චන්ද්‍රිකා - මහින්ද - රනිල් - මෛත්‍රී
අත ඉහළට ඔසවති !
අංක එක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කතා 03ක් තිබේ. මේ පළමුවැන්න ය.
දවස 1951 සැප්තැම්බර් 02දා ය. කොළඹ නගර ශාලාවේදී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක විසින් නව දේශපාලන පක්ෂයක් හැදුවේය. බණ්ඩාරනායකට සහාය පළකරමින් 44 දෙනෙකුගේ කණ්ඩායමක් එදින නගර ශාලාවට පැමිණ සිටියේය. එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. ශ්‍රී නිශ්ශංක විසින් මේ මංගල රැස්වීමේදී එම පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ප්‍රකාශයට පත්කළේය.
එවකට අගමැති ධුරය දැරුවේ ඩී.එස්. සේනානායක ය. ඔහු ගෝල්ෆේස්හිදී අශ්වයකු පිටින් වැටී හදිසියේ මියගියේය. මේ මරණයෙන් පසු හදිසි අගමැති වූයේ ඩී.එස්.ගේ පුත් ඩඩ්ලි සේනානායක ය. 1952 අප්‍රේල් 08දා ඩඩ්ලි පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. එනම් පක්ෂය පිහිටුවා මාස 07කින් පාර්ලිමේන්තු මැතිවරණයකට මුහුණදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදු විය. පළමු ඡන්දයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද 361,250ක් ගත්තේය. ආසන 09ක් දිනුවේය. 1956 පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ අපේක්ෂකයන් 60න් 51ක් ම දිනූහ.
1960 ජූලි 21 දින ලෝකයේ පළමු අගමැතිවරිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක නිර්මාණය කෙරුණේ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනි. ඒ සිය ස්වාමියා මියයෑමෙන් පසුව ය. 1994දී ඔහුගේ දියණිය චන්ද්‍රිකා බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් ලංකාවේ පළමු ජනාධිපතිවරිය බවට පත්වූවාය.
අංක දෙකේ වෙනස කුමක්ද?
මුලින් කී කතා තුනෙන් දෙවැන්න මෙසේ ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භය සිදුවන්නේ තීරණාත්මක මතවාදයක් මූලික කරගෙන ය. ඒ, නිදහසෙන් පසු එක්සත් ජාතික පක්ෂය දේශීය කෝණයෙන් රටේ ප්‍රශ්න දෙස නොබැලුවේය යන මතවාදයයි. 70-77 කාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩි අනන්‍යතාවක් ගොඩනගාගත්තේ සමාජවාදී කඳවුරට බර දේශීය ආර්ථිකයක් යන තේමාව හරහා ය.
එහෙත් 1994දී චන්ද්‍රිකා බණ්ඩාරනායක බලයට ආවේ ඊට වඩා හාත්පසින්ම වෙනස් සන්දර්භයක් තුළ ය. චන්ද්‍රිකා එහිදී කිව්වේ විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් යනුවෙනි. එනම් මිශ්‍ර ආර්ථික ක්‍රමයකට වඩා ධනවාදී ආර්ථික ක්‍රමය ඒ ආකාරයෙන් ම පිළිගැනීමකි. මේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවත්වාගත් අනන්‍යතාවට හානි සිදු විය. ජාතික ගැටළුව සම්බන්ධයෙන් ද ශ්‍රී ලනිපය පවත්වාගෙන ආ ස්ථාවරය සාම තවලම, සුදු නෙළුම් ව්‍යාපාරය වැනි සංවිධාන මගින් වෙනසකට ලක්කෙරිණි.
තුන්වැනි ගමනේ අවසානය කොතැනද?
මේ තුන්වැන්න ය. තුන්වැන්නේදී යළිත් කතා නායක භූමිකාවට චන්ද්‍රිකා බණ්ඩාරනායක පැමිණ සිටී. මේ තුන්වැනි කොටසේදී ශ්‍රී ලනිපයට නව තනතුරක් නිර්මාණය වීමට නියමිත ය. ඒ සභාපතිවරයා සිටියදී පක්ෂ නායක තනතුරකි. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කණ්ඩායමක් කියන්නේ ඒ නායක තනතුරට එන්නේ චන්ද්‍රිකා බවයි. සභාපති තනතුර දිගටම නිමල් සිරිපාල ද සිල්වා අතේ තියෙන බවයි.
නිමල් සිරිපාල ද සිල්වා යනු දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ය. පසුගිය 08දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති රැස්වීමේදී ය, ඒ පත්කිරීම සිදුවූයේ. ඒ අනුව දැන් ශ්‍රීලනිපය හරියටම කොටස් දෙකකි. ඒ, මෛත්‍රිපාල සිරිසේනට පක්ෂ පිළ සහ විපක්ෂ පිළ යනුවෙනි. එහෙත් මේ චන්ද්‍රිකාලාගේ කණ්ඩායම බලාපොරොත්තු වූ තත්ත්වයක් නොවේ. චන්ද්‍රිකාලාගේ කණ්ඩායම මෛත්‍රිපාලට ඔටුන්න දැමුවේ නූල් ටික අතේ තියාගෙන ය. ඒත් මෛත්‍රිපාල නූල් කඩාගත්තේය. වෙනස තිබෙන්නේ නූල් කඩාගත් පසු රැකෙන්නට හෝ පයගසන්නට පොළොවක් මෛත්‍රිපාලට නොතිබීමත්, චන්ද්‍රිකාලා පක්ෂය අතහැරියා වගේ පෙන්නුවාට නූල් ටික හරියටම අතේ ගුලි කරගෙන සිටීමත් ය.
නිමල් සිරිපාල ද සිල්වා වැඩ බලන සභාපති වූ පදනම් ආයතන රැස්වීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක ද සහභාගි වූවාය. ඒ නිරීක්ෂණයට බව කියමින් ය. පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක කිව්වේ චන්ද්‍රිකාට මේක ගැන බලන්නට වගකීමක් තියෙනවා වගේ කතාවකි.
‘පක්ෂයේ දේශපාලන මණ්ඩලයට ව්‍යවස්ථානුකූලව බලය තියෙනවා මේ වගේ අවස්ථාවක වැඩකරන්න. එච්චරයි.’
එළියට එන හඬවල අයිතිකරුවෝ
දුමින්ද දිසානායකගේ මේ ස්වරයේ ඇත්තේ ද මුලින් චන්ද්‍රිකාට වගකීමක් තියෙනවා කිව්වා වගේ ම හැඟීමකි. එනම් මේ අනුරාධපුරයේ බර්ටි ප්‍රේමලාල් දිසානායකගේ පුතාගේ කතාවකි. ඒ කියන්නේ චන්ද්‍රිකාගේ සමීපතමයකුගේ හඬකි.
මෛත්‍රිපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය දැරීම වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳූන් විතාන පසුගිය 04දා වාරණ නියෝගයක් නිකුත් කළේය. ඒ වාරණයට හේතු වූ පැමිණිල්ල කර තිබුණේ ද චන්ද්‍රිකා ය. මේ අතර මෛත්‍රිපාල සිරිසේන විසින් මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක පක්ෂයෙන් නෙරපීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීම ද කොළඹ දිසා අධිකරණයෙන් වාරණය කෙරිණි. මේ තුන්දෙනා යනු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පැත්තේ සිටින තුන්දෙනෙකි. එනම් දැනටමත් ආණ්ඩුව නියෝජනය කරන්නන් ය.
කෙසේ වෙතත් මේ ආකාරයෙන් කටයුතු සිදු වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් ධුරය දරන දුෂ්මන්ත මිත්‍රපාල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ නිමල් සිරිපාල ද සිල්වා වැඩ බලන සභාපති ධුරයට පත්කළ රැස්වීම නීතිවිරෝධී බවයි. ඉදිරියටත් පක්ෂයේ සභාපතිවරයා මෛත්‍රිපාල සිරිසේන ම බව එහි දැක්විණි. ඒ අතර තවත් ක්‍රියාවලියක් සඳහා සැලසුම් කෙරිණි. ඒ, මේ තීරණවලට එරෙහිව මෛත්‍රිපාල සිරිසේනගේ පැත්තෙන් නඩු දැමීම ය.
සාකච්ඡාව අත්හැර මෛත්‍රී යයි
මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා ඇතුළු පිරිසක් මුණගැසීමට මෛත්‍රිපාල සිරිසේන සැලසුම් කර තිබුණද, ඔහු තායිලන්තයේ යන තුරු ම එම හමුව සිදුනොවීය. හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට ඇප ලබාගැනීමේ සටනේ ඉදිරිපෙළ නියමුවෙකි, ෆායිස් මුස්තාපා. ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් කෙහෙළියට එරෙහි නඩුව වෙනුවෙන් පෙනීසිටින්නේ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න ය. ඇප ඉල්ලීම මුස්තාපාට ලබාදී තිබුණේ මහින්ද රාජපක්ෂ සෘජුව මැදිහත් වී බව ද පැවසේ.
මේ අතර නිමල් සිරිපාල ද සිල්වාට සම තනතුරක් දරන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ද මේ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේය. ඔහු ද පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකි. ඔහු කියන්නේ නිමල් සිරිපාල ද සිල්වාගේ වැඩ බලන සභාපති ධුරය නීත්‍යනුකූල නොවන බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයට සාමාජිකයන් 15 දෙනෙකු සිටින බවත්, එහි තීරණ ගැනීම සඳහා අවම වශයෙන් සාමාජිකයන් 8ක් හෝ 9ක් හෝ සිටිය යුතු බවත් ඔහු පවසයි. මේ යෝජනා සම්මත කිරීම සඳහා සහභාගි වී ඇත්තේ පහක් හෝ හයක් පමණයි යනුවෙන් ද ඔහු කියයි. මේ රැස්වීමට 20කට ආසන්න පිරිසක් සහභාගි වී තිබේ. එහෙත් ඒ අතර වැඩියෙන්ම සිට ඇත්තේ චන්ද්‍රිකා වැනි නිරීක්ෂකයන් බව ද වාර්තා වේ. වැඩිදුරටත් වාර්තා වන ආකාරයට කොහොමත් මේ දේශපාලන මණ්ඩල රැස්වීමට මීට පෙරත් සක්‍රීය ව සහභාගි වී ඇත්තේ සාමාජිකයන් 11ක් පමණි. ඒ අතරින් 6 දෙනෙකු පමණක් මේ රැස්වීමට සහභාගි වී තිබේ.
රෝහණ ලක්ෂ්මන් පියදාස මෙතෙක් කලක් නිහඬව සිට කියන තවත් වැදගත් කරුණක් තිබේ. එනම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මන්දිරයෙන් පිටත් වී ත්‍රීකුණාමලය බලා පිටත් වූ 2022 ජූලි 09ට දිනකට පෙර කරන ලද වැදගත් යෝජනාවක් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් වැඩ කළ කණ්ඩායම් නිසා ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවයි. යෝජනාව වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පිරිස වහාම එවකට දැරූ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ඇමැති ධුරවලින් ඉවත් වීම ය. එහෙත් ඊට ඒ පිරිස එකඟ නොවූ බව ද ඔහු පවසයි. කෙසේ වෙතත් කතාව ඇත්ත නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉහළට ඒමට තිබූ ස්වර්ණමය අවස්ථාවක් නැතිකරගෙන තිබේ.
පැති දෙකෙන් ම, එනම් මෛත්‍රිපාල සිරිසේනට පක්ෂ දුෂ්මන්ත මිත්‍රපාලලාගේ පැත්තෙන් සහ විපක්ෂ දුමින්ද දිසානායකලාගේ පැත්තෙන් දෙපිරිස ම තම-තමන් සතු ලිපිලේඛන - නිකුත් කළ නිවේදන මැතිවරණ කොමිසමට බාර දී තිබේ. කොමිසම මේ ගැන සාකච්ඡා කිරීමට 18දා රැස්වීමට නියමිත ය. ශ්‍රී ලනිපයේ ඇතුළ මෙසේ ගිනියම්ව තිබියදී මෛත්‍රිපාල සිරිසේන සිය පවුලේ සාමාජිකයන් ඇතුළු 9දෙනෙකු සමග තායිලන්තයේ බැංකොක් බලා පිටත්ව ගියේ සිංහල-දෙමළ අලුත් අවුරුද්ද එහි සිට සැමරීමට ය.
එහෙත් තවත් වැදගත් කරුණක් තිබේ. බොහෝ විට ගැටළුවක් මතු වූ විට තායිලන්තයට යෑමේ පුරුද්දක් මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට ඇත. එහිදී ඔහු මෙවර අවුරුදු සැමරුමට අමතරව සමීප පිරිසක් මුණගැසීමට නියමිත බවක් ද වාර්තා වේ. කොහොමත් තවම එළි වුණේ නැත. හොඳ හොඳ සෙල්ලම් ඇත්තේ එළිවෙන ජාමෙට ය.
මහින්දට වගකීම් පැවරීම සහ මහින්ද වගකීම ගැනීම
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය 09දා රැස්වූයේ එහි නායක මහින්ද රාජපක්ෂගේ විජේරාම මාවතේ පිහිටි නිවසේදී ය. මේ මණ්ඩලය යළිත් 11දා ද රැස්වීමට නියමිතව තිබිණි. බැසිල් රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ අතර පසුගිය 04දා පැවැති තීරණාත්මක රැස්වීමේ තීරණ පක්ෂයට දැනුම් දීමත්, පක්ෂයේ විනය මණ්ඩලය බලගැන්වීමත් මේ රැස්වීම් දෙකේ අරමුණ විය. ඉදිරි මැතිවරණ පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් බැසිල්-රනිල් අතර සාකච්ඡා කිහිපයක් පවත්වා තිබිණි.
එහෙත් පසුගිය 04දා පැවැති සාකච්ඡාව බැසිල්ගේ පැත්තට දැඩි අවාසිසහගත ලෙස අවසන් වූ බවක් ද වාර්තා වේ. එනම් රනිල් දිගටම පවසා ඇතැයි කියවෙන්නේ අයිඑම්එෆ් වැඩසටහනට බාධා නොවන කිසිවක් නොකරන බවයි. එම නිසා මැතිවරණ තියන්නට සිදුවන්නේ අගෝස්තු මාසයෙන් පසුව ය. අගෝස්තු මාසයෙන් පසුව කියන්නේ ජනාධිපතිවරණය පමණි. මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය එක ම දවසේ තැබීමේ හැකියාව සම්බන්ධයෙන් ද සලකා බැලිණි. එහෙත් මැතිවරණ කොමිසමට අනුව එවැන්නක් සිදුකිරීමේ කිසිදු හැකියාවක් දැනට නැත. බැසිල් පක්ෂයේ ආසන සංවිධායකවරුන් හමුවූ අවස්ථා දෙකකදී පවසා තිබුණේ ඉදිරියට එන මැතිවරණය කුමක්දැයි නිශ්චිතව පැවසිය නොහැකි බවයි. එම නිසා ඕනෑම මැතිවරණයකට සූදානම් විය යුතු බව ඔහු කියා තිබිණි. ඒ කියන්නේ බැසිල්ගේ ඔළුවේ වැඩ දෙකක් වැඩ කළේය.
කෙසේ වෙතත් පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලයේදී ඉදිරි ජනාධිපතිවරණය ගැන වැඩි අවධානය යොමුකර තිබිණි. දේශපාලන මණ්ඩලය ඒකමතිකව මීට අදාළ සියලු තීරණ ප්‍රකාශයට පත්කිරීමේ බලය මහින්ද රාජපක්ෂට පවරා තිබේ. එසේම පක්ෂයේ පොදු මතයට පිටින් ප්‍රකාශ නිකුත් කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත. එහිදී උදාහරණයකට ගෙන ඇත්තේ හිටපු ඇමැති ප්‍රසන්න රණවීර විසින් බියගම රොණායා රෙසිඩන්ස් හෝටලයේදී රනිල් වික්‍රමසිංහ මීළඟ ජනාධිපති කළ යුතුය යනුවෙන් කළ ප්‍රකාශයයි. එහෙත් ඇත්තටම වඩාත් බලපෑම් සහගත වී ඇත්තේ ප්‍රසන්න රණවීරගේ ප්‍රකාශයට වඩා ප්‍රසන්න රණතුංගගේ රනිල් වෙනුවෙන් පෙනීසිටීම ය. ප්‍රසන්න රණතුංගගේ මේ පෙනීසිටීමට නාමල් රාජපක්ෂ ප්‍රසිද්ධියේත්, අප්‍රසිද්ධියේත් දිගටම පහරදෙමින් සිටී. ඔහු තංගල්ලේදී කිව්වේ අපේ ඡන්ද ලක්ෂ 69ම මහින්ද රාජපක්ෂගේ ඡන්ද බව මතක තබාගෙන වැඩ කළ යුතු බවකි.
පොදුජන පෙරමුණු දේශපාලන මණ්ඩල රැස්වීමේ සිදු වූ තවත් විශේෂ සිද්ධියකි, ප්‍රසන්න රණතුංග රැස්වීම ආරම්භ වී ටික වේලාවකින් එයින් පිටවී යෑම. ඔහු මහින්ද රාජපක්ෂට පවසා තිබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රැස්වීමක් සඳහා යා යුතුව ඇති බවයි. රනිල් වික්‍රමසිංහ විසින් මැතිවරණ සැලසුම් සඳහා පත්කරන ලද කමිටුවේ ප්‍රසන්න ද සාමාජිකයෙකි. මේ අතර මහනුවරදී රනිල්ගේ ප්‍රධානත්වයෙන් පැවැති පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන හිටපු මන්ත්‍රීවරුන්ගේ හමුවකට විශේෂ පිරිසක් ද එක්වී සිටියහ. ඒ, නාමල් රාජපක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකත්වයට නම් කළ යුතු බව කී මාතලේ කණ්ඩායමේ සැලකිය යුතු පිරිසකි. මේ සියල්ල අතර සිරිත් පරිදි සිදුකරන සිංහල-දෙමළ අලුත් අවුරුද්දට මහින්ද රාජපක්ෂ සිටින නිවසට නෑගම් යෑම සංවිධානය කරනු ලබන්නේ ද ප්‍රසන්න රණතුංගම ය.
අලුතින් මොනවද කියන්නෙ - රනිල්
තවත් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු මේ වන විට කළඑළි බැස සිටී. ඒ අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ ය. ඇමැතිවරයාගේ නීතිඥ ජීවිතයට වසර 40ක් පිරීම නිමිත්තෙන් කොළඹ, හිල්ටන් හෝටලයේ පැවැති සාදයට සහභාගි වූ පිරිස පිළිබඳ විශ්ලේෂණයක් කරන්නකුට නම්, ඔහු ජනාධිපති ධුර අපේකෂකත්වයට නුසුදුසු ඇයි යන මාතෘකාව යටතේ තර්ක වුවද කළ හැකිය. ජනාධිපතිවරයාගේ සිට රාජ්‍ය තාන්ත්‍රිකයන්, වෘත්තිකයන් ඇතුළු විවිධ කණ්ඩායම් රැසක් එහි විය.
ජනාධිපතිවරයා සාදයට සහභාගි වන විට මුලින්ම දුටුවේ අසුනක වාඩි වී සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ය. ‘දැන් මෙතුමා මොනවද අලුතින් කියන්නෙ කියලා මිනිස්සු බලාගෙන ඉන්නෙ’ යනුවෙන් පැවසූ රනිල්, හිටපු ජනාධිපතිවරයාට ළංවී තවත් යමක් කියා ඇතුළට ගියේය. හිටපු ජනාධිපතිවරයා විසින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය අතහැරෙන බවක් පෙනෙන්නට තිබුණද, ලබන 24, 25, 26 දින තුනේදී පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ප්‍රහාරය පිළිබඳ විශේෂ විවාදයේදී එය යළිත් අලුත් වීමට නියමිත ය. මේ අතර හිටපු ජනාධිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ ගැන ලබාදුන් ප්‍රකාශය පිළිබඳ අධ්‍යයන වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුව මගින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වෙත බාරදීමට ද නියමිත ය. ඒ අවුරුදු නිවාඩුවෙන් පසුව ය.
රනිල් සිග්නල් දෙයි
අනුරාධපුර, කූඹිච්චන්කුලම වැව් තාවුල්ලේ මනූෂ නානායක්කාර විසින් සංවිධානය කර තිබූ තරුණ හමුවට ජනාධිපති රනිල් සහභාගි වුණේ දුමින්ද දිසානායක ද සමග ය. එය රනිල් අනුරාධපුරයට ලබාදුන් සංඥාවක් බව ද පෙනෙන්නට තිබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ දිනවල තීරණාත්මක භූමිකාවක සිටින දුමින්ද, රනිල්ගේ ආණ්ඩුවේ ඇමැති ධුරයක් දරන එක එකකි. රනිල් සමග ඉදිරි ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලට සහභාගි වන එක වෙනම එකකි.
මේ සතියේ එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුවට රනිල් වැදගත් උපදෙසක් දුන්නේය. ඒ, අවුරුද්ද හොඳීන් සමරන ලෙසයි. අවුරුද්දෙන් පසු හුස්ම ගන්නට හෝ වේලාවක් නොමැති වනු ඇතැයි ද රනිල් කිව්වේය. අවුරුද්දෙන් පසු සාර්ථක මැයි දින රැස්වීමක් වෙනුවෙන් වෙහෙසිය යුතු බවත්, ඉන්පසු මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්නොහැර කරගෙන යා යුතු බවත් රනිල් මෙහිදී කිව්වේය. මැයි දිනයට රට වටෙන්ම 60,000ක් ජනතාව ගෙනඒමේ පක්ෂයේ ඉලක්කය පිළිබඳව ද මෙහිදී අවධානය යොමුකෙරුණු අතර, කොළඹට සහ කළුතරට එහි වැඩි ම බර පැටවිණි. මේ සාකච්ඡා සියල්ලෙන් පසු රනිල් නුවරඑළි යෑමට සූදානම් වූයේ අවුරුද්දට එහි සිටීම සැලසුම් වූ නිසා ය.
සජිත් - අනුර විවාදයට අලුතින් සැලසුම් හැදෙයි
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර විවාදය පවත්වන්නේ කවදාද යන්න මේ අලුත් අවුරුද්දේ ජනතාව අතර වැඩියෙන්ම කතාබහ වන ප්‍රශ්නය වන්නට ඉඩ තිබේ. රනිල්ගේ පැත්තෙන් මේ විවාදය කඩිනමින් පවත්වාගන්නට උත්සාහ දරයි. සජිත්ගේ පැත්තෙන් සහ අනුරගේ පැත්තෙන් මෙතෙක් නිශ්චිත පිළිතුරු දී නැතත්, අවුරුදු දින කිහිපයෙන් පසු විවාද වටයක් සඳහා සහභාගි වීමට ජාතික ජන බලවේගය සැලසුම් සකස් කරමින් සිටී.
ඔවුන් සැලසුම් කරමින් සිටින්නේ විෂයයන් මූලික කරගෙන මේ විවාද වටය පැවැත්වීමට ය. ඒ සඳහා ඕනෑම අයෙකුට සහභාගි වීමට විවෘත ව ආරාධනා කිරීමට ද නියමිත ය. මේ එක්-එක් විෂයයන් සඳහා ජාතික ජන බලවේගය පැත්තෙන් සහභාගි වන්නේ කවුද යන්නද ඔවුන් ප්‍රසිද්ධ කිරීමට නියමිත ය. මෙහිදී ඔවුන්ගේ තේමාව වී ඇත්තේ මඩ වෙනුවට කරුණු යන්න ය.
සජබෙන් පාස්කු ප්‍රහාර සැසියක්
සමගි ජන බලවේගය අවුරුදුවලින් පසු පක්ෂයේ තීරණාත්මක කාර්යය ලෙස යොදාගෙන ඇත්තේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට සක්‍රීයව සහභාගි වීමයි. මෙහිදී කතාකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට විශේෂ පුහුණු සැසියක් ද පැවැත්වීමට නියමිත ය. ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥයන්, ක්‍රියාකාරිකයන් ඇතුළු විශාල පිරිසකට ද ආරාධනා කර ඇත.
මේ සියල්ල අතර ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවාන් සහ ලංකාවේ ජාතික ආරක්ෂක උපදේශක ලෙස හඳූන්වන සාගල රත්නායක අතර විශේෂ දුරකතන සංවාදයක් පැවැති බව ඇමෙරිකානු වයිට් හවුස් වෙබ්අඩවියේ නිවේදන තීරුවේ සඳහන් කර ඇත. එහි දැක්වෙන්නේ ලංකාවේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඇමරිකාව නිරන්තරයෙන් සහයෝගය ලබාදෙන බවයි. කලාපයේ ආරක්ෂාව සහ සාමූහික ක්‍රියාකාරකම් වෙනුවෙන් ලංකාවේ මැදිහත්වීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුකර තිබේ. කෙසේ වෙතත් මෙහිදී ඉන්දීය සාගරයේ පර්යේෂණ කටයුතු සඳහා පැමිණි චීන නෞකා හතර පිළිබඳ විශේෂයෙන් සාකච්ඡා කර ඇති බව ද වාර්තා වේ. එහෙත් ඒ පිළිබඳ ඛිසිවක් වයිට් හවුස් වෙබ්අඩවියේ නැත.
No comments:
Post a Comment