Friday, December 20, 2024

රහස් මෙහෙයුම් ඇරඹෙයි !


එවකට නීතිපති ධුරය දරන ලද්දේ තිලක් මාරපන ය. වරක් කළුතර ප්‍රදේශයේ සේවය කරමින් සිටි සහකාර පොලිස් අධිකාරිවරයකුට ස්ත්‍රී දූෂණ චෝදනාවක් එල්ල විය. අධිකරණයේදී සිදුකෙරුණු මූලික පරීක්ෂණයෙන් පසු චෝදනා ගොනුකිරීමේ වගකීම නීතිපති දෙපාර්තමේන්තුවට පැවරිණි. ජ්‍යෙෂ්ඨ නීතිඥවරු නඩු ගොනුව අධ්‍යයනය කරමින් සිටියහ.

මේ කාලයේ මාරපන නීතිපතිවරයා විසින් හඳූන්වා දුන් වෙනස් ක්‍රමයක් දෙපාර්තමේන්තුවේ තිබිණි. ඒ, සතියකට වරක් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් සමග දිවා ආහාරයක් ගැනීමයි. මෙය දෙපාර්තමේන්තුවේ ම ස්ථානයක සිදු විය. වියදම් රජයේ මුදලින් විය. වියදම් ගැන ප්‍රශ්නයක් තිබුණද, එහි වැදගත්කමක් තිබිණි.

මේ නිකම් ම නිකම් කෑම වෙලාවක් නොවීය. ඊට සෑහෙන වේලාවක් ගත විය. එහිදී සතියේ නඩු, ඒවායේ ගැටලු, අධිකරණවල ගැටලු, නීති නිලධාරීන්ට මුහුණපාන්නට සිදු වන වෙනස් ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කෙරිණි. ඇතැම් අවස්ථාවලදී නීතිපතිවරයා තමන්ගේ ගැටලු ද මේසයට දැම්මේය. එය විවෘත සාකච්ඡාවක් විය.

එක් සතියක සහකාර පොලිස් අධිකාරිවරයාගේ සිදුවීම මේසයට ආවේය. නඩු ගොනුව බාරව සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා විසින් නීතිපතිවරයාට කිව්වේ මේ පොලිස් නිලධාරියාට එරෙහිව ස්ත්‍රී දූෂණ චෝදනා ගොනුකළ නොහැකි බවයි. කෙසේ වෙතත් ඔහු ම කිව්වේ එසේ නොකර ඉන්නට ද බැරි බවයි. 

‘අපි චෝදනා ගොනු නොකළොත් මාධ්‍යවලින් එල්ලගෙන ගහයි.’

මේ කතාව එහි සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥවරු රැසක් ද අනුමත කළහ. ඔවුන් සියල්ලන්ගේ අදහස වූයේ කෙසේ හෝ චෝදනා ගොනු කළ යුතු තත්ත්වයක සිදුවීම තිබෙන බවයි. ඒ වනවිටත් එය මාධ්‍යවල ප්‍රමුඛ පුවතක් වූ අතර, අධිකරණයේ මූලික පරීක්ෂණයෙන් පසු සියල්ලන් බලා සිටියේ නීතිපති දෙපාර්තමේන්තුව දෙසයි.

සියලුදෙනාගේ අදහස් දැක්වීම් අසා සිටි නීතිපති මාරපන කතා කළේය.

‘මාධ්‍ය අපිව විවේචනය කරනවද, නැද්ද කියන එක වෙනම වැඩක්. ඒ වැඩේ අයිති ඒගොල්ලොන්ට. අපි අපේ වැඩේ හරියට කරන්න ඕනෙ. අපිට මෙතැනදි පුද්ගලයා කවුරු වුණත්, වැදගත් වෙන්නෙ සාක්ෂි. ඔබතුමා කියන විදිහට නම් තත්ත්වය තියෙන්නෙ ඔය පොලිස් නිලධාරියාව නිදහස් කරන්න. මම වගකීම ගන්නම්.’

ඒ අනුව සහකාර පොලිස් අධිකාරිවරයා නිදහස් කෙරිණි. මාධ්‍ය නීතිපති දෙපාර්තමේන්තුව දැඩි ව විවේචනය කළේය. නඩුව අවසන් වීමෙන් මාස තුනකට හෝ හතරකට හෝ පසු අදාළ සහකාර පොලිස් අධිකාරිවරයා මිය ගියේය. ඊට මාස කිහිපයකට පසු ඔහුට චෝදනාව එල්ල කළ තරුණිය පාපොච්ඡාරණයක් කරමින් පැවසුවේ වෙනත් අවශ්‍යතාවක් මත මේ චෝදනාව කළ බවත්, තමන් දූෂණයට ලක්වූයේ වෙනත් ආකාරයකට බවත් ය. මාධ්‍යයට කියන්නට දෙයක් තිබුණේ නැත. නීතිපති තීන්දුව නිවැරදි විය.


අවම බලයයි - අවශ්‍ය බලයයි


ඒ කාලයේ එහෙමත්, මේ කාලයේ වෙනස් විදිහටත් වැඩ සිදු වේ. ගැටලුව ඇත්තේ එතැන ය. මහර බන්ධනාගාරයේ සිදු කළ වෙඩිතැබීම්වලින් මියගිය රැඳවියන් එකොළොස්දෙනා පිළිබඳ වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් සිදු කළ මූලික පරීක්ෂණයෙන් පසු මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ එහිදී අපරාධයක් අනාවරණය වන නිසා වගකිවයුත්තන් අත්අඩංගුවට ගන්නා ලෙසයි. 2023 අප්‍රේල් මාසයේදී ලබාදුන් ඒ තීන්දුවට අනුව වැඩ සිදු වූයේ නැත. කිසිවකු අත්අඩංගුවට නොගැනිණි.

ඉන්පසු ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර, අගෝස්තු 30 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබුණේ මේ නඩුව ඉදිරියට පවත්වාගෙන නොයන ලෙසයි. ඊට හේතුව ලෙස දක්වා තිබුණේ බන්ධනාගාර ආඥා පනතේ 77 වැනි වගන්තියයි. එහි දැක්වෙන්නේ සිරකරුවන් පාලනය කිරීමට අවම බලය යෙදවීම සම්බන්ධයෙනි. මහර බන්ධනාගාරයේදී යොදවා ඇති අවම බලයේ ස්වභාවය පැහැදිලි කර ඇත්තේ අධිකරණයේ නියෝග මත පත්කෙරුණු කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජීන් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ කමිටුවයි.

එහි සඳහන් වන්නේ මියගිය රැඳවියන් තිදෙනකුගේ හිසටත්, අනෙක් මියගිය රැඳවියන් අටදෙනාගේ පපුව ආසන්න ප්‍රදේශයටත් වෙඩි වැදී ඇති බවයි. අවම බලය යනු දණහිසෙන් පහළට වෙඩිතැබීමයි. එයට ද සාධාරණ හේතු තිබිය යුතුය.

වරක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවකට පොලිසියෙන් දැඩි ප්‍රහාරයක් එල්ල විය. මේ පහරදීම්වලින් එක් සිසුවකුගේ ඇසක් එළියට පැන්නේය. දැනටත් මේ ඡායාරූපය අන්තර්ජාලයේ ප්‍රකට ය. ඒ වෙලාවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරය දැරුවේ වර්තමානයේ නැගෙනහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ය. ඔහුගෙන් මේ පිළිබඳව විමසීමේදී පැවසුවේ ‘දැන් තියෙන්නේ අවම බලය නෙමෙයි, අවශ්‍ය බලය’ යනුවෙනි. එම ප්‍රකාශය දැඩි විවේචනයට ලක් විය. කෙසේ වෙතත් ලෝකයේ අවශ්‍ය බලය යනුවෙන් සංකල්පයක් තිබෙන බවත් ඇත්ත ය.


ශානිගේ ලියුම මෙන්න


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරගේ අලුත් පත්වීම අලුත් වටයකින් ප්‍රශ්න කෙරුණේ පසුගිය සතියේදී ය. ඒ, ඔහුගේ පත්වීම නීත්‍යනුකූල ද, පවතින නීතියට අනුව සිදුවී ඇද්ද යනුවෙනි. ඔහු වසරක කාලයක් සඳහා පත්කෙරුණේ පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ බුද්ධි විශ්ලේෂණ සහ නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස ය. ඔක්තෝබර් 10 වැනිදා පස්වරුවේ රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභා රැස්වීමේදී මේ පත්වීම අනුමත කෙරිණි. ඒ, 2024 ඔක්තෝබර් 10 වැනිදා සිට 2025 ඔක්තෝබර් 09 වැනිදා දක්වා ය.

විශ්‍රාමිකයකු යළිත් සේවයට ගන්නේ නම් 2018 වසරේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් නිකුත් කළ චක්‍රලේඛයකට අනුව ඊට අනිවාර්යෙන්ම කැබිනට් අනුමැතිය ලබාගත යුතුය. එම අනුමැතියෙන් පසු ශානිගේ පත්වීමට පොලිස් කොමිසම ද අනුමැතිය දුන්නේය. එහෙත් මේ ඡන්ද කාලයකි. ඒ අනුව මැතිවරණ කොමිසමෙන් ඊට අනුමැතිය ඉල්ලා සිටින ලදි.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව මගින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් තමාරා ඩී. පෙරේරා වෙත යොමුකරන ලද ෑක්‍/ක්‍ඨ/ඡෑ/2024/08(01) දරන ලිපියේ මෙසේ දැක්වේ.

‘විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී.එස්.අබේසේකර මහතා ........ පත්කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාව ලබාදෙන බව කාරුණිකව දන්වමි.’


ගම්මන්පිලගේ රාජ්‍ය රහස්


මේ කතාවත් සමග පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වාර්තා ගැන අලුත් කතාවක් ද එළියට ආවේය. ඒ, උදය ගම්මන්පිලගේ කතාවත් සමග ය. ගම්මන්පිල පාස්කු වාර්තා යනුවෙන් මේ කියන්නේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා ගැන නොවේ. ආරංචියේ හැටියට මේ කියන්නේ චැනල් 4 නාලිකාවෙන් ප්‍රහාරය පිළිබඳව කරන ලද හෙළිදරව්ව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත්කළ කමිටුවේ වාර්තාවත්, ශානි අබේසේකර - රවී සෙනෙවිරත්න පිළිබඳ වාර්තාවත් ය. මේ වාර්තාවල රාජ්‍ය නිල රහස් පනත යටතට ගැනෙන කරුණු නැති නිසා ගම්මන්පිල උඩ පනිමින් සිටින බව ද වාර්තා වේ.

ප්‍රහාරය ගැන සමස්තය විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ නම් තවමත් එළියට නොදැමූ කොටස් බොහෝ ය. එහි ඇති බුද්ධි අංශ වාර්තා, ලිපි ලේඛන ය, රාජ්‍ය නිල රහස් පනත යටතට ගැනෙන්නේ. ආණ්ඩුවත් ගම්මන්පිලට නටන්නට දී තිබේ. ගම්මන්පිලත් නටමින් සිටී. කෙසේ වෙතත් මේ නැටුම් කොහෙන් කෙළවර වේ දැයි කියන්නට දන්නේ නැත.


ඇලෝෂියස් සතිය ඇරඹේ


ආන්දෝලනාත්මක බැඳූම්කර ගනුදෙනුවට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ අර්ජුන් ඇලෝෂියස් මේ වන විට සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේ ය. බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ඔහු අධිකරණයෙන් වැරදිකරු කෙරිණි. ගැටලුව ඇත්තේ ඇලෝෂියස්ගේ සිය-දහස් ගණනක් මිතුරන් අතරින් කිසිවකු ඔහු බලන්නට මුල් දින කිහිපයේ බන්ධනාගාරයට නොයෑමයි. පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ එවැනි මිතුරන් කිහිපදෙනකු ඔහු බලන්නට ගොස් තිබුණත්, කවුරුත් බලාපොරොත්තු වූ දේශපාලන මිතුරන් ඒ අතරත් සිටියේ නැත.

මේ ගැන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සමීපතමයකු වන මලික් සමරවික්‍රම මිතුරන් පිරිසක් සමග කතා කර ඇත. ඒ සාකච්ඡාවට අනුව නම් ලබන සතියේ ඇලෝෂියස් බලන්නට දේශපාලන මිතුරන් පෝලිමක් යෑමට නියමිත ය. ඔළුවත් බේරාගෙන, ඇඟත් බේරාගෙන වැඩේ කරන්නේ කෙසේ ද යන්න ය, ඔවුන් සාකච්ඡා කර ඇත්තේ. සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු ද පවසා ඇත්තේ ‘බලන්න නම් යන්න ඕනෙ, ඒත් මේ වෙලාවෙ බෑ’ යනුවෙනි. 

මේ අතර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ඉහළ නිලධාරියකුට පසුගිය සතියේ දුරකතන ඇමතුමක් ලැබිණි. ඔහු නීතිඥවරයෙකි. දුරකතන ඇමතුම ආවේ ද රජයේ විශ්‍රාමලත් බැංකු නිලධාරියකුගෙන් ය. ඔහු ද ජ්‍යෙෂ්ඨයෙකි. එම දුරකතන ඇමතුමෙන් විමසා තිබුණේ ආන්දෝලනාත්මක බැඳූම්කර ගනුදෙනුවට අදාළ විමර්ශනවල ඉදිරි තත්ත්වය සම්බන්ධයෙන් ය. ඇලෝෂියස්ට ගසා තිබෙන්නේ වෙනත් ගලකි. ඒ බදු පැහැර හැරීම් පිළිබඳ ගලකි. එහෙත් බැඳූම්කර වැඩෙත් පත්තු වී තිබෙන බවක් මේ වැඩවලින් පෙනෙන්නට තිබේ. මීට තවත් ආසන්න හේතුවක් ද ඇත. ඒ, විමර්ශනවල ප්‍රගතියක් නැති සිදුවීම් කිහිපයක් තෝරාගෙන එම විමර්ශන කඩිනම් කිරීම පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩ බලන පොලිස්පතිවරයාට දුන් උපදෙසයි. එහි බැඳූම්කර ගනුදෙනුව ද ඇත.


‘රාහුල්ගෙන් ඉගෙනගන්න’


නාමල් රාජපක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට පසුගිය සතියේ තරුණයන් පිරිසකගෙන් අපූරු උපදෙසක් ලැබී තිබේ. ඒ, ඇඳූම ගැනයි. 

‘අනුර කුමාර ව මාර්කට් කරන්න ඒගොල්ලො කරපු එක වැඩක් තමයි, ඇඳූම මාර්කට් කරන එක. අපිට බැරිද ඒක ගැන හිතන්න.’

ඔවුන්ගේ යෝජනාව වී තිබුණේ නාමල් ද මහින්ද රාජපක්ෂගේ ඇඳූමෙන් ඉවත් විය යුතු බවකි. එහෙත් මෙහිදී නාමල් කර තිබුණේ බුද්ධිමත් වැඩකි. ඔහු කිසිවක් නොකියා මේ කතාවට සිනහවකින් පිළිතුරු දී ඇත. සාමාන්‍යයෙන් මෙසේ තමන්ගේ ඇතුළේ උත්තරයක් තිබියදී සිනහවකින් පිළිතුරු දීමේ ක්‍රමයට ප්‍රසිද්ධ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහයි. නාමල් ද දැන් ඒ පාරේ යයි. 

කොහොමත් දේශපාලන විචාරකයන් මේ දිනවල කියන ප්‍රසිද්ධ කතාවක් තිබේ. ඒ නාමල්ගේ කතා ශෛලිය දියුණු වී ඇති බවයි. ඔහු හොඳට කතාකරන්නට පටන්ගෙන ඇති බවයි. ජනාධිපතිවරණයේදී සියයට තුනක ඡන්ද ප්‍රතිශතයකට වැටුණු නාමල් රාජපක්ෂට පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්නට හැකිවෙයිද කියන්නට දන්නේ නැත. කොහොම වුණත් ඔහු තරුණයන් අතරට යෑමේ අලුත් උපක්‍රම සොයමින් සිටී. එම නිසා ඊළඟ සතිවලදී නාමල් අලුත් - වෙනස් ඇඳූමකින් කරළියට එන්නට ද ඉඩ ඇත.

මෙහි හොඳම උදාහරණය ඇත්තේ ලංකාවේ නොවේ. ඉන්දියාවේ ය. ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂය සිටියේ හතරගාතෙන් වැටිලා ය. එහි වර්තමාන නායක රාහුල් ගාන්ධි ආකර්ෂණීය චරිතයක් ලෙස ජනතාව පිළිගත්තේ නැත. ටික කලක් පේන්නට නැතුව සිටි රාහුල්, එක්වරම ජනතාව අතරට ආවේ කොණ්ඩයේ, රැවුලේ වෙනස් හැඩයක් සහිත ව, අලුත් ම තාලයකට ය. ජනතාව ඔහුව පිළිගත්තා පමණක් නොව ඔහු වටේ එක්වන්නට ද විය.

එතැනින් පටන් ගත් රාහුල්ගේ ගමන දැනට නැවතී ඇත්තේ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ඇඟ හිරිවට්ටවා ය. මෝදි ආණ්ඩුව හිතුවේ ලේසි-පහසු මැතිවරණ ජයග්‍රහණයකි. එහෙත් ඔවුන්ට ලැබුණේ යාන්තම් ජයග්‍රහණයකි. තවත් එක් ප්‍රාන්ත දේශපාලන පක්ෂයක් මෝදිගෙන් ගලවාගැනීමට රාහුල් සමත් වූයේ නම්, මෝදි ගෙදර ය. රාහුල් අගමැති ය. ඇඳූමෙන් ඇති වැඩක් නෑ කිව්වාට කැම්පේන් හෙවත් ප්‍රචාරක උපක්‍රමවලදී ඇඳූමට ලැබෙන්නේ මුල් තැනකි.


සජබ මහන්සි වී වැඩ කරයි


මේ දිනවල වැඩියෙන්ම වැඩ තියෙන්නේ සමගි ජන බලවේගයටයි. ඒ බලය ගන්නා වැඩේටත් වඩා, අපේක්ෂකයන් අතර ඇති රණ්ඩු බේරීමේ වැඩයි. මෙහි පළමු ගල ගැහුවේ ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න ය. දමිතා කිව්වේ හේෂා විතානගේ තමන් ව ලැයිස්තුවෙන් කැපූ බවයි. ඉන්පසු මෙවැනි පැමිණිලි රැසක් ආවේය.

රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයන්ට සිදු වූයේ අපේක්ෂකයන් ෂේප් කරගන්නවාටත් වඩා, මේවා මාධ්‍ය මගින් එළියට යෑම වළක්වා ගැනීම වෙනුවෙන් වැඩි කිරීමට ය. ඔවුන් ඒ වැඩේ වෙනුවෙන් දිවා-රෑ වෙහෙසුණේ මාධ්‍යවේදීන්ට, මාධ්‍ය ආයතන හිමිකරුවන්ට අමතමිනි. හිරුණිකාගේ මාධ්‍ය හමුවෙන් පසු වැඩේ තරමක් යට ගියේ එහි ප්‍රතිඵලයක් ලෙස යැයි කියැවේ. කෙසේ වෙතත් මේවාගේ ප්‍රතිඵල පාර්ලිමේන්තු මැතිවරණයේදී බලාගත හැකිය. 

අනෙක් අතට සමගි ජන බලවේගයේ තවත් අලුත් රැල්ලක් ද තිබේ. ඒ පැරණි සහ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ට වඩා නවක පිරිස් වේගයෙන් ඉදිරියට පැමිණීමයි. අම්පාර දිස්ත්‍රික්කයේ, මහනුවර දිස්ත්‍රික්කයේ, අනුරාධපුරයේ මේ ප්‍රවණතාව කැපී පෙනේ.

No comments:

Post a Comment