Friday, December 20, 2024

‘අද මෙතැන - හෙට අතැන 

තව අපිට ඉතුරු කොතැන’


ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1982 ජනාධිපතිවරණයට නාමයෝජනා කැඳවූයේ ඔහුගේ උපන් දිනය දවසේ ය. ඒ, සැප්තැම්බර් 17දා ය. නියමිත කාලයට වසර 02කට පෙර කැඳවූ මේ මැතිවරණයෙන් ජේ.ආර්. උඩින්ම දිනුවේය. ප්‍රධාන විපක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනප්‍රිය අපේක්ෂකයා වූ සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කර ඇය ගෙදර තබා ය, ජේ.ආර්. ඡන්දය කළේ. 

1988 ජනාධිපතිවරණය පැවැත්වූයේ ජනතා විමුක්ති පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය සහ නව සම සමාජ පක්ෂය තහනම් කිරීමෙන් පසුව ය. මේ මැතිවරණයේදී ඡන්ද පොළවල් 207ක ඡන්ද පෙට්ටි එක ඡන්ද පත්‍රිකාවක් හෝ නොමැතිව ආපසු එවා තිබූ බව එවකට මැතිවරණ කොමසාරිස්වරයාගේ වාර්තාවක දැක්වේ. පැවැති භීෂණ තත්ත්වය නිසා ඡන්ද මධ්‍යස්ථාන 49ක ඡන්දය පැවැත්වීමට නොහැකි විය.

1994 ජනාධිපතිවරණයට නොම යෝජනා බාරගත්තේ ඔක්තෝබර් 07දා ය. එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා බාරදුන් ගාමිණී දිසානායක කොළඹ, තොටලග පැවැති රැළියකදී ඔක්තෝබර් 24දා ඝාතනය කෙරිණි. ඒ වෙනුවට ඔහුගේ බිරිඳ ශ්‍රීමතී දිසානායක අපේක්ෂකයා කෙරිණි. චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග තරග කළේ ශ්‍රීමතී ය. 2024 ජනාධිපතිවරණයට ලංකා ඉතිහාසයේ වැඩිම ජනාධිපති ධුර අපේක්ෂකයන් සංඛ්‍යාව ඉදිරිපත් වී තිබේ. ඒ ගණන 39කි. එහෙත් එහි එක් කාන්තාවක් හෝ නැත.

1999 දෙසැම්බර් 19දා කොළඹ නගර සභා පිටියේ පැවැති අවසාන ප්‍රචාරක රැළියේදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ දකුණු ඇසට සහ හිසට තුවාල සිදු විය. දෙසැම්බර් 21දා පැවැති ජනාධිපතිවරණයෙන් චන්ද්‍රිකා ජයග්‍රහණය කළාය.

මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ අතර තරගයක් වූ 2005 ජනාධිපතිවරණයේදී උතුරේ ඡන්ද තීරණාත්මක සාධකය විය. උතුරේ ඡන්ද නොවැටුණු නිසා මහින්ද ජයග්‍රහණය කළ අතර, 2010 වසරේදී සරත් ෆොන්සේකා සහ මහින්ද රාජපක්ෂ අතර තරගයෙන් ද මහින්ද ජයග්‍රහණය කළේය. ඒ මැතිවරණය හැඳීන්වූයේ කොම්පියුටර් ජිල්මාට් මැතිවරණය ලෙසයි. ඊට හේතු වූයේ එහි ප්‍රතිඵල පරිගණක ආධාරයෙන් වෙනස් කළ බවට සමාජයේ ඇති වූ මතයයි.

2015 වසරේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ මෛත්‍රිපාල සිරිසේන කිව්වේ තමන් මහින්ද රාජපක්ෂ සමග පෙර දිනයේ ආප්ප කා කෝපි බී පැමිණි බවයි. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මෛත්‍රී ආප්පයකට රුපියල් 10ක මිලක් නියම කළේය. එහි තිබූ තවත් විශේෂත්වයක් වූයේ මහින්ද රාජපක්ෂගේ පැත්තෙන් මෛත්‍රිපාල සිරිසේනගේ හැඩරුව ඇති පුද්ගලයකු තමන්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට යොදාගැනීමයි. කෙසේ වෙතත් එකට ආප්ප කෑ මහින්ද ව 2018 ඔක්තෝබර් 26දා අගමැති කරන්නට ද මෛත්‍රී කටයුතු කළේය. එවකට ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු පැවසුවේ මෙය 2018 මාර්තු මාසයේ කරන්නට උත්සාහ කළද, තමන් ඇතුළු කිහිපදෙනෙකුගේ බලකිරීම මත එය වැළකුණු බවයි. වැඩේ සිදු වන විට ඔස්ටින් සිටියේ ඉන්දියාවේ මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරමින් ය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය 2019 ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට තීරණාත්මක ලෙස බලපෑවේය. ජනතාවට තමන්ගේ ආරක්ෂාව පිළිබඳ අනතුරක් ඇති වූ බවක් පෙනෙන්නට තිබූ අතර, ත්‍රස්ත ප්‍රහාරයෙන් දින 05කට පසු ගෝඨාභය රාජපක්ෂ රොයිටර් පුවත් සේවයට පැවසුවේ තමන් ජනාධිපතිවරණයට තරග කරන බවයි. ගෝඨාභයගේ ජනාධිපති ධුර කාලය 2022 ජූලි 14 වැනිදායින් අවසන් වූ අතර, අනුප්‍රාප්තික ජනාධිපති ධුරයට පත්වූයේ රනිල් වික්‍රමසිංහ ය. ගෑස් පුපුරා සිය ඥාතීන් මියගිය මෑත කාලීන අතීතයක් හිමි ජනතාවගෙන් දැන් රනිල් ඉල්ලා සිටින්නේ තමන්ගේ ගෑස් සිලින්ඩරය ලකුණට ඡන්දය දෙන ලෙසයි.


2024 වැඩකරු කෘත්‍රිම බුද්ධිය


2024 ජනාධිපතිවරණයේදී තත්ත්වය සෑහෙන්න වෙනස් ය. ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ හැඩරුව ඇති අයෙකු යොදාගෙන කරන ලද වීඩියෝ කිහිපයක් අසාර්ථක වූයේ සමාජ මාධ්‍ය ඔස්සේ ඒ පිළිබඳ අලගිය මුලගිය තැන් සියල්ල හෙළි වීම නිසා ය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පුළුවන් ශ්‍රී ලංකා ඇතුළු බොහෝ ප්‍රචාරක පෝස්ටර් සඳහා යොදාගන්නේ කෘත්‍රිම බුද්ධිය යොදාගනිමින් සකස් කරන ලද ඡායාරූප ය. ඉන්දියාවේ මෝදිගේ මැතිවරණයට කෘත්‍රිම බුද්ධියෙන් සකස් කළ අපේක්ෂකයන්ගේ විවිධ අසත්‍ය ප්‍රකාශ යොදාගැනිණි. ලංකාවේ ද ඉදිරි සති කිහිපය කෘත්‍රිම බුද්ධියට සෑහෙන්න වැඩ තියෙන දවස් විය හැකිය.


රාජිත සීමාමාලකයට ගියාට සජිත්ගෙන් විරෝධයක්


මේ තර්ක-විතර්ක මොනවා තිබුණත්, මේ දිනවල මාධ්‍ය ඔස්සේ නිතර අසන්නට ලැබෙන්නේ පක්ෂ මාරුකිරීම් ය. පක්ෂයේ ඉඳගෙන පක්ෂයට විරුද්ධ අපේක්ෂකයාට සහයෝගය දෙන බවට කරන ප්‍රකාශ ය. අගෝස්තු 13දා රාජිත සේනාරත්න රනිල් වික්‍රමසිංහට සහයෝගය දක්වන බව ප්‍රකාශ කිරීමේ උත්සවය පැවැත්වුණේ ගංගාරාමයේ සීමාමාලකයේදී ය. කෙසේ වෙතත් මේ උත්සවය තිබුණු තැන ගැන සජිත් ප්‍රේමදාසට ගැටලුවක් ඇති වී තිබිණි. ඔහු තමන්ගේ උපදේශක මගින් ගංගාරාමයේ අස්සජී හාමුදුරුවන්ට කතා කොට මේ තැන ඒ වැඩේට දීම ගැන අප්‍රසාදය පළකර තිබිණි.


පාඨලී සහ පාට වෙනස් කරන අය


බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී 16දා රනිල් සමග පක්ෂ සහ සන්ධාන 34ක් සන්ධානගත විය. සජිත් සමග පක්ෂ 27ක් සන්ධානගත වූයේ ඊට දින 02කට පෙර ය. මේ සන්ධානගතවීම් අතර කතාබහට ලක්වූ සන්ධානගතවීමක් වූයේ පාඨලී - සජිත් එකතුවයි. බත්තරමුල්ල ග්‍රෑන්ඩ් මොනාර්ක් හෝටලයේ පැවැති මේ උත්සවය ගැන සජිත්ගේ පැත්තටත් වඩා කතාවුණේ රනිල්ගේ පැත්තයි. නිමල් ලන්සා ඇතුළු රනිල්ගේ මැතිවරණ ප්‍රචාරක බරෙන් සැලකිය යුතු කොටසක් අදින කණ්ඩායමේ අදහස වී තිබුණේ පාඨලී ගිය එක පාඩුයි යන්න ය.

යන්නට පෙර පාඨලී, රනිල්ගේ පැත්ත සමග රහස් සාකච්ඡා කිහිපයක් ම පැවැත්වූයේය. එහෙත් ඒවායේදී පාඨලීගේ පැත්තෙන් ඉදිරිපත් වූ ඇතැම් කොන්දේසිවලට බරපතළ විරෝධයක් එල්ල වී ඇත. අනෙක් අතට ලන්සලා පාඨලී ගිය එක පාඩුයි කිව්වාට, රනිල් මුල සිට ම පාඨලී සමග සාකච්ඡා කර තිබුණේ එතරම් විශ්වාසයකින් නොවේ. මොනවා වුණත් ඊට හේතුව දන්නවා ඇත්තේ රනිල් සහ පාඨලී ම පමණි. පාඨලී ගිය මොහොතේ සිට රනිල්ගේ ප්‍රචාරක කණ්ඩායම් එකදිගට පාඨලීට ගහන්නට පටන්ගෙන තිබිණි. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ය. එහිදී කැපීපෙනුණු වාක්‍යයක් වූයේ පාඨලී දිවි නසාගත්තා යන්න ය. එහෙත් දිවි නසාගත්තේ කවුද යන්න හරියට ම කියන්නට තවම කල් වැඩි ය.


එනවා කියපු 20ට මොකද වුණේ?


රාජිතගේ කතාව සමග බැඳූණු තවත් කතාවක් ද කියන්නට තිබේ. රාජිත සමග සමගි ජන බලවේගයෙන් 20ක් රනිල්ගේ පැත්තට එන බව මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරිණි. ඊට අදාළ ඇතැම් සාකච්ඡා අතිශය සාර්ථක වී තිබිණි. එහෙත් අන්තිමට ආවේ රාජිත පමණි. මේ සියල්ලන් නැවතුණු හේතුව ගැන පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයේ කණ්ඩායමක් සොයාබැලීමක් කර තිබුණු බව ආරංචි ය. මේ විශේෂ විමර්ශන ඒකකයේ වර්තමාන ප්‍රධානියා වන්නේ නියෝජ්‍ය පොලිස්පති සම්පත් කුමාර ය. ඔහු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු නිලධාරියෙකි. 

මේ නොනිල කණ්ඩායම සොයාගත් තොරතුරුවලට අනුව පෙර කී කණ්ඩායම රාජිත සමග පැමිණ නැත්තේ රනිල්ගේ පැත්තෙන් ම ඔවුන් ඉලක්ක කොට සිදු කළ මඩ ප්‍රහාරයක් හේතුවෙනි. එහෙත් ඒ මඩ ප්‍රහාරයට අණදීම සිදු වූයේ කොතැනින් ද යන්න තවමත් ප්‍රහේලිකාවකි. මේ සම්බන්ධයෙන් මල් පාරේ පිහිටි රනිල්ගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී ද සාකච්ඡා වී තිබිණි. ඒ කියන්නේ එක්කෝ අඟේ ඉඳගෙන කණ කන්නෙකු සිටී. නැතහොත් ඇත්තටම ඔවුන් පැනීමේ සූදානමක සිට නැත.


හකීම් - රිෂාඩ් අර්බුදයක


පාඨලී, සජිත් ළඟට ගිය කතාවත් සමග එකට කියවෙන අනෙක් කතාව වන්නේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් එතැනට ගිය කතාවයි. රිෂාඩ් අවසාන මොහොත දක්වා ම සිටියේ වජිර සමග කතාබහක ය. රිෂාඩ් සිටියේ රනිල්ට කැමැත්තෙනි. එහෙත් පක්ෂයේ පහළ පෙළ නිතරම කිව්වේ සජිත් ළඟට යමු කියා ය. රිෂාඩ් සජිත් ළඟට ගිය ගමන්, රිෂාඩ්ගේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙක් රනිල් ළඟට ගියහ. අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඉෂාක් රහුමාන්, පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්රි රහීම් සහ දිගාමඩුල්ල මන්ත්‍රී එස්.එම්.එම්. මුෂාරෆ් ඒ තිදෙනා වූහ. 

මේ වැඩේ ම අනෙක් පැත්ත සිදුවූයේ මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම්ට ය. හකීම් පසුගියදා සුගතදාස ක්‍රීඩාංගනයේ පැවැති සජිත්ගේ පක්ෂ එකතු කිරීමේ රැස්වීමේ වේදිකාවට නැග්ගේය. හකීම්ගේ පක්ෂයේ ඉහළ පෙළේ සියල්ලන් එක මතයක සිටිමින් සජිත්ට සහාය දිය යුතු යැයි තීරණය කර තිබිණි. එහෙත් පහළ පෙළේ ආසන සංවිධායකයන් දිගින්-දිගටම පවසා ඇත්තේ රනිල්ට සහාය දිය යුතු බවකි. මේ නිසා හකීම්ගේ පක්ෂයේ ආසන සංවිධායකවරුන් කිහිපදෙනෙකු ඉදිරියේදී රනිල්ගේ වේදිකාවට නැගීමට සූදානම් ය. ආරංචි විදිහට ඔවුන් ව නමින් රට නොදන්නවා වුණාට, මුස්ලිම් කොංග්‍රසයේ ඡන්ද මැෂින් ඔවුන් ය.


සජිත්ගේ පැත්තෙන් තීරණයක් ගනී


කෙසේ වෙතත් දැන් වැඩේ අවසන් කළ යුතු යැයි සජිත්ගේ පැත්තෙන් තීරණයක් ගෙන තිබෙන බවක් ද වාර්තා වේ. සජිත්ගේ ප්‍රධාන උපදේශකයකු මෙන්ම පක්ෂවලින් මන්ත්‍රීවරුන් ගැනීමේ මෙහෙයුම්වල ඉදිරියෙන්ම සිටි ලක්ෂ්මන් ෆොන්සේකා පවසා ඇත්තේ ‘දැන් මගෙ වැඩ ඉවරයි, ආපහු නම් බෑ’ යනුවෙනි. මීට ඇත්ත හේතුව වෙනත් එකකි. රනිල් ළඟට චූදිතයන් එකතු වන බවට හැදුණු සමාජ මතය, සජිත් ළඟටත් චූදිතයන් එකතු වනවා කියන තැනට පැතිරෙමින් තිබිණි. ඊට සාධාරණ හේතු ද විය. මේ නිසා ජාතික ජන බලවේගයට කොටස් දෙකට ම එකට තබා ගැසීමට අවස්ථාව ලැබී තිබිණි. 


අනුරට ස්ක්‍රීන් ෂොට් ලැබුණු පණිවුඩය


ජාතික ජන බලවේගයේ ලාල්කාන්ත කළ ප්‍රකාශ ඉලක්ක කරගෙන විශේෂ මෙහෙයුම් කිහිපයක් ක්‍රියාත්මක වෙමින් තිබේ. පසුගිය සතියේ ඊට අදාළ අපූරු වැඩක් සිදු විය. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුටම වට්සැප් පණිවුඩයක් ලැබුණේ අනුර කුමාර දිසානායක හමුවන සෑම අවස්ථාවකදී ම ලාල්කාන්ත ඉලක්ක කොට ප්‍රශ්නයක් අහන ලෙසයි. ලාල්කාන්තට පොලිස් ඇමැති ධුරය ලබාදෙන්නේ ද යනුවෙන් අහන්නැයි එක්තරා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති කර්තෘවරයකු මේ මාධ්‍යවේදීන්ට සෘජුව ම උපදෙස් දී තිබිණි.

මේ වට්සැප් පණිවුඩය පසුගිය අඟහරුවාදා උදෑසන ම අනුර කුමාර දිසානායකට ලැබිණි. ඔහු එදින පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවට වාඩි වූයේ මෙහි ස්ක්‍රීන් ෂොට් එක අතේ තබාගෙන ය. බලාපොරොත්තු වූවාක් මෙන් ප්‍රශ්නය නැගිණි. මේ වගේම පසුගිය සතියේ ජාතික ජන බලවේගයෙන් මාධ්‍යවේදීන් දිගටම ඇසූ ප්‍රශ්නයක් වූයේ ‘පනින මන්ත්‍රීවරුන් ඔබේ පැත්තට එන්න ඇහුවෙ නැද්ද’ යන්නයි. එහිදී අනුර පවසා තිබුණේ ‘අපේ දොරට තට්ටු කළා, අපි දොර ඇරියා, ඒගොල්ලොන්ගෙ වැඩ ගැන බැලුවා, ස්තූතියි ආපහු යන්න කිව්වා’ යනුවෙනි.


රනිල් දිගටම පුරුද්ද අරගෙන යයි


මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය කාලය පුරා කළාක් මෙන්, පසුගිය සති අන්තය ද ගතකර තිබුණේ කොළඹින් පිට ය. ඒ, මහනුවර සහ නුවරඑළියේ ය. මහනුවර ජනාධිපති මන්දිරයේ පැවැති සාකච්ඡාවකට සහභාගි වී තිබුණේ මහනුවර වෙළෙඳ සංගම් නියෝජිතයන් ය. මෙහිදී එම නියෝජිතයන් රනිල්ගෙන් සෘජුව ප්‍රශ්න කර තිබුණේ ඉදිරි කාලයේදී බදුවලට සිදුවන්නේ කුමක්ද යනුවෙනි. බදු අයකිරීමේදී ඇති වී තිබෙන බරපතළ ගැටලු කිහිපයක් ගැන ඔවුන් රනිල්ට පැහැදිලි කර තිබූ අතර, රනිල් ඒ ගැන බලන බවට පොරොන්දු වී තිබිණි. වාහන ආනයනය කිරීම සඳහා 2025දී ඉඩදෙන්නේ නම්, බදු තවදුරටත් වෙනස් වනු ඇතැයි ද රනිල් මෙහිදී පෙන්වා දී තිබිණි.     

මේ සාකච්ඡාවෙන් පසු රනිල් වතු කම්කරු නායකයන් මුණගැසීම සඳහා පේරාදෙණියට ගොස් තිබිණි. මේ දවස් කියන්නේ මහනුවර ඇසළ මංගල්‍යය වෙනුවෙන් විශාල ජනතාවක් නගරයේ සැරිසැරූ දවස් ය. ඔවුන්ට බාධා නොවන පරිදි මේ වැඩවලට යන මාර්ග තෝරාගැනීමට රනිල්ගේ ආරක්ෂක අංශ නිලධාරීන් කටයුතු කර තිබිණි.


ජොන්ස්ටන්ගේ ගෝලයා රනිල්ගේ සාක්කුවේ


මේ රැස්වීමෙන් පසු රනිල් සහභාගි වී තිබුණේ පොදුජන පෙරමුනේ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ රැස්වීමට ය. මෙහිදී සියල්ලන්ගේ අවධානය දිනාගත් චරිතය වූයේ නාමල් රාජපක්ෂගේ සමීපතමයකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ළඟ ම හිතවතා ය. ඒ, කුරුණෑගල මහ නගර සභාවේ හිටපු නගරාධිපති තුෂාර සංජීව ය. කුරුණෑගල රාජසභා මණ්ඩපය කඩාදැමීමේ චෝදනාවට වැරදිකරු වීමෙන් පසු ඔහු සිටියේ රක්ෂිත බන්ධනාගාරගතව ය. ඔහුට ජනාධිපති සමාව ලබාදීමේ ඉල්ලීමක් ද මීට පෙර රනිල් ළඟට ආවේය. එහෙත් එය ක්‍රියාත්මක වූයේ නැත. කෙසේ වෙතත් දැන් ඔහුගේ දඬුවම අවසන් ය. නිදහස් ය.

‘මහින්ද මහත්තයා දිනෙව්වා වගේ, ගෝඨාභය මහත්තයා දිනෙව්වා වගේ, අපි මේ පාර ඔබතුමාවත් දිනවනවා.’

තුෂාර සංජීව රැස්වීම ආරම්භයේදී ම කිව්වේය. ජොන්ස්ටන් නාමල්ගේ වේදිකාවේ ය. ගෝලයා රනිල්ගේ වේදිකාවේ ය. කෙසේ වෙතත් දැන්-දැන් නාමල් තමන්ගේ ළඟින් ම තියාගන්නේ වැඩිය චෝදනා නැති, තරුණයන් බව පෙනෙන්නට තිබේ. ජොන්ස්ටන් වැනි චරිත ඔහු තරමක් ඈතින් තියාගන්නා බවක් පෙනේ. මහනුවර රැස්වීම් අවසන් කළ රනිල්, හැටන් ගියේ වඩිවේල් සුරේෂ් සංවිධානය කර තිබූ ව්‍යාපාරිකයන්ගේ සහ වතු ප්‍රජාවගේ රැස්වීමකට සහභාගී වීමට ය. ඉන්පසුව හිටපු නියෝජ්‍ය ඇමැති කේ.කේ. පියදාස සංවිධානය කර තිබූ එක්සත් ජාතික පක්ෂ රැළියකට ද ඔහු සහභාගි වී තිබිණි. කේ.කේ. පියදාස යනු මෙවර ජනාධිපතිවරණයේ දී රනිල් සමග තරග වදින අපේක්ෂකයෙක් ද වේ. මේ ආකාරයට රනිල් සමග තරග වදින තවත් අපේක්ෂකයෙකි, එක්සති ජාතික පක්ෂයේ සහකාර ලේකම්වරයකු ලෙස කටයුතු කළ හිටපු මන්ත්‍රී ආනන්ද කුලරත්න.


යූනුස් රනිල්ගෙන් ඉල්ලුවේ කුමක්ද?


මේ අතර බංගලිදේශයේ අන්තර්වාර ආණ්ඩුවේ අගමැති මුහම්මද් යූනුස්ගෙන් ජනාධිපති රනිල්ට දුරකතන ඇමතුමක් ලැබී තිබිණි. එය රනිල් යූනුස්ට කතා කිරීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයකි. ඔහු රනිල්ට පවසා තිබුණේ එරට ඇතිව තිබෙන තත්ත්වය කඩිනමින් සමථයකට පත්කිරීමට කටයුතු කරන බවයි. මෙහිදී යූනුස් රනිල්ගෙන් ඉල්ලීමක් ද කර තිබිණි.

ඒ, බංගලිදේශයේ ආයෝජනය කර ව්‍යාපාර පවත්වාගෙන යන ශ්‍රී ලාංකික අයෝජකයන්ට එරටින් පිටනොවන්නැයි දැනුම් දෙන ලෙසයි. පසුගිය කාලයේ ලංකාවේ ඇතැම් ආයෝජකයෝ මෙරට ව්‍යාපාර වසාදමමින් බංගලිදේශයට සිය ආයෝජන රැගෙන ගියහ. ඒ අතර වැඩියෙන්ම සිටියේ ඇඟළුම් කර්මාන්ත ශාලා හිමියන් ය. ඊට විශේෂයෙන් හේතු වී තිබුණේ විදුලි බිල සහ බදු ය. මේ සාකච්ඡාවෙන් පසු ජනාධිපති මාධ්‍ය අංශය මෙසේ කිව්වේය.

‘රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමත් රටේ ආර්ථිකය යළි නගාසිටුවීමත් වෙනුවෙන් ඔබේ සහාය අපට ඉතාම අත්‍යවශ්‍යයි. ලංකාව අර්බුදයෙන් ගලවාගත්තා සේම බංගලිදේශයත් අර්බුදයෙන් ගලවාගැනීමට සහාය දෙන්න යනුවෙන් යූනුස් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.’


මහින්ද ගිය පාරේ යන්නට ගිය සජිත්


මේ අතර අගමැති දිනේෂ් ගුණවර්ධන සමග පසුගිය බ්‍රහස්පතින්දා මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට ගිය ජනාධිපතිවරයා තමන්ගේ වාරය පැමිණි පසු නාම යෝජනා බාරදීමට ගියේය. ඔහු පසුපසින් සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද පැමිණ නාම යෝජනා බාරදීමට පෝලිමේ සිටියේය. පෝලිමේ සිටි සජිත් එක්වරම මැතිවරණ නිලධාරීන් අසුන්ගෙන සිටි ආසනවලට පිටුපසින් ගොස් නාම යෝජනා බාරදීමට උත්සාහ කර තිබිණි.

‘2015දි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් නාම යෝජනා බාරදුන්නෙ ඔය විදිහටම තමයි.’

වජිර කී ඒ කතාව අනුමත කර තිබුණේ සාගල විසින් ය.


ජනාධිපති පවුලේ ඡායාරූපය


මෙවර ජනාධිපතිවරණයට නාමල් රාජපක්ෂලා දෙදෙනෙක් තරග වදිති. එක් අයෙක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂ ය. දෙවැන්නා ප්‍රකට සිවිල් ක්‍රියාකාරිකයකු වන නීතිඥ නාමල් රාජපක්ෂ ය. ගෝඨාභය, මහින්ද සහ බැසිල්ට මැදිවී නාම යෝජනාවලට අත්සන් තැබූ නාමල්, ඔවුන් සමග ඡායාරූපයකට ද පෙනී සිට තිබිණි. ඒ, ඡායාරූපයේ ඇති වැදගත්කම වන්නේ විධායක ජනාධිපතිවරුන් දෙදෙනෙකු එහි සිටීමයි. තාත්තාගෙන් පසු බාප්පා හැදූ රට, නැවත හදන්නට ජනාධිපතිවරණයේදී නාමල් ඡන්දය ඉල්ලන්නේය. බදාදා දිනයේ කිංග්ස්බරි හෝටලයේ සහ හිල්ටන් හෝටලයේ මාධ්‍ය හමු දෙකක් පැවැත්වුණේ නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි. ඒ විද්‍යුත් මාධ්‍ය හා පුවත්පත් කර්තෘවරුන් වෙනුවෙන් ය. මීට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද සහභාගි විය.


අලුත් වන ලිස්ට්වල ඉන්නේ කවුද?


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නව සන්ධානය ප්‍රමුඛ වාමාංශික දේශපාලන පක්ෂ සහ සංවිධාන පොදුජන එක්සත් පෙරමුණ සමග සන්ධානගත වීම පසුගිය බදාදා පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි. මෙහි විශේෂත්වයක් වූයේ පක්ෂයේ තීන්දු තීරණ ගැනීම සඳහා 21 දෙනෙකුගෙන් යුත් නායකත්ව මණ්ඩලයක් ක්‍රියාත්මක වීමයි. මෙහි පළමු නායකත්ව මණ්ඩල හමුව උත්සවය ආරම්භ කිරීමට පෙර, එම හෝටලයේ පහළ මාලයේ පැවැත්විණි. පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න විසින් අලු‍ත් තනතුරු සඳහා පත්කෙරුණු මැති-ඇමතිවරුන්ගේ නම් මුල් වරට ප්‍රකාශ කිරීමෙන් පසුව ඊට අනුමැතිය ලැබී තිබිණි.

ඒ අනුව පොදුජන එක්සත් පෙරමුණේ නිලධාරි මණ්ඩලයේ ප්‍රධාන අනුශාසක ලෙස නව සන්ධානය නියෝජනය කරමින් ජෝන් සෙනෙවිරත්න, එහි නායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, මහ ලේකම් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලසන්ත අලගියවන්න, භාණ්ඩාගාරික ලෙස නව සන්ධානයේ චාමර සම්පත් දසනායක, ජාතික සංවිධායකවරුන් ලෙස ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක, නව සන්ධානයේ නලින් ප්‍රනාන්දු යන පිරිසගේ නම් ඉදිරිපත් වී තිබිණි. 

ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, සුරේන් රාඝවන්, නීතිඥ ෆයිසර් මුස්තාපා, නව සන්ධානයේ අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් සෙනෙවිරත්න, නිමල් ලන්සා, ප්‍රියංකර ජයරත්න, නලින් ප්‍රනාන්දු, චාමර සම්පත් දසනායක, උදයකාන්ත ගුණතිලක, සුදත් මංජුල, ජගත් ප්‍රියංකර, ඊළාම් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂයේ නාය‍ක ඩග්ලස් දේවානන්දා, ඉලංගෙයි මහජන කොංග්‍රසයෙන් ස්වාධීන වූ එස්.එම්.එම්. මුෂාරෆ්, සමගි ජන බලවේගයෙන් ස්වාධීන වූ ඉෂාක් රහුමාන්, මුත්පෝක්කු තමිලර් කලහම් පක්ෂයෙන් ස්වාධීන වූ එස්. වියාලේන්ද්‍රන්, ජාතික නිදහස් පෙරමුණෙන් ස්වාධීන වූ මොහොමඩ් මුසම්මිල්, නිදහස් ජනතා සභාවෙන් ස්වාධීන වූ උදයන කිරිඳිගොඩ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, ලංකා සම සමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ, යුතුකම ජාතික සංවිධානයෙන් ස්වාධීන වූ අනූප පැස්කුවල්, එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ නසීර් අහමඩ්, ස්වාධීන කණ්ඩායමක් ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ස්වාධීන කණ්ඩායමක් ලෙස හිටපු ශ්‍රි ලංකා ඉන්දියානු තානාපති මිලින්ද මොරගොඩ, නව ජනාතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර, දේශ විමුක්ති ජනතා පක්ෂයේ ඩී. කලංසූරිය යන පිරිස පොදුජන එක්සත් පෙරමුණ සමග සන්ධාන ගතවී සිටිති.

මෙහි ඇති වැදගත් ම කරුණ වන්නේ මේ ලැයිස්තුවේ සිටින සියල්ලන් පිළිබඳව ජනතාව අතර ඇති මතයයි. කොහොමත් මේ මැතිවරණයේ අවසන් ප්‍රතිඵලයට නිවැරදි අනාවැකි කියන්නට හැකිවන්නේ සැප්තැම්බර් පළමුවැනිදායින් පසුව ය. එල්ටීටීඊ තහනම දීර්ඝ කිරීමේ තීරණය ගන්නේත්, එය ප්‍රකාශයට පත්කරන්නේත්, දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් පිරිසක් මේ සතියේ රනිල් - සජිත් දෙදෙනාම මුණගැසීමට නියමිතව ඇත්තේත් මෙවැනි වාතාවරණයක ය.

No comments:

Post a Comment