කෙහෙළියව විශ්වාස කරපු අයට
නාමල් ව අවිශ්වාස වුණේ ඇයි?
දීඝදන්තු 1 හස්තියා මරා දැමිණි. ඒ කනගාටුදායක කතාවෙන් අද මේ තීරය පටන්ගත යුතුය. දීඝදන්තු 1 යනුවෙන් ඔහු හඳූන්වන්නේ දීඝදන්තු 2ත් සිටි නිසා ය. ඔහුත් දැන් නැත. ඌ යනුවෙන් නොව ඔහු යනුවෙන් හඳූන්වන්නේ අලි-ඇතුන් සමග බැඳූණු වෙනම සංස්කෘතියක් ලංකාවට ඇති නිසා ය.
මේ දීඝදන්තු මරාදැමීම නිසා වසරකට ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 900කට වැඩි පාඩුවක් ලංකාවට සිදු වේ. එවැනි ඉලක්කමක් කී විට එය පුදුමයට කරුණක් වේ. ඒත් එය ඇත්ත ය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ, පරිසර අමාත්‍යංශයේ නිලධාරීන්, විෂය බාර දේශපාලනඥයන් සහ පරිසර ක්ෂේත්‍රයේ සක්‍රීය ව වැඩ කරන පිරිසක් මේ ඝාතනය ගැන කළ සාකච්ඡාවකදී මේ ඉලක්කම එළියට ඇවිත් තිබිණි.
ඇතැම් සංචාරකයන් කලාවැව ජාතික වනෝද්‍යානයට එන්නේ ම ඔහු බලන්නට ය. ඇතැම් සංචාරකයන් කලාවැව අවට නවතින්නේ ම ඔහු බලන්නට ය. ඇතැම් සංචාරකයන් ලංකාවට පැමිණීමට පෙර මාර්ගෝපදේශකයන්ට කියන්නේ අනිවාර්යෙන්ම ඔහු බැලිය යුතු බවයි. අහිමි වන්නේ ඒ ආදායමයි. ජනාධිපති අනුර කුමාර දිසානායක ද මේ පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා තිබිණි. එහිදී අලි-මිනිස් ගැටුම අවම කිරීම පිළිබඳ කඩිනම් තීරණ ගැනීමේ වැදගත්කමත්, එම තීරණ හිර වී ඇත්තේ කොතැනද යන්නත් ගැන ජනාධිපතිවරයා දැඩි අවධානයක් යොමුකර තිබිණි.
අනුරගෙයි - රනිල්ගෙයි වෙනස
අනුර ද අලි ගැන දන්නේය. ඔහු තඹුත්තේගම ය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන කාලයේදී වරක් අලි ගැන කතාවක් ඇදුණේය. අලි - මිනිස් ගැටුම විසඳීම සම්බන්ධයෙන් සකස් කළ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව ගැන එහිදී කතා කෙරිණි. මේ සැලැස්ම හැදුවේ ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දුගේ සභාපතිත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් මගිනි. එහි විශ්වවිද්‍යාල ආචාර්යවරු, ක්ෂේත්‍රයේ විශේෂඥයෝ, දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු පරිපාලන නිලධාරීහු, දීර්ඝකාලීන අත්දැකීම් ඇති පර්යේෂකයෝ සිටියහ. රනිල්ට ඒ වෙලාවේ කිව්වේ මේ සැලැස්ම හමස් පෙට්ටියේ නොදමා එය ක්‍රියාත්මක කරන ලෙසයි. ඒ සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පත්කරන ලෙසයි.
රනිල් කියා තිබුණේ කුමක්ද?
‘ඕක පස්සට දාන්න. ඔයිට වඩා මූලිකත්වය දෙන්න ඕනෙ දේවල් තව කොච්චර තියෙනවද?’
ඇත්තටම ඒකෙත් ඇති අසාධාරණයක් නැත. රනිල්ට අලි-මිනිස් ගැටුම අදාළ නොවේ. එහෙත් අනුරට අදාළ ය. අනුරට අදාළ වන්නේත් ඔහු තඹුත්තේගම උපන් නිසා නොවේ. මෙය ලංකාවේ ආර්ථිකයට සෘජුව බලපාන නිසා ය. අනුර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ ගැනත් ඇසූ බවක් ආරංචි ය. ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයට පෙර ඉදිරිපත් කළ මිහිකත පරිසර ප්‍රතිපත්තියේ මේවා ගැන සඳහන් වේ.
අහමඩ්ගේ කතාව
මෙහි තවත් කතාවක් තිබේ. කෙන්යාවට විශාල ආර්ථික වාසියක් නැතහොත් සංචාරක ආදායමක් ගෙනාවේ අහමඩ් ය. සංචාරකයෝ ඔහු බලන්නටම එහි පැමිණියහ. ජාත්‍යන්තර මාධ්‍ය ඔහු ගැන විවිධ වැඩසටහන් කළේය. චිත්‍රපට හැදිණි. අහමඩ් යනු කෙන්යාවේ පමණක් නොව ලෝකයේ ම සිටි විශාලතම දළ යුගලක් හිමිව තිබූ දැවැන්ත අප්‍රිකානු හස්තියා ය. 1919 සිට 1974 දක්වා ජීවත් වූ ඔහුට කෙන්යා රජයේ එවකට ජනාධිපතිවරුන්ගේ නියෝග මත විශේෂ ආරක්ෂාවක් සපයා තිබිණි. එම ආරක්ෂාවත් නිකම්ම එකක් නොවේ. එය තුවක්කුවලින් බේරීමක් පමණක් ද නොවේ. කෙන්යා හමුදාවේ විශේෂ බලකායක අවි ගත් සෙබළුන්, වෙනම වෛද්‍යවරුන් ඔහු වෙනුවෙන් යොදවා තිබිණි. වාර්තාවලට අනුව අහමඩ්ගේ ආරක්ෂාවට එරට රජය වාර්ෂිකව විශාල වියදමක් දරා ඇත. එහෙත් ඒ වියදම මෙන් දහස් ගුණයක ආදායමක් අහමඩ් කෙන්යාවට සොයාදී තිබේ.
දීඝදන්තු සහ එස්.එම්
දීඝදන්තු කතාවේ තවත් පැත්තක් තිබේ. කලා, බළලු වැව් ආශ්‍රිත කලාපයේ ජීවත් වූ මේ හස්තියා ඇතුළු අලි-ඇතුන් පසුගිය කාලයේ දැඩි අර්බුදයකට මුහුණ දුන්නේ දිගටම කලා වැවේ ජලය පුරවා තිබීම නිසා ය. මේ නිසා කාලයකට වැව් පිටියේ සිටින්නට තිබූ අවස්ථාව අහිමි විය. ඔවුන් පටු කැලෑ තීරුවලට කොටු විය. මේ වැඩේට හේතුව වූයේ හිටපු ඇමැති එස්.එම්. චන්ද්‍රසේනගේ වැඩක් බව ආරංචි ය. ඔහුගේ ව්‍යාපෘතියකට අනුව පිහිටවූ කුඩා ජල විදුලි බලාගාර කිහිපයකට අවශ්‍ය ජල අවශ්‍යතාව වෙනුවෙන් ය, මෙසේ වසර පුරා කලා වැව පුරවා තබා ඇත්තේ. වාරි ඉංජිනේරුවන් පවා විරුද්ධ වී ඇතත්, ඒ කාලයේ ඒ වැඩි සිදු වී ඇත්තේ ඒ තාලයට ය.
මේ දීඝදන්තුගෙන් පසු තවත් කනගාටුදායක කතාවක ඇතුළු කතා ටිකක් කියන්නට තිබේ. සාම්ප්‍රදායික දේශපාලන ඕපාදූප වෙනුවට අප මේ තීරයෙන් උත්සාහ කරන්නේ ම දේශපාලනයේ ඇතුළේ රහස්, දේශපාලන සංස්කෘතිය සමග ගැටගැහෙන හැටි කියන්නට ය. මේත් එහෙම කතාවකි.
ෆෙන්ගන් සහ දයා ගමගේ
ෆෙන්ගන් සුළිකුණාටුවත් සමග ඇතිවූ වැස්සෙන් දැවැන්ත විනාශයක් සිදු විය. තවමත් එයින් සිදුවූ දේපොළ හානි කොතෙක් ද යන්න ගණන් බලා නැත. ඒවා හරියට ම ගණන් හදන්නට ද නොහැක. මේ වැස්සෙන් වැඩි ම විනාශයක් සිදු වූ දිස්ත්‍රික්කයකි, අම්පාර. මේ වෙලාවේ වැස්ස වැඩි නිසා ගංවතුර එන එක සාමාන්‍ය දෙයකි. ඒත් ඒ වතුර මුහුදට බහින්නට ඇති පාරවල් අවහිර කිරීම නිසා විනාශය වැඩි විය.
මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළට ම ආ වාර්තාවක ප්‍රධාන චූදිතයෙක් සිටී. ඒ, හිටපු ඇමැති දයා ගමගේ ය. අම්පාරේ, ධර්මපාල මාවතේ, බුද්ධංගල හන්දියේ, වයිඑම්සීඒ නිවාස සංකීර්ණයේ, මුස්ලිම් පල්ලිය අසල ආදී වශයෙන් මේ සියලු තැන්වල ජලය බසින තැන් අවහිර කර ඇත්තේ දයා ගමගේගේ ව්‍යාපාරයට අදාළ ඉදිකිරීම් නිසා බවක් ඒ වාර්තාවේ සඳහන් කර ඇත. ඉලක්කම් සහිතව තොරතුරු ඇති මේ වාර්තාවට අදාළ නීතිමය පියවර කඩිනමින් ගන්නැයි ඒ ඉහළ ම තැනින් නියෝග ලබාදී තිබෙන බවක් ද ආරංචි ය. එපමණක් නොවේ. ලංකාවේ ම මෙවැනි අවහිර කිරීම් ගැන සොයන්නැයි ජනාධිපතිවරයාගේ පැත්තෙන් අදාළ සියලු රාජ්‍ය ආයතනවලට දැනුම් දී තිබේ.
සැලසුම් ශිල්පීහු පෙරට එති
මොරටුව විශ්වවිද්‍යාලයේ නගර හා ග්‍රාම නිර්මාණ විෂය පිළිබඳ වෙනම අධ්‍යයන දෙපාර්තමේන්තුවක් ඇත. මෙයින් පිටවී, වරලත් සැලසුම් ශිල්පීන් බවට පත්වූ පිරිසක් පසුගිය සතියේ ජනාධිපතිවරයාගෙන් වේලාවක් ඉල්ලා තිබේ. එය තවම ලැබී නැත. එහිදී කතා කරන්නේ මොනවාද යනුවෙන් ඔවුන් දීර්ඝ ලැයිස්තුවක් සකස් කරගෙන සිටී. ඒ අතර ඉහළින්ම ඇත්තේ නගර සැලසුම් සඳහා තමන්ගේ විෂය දැනුම යොදාගන්නා ලෙස කරන ඉල්ලීමකි. සෑම පළාත් පාලන ආයතනයක ම සැලසුම් ශිල්පියෙක් සිටිය යුතු බව පළාත් පාලන ආයතන පනතේ ම දැක්වේ. එහෙත් ඇතැම් තැන්වල ඔවුන් සිටින්නේ ම නමට පමණි. හිටපු ඇමැති පාඨලී චම්පික රණවක එය පිළිවෙලක් කරන්නට, ඔවුන්ගෙන් වැඩක් ගන්නට යම් උත්සාහයක් දැරුවද, එය සාර්ථක වූයේ නැත.
යාපනයේ අලුත් කතාව
රාමලිංගම් චන්ද්‍රසේකර් ධීවර ඇමැතිවරයා දිගටම සිටියේ යාපනයේ ය. ඔහු යාපනයේ වතුරෙන් යටවූ ප්‍රදේශවලට නිතරම ගොස් තිබිණි. නිලධාරීන් සමග පමණක් නොව දෙමළ ජාතික සන්ධානයේ සහ උතුරේ වෙනත් දේශපාලන පක්ෂ ක්‍රියාකාරිකයන්ගේ ද සහාය ඔහු මෙහිදී ලබාගෙන තිබිණි. උතුරේ දේශපාලන පක්ෂ ද වෙනත් කිසි දවසක නැති සහයෝගයක් රාමලිංගම්ට ලබාදී ඇති බවක් ආරංචි ය. යාපනයේ මේ කතාවත් සමග කියන්නට තවත් කතා දෙකක් ද ඇත.
එකක් නම් පොන්නාවෙලි සිමෙන්ති කර්මාන්ත ශාලාව නිසා විපතට පත් ජනතාව බලන්නට ගොස් තිබුණේ රාමලිංගම් පමණි. අනෙක නම් චුන්නාකම් බලාගාරයෙන් ජලය දූෂණය වීමේ අපරාධයට මැදිහත් වී තිබුණේ ද ඒ පැත්තෙන් ය. ඊට අදාළ ව පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ද තිබිණි. ඒ අධිකරණ තීන්දුව ගැනත් යමක් කිව යුතුය. ලංකාවේ මුල් වතාවට දූෂකයා ගෙවීමේ මූලධර්මය තීන්දුවකට ඇතුළත් කර තිබුණේ මේ තීන්දුවේ ය. එය ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවල බහුලව භාවිත වන්නකි.
පොඩි මල්ලි ගිය තාලයට ම යන ලොකු අයියා
ඉන්දියාව ගැන කියපු නිසා ලංකාවේ ක්‍රමයට ඉන්දියාවේ සිදු වූ සිදුවීමක් ගැන කිව යුතුය. ලංකාවේ මන්නාරමේ සුළං බලාගාරය ඇතුළු ආන්දෝලනාත්මක ව්‍යාපෘති කිහිපයක් නිසා නම කියවුණු අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයකට වාර්තාවක් ඉදිරිපත් කර ඇත. එහි ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක දූෂණ සම්බන්ධයෙන් ය.
මේ කියන සිදුවීම වූයේ පසුගිය බ්‍රහස්පතින්දා ය. අදානි සමූහ ව්‍යාපාරයට එරෙහි චෝදනා සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු තුන්වැනි දිනටත් විවාදයක් ඉල්ලූහ. ඒත් මෙතෙක් එය ලැබුණේ නැත. ඒ වෙනුවට බ්‍රහස්පතින්දාත් සිදු වූයේ පාර්ලිමේන්තුව කල්තැබීමයි. ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ මන්ත්‍රී මානික්කම් තාගෝර් කියන්නේ මෙසේ ය.
‘අපිට ඕනෙ මේ ගැන පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක් කරන්න. අදානි ප්‍රශ්නය ගැන අපි අගමැතිතුමාගෙන් දවස් තුනක් පිළිතුරක් ඉල්ලුවා. තවමත් නෑ.’
ගෞතම් අදානි යනු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුවේ කැපීපෙනෙන චරිතයකි. මෝදිගේ සමීපතමයෙකි. මේ අදානි චෝදනා ගැන විවාදයේ කතාවත් සමග ම කරළියට පැමිණි තවත් කතාවක් තිබේ. ඒ කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධිගේ ඉන්දීය පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් එරට අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වීමයි. ඔහු එංගලන්ත පුරවැසියකු බවත්, ඔහුගේ ඉන්දීය පුරවැසිභාවය ප්‍රශ්න සහගත පෙත්සමේ සඳහන් වේ. සිදුවීම් සිදුවන්නේ හරියට ලංකාවේ වගේ ම ය.
‘මේවා ඉතින් ඉන්දියාවෙන.’
එහෙම කියා පාඩුවේ ඉන්නට ලංකාවට හැකියාවක් නැත. ජනාධිපති අනුර කුමාර දිසානායක තමන්ගේ පළමු නිල විදෙස් සංචාරය ලෙස ඉන්දියාවට යන්නට නියමිතව ඇත්තේ දෙසැම්බර් මාසයේ ය. කොටින්ම ලංකාවේ ලොකු අයියා ඉන්දියාවයි. අදානිගේ ව්‍යාපෘති ලංකාවේ ක්‍රියාත්මක ය. තවත් ඒවා එන්නට නියමිත ය. බැසිල් රාජපක්ෂ සහ ඉන්දියාවේ ආණ්ඩු බලය හිමි භාරතීය ජනතා පක්ෂයේ න්‍යායාචාර්යවරුන් වන රාශ්ත්‍රීය ස්වායම් සේවක්සංග්හි නායකයකු වන රාම් මාධව්ගේ සම්බන්ධයත්, රාම් මාධව්ලාගේ අදානි සම්බන්ධත් ප්‍රකට එකකි. බැසිල් රාජපක්ෂ 2020 මාර්තු මාසයේදී ලංකාවේ දිනපතා ඉංග්‍රීසි පුවත්පතක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී කිව්වේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, භාරතීය ජනතා පක්ෂය වගේ කරන්නට තමන්ට අවශ්‍ය බවකි.
සජිත්ට ලැබුණු නොනිල දැනුම්දීම
කනගාටුදායක කතා ඔස්සේ ඉන්දියාවට ගොස් ලංකාවට පැමිණි පසු තවමත් අවසන් ව නැති ජාතික ලැයිස්තු අර්බුදය පෙනෙන්නේය. මේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ප්‍රශ්නය නිසා සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය දෙකඩ වන්නට ඔන්න-මෙන්න ය. එම සන්ධානයේ සාමාජික පක්ෂ නොනිල වශයෙන් එහි නායකත්වයට, එනම් සජිත් ප්‍රේමදාසට දැනුම් දී ඇත්තේ පොරොන්දු වූ පරිදි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබානොදුන්නහොත් පළාත් පාලන මැතිවරණයේදී වෙනම තරග කරන බවයි. මේ දැනුම්දීමෙන් සජිත් සම්පූර්ණයෙන්ම අවුල් වී තිබේ. ඔහු පවසා ඇත්තේ ‘අපි මේක ගැන පුළුල් ව කතා කරමු’ යනුවෙනි.
සමගි ජන සන්ධානයේ සාමාජික පක්ෂ වන්නේ නිදහස ජනතා සභාව, දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයකි. පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔවුන්ට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පහෙන් එකක් සඳහා රංජිත් මද්දුම බණ්ඩාර තමන්ගේ නම මැතිවරණ කොමිසමට යැව්වේය. සන්ධානයේ මහ ලේකම්වරයා ඔහු ය. ඔහුගේ නම ඔහු ම යැව්වා කිව්වේ ඒක ය. ඔහුට මන්ත්‍රී ධුරය ලබාදීම සහ ඒ පත්කිරීම ගැන සන්ධානයේ කිසිදු පක්ෂයක් ප්‍රශ්න කර නැත. එය සියල්ලන් එක්ව ගත් තීරණයකි.
දැන් ප්‍රශ්නය ඇත්තේ ඉතිරි මන්ත්‍රී ධුර හතර ගැන ය. සජිත් ගැටලුවකට මැදිව ඇත්තේ සන්ධානයේ පක්ෂවලට දුන් පොරොන්දුත්, මැතිවරණයෙන් පරාජයට පත්වූ ඔහුගේ සමීපතමයන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්නට දැඟලීමත් නිසා ය. සමගි ජන සන්ධානයේ ජාතික ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයේ සිට පස්වැනි ස්ථානය දක්වා සිටියේ නිදහස ජනතා සභාවේ ඩලස් අලහප්පෙරුම, දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ සාගරන් විජයාන්ද්‍රිරන් සහ මුස්ලිම් කොංග්‍රසයේ නිෂාම් කාරියප්පර් ය. ලැයිස්තුවේ දෙවැනියා ලෙස සිටින්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් ය.
මේ ප්‍රශ්නය ඔඩුදුවන්නට තවත් හේතුවක් බලපා තිබේ. ඒ 2020 පාර්ලිමේන්තු මැතිවරණයයි. එම මැතිවරණයේදී ද සමගි ජන බලවේගය තරග කළේ සන්ධානයක් ලෙස ය. එහිදී ද මේ ආකාරයට ම පොරොන්දු වූ පරිදි සන්ධානයේ අනෙකුත් පක්ෂවලට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබානොදීමත්, එහි ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගයේ පරාජිත අපේක්ෂකයන්ට එම මන්ත්‍රී ධුර ලබාදීමත් දැඩි විවේචනයට ලක් විය.
රනිල්ගේ මද සිනහව
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ප්‍රශ්නය ද තවමත් විසඳී නැත. රවී කරුණානායක හිටපු මුදල් ඇමැතිවරයාගේ නම යැවීමට මුලදී රනිල් වික්‍රමසිංහ ද විරුද්ධ විය. එහෙත් ආරංචියේ හැටියට දැන් ඒ තත්ත්වය වෙනස් වී තිබේ. ඊට දිගටම විරුද්ධ වූ අසාද් සාලිලා රනිල් හමු වූ අවස්ථාවේ මුලදී මෙන් රවීගේ පත්වීමට විරෝධය දැක්වීමට රනිල් කටයුතු කර නැත. ඒ වෙනුවට රනිල් පුරුදු විදිහට සිට ඇත. එනම් නිහඬව මද සිනහවකින් සිටීමයි.
පුංචි ඡන්දය කට උඩ - දැනගත යුතු කතාවක්
පළාත් පාලන මැතිවරණය ලබන වසර මුලදී පැවැත්වීමට නියමිත ය. මීට පෙර පැවැත්වුණේ 2018 පෙබරවාරි පළාත් පාලන මැතිවරණයයි. එම මැතිවරණයේදී විපක්ෂයේ සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළේය. ඒ මැතිවරණයෙන් පසු තවත් විශේෂ සිදුවීමක් සිදු විය. එය කියන්නේ අප නොවේ. එවකට හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ය. ඔහු එය කියනවා පමණක් නොව ඔහුගේ අලුත් පොතේ ලියා ඇත.
2018 පෙබරවාරි මැතිවරණයෙන් පසු මාර්තු මාසයේදී මහින්ද රාජපක්ෂ අගමැති කිරීමේ උත්සාහයයි, ඒ. යහපාලන ආණ්ඩුවේ අගමැති වූ රනිල් ඉවත් කොට මහින්ද අගමැති කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් ඓතිහාසික තීන්දු සිදුවූයේ 2018 ඔක්තෝබර් 26 සහ නොවැම්බර් අවසානය අතර ය. එහෙත් ඔස්ටින් කියන විදිහට මේ උත්සාහය මුලින්ම ක්‍රියාත්මක වී ඇත්තේ 2018 මාර්තුවේදී සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු හිටපු ඇමැතිවරුන්ගේ මූලිකත්වයෙනි. එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද මේ සුසිල්ලාගේ වැඩේට එකඟ වී ඇත. එහෙත් ඔස්ටින් ද ඇතුළු ව මෛත්‍රීට සමීපව සිටි නීතිඥයන් පිරිසක් ඊට විරුද්ධ වී තිබේ. ඒ විරෝධතාව නිසා ඒ වෙලාවේ වැඩේ නැවතී ඇත.
නලින්ද වැඩ බාරගත් දවසේ සිදු වූ දේ
ජුලම්පිටියේ අමරේගේ මරණ දඬුවම පසුගිය සතියේ අභියාචනාධිකරණයෙන් ස්ථිර කළේය.
‘අමරේ, මම මහින්ද ඇවිත් ඉන්නේ.’
මේක ප්‍රසිද්ධ කතාවකි. තංගල්ල බන්ධනාගාරයට ගිය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කියපු කතාවකි. අමරේට මරණ දඬුවම හිමි වූයේ 2012 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස කතා කරමින් සිටි රැස්වීමකට වෙඩි තබා පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිදුවීමටයි. අභියාචනාධිකරණ තීන්දුවේ 06 වැනි පිටුවේ දෙවැනි ඡේදයේ මෙසේ දැක්වේ.
‘මම තමයි යකෝ මැදමුලනේ වලව්වේ දඩ බල්ලා. තොපි පුළුවන් නම් වරෙව්. කවුද මේක සංවිධානය කරපු එවුන්.’
නලින්ද ජයතිස්ස රැස්වීමේ කතා කරමින් සිටියදී ඔහු එසේ තර්ජනය කර ඇත. ඒ නලින්ද ජයතිස්ස අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැති ධුරයේ වැඩ බාරගත් දවසේ ම අමරේගේ මරණ දඬුවම ද ස්ථිර විය.
නාමල්ව විශ්වාස ද?
ලියන්ට ආවේ වෙනත් කතාවකි. අමරේගේ මරණ දඬුවම පිළිබඳ කාරණය පොදුජන පෙරමුණේ පසුගිය සතියේ මාතෘකාවක් වී තිබිණි. සමීපතමයන් කිහිපදෙනෙක් නාමල් රාජපක්ෂගෙන් මේ පිළිබඳව විමසා තිබිණි. නාමල් ඔවුන්ට පැහැදිලි පිළිතුරක් දී ඇත. එහි සරල අදහස වී ඇත්තේ ‘පරණ කතා තියෙන්න පුළුවන්, ඒත් නීතියට අපි ගරු කරනවා, මේවා ඔක්කොම වෙනස්වෙන්න ඕනෙ’ යනුවෙනි. ලංකාවේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් බලාපොරොත්තුවෙන් ජනතාව ඉදිරියට පැමිණ ඇති අවස්ථාවක නාමල්ලා එසේ සිතීමත් වැදගත් ය.
කෙසේ වෙතත් කෙහෙළිය රඹුක්වැල්ලගේ බාල ඖෂධ කැබිනට් පත්‍රිකාව පිළිබඳව ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ එවකට කැබිනට් මණ්ඩලයේ සිටි ඇමැතිවරුන්ගෙන් බහුතරය ඒ ගැන අහද්දී පවසා ඇත්තේ ‘අපි කෙහෙළියව විශ්වාස කළා’ යනුවෙනි. ඒ පිරිසෙන් බහුතරයක් නාමල් සමග නැත.
No comments:
Post a Comment