Friday, December 20, 2024

කෙහෙළියව විශ්වාස කරපු අයට

නාමල් ව අවිශ්වාස වුණේ ඇයි?


දීඝදන්තු 1 හස්තියා මරා දැමිණි. ඒ කනගාටුදායක කතාවෙන් අද මේ තීරය පටන්ගත යුතුය. දීඝදන්තු 1 යනුවෙන් ඔහු හඳූන්වන්නේ දීඝදන්තු 2ත් සිටි නිසා ය. ඔහුත් දැන් නැත. ඌ යනුවෙන් නොව ඔහු යනුවෙන් හඳූන්වන්නේ අලි-ඇතුන් සමග බැඳූණු වෙනම සංස්කෘතියක් ලංකාවට ඇති නිසා ය.

මේ දීඝදන්තු මරාදැමීම නිසා වසරකට ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 900කට වැඩි පාඩුවක් ලංකාවට සිදු වේ. එවැනි ඉලක්කමක් කී විට එය පුදුමයට කරුණක් වේ. ඒත් එය ඇත්ත ය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ, පරිසර අමාත්‍යංශයේ නිලධාරීන්, විෂය බාර දේශපාලනඥයන් සහ පරිසර ක්ෂේත්‍රයේ සක්‍රීය ව වැඩ කරන පිරිසක් මේ ඝාතනය ගැන කළ සාකච්ඡාවකදී මේ ඉලක්කම එළියට ඇවිත් තිබිණි.

ඇතැම් සංචාරකයන් කලාවැව ජාතික වනෝද්‍යානයට එන්නේ ම ඔහු බලන්නට ය. ඇතැම් සංචාරකයන් කලාවැව අවට නවතින්නේ ම ඔහු බලන්නට ය. ඇතැම් සංචාරකයන් ලංකාවට පැමිණීමට පෙර මාර්ගෝපදේශකයන්ට කියන්නේ අනිවාර්යෙන්ම ඔහු බැලිය යුතු බවයි. අහිමි වන්නේ ඒ ආදායමයි. ජනාධිපති අනුර කුමාර දිසානායක ද මේ පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා තිබිණි. එහිදී අලි-මිනිස් ගැටුම අවම කිරීම පිළිබඳ කඩිනම් තීරණ ගැනීමේ වැදගත්කමත්, එම තීරණ හිර වී ඇත්තේ කොතැනද යන්නත් ගැන ජනාධිපතිවරයා දැඩි අවධානයක් යොමුකර තිබිණි.


අනුරගෙයි - රනිල්ගෙයි වෙනස


අනුර ද අලි ගැන දන්නේය. ඔහු තඹුත්තේගම ය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන කාලයේදී වරක් අලි ගැන කතාවක් ඇදුණේය. අලි - මිනිස් ගැටුම විසඳීම සම්බන්ධයෙන් සකස් කළ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව ගැන එහිදී කතා කෙරිණි. මේ සැලැස්ම හැදුවේ ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දුගේ සභාපතිත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් මගිනි. එහි විශ්වවිද්‍යාල ආචාර්යවරු, ක්ෂේත්‍රයේ විශේෂඥයෝ, දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු පරිපාලන නිලධාරීහු, දීර්ඝකාලීන අත්දැකීම් ඇති පර්යේෂකයෝ සිටියහ. රනිල්ට ඒ වෙලාවේ කිව්වේ මේ සැලැස්ම හමස් පෙට්ටියේ නොදමා එය ක්‍රියාත්මක කරන ලෙසයි. ඒ සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පත්කරන ලෙසයි.


රනිල් කියා තිබුණේ කුමක්ද?


‘ඕක පස්සට දාන්න. ඔයිට වඩා මූලිකත්වය දෙන්න ඕනෙ දේවල් තව කොච්චර තියෙනවද?’

ඇත්තටම ඒකෙත් ඇති අසාධාරණයක් නැත. රනිල්ට අලි-මිනිස් ගැටුම අදාළ නොවේ. එහෙත් අනුරට අදාළ ය. අනුරට අදාළ වන්නේත් ඔහු තඹුත්තේගම උපන් නිසා නොවේ. මෙය ලංකාවේ ආර්ථිකයට සෘජුව බලපාන නිසා ය. අනුර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ ගැනත් ඇසූ බවක් ආරංචි ය. ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයට පෙර ඉදිරිපත් කළ මිහිකත පරිසර ප්‍රතිපත්තියේ මේවා ගැන සඳහන් වේ.


අහමඩ්ගේ කතාව


මෙහි තවත් කතාවක් තිබේ. කෙන්යාවට විශාල ආර්ථික වාසියක් නැතහොත් සංචාරක ආදායමක් ගෙනාවේ අහමඩ් ය. සංචාරකයෝ ඔහු බලන්නටම එහි පැමිණියහ. ජාත්‍යන්තර මාධ්‍ය ඔහු ගැන විවිධ වැඩසටහන් කළේය. චිත්‍රපට හැදිණි. අහමඩ් යනු කෙන්යාවේ පමණක් නොව ලෝකයේ ම සිටි විශාලතම දළ යුගලක් හිමිව තිබූ දැවැන්ත අප්‍රිකානු හස්තියා ය. 1919 සිට 1974 දක්වා ජීවත් වූ ඔහුට කෙන්යා රජයේ එවකට ජනාධිපතිවරුන්ගේ නියෝග මත විශේෂ ආරක්ෂාවක් සපයා තිබිණි. එම ආරක්ෂාවත් නිකම්ම එකක් නොවේ. එය තුවක්කුවලින් බේරීමක් පමණක් ද නොවේ. කෙන්යා හමුදාවේ විශේෂ බලකායක අවි ගත් සෙබළුන්, වෙනම වෛද්‍යවරුන් ඔහු වෙනුවෙන් යොදවා තිබිණි. වාර්තාවලට අනුව අහමඩ්ගේ ආරක්ෂාවට එරට රජය වාර්ෂිකව විශාල වියදමක් දරා ඇත. එහෙත් ඒ වියදම මෙන් දහස් ගුණයක ආදායමක් අහමඩ් කෙන්යාවට සොයාදී තිබේ.


දීඝදන්තු සහ එස්.එම්


දීඝදන්තු කතාවේ තවත් පැත්තක් තිබේ. කලා, බළලු වැව් ආශ්‍රිත කලාපයේ ජීවත් වූ මේ හස්තියා ඇතුළු අලි-ඇතුන් පසුගිය කාලයේ දැඩි අර්බුදයකට මුහුණ දුන්නේ දිගටම කලා වැවේ ජලය පුරවා තිබීම නිසා ය. මේ නිසා කාලයකට වැව් පිටියේ සිටින්නට තිබූ අවස්ථාව අහිමි විය. ඔවුන් පටු කැලෑ තීරුවලට කොටු විය. මේ වැඩේට හේතුව වූයේ හිටපු ඇමැති එස්.එම්. චන්ද්‍රසේනගේ වැඩක් බව ආරංචි ය. ඔහුගේ ව්‍යාපෘතියකට අනුව පිහිටවූ කුඩා ජල විදුලි බලාගාර කිහිපයකට අවශ්‍ය ජල අවශ්‍යතාව වෙනුවෙන් ය, මෙසේ වසර පුරා කලා වැව පුරවා තබා ඇත්තේ. වාරි ඉංජිනේරුවන් පවා විරුද්ධ වී ඇතත්, ඒ කාලයේ ඒ වැඩි සිදු වී ඇත්තේ ඒ තාලයට ය.

මේ දීඝදන්තුගෙන් පසු තවත් කනගාටුදායක කතාවක ඇතුළු කතා ටිකක් කියන්නට තිබේ. සාම්ප්‍රදායික දේශපාලන ඕපාදූප වෙනුවට අප මේ තීරයෙන් උත්සාහ කරන්නේ ම දේශපාලනයේ ඇතුළේ රහස්, දේශපාලන සංස්කෘතිය සමග ගැටගැහෙන හැටි කියන්නට ය. මේත් එහෙම කතාවකි.


ෆෙන්ගන් සහ දයා ගමගේ


ෆෙන්ගන් සුළිකුණාටුවත් සමග ඇතිවූ වැස්සෙන් දැවැන්ත විනාශයක් සිදු විය. තවමත් එයින් සිදුවූ දේපොළ හානි කොතෙක් ද යන්න ගණන් බලා නැත. ඒවා හරියට ම ගණන් හදන්නට ද නොහැක. මේ වැස්සෙන් වැඩි ම විනාශයක් සිදු වූ දිස්ත්‍රික්කයකි, අම්පාර. මේ වෙලාවේ වැස්ස වැඩි නිසා ගංවතුර එන එක සාමාන්‍ය දෙයකි. ඒත් ඒ වතුර මුහුදට බහින්නට ඇති පාරවල් අවහිර කිරීම නිසා විනාශය වැඩි විය.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළට ම ආ වාර්තාවක ප්‍රධාන චූදිතයෙක් සිටී. ඒ, හිටපු ඇමැති දයා ගමගේ ය. අම්පාරේ, ධර්මපාල මාවතේ, බුද්ධංගල හන්දියේ, වයිඑම්සීඒ නිවාස සංකීර්ණයේ, මුස්ලිම් පල්ලිය අසල ආදී වශයෙන් මේ සියලු තැන්වල ජලය බසින තැන් අවහිර කර ඇත්තේ දයා ගමගේගේ ව්‍යාපාරයට අදාළ ඉදිකිරීම් නිසා බවක් ඒ වාර්තාවේ සඳහන් කර ඇත. ඉලක්කම් සහිතව තොරතුරු ඇති මේ වාර්තාවට අදාළ නීතිමය පියවර කඩිනමින් ගන්නැයි ඒ ඉහළ ම තැනින් නියෝග ලබාදී තිබෙන බවක් ද ආරංචි ය. එපමණක් නොවේ. ලංකාවේ ම මෙවැනි අවහිර කිරීම් ගැන සොයන්නැයි ජනාධිපතිවරයාගේ පැත්තෙන් අදාළ සියලු රාජ්‍ය ආයතනවලට දැනුම් දී තිබේ.


සැලසුම් ශිල්පීහු පෙරට එති


මොරටුව විශ්වවිද්‍යාලයේ නගර හා ග්‍රාම නිර්මාණ විෂය පිළිබඳ වෙනම අධ්‍යයන දෙපාර්තමේන්තුවක් ඇත. මෙයින් පිටවී, වරලත් සැලසුම් ශිල්පීන් බවට පත්වූ පිරිසක් පසුගිය සතියේ ජනාධිපතිවරයාගෙන් වේලාවක් ඉල්ලා තිබේ. එය තවම ලැබී නැත. එහිදී කතා කරන්නේ මොනවාද යනුවෙන් ඔවුන් දීර්ඝ ලැයිස්තුවක් සකස් කරගෙන සිටී. ඒ අතර ඉහළින්ම ඇත්තේ නගර සැලසුම් සඳහා තමන්ගේ විෂය දැනුම යොදාගන්නා ලෙස කරන ඉල්ලීමකි. සෑම පළාත් පාලන ආයතනයක ම සැලසුම් ශිල්පියෙක් සිටිය යුතු බව පළාත් පාලන ආයතන පනතේ ම දැක්වේ. එහෙත් ඇතැම් තැන්වල ඔවුන් සිටින්නේ ම නමට පමණි. හිටපු ඇමැති පාඨලී චම්පික රණවක එය පිළිවෙලක් කරන්නට, ඔවුන්ගෙන් වැඩක් ගන්නට යම් උත්සාහයක් දැරුවද, එය සාර්ථක වූයේ නැත.


යාපනයේ අලුත් කතාව


රාමලිංගම් චන්ද්‍රසේකර් ධීවර ඇමැතිවරයා දිගටම සිටියේ යාපනයේ ය. ඔහු යාපනයේ වතුරෙන් යටවූ ප්‍රදේශවලට නිතරම ගොස් තිබිණි. නිලධාරීන් සමග පමණක් නොව දෙමළ ජාතික සන්ධානයේ සහ උතුරේ වෙනත් දේශපාලන පක්ෂ ක්‍රියාකාරිකයන්ගේ ද සහාය ඔහු මෙහිදී ලබාගෙන තිබිණි. උතුරේ දේශපාලන පක්ෂ ද වෙනත් කිසි දවසක නැති සහයෝගයක් රාමලිංගම්ට ලබාදී ඇති බවක් ආරංචි ය. යාපනයේ මේ කතාවත් සමග කියන්නට තවත් කතා දෙකක් ද ඇත.

එකක් නම් පොන්නාවෙලි සිමෙන්ති කර්මාන්ත ශාලාව නිසා විපතට පත් ජනතාව බලන්නට ගොස් තිබුණේ රාමලිංගම් පමණි. අනෙක නම් චුන්නාකම් බලාගාරයෙන් ජලය දූෂණය වීමේ අපරාධයට මැදිහත් වී තිබුණේ ද ඒ පැත්තෙන් ය. ඊට අදාළ ව පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ද තිබිණි. ඒ අධිකරණ තීන්දුව ගැනත් යමක් කිව යුතුය. ලංකාවේ මුල් වතාවට දූෂකයා ගෙවීමේ මූලධර්මය තීන්දුවකට ඇතුළත් කර තිබුණේ මේ තීන්දුවේ ය. එය ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවල බහුලව භාවිත වන්නකි.


පොඩි මල්ලි ගිය තාලයට ම යන ලොකු අයියා


ඉන්දියාව ගැන කියපු නිසා ලංකාවේ ක්‍රමයට ඉන්දියාවේ සිදු වූ සිදුවීමක් ගැන කිව යුතුය. ලංකාවේ මන්නාරමේ සුළං බලාගාරය ඇතුළු ආන්දෝලනාත්මක ව්‍යාපෘති කිහිපයක් නිසා නම කියවුණු අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයකට වාර්තාවක් ඉදිරිපත් කර ඇත. එහි ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක දූෂණ සම්බන්ධයෙන් ය.

මේ කියන සිදුවීම වූයේ පසුගිය බ්‍රහස්පතින්දා ය. අදානි සමූහ ව්‍යාපාරයට එරෙහි චෝදනා සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු තුන්වැනි දිනටත් විවාදයක් ඉල්ලූහ. ඒත් මෙතෙක් එය ලැබුණේ නැත. ඒ වෙනුවට බ්‍රහස්පතින්දාත් සිදු වූයේ පාර්ලිමේන්තුව කල්තැබීමයි. ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ මන්ත්‍රී මානික්කම් තාගෝර් කියන්නේ මෙසේ ය.

‘අපිට ඕනෙ මේ ගැන පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක් කරන්න. අදානි ප්‍රශ්නය ගැන අපි අගමැතිතුමාගෙන් දවස් තුනක් පිළිතුරක් ඉල්ලුවා. තවමත් නෑ.’

ගෞතම් අදානි යනු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුවේ කැපීපෙනෙන චරිතයකි. මෝදිගේ සමීපතමයෙකි. මේ අදානි චෝදනා ගැන විවාදයේ කතාවත් සමග ම කරළියට පැමිණි තවත් කතාවක් තිබේ. ඒ කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධිගේ ඉන්දීය පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් එරට අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වීමයි. ඔහු එංගලන්ත පුරවැසියකු බවත්, ඔහුගේ ඉන්දීය පුරවැසිභාවය ප්‍රශ්න සහගත පෙත්සමේ සඳහන් වේ. සිදුවීම් සිදුවන්නේ හරියට ලංකාවේ වගේ ම ය.

‘මේවා ඉතින් ඉන්දියාවෙන.’

එහෙම කියා පාඩුවේ ඉන්නට ලංකාවට හැකියාවක් නැත. ජනාධිපති අනුර කුමාර දිසානායක තමන්ගේ පළමු නිල විදෙස් සංචාරය ලෙස ඉන්දියාවට යන්නට නියමිතව ඇත්තේ දෙසැම්බර් මාසයේ ය. කොටින්ම ලංකාවේ ලොකු අයියා ඉන්දියාවයි. අදානිගේ ව්‍යාපෘති ලංකාවේ ක්‍රියාත්මක ය. තවත් ඒවා එන්නට නියමිත ය. බැසිල් රාජපක්ෂ සහ ඉන්දියාවේ ආණ්ඩු බලය හිමි භාරතීය ජනතා පක්ෂයේ න්‍යායාචාර්යවරුන් වන රාශ්ත්‍රීය ස්වායම් සේවක්සංග්හි නායකයකු වන රාම් මාධව්ගේ සම්බන්ධයත්, රාම් මාධව්ලාගේ අදානි සම්බන්ධත් ප්‍රකට එකකි. බැසිල් රාජපක්ෂ 2020 මාර්තු මාසයේදී ලංකාවේ දිනපතා ඉංග්‍රීසි පුවත්පතක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී කිව්වේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, භාරතීය ජනතා පක්ෂය වගේ කරන්නට තමන්ට අවශ්‍ය බවකි.


සජිත්ට ලැබුණු නොනිල දැනුම්දීම


කනගාටුදායක කතා ඔස්සේ ඉන්දියාවට ගොස් ලංකාවට පැමිණි පසු තවමත් අවසන් ව නැති ජාතික ලැයිස්තු අර්බුදය පෙනෙන්නේය. මේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ප්‍රශ්නය නිසා සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය දෙකඩ වන්නට ඔන්න-මෙන්න ය. එම සන්ධානයේ සාමාජික පක්ෂ නොනිල වශයෙන් එහි නායකත්වයට, එනම් සජිත් ප්‍රේමදාසට දැනුම් දී ඇත්තේ පොරොන්දු වූ පරිදි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබානොදුන්නහොත් පළාත් පාලන මැතිවරණයේදී වෙනම තරග කරන බවයි. මේ දැනුම්දීමෙන් සජිත් සම්පූර්ණයෙන්ම අවුල් වී තිබේ. ඔහු පවසා ඇත්තේ ‘අපි මේක ගැන පුළුල් ව කතා කරමු’ යනුවෙනි.

සමගි ජන සන්ධානයේ සාමාජික පක්ෂ වන්නේ නිදහස ජනතා සභාව, දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයකි. පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔවුන්ට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පහෙන් එකක් සඳහා රංජිත් මද්දුම බණ්ඩාර තමන්ගේ නම මැතිවරණ කොමිසමට යැව්වේය. සන්ධානයේ මහ ලේකම්වරයා ඔහු ය. ඔහුගේ නම ඔහු ම යැව්වා කිව්වේ ඒක ය. ඔහුට මන්ත්‍රී ධුරය ලබාදීම සහ ඒ පත්කිරීම ගැන සන්ධානයේ කිසිදු පක්ෂයක් ප්‍රශ්න කර නැත. එය සියල්ලන් එක්ව ගත් තීරණයකි.

දැන් ප්‍රශ්නය ඇත්තේ ඉතිරි මන්ත්‍රී ධුර හතර ගැන ය. සජිත් ගැටලුවකට මැදිව ඇත්තේ සන්ධානයේ පක්ෂවලට දුන් පොරොන්දුත්, මැතිවරණයෙන් පරාජයට පත්වූ ඔහුගේ සමීපතමයන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්නට දැඟලීමත් නිසා ය. සමගි ජන සන්ධානයේ ජාතික ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයේ සිට පස්වැනි ස්ථානය දක්වා සිටියේ නිදහස ජනතා සභාවේ ඩලස් අලහප්පෙරුම, දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ සාගරන් විජයාන්ද්‍රිරන් සහ මුස්ලිම් කොංග්‍රසයේ නිෂාම් කාරියප්පර් ය. ලැයිස්තුවේ දෙවැනියා ලෙස සිටින්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් ය.

මේ ප්‍රශ්නය ඔඩුදුවන්නට තවත් හේතුවක් බලපා තිබේ. ඒ 2020 පාර්ලිමේන්තු මැතිවරණයයි. එම මැතිවරණයේදී ද සමගි ජන බලවේගය තරග කළේ සන්ධානයක් ලෙස ය. එහිදී ද මේ ආකාරයට ම පොරොන්දු වූ පරිදි සන්ධානයේ අනෙකුත් පක්ෂවලට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබානොදීමත්, එහි ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගයේ පරාජිත අපේක්ෂකයන්ට එම මන්ත්‍රී ධුර ලබාදීමත් දැඩි විවේචනයට ලක් විය.


රනිල්ගේ මද සිනහව


එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ප්‍රශ්නය ද තවමත් විසඳී නැත. රවී කරුණානායක හිටපු මුදල් ඇමැතිවරයාගේ නම යැවීමට මුලදී රනිල් වික්‍රමසිංහ ද විරුද්ධ විය. එහෙත් ආරංචියේ හැටියට දැන් ඒ තත්ත්වය වෙනස් වී තිබේ. ඊට දිගටම විරුද්ධ වූ අසාද් සාලිලා රනිල් හමු වූ අවස්ථාවේ මුලදී මෙන් රවීගේ පත්වීමට විරෝධය දැක්වීමට රනිල් කටයුතු කර නැත. ඒ වෙනුවට රනිල් පුරුදු විදිහට සිට ඇත. එනම් නිහඬව මද සිනහවකින් සිටීමයි.


පුංචි ඡන්දය කට උඩ - දැනගත යුතු කතාවක්


පළාත් පාලන මැතිවරණය ලබන වසර මුලදී පැවැත්වීමට නියමිත ය. මීට පෙර පැවැත්වුණේ 2018 පෙබරවාරි පළාත් පාලන මැතිවරණයයි. එම මැතිවරණයේදී විපක්ෂයේ සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළේය. ඒ මැතිවරණයෙන් පසු තවත් විශේෂ සිදුවීමක් සිදු විය. එය කියන්නේ අප නොවේ. එවකට හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ය. ඔහු එය කියනවා පමණක් නොව ඔහුගේ අලුත් පොතේ ලියා ඇත. 

2018 පෙබරවාරි මැතිවරණයෙන් පසු මාර්තු මාසයේදී මහින්ද රාජපක්ෂ අගමැති කිරීමේ උත්සාහයයි, ඒ. යහපාලන ආණ්ඩුවේ අගමැති වූ රනිල් ඉවත් කොට මහින්ද අගමැති කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් ඓතිහාසික තීන්දු සිදුවූයේ 2018 ඔක්තෝබර් 26 සහ නොවැම්බර් අවසානය අතර ය. එහෙත් ඔස්ටින් කියන විදිහට මේ උත්සාහය මුලින්ම ක්‍රියාත්මක වී ඇත්තේ 2018 මාර්තුවේදී සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු හිටපු ඇමැතිවරුන්ගේ මූලිකත්වයෙනි. එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද මේ සුසිල්ලාගේ වැඩේට එකඟ වී ඇත. එහෙත් ඔස්ටින් ද ඇතුළු ව මෛත්‍රීට සමීපව සිටි නීතිඥයන් පිරිසක් ඊට විරුද්ධ වී තිබේ. ඒ විරෝධතාව නිසා ඒ වෙලාවේ වැඩේ නැවතී ඇත.


නලින්ද වැඩ බාරගත් දවසේ සිදු වූ දේ


ජුලම්පිටියේ අමරේගේ මරණ දඬුවම පසුගිය සතියේ අභියාචනාධිකරණයෙන් ස්ථිර කළේය.

‘අමරේ, මම මහින්ද ඇවිත් ඉන්නේ.’

මේක ප්‍රසිද්ධ කතාවකි. තංගල්ල බන්ධනාගාරයට ගිය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කියපු කතාවකි. අමරේට මරණ දඬුවම හිමි වූයේ 2012 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස කතා කරමින් සිටි රැස්වීමකට වෙඩි තබා පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිදුවීමටයි. අභියාචනාධිකරණ තීන්දුවේ 06 වැනි පිටුවේ දෙවැනි ඡේදයේ මෙසේ දැක්වේ.

‘මම තමයි යකෝ මැදමුලනේ වලව්වේ දඩ බල්ලා. තොපි පුළුවන් නම් වරෙව්. කවුද මේක සංවිධානය කරපු එවුන්.’

නලින්ද ජයතිස්ස රැස්වීමේ කතා කරමින් සිටියදී ඔහු එසේ තර්ජනය කර ඇත. ඒ නලින්ද ජයතිස්ස අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැති ධුරයේ වැඩ බාරගත් දවසේ ම අමරේගේ මරණ දඬුවම ද ස්ථිර විය. 


නාමල්ව විශ්වාස ද?


ලියන්ට ආවේ වෙනත් කතාවකි. අමරේගේ මරණ දඬුවම පිළිබඳ කාරණය පොදුජන පෙරමුණේ පසුගිය සතියේ මාතෘකාවක් වී තිබිණි. සමීපතමයන් කිහිපදෙනෙක් නාමල් රාජපක්ෂගෙන් මේ පිළිබඳව විමසා තිබිණි. නාමල් ඔවුන්ට පැහැදිලි පිළිතුරක් දී ඇත. එහි සරල අදහස වී ඇත්තේ ‘පරණ කතා තියෙන්න පුළුවන්, ඒත් නීතියට අපි ගරු කරනවා, මේවා ඔක්කොම වෙනස්වෙන්න ඕනෙ’ යනුවෙනි. ලංකාවේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් බලාපොරොත්තුවෙන් ජනතාව ඉදිරියට පැමිණ ඇති අවස්ථාවක නාමල්ලා එසේ සිතීමත් වැදගත් ය.

කෙසේ වෙතත් කෙහෙළිය රඹුක්වැල්ලගේ බාල ඖෂධ කැබිනට් පත්‍රිකාව පිළිබඳව ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ එවකට කැබිනට් මණ්ඩලයේ සිටි ඇමැතිවරුන්ගෙන් බහුතරය ඒ ගැන අහද්දී පවසා ඇත්තේ ‘අපි කෙහෙළියව විශ්වාස කළා’ යනුවෙනි. ඒ පිරිසෙන් බහුතරයක් නාමල් සමග නැත.

එක්සත් ජාතීන් සහ ලෝක බැංකුව සමග

ජාජබ කළ රහස් සාකච්ඡාවල තොරතුරු එළියට !


එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක බැංකුව සමග නිල නොවන සාකච්ඡා වටයක් ජාතික ජන බලවේගයට සමීප පාර්ශ්ව ආරම්භ කර තිබුණු බව කියන්නේ මීට සෑහෙන දවසකට පෙර ය. ඒ සාකච්ඡා නිල නොවන ඒවා කිව්වාට මේවාට සම්බන්ධ වී තිබුණේ නිල පාර්ශ්ව ය. ආරංචි විදිහට මේ එකදු සාකච්ඡාවක හෝ ඉලක්කය වී තිබුණේ සෘජු ව ආර්ථිකය ගොඩගැනීමක් නොවේ. ඊට වෙනස් එකකි.

ලංකාවෙන් පිට ගොඩගැසූ මුදල් නැවත ලංකාවට ගෙන ඒම මෙහි අරමුණ විය. එය පිළිවෙලකට කියන්නේ නම් සොරකම් කරන ලද වත්කම් නැවත අයකර ගැනීමට මුල පිරීම මේ සාකච්ඡාවලදී සිදු වී ඇත. දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියෙන් මෙහිදී වැඩ ගොඩක් ගත හැකිය. ලෝකයේ රටවල්වලින් අති බහුතරයක් අත්සන් කර ඇති එම සම්මුතියේ මූලික ම අරමුණක් වන්නේ වත්කම් ප්‍රතිසාධනය කිරීමයි. ඒ කියන්නේ වත්කම් නැවත අයකරගැනීම සහ දූෂණය වැලැක්වීමයි. 

ඊළඟට අවධානය යොමුකර තිබුණේ මූල්‍ය ක්‍රියාකාරී කාර්යසාධක බලකාය වෙතයි. මේ බලකාය ගැන මෑතකදී ලෝකයේ අවධානය යොමු වූ කරුණක් වූයේ 2023 වසර මුලදී ඔවුන් රුසියාවේ සාමාජිකත්වය අත්හිටුවීම නිසයි. ඊට හේතු වූයේ ද මූල්‍ය ගනුදෙනු පිළිබඳ ප්‍රශ්නයකි.

මේ බලකාය ආරම්භ කරන ලද්දේ 1989 වසරේදී ය. ජී-7 රටවල දූෂණය වැලැක්වීම මේ බලකාය ආරම්භයේ ඉලක්කය විය. පසුව යුරෝපා කොමිසම සමග ද එය සම්බන්ධ විය. ඉන්පසු සාමාජික රටවල් විවෘත ආර්ථික සම්මුතියට අත්සන් කරන ලදි. ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ කළු සල්ලි ගනුදෙනු, ඒ සඳහා භාවිත කරන තාක්ෂණික ක්‍රම, ඒවා පාලනය කරන්නේ කෙසේද, ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ඒ සඳහා දැනුම හුවමාරු කරගන්නා ආකාරය යනාදී වශයෙන් වගකීම් රැසක් මේ බලකාය දරයි. 2001 වසරේ සිට ඔවුහු ත්‍රස්තවාදීන්ට අරමුදල සපයන ආකාර සහ ක්‍රම සම්බන්ධයෙන් ද ගවේෂණය කරති.

මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය, ලෝක බැංකුව යටතේ ඇති සොරකම් කරන ලද වත්කම් නැවත ලබාගැනීම සඳහා මුලපිරීමේ අංශය සමග ද කටයුතු කිරීම ජාතික ජන බලවේගය අරඹා තිබිණි. මේ සාකච්ඡා යන අතර ය, ඔවුන්ගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළදැක්වූයේ. එහි මේ සොරකම් කරන ලද වත්කම් අයකර ගැනීම පිළිබඳව පැහැදිලිව සඳහන් විය.


මොනවා වුණත් නීතියේ හිඩැස් 


පාර්ලිමේන්තු මැතිවරණයත් සමග ආණ්ඩුවේ මූලික කටයුතු පිළිබඳව පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳ වැඩ අවධානයක් යොමුකර තිබිණි. එහිදී නීතිඥයන්ගේ පැත්තෙන් මතු කර තිබුණේ මේ සඳහා ලෝකයේ සහයෝගය ලබාගැනීම සම්බන්ධයෙන් දැනටමත් වැඩ ආරම්භ කර තිබුණත් බරපතළ ගැටලුවක් තවමත් ඉතිරි ව ඇති බවයි. එනම් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ප්‍රමාණවත් නීති ලංකාවේ නොමැතිවීමයි. එම නිසා කඩිනමින් එම නීති සකස් කිරීමේ වැදගත්කම අවධාරණය කර ඇත.

එහි වගකීම දරන්නේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර ය. එහි අනෙක් පැත්තේ වගකීම දරන්නේ මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල ය. ආනන්ද විජේපාල ගැනත් ලියන්නට දෙයක් තිබේ. ඔහු රැකියා ජීවිතය ආරම්භ කර ඇත්තේ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස ය. ටික කාලයකට පසු පුනරුත්ථාපන සේවයට එක්වී ඇති ඔහු, එහි අධ්‍යක්ෂ ජනරාල් ධුරය දක්වා ගොස් ඇත. ක්ෂේත්‍රයේ කියන්නේ මේ වැඩේට දෙන්නා තකට-තක කියා ය. 


එෆ්සීඅයිඩියක් ඕනෙම නෑ


යහපාලන ආණ්ඩුව පැවැති 2015 - 2019 කාලයේ පැවැති පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය යළිත් බලාත්මක කරන්නේද යන්න පිළිබඳව ද ආණ්ඩුව ඇතුළේ සාකච්ඡාවක් ආරම්භ වී තිබේ. එහෙත් ආරංචිවල හැටියට එය නැවත පණගන්වන්නේ නැත. ඒ සම්බන්ධයෙන් පසුගිය කාලයේ සමාජයේ තිබුණේ ද එතරම් හොඳ අදහසක් නොවේ. එහි ප්‍රධානීන් ලෙස කටයුතු කළ පිරිස් මූල්‍ය අපරාධ විමර්ශනය පසෙක තබා, ඒවාට සම්බන්ධ සමාගම්වලින් අල්ලස් ලෙස විවිධ තනතුරු ගැනීම ගැන කොළඹ - කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට නිල වශයෙන් පවා තොරතුරු වාර්තා කෙරිණි. එම නිසා නැවත එෆ්සීඅයිඩිය පණගන්වනවාට වඩා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ වෙනම මේ විමර්ශන පවත්වාගෙන යෑම වඩාත් සුදුසු බව තීරණය කර ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වන්නේ ද ඊට ගැළපෙන අයෙකි. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ව දීර්ඝ කාලයක් සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න ය. ආන්දෝලනයට තුඩු දුන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ද දැන් නැවත සේවයේ ය. ඒ, කැබිනට් මණ්ඩලයේ විශේෂ අනුමැතියකිනි. ඊට ජාතික පොලිස් කොමිෂන් සභාවේ ද අනුමැතිය ලැබී තිබේ. පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ සහ බුද්ධි දිසාවේ අධ්‍යක්ෂවරයා ලෙස දැන් සිටින්නේ ඔහු ය. පසුගිය සතියේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නව ඇමැතිවරයා වැඩ බාරගැනීමේ උත්සවයට මේ ශානි පැමිණ සිටියේ නිල ඇඳූමෙන් ය. එය සමාජයේ සෑහෙන කතාබහට ලක්වූ මාතෘකාවක් විය. සාමාන්‍යයෙන් ඔහු වැඩියෙන් සිටින්නේ සිවිල් ඇඳූමෙන් ය. 


සිලින්ඩරය පුපුරා ගිය හැටි


අපරාධ විමර්ශනයට, සොරකම් කරන ලද වත්කම් නැවත අත්පත් කරගැනීමට, කෘෂිකර්මයට මූලිකත්වය දෙන්නට ආණ්ඩුව සැලසුම් කරන විට ජාතික ලැයිස්තු හොරකම් ගැන කතාවලින් මාධ්‍ය පිරීගියේය. ඒ, වැඩේට අත තබා තිබුණේ හිටපු ආන්දෝලනාත්මක ඇමැති රවී කරුණානායක ය. ආන්දෝලනාත්මක ඇමැති කියා ලිව්වේ ඔහු ගැන හැමදාම අලුත් පුවත් ඇති නිසා ය. බැඳූම්කර කොමිසමේදී දුරකතන පණිවුඩ කතාබහක් එළියට ආවේය. ඔහු එම පණිවුඩ යවා තිබුණේ ආර්කේ නමිනි. 

ආරංචිවල හැටියට පසුගිය සතියේ මතුවූ සිලින්ඩරයේ ජාතික ලැයිස්තු ගැටලුව ගැන විමසූ අයට ද රවී පිළිතුරු යවා තිබුණේ ආර්කේ යනුවෙන් පණිවුඩය අවසානයේ සඳහන් කරමිනි. ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ ඡන්දය ඉල්ලූ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හෙවත් සිලින්ඩරයට පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර දෙකක් ලැබිණි. පෙරමුණේ කාටවත් නොකියා පක්ෂයේ ලේකම් මගින් රවී කරුණානායක තමන්ගේ නම මැතිවරණ කොමිසමට යවා තිබිණි. ඒ ගැන පක්ෂය ඇතුළෙන්, පිටින්, හැමතැනින්ම විවේචන ආවත්, මැතිවරණ කොමිසමෙන් රවීගේ නම ගැසට් කළේය. ඊට හේතුව බලය තියෙන්නේ ලේකම් අතේ වීම නිසා ය. 

මේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකට කාංචන විජේසේකර සමග තවත් තරුණයෙක් යවන්නටත්, රනිල්ගේ යෝජනාවක් ලෙස සාගල රත්නායක සහ තවත් අයෙක් යවන්නටත් ආදී වශයෙන් සාකච්ඡා රැසක් විය. මේ අතර අසාද් සාලි කියන්නේ සිලින්ඩරයට ලැබුණු ඡන්දවලින් සැලකිය යුතු මට්ටමකට තමන්ගේ පක්ෂයේ මැදිහත්වීමත් ඇති බවයි. ඒත් ඔහු අපිව යවන්නැයි කියන්නේ නැත. අපෙන් හැමදේම අහන්නැයි කියයි.


සජබයේ ගැටුම උග්‍ර වෙයි


මේ ගැටලුව ඇති තවත් තැනකි, සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව. සමගි ජන බලවේගයට පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පහක් ලැබිණි. එයින් දැනට ගැසට් කර ඇත්තේ එකක් පමණි. ඒ, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගේ නමයි. ඒ නම ලේකම්වරයාගේ ම මැදිහත්වීමෙන් යවා තිබුණත්, ඊට පක්ෂය ඇතුළෙන් හෝ පිටින් හෝ විරෝධයක් පැමිණ නැත. ඊට හේතු වී තිබුණේ රංජිත්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය දෙන්නට මුල සිටම සියල්ලන් අතර පැවැති එකඟතාවකි.

එහෙත් දැන් ඉතිරි මන්ත්‍රී ධුර හතර ප්‍රශ්නයකි. කාන්තා නියෝජනයකට අවස්ථාවක් දෙන්නේ නම්, තමන්ට මන්ත්‍රී ධුරයක් අවශ්‍ය බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියයි. ඩලස් අලහප්පෙරුමගේ පැත්තෙන් ඒ මන්ත්‍රී ධුරයක් තමන්ට අවශ්‍ය බව කියයි. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයකු ලෙස ඡන්දයෙන් පත්වුවද, ඔහු ද කියන්නේ තමන්ගේ පැත්තටත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් අවශ්‍ය බවයි. මනෝ ගනේෂන් පාර්ශ්වය මුල සිටම කිව්වේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස තමන්ට පොරොන්දුවක් ලබාදී තිබූ බවයි. කොහොම වුණත් තවමත් තීරණය වැට උඩ ය. පසුගිය සති අන්තයේ වාර්තා වූයේ සජිත් ප්‍රේමදාස මෙහි දී නිශ්ක්‍රීය චරිතයක් ලෙස කටයුතු කරමින් සිටින බවයි.

දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය පැවැති පසුගිය 21 වැනිදාට පෙර දින දෙකේදී විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් ද යම් කතාබහක් මතු විය. සජිත් වෙනුවට කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්දයෙන් තේරීපත්වූ හර්ෂ ද සිල්වාට එම වගකීම පැවරිය යුතු යැයි යනුවෙන් යෝජනාවක් පැමිණ තිබිණි. එහෙත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් බහුතරයකගේ අදහස වී තිබුණේ සජිත් විපක්ෂ නායක ධුරයෙන් ඉවත් නොකළ යුතු බවයි. එසේ වුවහොත් එය ලබන වසර මුලදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයට විශාල බලපෑමක් වනු ඇතැයි ඔවුන් පෙන්වා දී ඇත. මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදී හර්ෂ ද සිල්වා ද පවසා ඇතැයි කියන්නේ තමන් කඩිමුඩියේ එම ධුරය බාරගැනීම ගැටලුවක් වනු ඇති බවයි.

අනෙක් ගැටලුව ඇත්තේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සම්බන්ධයෙන් ය. ඊට පත්කරන්නේ කවුද යන්න ද තවමත් සංවාදයකි. ඒ ගැටලුව ලිහාගන්නට  බැරිවී ඇත්තේතේ සමගි ජන බලවේගයේ ඇති තරුණ - ජ්‍යෙෂ්ඨ ඝට්ටනය නිසා ය.


දකුණ මොකද, උතුරත් එහෙමයි


දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට ජනාධිපති නීතිඥ සුමන්තිරන්ගේ නම යෝජනා විය. පුරුදු නම දෙමළ ජාතික සන්ධානය වූවද, ඇත්තටම මෙවර ඔවුන් ඡන්දයට ආවේ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයෙනි. ජාතික ජන බලවේගය උතුරේ ජනතාවගේ කැමැත්ත දිනාගන්නට ඒකත් හේතුවක් විය. පසුගිය කාලය පුරා ම ඔවුහු දෙපැත්තට අදිමින් බලය වෙනුවෙන් ඇණකොටා ගත්හ. අවසානයේදී දෙමළ ජාතික සන්ධානය විසිරිණි.

ඉන්පසු ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ගැටලුවක් ආවේය. නායකත්වය පිළිබඳ නඩුවක් ද ආවේය. සුමන්තිරන් පරාජය විය. ශ්‍රීධරන් දිනුවේය. මේ ගැටුම් අස්සේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සුමන්තිරන්ට දීමේ යෝජනාව පැමිණ තිබුණේ යාපනයේ නීතිඥ ප්‍රජාවගෙන් ය. එම නීතිඥ ප්‍රජාවගෙන් මෙන්ම කොළඹ නීතිඥ ප්‍රජාව ද සුමන්තිරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිටිය යුතුය යන ස්ථාවරයේ විය.

එහෙත් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සංවිධායකවරුන් බහුතරයකගේ ස්ථාවරය එය නොවීය. ඔවුන්ට සුමන්තිරන් යනු දුරස් අයෙකි. තමන්ගේ නම යෝජනා වූ බව දැනගත් පසු මුලදී සුමන්තිරන් සිටියේ නිහඬ ස්ථාවරයක ය. එහෙත් පසුව පක්ෂය ඇතුළේ විරෝධයක් ඇති බව දැනගත් ඔහු, තමන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන්නට සූදානම් නැති බව ප්‍රසිද්ධියේ කිව්වේය. කෙසේ වෙතත් සියල්ලන්ම පිළිගන්නා ආකාරයට සුමන්තිරන් යනු පාර්ලිමේන්තුවේදී එක් නිශ්චිත එල්ලයක් ඔස්සේ කරුණු ගොනුකරමින් කතා කරන්නට දක්ෂයෙකි.


පොලිසිය ඇතුළේ තවත් පොලිසියක්


පොලිසිය පිළිබඳව මේ දිනවල ඇත්තේ තරමක් හොඳ නමකි. නීතිවිරෝධී වැඩ කළ බවට චෝදනා එල්ල වූ පොලිස් නිලධාරීන් 218 දෙනකුගේ වැඩ තහනම් කර තිබේ. වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය උපදෙස් දී ඇත්තේ නීතිය හරියට ක්‍රියාත්මක කරන ලෙසයි. කොච්චිකඩේ පොලිසියේ ස්ථානාධිපතිවරයා කොළඹ උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගත්තේ හිටපු ඇමැති නිමල් ලංසා වෙනුවෙන් මැතිවරණ නීති උල්ලංඝනය කරන්නැයි පොලිසියට උපදෙස් දුන් නිසා ය. එය ඇත්තටම උපදෙස් නොවේ. තර්ජනයකි. මේ පිළිබඳව තර්ජනයට ලක්වූ උප පොලිස් පරීක්ෂකවරයා මැතිවරණ කොමිසමටත්, පොලිසියේ මැතිවරණ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිටටත් පැමිණිලි කළේය.

හොඳම කතාව එය නොවේ. නිමල් ලංසා මේ පොලිස් ස්ථානාධිපතිවරයා ගැන සොයාබලාවත් නැති බවක් ආරංචි ය. ඒ ගැන ඔහුගේ මිතුරන් සිටින්නේ දැඩි කළකිරීමෙන් ය. ඒ මිතුරන් අතර ලංසාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයෙක් ද සිටී. ඔහු ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයෙන් ම ඉවත් වීමට ඉල්ලීමක් කර ඇත. 

කියන්නට ආවේ එය නොවේ. පොලිසිය ඇතුළේ මේ සිදු වන දේ පිළිබඳව වෙනත් කතාවක් ද තිබේ. ඒ පොලිසියේ ම කොටසක් මීට එරෙහිව වැඩ කරමින් සිටින බව ය. ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ පොලිසිය තිබුණු ආකාරයෙන් ම පවත්වාගෙන යෑමයි. එහිදී චෝදනාවලට ලක්වන පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කෙරෙන්නේ නැත. ඔවුන් අත්අඩංගුවට ගැනෙන්නේ නැත. පසුගිය දවස් 28ට අත්තනෝමතික ලෙස වැඩ කළ පොලිස් නිලධාරීන් 15 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. 

නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් කිහිපදෙනකු එක්ව මේ පිළිබඳ සාකච්ඡා කිහිපයක් පවත්වා තිබේ. ඒ සාකච්ඡාවලට විශේෂ උපදෙස් සපයා ඇතැයි කියන්නේ පසුගිය කාලයේ කතාබහට ලක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. හොඳම දේ කියන්නේ මේ ගැන හැරෙන තැපෑලෙන් වැඩ බලන පොලිස්පතිවරයාටත්, මහජන ආරක්ෂක අමාත්‍යංශයටත් ආරංචි වී තිබීමයි. තවත් කාරණයකි. ඒ පොලිසියටත්, නීතිපති දෙපාර්තමේන්තුවටත් අදාළ එකකි. පොලිසියෙන් විමර්ශන අවසන් කර, නීතිපති දෙපාර්තමේන්තුවට යවා තිබූ විමර්ශන ලිපිගොනු රැසකට අතවත් තියා නැති බව හෙළි වී තිබේ. ඒවාගේ ඇත්තේ අධිචෝදනා ගොනුකිරීමට පමණි.


හුදෙකලා නොවූ ජනප්‍රිය චරිත


පාර්ලිමේන්තු සභාවාරයෙන් පසු තේ සාදයේදී සියල්ලන්ගේ අවදානය යොමු වූයේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙත ය. ඔහු සියල්ලන් සමග සුහදව කටයුතු කළ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක ඔහුට සුබ පතන ආකාරය ද දැකිය හැකි විය. රෝහිත අබේගුණවර්ධන සහ චාමර සම්පත් දසනායක ද එදින තේ සාදයේ කතා නායකයෝ වූහ. ඊට හේතු වූයේ සමාජ මාධ්‍යයෙන් මතුවූ සංවාදයයි. 

මෙහිදී ජාතික ජන බලවේගයේ බොහෝ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් ඔවුන් දෙදෙනා වෙත ගොස් කතා කරනු දැකිය හැකි විය. ඔවුන් දෙදෙනා මුලින් සිටියේ තරමක් හුදෙකලාව ය. ඉන්පසු වැඩියෙන්ම පිරිස සිටියේ ඔවුන් දෙදෙනා සිටි තැන ය. පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ කිරීමේ අවස්ථාව චාම් සහ අඩු වියදම් වැඩක් විය. තේ සාදය සුපුරුදු පරිදි පැවැති අතර, ඊට සියල්ලන්ම සහභාගි වීම ද විශේෂත්වයකි. මීට පෙර ඇතැම් අවස්ථාවලදී මේ තේ සාදය සමහර මන්ත්‍රීවරු මගහැරියහ. 

‘ආණ්ඩු බලය එපා කියන ඡන්දයක් ආවමයි’


අමිත් ෂා යනු ඉන්දීය රජයේ ප්‍රබල චරිතයකි. අගමැති නරේන්ද්‍ර මෝදිගේ සමීපතමයෙකි. මෝදිගේ තුන්වැනි ධුර කාලයේදී මෙන්ම මීට පෙර ධුර කාල දෙකේදී ම ෂා කැපීපෙනෙන චරිතයක් විය.

මෝදි දැන් අමිත් ෂා නිසා හිරවී සිටී. උණු හින්දා බොන්නත් බෑ, කැඳ හින්දා අහකදාන්නත් බෑ ජාතියේ වැඩක් නම්, මෝදි මේ වෙලාවේ අනිවාර්යෙන්ම මුල් එක තෝරාගන්නේය. අහකදාන්නේ ය. ඒත් මේ ෂා ය. ෂා යනු දැඩි හින්දු භක්තිකයෙකි. භාරතීය ජනතා පක්ෂයේ කොඳූ නාරටිය වන රාෂ්ත්‍රීය ස්වායම් සේවක් සංග් හි ප්‍රබලයෙකි. භාරතීය ජනතා පක්ෂයේ ජාතික මහ ලේකම් වාරානසී රාම් මාධව්ගේ ගජයෙකි. මේ විදිහට ෂා ව හැඳීන්වූයේ ඔහු ඉන්දීය ආණ්ඩුවේ තීරණාත්මක චරිතයක් බව පැහැදිලි කරන්නට ය.

ඔහු දැන් එරට ස්වදේශ කටයුතු ඇමැතිවරයා ය. ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාව වන්නේ කැනඩාවේ ජීවත් වන ඉන්දීය සික් ජාතිකයන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණවලට සම්බන්ධවීමයි. හර්දීප් සිං නිජ්ජාර් නම් කැනඩාවේ සිටි සික් බෙදුම්වාදී නායකයා ඝාතනය කිරීම මෙහි තීරණාත්මක සිද්ධියක් විය. කැනඩාවෙන් පිටට මේ ඝාතන කතාව ගියේය. වොෂින්ටන් පෝස්ට් පුවත්පත කෙලින්ම කියා තිබුණේ මේ පිටුපස අමිත් ෂා සිටින බවකි. මෙසේ වැඩේ අවුල් වන විට ඉන්දියාව කිසිවක් නොකියා නිහඬව ම සිටියේය.

ඒ අතර රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඉවත් කර ගැනීම් වැනි අභ්‍යන්තර දේ ද සිදු විය. අවසානයේදී ඉන්දියාව ද එළිපිට වැඩි පටන්ගත්තේය. ඉන්දියාව පැවසුවේ මේ ඝාතනවලට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් විදෙස් මාධ්‍ය පවසා තිබුණේ අමිත් ෂා වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනීසිටින්නට මෝදි තීරණය කර ඇති බවයි. මේ සිදුවීම්වලින් පසු ඉන්දියාව සික් බෙදුම්වාදීන් ත්‍රස්තවාදීන් ලෙස හැඳීන්වීමට ද පටන් ගත්තේය. 


ඉන්දියාව තීරණාත්මක තැනක


දැන් වැඩේ ඇත්තේ තීරණාත්මක තැනක ය. අමිත් ෂාගෙන් වැඩේ සමස්ත භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව අතට ගෙන තිබේ. දේශපාලන විචාරකයන් කියන්නේ භාරතීය ජනතා පක්ෂයේ ආණ්ඩු කිරීමේ අවසානය මේ සිදුවීම් ජාලයෙන් ආරම්භ වනු ඇති බවයි. සික් බෙදුම්වාදීන් යුරෝපයේ රටවල් ගණනාවක සිය ආධිපත්‍යය විහිදුවමින් සිටී.

ඛලිස්තානය නමින් ස්වාධීන නිජබිමක් ඉල්ලා සික් බෙදුම්වාදීන් අරගල කිරීම ඇරඹුවේ අසූව දශකයේ මුල ය. අසූව - අනූව දශකයේදී මේ පිළිබඳව ඇති වූ කැරැල්ලකින් පුද්ගලයෝ දහස් ගණනක් මියගියහ. අද දක්වා ම බලපාන තීරණාත්මක සිදුවීමක් ද සිදුවූයේ මේ අතර ය.

ඒ ඉන්දිරා ගාන්ධි ඝාතනයයි. වරක් සික් බෙදුම්වාදීන් පළවාහැරීම සඳහා ශුද්ධ වූ සික් කෝවිලකට පහර දෙන ලෙස එවකට ඉන්දීය අගමැති ඉන්දිරා ගාන්ධි නියෝග කළාය. එම නියෝගයෙන් පසු ඇයගේ ආරක්ෂාවට සිටි සික් ජාතිකයන් විසින් ම අගමැතිවයරි ඝාතනය කෙරිණි.


එකකට - එකක් සම්බන්ධ කතා පෙළක්


මේ සිදුවීම් හුදෙකලා නැත. සික් බෙදුම්වාදීන් ලෝකය පුරා ත්‍රස්ත සංවිධාන සමග සම්බන්ධතා පවත්වන බව ඉන්දීය ආරක්ෂක අංශ පසුගිය කාලයේ පවසා තිබිණි. ඉන්දීය රහස් ඔත්තු සේවය වන රෝ සංවිධානය තීරණාත්මක ලෙස සික් බෙදුම්වාදීන් පසුපස හඹායන බව ප්‍රකට කරුණකි. ඒ අතර ය, ඊශ්‍රායල් සංචාරකයන් පිළිබඳ ප්‍රශ්නයක් ලංකාවෙන් මතුවූයේ. 

මේ සම්බන්ධයෙන් පැවැති රාජ්‍ය තාන්ත්‍රික හමුවකදී ලංකාවේ සිටින විදෙස් තානාපතිවරුන් කිහිපදෙනකු ම ආණ්ඩුවට අවධාරණය කර ඇත්තේ ඊශ්‍රායල් සංචාරකයන් සම්බන්ධයෙන් අනුගමනය කරන ලිහිල් පිළිවෙත වෙනස් කළ යුතු බවයි. එහිදී ආණ්ඩුව පාර්ශ්වයෙන් පෙන්වා දී ඇත්තේ කිසිදු රාජ්‍යයක් සමග ගැටුමකට නොගොස් විදේශ ප්‍රතිපත්තිය සමබරව පවත්වාගෙන යෑමේ වැදගත්කමයි.

‘ලෝකයේ බොහෝ රටවල් ඔවුන්ගේ බිහිසුණු ජන සංහාරයට විරෝධය පළකරලා තියෙනවා. අපේ රටවල ස්ථාවරයත් ඒක. මේක ලංකාවට බලපෑම් කිරීමක් නෙමෙයි. අපේ රටවල ස්ථාවරය පැහැදිලි කිරීමක් විතරයි.’

මෙහිදී රාජ්‍ය තාන්ත්‍රිකයන් කරුණු පැහැදිලි කර ඇත්තේ එසේ ය.


ඩේවිඩ් තාරකාවේ කතාව 


මේ අතර ආරක්ෂක අංශවල ඉහළ පෙළේ නිලධාරීන් සහ ආරක්ෂක ක්ෂේත්‍රයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨයන් අතර හමුවක් පසුගිය සතියේ පවත්වා තිබිණි. එහිදී ඔවුන්ගේ අවධානය යොමුවී තිබූ එක් ප්‍රධාන මාතෘකාවකි, ඩේවිඩ් තාරකාව. ඩේවිඩ් තාරකාව කියන්නේ යුදෙව් සංකේතයයි. නිල් පැහැ තරුවයි. මේ තරුව ලංකාවේ වීදිවල, තාප්පවල ගසා තිබීමත්, ඒවා ඉවත් කළ හැකිද යන්න පිළිබඳවත් මෙහිදී කතා කර ඇත. 

‘බලහත්කාරයෙන් මේවා ඉවත් කරන්නත් බෑ. ඒත් මේවා දිගටම තියෙන එකත් ප්‍රශ්නයක්.’

මේ සාකච්ඡාවේදී අවධානය යොමුකර ඇති තවත් කරුණක් වන්නේ ඊශ්‍රායල් හමුදා සේවයේ සිටින පිරිස් නිවාඩු සඳහා ලංකාවට පැමිණීම ලංකාවේ ආරක්ෂාවට කෙසේ බලපාන්නේ ද යන්නයි. ලෝකයේ වෝ ටුවරිසම් හෙවත් යුද සංචාරක කර්මාන්තය යනුවෙන් මාතෘකාවක් තිබේ. එමගින් හැඳීන්වූයේ යුද්ධ පැවැති ප්‍රදේශවල සංචාරය කිරීමයි.

එහෙත් ඇමෙරිකානු හමුදාව, ඉරාකයට සහ ඇෆ්ගනිස්තානයට පහර දීමේ සිදුවීම්වලින් පසු මේ වචනයේ තේරුම තරමක් වෙනස් විය. ඇමෙරිකානු රජය වියදම් දරමින් එම යුද්ධවලට සම්බන්ධ වූ සෙබළුන්ට විදෙස් සංචාර දෙන්නට පටන් ගත්තේය. ඊශ්‍රායලය ද එවැන්නක් සිදුකරන බවට වාර්තා තිබේ. එවැනි ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත්වී නැති බව ආණ්ඩුව තහවුරු කරයි. සංචාරක සංවර්ධන අධිකාරිය ද තහවුරු කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය 1975දී තීරණයක් ගත්තේය. ඒ, සියොන්වාදය අන්තවාදයක් යනුවෙන් හැඳීන්වීමට ය. 1991 වසරේදී මීට එරෙහි යෝජනාවක් එවකට ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ් විසින් ඉදිරිපත් කෙරිණි. ඊට එරෙහි වූ රටවල් 25 අතර ශ්‍රී ලංකාවත් සිටියේය. එවකට ලංකාවේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ය. ඉස්ලාම් හෝ කොමියුනිස්ට් රාජ්‍යය නොවන රටක් ලෙස මේ යෝජනාවට විරුද්ධ වූ තීරණාත්මක රටක් ලෙස ඒ කාලයේදී ලංකාව හැඳින්විණි. මේ ඉතිහාසයත් සමග අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව සිය විදේශ ප්‍රතිපත්තිය සමබර කරගැනීමට උත්සාහ කරන බවක් පෙනෙන්නට තිබේ.

ඉන්දියාවේ මෝදි, අමිත් ෂා ඇතුළු සමීපතමයන්ගේ ක්‍රියාකාරිත්වය වෙනුවෙන් යුරෝපා රටවල් පිළිබඳ සිය විදේශ ප්‍රතිපත්ති වෙනස් කරමින් සිටී. ඉන්දියාවේ අසල්වැසියා ලෙස ලංකාව ද විදේශ ප්‍රතිපත්ති පිළිබඳ තීරණාත්මක තැනක සිටී. ගැටලු‍ව වන්නේ ඉන්දියාව වැනි ආර්ථික පැත්තෙන් ස්ථාවර රටකට මෙන් ණය බරින් පීඩිත බවට පත්කර ඇති ලංකාවට සෙල්ලම් දමන්නට නොහැකි වීම ය.


ජනපතිගෙන් සුදුසුකම් ගැන නියෝගයක්


ඊට අදාළ වැදගත් පියවරක් තියන්නට ජනාධිපතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා කටයුතු කළේය. විදේශ කටයුතු අමාත්‍යංශයට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් උපදෙස් දී තිබුණේ ලංකාව නියෝජනය කරමින් විදෙස් රටවල සේවය කරන තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන්, එම කාර්යාලවල සේවය කරන පළමු ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ගේ සුදුසුකම් සියල්ල පිළිබඳ වාරතාවක් සකස් කරන ලෙසයි. පාර්ලිමේන්තුවේ ඉහළ නිලතල පිළිබඳ කාරකසභාවෙන් ද මේවා පරීක්ෂාවට ලක්කෙරේ. එහෙත් ඒවා නමට පරීක්ෂා කිරීමක් ය, පසුගිය කාලයේ සිදු වී තිබුණේ. 


ගෙන්වන ලිස්ට් එක මෙන්න


මේ සුදුසුකම් පරීක්ෂාවට පෙර ම ආණ්ඩුව පසුගිය සතියේ මුල තීරණයක් ගත්තේය. එම තීරණයට අනුව ඥාතිකම්, හිතවත්කම්, දේශපාලන සම්බන්ධතා මත තානාපති සේවා සඳහා යැවූ දහසයදෙනකුගේ ලැයිස්තුවක් සකස් කෙරිණි. ඔවුන්ට වහාම දැනුම් දුන්නේ යළිත් මෙරටට පැමිණෙන ලෙසයි.  

ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කරන වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස, චීනයේ ෂැංහයි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කරන අනුර ප්‍රනාන්දු, ඉන්දියාවේ චෙන්නායි නුවර නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරන ආචාර්ය ඩී. වෙන්කටේෂ්වරන්, සවුදි අරාබියේ ජෙඩා හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කරන එස්.එම්.ඒ.එෆ්. මවුලානා, ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිශාන් මුතුක්‍රිෂ්ණ, එහි තෙවැනි ලේකම්වරයා ලෙස කටයුතු කරන තාරක දිසානායක, බි්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම් ධුරයේ කටයුතු කරන අසෙනිය පුංචිනිලමේ, ප්‍රංශයේ පැරිස් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම් සහස්‍ර බණ්ඩාර, ඉතාලියේ රෝමයේ තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් මෙල්කි චන්දිමා, ඕස්ටේ්‍රලියාවේ කැන්බරාහි පිහිටි මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරන දිනූකා කාර්මලීන් ප්‍රනාන්දුපුල්ලේ, රුසියාවේ මොස්කව් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශක පණ්ඩුල ද සොයිසා, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආචාර්ය අන්වර් මොහොමඩ්, ලෙබනනයේ බීරූට් හි තෙවැනි ලේකම් ප්‍රියංගිකා දිසානායක, තුර්කියේ අන්කාරාහි දෙවැනි ලේකම් යෂ්මින් මොහොමඩ් ඇතුළු පිරිසක් මේ ලැයිස්තුවේ සිටිති.


ඇමැතිට වඩා බලවත් ලේකම් කෙනෙක්


ජාත්‍යන්තර ක්ෂේත්‍රය මෙසේ සීරුමාරුවෙන් බේරාගනිමින් සිටින විට, ආණ්ඩුවට ඇතුළෙන් අර්බුදත් පැමිණෙන්නේය. පසුගිය 30 වැනිදා මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත් අමාත්‍යංශයට ගොස් තිබිණි. එහිදී කාර්යමණ්ඩලයේ පිරිස් ද හමුවී කතාබහ කොට විජිත පිටවී ගිය පසුව ය, අලු‍ත් ම සිදුවීම සිදුවී තිබෙන්නේ. 

ඇමැතිවරයා ගිය පසු කාර්යමණ්ඩලය අතරට පැමිණි අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියක පවසා තිබුණේ ටිරාන් අලස් ඇමැතිවරයා ලබන 14 වැනිදායින් පසු යළිත් මේ අමාත්‍යංශය බාරගන්නා බවයි. එම නිසා තැපැල් ඡන්දය දැමීමේදී සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසත්, එසේ නොවුණහොත් ගැටලු‍ ඇති විය හැකි බවත් ඇය පවසා ඇත. මේ සම්බන්ධයෙන් අමාත්‍යංශයේ පිරිසක් මැතිවරණ කොමිසමට ද පැමිණිලි කිරීමට සූදානම් වී සිටී. 

මේ ලේකම්වරිය සම්බන්ධයෙන් කියන්නට තවත් කතාවක් තිබේ. ඒ, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරයට අලු‍තින් පත්කෙරුණු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සම්බන්ධ කතාවකි. උදය ගම්මන්පිල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉමාම් කමිටු වාර්තාව සහ ජයිකි ස අල්විස් කමිටු වාර්තාව එළියට දැම්මේය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කළ මේ කමිටු දෙකෙන් ම චෝදනා කර තිබුණේ පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් රවී සෙනෙවිරත්නට ගැලවීමට නොහැකි බවකි. පසුව ඊට පැහැදිලි පිළිතුරු රවී සෙනෙවිරත්න පාර්ශ්වයෙන් ලබාදී තිබුණේ ලේඛන සාක්ෂි ද සහිතව ය.

වාර්තා ගැන ගම්මන්පිල පැවැත්වූ මාධ්‍ය හමුවෙන් පසු මේ කතා නායිකා ලේකම්වරිය අමාත්‍යංශයේ කාර්යමණ්ඩලය ඉදිරියේ උස් හඬින් පවසා තිබුණේිදැන් හරිනෙ, ආවට වඩා වේගෙන් ලේකම්ට ආපහු යන්න පුළුවන්’ යනුවෙනි. ගම්මන්පිල ද ඉල්ලා තිබුණේ රවී සෙනෙවිරත්න ඉවත් කරන ලෙසයි. එහෙත් ආණ්ඩුව ස්ථිරව පවසා තිබුණේ එසේ නොකරන බවයි.


ලොහාන්ගේ තේ එකෙන් තරුණයා නිදහස්


ලොහාන් රත්වත්තේ අනුරාධපුරයේ සිට කොළඹ බලා පැමිණෙමින් සිටියදී වාරියපොළ ප්‍රදේශයේදී පසුගිය සතියේ අනතුරට ලක්විය. ඔහුගේ රථය බස් නැවතුම්පොළක් කඩාගෙන ගොස් තිබූ අතර, පසුව ඔහු වාරියපොළ පොලිසියට පැමිණ තිබිණි. කතාවේ ඇත්තේ එය නොවේ.

අනතුරෙන් පසු ඔහුගේ වාහනය සහ එහි ඇතුළත වීඩියෝගත කළ තරුණයකු පොලිසියෙන් අත්අඩංගුවට ගැනිණි. ඔහු වහාම පොලිසියට රැගෙන ආවේය. ඒ වන විට ලොහාන් සිටියේ පොලිසියේ ස්ථානාධිපතිවරයා සමග තේ පානය කරමින් ය. තරුණයා අත්අඩංගුවට ගත් වාරියපොළ පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඔහුට තර්ජනය කරමින් පැවසුවේ දණ ගසා සමාව ගන්නා ලෙසයි. තරුණයා එසේ කළේ නැත.

තත්ත්වය තේරුම් ගත් පොලිස් ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක විය. සමාව ගැනීමට අවශ්‍ය නැති බව පවසා ඔහු තරුණයා නිදහස් කළේය. එය ශුද්ධ චේතනාවකින් කළේද, ලොහාන් ද එහි සිටි නිසා කළේද යන්න වෙනම කතාවකි. පසුව තරුණයා අත්අඩංගුවට ගත් සිදුවීම පිළිබඳ ඉහළ පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂණ ආරම්භ කරන ලදි. 

ලොහාන්ගේ මේ වාහනයේ චැසි අංක සම්බන්ධයෙන් ද ගැටලු‍වක් මතු වී ඇත. ඉන්පසු එවැනි තවත් වාහනයක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ද ගැනිණි. දැන් ඔහු සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේ ය. ඒ අතර මහනුවරදී ලොහාන්ට අයත් බවට සැක කෙරෙන තවත් එකලස් කළ වාහනයක් අත්අඩංගුවට ගැනිණි. ඒ කියන්නේ මේ ජාවාරම සුළුපටු නැත. හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාරගත ව සිට, ඇප ලැබුවේද මෙවැනි එකලස් කළ වාහනයක සිදුවීමකට ය. ඒ වාහනය හිල්ටන් හෝටලයට ගෙනැවිත් තිබුණේ ව්‍යාපාරිකයකු ලෙස ප්‍රකට ගාමිණී අබේරත්න හෙවත් ටැක්සි අබේ විසින් ය. ටැක්සි අබේ යනු 2010 වසරේදී සරත් ෆොන්සේකාට එරෙහිව ජොන්ස්ටන් ප්‍රනාන්දු සමග සාක්ෂි ලබාදුන් අයෙකි. ඔහු පසුව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ධුරයට ද පත්කෙරිණි. මේ දැල්වල ගැට ලිහාගැනීම ආණ්ඩුවට පහසු නැත.


අධිකරණ නියෝග ක්‍රියාත්මක කෙරෙන කාලයක්


නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු වූ ශමින්ද වික්‍රමගේ වැඩ තහනම් කිරීමට පසුගිය සතියේ එම දෙපාර්තමේන්තුව පැත්තෙන් කටයුතු කර තිබිණි. ඒ ගැන කිසිදු කතාවක් එළියට ආවේ නැත. ඔහුට විරුද්ධව පොලිසියට ද පැමිණිලි කිහිපයක් ලැබී ඇති අතර, ඒවා ද වැඩ තහනම් කිරීමේදී සලකා බලා ඇත.

2022 ජන අරගලය පැවැති අවස්ථාවේ විරෝධතාවකට බාධාකිරීම සම්බන්ධයෙන් කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ 22470/22 දරන නඩුව ගොනුකෙරිණි. මේ නඩුවේදී විත්තියට නොදන්වා වෙනත් පාර්ශ්වයක් ලෙස පැමිණ කරුණු දැක්වීමේ නීතිඥවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් එවකට කොළඹ, කොටුව මහෙස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ වර්තමානයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් ද දැඩි අවධානය යොමු කර තිබිණි. 

තවත් සිදුවීමක් තිබේ. ඒ, කොළඹ විශ්වවිද්‍යාලයට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමේ නඩුවයි. තැන ශ්‍රේෂ්ඨාධිකරණයයි. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණේ මේ නඩුවෙිදී ශමින්ද වික්‍රමගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට දැනුම් දෙන ලෙසයි. නියෝගය නිකුත් කරනු ලැබුවෙි ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරයාට ය. 


රනිල් මොකටද එහෙම කරන්නෙ?


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ අපේක්ෂකයන් වෙනුවෙන් පවත්වන පළමු රැලියට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්වුණේ පසුගිය ඉරිදා ය. එම රැස්වීම මීගමුව ඔලැන්රෝ හෝටලයේදී පැවැත්වුණු අතර, මීට දිස්ත්‍රික්කයේ සිලින්ඩරය ලකුණ යටතේ තරග වදින සියලු‍‍ අපේක්ෂකයෝ එක්ව සිටියහ.

‘ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවෙ ආර්ථික අර්බුදය ඇවිල්ලා රට යුද පිටියක් වගේ තියෙනකොට මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වෙලා අගමැති කෙනෙක් හොයන්න පටන් ගත්තා. හැමෝම බාරගන්න බෑ කියල දුවනවා. මේ අතරෙ ලන්සාගෙන් මට කෝල් එකක් ආවා. ඔබතුමා අගමැතිකම බාරගන්න කිව්වා. මම ඇහුවා ඔබතුමා කොහොමද මට අගමැතිකම දෙන්නෙ කියලා. ඊට පස්සෙ ලන්සා මට කිව්වා ඉක්මනින්ම ජනාධිපතිතුමා හම්බෙන්න. එතුමා බලාගෙන ඉන්නවා ඔබතුමා එනකම්. අපි කණ්ඩායමක් විදිහට ඔබතුමාට උදව් කරනව කියලා.’

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ළඟ තබාගෙන රනිල් වික්‍රමසිංහ නිමල් ලන්සාට මෙසේ ලකුණු ලබාදීම සම්බන්ධයෙන් එහි සිටි අපේක්ෂකයන් අතර තරමක කතාබහක් ද ඇති විය. රනිල් රැස්වීමෙන් පසු දිවා ආහාරයට ගොස් තිබුණේ ද ලන්සා සමග එක ම වාහනයේ ය. අපේක්ෂකයන් අතර සිටි ප්‍රධානීන් වූ රුවන් විජේවර්ධන සහ ලසන්ත අලගියවන්න තම-තමන්ගේ වාහනවලින් දිවා ආහාරය සූදානම් කර තිබූ තැනට ගොස් තිබිණි.


සුමන්තිරන් නොකියන කතාව


මේ ඡන්දයේ ඇති සුවිශේෂී තත්ත්වයක් තිබේ.

‘අපිව විපක්ෂයෙ වාඩිකරවන්න.’

ඒ, විශාල පිරිසක් කරන ඉල්ලීමකි. පක්ෂ ගණනාවක් ම කියන්නේ හොඳ ම විපක්ෂය වන්නට තමන් සූදානම් බවකි. ඔවුන් ආණ්ඩු කරන්නට ඉල්ලන්නේ නැත.

මේ අතරවාරයේ ය, දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන තමිල් අරසු කච්චිහි සුමන්තිරන් මන්ත්‍රීවරයා ලොකු කතාවක් කිව්වේ. ඔහු කිව්වේ මාලිමා ආණ්ඩුවකින් ඇමැති ධුරයක් ලබාදෙන්නේ නම්, කරන්නට සූදානම් තාලයේ කතාවකි. 

සුමන්තිරන් මෙසේ කීවද, දෙමළ ජාතික සන්ධානයේ බහුතරය පසුගිය සතියේ පැවැති එහි ප්‍රධාන පෙළේ රැස්වීමකදී අවධානය යොමු කර තිබුණේ ආණ්ඩුවට එක් නොවී සිටීම ගැන ය. ආණ්ඩුවට එක් නොවී ආණ්ඩුවේ වැඩවලට සහාය දීම මේ වන විට ඔවුන්ගේ කතාබහේ ඇති අනාගත සැලැස්මයි. කොහොම වුණත් සුමන්තිරන් මන්ත්‍රීවරයා පසුගිය කාලය පුරා ජාතික ජන බලවේගය ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් දැඩි ප්‍රසාදයෙන් කතා කළ අතර, ඔවුන් සමග විවිධ සාකච්ඡාවලට ද එකතු වී තිබිණි.

අනුර පාඩම පටන් ගනී !


දෙවැනි ආරක්ෂක මණ්ඩල රැස්වීම පැවැත්වුණේ උදෑසන හතට ය. වෙලාවටත් කලින් ආරක්ෂක අංශවල සියලුම ප්‍රධානීහු ජනාධිපති කාර්යාලයට පැමිණ සිටියහ. ඊට හේතු වූයේ ඔවුන්ට දවසේ වැදගත්කම, නැතහොත් ඒ රැස්වීමේ වැදගත්කම ගැන පුළුල් අවබෝධයක් තිබීම ය.

බුද්ධි තොරතුරු සහ බුද්ධි අංශ පිළිබඳ ජනතාව අතර මතුවී ඇති කුකුස තියෙන්නේ බරපතළ තැනක ය. මේත් බුද්ධි තොරතුරක් ගැන සාකච්ඡාවකි. විදේශීය බුද්ධි අංශයකින් මේ තොරතුර ලැබී ඇත්තේ සති කිහිපයකට පෙර ය. එය නිශ්චිත වූවක් නොවේ. ‘ඇතැම් විට’ ජාතියේ එකකි. ඉන්පසු තවත් විදේශීය බුද්ධි අංශයකින් මේ ගැන ඊට වඩා යමක් සහිත තොරතුරක් ලැබී ඇත. 2019 අප්‍රේල් 21 වැනිදා ගැන ජනතාවට අමතක නැත.

බුද්ධි තොරතුර ලැබී තිබුණේ 2019 අප්‍රේල් 04 වැනිදා ය. ඉන්පසු අවස්ථා කිහිපයකදී ම ඒ තොරතුර තව-තවත් නිශ්චිත වෙමින් ලැබිණි. එහෙත් අවශ්‍ය පියවර අවශ්‍ය වේලාවේදී නොගැනීම නිසා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය නම් බරපතළ ඛේදවාචකය මේ පොළොවේ සිදු විය. 1953 - 1961 කාලයේ ඇමෙරිකානු ජනාධිපතිවරයා වූ ඩ්වයිට් ඩී. අයිසන්හවර් පවසා ඇත්තේ අවශ්‍ය මොහොතේ අවශ්‍ය ම දේ නොකරන්නේ නම්, ඊට නැවත කිසිදු දිනක අවස්ථාවක් නොලැබෙන බවයි. ඔහු දෙවැනි ලෝක යුද සමයේදී ඇමෙරිකාවේ සිටි ඉහළ ම හමුදා නිලධාරියා ද විය.


ඒකාබද්ධ මෙහෙයුමක්


අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ මේ ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී සම්පූර්ණයෙන් ම සාකච්ඡා කර තිබුණේ ඊශ්‍රායල් ජාතිකයන්ට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් සම්බන්ධ බුද්ධි තොරතුර ගැනයි. මීට පෙර ද ඒ ගැන කතා කරන්නට හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳවා තිබිණි. එහිදී ගත් තීරණයක් වී තිබුණේ ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමයි. ඒ අනුව බුද්ධි අංශ, ආරක්ෂක හමුදා, පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිසිය ඇතුළු සියලු අංශ ඒකාබද්ධ ව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු පිරිසකගේ මූලිකත්වයෙන් සියලු සැලසුම් සකස් කෙරිණි. 

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ව විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේදී අනාවරණය වූයේ ආරක්ෂක මණ්ඩල රැස්වීම් විධිමත්ව පවත්වා නැති බවයි. ඇතැම් රැස්වීම්වලට අත්‍යවශ්‍ය ආරක්ෂක ප්‍රධානීන් කැඳවා නැති බවයි. ඇතැම් රැස්වීම්වලට නිශ්චිත හේතුවක් නොමැතිව එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සමීප දේශපාලනඥයන් ද සහභාගි වී ඇති බවයි. 2018 වසරේ අවසානයෙන් පසු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු වන තුරු ඒ රැස්වීම පවත්වා තිබුණේ නැත. 


මෙන්න ආරක්ෂක මණ්ඩල


මේ අතර ම කියන්නට තවත් කතාවක් තිබේ. පසුව පෙරටුගාමී සමාජවාදී පක්ෂය බවට පත්වූ ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන් වූයේ 2011 දෙසැම්බර් 09 වැනිදා ය. දැන් අලුත් ආණ්ඩුව මගින් එහි විමර්ශන ද කඩිනම් කිරීමට තීරණය කර ඇත. මේ ක්‍රියාකාරිකයන් දෙදෙනා අතුරුදන් වී, දින කිහිපයකට පසු එනම් දෙසැම්බර් 15 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී එවකට කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල පවසා තිබුණේ ලලිත් - කුගන් අතුරුදන් වී නැති බවත්, ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් ය. ඔවුන් කඩිනමින් අධිකරණයකට ඉදිරිපත් කරනු ඇතැයි ද ඔහු ඒ වෙලාවේ කියා තිබිණි.

ඉන්පසු මේ කරුණ අධිකරණයට ඉදිරිපත් කෙරිණි. ඒ අනුව මේ අත්අඩංගුවට ගත් කතාව ගැන විමසන්නට කෙහෙළිය රඹුක්වැල්ල යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට කැඳවිණි. ඔහු කිව්වේ කුමක්ද? ඒත් ආරක්ෂක මණ්ඩල කතාවකි. ආරක්ෂක මණ්ඩලයේ සිටි කෙනෙක් තමන්ට එසේ කී බවක් ඔහු අධිකරණයට කිව්වේය. තවත් එක් අතීත ආරක්ෂක මණ්ඩල කතාවක් ලිවිය යුතුය. ඒ ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙන් පසු පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීමක් ගැන කතාවකි. මේ කතාව මාධ්‍යයකට කියා තිබුණේ ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ එවකට ප්‍රධානියා ව සිටි වර්තමානයේ විශ්‍රාමික මේජර් ජෙනරාල් කුමා හේරත් ය. ඒ, ඔහු විසින් ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී ලසන්ත ඝාතනය ගැන කතා කරන්නට ගත් විට ඒක මෙතැන්ට අවශ්‍ය නැති බවක් බහුතරයෙන් පැවසුණු බවයි. මේවා ඕපාදූප නොවේ. සාක්ෂි සහිත කතා ය.


මේ හදිස්සිය මොකක්ද?


දැන් නැවතත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආරක්ෂක මණ්ඩල රැස්වීමට පැමිණිය යුතුය. ඊශ්‍රායල ජාතිකයන්ට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ලද බුද්ධි තොරතුර අනුව ආරක්ෂක අංශ යෙදවිණි. සාමාන්‍යයෙන් ඊශ්‍රායල ජාතිකයන් වැඩියෙන්ම පැමිණෙන තැනකි, ආරුගම්බේ. ඊට හේතුව වන්නේ ඔවුන් සර්ෆින් හෙවත් මුහුදේ ලිස්සා යෑමේ ක්‍රීඩාවට ඇති කැමැත්තයි. ඒ අතරත් වැඩියෙන්ම සිටින්නේ තරුණ ඊශ්‍රායල් ජාතිකයන් ය. ඔවුන්ගෙන් ද වැඩි පිරිසක් හමුදාවෙන් නිවාඩු ලැබූ හෝ හමුදා සේවයෙන් විශ්‍රාම ලැබූ පිරිස් ය. 

ආරුගම්බේ මෙන්ම දෙහිවල අල්විස් ටවුන් ප්‍රදේශයේ, මීගමුවේ ඇතුළු බුද්ධි අංශ විසින් හඳූනාගත් ඊශ්‍රායල් ජාතිකයන් සිටින ප්‍රදේශවල ආරක්ෂාව තර කෙරිණි. දකුණු මුහුදු තීරයත් ඒ අතර විය. ජනතාව අතර කතාබහක් ඇති වූයේ ‘මොකද මේ හදිසියේ’ යනුවෙනි. එහෙත් ආණ්ඩුව පැත්තෙන් සද්දයක් තිබුණේ නැත. ආරක්ෂක මණ්ඩල රැස්වීමෙන් නොනැවතී ජනාධිපතිවරයා විසින් නිරන්තරයෙන් මේ පිළිබඳව මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත්ගෙන් සහ වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගෙන් විමසීම් කෙරිණි. රාජ්‍ය බුද්ධි අංශයේ නව ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ධම්මික ද සියලු තොරතුරු දැනුම් දෙනු ලැබිණි. 


පෞද්ගලික සොයාබැලීම් අරඹයි


මේ අතර ය, ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් කෙරුණේ. එහි පැහැදිලිව සඳහන් වූයේ ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති බවයි. ඒ අනුව තවත් තානාපති කාර්යාල කිහිපයක් ද මේ නිවේදනය උපුටා දක්වනු ලැබිණි. ජනතාව කලබල වූයේ ඉන්පසුව ය. තානාපති කාර්යාල නිවේදනය නිකුත් කිරීමත් සමග ආණ්ඩුව පාර්ශ්වයෙන් මේ සියලු තානාපති කාර්යාලවලට නිල වශයෙන් දැනුම්දීමක් කෙරිණි. එහි සඳහන් වූයේ අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසත්, ආරක්ෂක අංශ අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවත් ය. ඉන්පසු විදේශ කටයුතු අමාත්‍යංශයට ද දැනුම් දුන්නේ මේ පිළිබඳ නිරන්තරයෙන් තානාපති අංශ දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසයි. 

විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුණි විජේවර්ධන පෞද්ගලිකවම තානාපතිවරුන් අමතමින් මේ කලබලය නතර කිරීමට කටයුතු කළාය. ඒ අතර රජයේ ආරක්ෂක වැඩපිළිවෙල පිළිබඳ සංක්ෂිප්ත වාර්තාවක් ද ඉදිරිපත් කෙරිණි. වැඩේ සාර්ථක විය. තානාපති අංශ පාර්ශ්වයෙන් නොනිල වශයෙන් මෙරටට පැමිණ සිටින සිය රටවල සංචාරකයන්ට දැනුම් දී තිබුණේ හදිසියේ රටින් පිටවීම අවශ්‍ය නැති බවයි. ඊට හේතුවක් ද තිබිණි. ඒ, මේ නිවේදනයෙන් පසු සංචාරක කණ්ඩායම් කිහිපයක් හදිසියේ රටින් පිටවීමට උත්සාහ දැරීමයි. කෙසේ වෙතත් මේ නිවේදනයෙන් පසු එසේ පිටවූ පිරිසක් ද වූහ. ඒ අතර ඊශ්‍රායල ජාතිකයෝ 50කට ආසන්න සංඛ්‍යාවක් ද වූහ.

මේ අතර තවත් වැඩක් සිදු විය. ඒ, ශ්‍රී ලංකා සංචාරක එකමුතුව නිකුත් කළ නිවේදනයකි. මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයට අමතරව ඔවුන් තානාපති කාර්යාල වෙත ලිපි කිහිපයක් ද යවා තිබිණි. එහි දක්වා තිබුණේ නිශ්චිත සාක්ෂි නොමැති තත්ත්වයක් තුළ ජනතාව කලබලයට පත්වන පරිදි ප්‍රහාරයක් පිළිබඳ කළ අනතුරු ඇඟවීම සංචාරක කර්මාන්තයට අයහපත් ලෙස බලපානු ඇති බවයි. ඒ ලිපිවල තවත් වැදගත් කරුණක් ද විය. ඒ, ඔස්ටේ්‍රලියානු බුද්ධි අංශ තොරතුරු මත ජර්මනිය නිකුත් කළ නිවේදනයක් ගැන කතාවකි. ජර්මනිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ ත්‍රස්තවාදීන් ලෝකය පුරා සක්‍රීය ව සිටින නිසා දැඩි අවධානයෙන් සිටින ලෙසයි. 


අද මාතෘකාව මෙන්න


මේ සියල්ලෙන් පසු ජනාධිපතිවරයා පාඩමක් කළේය. එහි මාතෘකාව වූයේ ආණ්ඩු යනු මොනවාද යන්නයි.

‘මීට සති දෙකකට පමණ පෙර අපිට වාර්තා වුණා, ලෝකයේ ඇති වී තිබෙන යුද ගැටුමට සම්බන්ධ දෙයක් ලංකාවෙත් සිදු විය හැකියි කියලා. අපි අදාළ ස්ථානවල වේගයෙන් ආරක්ෂාව තහවුරු කළා. බුද්ධි අංශ තොරතුරු එනකොට අපි මාධ්‍ය සාකච්ඡා තිබ්බෙ නෑ. බුද්ධි අංශ තොරතුරු එනකොට අපේ වගකීම තමයි, ඒ වාර්තාවලට අනුරූපව කටයුතු කරන එක. අපේ වගකීම පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම. යම් සිදුවීමක් වෙන්න යනව නම්, ඒක වැළැක්වීම තමයි අපේ වගකීම. හැබැයි වෙනදා මොකක්ද වුණේ? ඒ බුද්ධි අංශ තොරතුරු සැලකිල්ලට ගත්තෙ නෑ. එක්කො ඒ තොරතුරුවලින් කලබලයක් නිර්මාණය කළා. අපි අවශ්‍ය වැඩ වේගයෙන් කළා. මතක තියාගන්න, අන්න ඒවට තමයි ආණ්ඩු කියන්නෙ.’

ජනාධිපතිවරයා පුත්තලමේදී පාඩම අවසන් කළේ එසේ ය. 


අධිකරණය ඇතුළේ තවත් අධිකරණයක්


ඡන්දයේ දිනය සම්බන්ධයෙන් ගැටලුවක් මතු කර තිබේ. එය දැන් ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය අතේ ය. පසුගිය බදාදා ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී මේ ගැන පුළුල් සාකච්ඡාවක් ඇති විය. ඒ, නඩුවේදී විනිසුරුවරුන් ඉදිරියේ නොවේ. ජනාධිපති නීතිඥවරුන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයන් ඇතුළු පිරිසක් අතර ය. ඔවුහු එහිදී පාර්ලිමේන්තු මැතිවරණ පනතේ මැතිවරණ දිනය පිළිබඳ සඳහන් කරුණුත්, ව්‍යවස්ථාවේ ජනතා පරමාධිපත්‍යය පිළිබඳව සඳහන් වන කරුණුත්, ප්‍රායෝගික තත්ත්වයන් සමග සංසන්දනය කළහ.

කිහිපදෙනකුගේ අදහස වූයේ මැතිවරණ දිනය අනිවාර්යෙන්ම වෙනස් කිරීමට සිදු වන බවයි. එහෙත් දීර්ඝ සාකච්ඡාවෙන් පසු සියල්ලන්ගේ අදහස වූයේ එහි ගැටලුවක් නැති බවයි. මේ වෙලාවේ හොඳ ම කතාව කිව්වේ නීතිඥයකු නොවන, එහෙත් නීතිඥයන් සමග සමීප සම්බන්ධකම් පවත්වන දේශපාලනයට ද සම්බන්ධ අයෙකි. ඔහු පැවසුවේ ‘මොනවා වුණත් මිනිස්සුන්ගෙ බලාපොරොත්තුව නම් ඡන්දෙ’ යනුවෙනි. කෙසේ වෙතත් නීතිඥයන් කිව්වේ උසාවිය වැඩ කරන්නේ නීති පොතට අනුව බවයි. 


ජොන්ස්ටන් නීතියට වැඩ


හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු දැන් සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේ ය. ඔහු වැරදිකරුවකු නොවේ. සැකකරුවෙකි. එම නිසා දිනකට තිදෙනකුට ඔහු ව බැලීමට හැකියාව ඇත. එහෙත් රක්ෂිත බන්ධනාගාරයේ සිටි පසුගිය දින කිහිපයේ ම ඔහු බලන්නට ගොස් තිබුණේ එක් අයකු පමණි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවකු මුල් දින දෙකේදී ඔහු බලන්නට ගොස් තිබුණේ නැත. දැන් කොහොමත් ඔවුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිසා වරප්‍රසාද නැත. බලන්නට වෙන්නේ පෝලිමේ සිට ය. 

ජොන්ස්ටන් සිකුරාදා උදෑසන වන තෙක් කිසිදු විශේෂ ඉල්ලීමක් බන්ධනාගාර නිලධාරීන්ගෙන් කර තිබුණේ ද නැත. ඔහු රක්ෂිත බන්ධනාගාරයේ පළමු දිනයේ උදේට සම්බෝල සමග බත් ද, දවල්ට මාළු සහ ව්‍යංජන දෙකක් සමග බත් ද, රාත්‍රියට ව්‍යංජන දෙකක් සමග බත් ද ආහාරයට ගෙන තිබිණි. රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන සැකකරුවන්ට අවශ්‍ය නම්, නිවසින් ආහාර ගෙන්වා ගත හැකිය. එහෙත් මෙතෙක් ජොනී එතැනට පැමිණ නැත. ජොනී කර ඇත්තේ වරදක් ද, නැද්ද යන්න අධිකරණය තීන්දු කළ යුතුය. එහෙත් වැදගත් දෙයක් අගය කරන්නට පැකිළිය යුතු නැත. 

ජොන්ස්ටන් සිටින සිර මැඳීරියට බ්‍රහස්පතින්දා දිනයේ ‘විසිටර්’ කෙනකු නැතහොත් අමුත්තකු පැමිණ තිබිණි. බන්ධනාගාරයේ අමුත්තන් පරීක්ෂා කරන ස්ථානයේදී ඒ කාන්තාව ගෙනා විශාල පාර්සලයක් ලිහනු ලැබිණි. එහි තිබුණේ ඌරු මස් ය. බන්ධනාගාර නිලධාරීන් මුලින් සිතා තිබුණේ සියලු රැඳවියන්ට ද සමග ජොන්ස්ටන්ට මේවා ගෙනැවිත් ඇති බවකි. එහෙත් නැත. එහි ඌරු මස්වලට යටින්, කුකුළු මස් ද, ඊට යටින් මත්ද්‍රව්‍යය ද තිබිණි. විසිටර් බන්ධනාගාර නිලධාරීන්ගේ බාරයට ගැනිණි. එතැනින් ඇය බොරැල්ල පොලිසියට යැවිණි. වැදගත් ම දේ විසිටර් පැමිණ තිබුණේ ජොන්ස්ටන් බලන්නට නොවේ. වෙනත් රැඳවියකු බලන්නට ය. එහෙත් ජොන්ස්ටන් බලන්නට පැමිණි විසිටර් කෙනකු ඇල්ලූ බවක් ය, මුලදී බන්ධනාගාරය පුරා පැතිරුණු ආරංචිය වූයේ.


සල්ලි නැතුව වෙච්ච දෙයක්


මැතිවරණ වියදම් පනතට අනුව පැවැති පළමු මැතිවරණය වූයේ පසුගිය ජනාධිපතිවරණයයි. එහිදී වියදම් කළ ආකාරය අපේක්ෂකයන් තිදෙනකු හැර, අනෙක් සියලු අපේක්ෂකයන් මැතිවරණ කොමිසමට බාරදී තිබිණි. කොමිසමෙන් ලබාදී තිබූ ආකාරයට එක් ඡන්දදායකයකු වෙනුවෙන් වැය කළ හැකිව තිබූ උපරිම මුදල වූ රුපියල් ... ක් කිසිවකු වැය කර තිබුණේ නැත. එය එතරම් ම විශාල මුදලකි.

කෙසේ වෙතත් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රචාරක කටයුතු සිදුකරන සමාජ මාධ්‍ය පිටු හිමිකරුවන් ඇතුළු පාර්ශ්ව ගැටලුවකට මුහුණ පා තිබේ. ඒ, අපේක්ෂකයන් සිතූ තරම් වියදම් නොකිරීමයි. ඔවුන් සියලු වැඩ අවම වියදමකින් සිදුකිරීමට උත්සාහ කිරීමයි. එම නිසා සමාජ මාධ්‍ය පිටුවල ප්‍රචාරක වියදම් පළකිරීමේ ගාස්තු ද ජනාධිපතිවරණයට සාපේක්ෂව බාගෙට බාගයකින් අඩු කිරීමට ඔවුන්ට සිදු වී තිබේ. ඊට හේතු වී ඇත්තේ අනාගතයේ ආදායම් ඉපයීම පිළිබඳව ඇති අවිනිශ්චිතතාවක් ද විය හැකිය. 

මේ වැඩේ වැඩියෙන්ම ඇත්තේ සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් අතර ය. ඇතැම් අපේක්ෂකයන් විශාල වියදමක් කරද්දී, තවත් සමහර ජනප්‍රිය අපේක්ෂකයෝ අවම වියදමක් මැතිවරණය වෙනුවෙන් සිදුකරමින් සිටිති. මේ අතර තවත් වැදගත් කරුණක් වන්නේ සමගි ජන බලවේගයේ පැවැති අභ්‍යන්තර ගැටුම් ද මේ වන විට සෑහෙන තරම් සමථයකට පත්වී තිබීමයි. ඒවා සමථ වී ඇත්තේ ද විසඳූම් ලැබීමෙන් නොවේ. ගැටුමට සම්බන්ධ වූ එක් පාර්ශ්වයක් ගැටුම අත්හැරීමෙනි.


සජිත්ගේ කළු වළා පහව යයි


කෙසේ වෙතත් පසුගිය සතියේ සජිත් ප්‍රේමදාසගේ කළු වළාව පහව ගොස් ඇති බව පෙනිණි. ඔහු දිගින්-දිගටම අනෙක් මාතෘකා අත්හැර බඩු මිල ගැන කතා කිරීමට පටන් ගත්තේය. ඔහු අනෙකුත් අපේක්ෂකයන්ට ද උපදෙස් දී තිබුණේ එසේ කරන ලෙසයි. 

‘මේ වෙලාවේ ජනතාවට දැනෙන එක ම දේ බඩු මිල. අපිට කතා කරන්න පුළුවන් හොඳම දේත් බඩු මිල. හොඳට ඉලක්කම් එක්ක ඒ ගැන කතාකරන්න.’

මේ උපදෙසට අනුව පසුගිය සතියේ සමගි ජන බලවේගයේ මාධ්‍ය කටයුතුවල යෙදෙන පිරිසකට වැඩක් පැවරිණි. ඒ, විවිධ ප්‍රදේශවල අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන්, පොල් ඇතුළු හිඟ භාණ්ඩ පිළිබඳ වාර්තාවක් සකස් කරන ලෙසයි. එම වාර්තාව ලබන සඳූදා වන විට සකස් කර බාර දෙන ලෙස ඔවුන්ට උපදෙස් ලැබී තිබේ.


ලන්සා කියයි - ජනතාව අහයි


සිලින්ඩරයේ හෙවත් රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයේ වැඩි වැඩියෙන්ම පෙනෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ය. නිමල් ලන්සා, නලින් ප්‍රනාන්දු, කෝකිලා ගුණවර්ධන, ලසන්ත අලගියවන්න, මොහොමඩ් නව්ශාඩ් වැනි පිරිස් මේ දිනවල පාරේ ම ය. ප්‍රසන්න රණතුංග ද එහි සිටී. ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ ව්‍යාපාරිකයන් පිරිසක් තමන් ළඟට ගැනීම ය. ඒ වෙනුවෙන් ඔවුහු පෞද්ගලිකව ම ව්‍යාපාරිකයන් මුණගැසෙමින් සිටිති. ඒ අතර ජනාධිපතිවරණයට සහාය දැක්වූ මාලිමාවේ පිරිස් ද සිටී. 

ඔවුන්ගේ ද ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ බඩු මිලයි. 

‘ඔයගොල්ලො මාලිමාවට ඡන්දෙ දුන්නෙ මොනවටද, බඩු මිල අඩු කරගන්න, පඩි වැඩි කරගන්න. දැන් මොකක්ද වෙලා තියෙන්නෙ...?’

ලන්සලා කියන සියල්ල ඔවුහු අසා සිටිති.

‘දැන් ජනතාවත් මේක තේරුම් ගන්න ඕනෙ. අපි එදත් කිව්වා අනුර කුමාරට බෑ කියලා. අදත් කියනවා. ඒත් මිනිස්සු මේක අහන්නෙ නෑ. මහ මැතිවරණය ඉවර වුණාට පස්සෙ හොඳටම තේරෙයි අපි විපක්ෂයේ කාර්යභාරය හොඳට කරගෙන ඉන්නවා.’

ලන්සාගේ මේ කතාවට ගම්පහ එක් ව්‍යාපාරිකයකු ඇසුවේ ‘එතකොට ඔබතුමාලා පිළිගන්නවනෙ මාලිමාව මේ ඡන්දෙත් දිනනවා කියලා’ යනුවෙනි.

ප්‍රසන්න ඊට පිළිතුරු දී තිබිණි. 

‘බලන්නකො ඉස්සරහට වෙන දේවල්.’

‘‍දැන් බලන්න අපේ ආණ්ඩුවෙ වැඩපිළිවෙළ නිසා සංචාරක කර්මාන්තය විශාල වශයෙන් ඉහළ ගියා. ආරුගම්බේ සිද්ධිය නිසා ඒක කඩාකප්පල් වුණා. ආණ්ඩුවෙ ජාතික ආරක්ෂක වැඩපිළිවෙළ ගැන හිතාගන්න පුළුවන්නෙ. ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරනකම් ම හිටියා ඒ ගැන කියන්න. තව නූලෙන් තවත් පාස්කු ප්‍රහාරයක් වෙන්න තිබ්බා. තානාපති කාර්යාලය ඇලර්ට් එකේ හිටිය නිසා ඒකෙන් බේරුණා.’

කතා කරන්නේ ලන්සා ය. අහගෙන සිටින්නේ ජනතාව ය.

රහස් මෙහෙයුම් ඇරඹෙයි !


එවකට නීතිපති ධුරය දරන ලද්දේ තිලක් මාරපන ය. වරක් කළුතර ප්‍රදේශයේ සේවය කරමින් සිටි සහකාර පොලිස් අධිකාරිවරයකුට ස්ත්‍රී දූෂණ චෝදනාවක් එල්ල විය. අධිකරණයේදී සිදුකෙරුණු මූලික පරීක්ෂණයෙන් පසු චෝදනා ගොනුකිරීමේ වගකීම නීතිපති දෙපාර්තමේන්තුවට පැවරිණි. ජ්‍යෙෂ්ඨ නීතිඥවරු නඩු ගොනුව අධ්‍යයනය කරමින් සිටියහ.

මේ කාලයේ මාරපන නීතිපතිවරයා විසින් හඳූන්වා දුන් වෙනස් ක්‍රමයක් දෙපාර්තමේන්තුවේ තිබිණි. ඒ, සතියකට වරක් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් සමග දිවා ආහාරයක් ගැනීමයි. මෙය දෙපාර්තමේන්තුවේ ම ස්ථානයක සිදු විය. වියදම් රජයේ මුදලින් විය. වියදම් ගැන ප්‍රශ්නයක් තිබුණද, එහි වැදගත්කමක් තිබිණි.

මේ නිකම් ම නිකම් කෑම වෙලාවක් නොවීය. ඊට සෑහෙන වේලාවක් ගත විය. එහිදී සතියේ නඩු, ඒවායේ ගැටලු, අධිකරණවල ගැටලු, නීති නිලධාරීන්ට මුහුණපාන්නට සිදු වන වෙනස් ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කෙරිණි. ඇතැම් අවස්ථාවලදී නීතිපතිවරයා තමන්ගේ ගැටලු ද මේසයට දැම්මේය. එය විවෘත සාකච්ඡාවක් විය.

එක් සතියක සහකාර පොලිස් අධිකාරිවරයාගේ සිදුවීම මේසයට ආවේය. නඩු ගොනුව බාරව සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා විසින් නීතිපතිවරයාට කිව්වේ මේ පොලිස් නිලධාරියාට එරෙහිව ස්ත්‍රී දූෂණ චෝදනා ගොනුකළ නොහැකි බවයි. කෙසේ වෙතත් ඔහු ම කිව්වේ එසේ නොකර ඉන්නට ද බැරි බවයි. 

‘අපි චෝදනා ගොනු නොකළොත් මාධ්‍යවලින් එල්ලගෙන ගහයි.’

මේ කතාව එහි සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥවරු රැසක් ද අනුමත කළහ. ඔවුන් සියල්ලන්ගේ අදහස වූයේ කෙසේ හෝ චෝදනා ගොනු කළ යුතු තත්ත්වයක සිදුවීම තිබෙන බවයි. ඒ වනවිටත් එය මාධ්‍යවල ප්‍රමුඛ පුවතක් වූ අතර, අධිකරණයේ මූලික පරීක්ෂණයෙන් පසු සියල්ලන් බලා සිටියේ නීතිපති දෙපාර්තමේන්තුව දෙසයි.

සියලුදෙනාගේ අදහස් දැක්වීම් අසා සිටි නීතිපති මාරපන කතා කළේය.

‘මාධ්‍ය අපිව විවේචනය කරනවද, නැද්ද කියන එක වෙනම වැඩක්. ඒ වැඩේ අයිති ඒගොල්ලොන්ට. අපි අපේ වැඩේ හරියට කරන්න ඕනෙ. අපිට මෙතැනදි පුද්ගලයා කවුරු වුණත්, වැදගත් වෙන්නෙ සාක්ෂි. ඔබතුමා කියන විදිහට නම් තත්ත්වය තියෙන්නෙ ඔය පොලිස් නිලධාරියාව නිදහස් කරන්න. මම වගකීම ගන්නම්.’

ඒ අනුව සහකාර පොලිස් අධිකාරිවරයා නිදහස් කෙරිණි. මාධ්‍ය නීතිපති දෙපාර්තමේන්තුව දැඩි ව විවේචනය කළේය. නඩුව අවසන් වීමෙන් මාස තුනකට හෝ හතරකට හෝ පසු අදාළ සහකාර පොලිස් අධිකාරිවරයා මිය ගියේය. ඊට මාස කිහිපයකට පසු ඔහුට චෝදනාව එල්ල කළ තරුණිය පාපොච්ඡාරණයක් කරමින් පැවසුවේ වෙනත් අවශ්‍යතාවක් මත මේ චෝදනාව කළ බවත්, තමන් දූෂණයට ලක්වූයේ වෙනත් ආකාරයකට බවත් ය. මාධ්‍යයට කියන්නට දෙයක් තිබුණේ නැත. නීතිපති තීන්දුව නිවැරදි විය.


අවම බලයයි - අවශ්‍ය බලයයි


ඒ කාලයේ එහෙමත්, මේ කාලයේ වෙනස් විදිහටත් වැඩ සිදු වේ. ගැටලුව ඇත්තේ එතැන ය. මහර බන්ධනාගාරයේ සිදු කළ වෙඩිතැබීම්වලින් මියගිය රැඳවියන් එකොළොස්දෙනා පිළිබඳ වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් සිදු කළ මූලික පරීක්ෂණයෙන් පසු මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ එහිදී අපරාධයක් අනාවරණය වන නිසා වගකිවයුත්තන් අත්අඩංගුවට ගන්නා ලෙසයි. 2023 අප්‍රේල් මාසයේදී ලබාදුන් ඒ තීන්දුවට අනුව වැඩ සිදු වූයේ නැත. කිසිවකු අත්අඩංගුවට නොගැනිණි.

ඉන්පසු ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර, අගෝස්තු 30 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබුණේ මේ නඩුව ඉදිරියට පවත්වාගෙන නොයන ලෙසයි. ඊට හේතුව ලෙස දක්වා තිබුණේ බන්ධනාගාර ආඥා පනතේ 77 වැනි වගන්තියයි. එහි දැක්වෙන්නේ සිරකරුවන් පාලනය කිරීමට අවම බලය යෙදවීම සම්බන්ධයෙනි. මහර බන්ධනාගාරයේදී යොදවා ඇති අවම බලයේ ස්වභාවය පැහැදිලි කර ඇත්තේ අධිකරණයේ නියෝග මත පත්කෙරුණු කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජීන් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ කමිටුවයි.

එහි සඳහන් වන්නේ මියගිය රැඳවියන් තිදෙනකුගේ හිසටත්, අනෙක් මියගිය රැඳවියන් අටදෙනාගේ පපුව ආසන්න ප්‍රදේශයටත් වෙඩි වැදී ඇති බවයි. අවම බලය යනු දණහිසෙන් පහළට වෙඩිතැබීමයි. එයට ද සාධාරණ හේතු තිබිය යුතුය.

වරක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවකට පොලිසියෙන් දැඩි ප්‍රහාරයක් එල්ල විය. මේ පහරදීම්වලින් එක් සිසුවකුගේ ඇසක් එළියට පැන්නේය. දැනටත් මේ ඡායාරූපය අන්තර්ජාලයේ ප්‍රකට ය. ඒ වෙලාවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරය දැරුවේ වර්තමානයේ නැගෙනහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ය. ඔහුගෙන් මේ පිළිබඳව විමසීමේදී පැවසුවේ ‘දැන් තියෙන්නේ අවම බලය නෙමෙයි, අවශ්‍ය බලය’ යනුවෙනි. එම ප්‍රකාශය දැඩි විවේචනයට ලක් විය. කෙසේ වෙතත් ලෝකයේ අවශ්‍ය බලය යනුවෙන් සංකල්පයක් තිබෙන බවත් ඇත්ත ය.


ශානිගේ ලියුම මෙන්න


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරගේ අලුත් පත්වීම අලුත් වටයකින් ප්‍රශ්න කෙරුණේ පසුගිය සතියේදී ය. ඒ, ඔහුගේ පත්වීම නීත්‍යනුකූල ද, පවතින නීතියට අනුව සිදුවී ඇද්ද යනුවෙනි. ඔහු වසරක කාලයක් සඳහා පත්කෙරුණේ පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ බුද්ධි විශ්ලේෂණ සහ නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස ය. ඔක්තෝබර් 10 වැනිදා පස්වරුවේ රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභා රැස්වීමේදී මේ පත්වීම අනුමත කෙරිණි. ඒ, 2024 ඔක්තෝබර් 10 වැනිදා සිට 2025 ඔක්තෝබර් 09 වැනිදා දක්වා ය.

විශ්‍රාමිකයකු යළිත් සේවයට ගන්නේ නම් 2018 වසරේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් නිකුත් කළ චක්‍රලේඛයකට අනුව ඊට අනිවාර්යෙන්ම කැබිනට් අනුමැතිය ලබාගත යුතුය. එම අනුමැතියෙන් පසු ශානිගේ පත්වීමට පොලිස් කොමිසම ද අනුමැතිය දුන්නේය. එහෙත් මේ ඡන්ද කාලයකි. ඒ අනුව මැතිවරණ කොමිසමෙන් ඊට අනුමැතිය ඉල්ලා සිටින ලදි.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව මගින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් තමාරා ඩී. පෙරේරා වෙත යොමුකරන ලද ෑක්‍/ක්‍ඨ/ඡෑ/2024/08(01) දරන ලිපියේ මෙසේ දැක්වේ.

‘විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී.එස්.අබේසේකර මහතා ........ පත්කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාව ලබාදෙන බව කාරුණිකව දන්වමි.’


ගම්මන්පිලගේ රාජ්‍ය රහස්


මේ කතාවත් සමග පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වාර්තා ගැන අලුත් කතාවක් ද එළියට ආවේය. ඒ, උදය ගම්මන්පිලගේ කතාවත් සමග ය. ගම්මන්පිල පාස්කු වාර්තා යනුවෙන් මේ කියන්නේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා ගැන නොවේ. ආරංචියේ හැටියට මේ කියන්නේ චැනල් 4 නාලිකාවෙන් ප්‍රහාරය පිළිබඳව කරන ලද හෙළිදරව්ව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත්කළ කමිටුවේ වාර්තාවත්, ශානි අබේසේකර - රවී සෙනෙවිරත්න පිළිබඳ වාර්තාවත් ය. මේ වාර්තාවල රාජ්‍ය නිල රහස් පනත යටතට ගැනෙන කරුණු නැති නිසා ගම්මන්පිල උඩ පනිමින් සිටින බව ද වාර්තා වේ.

ප්‍රහාරය ගැන සමස්තය විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ නම් තවමත් එළියට නොදැමූ කොටස් බොහෝ ය. එහි ඇති බුද්ධි අංශ වාර්තා, ලිපි ලේඛන ය, රාජ්‍ය නිල රහස් පනත යටතට ගැනෙන්නේ. ආණ්ඩුවත් ගම්මන්පිලට නටන්නට දී තිබේ. ගම්මන්පිලත් නටමින් සිටී. කෙසේ වෙතත් මේ නැටුම් කොහෙන් කෙළවර වේ දැයි කියන්නට දන්නේ නැත.


ඇලෝෂියස් සතිය ඇරඹේ


ආන්දෝලනාත්මක බැඳූම්කර ගනුදෙනුවට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ අර්ජුන් ඇලෝෂියස් මේ වන විට සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේ ය. බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ඔහු අධිකරණයෙන් වැරදිකරු කෙරිණි. ගැටලුව ඇත්තේ ඇලෝෂියස්ගේ සිය-දහස් ගණනක් මිතුරන් අතරින් කිසිවකු ඔහු බලන්නට මුල් දින කිහිපයේ බන්ධනාගාරයට නොයෑමයි. පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ එවැනි මිතුරන් කිහිපදෙනකු ඔහු බලන්නට ගොස් තිබුණත්, කවුරුත් බලාපොරොත්තු වූ දේශපාලන මිතුරන් ඒ අතරත් සිටියේ නැත.

මේ ගැන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සමීපතමයකු වන මලික් සමරවික්‍රම මිතුරන් පිරිසක් සමග කතා කර ඇත. ඒ සාකච්ඡාවට අනුව නම් ලබන සතියේ ඇලෝෂියස් බලන්නට දේශපාලන මිතුරන් පෝලිමක් යෑමට නියමිත ය. ඔළුවත් බේරාගෙන, ඇඟත් බේරාගෙන වැඩේ කරන්නේ කෙසේ ද යන්න ය, ඔවුන් සාකච්ඡා කර ඇත්තේ. සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු ද පවසා ඇත්තේ ‘බලන්න නම් යන්න ඕනෙ, ඒත් මේ වෙලාවෙ බෑ’ යනුවෙනි. 

මේ අතර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ඉහළ නිලධාරියකුට පසුගිය සතියේ දුරකතන ඇමතුමක් ලැබිණි. ඔහු නීතිඥවරයෙකි. දුරකතන ඇමතුම ආවේ ද රජයේ විශ්‍රාමලත් බැංකු නිලධාරියකුගෙන් ය. ඔහු ද ජ්‍යෙෂ්ඨයෙකි. එම දුරකතන ඇමතුමෙන් විමසා තිබුණේ ආන්දෝලනාත්මක බැඳූම්කර ගනුදෙනුවට අදාළ විමර්ශනවල ඉදිරි තත්ත්වය සම්බන්ධයෙන් ය. ඇලෝෂියස්ට ගසා තිබෙන්නේ වෙනත් ගලකි. ඒ බදු පැහැර හැරීම් පිළිබඳ ගලකි. එහෙත් බැඳූම්කර වැඩෙත් පත්තු වී තිබෙන බවක් මේ වැඩවලින් පෙනෙන්නට තිබේ. මීට තවත් ආසන්න හේතුවක් ද ඇත. ඒ, විමර්ශනවල ප්‍රගතියක් නැති සිදුවීම් කිහිපයක් තෝරාගෙන එම විමර්ශන කඩිනම් කිරීම පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩ බලන පොලිස්පතිවරයාට දුන් උපදෙසයි. එහි බැඳූම්කර ගනුදෙනුව ද ඇත.


‘රාහුල්ගෙන් ඉගෙනගන්න’


නාමල් රාජපක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට පසුගිය සතියේ තරුණයන් පිරිසකගෙන් අපූරු උපදෙසක් ලැබී තිබේ. ඒ, ඇඳූම ගැනයි. 

‘අනුර කුමාර ව මාර්කට් කරන්න ඒගොල්ලො කරපු එක වැඩක් තමයි, ඇඳූම මාර්කට් කරන එක. අපිට බැරිද ඒක ගැන හිතන්න.’

ඔවුන්ගේ යෝජනාව වී තිබුණේ නාමල් ද මහින්ද රාජපක්ෂගේ ඇඳූමෙන් ඉවත් විය යුතු බවකි. එහෙත් මෙහිදී නාමල් කර තිබුණේ බුද්ධිමත් වැඩකි. ඔහු කිසිවක් නොකියා මේ කතාවට සිනහවකින් පිළිතුරු දී ඇත. සාමාන්‍යයෙන් මෙසේ තමන්ගේ ඇතුළේ උත්තරයක් තිබියදී සිනහවකින් පිළිතුරු දීමේ ක්‍රමයට ප්‍රසිද්ධ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහයි. නාමල් ද දැන් ඒ පාරේ යයි. 

කොහොමත් දේශපාලන විචාරකයන් මේ දිනවල කියන ප්‍රසිද්ධ කතාවක් තිබේ. ඒ නාමල්ගේ කතා ශෛලිය දියුණු වී ඇති බවයි. ඔහු හොඳට කතාකරන්නට පටන්ගෙන ඇති බවයි. ජනාධිපතිවරණයේදී සියයට තුනක ඡන්ද ප්‍රතිශතයකට වැටුණු නාමල් රාජපක්ෂට පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්නට හැකිවෙයිද කියන්නට දන්නේ නැත. කොහොම වුණත් ඔහු තරුණයන් අතරට යෑමේ අලුත් උපක්‍රම සොයමින් සිටී. එම නිසා ඊළඟ සතිවලදී නාමල් අලුත් - වෙනස් ඇඳූමකින් කරළියට එන්නට ද ඉඩ ඇත.

මෙහි හොඳම උදාහරණය ඇත්තේ ලංකාවේ නොවේ. ඉන්දියාවේ ය. ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂය සිටියේ හතරගාතෙන් වැටිලා ය. එහි වර්තමාන නායක රාහුල් ගාන්ධි ආකර්ෂණීය චරිතයක් ලෙස ජනතාව පිළිගත්තේ නැත. ටික කලක් පේන්නට නැතුව සිටි රාහුල්, එක්වරම ජනතාව අතරට ආවේ කොණ්ඩයේ, රැවුලේ වෙනස් හැඩයක් සහිත ව, අලුත් ම තාලයකට ය. ජනතාව ඔහුව පිළිගත්තා පමණක් නොව ඔහු වටේ එක්වන්නට ද විය.

එතැනින් පටන් ගත් රාහුල්ගේ ගමන දැනට නැවතී ඇත්තේ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ඇඟ හිරිවට්ටවා ය. මෝදි ආණ්ඩුව හිතුවේ ලේසි-පහසු මැතිවරණ ජයග්‍රහණයකි. එහෙත් ඔවුන්ට ලැබුණේ යාන්තම් ජයග්‍රහණයකි. තවත් එක් ප්‍රාන්ත දේශපාලන පක්ෂයක් මෝදිගෙන් ගලවාගැනීමට රාහුල් සමත් වූයේ නම්, මෝදි ගෙදර ය. රාහුල් අගමැති ය. ඇඳූමෙන් ඇති වැඩක් නෑ කිව්වාට කැම්පේන් හෙවත් ප්‍රචාරක උපක්‍රමවලදී ඇඳූමට ලැබෙන්නේ මුල් තැනකි.


සජබ මහන්සි වී වැඩ කරයි


මේ දිනවල වැඩියෙන්ම වැඩ තියෙන්නේ සමගි ජන බලවේගයටයි. ඒ බලය ගන්නා වැඩේටත් වඩා, අපේක්ෂකයන් අතර ඇති රණ්ඩු බේරීමේ වැඩයි. මෙහි පළමු ගල ගැහුවේ ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න ය. දමිතා කිව්වේ හේෂා විතානගේ තමන් ව ලැයිස්තුවෙන් කැපූ බවයි. ඉන්පසු මෙවැනි පැමිණිලි රැසක් ආවේය.

රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයන්ට සිදු වූයේ අපේක්ෂකයන් ෂේප් කරගන්නවාටත් වඩා, මේවා මාධ්‍ය මගින් එළියට යෑම වළක්වා ගැනීම වෙනුවෙන් වැඩි කිරීමට ය. ඔවුන් ඒ වැඩේ වෙනුවෙන් දිවා-රෑ වෙහෙසුණේ මාධ්‍යවේදීන්ට, මාධ්‍ය ආයතන හිමිකරුවන්ට අමතමිනි. හිරුණිකාගේ මාධ්‍ය හමුවෙන් පසු වැඩේ තරමක් යට ගියේ එහි ප්‍රතිඵලයක් ලෙස යැයි කියැවේ. කෙසේ වෙතත් මේවාගේ ප්‍රතිඵල පාර්ලිමේන්තු මැතිවරණයේදී බලාගත හැකිය. 

අනෙක් අතට සමගි ජන බලවේගයේ තවත් අලුත් රැල්ලක් ද තිබේ. ඒ පැරණි සහ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ට වඩා නවක පිරිස් වේගයෙන් ඉදිරියට පැමිණීමයි. අම්පාර දිස්ත්‍රික්කයේ, මහනුවර දිස්ත්‍රික්කයේ, අනුරාධපුරයේ මේ ප්‍රවණතාව කැපී පෙනේ.

මේ සතිය තමයි, සතිය !


ලංකාවේ දේශපාලනය කියන්නේ හුදෙකලා එකක් නොවේ. ලංකාවට විතරක් නොව කිසිදු රටකට මේ කාලයේ හුදෙකලා කතා නැත. භූදේශපාලනය කියන්නේ මේ කාලයේ ලෝකයේ අංක එකේ විෂයයි. ඒ විෂය යටතේ ගත්තත්, ලංකාවේ මහ පොළොවේ දේශපාලනය ගත්තත් මේ සතිය තමයි සතිය ය.

මේ වන විට ලෝකයේ තැන් ගණනාවක, හරියටම කිවහොත් ස්ථාන පහක තීරණාත්මක යුද්ධ ඇරඹී තිබේ. ඊශ්‍රායලයට ඉරානය ගිය සතියේ මිසයිල් 180කින් පහර දුන්නේය. ඊශ්‍රායලය ඊට ප්‍රතිචාර දක්වන බව පවසා ඇත. ඉරානය පසුගිය අප්‍රේල් මාසයේදී මිසයිල 140කින් ඊශ්‍රායලයට පහර දුන්නේය. ඊශ්‍රායලය ඉරානයේ අගනුවර ටෙහෙරානයේදී, එරට නව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට පැමිණි හමාස් සංවිධානයේ දේශපාලන අංශයේ නායකයා වූ හනියේ ඝාතනය කළේය. ඒ අතර ඊශ්‍රායලය ලෙබනනයට ගොඩබිමෙන් පහරදෙමින් සිටී. අනෙක් පැත්තෙන් යේමනයේ හූති සටන්කරුවන් සමග යුද්ධයක් ආරම්භ කර තිබේ.


ට්‍රම්ප්ගේ මිත්‍රයා නෙතන්යාහුගේ වැඩ


නෙතන්යාහුගේ මිත්‍රයා ට්‍රම්ප් ය. නෙතන්යාහු යනු ඊශ්‍රායලයේ අගමැතිවරයා ය. ට්‍රම්ප් යනු වරක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට පත්වූ, මේ නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකානු ජනාධිපතිවරණයටත් ඉදිරිපත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ය. නෙතන්යාහුගේ ඉලක්කය ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්කිරීමයි. ඊශ්‍රායල ප්‍රශ්නය ගැන කතා කරමින් ට්‍රම්ප් කිව්වේ කමලා හැරිස් ජනාධිපති ධුරයට පත්වුවහොත්, තුන්වැනි ලෝක යුද්ධයක් බලාපොරොත්තු වන ලෙසයි. ට්‍රම්ප්ගේ ඡන්ද ගොඩේ සරණාගත ඡන්ද කුට්ටියක් ඇත. ඒ ඡන්ද කුට්ටිය ට්‍රම්ප්ට අරන් දෙන කොන්ත්‍රාත්තුව කරන්නේ නෙතන්යාහු ය. 

මේ අතර රුසියාව සහ යුක්රේනය අතර යුද්ධය ද තිබේ. සෙලෙන්ස්කි හෙවත් යුක්රේනයේ නායකයා මේ වන විට සෘජුව ම බි්‍රතාන්‍යය සමග ගනුදෙනු කරයි. රුසියාවේ එහා කෙළවරට විදිය හැකි නවීනතම මිසයිල යුක්රේනයට ලබාදීමට බි්‍රතාන්‍යය එකඟතාව පළකර තිබේ. මේවා රහසිගත නොවන ගනුදෙනු ය. තමන් සෙලෙන්ස්කිට උදව් කරන බව බි්‍රතාන්‍යය කෙලින්ම කියයි. සෙලෙන්ස්කි ඒ අතරේ රුසියාව වටේ ඇති රටවල් සමග සම්බන්ධතා වර්ධනය කරගනිමින් සිටී. ඔපෙක් හෙවත් ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල්වල එකතුවේ මේ යුද්ධ ඇති රටවල් තිබේ. 32023 වසරේදී ඊශ්‍රායලය ලෝක බොර තෙල් නිෂ්පාදනයෙන් සියයට දෙකක් නිෂ්පාදනය කරද්දී, රුසියාව ලෝක බොර තෙල් නිෂ්පාදනයෙන් සියයට 12කට ආසන්න නිෂ්පාදනය කරයි.


සෞදිය අත්හැරිය හැකිද?


මේ සිදුවීම් දාමයට සම්බන්ධ කළ හැකි තවත් සිදුවීමක් තිබේ. ඒ 2018 ඔක්තෝබර් 02දා තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලය තුළදී මාධ්‍යවේදියකු ඝාතනය කිරීමයි. වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ මේ මාධ්‍යවේදියා ජමාල් කෂෝගි ය. කෂෝගිගේ ඝාතනය අමානුෂික එකක් බව සියලු‍ මාධ්‍ය මගින් වාර්තා කෙරිණි. එතැනදී ප්‍රශ්නයක් මතු වේ. මානුෂික ඝාතන තිබේ ද?

සෞදියේ මොහොමඩ් බින් සල්මාන්ට ය, මේ ඝාතනය පිළිබඳ චෝදනාව එල්ල වූයේ. තමන්ගේ කිසිදු මැදිහත්වීමක් නොවූවද, රටේ නායකයා ලෙස තම පුරවැසියන් පිරිසක් කළ මේ ගාතනය සම්බන්ධයෙන් වන වගකීම තමන් බාරගන්නා බව මොහොමඩ් බින් සල්මාන් කුමරු ඇමෙරිකානු මාධ්‍ය ජාලයක් වන සීබීඑස් හි මිනිත්තු 60 වැඩසටහනට එක්වෙමින් පවසා තිබිණි. 

සල්මාන් කුමරුගේ මේ වැඩසටහන විකාශය කිරීමෙන් පසු කෂෝගීගේ පෙම්වතිය වූ හේටීස් සෙන්ගීස් මෙසේ ප්‍රතිචාර දක්වා තිබිණි. ඒ ඇයගේ ට්විටර් සමාජ මාධ්‍ය ගිණුමේ ය.

‘ඔහු නියම දේශපාලන සූත්තරකාරයෙක්. ඔහුගේ නියෝග මත සියල්ල සිදුවී තිබියදී සවුදියේ නායකයා ලෙස තමන්ට ඇති බලය ප්‍රයෝජනයට ගනිමින් ඔහු ලෝකය රවටනවා. ඔහු නොදැනුවත්ව වෙනත් රටකට ඇතුළු වී ඔතරම් බිහිසුණු ක්‍රියාවක් කරන්නට කිසිවකුට බැහැ.’

ඇයගේ ප්‍රකාශයේ ඇති වැදගත් කොටසක් වන්නේිසවුදියේ නායකයා ලෙස තමන්ට ඇති බලය’ යන්නයි. එංගලන්තයේ ලන්ඩන් නුවර මූලික කරගෙන පවත්වාගෙන යන, අරාබි භාෂාවෙන් මුද්‍රණය කෙරෙන අෂාර්ක් අල්-අව්සාත් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් සල්මාන් කුමරු ඒ කොටස තහවුරු කර තිබුණේ මෙසේ ය.

‘කෂෝගි ඝාතනයට යුක්තිය ඉටුකිරීම අපේ රටේ වැඩක්. ඒකෙන් දේශපාලන වාසි ගන්න හැදුවොත් බලාගෙනයි.’

එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ ඝාතනය පිළිබඳව පිටු 100ක වාර්තාවක් සකස් කර තිබිණි. එහි පැහැදිලිව සඳහන් වන්නේ කෂෝගි ඝාතනයට සල්මාන් කුමරු සෘජුව සම්බන්ධ වී ඇති බවයි. මේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ සල්මාන් කුමරුගේ විශේෂ ඒකකයකටයි. සල්මාන් කුමරුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු වූ සවුද් අල් කටානි ස්කයිප් තාක්ෂණය ඔස්සේ කෂෝගි ඝාතනයට මොහොතකට පෙර ඝාතකයන් අමතා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි. 

‘ඔය බල්ලාගේ හිස මට ගෙනැත් දෙන්න.’

ඔහු කියා තිබුණේ එසේ ය.

සිදුවීම එයාකාර ය. එහිදී හැසිරීම මෙයොකාර ය.


‘ණය බර කියා සද්ද නැතුව ඉන්න බෑ’


මේ ඝාතනය පිළිබඳව මුලින්ම අනාවරණය කරන ලද්දේ තුර්කි ආරක්ෂක අංශ විසින් ය. තුර්කි ජනාධිපති රිසෙප් එර්ඩෝගන් ඒ මොහොතේ ම විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේිසෞදි රජු මේ ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීමේදී අවංකව කටයුතු කළ යුතු බවයි.’ තුර්කිය මෙහිදී විශේෂ වැඩ කොටසක් නොකරන්නට, මේ ඝාතනය යටයන්නට හෝ වෙනත් ඉසව්වකට ගමන් කරන්නට ඉඩ තිබිණි. ඝාතනයට සෘජුව සම්බන්ධ වූ සැකකරුවන් 18 දෙනෙකු තුර්කි ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගැනිණි. ඝාතනයෙන් පසු විශේෂ ගුවන්යානයකින් කිසියම් පිරිසක් සෞදියට පිටත්ව ගොස් ඇතැයි ද ඔවුහු සාක්ෂි සහිතව අනාවරණය කළහ. තුර්කිය මේ සියල්ල කළේ සෞදියට දැවැන්ත ණය මුදලක් ගෙවීමට තිබියදී ය. සෞදියේ ආර්ථික බලය යට හිඳිමින් එහෙත් අභියෝග කරමින් ය.

හොඳ ම කතාව එය නොවේ. ඝාතනය සිදු වූ විගස ප්‍රකාශයක් කරමින් එවකට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ කෂෝගි තමන්ගේ රටේ පුරවැසියකු බවත්, මේ ඝාතනය සම්බන්ධයෙන් වන විමර්ශන නිවැරදිව සිදුනොකරන්නේ නම්, තමන්ට සෞදිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදු වන බවයි. ඊට පිළිතුරු ලෙස සෞදිය පැවසුවේ ඇමෙරිකාව සමග අත්සන් කිරීමට නියමිත වූ ඉතිහාසයේ දැවැන්තම අවි ගනුදෙනුවකට අදාළ ගිවිසුමක් ඇතැම් විට අත්හිටුවීමට සිදු වන බවයි. කෂෝගි ගැන ට්‍රම්ප් ඊට වඩා වචනයක්වත් කතා කළේ නැත. 

එපමණක්ද? සෞදි අරාබි ආයෝජන සමුළුව හෙවත් ඩාවෝස් ඉන් ද ඩෙසර්ට් සඳහා සහභාගි නොවන බවත්, ඊට හේතුව කෂෝගි ඝාතනයට විරෝධය පෑම බවත් ලෝකයේ බිලියනපති ව්‍යාපාරිකයෝ රැසක් එක්වර පැවසූහ. සල්මාන් කුමරු පැවසුවේිස්තූතියි’ යනුවෙන් පමණි. 2018 ඔක්තෝබර් 23දා පැවැති ඒ වසරේ අදාළ සමුළුවට පෙර විරෝධය පෑ සියල්ලෝ ම සහභාගි වූහ.

ලෝකය දුවන්නේ එහෙම පාරක ය. ඒ අතර ය, ලංකාව වැනි කුඩා ආර්ථිකයක් සහිත, පෞද්ගලික ණය හිමියන්ගෙන් පවා හිරවී ඇති රටක ජාත්‍යන්තර දේශපාලනය, විදේශ ප්‍රතිපත්ති තීරණය කිරීමට සිදු වී ඇත්තේ. අනෙක් අතට බලය වෙනුවෙන් කටයුතු කිරීමේදී පුද්ගල ජීවිත කියන්නේ සත පහකට නොවටිනා දෙයක් බව ද මේ උදාහරණවලින් පෙනේ.


අපරාධ ගැන අලු‍ත් මෙහෙයුම් ඇරඹෙයි


අලු‍ත් ආණ්ඩුව පත්වීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් කර තිබේ. ඒ විමර්ශන සිදු කරන බරපතළ අපරාධ පිළිබඳ ලැයිස්තුවක් ලබාදෙන ලෙසයි. එසේ ම ඒවායේ විමර්ශන ප්‍රගතිය පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස ද උපදෙස් දී ඇත. පසුගිය සතියේ සිරිල් ගාමිණී පියතුමා පැවසුවේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති කොමිසමේ වාර්තාවේ කොටස් අතුරුදන්ව ඇති බවයි. අබු හින්ද් හොයන්නට ආණ්ඩුවට අවශ්‍යතාවක් නොතිබූ බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර කියා තිබුණේ විමර්ශන අඩාල කිරීමට තමන් ඇතුළු විමර්ශකයන් මාරු කළ බවයි.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් වන විමර්ශන ඇත්තේ තීරණාත්මක තැනක ය. කොළඹ පිහිටි ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ අණදෙන නිලධාරියා වශයෙන් යුද්ධයේ අවසන් කාලයේ සිටියේ මේ වන විට විශ්‍රාමික ව සිටින මේජර් ජෙනරාල් කුමා හේරත් ය. ලසන්ත ඝාතනය වන විටත් ඔහු සිටියේ එම තනතුරේ ය. 

ඔහු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරන්නට විශාල වෙහෙසක් දැරූවෙකි. පසුව ඒ ආණ්ඩුවෙන් රජයේ සංස්ථාවක සභාපති ධුරයක් ද ගත්තෙකි. මේ මේජර් ජෙනරාල්වරයා ලසන්ත ඝාතනය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැදගත් තොරතුරක් ලබාදෙමින් දුරකතන පණිවුඩයක් ගැන කියයි. ඔහු අලු‍ත් ආණ්ඩුවට ද පණිවුඩයක් යවමින් පවසා ඇත්තේ තමන් ඒ පිළිබඳ යළිත් සාක්ෂි දෙන්නට සූදානම් බවයි. විමර්ශනවලට සහාය දෙන්නට සූදානම් බවයි.

අලු‍ත් ආණ්ඩුවෙන් ඔහුට හැරෙන තැපෑලෙන් උපදෙසක් ලැබී තිබේ. ඒ, පිළිබඳ විමර්ශනය කරන ආයතනය වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙසත්, ඔවුන්ගේ උපදෙස් මත කටයුතු කරන ලෙසත් ය. ඒ අනුව දෙවැනි වරටත් විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යෑමට නියමිත ය. එහෙත් මේ සියල්ල හරි තැනින් අල්ලා ගත යුතුය.

ජනතාව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ලෙස පත්කිරීමට කටයුතු කළේ ආර්ථික පීඩනය නිසා බව ඇත්ත ය. ඒත් හොරු ඇල්ලීම සහ තීරණාත්මක දේශපාලන අපරාධවල අපරාධකරුවන්ට දඬුවම් කිරීම ද එහි ප්‍රධාන තැනක විය. ආණ්ඩුව මේ ජනතා අපේක්ෂා ඉදිරියට ගත යුතුය. ඒ අනුව රජයේ වියදම් කප්පාදුව ආණ්ඩුව සීග්‍රයෙන් කරමින් සිටී. අපරාධ පරීක්ෂණ වැඩ ද අරඹමින් සිටී.


අනුර - ජායිශංකර් හමුව


අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සහ ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්. ජෙයිශංකර් අතර හමුව පසුගිය සිකුරාදා පැවැත්විණි. එදින ම ඇමැතිවරයා අගමැති හරිනි අමරුසූරිය ද හමු වූ අතර, ජනාධිපතිවරයාට පළමු නිල සංචාරය සඳහා ඉන්දියාවට ආරාධනා කිරීම ද මෙහිදී සිදු විය. ඉන්දියාව ලංකාවේ ආර්ථිකය ස්ථාවර කරගැනීම සඳහා කොන්දේසි රහිත සහායක් ලබාදෙන බව ද මෙහිදී ඉන්දීය විදේශ ඇමැතිවරයාගේ පාර්ශ්වයෙන් සඳහන් කර තිබේ.

ඉන්දියාව මගින් ලංකාවේ සිදුකරන සංවර්ධන ව්‍යාපෘති නැවත සලකාබැලීමේ අවශ්‍යතාව ද මෙහිදී ජනාධිපතිවරයා විසින් අවධාරණය කර ඇති අතර, ගැටලු‍ ඇත්නම් ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳාගැනීමට සූදානම් බව ද මෙහිදී ඉන්දියාව පැත්තෙන් පෙන්වා දී ඇත.


මේ සතිය තමයි සතිය 


පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා බාරගැනීම පසුගිය සිකුරාදා සිට ඇරඹිණි. එහි හොඳම දවස් ටික ඇත්තේ මේ සතියේ ය. කොටස් වූ දෙමළ සන්ධානය වෙනුවට වෙනත් ශක්තිමත් බලවේගයක් සකස් කෙරෙමින් තිබේ. ඒ අතර එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ ජාතික ජන බලවේගයට සහාය දක්වන බව පෙනෙන්නට තිබේ. ඔහු පසුගිය සතියේ ද ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ බාර් පර්මිට් දුන් දේශපාලනඥයන්ගේ නම් ප්‍රසිද්ධ කරන ලෙසයි.

මේ බාර් පර්මිට් වැඩේ සිදු කළේ ආණ්ඩුවට සල්ලි හොයන්නට යනුවෙන් වෙනත් කතාවක් ඉස්මතු කෙරෙමින් ද තිබේ. ඒ අනුව කතාව මෙසේ ය. මෙතෙක් නොදී තිබූ බාර් පර්මිට් වර්ගයක් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා විසින් දීමට පටන්ගෙන තිබේ. සුරා බදු පනතට අනුව මේ පර්මිට් දිය හැකි ප්‍රමාණය අඩු ය. එම නිසා හීන් සීරුවේ පනත සංශෝධනය කර වැඩි පර්මිට් ප්‍රමාණයක් දෙන්නට පටන්ගෙන තිබේ. කෙළවරක් නැති පර්මිට් සහ පර්මිට් කතාව ආවේ එතැනින් ය. කෙසේ හෝ මේ යට වෙනත් ගනුදෙනු රැසක් සිදුවී ඇති බවක් කියන්නේ ආරංචියේ හැටියට කේ.කේ. පියදාස ය. ඔහු බාර් පර්මිට් රැසක හිමිකරුවෙකි. නුවරඑළියේ අයිතිකරුවෙකි. ජනාධිපති අපේක්ෂකයෙකු ද වූ ඔහු දැන් මේ ගැන කතාකරන්නට පටන්ගෙන ඇත්තේ තමන් බලාපොරොත්තු වූ පර්මිට් ප්‍රමාණයක් නොලැබීම නිසා බවක් ද වාර්තා වේ. 


නීති විරෝධී අවි ගබඩාවක් මතු වූ හැටි


තවත් කතාවක් තිබේ. රජයේ ආයතනයක් තුළ නීතිවිරෝධී අවි ගබඩාවක් තිබේ. මේ ගැන කියන්නේ අප නොවේ. මේ ගැන ජනාධිපතිවරයාට ලිඛිත දැනුම්දීමක් කර ඇත්තේ ඒ ගබඩාව ඇති තෙල් සංස්ථාවේ ඇතුළෙන්ම ය. මේ ගැන වහාම සොයාබලන ලෙසත්, මේවා ඉදිරියේදී කුමක් සඳහා භාවිතයට ගනීද යන්න සැකසහිත බවත් ඇතුළෙන් ලොකු තැනට අවධාරණය ර තිබේ. මේ සම්බන්ධයෙන් මීට පෙර ද ඉහළ නිලධාරීන් දැනුවත් කළත්, වැඩක් නොවූ බව ද එම දැනුම්දීමේ සඳහන් ය.

කොලොන්නාව තෙල් සංස්ථා පරිශ්‍රයේ දෙවැනි කලාපයේ මේ නීතිවිරෝධී අවි ගබඩාව ඇත. සංස්ථාවේ ආරක්ෂාවට ලබාදී ඇති ගිනි අවි සහ පතුරම් සහිත ආයුධ ගබඩාවට මෙහි කිසිදු සම්බන්ධයක් නැත. කෙසේ වෙතත් අදාළ දැනුම් දීමේ තවත් වැදගත් කරුණක් ඇත. ඒ, මේ වන විට එහි තිබූ ගිනි අවි ඉවත් කර ඇතැයි වාර්තා වන බවත්, පතුරම් පමණක් ඇති බවත් ය. ටී 56 උණ්ඩ, කේඑස්ජී වර්ගයේ උණ්ඩ, එස්එල්ආර් උණ්ඩ, රිවෝල්වර උණ්ඩ, මිනි ඌෂි හෙවත් පිස්තෝල් සහ කුඩා ගිනි අවි උණ්ඩ ආදී වශයෙන් මෙහි ඇති උණ්ඩ පිළිබඳ අධිකරණයට වාර්තා කළ යුතු වුවත්, මෙතෙක් එය සිදු කර නැත.


මහින්දානන්දගේ පාටියට වුණු දේ


මේ අතර මහින්දානන්ද අලු‍ත්ගමගේ හිටපු ඇමැතිවරයා පසුගිය සතියේ තෙල්දෙනියේදී සාදයක් දැමීය. ලොහාන් රත්වත්තේගේ සංවිධායකයන් පිරිසක් සහ අලු‍ත්ගමගේ සමග පෙර සිටි සංවිධායකන් පිරිසක් සමග මෙසේ කෑම සහ බීමවලින් පිරි සාදය පවත්වාගෙන ගොස් ඇත. ඒ, තෙල්දෙනිය තානායමේදී ය. වැඩේ ෂේප් එකේ සිදු වී ඇති අතර, මුල් බෝතල් කිහිපය පාඩුවේ මහින්දානන්දගේ කතා ඇසීමට වෙන්වී ඇත. ඊළඟ බෝතල් කිහිපයේදී සිදුවී ඇත්තේ එහි අනෙක් පැත්ත ය. මහින්දානන්දට කටඋත්තර නැතිවෙන්නට කියා දුන් සංවිධායකයන් සියල්ලන් යන්නට ගොස් තිබේ. මහින්දානන්දට හොඳටම අවුල් වී ඇත්තේ තමන්ගෙන් හොඳට කා-බී කියපු කතාවට ය.

‘ඔබතුමාගෙ සල්ලිවලින් අපිට වැඩක් නෑ. අපි මේ පාර වෙන තැනකට යන්න තීරණේ අරන් ඉවරයි.’

කෙසේ වෙතත් මේ සාදයට තමන්ගේ සංවිධායකයන් සම්බන්ධ කළ ද, ලොහාන් පැමිණ නැත. ඊට හේතුව ලොහාන් මේ වන විට රටේ නැතිවීමයි. ලොහාන් බන්ධනාගාර විෂය බාර ඇමැතිවරයා ලෙස අනුරාධපුර බන්ධනාගාරයට ගොස් සිරකරුවන් දණගස්වා, ඔවුන්ට තර්ජනය කිරීම පිළිබඳ වාර්තා, සාක්ෂි ද සියල්ල මේ වන විට එළියට පැමිණ ඇති අතර, ඒ නඩු ද ඉදිරියේදී ඇසීමට නියමිත ය.

හදන්නට එකතු වෙමු සහ හැදෙන්නට එකතු වෙමු !


මොනවා වුණත් කමක් නැත. දැන් සාමූහිකත්වය පෙරට පැමිණ තිබේ. හැමතැනින්ම ඇහෙන්නේ අපි එකතු වෙමු කියන එක ය. ජනාධිපතිවරණයෙන් පසු සිදු වූ ඒ වෙනස ම ඇති ය. මේ එකතු වීමේ කොටස් දෙකකි. එක එකතුවීමකින් කියන්නේ රට හදන්නට එකතු වෙමු යනුවෙනි. අනෙක් එකතුවීමෙන් කියන්නේ අපි හැදෙන්නට එකතු වෙමු කියලා ය. මේ වටු කුරුල්ලන් උස්සන්නට හදන්නේ අමුතු දැලකි

ජනාධිපති අනුර කුමාර දිසානායක දිවුරුම් දුන් දවසේත් කිව්වේ එකතු වෙමු - රට හදමු කියන එක ය. ඉන්පසු ජාතිය ඇමතීමේදීත් කිව්වේ තමන්ට අකමැති පිරිසත් එකතු කරගෙන ගමනක් යෑම තමන්ගේ ඉලක්කය බවයි. අනුරගේ හැටි දන්නා සියල්ලන් කියන්නේ මේවා ජනතාව රවටන්නට කියන කතා නොවන බවයි. ඔහු ඇත්තටම එකතුවක් විශ්වාස කරන්නෙකි.

රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසත් ඒ වගේ ය. ඔවුහු ද එකතුවක් විශ්වාස කරති. ඒ වෙනුවෙන් වැඩ කරති. පසුගිය බ්‍රහස්පතින්දා ඒ වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී සියල්ලන්ගේ අදහස වූයේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්ව තරග කිරීම වඩා වාසිදායක බවයි. සිකුරාදා දිනයේදී ද කොළඹ, මල් පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කළ කාර්යාලයේ රැස්වීමක් පැවැත්විණි. 


සාකච්ඡාවල අර්බුදය මතුවෙන තැන


සමගි ජන බලවේගයේ රංජිත් මද්දුම බණ්ඩාරට අනුව සියල්ල හරියාගෙන එයි. ඒත් ගැටලුවක් තිබේ. සමගි ජන බලවේගය මස් රාත්තල ම ඉල්ලමින් සිටී. ඒ වැඩේ සමබර කරන්නට උත්සාහ කරන්නේ රුවන් විජේවර්ධනයි. රුවන් මේ සාකච්ඡාවලදී පවසා ඇත්තේ මූලික එකඟතා සකස් කරගෙන, ඉන්පසු මැතිවරණ කෝටා ගැන සාකච්ඡා කරමු යනුවෙනි.

ඒත් මේ ගැන සමගි ජන බලවේගයේ කොටස් අප්‍රසාදය පළකර ඇත. මේ සාකච්ඡාවල පදනම විය යුත්තේ ම මහ මැතිවරණයේ කෝටා සකස් වන අන්දම යන්න ඔවුන්ගේ අදහසයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ නලින් බණ්ඩාර සහ තුෂාර ඉඳූනිල් රංජිත් මද්දුම බණ්ඩාරට කියා ඇත්තේ ඡන්ද පදනමක් හෝ ජන පදනමක් නැති අකිල විරාජ්ලා සහ තමන් සම තැන තියන්නට එපා යනුවෙනි. මේ කතාබහේදී දයාසිරි ජයසේකර ඉන්නේ කොහොම වුණත් අපි එකතු වෙමු කියන තැන ය. එක දිස්ත්‍රික්කයේ, එනම් කුරුණෑගල අනුර කුමාර දිසානායකත්, කුරුණෑගල දයාසිරි ජයසේකරත් අර්ථ දෙකකින් එකතු වෙමු කියන ඒ වැඩෙත් ඇත්තටම මරු ය.


සජිත් වෙන වැඩවලට කාලය යොදයි


මේ අතරවාරයේ සජිත් ප්‍රේමදාස තමන් අගමැති අපේක්ෂකයා බව කිව්වේය. සමගි ජන බලවේගයේ උඩ පුටු මාරුවක් ද කළේය. බලවේගයේ සභාපති ධුරය සජිත් දුන්නේ ඉමිතියාස් බාකිර් මාකර්ට ය. ඉමිතියාස් කියන්නේ ඇත්තටම බර අදින්නෙකි. පහුගිය කාලයේ කළකිරීම් ටිකක් ද සමග සිටි බව කියවුණත්, ඔහු සෘජුව සජිත් වෙනුවෙන් පෙනීසිටියේය. කබීර් හෂීම් සජිත් මහ ලේකම් ය. සමගි ජන බලවේගයේ පිරිස රනිල් ළඟට යවන මෙහෙයුමක කබීර් ද සිටි බව පසුගිය කාලයේ කියැවිණි. 


තලතා සහ වයිමා


ඒ මෙහෙයුම සඳහා රනිල්ගේ පැත්තෙන් පත්කර සිටි රුවන් විජේවර්ධන සමග මුලින් කබීර් ගනුදෙනුවක සිට තිබිණි. එහෙත් පසුව එය නතර වී ඇත. ඉන්පසු ඒ වැඩේ ඇදගෙන ගොස් ඇත්තේ තලතා අතුකෝරාල ය. කෙසේ වෙතත් තලතා දෙපැත්තට ම පණිවුඩයක් දුන්නේය. ඒ, තමන් සමග ජනතාව සිටින බවක් පෙන්වීමෙනි. 2019 ජනාධිපතිවරණයේදී තලතා සිටියේ සජිත් එක්ක ය. එහිදී රත්නපුරයෙන් සජිත් තරමක් ඉදිරියට ආවේය.

ගෝඨාභය රාජපක්ෂට ඒ වෙලාවේ තිබුණු රැල්ලත් සමග රත්නපුරයෙන් සජිත් දිනවන්නට තලතාට නොවේ, වයිමාටවත් බැරි ය. වයිමා කියන්නේ ශක්‍රයාගේ පුතා යනුවෙන් ය, කතාවල ඇත්තේ. වයිමා කියපු ගමන් මතක් වන අනෙක් චරිතය වන්නේ බන්දුල ගුණවර්ධනයි. රුපියල් 2,500න් පවුලකට මාසයක් කන්න හැකි බව කී බන්දුල පසුව කිව්වේ බඩු මිල අඩු කරන්න ශක්‍රයගෙ පුතා වයිමටවත් බෑ කියා ය. ඒ බන්දුල ගුණවර්ධන මග නැගුම ව්‍යාපෘතියකට වැඩියෙන් මුදල් ගෙවීමේ තීරණයක් නිසා දැන් අධිකරණය ඉදිරියේ චූදිතයෙක් වී සිටී. මේ විදිහට රජයේ මුදල් හිතූ මනාපයේ සන්තෝසම් දෙන්නට ගිය විට වයිමාට කිසිවක් කරන්නට බැරි බව සැබෑ ය.

කතා කරමින් සිටියේ තලතා ගැන ය. මේ පාර තලතා සිටියේ රනිල් එක්ක ය. රත්නපුරයෙන් සජිත්ට වඩා රනිල් ඡන්ද ගත්තේය. ඒ රත්නපුරයේ ම රනිල් ළඟට ගොස් නැවත නාමල් ළඟට ගිය ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලිලාට නාමල්ගේ ඡන්ද පදනම ඉහළට ඔසවන්නට නොහැකි විය. නාමල් රාජපක්ෂලාගේ සැලසුමට අනුව ඔවුන්ට ජනාධිපතිවරණයෙන් ඡන්ද ලක්ෂ 6ත් 8ත් අතර ප්‍රමාණයක් බලාපොරොත්තු විය. එහෙත් එයින් අඩක්වත් ඔවුන්ට ලැබුණේ නැත. හම්බන්තොට ජනතාව නාමල්වත්, සජිත්වත් ප්‍රතික්ෂේප කර තිබිණි. ජනතාවත් එකමුතුකමේ හයිය පෙන්වූයේ ඔය විදිහට ය.


අනුරගේ හෙලිකොප්ටර් ගමන් කීයද?


අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පත්වූ ගමන් මහනුවර ගියේ හෙලිකොප්ටර්වලින් නොවේ. හෙලිකොප්ටර් යනුවෙන් ලිව්වේ එක්කෙනෙකුට හෙලිකොප්ටර් දෙකක යා හැකි නිසා නොවේ. සාමාන්‍යයෙන් පසුගිය කාලයේදී එසේ වූ නිසා ය. මහින්ද රාජපක්ෂ ඔහු ජනාධිපති ධුරය දැරූ අවුරුදු දහයක කාලයේදී රට අභ්‍යන්තරයේ ගුවන් ගමන් වාර 978ක් ගොස් තිබිණි. ඒ බොහෝ ඒවාට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් දෙකක් යොදවා ඇත. මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා තමන්ගේ අවුරුදු පහක ධුර කාලයේදී ගුවන් ගමන් වාර 557ක් ගොස් ඇත. 

සාමාන්‍යයෙන් මෙවැනි එක් ගුවන් ගමන් වාර පැයක් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 2,200ක් රජයේ මුදල් වැයකර ඇත. සාමාන්‍යයෙන් මෙවැනි ගුවන් ගමන් වාරයකදී පැය තුනක්වත් ගුවනේ රැඳෙයි. එනම් ඩොලර් 6,600කි. හෙලිකොප්ටර් දෙකක් ගමන් ගියේ නම් එය ඩොලර් 13,200කි. එය රුපියල් කළ විට ලක්ෂ 40කට ආසන්න ය. ගුවන් ගමන් වාරවලින් එම මුදල වැඩි කළ විට රුපියල් කෝටි 500කට ආසන්න මුදලක් මේ වෙනුවෙන් පමණක් වැය කර ඇත.


වාහන ගැන අලුත් යෝජනාවක්


අනුරගේ මහනුවර ගමන ගැන සාකච්ඡාව ඉදිරියට ගියේය. රජයේ ආයතන ප්‍රධානීන් භාවිත කළ වාහන තැන-තැන දමා ගියේය. පසුගිය සතිය එක ම වාහන සතියක් විය. අනුර ජනාධිපති වීමෙන් පසු රජයේ ආයතන ප්‍රධානීන්ට දැනුම් දුන්නේ වාහන සියල්ල ගෙනැවිත් බාරදෙන ලෙසයි. ජනාධිපති වෙනස් වූ විගස ඔවුන් ධුර අත්හැරියා කියා ප්‍රචාරය වුවද, සිදුවූයේ ජනාධිපතිගේ අණට කීකරු වීමකි. අනුර තවත් විමසීමක් කර තිබිණි.

ඒ, හදිසි රෝගීන් කොළඹට ගෙන ඒම සඳහා හෙලිකොප්ටර් යෙදවීමේ හැකියාව පිළිබඳව ගුවන් හමුදාවෙන් විමසීමයි. සෞඛ්‍ය අංශ මේ පිළිබඳව අනුරට පවසා තිබුණේ ජනාධිපති අපේක්ෂකයා කාලයේදී ම ය. කිලෝමීටර් 200ක් 300ක් දුර සිට කොළඹ ජාතික රෝහලට හෝ කොළඹ ළමා රෝහලට රෝගීන් රැගෙන ඒමේ බරපතළ ගැටලු ඇති බවත්, එම රෝගීන් මියගිය අවස්ථා සැලකිය යුතු සංඛ්‍යාවක් ඇති බවත් ඔවුන් අනුර කුමාර දිසානායකට අවධාරණය කර තිබිණි. ඔහු ගුවන් හමුදාවෙන් අදාළ විමසීම කර තිබුණේ ඒ අනුව ය.


ලේකම්වරුන් අතර ලේකම්


පසුගිය සතියේ ජනාධිපතිවරයාගේ වේලාව වෙන්වී තිබුණේ අත්‍යවශ්‍ය පත්කිරීම් සහ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමේදී මතුවී තිබූ හදිසි ගැටලු නිරාකරණය කිරීම පිළිබඳ මැදිහත්වීමට ය. ඔහු පොලිසිය බාර අමාත්‍යංශයේ ලේකම් ධුරය දුන්නේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට ය. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන ඇතුළු පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබිණි. ඒ පැමිණිල්ල පිළිබඳව අධිකරණයට කරුණු දැක්වූ නීතිපති දෙපාර්තමේන්තුව පවසා තිබුණේ ඔහු අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවක් නැති බවයි.

රවී සෙනෙවිරත්න පත්වීමෙන් පසු පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඔහු හමුවී ඇති අතර, එහිදී පොලිසියේ පවතින අර්බුද විසඳීම සහ පොලිස්පති ගැටලුව පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත. වැඩ බලන පොලිස්පති ධුරයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත්කිරීමට නියමිත වූ අතර, දැනට පොලිසියේ දෙවැනියා ලෙස කටයුතු කරන වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) තනතුරේ පතිනායක ස්ථිර කිරීමට ද තීරණය වී තිබේ. 

කෙසේ වෙතත් සියල්ලන් රවී සෙනෙවිරත්න දෙස බලා සිටින්නේ මේ එකක්වත් නිසා නොවේ. ඔහු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන මෙහෙයවූ ප්‍රධාන නිලධාරියා ය. ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස කටයුතු කරන කාලයේදී ද කතෝලික සභාව මෙන්ම විවිධ පාර්ශ්ව මේ විමර්ශන විධිමත් විය යුතු යැයි අනුර කුමාර දිසානායකට පවසා තිබිණි. ඒ අනුව පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත්කිරීමට සාකච්ඡා ආරම්භ කර ඇතැයි දැනගන්නට තිබේ. ඒ පිළිබඳ නිශ්චිත වගකීම් කාට බාරදෙයිද යන්න මෙතෙක් අවිනිශ්චිත වුවද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ද පසුගිය කාලයේදී දිගටම ජනාධිපතිවරයාට සහාය දෙමින් සිටියේය. එසේ ම රවී සෙනෙවිරත්නට පොලිසිය සම්බන්ධීකරණය කිරීමට විශ්වාසවන්ත පුද්ගලයකු ද අවශ්‍ය වී තිබේ.


චූදිතයන් අමාත්‍යංශවලට


මේ අතර ය, අමාත්‍යංශ ලේකම්වරුන්ගේ තවත් ප්‍රශ්නයක් මතු වුණේ. පරිසර අමාත්‍යංශය ඇතුළු ආයතන කිහිපයකට පත්කළ හිටපු ලේකම්වරුන්ගේ කෙරුවාව පිළිබඳව සමාජ මාධ්‍යවලින් බරපතළ ලෙස ප්‍රශ්න කිරීම ඇරඹිණි. මේ ගැන ජනාධිපතිවරයාගෙන් සෘජුව ප්‍රශ්න කළ අවස්ථා ද විය. ඔහුට සහාය දැක්වූ විද්වතුන් කිහිපදෙනෙකු මෙන්ම මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු ද ඒ ගැන ප්‍රශ්න කර තිබිණි. එහිදී ජනාධිපතිවරයාගේ පැත්තෙන් ඉදිරිපත් වී තිබූ තර්කය වන්නේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන තෙක්, මෙතෙක් පවත්වාගෙන ආ කටයුතු අඩාල නොවී සිදු කළ යුතුව ඇති බවයි. 


සතිය උණුසුම් කළ අනුරගේ ගැසට්ටුව


ජනාධිපතිවරයාට මේ සතියේ තවත් චෝදනාවක් එල්ල විය. ඒ, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ ගිය පාරේ ම යමින් මහජන සාමය ආරක්ෂා කිරීමට යැයි කියමින් ත්‍රිවිධ හමුදාව කැඳවීමේ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමයි. ඇත්තටම මෙහිදී අනුර කර තිබුණේ තිබූ ගැසට්ටුව දික්කිරීමයි. 

ශ්‍රී ලංකාවේ මහජන සාමය ආරක්ෂා කිරීමේ ප්‍රධානතම ආයතනය ශ්‍රී ලංකා පොලිසියයි. කෙසේ වෙතත් රටේ පැවති සිවිල් යුද්ධය පාදක කරගෙන දීර්ඝ කාලයක් තිස්සේ ජනාධිපතිවරයා විසින් මහජන ආරක්ෂක ආඥා පනත යටතේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කර මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා හමුදාවට ද අවශ්‍ය බලතල ලබාදී තිබිණි. 

2009 වසරේ මැයි මාසයේදී යුදමය තත්ත්වය අවසන් වීමෙන් පසු හදිසි නීතිය ඉවත් කිරීමට රජයට සිදුවිය. අනතුරුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය තහවුරු කර ගැනීමෙන් පසු 2010 වසරේ ජුනි 06 වැනිදා අංක 1656/45 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකාව පුරාම මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා බව කියමින් ත්‍රිවිධ හමුදාව කැඳවීය. මහජන ආරක්ෂක ආඥා පනතේ අදාළ ප්‍රතිපාදන අනුව මෙලෙස හමුදාව මහජන සාමය එනම් පොලිසියේ රාජකාරිය සඳහා කැඳවිය හැක්කේ උපරිම මාසයක කාලසීමාවක් සඳහා පමණක් වන අතර, මෙහි බරපතළකම කොතෙක්ද යත් ගැසට් නිවේදනය නිකුත් කළ වහාම ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ද දැනුවත් කළ යුතුය.

සාමාන්‍ය ක්‍රමවේදය යටතේ මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා පොලිසියට නොහැකි අවස්ථාවලදී හමුදාව කැඳවීම කළ යුතු ආකාරය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 95 වැනි වගන්තියෙන් පසු සඳහන් වේ. 


උදාහරණ එච්චර හොඳ නැත


2010 වසරේ සිට 2013 වසර දක්වා අවස්ථා කිහිපයකදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙම ගැසට් නිවේදනය නිකුක් කළ අතර, 2013 ජූලි 03 වැනිදා 1817/31 අංකයෙන් මාසයක කාලයක් සඳහා මහජන සායම පවත්වා ගැනීමට බව කියමින් ත්‍රිවිධ හමුදාව කැඳවීය. එම ගැසට් නිවේදනයේ කාලය අවසන් වීමට දින තුනකට පෙර එනම් 2013 අගෝස්තු පළමු වැනිදා රතුපස්වල කම්හලකින් ජලය අපරිසිදුවීමට එරෙහිවත් පිරිසිදු පානීය ජලය ලබාදෙන ලෙසත් ඉල්ලමින් වැලිවේරියේ කළ සාමකාමී විරෝධතාවකට හමුදාව පහර දුන්නේය. එයින් තිදෙනෙක් මිය ගියහ.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කළ අතර අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව හමුදාව එම ස්ථානයට කැඳවූ පුද්ගලයකු නොවීය. පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද 2013 ජූලි මස 03 දිනැති ඉහත ගැසට් නිවේදනය අනුව හමුදාව එම ස්ථානයට පැමිණෙන්නට ඇති බවයි. රතුපස්වල වෙඩි තැබීමෙන් හමුදාවේ බි්‍රගේඩියර්වරයා ඇතුළු චූදිතයන් නිදහස් කරන ලද එච්.සී.235/2019 (ඕඊ) දරන නඩුවේ තීන්දුවේ ද මෙම ගැසට් නිවේදනය ගැන සඳහන් විය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු කොළඹ පැවැති බොහෝ උද්ඝෝෂණ විසුරුවා හැරීම සඳහා හමුදාව සහභාගි විය. කොළඹ විශ්වවිද්‍යාලය අසල පැවැති උද්ඝෝෂණයක් විසුරුවා හැරීම සඳහා හමුදාව පොලු‍ සහිතව සහභාගි වීම බොහෝදෙනෙකුගේ කතාබහට ලක්විය. කොළඹ විශ්වවිද්‍යාලයේ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට එම විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අධ්‍යාපනය ලබමින් සිටි පිරිසක් පැමිණිලි කළ අතර එම පැමිණිල්ල විභාගයේදී හමුදාව මානව හිමිකම් කොමිසමට සඳහන් කළේ ජනාධිපතිවරයා විසින් මහජන සාමය පවත්වාගැනීමට බව කියමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව තමන්ට කැඳවීමක් නැතිව උද්ඝෝෂණ පාලනය කිරීමට පැමිණිය හැකි බවයි. 

ටිකක් දීර්ඝව මේ ගැන ලිව්වේ සතිය අවසාන වන විට කරළියේ වැඩියෙන්ම කතා වූ මාතෘකාව මෙය නිසා ය. මේ ගැසට් පත්‍රය මේ ආකාරයට දීර්ඝ කළේ ඇයි ද යන්න පිළිබඳව ජනාධිපතිවරයාගේ පැත්තෙන් උත්තරයක් ද දීමට නියමිතව තිබිණි. ඒක හොඳ ය. කරන වැඩේ කළේ ඇයි කියන හේතුව පැහැදිලි කරන්නට හැකි විය යුතුය.


අලි සබ්රි කලබල වෙයි


පුත්තලමේ අලි සබ්රි රහීම් පසුගිය සඳූදා කලබල විය. ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක පත්වීමෙන් පසු ඔහු ද රට හැර ගිය බවට යූටියුබ් නාලිකාවක සඳහන් කෙරිණි. ඒ යූටියුබ් නාලිකාව කරන තරුණ මාධ්‍යවේදිනියට කතා කර ඔහු තර්ජනය කර ඇත. ඉන්පසු ඔහුගේ ලේකම්වරයකු ලෙස හඳූන්වා ගත් පුද්ගලයකු ද කතා කර ඇයට තර්ජනය කර ඇත. මේ ගැන මාධ්‍යවේදිනිය පොලිසියට පැමිණිල්ලක් ද කර තිබේ. අලි සබ්රි ද පුත්තලම පොලිසියට පැමිණිලි කර තිබේ. පුත්තලම පොලිසියෙන් කතා කොට ඇයට කොළඹ සිට පුත්තලමට පැමිණ ප්‍රකාශයක් දෙන්නැයි කියා ඇත. නීති උපදෙස් අනුව ඇය එහි නොගිය විට යළිත් මන්ත්‍රීවරයාගේ පැත්තෙන් ඇයට කතා කොට ඇත. අලි සබ්රි රහීම් යනු රත්තරන් ගේන්නට ගොස් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ය.


තවත් රජ තුන් කට්ටුවක්


එම්.ඒ. සුමන්තිරන්, මනෝ ගනේෂන්, රාවුෆ් හකීම් පසුගිය සතියේ අවස්ථා දෙකකදී මුණගැසුණේ කරළියේ මුලින්ම ලියූ තවත් ආකාරයක එකමුතුකමකට ය. එහි අරමුණ වී ඇත්තේ මැතිවරණයේදී එක්ව තරග කිරීම ය. ප්‍රධාන පක්ෂ සමග එක්ව තරග කරනවා වෙනුවට, වෙනම තරග කිරීම ගැනත්, වෙනම තරග කරන්නේ කුමන දිස්ත්‍රික්කවලට ද යන්න ගැනත් කතා කර තිබිණි. යළිත් තිදෙනාගේ සාකච්ඡාව මේ සතියේ අඟහරුවාදා පැවැත්වීමට නියමිත ය.


‘චෝදනා නැති අය නම් ගමු’


පසුගිය සතියේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් මාවතේ රැස්වීමක් පැවැත්විණි. මේ සඳහා නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සහ පොදුජන පෙරමුණේ මධ්‍යම කාරක සභා සාමාජිකයෝ පිරිසක් ද එක්ව සිටියහ. මෙහිදී මූලික වශයෙන් සාකච්ඡා කර තිබුණේ ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයට තරග කිරීම සඳහා වන සැලසුම් හදාගැනීම ගැනයි. 

‘අපෙන් ගිය ගොඩක් අය ආපහු එන්න අහනවා.’

නාමල් මෙහිදී එසේ කියා ඇත.

‘කවුද ගොඩක් අය කිවුවෙ?’

ඒ ජොන්ස්ටන් ය.

‘ගියපු අය ගොඩක් අහනවා එන්න.’

නාමල් නැවත එසේ කියා ඇත. 

‘ගත්තට කමක් නෑ, හැබැයි චෝදනා නැති අය.’

ඒ රැස්වීමේ සිටි ඉන්දික අනුරුද්ධ ය.

‘ඔව්, ඔව්, අපි නිකම් මේ චෝදනා ඇති අය නිසා ඇතිවෙන්න මඩ නාගත්තා. දැන් පක්ෂය පිරිසිදු වෙලා තියෙනවා. අනේ චෝදනා තියෙන අය නම් ගන්න එපා.’

අම්පාරේ ඩී. වීරසිංහ එසේ කියා තිබිණි.

‘අපි ඒ ගැන තවත් කතාකරලා බලමු. අපෙන් වෙන්වෙලා ගිය අයගෙන් ගොඩක් දක්ෂ අය ඉන්නවා. අපි ඒ අය ගැන සලකා බලන්න වෙයි.’

ඒ නාමල් ය.