කැබිනට් මණ්ඩලයට
ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් !
මාතෘකාව ජනාධිපතිවරණයයි. තහනම් වචනය වෙලාවට පැවැත්වීමයි. වැඩ සිදු වන ආකාරයට පෙනෙන්නේ එවැනි තත්ත්වයකි. එහෙත් කවර තත්ත්වයක් යටතේ හෝ අවශ්‍ය වන්නේ ජනතාවට තමන්ගේ කැමැත්ත කලින් උරගාබැලීමට අවස්ථාව ලබාදීමයි. එහෙම කියන්නේ අප නොවේ, ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අර්ථ නිරූපණය කිරීමේ පරම බලය හිමි ශ්‍රේෂ්ඨාධිකරණයයි.
නීතිවේදී චමින්ද්‍ර දයාන් ලේනව නමින් චරිතයක් හදිසියේ මතු විය. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ පෙත්සම් විභාගය අවසන් වන තුරු ජනාධිපතිවරණය නොපැවැත්වීමේ නියෝගයක් මැතිවරණ කොමිසමට නිකුත් කරන ලෙසයි.
මේ චමින්ද්‍ර දයාන් ලේනව යනු ව්‍යවසායකයෙකු වන අතර, ජාතික සංවර්ධන පෙරමුණ සමග දේශපාලනය කළ අයෙකි. එනම් ප්‍රකට ව්‍යාපාරිකයකු වන රොහාන් පල්ලෙවත්ත සමග ය. මේ පෙත්සම ඉදිරිපත් කිරීමෙන් පසු එය ගියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ගිණුමට ය. එනම් මෙය රනිල්ගේ වැඩක් යනුවෙන් මතවාදයක් සමාජගත විය. ඒ නිසා ම පසුදින උදෑසන ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිවේදනයක් නිකුත් කළේය. එහි සඳහන් වුණේ මැතිවරණ කොමිසම මගින් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය නිවැරදි බවත්, ඊට ජනාධිපතිවරයා ලෙස තමන් එකඟ බවත් ය. එසේ ම මේ පෙත්සම පිටුපස තමන් නැති බවත්, ඒ පිළිබඳ තමන් දැනුවත් ව නොසිටි බවත් එහි දැක්විණි.
බෙදුණු අය එකතු වෙති
මේ පෙත්සම නිසා සිදු වූ තවත් විශේෂ දෙයක් විය. ඒ, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ සහ විපක්ෂ ලෙස බෙදී තිබූ කණ්ඩායම් කිහිපයක් එකට එකතු වීම ය. ඒ අතරින් ප්‍රධාන වන්නේ හිටපු ඇමැති ජී.එල්. පීරිස් ය. මේ පෙත්සමට අදාළ ව අතුරු පෙත්සමක් යොමු කොට ජනාධිපතිවරණය නියමිත දිනට පවත්වා ගැනීමේ සටනකට ජී.එල්. එළඹ තිබේ. ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළ මොහොතේ ජී.එල්. සිටියේ මෙමගින් විධායක ජනාධිපති ධුරයට බලපෑම් එල්ල වීම බරපතළ කරුණක් යන අදහසේ ය. එවැනි ම අදහසක සිටි තවත් අයෙකි, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා.
19 වැනි සංශෝධනය සකස් කළ කමිටුවේ ප්‍රධානියකු වූයේ ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න ය. ජයම්පතී යනු නීති වෘත්තියේදී ජී.එල්.ගේ ගෝලයෙකි. ලේනව විසින් තම පෙත්සම ඉදිරිපත් කළ දිනට පසුදින ම ජී.එල්. ජයම්පතීට කතා කොට මීට අදාළ උපදෙස් ලබාගෙන තිබිණි. ජාතික ජන බලවේගය ද ලේනවගේ පෙත්සමට අතුරු පෙත්සම් ගොනුකිරීමට නියමිත ය. එය සිදුකරන්නේ හරිනි අමරසූරියයි.
සඟවන්නට තිබුණේ කුමක්ද?
ලේනවගේ පෙත්සමට අදාළ තවත් විශේෂ කතාවක් තිබේ. එනම් සාමාන්‍යයෙන් මෙවැනි පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත බාරදීමෙන් පසු මාධ්‍යවේදීන්ට ලබාදීම ය. පෙත්සම බාරදුන් සැණින් අධිකරණ පුවත් වාර්තා කරන මාධ්‍යවේදීන්ට පෙත්සම ලැබේ. එසේ නොවුණහොත් මෙවැන්නක් සිදු කළ බවක් ජනතාව දැනගන්නේ කෙසේද? කීර්තිමත් විනිසුරුවරයකු වන මාර්ක් ප්‍රනාන්දු විනිසුරුවරයාගේ තීන්දුවක දැක්වෙන්නේ සමාජයේ බහුතර මතය අධිකරණ තීන්දුවකට හේතු නොවූවද, ඒ පිළිබඳ විනිසුරුවරුන් අවධානයෙන් සිටිය යුතු බවයි. ඒ කියන්නේ මාධ්‍ය මගින් ඒවා ජනතාව අතර යෑම අතිශය වැදගත් ය.
එහෙත් ලේනව පෙත්සම ඉදිරිපත් කළ පසුගිය 04දා පස්වරුව වනවිටත් පෙත්සමේ පිටපතක් මාධ්‍යවේදීන්ට ලැබී නොතිබිණි. මාධ්‍යවේදීන් එය ලබාගැනීමට උත්සාහ කළද, එය ද අසාර්ථක විය. ලේනව විසින් ඔහුට කතා කළ මාධ්‍යවේදීන්ට දිගටම පවසා තිබුණේ පසුව දෙන්නම් යනුවෙනි. එහෙත් පසුව අධිකරණය හරහා ම ලබාගැනීමක් මිස ලේනවගෙන් පිටපත් දීමක් සිදුවූයේ නැත.
ප්‍රචාරයක් අවශ්‍ය නැත්නම්, මෙවැන්නක් සිදුකළේ ඇයි? ජනාධිපතිවරයාට සමීපව කටයුතු කරන ජනාධිපති නීතිඥවරයකු සඳහන් කළේ මේ හදිසියේ කළ වැඩක් බවයි. ආණ්ඩුවේ නීතිඥයන් අතර මෙන්ම සමගි ජන බලවේගයේ කොටස් අතර ද, මෙවැනි පෙත්සමක් ගැන සාකච්ඡා කිහිපයක් පැවැත්විණි. අවසානයේදී ලේනව හදිසි වී පෙත්සම ගොනුකර තිබේ. එය ද පෙත්සම්කරු විසින් ම ඉදිරිපත් කරන පෙත්සමක් ලෙස ය. නීතිඥයකු මගින් නොවේ. පෙත්සම ගොනුකළ බව වාර්තාවීමෙන් පසු සිව්දිශාවෙන් ම ලේනව සහ ඔහුගේ කණ්ඩායමට දෝෂාරෝපණ රැසක් එල්ල වී තිබේ. නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට පැමිණ මාධ්‍ය හමුවක් පවත්වා ජයග්‍රාහී පෙත්සම් අනාවරණයක් කිරීමට ඔවුන් පෙර සැලසුම් කර තිබී ඇති බව ආරංචි ය.
‘අමාරු මෙහෙයුමක් වුණත් අපි කරනවා’
ජන අරගල සන්ධානයේ සාමාජිකයන් පසුගිය සතියේ මැතිවරණ කොමිසමට ගියහ. එහිදී ඔවුන්ට මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මුණගැසිණි. වසන්ත මුදලිගේ, තරිඳූ උඩුවරගෙදර සහ ධර්මසිරි ලංකාපේලි ඇතුළු පිරිස සමග සාකච්ඡාවේදී කොමසාරිස් ජනරාල්වරයා වැදගත් කරුණක් කියා ඇත. ඒ, ඡන්ද කල්දැමීම ගැන ය. කවර තත්ත්වයක් යටතේ හෝ ජනාධිපතිවරණය පැවැත්වීමට කොමිසම සූදානම් බවත්, ජනාධිපතිවරයාට කළ හැකි එක ම දේ පාර්ලිමේන්තුවට හදිසියේ විසුරුවා හැරීම බවත් කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී සඳහන් කර තිබිණි.
එවැනි තත්ත්වයක් ඇති වුවහොත් කරන්නේ කුමක්දැයි විමසීමේදී කොමසාරිස් ජනරාල්වරයා පවසා තිබුණේ අසීරු මෙහෙයුමක් වුවත්, එවැනි තත්ත්වයකදී මැතිවරණ දෙක ම එකට පැවැත්වීමේ හැකියාව පිළිබඳව කොමිසම සාකච්ඡා කරමින් සිටින බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් මැතිවරණය පැවැත්වීම නතර කිරීමේ උත්සාහයක් දැරුවහොත් මැතිවරණ කොමිසම අධිකරණයට යන්නේදැයි විමසීමේදී, කොමිසම පැත්තෙන් කියා තිබුණේ එය කොමිසමේ කොමසාරිස්වරුන් විසින් එවැනි තත්ත්වයක් මතුවුවහොත් තීරණය කරනු ඇති බවයි.
මැතිවරණ කොමිසමට රැස්වීම් වැඩි සතියක්
මේ සතියේදී ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගයේ කණ්ඩායම් දෙකක් ද මැතිවරණ කොමිසමේ නියෝජිතයන් මුණගැසීම සඳහා යෑමට නියමිත ය. එහිදී ඔවුන් ද සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන්නේ මැතිවරණයට පැමිණිය හැකි බාධා පිළිබඳවයි. කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැන් නිශ්චිත අදහසක් පවසා තිබේ. ඒ 2024 වසරේදී ජනාධිපතිවරණය පැවැත්වීම ගැන ය. ජනාධිපතිවරයා යථාවාදී තථාකාරී වූ විට සියල්ලට ම විසඳූම් ලැබේ. එනම් කියන දේ කිරීම ය. කරන දේ කීම ය.
කවුරු මොනවා කිව්වත්, දැන් ලංකා පොළොව හොඳටම උණුසුම් ය. එක පැත්තකින් වනජීවී විෂය බාර ඇමැති පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු පිරිස විසින් වෙඩිතලතිව් වැනි දකුණු ආසියාවේ වැදගත් ම පරිසර පද්ධති විනාශ කිරීමට අදාළ ගැසට් පත්‍ර නිකුත් කරමින් සිටී. අනෙක් පැත්තෙන් මැතිවරණ උණුසුම ය.
මැතිවරණ උණුසුම දවසින්-දවස වැඩි වෙද්දී ජනාධිපතිවරයා ආණ්ඩුවේ කණ්ඩායමත් සමග මාතර රැස්වීම පැවැත්වීය. රැස්වීමට නොයන්නැයි විවිධ බලපෑම් එල්ල වුවත්, ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති-ඇමතිවරු රැසක් ඊට සහභාගි වූහ. කාංචන කිව්වේ ‘පොහොට්ටුවේ පළුවක් මෙතැන’ යනුවෙනි. රැස්වීමේ බර කරට ගෙන තිබුණේ බලශක්ති ඇමැති කාංචන විජේසේකරත්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකත් ය. රැස්වීමට පෙර අවස්ථා ගණනාවකදී දෙදෙනා පක්ෂ දෙකේ සංවිධායකන් හමුවීමට කොළඹ සිට මාතර, වැලිගම, දෙවිනුවර, අකුරැස්ස, කඹුරුපිටිය ප්‍රදේශවල සංචාරය කළහ. ජනාධිපතිවරයා රැස්වීමට ගියේ මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාවට උරුමය ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් වැල්ලවායේ පැවති උත්සවයට සහභාගි වීමෙන් පසුව ය.
පැරැන්නන් වෙනුවෙන් රනිල්
අම්පාරේ පැවැති උරුමය ඔප්පු උත්සවයේදී හිටපු ඇමැති විමලවීර දිසානායකට තැනක් නොදීම ගැන ඔහු ජනාධිපතිවරයාට පැමිණිලි කර තිබිණි. එහි සියලු සංවිධාන කටයුතු සිදුකර තිබුණේ නාමල් රාජපක්ෂගේ සමීපතමයකු වන ඩී. වීරසිංහ මන්ත්‍රීවරයා ය. රාජ්‍ය නිලධාරීන් සමග ඔහු මේ සම්බන්ධයෙන් පවත්වා තිබූ රැස්වීම ගණන විසිපහකටත් වැඩි බව ආරංචි ය. කෙසේ වෙතත් විමලවීරගේ පැමිණිල්ලෙන් පසු ජනාධිපතිවරයා පවසා තිබුණේ පොදුජන පෙරමුණේ පැරැන්නන් අමතක නොකරන ලෙසයි. එය වැල්ලවායේදී සිදුවිය. ඔප්පු උත්සවයේ ජනතාව අතර ඉදිරි පේළි කිහිපයක් මේ පැරැන්නන් වෙනුවෙන් වෙන් වී තිබිණි.
මාතර පැමිණි ජනාධිපතිවරයා දිවා ආහාරය ගෙන තිබුණේ ද කාංචනගේ නිවසෙන් ය. කාංචන රැස්වීමේදී පැමිණි සැමට ස්තූති කළේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ විය යුතු බව කියමිනි. මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට ද රැස්වීමේ කතාවක් වෙන්කර තිබිණි. එහෙත් මහින්දානන්ද කතා කළේ නැත. කාංචනගෙන් පසු කෙලින්ම කතා කළේ රනිල් ය. මහින්දානන්ද කතාවට එකඟ වී සිටියද, අවසාන මොහොතේ එය අනවශ්‍ය බව පවසා තිබිණි.
‘මහින්ද සුළඟ නුගේගොඩින් පටන්ගත්තා වගේ රනිල් සුළඟ මාතරින් පටන්ගත්තා’ යනුවෙන් පවසා තිබුණේ ඇමැති අලි සබ්රි ය. ඒ මාතර තානායමේ පැවැති අමුත්තන්ගේ තේ පානයේදී ය. ‘නුවර රැස්වීමටත් මේ වගේම ඔබතුමන්ලා එන්න ඕනෙ. ඇවිල්ලා උදව් කරන්න ඕනෙ.’ ඇමැති මනූෂ එසේ කියා තිබුණේ සියල්ලන්ට ය. මේ දිනවල රනිල්ගේ ප්‍රචාරක මෙහෙයුම් ඇදගෙන යන්නේ මනූෂ බව ප්‍රකට කරුණකි. ඇතැම් අවස්ථාවලදී මනූෂගේ තනි තීරණ සම්බන්ධයෙන් රනිල් ළඟ සිටින ජ්‍යෙෂ්ඨයන් අමනාපයෙන් සිටින බවක් ද කියැවේ. කෙසේ වෙතත් මනූෂ වෙනම කණ්ඩායම් කිහිපයක් හරහා සුබ ආරංචියේ සිට වැඩ කරගෙන යයි.
කැබිනට් මණ්ඩලයට ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක්
පසුගිය සඳුදා පෙරවරුවේ ජනාධිපතිවරයා කාර්යාලයට පැමිණ, දේශපාලන කැබිනට්ටුව සහ මැති-ඇමැතිවරුන්ගෙන් සමන්විත මාධ්‍ය කමිටුව හමුවී තිබිණි. ඔහු එදින පස්වරුවේ ඇමති මණ්ඩලය හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ද හමු විය. ජනාධිපතිවරයා ඇමති මණ්ඩලයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබුණේ ඇතැ ම්සැක-සංකා ද යතාර්ථයක් බව පෙන්වමිනි. එහි දැක්වුණේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් කරන ලද වරදක් නිවැරදි කිරීම ය. 19 වැනි සංශෝධනයෙන් ජනපති ධුර කාලය වසර පහක් කිරීමේ සංශෝධනයක් සම්මත වුවද, එය වසර හයක් බව සඳහන්ව ඇති වගන්තිය අත්හිටුවා නොතිබීම ගැටලුවක් බව යෝජනාවේ දැක්විණි.
එම නිසා ජනාධිපති ධුර කාලය වසර පහක් යනුවෙන් වූ යෝජනාවක් ජනාධිපතිවරයා ඇමති මණ්ඩලයෙන් සම්මත කරගත්තේය. එවිට අවුරුදු හයේ කතාව අවසන් වන බව ජනාධිපති මෙහිදී පවසා තිබිණි. ඊට අදාළ ව ඉදිරියේදී සංශෝධන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට නියමිත බවක් ද වාර්තා වේ.
බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගැන ලංකාව දැනගන්නා හැටි
අඟහරුවාදා උදෑසන ජනාධිපතිවරයා සිටියේ පාර්ලිමේන්තුවේ ය. ඒ, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය ගැන විශේෂ ප්‍රකාශයට ගොස් ය. ලෝක ප්‍රකට බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ නාට්‍යයක් ඇසුරෙන් හෙන්රි ජයසේන සිංහලයට හැදූ හුණුවටයේ කතාවේ වැල් පාලම ජනාධිපතිවරයා මෙහිදී ද මතක් කළේය. ඔහු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වෙත පත්වූ 2022 ජූලි මාසයේ සිට මේ කතාව ඉදිරියට ගෙනයමින් සිටී. ජනාධිපතිවරයා මෙහිදී පාර්ලිමේන්තුවේ කමිටු කාමරයක තිබූ දිස්ත්‍රික් සංවර්ධන කමිටු ප්‍රධානීන්ගේ හමුවට ද සහභාගි වී තිබිණි.
සම්බන්දන් පවුල ගොඩනැගෙයිද?
සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු රැස්වීමෙන් පසු ජනාධිපතිවරයා ගියේ දෙමළ ජාතික සන්ධානයේ නායක අභාවප්‍රාප්ත ආර්. සම්බන්දන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ය. ඒ, බොරැල්ල පිහිටි රේමන්ඩ් අවමංගල්‍ය ශාලාවට ය. එහිදී සියල්ලන් සම්බන්දන්ගේ පුත්‍රයා සමග ශෝකය බෙදාගනු දැකිය හැකි වූ අතර, ඔහු ද ලංකාවේ දේශපාලනය තුළ සම්බන්දන් භූමිකාව ගැන පුළුල් ලෙස අදහස් දක්වනු දැකිය හැකි විය. පවුලේ අනෙකුත් සාමාජිකයන් හැඟීම්බර වන විට, ඔහු දේශපාලනඥයන් සහ සම්බන්දන්ට අවසන් ගෞරව දැක්වීමට පැමිණි සියලුදෙනා සමග අදහස් හුවමාරු කරගත්තේය.
එය සාමාන්‍ය ජනතාවට ද පොදු විය. සම්බන්දන් ගැන පවසන සාමාන්‍ය ජනතාව සමග එක්වූ ඔහු, මාධ්‍යවේදීන් සමග ද කුළුපගව කටයුතු කරනු දැකිය හැකි විය. මෙහි සියලු සංවිධාන කටයුතුවලට මැදිහත් වූ සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් ඔහු ව හඳූන්වා දෙනු ද දැකිය හැකි විය. දුර සිට බලන කෙනෙකුට ඇතැම් විට පෙනෙන්නට ඇත්තේ එය අනාගත දේශපාලන ඉලක්කයක් ලෙස ය.
මේ ගැන ඇසූ කෙනෙකුට සම්බන්දන්ගේ පුත්‍රයා පැහැදිලි පිළිතුරක් දී තිබිණි.
‘තාත්තගෙ ඔළුවෙ එහෙම කිසිම අදහසක් තිබුණෙ නෑ. තාත්තා තාත්තා. අපි අපි.’
ජනාධිපතිගේ රැස්වීම් වර්ග තුන
ජනාධිපතිවරයා මේ දිනවල රැස්වීම් වර්ග කිහිපයකට සහභාගි වේ. එකක් ධුරයට අදාළ රැස්වීම් ය. තවත් කොටසක් එක්සත් ජාතික පක්ෂ රැස්වීම් ය. තවත් කොටසක් පොදුජන පෙරමුණු රැස්වීම් ය. මෙයින් මුල් කොටසට අයත් රැස්වීමක් බදාදා අරලියගහ මන්දිරයේ පැවැත්විණි. ඒ ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයකි. ඉන්පසු දෙවැනි ජාතියේ එකකි. ඒ, ගම්පහ එක්සත් ජාතික පක්ෂ කලාප සංවිධායකවරුන්ගේ රැස්වීමකි. එහිදී පොදුජන පෙරමුණේ සාමාජිකයන් එජාපියට පැමිණීම සහ ඔවුන්ගේ රැස්වීම්වලට යෑම ගැන කතාබහක් සිදු විය.
‘එක පළතුරක් ආහාරයට ගත්තොත් ඒක ඒ පළතුරේ නමින් හඳුන්වනවා. හැබැයි පළතුරු ගොඩක කෑලි එකතු වුණාම ඒක ෆෲට් සැලඩ් එකක් වෙනවා. ඉතින් මේ ඔක්කොම එකතු කරගෙන තමයි ඉස්සරහට යන්න ඕනෙ. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය මුළු රටේම ජයග්‍රහණයට වැදගත්.’
ජනාධිපති ඒ ගැන එහෙම කතාවක් කිව්වේය. කරු ජයසූරිය පාර්ලිමේන්තු මන්ත්‍රී වන විට උපේක්ෂා ස්වර්ණමාලි ඊට ඉහළින් තැබුවේත්, බැසිල් රාජපක්ෂට වාර්තාගත මනාප ප්‍රමාණයක් ලබාදුන්නේත් ගම්පහ දිස්ත්‍රික්කයයි.
‘දැන් හැමෝම කතාකරන්නෙ ජනාධිපතිවරණය ගැන අර්ථ නිරූපණයක් ඉල්ලලා ශ්‍රේෂ්ඨාධිකරණයට දාලා තියෙන පෙත්සම ගැන. විපක්ෂය කියන්නෙ අපි ඒක පිටිපස්සෙ ඉන්නවා කියලා.’
වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා මැති-ඇමැතිවරුන් සහභාගි වූ ජනාධිපතිවරයාගේ රැස්වීමකදී එසේ කතාවක් පටන්ගෙන තිබිණි. ඒ, බ්‍රහස්පතින්දා මල් පාරේදී ය. ‘මම මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණය තියන්න සහාය දෙනවා කියලා නිවේදනය කළා. අනෙක් පැත්තෙන් අපි මැතිවරණ කොමිසමට රුපියල් බිලියන අටක් වෙන්කරලා තියෙනවා. ජනාධිපති ධුර කාලය අවුරුදු පහයි කියන එක මමත් පිළිගන්නවා.’ ජනාධිපතිවරයා හොඳ ළමයාගේ භූමිකාව එසේ රඟදැක්වීය.
‘හැබැයි 19 වැනි සංශෝධනයෙන් අවුරුදු හය අවුරුදු පහට අඩු කළාට අවුරුදු හය අවලංගු වෙලා නෑ කියලත් තර්කයක් තියෙනවා.’ මන්ත්‍රී දොළවත්ත පරණ කතාව ම මෙහිදී යළිත් මතුකර තිබිණි.
‘ඔව්. ඒ නිසා තමයි අවුරුදු හය ඉවත් කරලා ඒක අවුරුදු පහක් විය යුතුයි කියලා ව්‍යවස්ථාව සංශෝධනය කරන්න කැබිනට් එකට යෝජනාවක් දැම්මෙ.’
දැන් මෙසේ අදහස් දැක්වුවද, 19 වැනි සංශෝධනය සකස් කරන අවස්ථාව වන විට අගමැතිවරයා වූයේ රනිල් වික්‍රමසිංහ ය. ඒ ගැන ඔවුන්ගේ පැත්තෙන් පිළිතුරක් තිබේ.
‘ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනයි, ජනාධිපති නීතිඥ ජයම්පතී වික්‍රමරත්නයි එකතු වෙලා තමයි මේ සංශෝධනය හැදුවෙ. එදා අගමැති විදිහට රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ කාරණයට මැදිහත් වුණේ නෑ.’ මහාචාර්ය ආශු මාරසිංහ එසේ කීවද, ඒ කාලයේ පැවැති ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් නම් කියන්නේ මේ සියලු රැස්වීම් රනිල් අගමැතිවරයා ලෙස නියෝජනය කළ බවයි.
වෙනම වගේ එකට සිටින හැටි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැලණිය ආසන බල මණ්ඩලය පසුගිය සතියේ පැවැත්විණි. එය සංවිධානය කර තිබුණේ රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීරයි. මීට ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග, පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, තිස්ස කුටිටිආරච්චි, ඩී. වීරසිංහ ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
‘ගෝඨාභය ජනාධිපතිතුමා අයින් වුණහම රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති කරන්න තීරණය කළේ පක්ෂය. අපි ඒකට උපරිම සහාය දුන්නා. මේ වෙලාවෙදිත් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පක්ෂය හොඳ තීරණයක් ගනියි කියලා අපි හිතනවා.’ ප්‍රසන්න ඒ කතාව කියා තිබුණේ නාමල් ව ළඟ තියාගෙන ය. නාමල් හැමතැනම කියන්නේ පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙන් ඉදිරිපත් වන බවකි. රැස්වීමේ ඊළඟ කතාව තිබුණේ කුට්ටිආරච්චිට ය.
‘අපි වෙන අයට සහයෝගය දෙන්නෙ නෑ. අපි පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් දානවා.’ කුට්ටිආරච්චි එක්වරම කියා තිබිණි.
කතාව අවසන් වූ විගස ප්‍රසන්න අසා තිබුණේ පොදුජන පෙරමුණේ අපි නොදන්න අපේක්ෂකයා කවුද යනුවෙනි. එහිදී කුට්ටිආරච්චි කියා තිබුණේ වෙන කවුද ඉතින්, රනිල් මිසක් යනුවෙනි. කුට්ටිආරච්චි සිටින්නේ නාමල්ගේ කණ්ඩායමේ ය.
එකතු වෙලා ගහන ගේම
මේ ජාතියේ ම තවත් කතාවක් තිබේ. ඒ නිවේදක කතාවකි. කාංචනගේ මාතර රැස්වීමේ නිවේදන කටයුතු කළේ පොදුජන පෙරමුණේ නිල නිවේදක ලෙස හැඳින්වෙන නුවන් තාරකයි. කාංචනගේ ආරාධනය ලැබුණු පසු, නුවන් ඊට බැසිල්ගේ මෙන්ම නාමල්ගේ ද අනුමැතිය ලබාගෙන තිබිණි. රනිල්ට එරෙහිව කතා පවත්වන නාමල් ද ඊට එකපයින් කැමැත්ත දී තිබිණි. කෙසේ වෙතත් මාතර වේදිකාවේ සිටින විට නුවන්ට කතා කළ පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසා තිබුණේ ‘දැන්ම ඔය වේදිකාවෙන් බහින්න’ යනුවෙනි.
මේ ගැන දැනගත් ප්‍රසන්න සාගරට අමතා තිබිණි. ‘මොකක්ද මහලේකම්තුමා අපි මේ එකතු වෙලා ගේමක් ගහන්න හදනකොට ඔයගොල්ලො ඒක බකල් කරන්න හදන්නෙ.’
යාපනයේදී දුන්නු ඉඟිය
දේශපාලන ක්ෂේත්‍රයේ මේ දිනවල වැඩියෙන් කතාබහ කෙරෙන චරිතයකි, ධම්මික පෙරේරා. ඔහු පසුගිය සතියේ යාපනයේ ඩී.පී එඩියුකේෂන් සහතිකපත් ප්‍රදානයකට සහභාගි විය. විශාලපිරිසක් ඊට සහභාගි වී සිටියේය. ධම්මික පෙරේරා යාපනයේ මුටෘවේලි ක්‍රීඩාංගනය ජනතාවගෙන් පිරවීමට සමත් වූ බවට වාර්තා පළ විය.
අනෙක් කතා කෙසේ වෙතත් මෙහිදී ධම්මික පැවසූ එක් කාරණයක් පිළිබඳව ජනතාවගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබිණි. ඒ, යාපනයේ ජනතාවට කොළඹට පැමිණ කරගැනීමට ඇති වැඩ යාපනයේදී ම කරගැනීම සඳහා වන සැලසුම් සකස් කෙරෙමින් තිබෙන බවයි. එය දේශපාලන ඉඟියක් ද විය. නිකම්ම ධම්මික පෙරේරාට එසේ කළ නොහැකිය.
ශ්‍රීලනිපයෙන් තවත් නඩුවක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස දැන් අධිකරණයෙන් වර ලබා ඇත්තේ දයාසිරි ජයසේකර ය. එහෙත් පක්ෂයේ තවමත් එකක් නැත. මෛත්‍රිපාල සිරිසේන නම් තමන් අධිකරණ තීන්වදු පිළිගන්නා බව කියා තිබිණි. සිකුරාදා පෙරවරුවේ දයාසිරි කොළඹ, ඩාලි පාරේ පිහිටි පක්ෂ මූළස්ථානයට ගියේ මහ ලේකම්වරයා ලෙස වැඩ බාරගන්නට ය. එහෙත් එහි සිටියේ පොලිසියයි.
මූලස්ථානයට අගුලු දමා වසා තිබිණි. පොලිස් නිලධාරීන් දයාසිරිට එහි යෑමට ඉඩදුන්නේ නැත. ඒ සම්බන්ධයෙන් විමසීමේදී පොලිසිය කිසිදු නිශ්චිත පිළිතුරක් දී තිබුණේත් නැත. එහෙත් යන්න දුන්නේත් නැත. මේ නිසා මඳ වර්ෂාවේ ම මූලස්ථානයෙන් එළියේ බංකුවක් මත තබාගෙන වැඩ බාරගැනීමේ ලිපියට අත්සන් කිරීමට දයාසිරි කටයුතු කළේය. එහිදී ඔහු තවත් කාරණයක් කියා තිබිණි. ඒ අධිකරණ නියෝගයක් තිබියදී තමන්ට බාධා කළ පොලිසියට එරෙහිව නඩු දමන බවටයි. නිකම් අහක යන ඒවා කන්නට වෙන්නේ මාසික වැටුපට රාජකාරි කරන පොලිස් නිලධාරීන්ට ය.
No comments:
Post a Comment