එක්සත් ජාතීන් සහ ලෝක බැංකුව සමග
ජාජබ කළ රහස් සාකච්ඡාවල තොරතුරු එළියට !
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක බැංකුව සමග නිල නොවන සාකච්ඡා වටයක් ජාතික ජන බලවේගයට සමීප පාර්ශ්ව ආරම්භ කර තිබුණු බව කියන්නේ මීට සෑහෙන දවසකට පෙර ය. ඒ සාකච්ඡා නිල නොවන ඒවා කිව්වාට මේවාට සම්බන්ධ වී තිබුණේ නිල පාර්ශ්ව ය. ආරංචි විදිහට මේ එකදු සාකච්ඡාවක හෝ ඉලක්කය වී තිබුණේ සෘජු ව ආර්ථිකය ගොඩගැනීමක් නොවේ. ඊට වෙනස් එකකි.
ලංකාවෙන් පිට ගොඩගැසූ මුදල් නැවත ලංකාවට ගෙන ඒම මෙහි අරමුණ විය. එය පිළිවෙලකට කියන්නේ නම් සොරකම් කරන ලද වත්කම් නැවත අයකර ගැනීමට මුල පිරීම මේ සාකච්ඡාවලදී සිදු වී ඇත. දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියෙන් මෙහිදී වැඩ ගොඩක් ගත හැකිය. ලෝකයේ රටවල්වලින් අති බහුතරයක් අත්සන් කර ඇති එම සම්මුතියේ මූලික ම අරමුණක් වන්නේ වත්කම් ප්‍රතිසාධනය කිරීමයි. ඒ කියන්නේ වත්කම් නැවත අයකරගැනීම සහ දූෂණය වැලැක්වීමයි.
ඊළඟට අවධානය යොමුකර තිබුණේ මූල්‍ය ක්‍රියාකාරී කාර්යසාධක බලකාය වෙතයි. මේ බලකාය ගැන මෑතකදී ලෝකයේ අවධානය යොමු වූ කරුණක් වූයේ 2023 වසර මුලදී ඔවුන් රුසියාවේ සාමාජිකත්වය අත්හිටුවීම නිසයි. ඊට හේතු වූයේ ද මූල්‍ය ගනුදෙනු පිළිබඳ ප්‍රශ්නයකි.
මේ බලකාය ආරම්භ කරන ලද්දේ 1989 වසරේදී ය. ජී-7 රටවල දූෂණය වැලැක්වීම මේ බලකාය ආරම්භයේ ඉලක්කය විය. පසුව යුරෝපා කොමිසම සමග ද එය සම්බන්ධ විය. ඉන්පසු සාමාජික රටවල් විවෘත ආර්ථික සම්මුතියට අත්සන් කරන ලදි. ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ කළු සල්ලි ගනුදෙනු, ඒ සඳහා භාවිත කරන තාක්ෂණික ක්‍රම, ඒවා පාලනය කරන්නේ කෙසේද, ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ඒ සඳහා දැනුම හුවමාරු කරගන්නා ආකාරය යනාදී වශයෙන් වගකීම් රැසක් මේ බලකාය දරයි. 2001 වසරේ සිට ඔවුහු ත්‍රස්තවාදීන්ට අරමුදල සපයන ආකාර සහ ක්‍රම සම්බන්ධයෙන් ද ගවේෂණය කරති.
මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය, ලෝක බැංකුව යටතේ ඇති සොරකම් කරන ලද වත්කම් නැවත ලබාගැනීම සඳහා මුලපිරීමේ අංශය සමග ද කටයුතු කිරීම ජාතික ජන බලවේගය අරඹා තිබිණි. මේ සාකච්ඡා යන අතර ය, ඔවුන්ගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළදැක්වූයේ. එහි මේ සොරකම් කරන ලද වත්කම් අයකර ගැනීම පිළිබඳව පැහැදිලිව සඳහන් විය.
මොනවා වුණත් නීතියේ හිඩැස්
පාර්ලිමේන්තු මැතිවරණයත් සමග ආණ්ඩුවේ මූලික කටයුතු පිළිබඳව පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳ වැඩ අවධානයක් යොමුකර තිබිණි. එහිදී නීතිඥයන්ගේ පැත්තෙන් මතු කර තිබුණේ මේ සඳහා ලෝකයේ සහයෝගය ලබාගැනීම සම්බන්ධයෙන් දැනටමත් වැඩ ආරම්භ කර තිබුණත් බරපතළ ගැටලුවක් තවමත් ඉතිරි ව ඇති බවයි. එනම් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ප්‍රමාණවත් නීති ලංකාවේ නොමැතිවීමයි. එම නිසා කඩිනමින් එම නීති සකස් කිරීමේ වැදගත්කම අවධාරණය කර ඇත.
එහි වගකීම දරන්නේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර ය. එහි අනෙක් පැත්තේ වගකීම දරන්නේ මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල ය. ආනන්ද විජේපාල ගැනත් ලියන්නට දෙයක් තිබේ. ඔහු රැකියා ජීවිතය ආරම්භ කර ඇත්තේ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස ය. ටික කාලයකට පසු පුනරුත්ථාපන සේවයට එක්වී ඇති ඔහු, එහි අධ්‍යක්ෂ ජනරාල් ධුරය දක්වා ගොස් ඇත. ක්ෂේත්‍රයේ කියන්නේ මේ වැඩේට දෙන්නා තකට-තක කියා ය.
එෆ්සීඅයිඩියක් ඕනෙම නෑ
යහපාලන ආණ්ඩුව පැවැති 2015 - 2019 කාලයේ පැවැති පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය යළිත් බලාත්මක කරන්නේද යන්න පිළිබඳව ද ආණ්ඩුව ඇතුළේ සාකච්ඡාවක් ආරම්භ වී තිබේ. එහෙත් ආරංචිවල හැටියට එය නැවත පණගන්වන්නේ නැත. ඒ සම්බන්ධයෙන් පසුගිය කාලයේ සමාජයේ තිබුණේ ද එතරම් හොඳ අදහසක් නොවේ. එහි ප්‍රධානීන් ලෙස කටයුතු කළ පිරිස් මූල්‍ය අපරාධ විමර්ශනය පසෙක තබා, ඒවාට සම්බන්ධ සමාගම්වලින් අල්ලස් ලෙස විවිධ තනතුරු ගැනීම ගැන කොළඹ - කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට නිල වශයෙන් පවා තොරතුරු වාර්තා කෙරිණි. එම නිසා නැවත එෆ්සීඅයිඩිය පණගන්වනවාට වඩා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ වෙනම මේ විමර්ශන පවත්වාගෙන යෑම වඩාත් සුදුසු බව තීරණය කර ඇත.
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වන්නේ ද ඊට ගැළපෙන අයෙකි. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ව දීර්ඝ කාලයක් සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න ය. ආන්දෝලනයට තුඩු දුන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ද දැන් නැවත සේවයේ ය. ඒ, කැබිනට් මණ්ඩලයේ විශේෂ අනුමැතියකිනි. ඊට ජාතික පොලිස් කොමිෂන් සභාවේ ද අනුමැතිය ලැබී තිබේ. පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ සහ බුද්ධි දිසාවේ අධ්‍යක්ෂවරයා ලෙස දැන් සිටින්නේ ඔහු ය. පසුගිය සතියේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නව ඇමැතිවරයා වැඩ බාරගැනීමේ උත්සවයට මේ ශානි පැමිණ සිටියේ නිල ඇඳූමෙන් ය. එය සමාජයේ සෑහෙන කතාබහට ලක්වූ මාතෘකාවක් විය. සාමාන්‍යයෙන් ඔහු වැඩියෙන් සිටින්නේ සිවිල් ඇඳූමෙන් ය.
සිලින්ඩරය පුපුරා ගිය හැටි
අපරාධ විමර්ශනයට, සොරකම් කරන ලද වත්කම් නැවත අත්පත් කරගැනීමට, කෘෂිකර්මයට මූලිකත්වය දෙන්නට ආණ්ඩුව සැලසුම් කරන විට ජාතික ලැයිස්තු හොරකම් ගැන කතාවලින් මාධ්‍ය පිරීගියේය. ඒ, වැඩේට අත තබා තිබුණේ හිටපු ආන්දෝලනාත්මක ඇමැති රවී කරුණානායක ය. ආන්දෝලනාත්මක ඇමැති කියා ලිව්වේ ඔහු ගැන හැමදාම අලුත් පුවත් ඇති නිසා ය. බැඳූම්කර කොමිසමේදී දුරකතන පණිවුඩ කතාබහක් එළියට ආවේය. ඔහු එම පණිවුඩ යවා තිබුණේ ආර්කේ නමිනි.
ආරංචිවල හැටියට පසුගිය සතියේ මතුවූ සිලින්ඩරයේ ජාතික ලැයිස්තු ගැටලුව ගැන විමසූ අයට ද රවී පිළිතුරු යවා තිබුණේ ආර්කේ යනුවෙන් පණිවුඩය අවසානයේ සඳහන් කරමිනි. ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ ඡන්දය ඉල්ලූ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හෙවත් සිලින්ඩරයට පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර දෙකක් ලැබිණි. පෙරමුණේ කාටවත් නොකියා පක්ෂයේ ලේකම් මගින් රවී කරුණානායක තමන්ගේ නම මැතිවරණ කොමිසමට යවා තිබිණි. ඒ ගැන පක්ෂය ඇතුළෙන්, පිටින්, හැමතැනින්ම විවේචන ආවත්, මැතිවරණ කොමිසමෙන් රවීගේ නම ගැසට් කළේය. ඊට හේතුව බලය තියෙන්නේ ලේකම් අතේ වීම නිසා ය.
මේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකට කාංචන විජේසේකර සමග තවත් තරුණයෙක් යවන්නටත්, රනිල්ගේ යෝජනාවක් ලෙස සාගල රත්නායක සහ තවත් අයෙක් යවන්නටත් ආදී වශයෙන් සාකච්ඡා රැසක් විය. මේ අතර අසාද් සාලි කියන්නේ සිලින්ඩරයට ලැබුණු ඡන්දවලින් සැලකිය යුතු මට්ටමකට තමන්ගේ පක්ෂයේ මැදිහත්වීමත් ඇති බවයි. ඒත් ඔහු අපිව යවන්නැයි කියන්නේ නැත. අපෙන් හැමදේම අහන්නැයි කියයි.
සජබයේ ගැටුම උග්‍ර වෙයි
මේ ගැටලුව ඇති තවත් තැනකි, සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව. සමගි ජන බලවේගයට පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පහක් ලැබිණි. එයින් දැනට ගැසට් කර ඇත්තේ එකක් පමණි. ඒ, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගේ නමයි. ඒ නම ලේකම්වරයාගේ ම මැදිහත්වීමෙන් යවා තිබුණත්, ඊට පක්ෂය ඇතුළෙන් හෝ පිටින් හෝ විරෝධයක් පැමිණ නැත. ඊට හේතු වී තිබුණේ රංජිත්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය දෙන්නට මුල සිටම සියල්ලන් අතර පැවැති එකඟතාවකි.
එහෙත් දැන් ඉතිරි මන්ත්‍රී ධුර හතර ප්‍රශ්නයකි. කාන්තා නියෝජනයකට අවස්ථාවක් දෙන්නේ නම්, තමන්ට මන්ත්‍රී ධුරයක් අවශ්‍ය බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියයි. ඩලස් අලහප්පෙරුමගේ පැත්තෙන් ඒ මන්ත්‍රී ධුරයක් තමන්ට අවශ්‍ය බව කියයි. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයකු ලෙස ඡන්දයෙන් පත්වුවද, ඔහු ද කියන්නේ තමන්ගේ පැත්තටත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් අවශ්‍ය බවයි. මනෝ ගනේෂන් පාර්ශ්වය මුල සිටම කිව්වේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස තමන්ට පොරොන්දුවක් ලබාදී තිබූ බවයි. කොහොම වුණත් තවමත් තීරණය වැට උඩ ය. පසුගිය සති අන්තයේ වාර්තා වූයේ සජිත් ප්‍රේමදාස මෙහි දී නිශ්ක්‍රීය චරිතයක් ලෙස කටයුතු කරමින් සිටින බවයි.
දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය පැවැති පසුගිය 21 වැනිදාට පෙර දින දෙකේදී විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් ද යම් කතාබහක් මතු විය. සජිත් වෙනුවට කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්දයෙන් තේරීපත්වූ හර්ෂ ද සිල්වාට එම වගකීම පැවරිය යුතු යැයි යනුවෙන් යෝජනාවක් පැමිණ තිබිණි. එහෙත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් බහුතරයකගේ අදහස වී තිබුණේ සජිත් විපක්ෂ නායක ධුරයෙන් ඉවත් නොකළ යුතු බවයි. එසේ වුවහොත් එය ලබන වසර මුලදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයට විශාල බලපෑමක් වනු ඇතැයි ඔවුන් පෙන්වා දී ඇත. මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදී හර්ෂ ද සිල්වා ද පවසා ඇතැයි කියන්නේ තමන් කඩිමුඩියේ එම ධුරය බාරගැනීම ගැටලුවක් වනු ඇති බවයි.
අනෙක් ගැටලුව ඇත්තේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සම්බන්ධයෙන් ය. ඊට පත්කරන්නේ කවුද යන්න ද තවමත් සංවාදයකි. ඒ ගැටලුව ලිහාගන්නට බැරිවී ඇත්තේතේ සමගි ජන බලවේගයේ ඇති තරුණ - ජ්‍යෙෂ්ඨ ඝට්ටනය නිසා ය.
දකුණ මොකද, උතුරත් එහෙමයි
දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට ජනාධිපති නීතිඥ සුමන්තිරන්ගේ නම යෝජනා විය. පුරුදු නම දෙමළ ජාතික සන්ධානය වූවද, ඇත්තටම මෙවර ඔවුන් ඡන්දයට ආවේ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයෙනි. ජාතික ජන බලවේගය උතුරේ ජනතාවගේ කැමැත්ත දිනාගන්නට ඒකත් හේතුවක් විය. පසුගිය කාලය පුරා ම ඔවුහු දෙපැත්තට අදිමින් බලය වෙනුවෙන් ඇණකොටා ගත්හ. අවසානයේදී දෙමළ ජාතික සන්ධානය විසිරිණි.
ඉන්පසු ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ගැටලුවක් ආවේය. නායකත්වය පිළිබඳ නඩුවක් ද ආවේය. සුමන්තිරන් පරාජය විය. ශ්‍රීධරන් දිනුවේය. මේ ගැටුම් අස්සේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සුමන්තිරන්ට දීමේ යෝජනාව පැමිණ තිබුණේ යාපනයේ නීතිඥ ප්‍රජාවගෙන් ය. එම නීතිඥ ප්‍රජාවගෙන් මෙන්ම කොළඹ නීතිඥ ප්‍රජාව ද සුමන්තිරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිටිය යුතුය යන ස්ථාවරයේ විය.
එහෙත් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සංවිධායකවරුන් බහුතරයකගේ ස්ථාවරය එය නොවීය. ඔවුන්ට සුමන්තිරන් යනු දුරස් අයෙකි. තමන්ගේ නම යෝජනා වූ බව දැනගත් පසු මුලදී සුමන්තිරන් සිටියේ නිහඬ ස්ථාවරයක ය. එහෙත් පසුව පක්ෂය ඇතුළේ විරෝධයක් ඇති බව දැනගත් ඔහු, තමන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන්නට සූදානම් නැති බව ප්‍රසිද්ධියේ කිව්වේය. කෙසේ වෙතත් සියල්ලන්ම පිළිගන්නා ආකාරයට සුමන්තිරන් යනු පාර්ලිමේන්තුවේදී එක් නිශ්චිත එල්ලයක් ඔස්සේ කරුණු ගොනුකරමින් කතා කරන්නට දක්ෂයෙකි.
පොලිසිය ඇතුළේ තවත් පොලිසියක්
පොලිසිය පිළිබඳව මේ දිනවල ඇත්තේ තරමක් හොඳ නමකි. නීතිවිරෝධී වැඩ කළ බවට චෝදනා එල්ල වූ පොලිස් නිලධාරීන් 218 දෙනකුගේ වැඩ තහනම් කර තිබේ. වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය උපදෙස් දී ඇත්තේ නීතිය හරියට ක්‍රියාත්මක කරන ලෙසයි. කොච්චිකඩේ පොලිසියේ ස්ථානාධිපතිවරයා කොළඹ උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගත්තේ හිටපු ඇමැති නිමල් ලංසා වෙනුවෙන් මැතිවරණ නීති උල්ලංඝනය කරන්නැයි පොලිසියට උපදෙස් දුන් නිසා ය. එය ඇත්තටම උපදෙස් නොවේ. තර්ජනයකි. මේ පිළිබඳව තර්ජනයට ලක්වූ උප පොලිස් පරීක්ෂකවරයා මැතිවරණ කොමිසමටත්, පොලිසියේ මැතිවරණ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිටටත් පැමිණිලි කළේය.
හොඳම කතාව එය නොවේ. නිමල් ලංසා මේ පොලිස් ස්ථානාධිපතිවරයා ගැන සොයාබලාවත් නැති බවක් ආරංචි ය. ඒ ගැන ඔහුගේ මිතුරන් සිටින්නේ දැඩි කළකිරීමෙන් ය. ඒ මිතුරන් අතර ලංසාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයෙක් ද සිටී. ඔහු ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයෙන් ම ඉවත් වීමට ඉල්ලීමක් කර ඇත.
කියන්නට ආවේ එය නොවේ. පොලිසිය ඇතුළේ මේ සිදු වන දේ පිළිබඳව වෙනත් කතාවක් ද තිබේ. ඒ පොලිසියේ ම කොටසක් මීට එරෙහිව වැඩ කරමින් සිටින බව ය. ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ පොලිසිය තිබුණු ආකාරයෙන් ම පවත්වාගෙන යෑමයි. එහිදී චෝදනාවලට ලක්වන පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කෙරෙන්නේ නැත. ඔවුන් අත්අඩංගුවට ගැනෙන්නේ නැත. පසුගිය දවස් 28ට අත්තනෝමතික ලෙස වැඩ කළ පොලිස් නිලධාරීන් 15 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් කිහිපදෙනකු එක්ව මේ පිළිබඳ සාකච්ඡා කිහිපයක් පවත්වා තිබේ. ඒ සාකච්ඡාවලට විශේෂ උපදෙස් සපයා ඇතැයි කියන්නේ පසුගිය කාලයේ කතාබහට ලක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. හොඳම දේ කියන්නේ මේ ගැන හැරෙන තැපෑලෙන් වැඩ බලන පොලිස්පතිවරයාටත්, මහජන ආරක්ෂක අමාත්‍යංශයටත් ආරංචි වී තිබීමයි. තවත් කාරණයකි. ඒ පොලිසියටත්, නීතිපති දෙපාර්තමේන්තුවටත් අදාළ එකකි. පොලිසියෙන් විමර්ශන අවසන් කර, නීතිපති දෙපාර්තමේන්තුවට යවා තිබූ විමර්ශන ලිපිගොනු රැසකට අතවත් තියා නැති බව හෙළි වී තිබේ. ඒවාගේ ඇත්තේ අධිචෝදනා ගොනුකිරීමට පමණි.
හුදෙකලා නොවූ ජනප්‍රිය චරිත
පාර්ලිමේන්තු සභාවාරයෙන් පසු තේ සාදයේදී සියල්ලන්ගේ අවදානය යොමු වූයේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙත ය. ඔහු සියල්ලන් සමග සුහදව කටයුතු කළ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක ඔහුට සුබ පතන ආකාරය ද දැකිය හැකි විය. රෝහිත අබේගුණවර්ධන සහ චාමර සම්පත් දසනායක ද එදින තේ සාදයේ කතා නායකයෝ වූහ. ඊට හේතු වූයේ සමාජ මාධ්‍යයෙන් මතුවූ සංවාදයයි.
මෙහිදී ජාතික ජන බලවේගයේ බොහෝ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් ඔවුන් දෙදෙනා වෙත ගොස් කතා කරනු දැකිය හැකි විය. ඔවුන් දෙදෙනා මුලින් සිටියේ තරමක් හුදෙකලාව ය. ඉන්පසු වැඩියෙන්ම පිරිස සිටියේ ඔවුන් දෙදෙනා සිටි තැන ය. පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ කිරීමේ අවස්ථාව චාම් සහ අඩු වියදම් වැඩක් විය. තේ සාදය සුපුරුදු පරිදි පැවැති අතර, ඊට සියල්ලන්ම සහභාගි වීම ද විශේෂත්වයකි. මීට පෙර ඇතැම් අවස්ථාවලදී මේ තේ සාදය සමහර මන්ත්‍රීවරු මගහැරියහ.
No comments:
Post a Comment