නාඩි අල්ලන අඩව් මැද්දේ
ඔළු වෙනස් කරන මෙහෙයුම්
ජනාධිපතිවරණයට හරියටම සති තුනක් තිබියදී විවිධ තලවල ප්‍රචාරක ව්‍යාපෘති සිදුවනු පෙනේ. විවිධ තලවල කුමන්ත්‍රණ සිදුවනු පෙනේ. විවිධ තලවල නාඩි ඇල්ලීම් සිදුවනු පෙනේ. විවිධ තල ඔස්සේ ජනතාවගේ ඔළු වෙනස් කරනු පෙනේ.
මේ එන්නේ රටේ රාජ්‍ය නායකයා කවුද යන්න තීරණය කරන මැතිවරණයයි. එවැනි මැතිවරණයක් දෙස ලංකාවේ ජනතාවටත් වඩා කලාපයේ රටවල් බලාගෙන සිටී. 2015 ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ගැන හරියටම අනාවැකි පළකර තිබුණේ ඉන්දියාවයි. 2019 ජනාධිපතිවරණයට පෙර පැවැති ඉන්දීය මහ මැතිවරණයෙන් මෝදි දිනුවේය. මෝදිගෙන් පසු එන්නේ ගෝඨාභය බවට ඒ මොහොතේ අලුතින් අනාවැකි කියන්නට දෙයක් තිබුණේ නැත.
මේ වෙලාවේ වෙන කවදාවත් නොතිබුණු තත්ත්වයක් තිබේ. ඒ, අපේක්ෂකයන් සිව්දෙනෙකුගේ දැනෙන වැඩ රට පුරා සිදුවීමයි. අනෙක් හැමදාම සිටියේ අපේක්ෂකයන් දෙදෙනෙකි. සජිත්, රනිල්, අනුර, නාමල් සිව්දෙනා ම රට පුරා දැනෙන වැඩ කරති. සති තුනක් ඉක්ම යන විට මෙය අපේක්ෂකයන් දෙදෙනෙකු බවට පත්වී, පරණ තැනට වැටෙන්නට ඇති ඉඩ වැඩි ය. කෙසේ වෙතත් මේ පාර ඡන්දය යනු ජනතාවට වෙනස් අත්දැකීමකි. දැනට පෙනෙන ආකාරයට දෙවැනි මනාපය ගණන් කරන්නට සිදුවුවහොත්, සැප්තැම්බර් 22 ඉරිදා දිනය අවසාන වනවිට අවසාන මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැත. එය සඳූදාට යන්නේය.
විමල් යන්න හදන්නේ කොහේද?
මහ පොළොවේ පෙනෙන මැතිවරණ තත්ත්වය එසේ තිබියදී, පසුගිය සතියේ එළියට ආ ඇතුළේ කතා කිහිපයක් ද විය. ඒ අතරින් මුල් ම කතාව කිව්වේ සර්ව ජන බලය සන්ධානය නියෝජනය කරන හිටපු ඇමැති විමල් වීරවංශ ය.
ඇමෙරිකානු තානාපති කාර්යාලය රනිල් - සජිත් එකතු කිරීමේ මෙහෙයුමක් සිදු කළ බවත්, එය අසාර්ථක වූ බවත් විමල් කිව්වේය. එය අසාර්ථක වීමෙන් පසු රනිල්ගේ පැත්තෙන් එකදිගටම සජිත් පැත්තේ අයගේ ඇඳූම් ගැලවීමට පටන් ගත් බව ද ඔහු කිව්වේය. මෙයින් සිදුවන්නේ සජිත් දුර්විල වීම බවත්, සජිත්ගේ දුර්වල වීමෙන් රනිල්ට වාසියක් නොලැබෙන බවත් ඔහු කිව්වේය.
ඉන්පසුව ය, ඔහු ජනතාවගේ ඔළුවලට තට්ටු කළේ. ‘මේ වැඩේ කරන්නෙ තුන්වැනි පාර්ශ්වයකට වාසිය ගන්න. ලේ සුවඳ ඉව කරන පාර්ශ්වයකට වාසිය ගන්න. නැවත මැයි 09 වැනිදාවක් ඇති කරන්නයි හදන්නෙ. එහෙම කරලා රනිල් ජනාධිපති ධුරයෙ ඉන්නවා. අපේ ව්‍යවස්ථාවට අනුව ඊළඟ ජනාධිපති දිවුරුම් දෙනකම්, බලය තියෙන්නෙ ඉන්න ජනාධිපතිටමයි.’
විමල් කියන ආකාරයට රනිල්ට අලුත් ජනාධිපති වෙන්නට අවශ්‍යතාවක් නැත.
‘බේසමෙත් කිඹුල්ලු ඉන්න පුළුවන්’
‘අපි මේවා කියන කොට සමහරු කියන්නෙ බේසමේ කිඹුල්ලු දකිනවා කියලා. මේවා බේසමේ කිඹුල්ලු දකින ඒවා නෙමෙයි. ඇමෙරිකාවට මොකටද අපේ වගේ පොඩි දූපතක් කියලා සමහරු අහනවා. මතක තියාගන්න, ඇමෙරිකාව හසීනා අගමැතිනියව එලෙව්වෙ වර්ග කිලෝමීටර් තුනක දූපතක් අයිති කරගන්න. නඩු තීන්දුවකින් හිරේට දාපු එහෙ විපක්ෂ නායිකා ඛලීඩා ෂියා එළියට ආවෙ නඩු තීන්දුවකින්ද. නෑ, බලෙන්. ඒක ගැන බටහිර රටවල් කවුරුවත් කතා කළාද. නෑ. රනිල් දිගටම බලයෙ ඉන්නයි මේ හදන්නෙ.’
විමල්, ඒ කියපු කරුණු තහවුරු කරන්නට සාක්ෂි කිසිවක් ඉදිරිපත් කළේ නැත. එහෙත් ඔහු කිව්වේ බරපතළ කතාවකි. එක පැත්තකින් දැන් අනෙක් අය කළ යුත්තේ විමල්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ගෙන, ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වා ඇත්ත හෙළිදරව් කරගෙන, මේ සිදුවන්නට යන බව කියන අපරාධය වැළැක්වීමට කටයුතු කිරීමයි. අනෙක් පැත්තෙන් විමල් ද කළ යුත්තේ අපරාධයක් සිදුවන්නට යන බව දැන-දැන ම ඉස්සරහට වැඩි විස්තර කියන බව මාධ්‍යයට කියනවා වෙනුවට, ඒ පිළිබඳ පැමිණිල්ලක් කිරීමයි.
ජාජබට එරෙහිව පැමිණිලි වැලක්
ආරංචියේ හැටියට ජාතික ජන බලවේගයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක් ඉදිරිපත් වීමට නියමිත ය. එයින් එක් පැමිණිල්ලක් ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂකයාට එරෙහිව පසුගිය සිකුරාදා සිදු කෙරිණි. ඒ, රාජ්‍ය දේපොළ අවභාවිතාවක් සම්බන්ධයෙනි. තවත් පැමිණිල්ලක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ද ඉදිරිපත් කිරීමට නියමිත බවක් වාර්තා වේ. ඒ, ඇතැම් විට විමල් කියන වර්ගයේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් ද කියන්නට දන්නේ නැත. කොහොම වුණත් ජනතාවට ඔළුව මේ සති තුනේ ඔළුව කෙලින් තියාගෙන ඉන්නට ලැබෙන්නේ නැත. ඊට හේතුව මෙවැනි කතා රැසක් කරළියට එන්නට නියමිතව තිබීමයි.
දේශපාලනය යනු කුමක්ද?
පසුගිය සතියේ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විවෘත අධිකරණයේදී වැදගත් කතාවක් කිව්වේය. ඒ, හිටපු ඇමැති ඒ.එච්.එම්. ෆවුසිගේ රාජ්‍ය දේපොළ අවභාවිතාව පිළිබඳ තීන්දුව ලබාදෙන අතර ය.
‘අවුරුදු හැට දෙකක දේශපාලන අත්දැකීම් තියෙන පුද්ගලයෙක් මේ විදිහට වැඩ කරනවා කියන්නෙ ඉතා බරපතළයි.’
ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අනුව දේශපාලනය යනු රටක හෝ ප්‍රදේශයක යහපාලනයට අදාළ ක්‍රියාකාරකම් සිදු කිරීමකි. කතාවට කියන්නේ තුන්වැනි ලෝකයේ රටවල වැඩියෙන් සිටින්නේ මහජනයා නොව ජහමනයා යනුවෙනි. ඒ වගේම යහපාලනය වෙනුවට ඇත්තේ ද ජහපාලනයකි. එවැනි පාලන පැවැති නිසා ය, ෆයිට් කිරීම අත්හැර ජනතාව ෆ්ලයිට් කරන්නට තීරණය කළේ. එනම් සටන් කිරීම අත්හැර, විදේශ රටවලට යෑමට තීරණය කළේ.
හඳූන්නෙත්ති ගහපු ගල
නීතිඥවරුන් පිරිසක් අතර පසුගිය සතියේ පැවැති සංවාදයකදී වැදගත් කතාවක් එළියට ආවේය. එය සම්පූර්ණයෙන්ම රනිල් කවුද යන්න තේමා කරගත් සංවාදයක් විය. සංවාදය ආරම්භ වුණේ සුනිල් හඳූන්නෙත්තිගෙනි. හඳූන්නෙත්ති විසින් රූපවාහිනී වැඩසටහනකදී භාරකාර ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය ගැන කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් පසුගිය සතියේ ජාතික ජන බලවේගයට පහර පිට පහර වැදිණි. එවැනි විෂයයන් රටේ බහුතර ජනතාවට එතරම් අදාළ නොවුණද, සැලකිය යුතු කොටසකට එය අදාළ වූ බවක් පෙනෙන්නට තිබිණි.
හඳූන්නෙත්ති පවසා තිබුණේ ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කළ වහාම, පාර්ලිමේන්තුව විසුරුවා හරින බවයි. ඉන්පසු දූෂිත ඇමැති මණ්ඩලයක් සමග කටයුතු කිරීමට නොහැකි බවත්, එය ද විසුරුවා හැර අමාත්‍යංශ ලේකම්වරුන් සමග ඉදිරි මහ මැතිවරණය තෙක් වන කෙටි කාලයේ කටයුතු කරන බවත් ඔහු පවසා තිබිණි. නීතිඥවරුන්ගේ අදහස වූයේ මෙය කිසිසේත්ම කළ නොහැක්කක් බවයි. එහෙත් මේ සංවාදයට තවත් පුද්ගලයෙක් එක්වී සිටියේය.
නීතිඥවරුන් තුෂ්නිම්භූත වෙයි
ඔහු හිටපු ජනාධිපති ලේකම්වරයකු මෙන්ම දේශපාලනයේ අත්දැකීම් රැසක් ඇති පුද්ගලයෙකි. ඔහු කිව්වේ මේ වැඩේ කරන්නට පුළුවන් කියා ය. පිරිස තුෂ්නිම්භූත වූහ.
‘දේශපාලනය කියන්නෙ ඒකට. හානියක් වෙන්නත් බෑ. ව්‍යවස්ථාවට අනුකූල වෙන්නත් ඕනෙ. හැබැයි උපක්‍රමශීලී වෙන්නත් ඕනෙ.’
ඔහු කතාවට ප්‍රවේශ වූයේ එහෙම ය.
‘අනුර ජනාධිපති වුණොත්, ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නු ගමන් අගමැති පත්කරනවා. නිකමට හිතමුකො, හරිනි අගමැති කළා කියලා. තව එතකොට විජිත හේරත් ඉතුරුයි. අමාත්‍යංශ පහළොවකින් රට කරගෙන යන්න පුළුවන් කියලා පර්යේෂණ කිහිපයකින් ම ඔප්පු කරලා තියෙනවා. ඒවා තිබුණු ආණ්ඩුවලට දීලත් තියෙනවා. ජනාධිපතිට තියාගන්න පුළුවන් අමාත්‍යංශ ගාණ ගැන ව්‍යවස්ථාවෙ පැහැදිලිව නෑ. ජනාධිපති, අගමැති, එක ඇමැතිවරයා අමාත්‍යංශ ටික බෙදාගෙන, ලේකම්වරු පත්කරනවා. ඇමැතිලා නැතුව ලේකම්ලා පත්කරන්න බෑ. ඒක ව්‍යවස්ථාවෙ පැහැදිලිව තියෙනවා. ඉතින් ලේකම්ලගෙන් වැඩේ කරගෙන යනවා. ව්‍යවස්ථාව කඩලත් නෑ. වැඩේ කියපු විදිහට යනවා. දවස් පනස් දෙකයිනෙ තියෙන්නෙ.’
හිටපු ලේකම්වරයාගේ මේ කතාව ඇසූ නීතිඥවරුන් කිව්වේ ‘ඒක, වැරදි නම් නෑ තමයි’ යනුවෙනි. මේ වගේ ම කතාවක් පසුගිය බ්‍රහස්පතින්දා පැවැති මාධ්‍ය හමුවකදී නලින්ද ජයතිස්ස ද කිව්වේය. ඒ, භාරකාර ආණ්ඩුව කුඩා ඇමැති මණ්ඩලයකින් පවත්වාගෙන යන බවකි. භාරකාර ආණ්ඩුවක ඇමැති මණ්ඩලයේ සංඛ්‍යාව පිළිබඳව ව්‍යවස්ථාවේ සඳහනක් නැත.
‘මං රනිල්ව හොඳට දන්නවා’
එහෙත් රනිල් ගැන හොඳටම දන්නා පෙර කී හමුවේ සිටි තවත් හිටපු අමාත්‍යංශ ආණ්ඩුකාරවරයෙකු කියා තිබුණේ මෙසේ ය.
‘මං රනිල්ව හොඳට දන්නවා. ඔහොම එකක් වෙන්න යනවා වගේ පෙනුණොත්, රනිල් ඡන්දෙට කලින්ම උසාවියට දාන පෙත්සම් ඔක්කොම හදාගෙන අතේ තියාගනියි. ඡන්දෙ ඉවර වුණු ගමන් සඳූදා උදේට ඒ පෙත්සම් පෝලිමට උසාවියට දායි.’
බලය වෙනුවෙන් ගහන්නට තියෙන සැලසුම්වල පරාසය එතරම්ම පුළුල් ය.
දහම් - මෛත්‍රී සහ සජිත්
කවුරු කොහොම කිව්වත් පසුගිය දින කිහිපයේදී සමගි ජන බලවේගය තිබූ තැනින් තරමක් උඩට ආවේය. ඒ උඩට ඒමත් සමග රනිල් ළඟ සිටි අයත්, වැනෙමින් සිටි අයත් සජිත් ළඟට යන්නට පටන් ගත්තේය. සජිත් මහනුවර ගොස් මහ නාහිමිවරුන්ට ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගන්වද්දී උන් වහන්සේලා ඇසුවේ ‘මේකෙ බොරු එහෙම නෑ නේද’ යනුවෙනි. සජිත් පෙරළා කිව්වේ ‘නෑ. නෑ.’ යනුවෙනි. ප්‍රතිපත්ති ප්‍රකාශයේ මොනවා තිබුණත්, ලංකාවේ මේවා බලා ඡන්දය දෙන්නේ කාටද යන්න තීරණය කරන්නේ සියයට 30කට වඩා අඩු පිරිසක් බව මැතිවරණ නිරීක්ෂකයෝ කියති. ලංකාවේ පාවෙන ඡන්ද සියයට 20කි.
සජිත්ගේ ළඟට සියල්ලන් කිට්ටු කරන විට, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද කළේ සිය පුත්‍රයා වන දහම් සිරිසේන එතැනට ළංකිරීම ය. මෛත්‍රී කියා තිබුණේ තමන් සමගි ජන බලවේගයට නොයන බවකි. කෙසේ වෙතත් දහම් සිරිසේන පොළොන්නරුවේ සමගි ජන බලවේග කණ්ඩායම් සමග වැඩ කරනවාට සමගියේ ජ්‍යෙෂ්ඨයන්ගේ කැමැත්තක් නැත. ඔවුන් ප්‍රසිද්ධියේ මෛත්‍රීව විවේචනය කිරීමට පටන්ගෙන තිබේ.
දයාසිරිගේ ප්‍රශ්නය රංජිත් විසඳයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද එකතු කිරීමේ මෙහෙයුමක සිටින, ඒ ඔස්සේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ තීරණාත්මක චරිතයක් වීමට උත්සාහ කරන දයාසිරි ජයසේකරට මේ වැඩේ දිරවන්නේ නැත. ඔහු සමගියේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් අසා ඇත්තේ ‘අපේ ඡන්ද ඕනෙ නැද්ද’ යනුවෙනි. කෙසේ වෙතත් රංජිත් මද්දුම බණ්ඩාර මැදිහත් වී, ගැටුමක් දක්වා දුර දිග යෑමට නොදී වැඩේ දැනට බේරා ඇත.
මේ වෙලාවේ සිදුවන ප්‍රචාරක ව්‍යාපෘතිවල හොඳම කොටස් ගැන දන්නේ දැන්වීම් කළමනාකරණය කරන සහ ඒවා සකසන ආයතන ය. ඔවුන් කියන්නේ ජනප්‍රිය චරිත සියල්ල තම-තමන්ගේ ව්‍යාපෘතිවලදී සජිත්ට ඉඩ දෙන්නේ ඉතා අඩුවෙන් බවයි. ඒ වෙනුවට තම-තමන්ගේ පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රචාරක කටයුතු ඉහළට ගැනීම සම්බන්ධයෙන් ය, ඔවුන් ඒ ආයතන සමග සාකච්ඡා කරමින් සිටින්නේ.
ලංකාව නිදාගත්තත් ඉන්දියාව අවදියෙන්
ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ලංකාවට ආවේ පසුගිය බ්‍රහස්පතින්දා ය. ඔහු ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ආණ්ඩුවේ නායකයන් මුණගැසීමටත්, උතුරේ දේශපාලන නායකයන් මුණගැසීමටත් නියමිත ය. ඡන්දය කට උඩ තිබියදී ඉන්දියාව ඒ ගැන කොතරම් උනන්දු ද කියන්නට මීට වඩා උදාහරණ අවශ්‍ය නැත. තවත් කාරණයක් තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ජේ ෂා පත්විය. එය දිගු කාලීන මෙහෙයුමක ප්‍රතිඵලයකි. මේ ෂාගේ පත්වීම ලංකාවේ ක්‍රිකට්වල එහෙ-මෙහෙවීම් කිහිපයකටත්, අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානියකුට ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ දොර විවෘත වීමටත් ඉදිරියේදී හේතු විය හැකිය.
රනිල් වික්‍රමසිංහ රට පුරා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘති සඳහා යන්නේ ගුවනින් ය. එහිදී ඔහු දිගටම සිදු කරගෙන යන වැදගත් වැඩක් තිබේ. ඒ, ගුවන් හමුදාවට මේ සඳහා පෞද්ගලිකව එක දිගට මුදල් ගෙවීමයි. පසුගිය කාලයේ හිටපු ජනාධිපතිවරුන් සහ මැති-ඇමැතිවරුන් ගුවන් හමුදාවට තබා ඇති පොලුවල ප්‍රමාණය රුපියල් කෝටි කිහිපයකි.
ජනාධිපතිවරයා වැඩ පැවරුවේ කාටද?
පසුගිය සඳූදා පස්වරුව රනිල් ගත කර තිබුණේ මල් පාරේ පිහිටි මැතිවරණ කාර්යාලයේ ය. මාධ්‍ය කටයුතු ගැන මෙන්ම මැතිවරණ රැස්වීම් සංඛ්‍යාව ගැන හා කථික ලැයිස්තු ගැන ද මෙහිදී රනිල් කතා කර තිබිණි. ගෙයින්-ගෙට යන ප්‍රචාරක කටයුතු වැඩිකරන්නැයි ද රනිල් එහි සිටි පිරිසට උපදෙස් දුන්නේය. ඉන්පසු පැවතියේ ඇමැති මණ්ඩල හමුවයි. ඇමැති මණ්ඩල හමුව පැවතුණේ කෙටි වේලාවකි. දීර්ඝ වෙලාවක් පවත්වා තිබුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය සැකසීම පිළිබඳ රැස්වීමයි. එහි සියලු කටයුතු පවරා තිබුණේ ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ය. ජනපතිවරයාගේ ආර්ථික කටයුතු උපදේශක ආචාර්ය සමරතුංගට සහ සමන් අතාවුදහෙට්ටිට කතා ගලපා සකස් කිරීමේ වගකීම පවරා තිබිණි.
අඟහරුවාදා පෙරවරුවේ රනිල් ආරක්ෂක මණ්ඩල හමුවට සහභාගි'වී තිබූ'අතර, දහවල් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මුණ ගැසී රටේ ආර්ථික තත්ත්වය ගැන කතා කර තිබිණි. කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් රනිල්ට සහයෝගය දක්වන්නට පැමිණ තිබුණේ ඒ අතර ය. රදගුරු සම්මේලනයේ සභාපති හැරල්ඩ් ඇන්තනි රදගුරුතුමන් මෙන්ම හලාවත රදගුරුතුමන් ද රනිල් ගොස් මුණගැසී තිබිණි. ඔය සියල්ලෙන් පසුව ය, ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම තිබුණේ.
‘ජගත් කුමාර මන්ත්‍රී'ගියාට සමෘද්ධි සංගමය ඉන්නෙ අපිත් එක්ක. මෙයාගෙ වැඩ නිසා ඒකත් දැන් බෙදුණා.’
රනිල්ගේ මැතිවරණ කාර්යාලයේදී ඇමැති ශෙහාන් සේමසිංහ එසේ කීවේ සජිත් ළඟට ගිය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් තුමාර ගැන ය.
රංගෙට මොකද වෙන්නෙ?
‘එක්සත් ජාතික පක්ෂ මහලේකම් සජබට යනවා කියලා ආරංචියක් යවනවා. එයාට විරුද්ධව චෝදනා තියෙනවා කියලත් කියනවා.’
‘එතුමා ප්‍රශ්නයක් ගැන මට කිව්වා. දේශපාලන පළිගැනිම් යටතේ මේකට වන්දියක් පාස් වුණා. හැබැයි එතුමගෙ නීතිමය කරුණක් මත මේක දෙන්න බාධාවක් ඇවිල්ලා තියෙනවා.’
රනිල් ඊට උත්තර දී තිබුණේ එසේ ය.
‘ඔව්. ඒකට අදාළ කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේ ඇමති මණ්ඩලයට එනවා.’
එහි සිටි තවත් අයෙකු කියා තිබුණේ එවැන්නකි.
‘තලතා අතුකෝරාලට එක්සත් ජාතික පක්ෂ මහලේකම්කම දෙන්න හදනවා කියලා මාධ්‍යවල පළවෙනවා.’
මෙහිදී මන්ත්‍රී'දොළවත්ත අලුත් කතාවක් එළියට දැම්මේය.
‘එතුමිය වගේම සජබෙ ඉන්න තවත් කට්ටියකට දෙන්න කියලත් අපෙන් ඉල්ලනවා. තලතා මැතිනිය ආවොත් තවත් හුඟක් දේවල් දැනගන්න පුළුවන් වෙයි.’
එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මේ කතාව කියද්දී රනිල් කිසිවක් කියා නැත. රනිල් සාමාන්‍යයෙන් එහෙම ය.
ගෝලයන් නැතුව ගුරුන් හදන නාමල්ගෙ කැම්පේන් එක
අනෙක් අපේක්ෂකයන් වගේම නාමල් රාජපක්ෂ ද රට වටේ යමින් සිටී. පසුගිය සතියේ ඔහු සිටියේ කුරුණෑගල ය. දොඩම්ගස්ලන්ද, මාවතගම, නිකවැරටිය, ගල්ගමුව ප්‍රදේශවල ඔහුගේ රැස්වීම් සංවිධානය කර තිබුණේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, යූ.කේ සුමිත්, සමන්ප්‍රිය හේරත් විසිනි. ඒ කියන්නේ පොදුජන පෙරමුණයි. එහෙත් ඔවුන්ගේ පහළ පෙළේ සමහරු දැන් පොදුජන පෙරමුණ සමග නැත. ඊට හොඳ ම උදාහරණයකි, ජොන්ස්ට්න හොඳම ගෝලයා වූ කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව. ඔහු දැන් ඉන්නේ රනිල් සමග ය.
නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හෙට (02) කොළඹ, ගෝල්ෆේස්හි රත්නදීප හෝටලයේදී එළියට එන්නේය. මේ පිළිබඳ පූර්ව සාකච්ඡාවක් නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබුණේ කිංස්බරි හෝටලයේදී ය.
‘අපි ඊළඟ අවුරුදු පහට-දහයට විතරක් නෙමෙයි, අවුරුදු පනහ-සියයට ගැලපෙන විදිහට දියුණු දැක්මක් හා වැඩපිළිවෙළක් තමයි ඉදිරිපත් කරන්නෙ.’
නාමල් එසේ පවසන විට ඩී. වීරසිංහ අසා ඇත්තේ ‘එතකොට මහින්ද චින්තනය මේකට පදනම් වෙන්නෙ නැද්ද’ යනුවෙනි.
‘මේ හැමදේකටම පදනම වෙන්නෙ මහින්ද චින්තනය. 2015න් පස්සෙ මහින්ද චින්තනයෙ දේවල් ක්‍රියාත්මක නොවීම තමයි ගැටලුව වුණේ.’
නාමල්ගේ උත්තරයෙන් කතාව අවසන් වී තිබිණි. සාමාන්‍යයෙන් පොදුජන පෙරමුණ මීට පෙර මෙවැනි උත්සව ගත්තේ ෂැන්ග්‍රිලා හෝටලයේ ය. දැන් ගන්නේ රත්නදීප හෝටලයේ ය. ෂැන්ග්‍රිලා චීන සම්බන්ධයකි. රත්නදීප ඉන්දීය සම්බන්ධයකි.
No comments:
Post a Comment