Wednesday, January 8, 2025

ගුවන්යානය 2025න් 2024ට ගියාට

අපිත් යන්න ඕනෙ ආපස්සට ද?



නාමල් කුමාර දෙවැනි කතාවත් කියා තිබේ. ඔහු දැන් රක්ෂිත බන්ධනාගාරයේ ය. ඔහුට එරෙහිව චෝදනා ගොනු කර ඇත්තේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ ය. ඒ කාදිනල් හිමියන්ට අපහාස කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙනි. කාදිනල් හිමියන්ට මේ ගැන දිසා අධිකරණයේ අපහාස නඩුවක් පවරන්නට හැකියාව තිබියදී මේ විදිහට සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ ඔහුට එරෙහිව ක්‍රියාත්මක වීම වැරදි බව ජ්‍යෙෂ්ඨ නීතිඥයන් රැසක් ම අවධාරණය කරන කරුණකි. මේ නීතියෙන් චෝදනා ගොනුකර ඇති නිසා ඔහුට මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ගන්නට බැරි ය.
මේ නාමල් කුමාර කියන්නේ නරේන්ද්‍ර මෝදිත් හිරිවැට්ටවූ කෙනෙකි. නරේන්ද්‍ර මෝදිගේ මාධ්‍ය ඒකකයට වැඩ වැඩි කළ කෙනෙකි.
2018 වසරේ සැප්තැම්බර් 12 වැනිදා මහනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු කිව්වේ එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් ඇති බවයි. එය ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ එවකට ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා විසින් මාකඳූරේ මධුෂ් නම් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා යොදවා සිදුකිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු කිව්වේය. කෙසේ වෙතත් අවසානයට තහවුරු වූයේ සහකාර පොලිස් අධිකාරිවරයකු ඝාතනය කිරීමේ සැලසුමක් පමණක් සකස් කර ඇති බවත්, මෛත්‍රී හෝ ගෝඨාභය හෝ ඝාතන කුමන්ත්‍රණයක් තිබී නැති බවත් ය. නාමල් කුමාර යනු 2009 වසරේ හමුදාවේ සිට පළා ඇවිත්, නැවත හමුදාවට ගිය අයෙකි. 
හින්දු පුවත්පතේ පළවූ කැබිනට් රහස
කෙසේ හෝ නාමල් කුමාරගේ මේ ප්‍රකාශයෙන් පසු ඒ මාසයේ ම 16 වැනිදා ඉන්දියාවේ ද හින්දු පුවත්පතේ ලිපියක් පළ විය. එහි සඳහන් වූයේ ඉන්දියාවේ ප්‍රධාන රහස් ඔත්තු සේවය වන රෝ සංවිධානය එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඝාතනය කිරීමට සූදානමින් සිටින බවක් මෛත්‍රිපාල සිරිසේන කැබිනට් මණ්ඩල රැස්වීමේදී පැවසූ බවයි. එම කැබින ට්මණ්ඩල රැස්වීමට සහභාගි වූ ඇමැතිවරුන් හතරදෙනකුගෙන් මේ කරුණ තහවුරු කරගත් බව ද හින්දු පුවතේ සඳහන් විය. 
මේ අතර තවත් වැඩක් සිදු විය. නාමල් කුමාරගේ නිවසට පැමිණි ඉන්දීය ජාතිකයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හදිසියේ ම අත්අඩංගුවට ගැනිණි. පසුව ඔහු මානසික ආබාධයක් ඇති පුද්ගලයකු බව සඳහන් කෙරුණු අතර, ඉන් එහාට ඒ පිළිබඳ විමර්ශන සිදු වූ බවක් ආරංචි නැත. 
හින්දු පුවත පත්තු විය. සැප්තැම්බර් 17 වැනිදා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, එනම් දකුණු ආසියාවේ බලවත්ම පුද්ගලයා මෛත්‍රිපාල සිරිසේන එවකට ලංකාවේ ජනාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ගත්තේය. වාර්තාවලට අනුව දීර්ඝ වේලාවක් ඇදුණු ඒ දුරකතන ඇමතුමෙන් පසු මෝදිගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කළේය. එහි දැක්වුණේ තමන්ව ඝාතනය කිරීමට රෝ සංවිධානයේ සැලසුමක් නැතැයි මෛත්‍රිපාල සිරිසේන මෝදිට පැවසූ බවයි. කතාබහ ගියේ කොහොමද කියන්නට දන්නේ නැත. හින්දු පුවත්පත ද තම පුවත නිවැරදි කරන්නට හෝ යළිත් අලුත් කතාවක් ලියන්නට ගියේ නැත. 

කවුද මේ කවුරුත් නොදන්න උපදේශක?

මේ සියල්ල කළේ නාමල් කුමාර පත්තු කළ කතාවයි. දැන් ඔහු යළිත් කතාවක් පත්තු කර තිබේ. ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මාධ්‍යයට පැවසුවේ ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න දැන් සතුටුද, ඔය දෙන්නටත් ඇතුළට යන්න වෙනවමයි කියලා ය. ශානි කියන්නේ දැන් අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයේ ප්‍රධානියා ය. රවී කියන්නේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ය. 
මහජන ආරක්ෂක අමාත්‍යංශය ගැන කියූ නිසා තවත් කතාවක් ලිවිය යුතුය. ඒ, වතර්මාන ආණ්ඩුවෙන් පත්කර ඇති උපදේශකවරයකු ගැන කතාවකි. ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයේත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් හිටපු ප්‍රධානියෙකි. දැන් විශ්‍රාමිකයෙකි. වසීම් තාජුඩීන් ඝාතන සිදුවීම, රතුපස්වලදී නිරායුධ සිවිල් වැසියන්ට වෙඩි තැබීමේ සිදුවීම ඇතුළු අපරාධ කිහිපයක විමර්ශන සඳහා මැදිහත් වූ බවට ඔහුට චෝදනා තිබේ. මේ උපදේශකවරයා සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළ ම පාර්ශ්ව අතර ද කතාබහක් මතු වී ඇත. ඒ ඔහු මෙතැන්ට ආවේ කෙසේද යන්න සම්බන්ධයෙනි. මොනවා වුණත් කවුරුහරි හැදෙන්න අවස්ථාවක් ඉල්ලනවා නම්, හැදෙන්න අවස්ථාවක් දිය යුතුය.
නලින්ද ගින්න පත්තු කළේ සැලසුමක් ඇතිව ද?
පසුගිය සතිය අවසානයේ තීරණාත්මක කතාව මතු වූයේ කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස සම්බන්ධයෙන් ය. ඔහු මහරගම අපේක්ෂා රෝහලේදී කතරගම දේවාලයෙන් ලබාදුන් පරිත්‍යාගය විවෘත කිරීමේ අවස්ථාවේදී මෙසේ පවසා තිබිණි.
‘මේක වටිනා කාර්යයක්. ඒ වටිනාකම එන්නෙ පිළිකාවක් පිළිබඳව දැනගත්තහම ඒ පවුලක අයට, ඒ සමීපතමයන්ට දැනෙන වේදනාව කොතරම් ද කියන එක අපි කාටත් දැනෙන්න ඕනෙ. වැඩිහිටියකුටත් වඩා දරුවකුට..... සෞඛ්‍ය අමාත්‍යංශයේ තියෙනවා අරමුදලක්. ඒ අරමුදලට පොදුවේ හෝ පෞද්ගලිකව දායකවෙන්න පුළුවන්. ....... රෝහලක් බලලා හිතේ ඇති වන සංවේදී සිතුවිල්ලට උදව් කරන්න බැහැ. ඇත්තටම හිත හොඳීන් දෙන ආධාරය වුණත් අවුරුදු කීපයක් ගියාට පස්සෙ ඒක අමාත්‍යංශයට, රජයට බරක් වෙනවා. රජයත් මෙතැනින් එහාට මුදල් වියදම් කරන්නෙ ඉල්ලන ඉල්ලන විදිහට නෙමෙයි, ජාතික සැලැස්මකට අනුවයි.’
නලින්දගේ මේ කතාවට හතරවටෙන්ම පහරවදින්නට ගත්තේය. එහෙත් ඔහු මේ කතාව කියා තිබුණේ නිකම්ම නොවේ. පෙර සූදානමක් ද ඇතිව ය. ඒ පෙර සූදානමට අනුව නලින්ද තවත් ලැයිස්තුවක් හෝ තොරතුරු කිහිපයක් එළියට දමන්නට සූදානම් ය. තවත් යනුවෙන් වචනයක් එකතු කළේ මීට පෙරත් ඔහු ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගත් මැති-ඇමැති ලැයිස්තුවක් එළියට දැමූ නිසා ය. නලින්ද අර කතාවේදී කියූ සෞඛ්‍ය අමාත්‍යංශයේ අරමුදල යනු සෑහෙන මුදලක් එකතු වූ තැනක් බවත් ආරංචි ය. ඒ මුදල්වලට සිදු වූයේ කුමක්ද යන්න ගැන ඇතැම් විට ඉදිරි දින කිහිපයේදී එළියට එනු ඇත.

ඔක්කොම අවසන් - කාර්යාලයත් ඉවරයි

අප පසුගිය සතියේ මේ තීරුවේ ලියූ ආකාරයට ම ආරක්ෂක අංශ සියල්ලේම ප්‍රධානීන් මාරුකිරීමේ තීරණය ආණ්ඩුවෙන් ගත්තේය. යුද හමුදාපතිවරයාට පසුගිය 31 වැනිදා සිය දෙවැනි සේවා දිගුව අවසන්ව විශ්‍රාම යෑමට ඉඩ සැලසූ අතර, නව යුද හමුදාපතිවරයා පත්කෙරිණි. නාවික හමුදාපතිවරයාගේ සේවා දිගුව ද 31න් අවසන් කෙරිණි. ගුවන් හමුදාපතිවරයාගේ සේවා දිගුව ලබන 26 වැනිදා අවසන් වන අතර, ඔහුගේ සේවය ද එතැනින් අවසන් කිරීමට තීරණය කර ඇත. ජාතික බුද්ධි සේවයේ ප්‍රධානියා ද වෙනස් කෙරිණි. යුද හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා ඇතුළු ඉහළ තනතුරු කිහිපයක් ම වෙනස් කෙරිණි. 
තවත් වැදගත් කාරණයකි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය දැරූ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද 31 වැනිදා විශ්‍රාම ගියේය. විශ්‍රාම යෑමෙන් පසු ඔහු පවසා තිබුණේ 2022 අරගලය අවස්ථාවේ  අනීතික නියෝග තමන් ක්‍රියාත්මක නොකළ බවකි. එම නිසා තමන් යුද හමුදාපති ධුරයෙන් ඉවත් කෙරුණු බවක් ඔහු කිව්වේය.
2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනතට අනුව පත්කෙරෙන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණවලට සහාය වීම ය. ඔහුට අණදීමේ බලයක් නැතත්, ප්‍රායෝගිකව ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය සලකා ඇතැම් විට හමුදාපතිවරුන් ඔහු කියන දේට අවනත විය. 160කට වැඩි සේවක මණ්ඩලයක් එම කාර්යාලයට අනුයුක්තව සේවය කරන අතර, විවිධ පහසුකම් සහ වරප්‍රසාද රැසක් ද එහි ඇත. විශේෂ ම දේ එහි වැඩක් ද නැත. ශවේන්ද්‍රගේ විශ්‍රාම යෑමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය පිළිබඳ වාර්තාවක් කැඳවා ඇත. ඇතැම් විට ඉදිරියේදී එම තනතුර හිස් ව තිබෙන්නට ද ඉඩ ඇත.

ආණ්ඩුවට විරුද්ධ නඩුවේ වාසිය ගන්න තරගයක්

ආණ්ඩුවට විරුද්ධව දැමූ පළමු නඩුව දිනූ බව මේ දිනවල සර්ව ජන බලය පැත්තෙන් කියමින් සිටී. ඒ නඩුව වන්නේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 03ක් පිටවීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයයි. මේ අතර එක් පෙත්සම්කරුවකු වූයේ බදුල්ලේ නීතිඥවරයෙකි. ඔහු සර්ව ජන බලය පක්ෂයෙන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට තරග වැදුණු අයෙකි. බදුල්ලේ වුවද, ඔහු තරග කර තිබුණේ අම්පාර දිස්ත්‍රික්කයෙන් ය. ඔහු පෙත්සම්කරුවකු වීම නිසා නඩුව තමන් විසින් දැමූ එකක් බව සර්ව ජන බලය කියමින් සිටී. සැබෑව නම් පෙත්සම්කරුවන් විශාල සංඛ්‍යාවක් මෙහි සිටි බවයි.
අධිකරණ ක්ෂේත්‍රයේ පසුගිය සතියේ කතාබහට ලක්වූ තවත් සිදුවීමක් වූයේ බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට ගැනීමයි. ඔහු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේගේ සහෝදරයෙකි. තිළිණ ගමගේ වරක් වැඩ තහනමට ද ලක්විය. ඒ අලි ජාවාරම සම්බන්ධ නඩුවකට අදාළව ය. කෙසේ වෙතත් මේ සහෝදරයාගේ සිදුවීමෙන් පසු තිළිණ ගමගේ මොරටුව දිසා අධිකරණයට මාරු කෙරිණි. ඔහුගේ පැත්තෙන් ඊට පෙර අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබුණේ සහෝදරයාගේ නඩුව වෙනත් අධිකරණයක, වෙනත් විනිසුරුවරයකු වෙත යොමුකරන ලෙසයි. ඒ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් අධිකරණ සේවා කොමිසම සිදුකර තිබුණේ නඩුව අදාළ අධිකරණයේ ම විභාගයට යොමුකිරීමයි. තිළිණ එතැනින් මාරු කෙරිණි. 
තවත් කාරණයක් වන්නේ අධිකරණ සේවා කොමිසමට අලුත් සාමාජිකයකු පත්කිරීමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට සිටින දෙවැනි ජ්‍යෙෂ්ඨතම විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඒ කොමිසමට පත්කර ඇත. දැනට අගවිනිසුරු ධුරය දරන මුර්දු ප්‍රනාන්දුගේ සේවා කාලය මේ වසර මැදදී අවසන් වීමට නියමිත ය. ඊළඟට ලිස්ට් එකේ සිටින්නේ සූරසේන විනිසුරුවරයා ය.

85 සූරි 81 සිංග්ට කියපු දේ

ප්‍රකට දේශපාලන විචාරකයකු වූ ජේ.ආර්.පී. සූරියප්පෙරුම පසුගිය බ්‍රහස්පතින්දා 96 වැනි වියේදී අභාවප්‍රාප්ත විය. මතවාදී ගැටලු තිබුණද, තම මතවාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටි අයෙකි, ඔහු. වරක් අපූරු සිදුවීමක් සිදු විය. 
2010 සිට 2015 දක්වා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ඔහු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කෙරිණි. 2013 වසරේ දිනක සූරියප්පෙරුම මන්ත්‍රීවරයා විසින් එවකට ඉන්දීය අගමැති මන්මෝහන් සිංග්ට තදබල ප්‍රහාරයක් එල්ල කළේය. ඒ පාර්ලිමේන්තුවේදී ය. ඔහු සිංග් අගමැතිවරයා ඇමතුවේ නාකි මෝඩ යනාදී වචන යොදාගනිමිනි. කෙසේ වෙතත් ඒ වන විට මන්මෝහන් සිංග්ට වයස අවුරුදු 81කි. සූරියප්පෙරුමට වයස අවුරුදු 85කි. මන්මෝහන් සිංග් ද මීට සතියකට පෙර අභාවප්‍රාප්ත විය. ඔහු සෝනියා ගාන්ධිට යට වූයේ කෙසේද, සෝනියා ඔහු ව යටත් කරගෙන වැඩකිරීමට කටයුතු කළේ කෙසේද යන්න පිළිබඳ ව අපි පසුගිය සතියේ මේ තීරුවේ දීර්ඝ ව ලීවෙමු.
2025න් 2024ට ගිය ගුවන් ගමන මතක් කරගත්තොත් නරකද?
2025 වසරේ සිට 2024 දක්වා ගුවන් ගමනක් ගියේ පසුගිය පළමුවැනිදා ය. එසේ කී විට එක්වරම දැනෙන්නේ අපභ්‍රංසයකි. ඒත් ඒක ඇත්තකි. ඒ ඉර නැගීමේ - බැසීමේ කතාවකි. හොංකොං රාජ්‍යයෙන් මේ ගුවන් ගමන පටන්ගන්නා විට ඒ පැත්තට 2025 උදාවී අවසන් ය. ලොස්ඇන්ජලීස්වලින් ගුවන්යානය සිය ගමන අවසන් කරන විටත් ඒ පැත්තට තවමත් නව වසර උදා වී තිබුණේ නැත.
මේ කතාව මෙතැන්ට අදාළ වන්නේ සමගි ජන බලවේගයේ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් විසින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට සහ එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරට යොමුකළ ලිපියක් නිසා ය. ඉමිතියාස් කියන්නේ ආපස්සට නොව ඉදිරියට යන්නට අවශ්‍ය බවයි. පක්ෂය ඉදිරියට ගැනීම සඳහා පක්ෂය ප්‍රතිසංස්කරණය කිරීමේ, මහ පොළොවේ සක්‍රී ය සැලසුම් ක්‍රියාත්මක කිරීමේ, වගකීම් බෙදාහැරීමේ, පක්ෂ යන්ත්‍රණය විධිමත්ව ගොඩනැගීමේ අවශ්‍යතාව සභාපතිවරයා විසින් ලේකම්වරයාටත්, නායකයාටත් පෙන්වා දී ඇත.

මනෝලා - හකීම්ලා අලුතින් සැලසුම් හදති

මේ ලිපිය ගැන ආරංචි වූ සමගි ජන සන්ධානයේ දේශපාලන පක්ෂ කිහිපයක් ඉමිතියාස් සමග සාකච්ඡා කිරීමට ද සූදානම් වී ඇත. එහෙත් ඉමිතියාස් එය ප්‍රතික්ෂේප කර ඇති බවක් ආරංචි ය. මෙය සමගි ජන බලවේගයේ අභ්‍යන්තර කතාවක් බවත්, ඊට සන්ධානය ගාවාගත යුතු නැති බවත් ඔහු පෙන්වා දී ඇත. කෙසේ වෙතත් පසුගිය සතියේ මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ සමගි ජන සන්ධානයෙන් ඉවත් වන බව කිව්වේය. ඔවුන් මේ වන විටත් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තනියෙන් තරග කොට වැඩි මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් ලබාගන්නේ කෙසේද යන්න සාකච්ඡා කරමින් සිටී. ඔවුහු මෙවර තමන්ගේ ලැයිස්තුවලින් නීතිඥයන් වැඩි පිරිසකට අවස්ථාව දෙන්නට ද තීරණය කර ඇත. 
මනෝ ගනේෂන් සහ කොළඹ දිස්ත්‍රික්කයේ ඔහුට හිතවත් නීතිඥවරුන් පිරිසක් අතර පසුගියදා හමුවක් පැවැත්විණි. එම හමුවේදී මනෝ සියල්ලන්ට ආරාධනා කර තිබුණේ ඔවුන් සමග පළාත් පාලන මැතිවරණය කරන්නට ය. මුස්ලිම් කොංග්‍රසය ද දැන් ඉන්නේ වෙනම ගමනක් යන තීරණයක ය. එවැනි තත්ත්වයක් යටතේ සමගි ජන බලවේග සභාපතිවරයාගේ ලිපිය සෑහෙන වැදගත් වනු ඇත.

තලතා අයියාගේ වැඩේ පටන්ගනී

සමගි ජන බලවේගයේ සිට එක්සත් ජාතික පක්ෂයට පැමිණි තලතා අතුකෝරාල පසුගිය කාලය පුරා ම කාර්යබහුල විය. මැතිවරණයේදී ඇය සමග එජාපයට එන්නට මන්ත්‍රීවරුන් පිරිසක් සිටියද, සැලසුම් කළ ආකාරයට එය සිදුනොවීය. මේ ගැන තලතා විසින් රිෂාඩ් බදූර්දීන්ට ප්‍රිසිද්ධියේ දෝෂාරෝපණය කර තිබුණේ රිෂාඩ්ගේ පරණ සිදුවීමකදී රනිල් වික්‍රමසිංහ උද ව්කළ ආකාරය අමතක කරන්න එපා යනුවෙන් ද කියමිනි. 
කෙසේ වෙතත් පසුගිය සිකුරාදා තලතා නිල වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරය බාරගත්තේය. ඒ තමන්ගේ අයියා දැරූ තනතුරයි. ගාමිණී අතුකෝරාල මරණයට පත්වන විට ඔහු එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා මෙන්ම මහ ලේකම්වරයා ද විය. රනිල් ලංකාවේ නැති දවසක ම තලතාගේ පත්වීම ප්‍රසිද්ධ කෙරිණි. රනිල් මෙ ්දිනවල සිටින්නේ නේපාලයේ ය. රනිල්ගේ උපදෙස් පිට වජිර අවෙබ්ර්ධන ය, මේ දිනවල පක්ෂයේ වැඩ බලන්නේ. ආරංචිවල හැටියට තලතා ඉදිරි මාසයක කාලයේදී සීග්‍රගාමී ගමනක් යන්නට සැලසුම් කර තිබේ.
එහි ආරම්භක පියවර ලෙස පක්ෂයේ ආසන සංවිධායකවරුන් සියල්ල ඉදිරි සතිය තුළ මුණගැසීමටත්, ක්‍රියාකාරී-තරුණ ආසන සංවිධායකවරුන් පිරිසක් අලුතින් පත්කිරීමටත් නියමිත ය. තලතා පත්කළේ සිකුරාදා වුවද, ඒ අලුතින් පත්කරන ලැයිස්තුව තලතාගේ ප්‍රධානත්වයෙන් සකස් කර අවසන් කර දැන් දින ගණනාවක් බව ද ආරංචි ය. කෙහොම වුණත් එයින් එකක් පෙනෙන්නේය. එක්සත් ජාතික පක්ෂය යළිත් අළු ගසා දමා නැගිටින්නට ලකලෑස්ති වෙමින් සිටී. 

යෝෂිතගේ කතාවට පැටළෙන වතුර බිල

යෝෂිත රාජපක්ෂ පසුගිය සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි. ඒ කතරගම මැණික් ගඟ රක්ෂිතයේ පිහිටි ඉඩමක අයිතිය පිළිබඳ ප්‍රකාශයක් ගන්නට ය. පසුගිය 27 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන විශ්‍රාමික මේජර් නෙවිල් වන්නිආරච්චි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි. ඔහුගෙන් කරන ලද ප්‍රශ්නකිරීම්වල දිගුවක් ලෙස ය, මෙසේ යෝෂිත කැඳවා ඇත්තේ. 
මේ අතර ම කියන්නට තවත් කතාවක් තිබේ. 2010 වසරේදී මේ ප්‍රදේශයේ ඉඩමක පිහිටි ඉදිකිරීමකට ජල බිලක් පැමිණ තිබුණේ ගෝඨාභය රාජපක්ෂ නමට ය. දැන් ආණ්ඩු බලය දරන ජාතික ජන බලවේගයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ මගින් පවත්වාගෙන ගිය ලංකා පුවත්පත මගින් එය අනාවරණය කෙරිණි. එම පුවත්පත් වාර්තාවේ ජල බිල, එය නිකුත් කළ දිනය, ඊට අදාළ ලියාපදිංචි වූ දින ඇතුළු තොරතුරු රැසක් ද විය. ඉන්පසු සිදු වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලංකා පුවත්පත් කාර්යාලයේ ප්‍රධාන කර්තෘවරයා ප්‍රශ්න කිරීමයි. ප්‍රවෘත්තිය ලියූ මාධ්‍යවේදියා හඹායෑමයි. එම තොරතුරු ලැබුණේ කෙසේදැයි දිගින්-දිගටම ප්‍රශ්න කිරීමයි.

No comments:

Post a Comment