හදන්නට එකතු වෙමු සහ හැදෙන්නට එකතු වෙමු !
මොනවා වුණත් කමක් නැත. දැන් සාමූහිකත්වය පෙරට පැමිණ තිබේ. හැමතැනින්ම ඇහෙන්නේ අපි එකතු වෙමු කියන එක ය. ජනාධිපතිවරණයෙන් පසු සිදු වූ ඒ වෙනස ම ඇති ය. මේ එකතු වීමේ කොටස් දෙකකි. එක එකතුවීමකින් කියන්නේ රට හදන්නට එකතු වෙමු යනුවෙනි. අනෙක් එකතුවීමෙන් කියන්නේ අපි හැදෙන්නට එකතු වෙමු කියලා ය. මේ වටු කුරුල්ලන් උස්සන්නට හදන්නේ අමුතු දැලකි
ජනාධිපති අනුර කුමාර දිසානායක දිවුරුම් දුන් දවසේත් කිව්වේ එකතු වෙමු - රට හදමු කියන එක ය. ඉන්පසු ජාතිය ඇමතීමේදීත් කිව්වේ තමන්ට අකමැති පිරිසත් එකතු කරගෙන ගමනක් යෑම තමන්ගේ ඉලක්කය බවයි. අනුරගේ හැටි දන්නා සියල්ලන් කියන්නේ මේවා ජනතාව රවටන්නට කියන කතා නොවන බවයි. ඔහු ඇත්තටම එකතුවක් විශ්වාස කරන්නෙකි.
රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසත් ඒ වගේ ය. ඔවුහු ද එකතුවක් විශ්වාස කරති. ඒ වෙනුවෙන් වැඩ කරති. පසුගිය බ්‍රහස්පතින්දා ඒ වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී සියල්ලන්ගේ අදහස වූයේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්ව තරග කිරීම වඩා වාසිදායක බවයි. සිකුරාදා දිනයේදී ද කොළඹ, මල් පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කළ කාර්යාලයේ රැස්වීමක් පැවැත්විණි.
සාකච්ඡාවල අර්බුදය මතුවෙන තැන
සමගි ජන බලවේගයේ රංජිත් මද්දුම බණ්ඩාරට අනුව සියල්ල හරියාගෙන එයි. ඒත් ගැටලුවක් තිබේ. සමගි ජන බලවේගය මස් රාත්තල ම ඉල්ලමින් සිටී. ඒ වැඩේ සමබර කරන්නට උත්සාහ කරන්නේ රුවන් විජේවර්ධනයි. රුවන් මේ සාකච්ඡාවලදී පවසා ඇත්තේ මූලික එකඟතා සකස් කරගෙන, ඉන්පසු මැතිවරණ කෝටා ගැන සාකච්ඡා කරමු යනුවෙනි.
ඒත් මේ ගැන සමගි ජන බලවේගයේ කොටස් අප්‍රසාදය පළකර ඇත. මේ සාකච්ඡාවල පදනම විය යුත්තේ ම මහ මැතිවරණයේ කෝටා සකස් වන අන්දම යන්න ඔවුන්ගේ අදහසයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ නලින් බණ්ඩාර සහ තුෂාර ඉඳූනිල් රංජිත් මද්දුම බණ්ඩාරට කියා ඇත්තේ ඡන්ද පදනමක් හෝ ජන පදනමක් නැති අකිල විරාජ්ලා සහ තමන් සම තැන තියන්නට එපා යනුවෙනි. මේ කතාබහේදී දයාසිරි ජයසේකර ඉන්නේ කොහොම වුණත් අපි එකතු වෙමු කියන තැන ය. එක දිස්ත්‍රික්කයේ, එනම් කුරුණෑගල අනුර කුමාර දිසානායකත්, කුරුණෑගල දයාසිරි ජයසේකරත් අර්ථ දෙකකින් එකතු වෙමු කියන ඒ වැඩෙත් ඇත්තටම මරු ය.
සජිත් වෙන වැඩවලට කාලය යොදයි
මේ අතරවාරයේ සජිත් ප්‍රේමදාස තමන් අගමැති අපේක්ෂකයා බව කිව්වේය. සමගි ජන බලවේගයේ උඩ පුටු මාරුවක් ද කළේය. බලවේගයේ සභාපති ධුරය සජිත් දුන්නේ ඉමිතියාස් බාකිර් මාකර්ට ය. ඉමිතියාස් කියන්නේ ඇත්තටම බර අදින්නෙකි. පහුගිය කාලයේ කළකිරීම් ටිකක් ද සමග සිටි බව කියවුණත්, ඔහු සෘජුව සජිත් වෙනුවෙන් පෙනීසිටියේය. කබීර් හෂීම් සජිත් මහ ලේකම් ය. සමගි ජන බලවේගයේ පිරිස රනිල් ළඟට යවන මෙහෙයුමක කබීර් ද සිටි බව පසුගිය කාලයේ කියැවිණි.
තලතා සහ වයිමා
ඒ මෙහෙයුම සඳහා රනිල්ගේ පැත්තෙන් පත්කර සිටි රුවන් විජේවර්ධන සමග මුලින් කබීර් ගනුදෙනුවක සිට තිබිණි. එහෙත් පසුව එය නතර වී ඇත. ඉන්පසු ඒ වැඩේ ඇදගෙන ගොස් ඇත්තේ තලතා අතුකෝරාල ය. කෙසේ වෙතත් තලතා දෙපැත්තට ම පණිවුඩයක් දුන්නේය. ඒ, තමන් සමග ජනතාව සිටින බවක් පෙන්වීමෙනි. 2019 ජනාධිපතිවරණයේදී තලතා සිටියේ සජිත් එක්ක ය. එහිදී රත්නපුරයෙන් සජිත් තරමක් ඉදිරියට ආවේය.
ගෝඨාභය රාජපක්ෂට ඒ වෙලාවේ තිබුණු රැල්ලත් සමග රත්නපුරයෙන් සජිත් දිනවන්නට තලතාට නොවේ, වයිමාටවත් බැරි ය. වයිමා කියන්නේ ශක්‍රයාගේ පුතා යනුවෙන් ය, කතාවල ඇත්තේ. වයිමා කියපු ගමන් මතක් වන අනෙක් චරිතය වන්නේ බන්දුල ගුණවර්ධනයි. රුපියල් 2,500න් පවුලකට මාසයක් කන්න හැකි බව කී බන්දුල පසුව කිව්වේ බඩු මිල අඩු කරන්න ශක්‍රයගෙ පුතා වයිමටවත් බෑ කියා ය. ඒ බන්දුල ගුණවර්ධන මග නැගුම ව්‍යාපෘතියකට වැඩියෙන් මුදල් ගෙවීමේ තීරණයක් නිසා දැන් අධිකරණය ඉදිරියේ චූදිතයෙක් වී සිටී. මේ විදිහට රජයේ මුදල් හිතූ මනාපයේ සන්තෝසම් දෙන්නට ගිය විට වයිමාට කිසිවක් කරන්නට බැරි බව සැබෑ ය.
කතා කරමින් සිටියේ තලතා ගැන ය. මේ පාර තලතා සිටියේ රනිල් එක්ක ය. රත්නපුරයෙන් සජිත්ට වඩා රනිල් ඡන්ද ගත්තේය. ඒ රත්නපුරයේ ම රනිල් ළඟට ගොස් නැවත නාමල් ළඟට ගිය ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලිලාට නාමල්ගේ ඡන්ද පදනම ඉහළට ඔසවන්නට නොහැකි විය. නාමල් රාජපක්ෂලාගේ සැලසුමට අනුව ඔවුන්ට ජනාධිපතිවරණයෙන් ඡන්ද ලක්ෂ 6ත් 8ත් අතර ප්‍රමාණයක් බලාපොරොත්තු විය. එහෙත් එයින් අඩක්වත් ඔවුන්ට ලැබුණේ නැත. හම්බන්තොට ජනතාව නාමල්වත්, සජිත්වත් ප්‍රතික්ෂේප කර තිබිණි. ජනතාවත් එකමුතුකමේ හයිය පෙන්වූයේ ඔය විදිහට ය.
අනුරගේ හෙලිකොප්ටර් ගමන් කීයද?
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පත්වූ ගමන් මහනුවර ගියේ හෙලිකොප්ටර්වලින් නොවේ. හෙලිකොප්ටර් යනුවෙන් ලිව්වේ එක්කෙනෙකුට හෙලිකොප්ටර් දෙකක යා හැකි නිසා නොවේ. සාමාන්‍යයෙන් පසුගිය කාලයේදී එසේ වූ නිසා ය. මහින්ද රාජපක්ෂ ඔහු ජනාධිපති ධුරය දැරූ අවුරුදු දහයක කාලයේදී රට අභ්‍යන්තරයේ ගුවන් ගමන් වාර 978ක් ගොස් තිබිණි. ඒ බොහෝ ඒවාට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් දෙකක් යොදවා ඇත. මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා තමන්ගේ අවුරුදු පහක ධුර කාලයේදී ගුවන් ගමන් වාර 557ක් ගොස් ඇත.
සාමාන්‍යයෙන් මෙවැනි එක් ගුවන් ගමන් වාර පැයක් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 2,200ක් රජයේ මුදල් වැයකර ඇත. සාමාන්‍යයෙන් මෙවැනි ගුවන් ගමන් වාරයකදී පැය තුනක්වත් ගුවනේ රැඳෙයි. එනම් ඩොලර් 6,600කි. හෙලිකොප්ටර් දෙකක් ගමන් ගියේ නම් එය ඩොලර් 13,200කි. එය රුපියල් කළ විට ලක්ෂ 40කට ආසන්න ය. ගුවන් ගමන් වාරවලින් එම මුදල වැඩි කළ විට රුපියල් කෝටි 500කට ආසන්න මුදලක් මේ වෙනුවෙන් පමණක් වැය කර ඇත.
වාහන ගැන අලුත් යෝජනාවක්
අනුරගේ මහනුවර ගමන ගැන සාකච්ඡාව ඉදිරියට ගියේය. රජයේ ආයතන ප්‍රධානීන් භාවිත කළ වාහන තැන-තැන දමා ගියේය. පසුගිය සතිය එක ම වාහන සතියක් විය. අනුර ජනාධිපති වීමෙන් පසු රජයේ ආයතන ප්‍රධානීන්ට දැනුම් දුන්නේ වාහන සියල්ල ගෙනැවිත් බාරදෙන ලෙසයි. ජනාධිපති වෙනස් වූ විගස ඔවුන් ධුර අත්හැරියා කියා ප්‍රචාරය වුවද, සිදුවූයේ ජනාධිපතිගේ අණට කීකරු වීමකි. අනුර තවත් විමසීමක් කර තිබිණි.
ඒ, හදිසි රෝගීන් කොළඹට ගෙන ඒම සඳහා හෙලිකොප්ටර් යෙදවීමේ හැකියාව පිළිබඳව ගුවන් හමුදාවෙන් විමසීමයි. සෞඛ්‍ය අංශ මේ පිළිබඳව අනුරට පවසා තිබුණේ ජනාධිපති අපේක්ෂකයා කාලයේදී ම ය. කිලෝමීටර් 200ක් 300ක් දුර සිට කොළඹ ජාතික රෝහලට හෝ කොළඹ ළමා රෝහලට රෝගීන් රැගෙන ඒමේ බරපතළ ගැටලු ඇති බවත්, එම රෝගීන් මියගිය අවස්ථා සැලකිය යුතු සංඛ්‍යාවක් ඇති බවත් ඔවුන් අනුර කුමාර දිසානායකට අවධාරණය කර තිබිණි. ඔහු ගුවන් හමුදාවෙන් අදාළ විමසීම කර තිබුණේ ඒ අනුව ය.
ලේකම්වරුන් අතර ලේකම්
පසුගිය සතියේ ජනාධිපතිවරයාගේ වේලාව වෙන්වී තිබුණේ අත්‍යවශ්‍ය පත්කිරීම් සහ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමේදී මතුවී තිබූ හදිසි ගැටලු නිරාකරණය කිරීම පිළිබඳ මැදිහත්වීමට ය. ඔහු පොලිසිය බාර අමාත්‍යංශයේ ලේකම් ධුරය දුන්නේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට ය. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන ඇතුළු පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබිණි. ඒ පැමිණිල්ල පිළිබඳව අධිකරණයට කරුණු දැක්වූ නීතිපති දෙපාර්තමේන්තුව පවසා තිබුණේ ඔහු අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවක් නැති බවයි.
රවී සෙනෙවිරත්න පත්වීමෙන් පසු පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඔහු හමුවී ඇති අතර, එහිදී පොලිසියේ පවතින අර්බුද විසඳීම සහ පොලිස්පති ගැටලුව පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත. වැඩ බලන පොලිස්පති ධුරයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත්කිරීමට නියමිත වූ අතර, දැනට පොලිසියේ දෙවැනියා ලෙස කටයුතු කරන වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) තනතුරේ පතිනායක ස්ථිර කිරීමට ද තීරණය වී තිබේ.
කෙසේ වෙතත් සියල්ලන් රවී සෙනෙවිරත්න දෙස බලා සිටින්නේ මේ එකක්වත් නිසා නොවේ. ඔහු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන මෙහෙයවූ ප්‍රධාන නිලධාරියා ය. ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස කටයුතු කරන කාලයේදී ද කතෝලික සභාව මෙන්ම විවිධ පාර්ශ්ව මේ විමර්ශන විධිමත් විය යුතු යැයි අනුර කුමාර දිසානායකට පවසා තිබිණි. ඒ අනුව පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත්කිරීමට සාකච්ඡා ආරම්භ කර ඇතැයි දැනගන්නට තිබේ. ඒ පිළිබඳ නිශ්චිත වගකීම් කාට බාරදෙයිද යන්න මෙතෙක් අවිනිශ්චිත වුවද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ද පසුගිය කාලයේදී දිගටම ජනාධිපතිවරයාට සහාය දෙමින් සිටියේය. එසේ ම රවී සෙනෙවිරත්නට පොලිසිය සම්බන්ධීකරණය කිරීමට විශ්වාසවන්ත පුද්ගලයකු ද අවශ්‍ය වී තිබේ.
චූදිතයන් අමාත්‍යංශවලට
මේ අතර ය, අමාත්‍යංශ ලේකම්වරුන්ගේ තවත් ප්‍රශ්නයක් මතු වුණේ. පරිසර අමාත්‍යංශය ඇතුළු ආයතන කිහිපයකට පත්කළ හිටපු ලේකම්වරුන්ගේ කෙරුවාව පිළිබඳව සමාජ මාධ්‍යවලින් බරපතළ ලෙස ප්‍රශ්න කිරීම ඇරඹිණි. මේ ගැන ජනාධිපතිවරයාගෙන් සෘජුව ප්‍රශ්න කළ අවස්ථා ද විය. ඔහුට සහාය දැක්වූ විද්වතුන් කිහිපදෙනෙකු මෙන්ම මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු ද ඒ ගැන ප්‍රශ්න කර තිබිණි. එහිදී ජනාධිපතිවරයාගේ පැත්තෙන් ඉදිරිපත් වී තිබූ තර්කය වන්නේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන තෙක්, මෙතෙක් පවත්වාගෙන ආ කටයුතු අඩාල නොවී සිදු කළ යුතුව ඇති බවයි.
සතිය උණුසුම් කළ අනුරගේ ගැසට්ටුව
ජනාධිපතිවරයාට මේ සතියේ තවත් චෝදනාවක් එල්ල විය. ඒ, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ ගිය පාරේ ම යමින් මහජන සාමය ආරක්ෂා කිරීමට යැයි කියමින් ත්‍රිවිධ හමුදාව කැඳවීමේ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමයි. ඇත්තටම මෙහිදී අනුර කර තිබුණේ තිබූ ගැසට්ටුව දික්කිරීමයි.
ශ්‍රී ලංකාවේ මහජන සාමය ආරක්ෂා කිරීමේ ප්‍රධානතම ආයතනය ශ්‍රී ලංකා පොලිසියයි. කෙසේ වෙතත් රටේ පැවති සිවිල් යුද්ධය පාදක කරගෙන දීර්ඝ කාලයක් තිස්සේ ජනාධිපතිවරයා විසින් මහජන ආරක්ෂක ආඥා පනත යටතේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කර මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා හමුදාවට ද අවශ්‍ය බලතල ලබාදී තිබිණි.
2009 වසරේ මැයි මාසයේදී යුදමය තත්ත්වය අවසන් වීමෙන් පසු හදිසි නීතිය ඉවත් කිරීමට රජයට සිදුවිය. අනතුරුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය තහවුරු කර ගැනීමෙන් පසු 2010 වසරේ ජුනි 06 වැනිදා අංක 1656/45 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකාව පුරාම මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා බව කියමින් ත්‍රිවිධ හමුදාව කැඳවීය. මහජන ආරක්ෂක ආඥා පනතේ අදාළ ප්‍රතිපාදන අනුව මෙලෙස හමුදාව මහජන සාමය එනම් පොලිසියේ රාජකාරිය සඳහා කැඳවිය හැක්කේ උපරිම මාසයක කාලසීමාවක් සඳහා පමණක් වන අතර, මෙහි බරපතළකම කොතෙක්ද යත් ගැසට් නිවේදනය නිකුත් කළ වහාම ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ද දැනුවත් කළ යුතුය.
සාමාන්‍ය ක්‍රමවේදය යටතේ මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා පොලිසියට නොහැකි අවස්ථාවලදී හමුදාව කැඳවීම කළ යුතු ආකාරය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 95 වැනි වගන්තියෙන් පසු සඳහන් වේ.
උදාහරණ එච්චර හොඳ නැත
2010 වසරේ සිට 2013 වසර දක්වා අවස්ථා කිහිපයකදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙම ගැසට් නිවේදනය නිකුක් කළ අතර, 2013 ජූලි 03 වැනිදා 1817/31 අංකයෙන් මාසයක කාලයක් සඳහා මහජන සායම පවත්වා ගැනීමට බව කියමින් ත්‍රිවිධ හමුදාව කැඳවීය. එම ගැසට් නිවේදනයේ කාලය අවසන් වීමට දින තුනකට පෙර එනම් 2013 අගෝස්තු පළමු වැනිදා රතුපස්වල කම්හලකින් ජලය අපරිසිදුවීමට එරෙහිවත් පිරිසිදු පානීය ජලය ලබාදෙන ලෙසත් ඉල්ලමින් වැලිවේරියේ කළ සාමකාමී විරෝධතාවකට හමුදාව පහර දුන්නේය. එයින් තිදෙනෙක් මිය ගියහ.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කළ අතර අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව හමුදාව එම ස්ථානයට කැඳවූ පුද්ගලයකු නොවීය. පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද 2013 ජූලි මස 03 දිනැති ඉහත ගැසට් නිවේදනය අනුව හමුදාව එම ස්ථානයට පැමිණෙන්නට ඇති බවයි. රතුපස්වල වෙඩි තැබීමෙන් හමුදාවේ බි්‍රගේඩියර්වරයා ඇතුළු චූදිතයන් නිදහස් කරන ලද එච්.සී.235/2019 (ඕඊ) දරන නඩුවේ තීන්දුවේ ද මෙම ගැසට් නිවේදනය ගැන සඳහන් විය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු කොළඹ පැවැති බොහෝ උද්ඝෝෂණ විසුරුවා හැරීම සඳහා හමුදාව සහභාගි විය. කොළඹ විශ්වවිද්‍යාලය අසල පැවැති උද්ඝෝෂණයක් විසුරුවා හැරීම සඳහා හමුදාව පොලු සහිතව සහභාගි වීම බොහෝදෙනෙකුගේ කතාබහට ලක්විය. කොළඹ විශ්වවිද්‍යාලයේ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට එම විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අධ්‍යාපනය ලබමින් සිටි පිරිසක් පැමිණිලි කළ අතර එම පැමිණිල්ල විභාගයේදී හමුදාව මානව හිමිකම් කොමිසමට සඳහන් කළේ ජනාධිපතිවරයා විසින් මහජන සාමය පවත්වාගැනීමට බව කියමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව තමන්ට කැඳවීමක් නැතිව උද්ඝෝෂණ පාලනය කිරීමට පැමිණිය හැකි බවයි.
ටිකක් දීර්ඝව මේ ගැන ලිව්වේ සතිය අවසාන වන විට කරළියේ වැඩියෙන්ම කතා වූ මාතෘකාව මෙය නිසා ය. මේ ගැසට් පත්‍රය මේ ආකාරයට දීර්ඝ කළේ ඇයි ද යන්න පිළිබඳව ජනාධිපතිවරයාගේ පැත්තෙන් උත්තරයක් ද දීමට නියමිතව තිබිණි. ඒක හොඳ ය. කරන වැඩේ කළේ ඇයි කියන හේතුව පැහැදිලි කරන්නට හැකි විය යුතුය.
අලි සබ්රි කලබල වෙයි
පුත්තලමේ අලි සබ්රි රහීම් පසුගිය සඳූදා කලබල විය. ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක පත්වීමෙන් පසු ඔහු ද රට හැර ගිය බවට යූටියුබ් නාලිකාවක සඳහන් කෙරිණි. ඒ යූටියුබ් නාලිකාව කරන තරුණ මාධ්‍යවේදිනියට කතා කර ඔහු තර්ජනය කර ඇත. ඉන්පසු ඔහුගේ ලේකම්වරයකු ලෙස හඳූන්වා ගත් පුද්ගලයකු ද කතා කර ඇයට තර්ජනය කර ඇත. මේ ගැන මාධ්‍යවේදිනිය පොලිසියට පැමිණිල්ලක් ද කර තිබේ. අලි සබ්රි ද පුත්තලම පොලිසියට පැමිණිලි කර තිබේ. පුත්තලම පොලිසියෙන් කතා කොට ඇයට කොළඹ සිට පුත්තලමට පැමිණ ප්‍රකාශයක් දෙන්නැයි කියා ඇත. නීති උපදෙස් අනුව ඇය එහි නොගිය විට යළිත් මන්ත්‍රීවරයාගේ පැත්තෙන් ඇයට කතා කොට ඇත. අලි සබ්රි රහීම් යනු රත්තරන් ගේන්නට ගොස් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ය.
තවත් රජ තුන් කට්ටුවක්
එම්.ඒ. සුමන්තිරන්, මනෝ ගනේෂන්, රාවුෆ් හකීම් පසුගිය සතියේ අවස්ථා දෙකකදී මුණගැසුණේ කරළියේ මුලින්ම ලියූ තවත් ආකාරයක එකමුතුකමකට ය. එහි අරමුණ වී ඇත්තේ මැතිවරණයේදී එක්ව තරග කිරීම ය. ප්‍රධාන පක්ෂ සමග එක්ව තරග කරනවා වෙනුවට, වෙනම තරග කිරීම ගැනත්, වෙනම තරග කරන්නේ කුමන දිස්ත්‍රික්කවලට ද යන්න ගැනත් කතා කර තිබිණි. යළිත් තිදෙනාගේ සාකච්ඡාව මේ සතියේ අඟහරුවාදා පැවැත්වීමට නියමිත ය.
‘චෝදනා නැති අය නම් ගමු’
පසුගිය සතියේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් මාවතේ රැස්වීමක් පැවැත්විණි. මේ සඳහා නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සහ පොදුජන පෙරමුණේ මධ්‍යම කාරක සභා සාමාජිකයෝ පිරිසක් ද එක්ව සිටියහ. මෙහිදී මූලික වශයෙන් සාකච්ඡා කර තිබුණේ ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයට තරග කිරීම සඳහා වන සැලසුම් හදාගැනීම ගැනයි.
‘අපෙන් ගිය ගොඩක් අය ආපහු එන්න අහනවා.’
නාමල් මෙහිදී එසේ කියා ඇත.
‘කවුද ගොඩක් අය කිවුවෙ?’
ඒ ජොන්ස්ටන් ය.
‘ගියපු අය ගොඩක් අහනවා එන්න.’
නාමල් නැවත එසේ කියා ඇත.
‘ගත්තට කමක් නෑ, හැබැයි චෝදනා නැති අය.’
ඒ රැස්වීමේ සිටි ඉන්දික අනුරුද්ධ ය.
‘ඔව්, ඔව්, අපි නිකම් මේ චෝදනා ඇති අය නිසා ඇතිවෙන්න මඩ නාගත්තා. දැන් පක්ෂය පිරිසිදු වෙලා තියෙනවා. අනේ චෝදනා තියෙන අය නම් ගන්න එපා.’
අම්පාරේ ඩී. වීරසිංහ එසේ කියා තිබිණි.
‘අපි ඒ ගැන තවත් කතාකරලා බලමු. අපෙන් වෙන්වෙලා ගිය අයගෙන් ගොඩක් දක්ෂ අය ඉන්නවා. අපි ඒ අය ගැන සලකා බලන්න වෙයි.’
ඒ නාමල් ය.
No comments:
Post a Comment