ලොකු අයියා ගැන
අවධානයෙන් සිටින ලාල්
ඒක කිව්වෙ නිකම්මද?
සතිය අවසානය වන විට සියල්ල ලාල්කාන්තගේ පිටින් ගොස් තිබිණි. ඒ ලාල්කාන්ත පාර්ලිමේන්තුවේදී කළ කතාවේ කොටසක් නිසා ය. වගා භූමිවලට හානිකරන සතුන් ගැන බලාගන්නැයි කෘෂිකර්ම විෂය බාර ඇමැතිවරයා ලෙස ඔහු කියා තිබිණි. පරිසරවේදීන් ඇතුළු සියල්ල ඔහුට එරෙහිව අවි අමෝරද්දී, ගොවීහු ඔහුගේ පැත්තේ හිටගත්හ. මේ ගැන පාර්ලිමේන්තුවේ ඇති වූ කතාබහකදී ලාල්කාන්තගේ පැත්තෙන් කියා තිබුණේ ‘බහුතරය ගැන හිතන්න ඕනෙ, ඒ වගේම මෙහෙම එකක් කියපු පළියට මිනිස්සු එහෙම කරන්නෙ නෑ, මිනිස්සු ඊට වඩා සංස්කෘතිකයි’ යනුවෙනි. ඒ කතාව ම වෙනස් විදිහකට ඔහුගේ පැත්තේ හිටගත් ගොවීහු ද කියමින් සිටිති.
‘එහෙම මරනවද අපි?’
කොහොම වුණත් ලංකාවේ වනජීවීන් පිළිබඳව ඇති නීතිවලට අනුව ද එය කළ නොහැකිය. මේ කතාවත් එක්ක මතක් වන තවත් කතාවක් තිබේ. ඒ රිලවු ගැන කතාවකි.
පොඩි මල්ලී ලොකු අයියා ගැන අවධානයෙන්
සංඛ්‍යාලේඛනවලට අනුව ඉන්දියාවේ ආසන්න වශයෙන් මිලියන 50කට වැඩි රිලවු ගහනයක් සිටිති. ඒ රීසස් මැකාකස් නම් වර්ගයයි. 2023 මාර්තු 10 වැනිදා ආචාර්ය රාජේෂ් සිං ප්‍රමුඛ පිරිසක් විශේෂ පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කළහ. ඉන්දියාවේ හිමාලය ප්‍රදේශයේ 2007 - 2010 කාලයේදී රිලවුන්ගෙන් වගාවලට සිදු වූ හානිය ඉන්දියන් රුපියල් කෝටි 2,200 ඉක්මවන බව වාර්තා කර ඇත. ජම්මු කාශ්මීර් ප්‍රදේශයේ ඇති ගම්මාන 250ක, වසරකට රුපියල් කෝටි 33ක වගා හානියක් රිලවු නිසා සිදුවන බවට ද වාර්තා තිබේ. කර්ණාටක ප්‍රදේශයේ වාර්තා අනුව 2012 වසරේ හානිය රුපියල් කෝටි පහකි. පදිංචිකරුවන් 800ක් පමණක් සිටින කර්කලා-ටකුලා ගම්මානයේ සමස්ත වගා අස්වැන්නෙන් සියයට 75ක් සතුන් නිසා විනාශ වී තිබේ.
ආචාර්ය රාජේෂ් ඇතුළු පිරිස පවසන්නේ මීට මූලික හේතුව මිනිසුන් විසින් රිලවුන්ගේ ජීවිතයට කළ බලපෑම බවයි. කැලෑ විනාශ කරමින් සතුන්ට ගම්මානවලට එන්නටත්, ඔවුන්ට ආහාර නැතිවන්නටත් ඉඩ හදා ඇත්තේ මිනිසුන් බව ඔවුහු සංඛ්‍යා සහිතව පෙන්වා දෙති. අසූව දශකයේදී ඉන්දියාව වගා සංග්‍රාමයක් සිදුකළේය. එහිදී වනාන්තර විශාල වශයෙන් විනාශ කර ඇත. ඉන්පසුව ය, මේ සතුන් සහ මිනිසුන් අතර ගැටුම සීග්‍රයෙන් වැඩි වී ඇත්තේ.
මෙහි තවත් වටිනා පැත්තක් තිබේ. ඒ වනාන්තරවල සිටින විට සාමාන්‍යයෙන් අලුතින් බිහිවන රිලා පැටවුන්ගෙන් සියයට 60 - 65 අතර ප්‍රමාණයක් විවිධ හේතු මත කුඩා කාලයේදී ම මිය යන බවයි. ආහාර හිඟවීම්, විලෝපිකයන් ආදී හේතු මීට බලපාන බව ද රාජේෂ්ලා කියති. එනම් එහිදී සිදුවන්නේ ස්වභාවික පාලනයකි. නමුත් මිනිසා සමග වගාවන් සමග සිටින රිලවුන් එසේ මියයෑම සිදුනොවන බව ද ඔවුහු පෙන්වා දෙති. වනාන්තරවලදී සිය ආහාර සොයාගැනීමට දිනකට පැය 12 - 14 අතර කාලයක් ගතවුවද, රිලවුන්ට වගා භූමිවලදී, ගම්වලදී ඒ සඳහා ගතවන්නේ පැයකටත් අඩු කාලයක් බව ද එම වාර්තාවේ දැක්වේ.
එහි අඩංගු ඊළඟ වැදගත් කරුණක් වන්නේ මේ හේතු නිසා ඉන්දියාවේ රිලවුන්ගේ වර්ධන වේගය සියයට 36ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ලංකාව තවමත් සද්ද නෑ
ලංකාවේ තවමත් මේ පිළිබඳ කිසිදු විධිමත් පර්යේෂණයක් සිදු කර නැතත්, ඉන්දියාව - කැලිෆෝනියා සමග එක්ව සිදුකරන ලද පර්යේෂණයක ප්‍රතිඵල ලෙස ආහාර සමග මිශ්‍ර කොට වඳ පෙති ලබාදීම ඔවුහු දැනටමත් සිදුකරති. පුහුණු කරන ලද කළු වඳූරන් යොදාගනිමින් රිලවුන් බියවැද්දීම ද ඉන්දියාව මේ සඳහා ප්‍රාදේශීය වශයෙන් යොදාගනිමින් සිටින උපක්‍රමයකි. එසේම රිලවුන් අකමැති විවිධ ඖෂධ වර්ග භාවිත කිරීම, විවිධ ශබ්ද භාවිත කිරීම ද එරට ජනප්‍රිය උපක්‍රම අතර වේ.
ඔවුන් පසුගිය කාලයේදී පර්යේෂණ මගින් සොයාගත් තවත් දෙයකි, අරව්කානා නම් ශාක විශේෂය වගා බිම් වටේට වැට දිගට වගාකිරීම. මේ ශාකවලට රිලවුන් දැඩි අකමැත්තක් දක්වන අතර, එම ශාක මගහැරීමට රිලවු නිතරම කටයුතු කරති. තෙලංගානා ප්‍රාන්ත රජය මේ ආකාරයේ වගාවලට සිදු වන සත්ත්ව හානිවලට විසඳූමක් ලෙස එහි ඇති සියයට 24ක වනගහනය සියයට 33 දක්වා ඉහළ නැංවීමට තීරණයක් ගෙන ඇත. කෙසේ වෙතත් විවිධ රටවල් මෙහිදී විවිධ ආකාරයට කටයුතු කර ඇති බව ද පෙනේ. ඉන්දියාව මානුෂික වුවද, ජපානය සිදු කළේ වඳ සැත්කම් සහ වගා හානි කරන සතුන්ගෙන් කොටසක් මරා දැමීම ය.
ලාල්කාන්තගේ පාර්ලිමේන්තු කතාව ගැන මෙසේ ලොකු විස්තරයක් ලිව්වේ නිකම් ම නොවේ. සතුන්ගෙන් වගාවලට සිදු වන හානිය ගැන ආණ්ඩුව ලෝකය පුරා තොරතුරු එකතු කරමින් සිටී. එසේ එකතු කළ සහ සාකච්ඡාවට ගත් තොරතුරු එකතුවකින් කොටසකි, මේ. මතුපිටින් පේනවාට වඩා කරළියේ රහස් තිබේ.
වැඩක් ගත්තෙ නැති තැන් වැඩට බස්සන්න උපදෙස්
ඊළඟට කතා කළ යුත්තේ සතියේ අනෙක් වැදගත් ම මාතෘකාව ගැන ය. ඒ සහල් ය. කෘෂිකර්ම වාර්තාවලට අනුව ලංකාවේ සහල් පරිභෝජනයට වඩා සහල් නිෂ්පාදනය වැඩි ය. ඒ කියන්නේ කොහේ හෝ තැනක මොකක් හෝ බරපතළ අවුලක් තිබේ.
1972 පිහිටවූ වී අලෙවි මණ්ඩලය වසාදැමීම සඳහා 1999 ජූලි 14 වැනිදා වන විට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කෙරිණි. 2001 අප්‍රේල් 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තු පනත් කෙටුම්පතක් මගින් මේ මණ්ඩලය අහෝසි කිරීමට සැලසුම් කෙරුණද, එය සම්මත වූයේ නැත. 1999 සිට 2008 දක්වා වී අලෙවි මණ්ඩලය ක්‍රියාත්මක වූ බවට වාර්තා නැත. 2006 වසරේදී යළිත් කෘෂි නිෂ්පාදන මිලදීගැනීම සඳහා වෙනම මණ්ඩලයක් පිහිටුවන ලදි. 2007 ජූලි 10 වැනිදා නැවතත් කැබිනට් පත්‍රිකාවක් මගින් මේ නව මණ්ඩලය අහෝසි කොට වී අලෙවි මණ්ඩලය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනිණි. ඒ අලුත් කරන ලද වී අලෙවි මණ්ඩලයේ වාර්තා අනුව 2008 සිට 2018 දක්වා එක දිගට පාඩු ලබා තිබේ. වී මිලදී ගැනීම සඳහා එක දිගට මහා භාණ්ඩාගාරයෙන් ණයට මුදල් ගෙන ඇත. එහෙත් විගණන වාර්තා අනුව බලන විට එසේ ලබාගත් මුදල්වලට සමානව වී මිලයට ගෙන නැත. මණ්ඩලය මගින් රුපියල් 45ට ගොවීන්ගෙන් මිලට ගත් වී කිලෝව මෙන්ඩිස් සමාගමට විකුණා ඇත්තේ කිලෝව රුපියල් 42 ගණනේ ය. මේ ආණ්ඩුව පසුගිය දින කිහිපයේ පරීක්ෂාවට ගත් විගණන වාර්තාවල ඇති තොරතුරු ය.
ජාතික විගණන කාර්යාලයෙන් වැඩගත යුතුය. ඔවුන් වාර්ෂිකව වැදගත් වාර්තා එළියට දමයි. ඒ පිළිබඳ මාධ්‍ය මගින් වැදගත් අනාවරණ ද සිදුකරයි. එහෙත් ටික දිනකට පසු ඒවා එහෙම්ම යට යන්නේය. දැන්වත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම වෙනුවෙන් මේවාගෙන් වැඩ ගත යුතුය. මේ ජාතික විගණන කාර්යාලයේ වාර්තාවලින් වැඩ ගන්නා වැඩේට අදාළ උපදෙස් පැමිණ ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ම පැත්තෙන් ය. සංඛ්‍යා මූලික කොටගෙන් කරුණු ඉදිරිපත් කිරීමට ප්‍රසිද්ධ ජනාධිපතිවරයා අමාත්‍යංශ ලේකම්වරුන්ට උපදෙස් දී ඇත්තේ මේ වාර්තා විධිමත්ව අධ්‍යයනය කරන ලෙසයි.
ඉතියෝපියාවෙන් උගත යුතු පාඩම
අභී අහ්මඩ් ඉතියෝපියා ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නට පටන්ගත්තේ 2018 වසරේදී ය. ඔහු ඉතියෝපියාවට වෙනස් වැඩක් හඳූන්වා දුන්නේය. ආණ්ඩුවේ ප්‍රධාන තනතුරු සියල්ලට පත්කෙරුණේ කාන්තාවන් ය. ඔහු ඊට හේතුවක් කිව්වේය. ඒ, දූෂණය අවම කිරීමේ උපක්‍රමයක් ලෙස මෙය භාවිත කළ හැකි බවයි.
මේ ගැන කිව්වේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ අලුත් පත්වීම් රැසක් ගැන කියන්නට ය. අගමැති හරිනි අමරසූරිය වන බව ඡන්දයට පෙර සිට ම තහවුරු වී තිබූ කතාවකි. දැන් අගවිනිසුරුත් කාන්තාවකි. ඇය මුර්දු නිරූපා බිඳූෂිනී ප්‍රනාන්දු ය. මීට පෙර ලංකාවේ අගවිනිසුරුවරියන් සිටියේ එක් අයකු පමණි. ඒ, 42 වැනි අගවිනිසුරු ධුරයට පත්වූ ශිරාණි බණ්ඩාරනායක ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන භාවිත කරමින් දෝෂාභියෝගයකින් ඉවත් කළ පළමු අගවිනිසුරුවරයා ද ඇය විය. 2013 වසරේදී ඇය ව ඉවත් කරන ලද අතර, 2015 ජනවාරි 28 වැනිදා යළිත් ඇය අගවිනිසුරු ධුරයට පත්ව, එදිනම විශ්‍රාම ගියාය. ශිරාණි බණ්ඩාරනායක සමග මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ගැටලුව හදාගත්තේ ඉසෙඩ් ස්කෝර් නඩුවේ තීන්දුව සහ බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාගේ ආර්ථික සංවර්ධන පනත් තීන්දු නිසා ය.
කෙසේ හෝ දැන් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ය. ඇය ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරියයි. එහෙත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසූ ගැටය සාර්ථක වූයේ නම් මුර්දුට f ම්තැනට එන්නට ලැබෙන්නේ නැත. ඒ වෙනුවට මේ තැනට එන්නේ බොහෝ විට හිටපු නීතිපති සංජේ රාජරත්නම් ය. ඔහුට සේවා දිගු දෙකක් ලබාදෙමින් නොවැම්බර් 30 වැනිදා විශ්‍රාම ගිය ජයන්ත ජයසූරිය අගිවිනිසුරුවරයාගේ පුටුවට ඔහු ගෙන ඒම රනිල්ගේ ඉලක්කය විය. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දෙවරක් ම රනිල්ගේ එම නිර්දේශය ප්‍රතික්ෂේප කිරීම නිසා වැඩේ අවුල් විය.
එකේ ඒවා ගොඩයි - දෙකේ ඒවා එකයි
මුර්දු මෙන්ම පොලිසියේ ද ප්‍රධාන තනතුරු හතරකට පසුගියදා කාන්තාවන් පත්කෙරිණි. පොලිස්පතිවරයා යටතේ ඇති පොලිස් නිලධාරීන් පිළිබඳ විමර්ශනය කිරීමේ බලය සහිත ආයතනය වන පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස ප්‍රථම වරට කාන්තාවක පත්කෙරිණි. එසේම පොලිස්පතිවරයාගේ සෘජු උපදෙස් මත ක්‍රියාත්මක වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ද ඉතිහාසයේ මුල් වරට කාන්තාවක පත්කෙරිණි. පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණදෙන නිලධාරි ධුරයටත් කාන්තාවක පත්කෙරුණේ මුල් වරට ය. පොලිස් වෛද්‍ය බලකායට ද මෙවර පත්කෙරුණේ කාන්තාවකි. එහෙත් එහි පමණක් අධ්‍යක්ෂ ධුරය මීට පෙර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිනියන් දරා ඇත. තීරණාත්මක අමාත්‍යංශ කිහිපයක ම ලේකම් ධුර දරන්නේ ද කාන්තාවන් ය.
මේ පත්කිරීම් සම්බන්ධයෙන් විපක්ෂයේ ද සංවාදයක් ඇති වී තිබේ. ඔවුන් කියන්නේ මේ වැඩේ අගය කළ යුතු බවයි. විශේෂයෙන්ම කංචන විජේසේකර වැනි සිලින්ඩර්වාදීන් ද, හර්ෂණ රාජකරුණා වැනි සජබවාදීන් ද මීට හොඳ කියා තිබිණි. කවුරු වුණත් කොහොමත් වැඩි හොඳ කියන්නටත් හදිසි විය යුතු නැත. ඊට පෙර වැඩ කරන ආකාරය දෙස බැලිය යුතුය.
මාධ්‍ය ලේකම්ලා හරි පාරට වැටෙති
ආණ්ඩුවේ අමාත්‍යංශ සහ ඇමැතිවරුන්ගේ කාර්යමණ්ඩල පත්කිරීමෙන් පසු සාමාන්‍යයෙන් සිදු වන දෙයකි, ඔවුන්ගේ නම්වලට විසිටින් කාඩ් මුද්‍රණය කිරීම. පැවැති මිල ගණන් සලකාබැලීමේදී රාජ්‍ය ලාංඡනය සහිත ඒ කාඩ් එකක් සඳහා රුපියල් 100ක් වැයකිරීමට සිදු වී තිබිණි.
එහෙත් පත්වූ මාධ්‍ය ලේකම්වරුන් කිහිපදෙනකු කළේ තමන්ගේ හිතවත් මුද්‍රණ ආයතන කිහිපයක් සමග මේ ගැන කතා කිරීම ය. ඔවුන්ට එම කාඩ් එකක් රුපියල් 50ට අඩු මුදලකට මුද්‍රණය කළ හැකි බව ආරංචි විය. මේ ගැන ආණ්ඩුවේ ඉහළට වාර්තා කිරීමෙන් පසු වැයකිරීමට නියමිතව තිබූ මුදලට වඩා අඩක් අඩුවෙන් ඒ වැඩේ කිරීමට අනුමැතිය ලැබිණි. අත්‍යවශ්‍ය වියදම් කරමින්, අනවශ්‍ය වියදම් කැපීම හොඳ දෙයකි. එසේ කරන්නට පටන් ගත් විය ජනතාවට බදු ගෙවන්නට හිතෙන්නේය. එහෙත් හිරවන තැන් අපමණ ය.
ඒ ගැන සුනිල් හඳූන්නෙත්ති ඇමැතිවරයා පසුගියදා අපූරු කතාවක් කිව්වේය. සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී කබීර් හෂීම් පවසා තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුකරන ණය ප්‍රතිව්‍යූහගතකරණ කටයුතුවලදී නීතිඥ සහාය ලබාගැනීම වෙනුවෙන් චාර්ල්ස් ඇන්ඩ් ක්ලිෆර්ඩ් සමාගමට දැවැන්ත මුදලක් ගෙවීමට බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු සමම්ත ගිණුමෙන් මුදල් වෙන්කර ඇති බවයි. එය එසේ නොකළ යුතු බවට සමගි ජන බලවේගයේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනකු සමග කබීර් තර්ක කළේය.
‘අපිට පරණ පව් ටිකක් ගෙවන්න වෙනවා කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි. ඒ ගහලා තියෙන ගිවිසුම් නිසයි එහෙම කරන්න වෙන්නෙ. අයිඑම්එෆ් එක්ක වැඩකරන්න ගෙනාපු චාර්ල්ස් ඇන්ඩ් ක්ලිෆර්ඩ් කුලිය අච්චරයි, මෙච්චරයි කියනවා. කවුද ඒවා ගෙනාවෙ. කවුද ගිවිසුම් ගැහුවෙ. අපි ගෙනැල්ලා නෙමෙයි.
අපි හෙට ඒගොල්ලො අයින් කළොත් චාර්ල්ස්ලා අපිට නඩු දානවා. ඒක නිසා සමහර බැඳීයාවන් අපිට ආණ්ඩුවක් විදිහට කරන්න වෙනවා. ඒත් ඒක අපේ කැමැත්ත නෙමෙයි.’
ආණ්ඩුවක් කරද්දී එහෙම ය. දැන් කොහොමත් කන්කෙඳීරි ගාන්නට ඉඩක් නැත. ජනතාව දෙන්න පුළුවන් උපරිම බලයක් ආණ්ඩුවට ලබාදී ඇත.
උතුරෙන් අලුත් - අලුත් වැඩ
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරසු කච්චිහි ජ්‍යෙෂ්ඨයන් ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට පැමිණ කිව්වේත් මේ ගැන ය. පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ වැදගත්කම, ජනතාවට සහන දීමේ වැදගත්කම ආදී දේවල් ගැන කතා කිරීමෙන් පසු ජනාධිපතිවරයාට උතුරේ ජනතාවගේ ඇති ප්‍රසාදය ගැන ද ඔවුහු කීහ.
‘ආපහු කතාකරන්නවත් දෙයක් අපිට එහෙ ඉතුරු කරලා නෑ.’
ඔවුන් එසේ අවංක වී තිබිණි. කෙසේ වෙතත් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ තවත් පිරිසක් සිටින්නේ මීට වෙනස් මතයක ය. ඔවුන් පසුගිය දිනෙක සාකච්ඡාවක් පවත්වා ඇත්තේ වෙනත් එකතුවක් හදන්නට ය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී අලුත් සන්ධානයක් හැදීම ය, මේ පිරිසේ සැලසුම. මඩකලපුව දිස්ත්‍රික්කයටත්, වව්නියාව - කිලිනොච්චි - මන්නාරම ඇතුළත් වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයටත් එසේ සන්ධානයක් ලෙස තරග කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇත. දැනටමත් වන්නි දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් ලෙස තරග කරන්නේ කවුද යන්න සම්බන්ධයෙන් ඔවුන් තීරණ කිහිපයක් ද ගෙන තිබේ. ජනාධිපතිවරණයේදී උතුරේ පොදු අපේක්ෂකයා ලෙස තරග කළ පී. අරියනේත්‍රම් සමග ද මේ කණ්ඩායම සාකච්ඡා කර ඇත. එසේ ම මානව හිමිකම් සහ පරිසර ඇතුළු විවිධ ක්‍රියාකාරිකයන් පිරිසක් ද මේ පිරිස හමුවී ඇතැයි වාර්තා වේ.
සජිත් පාරක් තෝරාගනී
සමගි ජන බලවේගය පැත්තේ මේ වන විට වෙනත් අවුලක් නිර්මාණය වෙමින් පවතින බවත්, ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සාර්ථකව ප්‍රතිචාර දක්වමින් සිටින බවත් ආරංචි ය. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කතා කාලය පිළිබඳව ද යම් සාකච්ඡාවක් නිර්මාණය වී ඇත. කෙසේ වෙතත් සජිත් කියන්නේ ආණ්ඩුවේ කටයුතුවලට යම් සහායක් ලබාදිය යුතු බවකි. එහෙත් බලවේගයේ තවත් ජ්‍යෙෂ්ඨයන් පිරිසක් කියන්නේ ආණ්ඩුවට දැඩිව පහර නොදුන්නහොත් එය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී බරපතළ අවාසියක් වනු ඇති බවයි.
එම නිසා ආණ්ඩු විරෝධී සියලු කණ්ඩායම් සමගි ජන බලවේගය වටා එක්කර ගැනීමේ සැලසුමක් සහිතව දැන් සිටම වැඩ පටන් ගත යුතු බව එම පිරිසේ අදහස වී තිබේ. සජිත්ගේ සමීපතමයකු ලෙස ප්‍රකට ලක්ෂ්මන් ෆොන්සේකා ඇතුළු පිරිසක් ද මේ වන විට සිටින්නේ සජිත්ගේ මතයේ ම බව ආරංචි ය.
No comments:
Post a Comment