‘ආණ්ඩු බලය එපා කියන ඡන්දයක් ආවමයි’
අමිත් ෂා යනු ඉන්දීය රජයේ ප්‍රබල චරිතයකි. අගමැති නරේන්ද්‍ර මෝදිගේ සමීපතමයෙකි. මෝදිගේ තුන්වැනි ධුර කාලයේදී මෙන්ම මීට පෙර ධුර කාල දෙකේදී ම ෂා කැපීපෙනෙන චරිතයක් විය.
මෝදි දැන් අමිත් ෂා නිසා හිරවී සිටී. උණු හින්දා බොන්නත් බෑ, කැඳ හින්දා අහකදාන්නත් බෑ ජාතියේ වැඩක් නම්, මෝදි මේ වෙලාවේ අනිවාර්යෙන්ම මුල් එක තෝරාගන්නේය. අහකදාන්නේ ය. ඒත් මේ ෂා ය. ෂා යනු දැඩි හින්දු භක්තිකයෙකි. භාරතීය ජනතා පක්ෂයේ කොඳූ නාරටිය වන රාෂ්ත්‍රීය ස්වායම් සේවක් සංග් හි ප්‍රබලයෙකි. භාරතීය ජනතා පක්ෂයේ ජාතික මහ ලේකම් වාරානසී රාම් මාධව්ගේ ගජයෙකි. මේ විදිහට ෂා ව හැඳීන්වූයේ ඔහු ඉන්දීය ආණ්ඩුවේ තීරණාත්මක චරිතයක් බව පැහැදිලි කරන්නට ය.
ඔහු දැන් එරට ස්වදේශ කටයුතු ඇමැතිවරයා ය. ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාව වන්නේ කැනඩාවේ ජීවත් වන ඉන්දීය සික් ජාතිකයන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණවලට සම්බන්ධවීමයි. හර්දීප් සිං නිජ්ජාර් නම් කැනඩාවේ සිටි සික් බෙදුම්වාදී නායකයා ඝාතනය කිරීම මෙහි තීරණාත්මක සිද්ධියක් විය. කැනඩාවෙන් පිටට මේ ඝාතන කතාව ගියේය. වොෂින්ටන් පෝස්ට් පුවත්පත කෙලින්ම කියා තිබුණේ මේ පිටුපස අමිත් ෂා සිටින බවකි. මෙසේ වැඩේ අවුල් වන විට ඉන්දියාව කිසිවක් නොකියා නිහඬව ම සිටියේය.
ඒ අතර රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඉවත් කර ගැනීම් වැනි අභ්‍යන්තර දේ ද සිදු විය. අවසානයේදී ඉන්දියාව ද එළිපිට වැඩි පටන්ගත්තේය. ඉන්දියාව පැවසුවේ මේ ඝාතනවලට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් විදෙස් මාධ්‍ය පවසා තිබුණේ අමිත් ෂා වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනීසිටින්නට මෝදි තීරණය කර ඇති බවයි. මේ සිදුවීම්වලින් පසු ඉන්දියාව සික් බෙදුම්වාදීන් ත්‍රස්තවාදීන් ලෙස හැඳීන්වීමට ද පටන් ගත්තේය.
ඉන්දියාව තීරණාත්මක තැනක
දැන් වැඩේ ඇත්තේ තීරණාත්මක තැනක ය. අමිත් ෂාගෙන් වැඩේ සමස්ත භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව අතට ගෙන තිබේ. දේශපාලන විචාරකයන් කියන්නේ භාරතීය ජනතා පක්ෂයේ ආණ්ඩු කිරීමේ අවසානය මේ සිදුවීම් ජාලයෙන් ආරම්භ වනු ඇති බවයි. සික් බෙදුම්වාදීන් යුරෝපයේ රටවල් ගණනාවක සිය ආධිපත්‍යය විහිදුවමින් සිටී.
ඛලිස්තානය නමින් ස්වාධීන නිජබිමක් ඉල්ලා සික් බෙදුම්වාදීන් අරගල කිරීම ඇරඹුවේ අසූව දශකයේ මුල ය. අසූව - අනූව දශකයේදී මේ පිළිබඳව ඇති වූ කැරැල්ලකින් පුද්ගලයෝ දහස් ගණනක් මියගියහ. අද දක්වා ම බලපාන තීරණාත්මක සිදුවීමක් ද සිදුවූයේ මේ අතර ය.
ඒ ඉන්දිරා ගාන්ධි ඝාතනයයි. වරක් සික් බෙදුම්වාදීන් පළවාහැරීම සඳහා ශුද්ධ වූ සික් කෝවිලකට පහර දෙන ලෙස එවකට ඉන්දීය අගමැති ඉන්දිරා ගාන්ධි නියෝග කළාය. එම නියෝගයෙන් පසු ඇයගේ ආරක්ෂාවට සිටි සික් ජාතිකයන් විසින් ම අගමැතිවයරි ඝාතනය කෙරිණි.
එකකට - එකක් සම්බන්ධ කතා පෙළක්
මේ සිදුවීම් හුදෙකලා නැත. සික් බෙදුම්වාදීන් ලෝකය පුරා ත්‍රස්ත සංවිධාන සමග සම්බන්ධතා පවත්වන බව ඉන්දීය ආරක්ෂක අංශ පසුගිය කාලයේ පවසා තිබිණි. ඉන්දීය රහස් ඔත්තු සේවය වන රෝ සංවිධානය තීරණාත්මක ලෙස සික් බෙදුම්වාදීන් පසුපස හඹායන බව ප්‍රකට කරුණකි. ඒ අතර ය, ඊශ්‍රායල් සංචාරකයන් පිළිබඳ ප්‍රශ්නයක් ලංකාවෙන් මතුවූයේ.
මේ සම්බන්ධයෙන් පැවැති රාජ්‍ය තාන්ත්‍රික හමුවකදී ලංකාවේ සිටින විදෙස් තානාපතිවරුන් කිහිපදෙනකු ම ආණ්ඩුවට අවධාරණය කර ඇත්තේ ඊශ්‍රායල් සංචාරකයන් සම්බන්ධයෙන් අනුගමනය කරන ලිහිල් පිළිවෙත වෙනස් කළ යුතු බවයි. එහිදී ආණ්ඩුව පාර්ශ්වයෙන් පෙන්වා දී ඇත්තේ කිසිදු රාජ්‍යයක් සමග ගැටුමකට නොගොස් විදේශ ප්‍රතිපත්තිය සමබරව පවත්වාගෙන යෑමේ වැදගත්කමයි.
‘ලෝකයේ බොහෝ රටවල් ඔවුන්ගේ බිහිසුණු ජන සංහාරයට විරෝධය පළකරලා තියෙනවා. අපේ රටවල ස්ථාවරයත් ඒක. මේක ලංකාවට බලපෑම් කිරීමක් නෙමෙයි. අපේ රටවල ස්ථාවරය පැහැදිලි කිරීමක් විතරයි.’
මෙහිදී රාජ්‍ය තාන්ත්‍රිකයන් කරුණු පැහැදිලි කර ඇත්තේ එසේ ය.
ඩේවිඩ් තාරකාවේ කතාව
මේ අතර ආරක්ෂක අංශවල ඉහළ පෙළේ නිලධාරීන් සහ ආරක්ෂක ක්ෂේත්‍රයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨයන් අතර හමුවක් පසුගිය සතියේ පවත්වා තිබිණි. එහිදී ඔවුන්ගේ අවධානය යොමුවී තිබූ එක් ප්‍රධාන මාතෘකාවකි, ඩේවිඩ් තාරකාව. ඩේවිඩ් තාරකාව කියන්නේ යුදෙව් සංකේතයයි. නිල් පැහැ තරුවයි. මේ තරුව ලංකාවේ වීදිවල, තාප්පවල ගසා තිබීමත්, ඒවා ඉවත් කළ හැකිද යන්න පිළිබඳවත් මෙහිදී කතා කර ඇත.
‘බලහත්කාරයෙන් මේවා ඉවත් කරන්නත් බෑ. ඒත් මේවා දිගටම තියෙන එකත් ප්‍රශ්නයක්.’
මේ සාකච්ඡාවේදී අවධානය යොමුකර ඇති තවත් කරුණක් වන්නේ ඊශ්‍රායල් හමුදා සේවයේ සිටින පිරිස් නිවාඩු සඳහා ලංකාවට පැමිණීම ලංකාවේ ආරක්ෂාවට කෙසේ බලපාන්නේ ද යන්නයි. ලෝකයේ වෝ ටුවරිසම් හෙවත් යුද සංචාරක කර්මාන්තය යනුවෙන් මාතෘකාවක් තිබේ. එමගින් හැඳීන්වූයේ යුද්ධ පැවැති ප්‍රදේශවල සංචාරය කිරීමයි.
එහෙත් ඇමෙරිකානු හමුදාව, ඉරාකයට සහ ඇෆ්ගනිස්තානයට පහර දීමේ සිදුවීම්වලින් පසු මේ වචනයේ තේරුම තරමක් වෙනස් විය. ඇමෙරිකානු රජය වියදම් දරමින් එම යුද්ධවලට සම්බන්ධ වූ සෙබළුන්ට විදෙස් සංචාර දෙන්නට පටන් ගත්තේය. ඊශ්‍රායලය ද එවැන්නක් සිදුකරන බවට වාර්තා තිබේ. එවැනි ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත්වී නැති බව ආණ්ඩුව තහවුරු කරයි. සංචාරක සංවර්ධන අධිකාරිය ද තහවුරු කරයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය 1975දී තීරණයක් ගත්තේය. ඒ, සියොන්වාදය අන්තවාදයක් යනුවෙන් හැඳීන්වීමට ය. 1991 වසරේදී මීට එරෙහි යෝජනාවක් එවකට ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ් විසින් ඉදිරිපත් කෙරිණි. ඊට එරෙහි වූ රටවල් 25 අතර ශ්‍රී ලංකාවත් සිටියේය. එවකට ලංකාවේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ය. ඉස්ලාම් හෝ කොමියුනිස්ට් රාජ්‍යය නොවන රටක් ලෙස මේ යෝජනාවට විරුද්ධ වූ තීරණාත්මක රටක් ලෙස ඒ කාලයේදී ලංකාව හැඳින්විණි. මේ ඉතිහාසයත් සමග අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව සිය විදේශ ප්‍රතිපත්තිය සමබර කරගැනීමට උත්සාහ කරන බවක් පෙනෙන්නට තිබේ.
ඉන්දියාවේ මෝදි, අමිත් ෂා ඇතුළු සමීපතමයන්ගේ ක්‍රියාකාරිත්වය වෙනුවෙන් යුරෝපා රටවල් පිළිබඳ සිය විදේශ ප්‍රතිපත්ති වෙනස් කරමින් සිටී. ඉන්දියාවේ අසල්වැසියා ලෙස ලංකාව ද විදේශ ප්‍රතිපත්ති පිළිබඳ තීරණාත්මක තැනක සිටී. ගැටලුව වන්නේ ඉන්දියාව වැනි ආර්ථික පැත්තෙන් ස්ථාවර රටකට මෙන් ණය බරින් පීඩිත බවට පත්කර ඇති ලංකාවට සෙල්ලම් දමන්නට නොහැකි වීම ය.
ජනපතිගෙන් සුදුසුකම් ගැන නියෝගයක්
ඊට අදාළ වැදගත් පියවරක් තියන්නට ජනාධිපතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා කටයුතු කළේය. විදේශ කටයුතු අමාත්‍යංශයට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් උපදෙස් දී තිබුණේ ලංකාව නියෝජනය කරමින් විදෙස් රටවල සේවය කරන තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන්, එම කාර්යාලවල සේවය කරන පළමු ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ගේ සුදුසුකම් සියල්ල පිළිබඳ වාරතාවක් සකස් කරන ලෙසයි. පාර්ලිමේන්තුවේ ඉහළ නිලතල පිළිබඳ කාරකසභාවෙන් ද මේවා පරීක්ෂාවට ලක්කෙරේ. එහෙත් ඒවා නමට පරීක්ෂා කිරීමක් ය, පසුගිය කාලයේ සිදු වී තිබුණේ.
ගෙන්වන ලිස්ට් එක මෙන්න
මේ සුදුසුකම් පරීක්ෂාවට පෙර ම ආණ්ඩුව පසුගිය සතියේ මුල තීරණයක් ගත්තේය. එම තීරණයට අනුව ඥාතිකම්, හිතවත්කම්, දේශපාලන සම්බන්ධතා මත තානාපති සේවා සඳහා යැවූ දහසයදෙනකුගේ ලැයිස්තුවක් සකස් කෙරිණි. ඔවුන්ට වහාම දැනුම් දුන්නේ යළිත් මෙරටට පැමිණෙන ලෙසයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කරන වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස, චීනයේ ෂැංහයි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කරන අනුර ප්‍රනාන්දු, ඉන්දියාවේ චෙන්නායි නුවර නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරන ආචාර්ය ඩී. වෙන්කටේෂ්වරන්, සවුදි අරාබියේ ජෙඩා හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කරන එස්.එම්.ඒ.එෆ්. මවුලානා, ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිශාන් මුතුක්‍රිෂ්ණ, එහි තෙවැනි ලේකම්වරයා ලෙස කටයුතු කරන තාරක දිසානායක, බි්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම් ධුරයේ කටයුතු කරන අසෙනිය පුංචිනිලමේ, ප්‍රංශයේ පැරිස් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම් සහස්‍ර බණ්ඩාර, ඉතාලියේ රෝමයේ තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් මෙල්කි චන්දිමා, ඕස්ටේ්‍රලියාවේ කැන්බරාහි පිහිටි මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරන දිනූකා කාර්මලීන් ප්‍රනාන්දුපුල්ලේ, රුසියාවේ මොස්කව් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශක පණ්ඩුල ද සොයිසා, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආචාර්ය අන්වර් මොහොමඩ්, ලෙබනනයේ බීරූට් හි තෙවැනි ලේකම් ප්‍රියංගිකා දිසානායක, තුර්කියේ අන්කාරාහි දෙවැනි ලේකම් යෂ්මින් මොහොමඩ් ඇතුළු පිරිසක් මේ ලැයිස්තුවේ සිටිති.
ඇමැතිට වඩා බලවත් ලේකම් කෙනෙක්
ජාත්‍යන්තර ක්ෂේත්‍රය මෙසේ සීරුමාරුවෙන් බේරාගනිමින් සිටින විට, ආණ්ඩුවට ඇතුළෙන් අර්බුදත් පැමිණෙන්නේය. පසුගිය 30 වැනිදා මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත් අමාත්‍යංශයට ගොස් තිබිණි. එහිදී කාර්යමණ්ඩලයේ පිරිස් ද හමුවී කතාබහ කොට විජිත පිටවී ගිය පසුව ය, අලුත් ම සිදුවීම සිදුවී තිබෙන්නේ.
ඇමැතිවරයා ගිය පසු කාර්යමණ්ඩලය අතරට පැමිණි අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියක පවසා තිබුණේ ටිරාන් අලස් ඇමැතිවරයා ලබන 14 වැනිදායින් පසු යළිත් මේ අමාත්‍යංශය බාරගන්නා බවයි. එම නිසා තැපැල් ඡන්දය දැමීමේදී සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසත්, එසේ නොවුණහොත් ගැටලු ඇති විය හැකි බවත් ඇය පවසා ඇත. මේ සම්බන්ධයෙන් අමාත්‍යංශයේ පිරිසක් මැතිවරණ කොමිසමට ද පැමිණිලි කිරීමට සූදානම් වී සිටී.
මේ ලේකම්වරිය සම්බන්ධයෙන් කියන්නට තවත් කතාවක් තිබේ. ඒ, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරයට අලුතින් පත්කෙරුණු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සම්බන්ධ කතාවකි. උදය ගම්මන්පිල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉමාම් කමිටු වාර්තාව සහ ජයිකි ස අල්විස් කමිටු වාර්තාව එළියට දැම්මේය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කළ මේ කමිටු දෙකෙන් ම චෝදනා කර තිබුණේ පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් රවී සෙනෙවිරත්නට ගැලවීමට නොහැකි බවකි. පසුව ඊට පැහැදිලි පිළිතුරු රවී සෙනෙවිරත්න පාර්ශ්වයෙන් ලබාදී තිබුණේ ලේඛන සාක්ෂි ද සහිතව ය.
වාර්තා ගැන ගම්මන්පිල පැවැත්වූ මාධ්‍ය හමුවෙන් පසු මේ කතා නායිකා ලේකම්වරිය අමාත්‍යංශයේ කාර්යමණ්ඩලය ඉදිරියේ උස් හඬින් පවසා තිබුණේිදැන් හරිනෙ, ආවට වඩා වේගෙන් ලේකම්ට ආපහු යන්න පුළුවන්’ යනුවෙනි. ගම්මන්පිල ද ඉල්ලා තිබුණේ රවී සෙනෙවිරත්න ඉවත් කරන ලෙසයි. එහෙත් ආණ්ඩුව ස්ථිරව පවසා තිබුණේ එසේ නොකරන බවයි.
ලොහාන්ගේ තේ එකෙන් තරුණයා නිදහස්
ලොහාන් රත්වත්තේ අනුරාධපුරයේ සිට කොළඹ බලා පැමිණෙමින් සිටියදී වාරියපොළ ප්‍රදේශයේදී පසුගිය සතියේ අනතුරට ලක්විය. ඔහුගේ රථය බස් නැවතුම්පොළක් කඩාගෙන ගොස් තිබූ අතර, පසුව ඔහු වාරියපොළ පොලිසියට පැමිණ තිබිණි. කතාවේ ඇත්තේ එය නොවේ.
අනතුරෙන් පසු ඔහුගේ වාහනය සහ එහි ඇතුළත වීඩියෝගත කළ තරුණයකු පොලිසියෙන් අත්අඩංගුවට ගැනිණි. ඔහු වහාම පොලිසියට රැගෙන ආවේය. ඒ වන විට ලොහාන් සිටියේ පොලිසියේ ස්ථානාධිපතිවරයා සමග තේ පානය කරමින් ය. තරුණයා අත්අඩංගුවට ගත් වාරියපොළ පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඔහුට තර්ජනය කරමින් පැවසුවේ දණ ගසා සමාව ගන්නා ලෙසයි. තරුණයා එසේ කළේ නැත.
තත්ත්වය තේරුම් ගත් පොලිස් ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක විය. සමාව ගැනීමට අවශ්‍ය නැති බව පවසා ඔහු තරුණයා නිදහස් කළේය. එය ශුද්ධ චේතනාවකින් කළේද, ලොහාන් ද එහි සිටි නිසා කළේද යන්න වෙනම කතාවකි. පසුව තරුණයා අත්අඩංගුවට ගත් සිදුවීම පිළිබඳ ඉහළ පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂණ ආරම්භ කරන ලදි.
ලොහාන්ගේ මේ වාහනයේ චැසි අංක සම්බන්ධයෙන් ද ගැටලුවක් මතු වී ඇත. ඉන්පසු එවැනි තවත් වාහනයක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ද ගැනිණි. දැන් ඔහු සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේ ය. ඒ අතර මහනුවරදී ලොහාන්ට අයත් බවට සැක කෙරෙන තවත් එකලස් කළ වාහනයක් අත්අඩංගුවට ගැනිණි. ඒ කියන්නේ මේ ජාවාරම සුළුපටු නැත. හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාරගත ව සිට, ඇප ලැබුවේද මෙවැනි එකලස් කළ වාහනයක සිදුවීමකට ය. ඒ වාහනය හිල්ටන් හෝටලයට ගෙනැවිත් තිබුණේ ව්‍යාපාරිකයකු ලෙස ප්‍රකට ගාමිණී අබේරත්න හෙවත් ටැක්සි අබේ විසින් ය. ටැක්සි අබේ යනු 2010 වසරේදී සරත් ෆොන්සේකාට එරෙහිව ජොන්ස්ටන් ප්‍රනාන්දු සමග සාක්ෂි ලබාදුන් අයෙකි. ඔහු පසුව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ධුරයට ද පත්කෙරිණි. මේ දැල්වල ගැට ලිහාගැනීම ආණ්ඩුවට පහසු නැත.
අධිකරණ නියෝග ක්‍රියාත්මක කෙරෙන කාලයක්
නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු වූ ශමින්ද වික්‍රමගේ වැඩ තහනම් කිරීමට පසුගිය සතියේ එම දෙපාර්තමේන්තුව පැත්තෙන් කටයුතු කර තිබිණි. ඒ ගැන කිසිදු කතාවක් එළියට ආවේ නැත. ඔහුට විරුද්ධව පොලිසියට ද පැමිණිලි කිහිපයක් ලැබී ඇති අතර, ඒවා ද වැඩ තහනම් කිරීමේදී සලකා බලා ඇත.
2022 ජන අරගලය පැවැති අවස්ථාවේ විරෝධතාවකට බාධාකිරීම සම්බන්ධයෙන් කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ 22470/22 දරන නඩුව ගොනුකෙරිණි. මේ නඩුවේදී විත්තියට නොදන්වා වෙනත් පාර්ශ්වයක් ලෙස පැමිණ කරුණු දැක්වීමේ නීතිඥවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් එවකට කොළඹ, කොටුව මහෙස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ වර්තමානයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් ද දැඩි අවධානය යොමු කර තිබිණි.
තවත් සිදුවීමක් තිබේ. ඒ, කොළඹ විශ්වවිද්‍යාලයට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමේ නඩුවයි. තැන ශ්‍රේෂ්ඨාධිකරණයයි. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණේ මේ නඩුවෙිදී ශමින්ද වික්‍රමගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට දැනුම් දෙන ලෙසයි. නියෝගය නිකුත් කරනු ලැබුවෙි ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරයාට ය.
රනිල් මොකටද එහෙම කරන්නෙ?
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ අපේක්ෂකයන් වෙනුවෙන් පවත්වන පළමු රැලියට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්වුණේ පසුගිය ඉරිදා ය. එම රැස්වීම මීගමුව ඔලැන්රෝ හෝටලයේදී පැවැත්වුණු අතර, මීට දිස්ත්‍රික්කයේ සිලින්ඩරය ලකුණ යටතේ තරග වදින සියලු අපේක්ෂකයෝ එක්ව සිටියහ.
‘ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවෙ ආර්ථික අර්බුදය ඇවිල්ලා රට යුද පිටියක් වගේ තියෙනකොට මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වෙලා අගමැති කෙනෙක් හොයන්න පටන් ගත්තා. හැමෝම බාරගන්න බෑ කියල දුවනවා. මේ අතරෙ ලන්සාගෙන් මට කෝල් එකක් ආවා. ඔබතුමා අගමැතිකම බාරගන්න කිව්වා. මම ඇහුවා ඔබතුමා කොහොමද මට අගමැතිකම දෙන්නෙ කියලා. ඊට පස්සෙ ලන්සා මට කිව්වා ඉක්මනින්ම ජනාධිපතිතුමා හම්බෙන්න. එතුමා බලාගෙන ඉන්නවා ඔබතුමා එනකම්. අපි කණ්ඩායමක් විදිහට ඔබතුමාට උදව් කරනව කියලා.’
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ළඟ තබාගෙන රනිල් වික්‍රමසිංහ නිමල් ලන්සාට මෙසේ ලකුණු ලබාදීම සම්බන්ධයෙන් එහි සිටි අපේක්ෂකයන් අතර තරමක කතාබහක් ද ඇති විය. රනිල් රැස්වීමෙන් පසු දිවා ආහාරයට ගොස් තිබුණේ ද ලන්සා සමග එක ම වාහනයේ ය. අපේක්ෂකයන් අතර සිටි ප්‍රධානීන් වූ රුවන් විජේවර්ධන සහ ලසන්ත අලගියවන්න තම-තමන්ගේ වාහනවලින් දිවා ආහාරය සූදානම් කර තිබූ තැනට ගොස් තිබිණි.
සුමන්තිරන් නොකියන කතාව
මේ ඡන්දයේ ඇති සුවිශේෂී තත්ත්වයක් තිබේ.
‘අපිව විපක්ෂයෙ වාඩිකරවන්න.’
ඒ, විශාල පිරිසක් කරන ඉල්ලීමකි. පක්ෂ ගණනාවක් ම කියන්නේ හොඳ ම විපක්ෂය වන්නට තමන් සූදානම් බවකි. ඔවුන් ආණ්ඩු කරන්නට ඉල්ලන්නේ නැත.
මේ අතරවාරයේ ය, දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන තමිල් අරසු කච්චිහි සුමන්තිරන් මන්ත්‍රීවරයා ලොකු කතාවක් කිව්වේ. ඔහු කිව්වේ මාලිමා ආණ්ඩුවකින් ඇමැති ධුරයක් ලබාදෙන්නේ නම්, කරන්නට සූදානම් තාලයේ කතාවකි.
සුමන්තිරන් මෙසේ කීවද, දෙමළ ජාතික සන්ධානයේ බහුතරය පසුගිය සතියේ පැවැති එහි ප්‍රධාන පෙළේ රැස්වීමකදී අවධානය යොමු කර තිබුණේ ආණ්ඩුවට එක් නොවී සිටීම ගැන ය. ආණ්ඩුවට එක් නොවී ආණ්ඩුවේ වැඩවලට සහාය දීම මේ වන විට ඔවුන්ගේ කතාබහේ ඇති අනාගත සැලැස්මයි. කොහොම වුණත් සුමන්තිරන් මන්ත්‍රීවරයා පසුගිය කාලය පුරා ජාතික ජන බලවේගය ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් දැඩි ප්‍රසාදයෙන් කතා කළ අතර, ඔවුන් සමග විවිධ සාකච්ඡාවලට ද එකතු වී තිබිණි.
No comments:
Post a Comment