතිඥ සහාය ලබාගැනීම වෙනුවෙන් චාර්ල්ස් ඇන්ඩ් ක්ලිෆර්ඩ් සමාගමට දැවැන්ත මුදලක් ගෙවීමට බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු සමම්ත ගිණුමෙන් මුදල් වෙන්කර ඇති බවයි. එය එසේ නොකළ යුතු බවට සමගි ජන බලවේගයේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනකු සමග කබීර් තර්ක කළේය.
‘අපිට පරණ පව් ටිකක් ගෙවන්න වෙනවා කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි. ඒ ගහලා තියෙන ගිවිසුම් නිසයි එහෙම කරන්න වෙන්නෙ. අයිඑම්එෆ් එක්ක වැඩකරන්න ගෙනාපු චාර්ල්ස් ඇන්ඩ් ක්ලිෆර්ඩ් කුලිය අච්චරයි, මෙච්චරයි කියනවා. කවුද ඒවා ගෙනාවෙ. කවුද ගිවිසුම් ගැහුවෙ. අපි ගෙනැල්ලා නෙමෙයි.
අපි හෙට ඒගොල්ලො අයින් කළොත් චාර්ල්ස්ලා අපිට නඩු දානවා. ඒක නිසා සමහර බැඳීයාවන් අපිට ආණ්ඩුවක් විදිහට කරන්න වෙනවා. ඒත් ඒක අපේ කැමැත්ත නෙමෙයි.’
ආණ්ඩුවක් කරද්දී එහෙම ය. දැන් කොහොමත් කන්කෙඳීරි ගාන්නට ඉඩක් නැත. ජනතාව දෙන්න පුළුවන් උපරිම බලයක් ආණ්ඩුවට ලබාදී ඇත.
උතුරෙන් අලුත් - අලුත් වැඩ
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරසු කච්චිහි ජ්‍යෙෂ්ඨයන් ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට පැමිණ කිව්වේත් මේ ගැන ය. පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ වැදගත්කම, ජනතාවට සහන දීමේ වැදගත්කම ආදී දේවල් ගැන කතා කිරීමෙන් පසු ජනාධිපතිවරයාට උතුරේ ජනතාවගේ ඇති ප්‍රසාදය ගැන ද ඔවුහු කීහ.
‘ආපහු කතාකරන්නවත් දෙයක් අපිට එහෙ ඉතුරු කරලා නෑ.’
ඔවුන් එසේ අවංක වී තිබිණි. කෙසේ වෙතත් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ තවත් පිරිසක් සිටින්නේ මීට වෙනස් මතයක ය. ඔවුන් පසුගිය දිනෙක සාකච්ඡාවක් පවත්වා ඇත්තේ වෙනත් එකතුවක් හදන්නට ය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී අලුත් සන්ධානයක් හැදීම ය, මේ පිරිසේ සැලසුම. මඩකලපුව දිස්ත්‍රික්කයටත්, වව්නියාව - කිලිනොච්චි - මන්නාරම ඇතුළත් වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයටත් එසේ සන්ධානයක් ලෙස තරග කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇත. දැනටමත් වන්නි දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් ලෙස තරග කරන්නේ කවුද යන්න සම්බන්ධයෙන් ඔවුන් තීරණ කිහිපයක් ද ගෙන තිබේ. ජනාධිපතිවරණයේදී උතුරේ පොදු අපේක්ෂකයා ලෙස තරග කළ පී. අරියනේත්‍රම් සමග ද මේ කණ්ඩායම සාකච්ඡා කර ඇත. එසේ ම මානව හිමිකම් සහ පරිසර ඇතුළු විවිධ ක්‍රියාකාරිකයන් පිරිසක් ද මේ පිරිස හමුවී ඇතැයි වාර්තා වේ.
සජිත් පාරක් තෝරාගනී
සමගි ජන බලවේගය පැත්තේ මේ වන විට වෙනත් අවුලක් නිර්මාණය වෙමින් පවතින බවත්, ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සාර්ථකව ප්‍රතිචාර දක්වමින් සිටින බවත් ආරංචි ය. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කතා කාලය පිළිබඳව ද යම් සාකච්ඡාවක් නිර්මාණය වී ඇත. කෙසේ වෙතත් සජිත් කියන්නේ ආණ්ඩුවේ කටයුතුවලට යම් සහායක් ලබාදිය යුතු බවකි. එහෙත් බලවේගයේ තවත් ජ්‍යෙෂ්ඨයන් පිරිසක් කියන්නේ ආණ්ඩුවට දැඩිව පහර නොදුන්නහොත් එය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී බරපතළ අවාසියක් වනු ඇති බවයි.
එම නිසා ආණ්ඩු විරෝධී සියලු කණ්ඩායම් සමගි ජන බලවේගය වටා එක්කර ගැනීමේ සැලසුමක් සහිතව දැන් සිටම වැඩ පටන් ගත යුතු බව එම පිරිසේ අදහස වී තිබේ. සජිත්ගේ සමීපතමයකු ලෙස ප්‍රකට ලක්ෂ්මන් ෆොන්සේකා ඇතුළු පිරිසක් ද මේ වන විට සිටින්නේ සජිත්ගේ මතයේ ම බව ආරංචි ය.
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනාධිපති ළඟටත් ගොස්
සතිය වෙනස් කළ
සීසර්ගේ බිරිඳ !
ලංකාවෙන් එළියට ගොස් නැවතත් ලංකාවට පැමිණිය යුතුය. ඒ මෙහෙම ය. වැඩේ පටන්ගත යුත්තේ අල්ලස් කොමිසමෙන් ය. අල්ලස් කොමිසම පසුගිය 09 වැනිදා දූෂණ විරෝධී දිනය සැමරුවේය. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක ය. අනුර එහිදී කොමිසමේ ක්‍රියාකාරිත්වය ගැන, රටේ සිද්ධ වුණු දේවල් ගැන, ඒවාට දැමූ නඩුවලට වුණු දේවල් ගැන සැරට කතා කළේය.
එතැන්ට යන්නට පෙර ඇමෙරිකාවට යා යුතුය. ලබන ජනවාරියේදී එරට තේරීපත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිවුරුම් දීමේ උත්සවය පැවැත්වීමට නියමිත ය. මේ උත්සවය සඳහා සකර්බර්ග් ඇමෙරිකානු ඩොලර් මිලියනයක් පරිත්‍යාග කර තිබේ. ෆේස්බුක්, වට්සැප්, ඉන්ස්ටර්ග්‍රෑම් යන සමාජ මාධ්‍ය වේදිකාවල මව් සමාගම වන්නේ මෙටා සමාගමයි. මෙටා සමාගමේ ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය මේ බව තහවුරු කරයි. මේ වැඩේ තවත් විශේෂත්වයක් ඇත.
මෙටා සමාගම පවත්වාගෙන ආ පරණ පුරුද්දක් තිබිණි. ඒ, මෙවැනි වැඩ නොකිරීම ය. වෝල් ස්ටී්‍රට් ජර්නල් පුවත්පත ඒ බව පැහැදිලිව පවසා තිබිණි. ඇමෙරිකාවේ ජනාධිපති ධුරය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයෙන් මුලින් ඉදිරිපත් වූයේ ජෝ බයිඩ්න් ය. ඉන්පසු බයිඩ්න් ඉවත් වී කමලා හැරිස් ආවාය. ඇමෙරිකාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් දෙපැත්තට බෙදී අපේක්ෂකයන් දෙදෙනාට සහාය දීමට කටයුත් කරද්දී, සකර්බර්ග් ප්‍රසිද්ධියේ කිව්වේ මෙසේ ය.
‘මම ට්‍රම්ප්ට හෝ හැරිස්ට සහාය දෙන්නෙ නෑ. මගේ ස්ථාවරය වෙනස් කරන්නෙ නෑ.’
සකර්බර්ග් වගේ අපේ අය මතක් කරගන්න
එසේ කියූ සකර්බර්ග් ය, මේ විදිහට ට්‍රම්ප්ගේ දිවුරුම් දීමේ උත්සවයට ඩොලර් මිලියනයක් දෙන්නේ. මේ මුදල් වැඩේට තවත් හේතුවක් බලපෑවේය. ලෝකයේ ධනවතුන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානයේ සිටින්නේ එලෝන් මස්ක් ය. ඒ ෆෝර්බ්ස් සඟරාව වාර්ෂිකව හදන ලැයිස්තුවට අනුව ය. එහි සකර්බර්ග්ට හිමි වී ඇත්තේ සිව්වැනි ස්ථානයයි. මස්ක් මේ වන විට ට්‍රම්ප්ගේ ආණ්ඩුවේ තනතුරක් ද දරයි. ඔහු සෘජුව දිගටම ට්‍රම්ප් වෙනුවෙන් පෙනීසිටියේය. මෙසේ ට්‍රම්ප් වෙනුවෙන් පෙනී සිටි ව්‍යාපාරිකයෝ දිගටම ඉහළට ආහ. ඒ අතරවාරයේ ය, සුප්‍රකට ටයිම් සඟරාව දෙවැනි වරටත් වසරේ පුද්ගලයා ලෙස ට්‍රම්ප් නම් කළේ.
නැවතත් ලංකාවට පැමිණිය යුතුය. පසුගිය කාලයේ ලංකාවේ අල්ලස් නඩු රැසක් ඒ නඩු පැවරූ අල්ලස් කොමිසම මගින් ම ඉල්ලා අස්කරගත්තේය. මේ ගැන මුලින් කියූ දූෂණ විරෝධී සැමරුමේදී ජනාධිපතිවරයා ද අදහස් දක්වා තිබිණි. පසුගිය මැතිවරණවලදී සහ මැතිවරණවලින් පසුව ද ට්‍රම්ප්ට සකර්බර්ග් මුදල් දුන්නා වගේ පරිත්‍යාග රැසක් ගැන කියවිණි. මැතිවරණවල ආදායම් - වියදම් පනතට අනුව ජනාධිපති අපේක්ෂකයන් ඉදිරිපත් කළ තොරතුරු සැකයට භාජනය වී ඇත. පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ඒ ආදායම් - වියදම් වාර්තා දිය යුතු අවසාන දිනය වූයේ පසුගිය 06 වැනිදා ය. එදින වන විට ඒ වාර්තා නොදුන් පිරිස 800කට අධික ය. දුන් අයගේත් ප්‍රශ්න තිබෙන බව ආරංචි ය.
අල්ලස් නඩුවලට සිද්ධ වුණු දේ
කෙසේ වෙතත් අර කී අල්ලස් නඩු ඉවත් කරගැනීමේදී ක්‍රම දෙකක් පාවිච්චි කර තිබේ. එකක් නම් නැවත නඩු පැවරිය හැකි පරිදි නඩු ඉවත් කරගැනීමයි. අනෙක නම් නැවත නඩු පැවරිය නොහැකි පරිදි නඩු ඉවත් කර ගැනීමයි. ආන්දෝලනාත්මක විනිසුරුවරයකු නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු කරන කාලයේදී සිදු කළ විදුලිබල නඩුවකට සම්බන්ධ අල්ලස් නඩුවක් කොමිසමෙන් පවරා තිබිණි. ඒ නඩුව ඉවත් කරගෙන ඇත්තේ නැවත පැවරිය නොහැකි වන ආකාරයට ය. කොමිසමේ කොමසාරිස්වරුන් සියල්ලන්ගේ අත්සනින් නැවත පැවරිය හැකි නඩු වුවද, මෙතෙක් විධිමත්ව පවරා නැත.
දූෂණ විරෝධී දිනයෙන් පසු මෙසේ නැවත නොපැවරූ නඩු ලැයිස්තුවක් ආණ්ඩුවෙන් ලබාගෙන ඇත. ඒ ගැන වැඩ සිදුවන්නේ කෙසේද යන්න දැනට දන්නේ නැත.
නඩු ගැන කතා කළ නිසා තවත් නඩුවක් ගැන කිව යුතුය. ඒ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිදුවීමට අදාළ නඩුවයි. එහි මූලික විමර්ශනවලින් පසු, සියලු විමර්ශන වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට බාරදී දැන් වසර ගණනාවකි. එහෙත් නීතිපති දෙපාර්තමේන්තුව තවමත් එය අධ්‍යයනය කරමින් සිටී. තවමත් විමර්ශන අංශවලට උපදෙස් එවා නැත. මේ ගැන ද ආණ්ඩුව පැත්තෙන් තොරතුරු ඉල්ලා ඇතැයි වාර්තා වේ.
හදිසියේ මතු වූ සීසර්ගේ බිරිඳගේ කතාව
රෝම අධිරාජ්‍යයේ අධිරාජයා වූ සීසර්ගේ බිරිඳ පොම්පෙයාගේ කතාව එන්නේ ක්‍රිස්තු පූර්ව 67 කතාවක් ලෙස ය. සීසර්ගේ බිරිඳ පොම්පෙයා පිළිබඳ යම් සැකයක් ගැන කටකතාවක් පැතිරිණි. කිසිදු සාක්ෂියක් නැති වුවද, විචිකිච්ඡාවක් විය. මේ විචිකිච්ඡාව හේතුවෙන් පමණක් සීසර් ඇය තමන්ගේ බිරිඳ තනතුරෙන් ඉවත් කළේය.
පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින දෙකේ නීති ක්ෂේත්‍රයේ වැඩියෙන්ම කතා වූ මාතෘකාවක් වූයේ මේ සීසර්ගේ බිරිඳගේ කතාවයි. ඊට හේතු වූයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨත්වයෙන් දෙවැනි විනිසුරුවරයා වන ප්‍රීති පද්මන් සූරසේන ලියූ තීන්දුවක 20 වැනි පිටුවයි. එහි දැක්වුණේ විනිසුරුවරුන් සීසර්ගේ බිරිඳටත් වඩා සැකයක්, විචිකිච්ඡාවක් ඇති නොවන පරිදි කටයුතු කළ යුතු බවකි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කළ නිර්දේශය දෙවරක්ම එම සභාවෙන් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ය, මෙසේ ලබාදී තිබුණේ.
ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේ රෝමයේ ජීවත් වූ ප්‍රකට කවි ජුවෙනාල්ගේ ලතින් කවියක කොටසක් ද මේ තීන්දුවේ ඇත. එහි සරල අදහස වන්නේ ආරක්ෂකයන් තමන් විසින් ම ආරක්ෂා විය යුතු බවත්, ආරක්ෂකයන් ආරක්ෂා කිරීමට කිසිවකු නැති බවත් ය. මෙය විනිසුරුවරුන්ට පමණක් නොව, සියල්ලන්ට අදාළ කතාවකි. අල්ලස් කොමිසමටත් අදාළ ය. ජාතික ජන බලවේග ආණ්ඩුවටත් අදාළ ය.
මේ කතාව පසුගිය සිකුරාදා උදෑසන ජනාධිපති කාර්යාලයේදී ද ඇදිණි. ජනාධිපතිවරයාගේ සමීප නීතිඥයන් පිරිසක් මේ නඩු තීන්දුව ගැනත් කතා කරමින්, ආණ්ඩුවකට එහි ඇති වැදගත්කම ගැන ටිකක් දිගට කතා කළහ. ජනාධිපතිවරයා ද සියල්ලට ඇහුම්කන් දෙමින් ඒ කතාබහට සුළු වේලාවක් සම්බන්ධ වූ අතර, ඒ සුළු වේලාවෙන් පසුව ජනාධිපතිවරයා වාඩි වී තිබුණේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡාවකට ය.
කතානායකගේ කතාවෙන් එළියට එන අනෙක් කතා
මේ දිනවල මාධ්‍යවල වැඩියෙන්ම කතාබහට ලක්වන කතාවකි, ආචාර්ය උපාධි යනු. ඒ ගැන පරණ කතාවක් ද ලිවිය යුතුය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පරණ උපක්‍රමයක් වූයේ කටකතා යැවීමයි. මෙය දිවංගත මංගල සමරවීර විසින් ද සිදු කර තිබූ බවට ඔහු සමග සිටි පිරිස් සාක්ෂි දරති. වට්සැප් සමූහ වැනි තාක්ෂණික උපක්‍රම නොතිබූ කාලයේ මේ කටකතා සෑහෙන වැඩක් කර තිබිණි. කතානායකවරයාගේ ආචාර්ය උපාධිය ගැන අනිද්දා (17) ඔහු ප්‍රකාශයක් කරන බව පවසා තිබේ. එම නිසා එය මෙහි විසඳීය යුතු නැත.
ආචාර්ය උපාධි ඇතුළු අනෙකුත් වෘත්තීය සුදුසුකම් ජාතික ජන බලවේග ආණ්ඩුව මැතිවරණ සමයේදී ඉහළට එසවීය. එය ජනතාව පිළිගත්තේය. එම නිසා ජනතාව අතර ඒ පිළිබඳ අවුලක් හැදීමේ සැලැස්මක් ද ක්‍රියාත්මක වී තිබිණි. ඒ අනුව මේ සියල්ලන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබුණේ ඡන්දයට පෙර සිට ය. කතානායකවරයාගේ ප්‍රශ්නය එතැනින් අහුවුණාද කියන්නට දන්නේ නැත. කොහොම වුණත් එහෙම වැඩක් තිබූ බව ලියාතැබීම වටී. හොඳ හොඳ සෙල්ලම් එන්නේ එළිවෙන ජාමෙට ය. එහෙම කියා කිසිවකුට කිසිවකු රැවටීමට අයිතියක් නැත.
මේ ගැන සමගි ජන බලවේගයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසා තිබූ කතාව මෙසේ ය.
‘පාර්ලිමේන්තුවෙ හැමෝම තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රසිද්ධ කරන්න ඕනෙ. මම මගේ සුදුසුකම් ප්‍රසිද්ධ කරනවා. අනෙක් හැමෝමත් එහෙම කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.’
සිකුරාදා උදෑසන විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී ද ප්‍රධාන මාතෘකාවක් වූයේ මෙයයි. එහිදී ජනාධිපතිවරයා තම ස්ථාවරය පැහැදිලිව කිව්වේ මෙසේය.
‘වැරදි කරන කිසිවෙක්, කිසිම හේතුවකට ආරක්ෂා කරන්න අපේ ආණ්ඩුව සූදානම් නෑ. අපේ ආණ්ඩුව ඇතුළෙ වුණත්, කවර තරාතිරමක කෙනෙක් වුණත් වැරැද්දක් කරනවා නම් ඒ වැරැද්දට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න අපි පැකිළෙන්නෙ නෑ. ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග නිවැරදි මොහොතේ ගන්න අපි දෙවරක් කල්පනා කරන්නෙ නෑ.’
ස්වාධීන කොමිෂන් ගැනත් අලුත් සාකච්ඡාවක්
මේ ගැන තවත් හොඳ ම කතාවක් කිව්වේ පසුගිය බදාදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයකදී මහාචාර්ය දීපිකා උඩගම ය. ඇය මෙහිදී කතා කළේ ප්‍රජාචාරය හෙවත් සිවික් එඩියුකේෂන් යනුවෙන් භාවිත වන වචනය ගැන ය. ලංකාවේ මේ ප්‍රජාචාරය ඉගැන්වීමේ සීමා ගැනත්, එමගින් උගන්වන අයිතිවාසිකම්, වගකීම්, වගවීම්, සමාජ වටිනාකම් ගැන ඇය කතා කළාය. උපාධි පස්සේ ම නොගොස් අධ්‍යාපනය විධිමත් කරගැනීමේ වැදගතකම් ගැන ඇය මෙහිදී අවධාරණය කළාය.
මේ වැඩේදී ම තවත් වැදගත් දෙයක් එළියට ආවේය. ඒ, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තම කොමිසමේ බලය වැඩිකර ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුව සමග සාකච්ඡාවක් ආරම්භ කර ඇති බවයි, ඒ. දැනට මානව හිමිකම් කොමිසමෙන් ලබාදෙන නිර්දේශ රජයේ ආයතන සමහරක් ඉටු නොකරන බවත්, එම නිසා බලය වැඩිකර ගැනීමේ අවශ්‍යතාව මතුවී ඇති බවත් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති, මානව හිමිකම් කොමිසමේ වර්තමාන කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා කිව්වේය. ලංකාව තියෙන්නේ වෙනම තැනක ය. පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි නොපැවැත්වීම පිළිබඳ නඩු තීන්දුවේදී වරදකරු කරන ලද අයෙකි, මේ නිමල් පුංචිහේවා යනු.
ආරක්ෂක මණ්ඩල රැස්වීමෙන් පසු කතාව වෙනතක යයි
පසුගිය සතියේ පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී වැඩි අවධානයක් යොමු වූ කරුණක් වූයේ අධ්‍යාපන අමාත්‍යංශය පිහිටි බත්තරමුල්ල, ඉසුරුපාය ඉදිරිපට පැවැති සංවර්ධන නිලධාරීන්ගේ විරෝධතාවයේදී පිහියක් පාවිච්චි කළ පුද්ගලයා කවුද යන්නයි. ඔහු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයකු ය යන කතාවත් සමග මෙය තීරණාත්මක වී තිබිණි. මේ දිනවලම ය, යුද හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ බි්‍රගේඩියර් චන්දික මහතන්තිල එම ධුරයෙන් ඉවත් කෙරුණේ. ආරක්ෂක මණ්ඩල රැස්වීමේ සාකච්ඡාවට අනුව පිහියේ වැඩේ කර තිබුණේ බුද්ධි අංශ සාමාජිකයකු නොවේලු.
කෙසේ වෙතත් මීට අදාළ ව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වීමේදී පොලිසිය මීට බුද්ධි අංශ සම්බන්ධයක් ඇතැයි කියා තිබූ බව මාධ්‍ය වාර්තා කළේය. එය කිව්වාද, නැද්ද යන්න වෙනම කතාවකි. දැන් ඒ ගැනත් සෘජුවම පොලිස්පතිවරයා යටතේ ඇති පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත. දැන්-දැන් වාර්තා වන ආකාරයට යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් සිටි තැනක සිටි අයකු ය, මේ පිහි වැඩේ කර තිබෙන්නේ. ඔහු සිකුරාදා වන විට අත්අඩංගුවට ගැනීමට ද නියමිතව තිබිණි.
10.30 සිට 1.30ට ගතවූ පැය තුන
සමගි ජන සන්ධානයට පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබුණු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 05කි. එයින් එකක් එම බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ගත්තේය. ඔහුගේ නම ගැසට් කෙරිණි. ඉන්පසු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඩලස් අලහප්පෙරුම ගැන කතා රැසක් තිබිණි. ඒ දෙදෙනා ද මේ ගැන සජිත් ප්‍රේමදාස සජස නායකයා සමග සාකච්ඡා කර තිබිණි. ඒ අතර මනෝ ගනේෂන් වැනි සන්ධානයේ අනෙක් පක්ෂ දිගටම කිව්වේ පොරොන්දු වූ පරිදි අපට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් අත්‍යවශ්‍යයි යනුවෙනි. කෙසේ වෙතත් අවසානයේදී ඊට නඩුවක් ගියේය.
මේ සන්ධානයේ සාමාජිකයකු වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් පසුගියදා කොළඹ දිසා අධිකරණයට පැමිණිල්ලක් ගොනුකර තිබිණි. එහි විත්තිකරු ලෙස නම් කර තිබුණේ රංජිත් මද්දුම බණ්ඩාර ය. මේ පැමිණිල්ල සලකා බැලූ කොළඹ දිසා අධිකරණය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් නිසාම් කාරියප්පර්ගේ නම ඇතුළත් නොකොට සමගි ජන සන්ධානයේ ජාතික ලැයිස්තුව මැතිවරණ කොමිසමට යැවීම වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කළේය. ඒ කියන්නේ හකීම්ට වාසි ය. මද්දුම බණ්ඩාරලාට පාඩු ය.
අධිකරණයෙන් මේ වාරණ නියෝගය දුන්නේ බ්‍රහස්පතින්දා පෙරවරු 10.30ට ආසන්න වෙලාවක ය. රංජිත් මද්දුම බණ්ඩාරලා ලැයිස්තුව මැතිවරණ කොමිසමට යැව්වේ එදින පස්වරු 1.30ට ආසන්න වෙලාවක ය. ඒ ලැයිස්තුවේ නිසාම් කාරියප්පර්ගේ නම තිබිණි. එහෙත් රංජිත් මද්දුම බණ්ඩාර මාධ්‍යයට කිව්වේ ‘අපි කොහොමත් එයාව යවන්න තීරණය කරලා තිබුණෙ’ කියලා ය. ඒත් ඇත්ත කතාව නම් නියෝගයෙන් පසු ඒ වැඩේ කිරීම ය. ඒ අනුව සුජීව සේනසිංහ, මනෝ ගනේෂන්, නිසාම් කාරියප්පර්, මොහොම්මදු ඉස්මයිල් මොහොම්මදු මුත්තු සමග රංජිත් මද්දුම බණ්ඩාර අවසානයේදී සමගි ජන සන්ධානය වෙනුවෙන් දස වැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන ජාතික ලැයිස්තු මන්ත්‍රී කණ්ඩායම වූහ.
රනිල්ගේ සමීපතමයන් පැරදවූ ෆයිසර්
අනෙක් පැත්තෙන් මේ වැඩේට පැටළුණේ සිලින්ඩරයයි. රවී කරුණානායක එහි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස ගැසට් කෙරිණි. ඉන්පසු ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට යවන්නේ කවුද යන්න පිළිබඳ සංවාදයක් විය. ඒ තැනට යන්නට වජිර අබේවර්ධන හිටපු ඇමැතිවරයා ද සෑහෙන උත්සාහයක් දැරුවේය. රනිල්ගේ සමීපතමයන් රැසක් ද වජිර යවන්නැයි කීවද, රනිල් පරණ පුරුදු සිනාමුසු මුහුණෙන්ම සිට ඇත. අවසානයේදී එතැන්ට ගියේ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ය. ඒ කියන්නේ ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපාගේ පුත්‍රයා ය. ෆායිස් මුස්තාපා කියන්නේ යනු හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේත් සමීපතමයෙකි. දැන් ඔහුගේ පුතා රනිල්ගේ සමීපතමයන් අබිබවා පාර්ලිමේන්තු ගොස් ඇත.
කොහොම වුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ෆයිසර් මුස්තාපා පාර්ලිමේන්තු යැවීමෙන් පසු සිලින්ඩරය සමග ඇති සියලු ඇයි-හොඳයිකම් නවත්වන බවයි. ඉදිරි පළාත් පාලන මැතිවරණයට පුටුව ලකුණින් ඉදිරිපත් වීමට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණයක් ගෙන ඇත. පුටුව යනු ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ ලකුණයි. එහි ලේකම්වරයා ලෙස සිටියේ හිටපු අගමැති දි.මු. ජයරත්නයි. දැන් ලසන්ත අලගියවන්න එම තනතුරේ සිටී.
සාගරලා එක පැත්තක - නාමල් තව පැත්තක
කතානායක කතාවත් සමග පොදුජන පෙරමුණ විශ්වාස භංගයක් ගෙන ඒමට සූදානම් වන බව එම පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් පවසද්දී, නාමල් රාජපක්ෂ සිටින්නේ වෙනත් වැඩක ය. ඔහු පසුගිය සති කිහිපය පුරා ම මේ වැඩේ සමග සිටි අතර සිකුරාදා දිනයේ ඔහු තමන්ගේ මේ වැඩේ ගැන එක්ස් පණිවුඩයක් ද තබා තිබිණි.
එහි දැක්වුණේ යුද්ධයේ පීඩාවන් තවදුරටත් ලංකාවේ තරුණයන්ට දැනෙන්නට ඉඩ නොදිය යුතු බවයි. එම නිසා ඉන්දියාවේ සිටින දෙමළ තරුණයන්ට ලංකාවට පැමිණීමටත්, ඔවුන්ගේ පවුල් සමග එක්වීමටත් අවශ්‍ය පහසුකම් සපයන්නට ආණ්ඩුව මැදිහත් විය යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය ඕනෑම සහායක් ආණ්ඩුවට ලබාදීමට තමන් සූදානම් බවත් නාමල් රාජපක්ෂ කියයි. මෙවැනි ප්‍රශ්නවලට මුහුණ පා ඇති උතුරේ දෙමළ තරුණයන් මුණගැසීමට ද නාමල් පසුගිය කාලයේ කටයුතු කර තිබිණි.
එසේ ම ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සමග ද ඒ ගැන සාකච්ඡාවකට නාමල් සහභාගි වී ඇති අතර, නාමල්ගේ සමීපතමයන් පිරිසක් මේ ගැන සොයාබලන්නට ඉන්දියාවට යෑමට සූදානමින් සිටින බවක් ද ආරංචි ය. ඒ කියන්නේ සාගර කාරියවසම්ලා වෙන වැඩක් කරද්දී නාමල් රාජපක්ෂ ඉන්නේ වෙන වැඩක ය.