වසර 41කට පසු
රනිල්ගේ ඊළඟ සැලසුම !
ජේ.ආර්. ජයවර්ධන 77 ඡන්දයෙන් ලංකාවේ අගමැතිවරයා විය. අගමැති ධුරයේ දිවුරුම් දුන් ඔහු ඒ වන විට ක්‍රියාත්මක වූ 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනාවේය. ඒ එහි දෙවැනි සංශෝධනයයි. එහි සඳහන් වූයේ දැනට ධුරය දරන අගමැතිවරයා, ජනතාව විසින් තෝරා පත්කරගන්නා ලද ජනාධිපතිවරයා වන්නේය යනුවෙනි.
ඒ අනුව ඔහු අගමැතිකමෙන් ජනාධිපතිකමට මාරු විය. ඊට මාස 10කට පසු ජේ.ආර්. 78 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනාවේය. දැනට ජනාධිපති ධුරය දරන තැනැත්තා ජනතාව විසින් පත්කරගන්නා ලද ජනාධිපතිවරයා වන්නේය යනුවෙන් එහි දැක්විණි. තවත් කාරණයකි. 78 පෙබරවාරි 04 වැනිදා සිට ඔහු වසර හයකට ධුරය දරන්නේය යනුවෙන් ද එහි සඳහන් විය. වසර 4ක කාලයක් ගත විය.
ආන්දෝලනාත්මක සරත් නන්ද සිල්වා
එවකට බලයක් සහිත ප්‍රතිවාදියා වූ සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය ඒ වන විට අහෝසි කර තිබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදී තිබිණි. ජේ.ආර්. ට අවශ්‍ය වූයේ වන් හෝර්ස් රේස් (තනි අශ්වයකු තරග වදින තරගයකින්) එකකින් ඡන්දයක් තියා දිනන්නට ය. මේ ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය විය. අදාළ සංශෝධනය කෙටුම්පත් කිරීමේ වගකීම පැවරුණේ එවකට නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සරත් නන්ද සිල්වාට ය. පසුව ඔහු අගවිනිසුරු වූ අතර, ඔහුගේ ඇතැම් කටයුතු දැ ඩිවිවේචනයට ද ලක්විය.
නීතිපතිවරයා ඔහුට මේ සංශෝධන කෙටුම්පතේ වගකීම පැවරු විට ඔහු ඊට දැඩිව විරුද්ධ වී තිබිණි. ව්‍යවස්ථාවේ නිශ්චිතව තියෙන කරුණක් වෙනස් කරන්නෙ කොහොමද යන්න ඔහු ඇසූ ප්‍රශ්නය විය. එහෙත් වැඩක් නැත. නීතිපතිවරයා කියා තිබුණේ ජේ.ආර්.ට මෙය කෙසේ හෝ මේ මොහොතේ කරගැනීමට අවශ්‍ය වී ඇති බවයි. ඒ අනුව සංශෝධන කෙටුම්පත සැකසිණි. කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් විභාගයේදී සුප්‍රකට රාජ නීතිඥ නඩේසන් මෙහි ව්‍යවස්ථා විරෝධී බව පිළිබඳ තර්ක රැසක් ඉදිරිපත් කර තිබුණත්, සංශෝධනය අනුමත විය.
කෙටුම්පත සකස් කිරීමට විරෝධය දැක්වූ එවකට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සරත් නන්ද සිල්වා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දක්වමින් මෙමගින් ජනතාව පරමාධිපත්‍යයට කිසිදු හානියක් සිදුනොවන බව සඳහන් කර තිබිණි. මේ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම, ලාම්පු කලගෙඩි සෙල්ලම නොතිබුණා නම්, රටක් ලෙස ලංකාවට දැවැන්ත කළු පැල්ලමක් එකතු කළ කළු ජූලිය ඇතිනොවන්නට ද ඉඩ තිබිණි. ඒ, එවැන්නකට ඉඩක් නොලැබෙන නිසා ය.
41 වසරකට පසු අනුර කියන දේ
වසර 41කට පසු නැවතත් අත්‍යවශ්‍ය නොවන ව්‍යවස්ථා සංශෝධනයක් ගැන මාතෘකාවක් කරළියට පැමිණ තිබේ. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කියන්නේ රනිල් වික්‍රමසිංහ විසින් මෙවැනි කරුණු මගින් සමාජය අවුල් කරන බවයි. සමාජය අවුල් කිරීමේ ප්‍රතිඵල ලැබෙන්නේ දරුණු විදිහට ය.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් තීන්දුව දැන් ආණ්ඩුවේ ප්‍රධාන ආයතන තුන අතර අවුලක් බවට පත්කර තිබේ. ආණ්ඩුවේ ප්‍රධාන ආයතන තුන වන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයයි. අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ පවසන්නේ එම තීන්දුවට අනුගතව කටයුතු කළ යුතු බවයි. කෙසේ වෙතත් අගමැති දිනේෂ් ගුණවර්ධන සහ කාතානායක මහින්ද යාපා අබේවර්ධන පැවසුවේ ජනාධිපතිවරයාට වැඩ බලන පොලිස්පතිවරයකු පත්කළ නොහැකි බවයි.
පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ පුටු දෙක ම මේ වන විට නැත. පොලිස්පතිවරයකු නැත. ඒ දේශබන්දු තෙන්නකෝන් එම ධුරය දැරීම අධිකරණයෙන් වැළැක්වීම නිසා ය. දෙපාර්තමේන්තුවේ දෙවැනියා ලෙස සැලකෙන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ද නැත. ඒ නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යැවීමට පොලිස් කොමිසම කටයුතු කළ නිසා ය. මේ හේතු නිසා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළද, ඡන්දය තියන්නට හැකියාවක් නැති බවට ජනතාව අතරට මතයක් ගෙනයමින් තිබේ.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල්.ඒ. රත්නායක කියන්නේ පොලිස්පතිවරයකු නොමැති වීම මැතිවරණ රාජකාරිවලට බාධාවක් වී නැති බවයි. මේ වනවිටත් පොලිස් දෙපාර්තමේන්තුවේ මැතිවරණ දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සමග එම කටයුතු සිදුකරගෙන යන බව ද ඔහු කියයි.
ජාජබ අලුත් වැඩකට අතගසයි
මේ ගැන හොඳ ම කතාව කිව්වේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න ය. ඔහු වසර 16කට ආසන්න කාලයක් පොලිසියේ මැතිවරණ දිසාව බාර ව කටයුතු කර ඇත. පසුගිය 26 වැනිදා සිට ඔහු අලුත් වැඩකට අතගැසුවේය. ඒ, ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස ය. ඔහුට අනුව පොලිස්පතිවරයකු සිටියත්, නැතත් එය මැතිවරණයට අදාළ නැත. මැතිවරණ කොමිසමේ සභාපතිවරය කියූ කතාව ම ඔහුත් කියයි.
විපක්ෂය වෙනස් සැලසුමක
මේ අතර විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හදිසි සැලසුමක් සකස් කර තිබේ. ඒ ජනාධිපතිවරයාට එරෙහි ව්‍යාපෘතියකි. ඊට අවශ්‍ය අඩුම-කුඩුම ලබාදී ඇත්තේ ආණ්ඩුවෙනි. ආණ්ඩුවේ ප්‍රකට ඇමැතිවරයෙකි. නීතිඥයෙකි. ඒ සැලසුමට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38.2 වගන්තියට අනුව ජනාධිපතිවරයාට තවදුරටත් ධුරය දැරිය නොහැකිය. ඊට හේතු වන්නේ 38.2 සඳහන් අබලතාව සහ 38.2(අ) හි සඳහන් හිතාමතා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමයි. මැතිවරණ කාලයක කියා ගැටලුවක් නැත. මැතිවරණ කොමිසමේ එකඟතාව මත අත්‍යවශ්‍ය තනතුරකට සුදුස්සකු පත්කළ හැකිය.
තාක්ෂණික කරුණු ඔස්සේ ටිකක් දිගට ගියේය. ඒත් ඇතැම් සතිවල දේශපාලන පසුබිම හැදෙන්නේ ම තාක්ෂණික කරුණු ඔස්සේ ය. ඇතැම් සතිවල ඕපාදූප ඔස්සේ ය. ඇතැම් සතිවල කවුරුවත් නොහිතන ගේම් ඔස්සේ ය. ඒක මේ දේශපාලනයේ හැටි ය.
ගම්පහ රැළියට නොපැමිණි රාජ්‍ය ඇමැතිවරු දෙදෙනා
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවාද, නැද්ද යන ගැටලුව සිකුරාදා තරමක් විසඳීණි. ඒ, ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට රුපියල් 75,000ක ඇප මුදලක් ඔහු වෙනුවෙන් මැතිවරණ කොමිසමට බැඳීම නිසා ය. පසුගිය 21දා රනිල්ගේ කඩවත රැළිය පැවැත්විණි. පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මෙය සංවිධානය කර තිබූ අතර, ඇමති ප්‍රසන්න රණතුංග, කෝකිලා හර්ෂනී, මිලාන් ජයතිලක, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, සිසිර ජයකොඩි ඇතුළු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති-ඇමතිවරු 28 දෙනෙක් මීට සහභාගි වූහ.
ඉන්දික අනුරුද්ධ සහ ප්‍රසන්න රණවීර රාජ්‍ය ඇමැතිවරුන් මෙහි සිටියේ නැත. ඉන්දික අනුරුද්ධ රාජ්‍ය ඇමැතිවරයා නියෝජනය කරන දිවුලපිටියේ, ප්‍රාදේශීය සභා සභාපති ඉන්දික ජයසිංහත්, ප්‍රසන්න රණවීරගේ, කැලණිය ප්‍රාදේශීය සභාවේ සහ පෑලියගොඩ නගර සභාවේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරු රැසකුත් මීට එක්වී සිටියහ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් පමණක් එසේ සහභාගි වූ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 380ක් බව රැළියේ වාර්තාවල දැක්විණි.
‘77ත් මෙහෙම කරන්න බැරි වුණා’
ජනාධිපති රනිල් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බවට වන යෝජනාවක් මෙහිදී ඉදිරිපත් කරන ලද්දේ ඇමති ප්‍රසන්න රණතුංග ය. රැළියට සහභාගි වූ ජනතාව සහ මැති- ඇමතිවරු අත් ඔසවමින් එම යෝජනාව ඒකමතිකව සම්මත කළහ.
‘දැන් නම් ඔබතුමාට පැනලා යන්න බෑ. ජනාධිපතිවරණයට ඉල්ලන්නම වෙනවා.’
ඇමති ප්‍රසන්න කීවේය.
‘ජනාධිපතිවරණයට එන්න කියල මෙතැන යෝජනාවක් සම්මත කළා. මම ඒකට සුදුසු වෙලාවට උත්තර දෙනවා’ රනිල් ඊට උත්තර දුන්නේ එහෙම ය.
රැළිය අවසන් කර කතරගම යෑමට සැලසුම් කර තිබුණත්, ජනාධිපතිවරයා කෙලින්ම ගියේ කඩවත පිහිටි මන්ත්‍රී සහන්ගේ නිවසට ය.
‘මම 77 ඡන්දය ඉල්ලනකොටවත් කඩවතට මෙච්චර සෙනඟක් ගේන්න බැරිවුණා’
රනිල් සහන්ගේ නිවසේ සිටි ඔහුගේ ඥාතීන්ට එසේ කියා තිබිණි. මෙහිදී සහන් කිව්වේ ප්‍රසන්න සියල්ලන්ට වඩා මහන්සි වූ බවයි.
‘මම දේශපාලනයට ගෙනාපු අයම අද මට ගහනවා. පක්ෂය විරුද්ධ වෙද්දිත් මම ඒ අයට නොමිනේෂන් දුන්නා. සුසිල් ඇමතිතුමා එතකොට ශ්‍රී ලංකා එකේ මහ ලේකම්. ඒ ගැන එතුමා හොඳට දන්නවා.’
ප්‍රසන්න කී දුක ඇසූ රනිල් දේශපාලනයෙදි ඔය දේවල් සාමාන්‍යයි යනුවෙන් කියමින් සියල්ල ෂේප් කර තිබිණි.
බ්‍රහස්පතින්දා දිනයේ මැතිවරණ කොමිසමෙන් සිකුරාදා ජනාධිපතිවරණ දිනය කියන බව කිව්වත්, බහුතරයකට තිබුණේ සැකයකි.
‘ඔය කිවව්ට රනිල් මොනවා හරි ගේමක් ගහයි.’
තැන තැන කසුකුසුවලට රනිල්ගෙන් පිළිතුරු
එහෙම එකක් ජනතාවගේ ඔළුවල ද වැඩ කළේය. රනිල්ට ද එවැන්නක් ජනතාවගේ ඔළුවල තහවුරු කිරීමට අවශ්‍ය බවක් පෙනෙන්නට තිබිණි. කෙසේ වෙතත් පසුගිය සඳූදා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට රනිල් පැහැදිලිව කී එක දෙයක් විය. ඒ, ජනාධිපතිවරණය අනිවාර්යයෙන් පවත්වන බවයි.
‘මේ වසරේ ජනාධිපතිවරණය විතරයි. අනෙක් මැතිවරණ 2025 තමයි.’
රනිල් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙසේ කීවාට, අඟහරුවාදා වන විට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කතාවක් ක්ෂණිකව පැතිර ගියේය. දින වකවානු වෙනස් වුවද, ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග කියන්නේ බොහෝ විට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඉඩ ඇති බවකි. එවැනි තීරණයකින් ජාතික ජන බලවේගයට සහ සමගි ජන බලවේගයට අවාසි වන ආකාරය සම්බන්ධයෙන් රනිල් තමන්ගේ සමීපතමයන් පිරිසක් සමග ගණන් හැදිල්ලක් ද කර තිබේ.
කාර්යබහුල මලලසේකර මාවත
සඳූදා රාත්‍රියේත්, බදාදා රාත්‍රියේත් මලලසේකර මාවත කාර්යබහුල විය. සඳූදා රාත්‍රියේ මහින්ද අමරවීර සමග එක්වූ පොදුජන පෙරමුණේ දිස්ත්‍රික්ක 12ක නායකයන් රනිල්ට පමණක් සහාය දීමේ තීරණයක් ගෙන තිබිණි. බ්‍රහස්පතින්දා රාත්‍රියේ මැති-ඇමැතිවරුන් 30 දෙනෙකු සිටියේ මලලසේකර මාවතේ ය. ඒ අතර තලවතුගොඩ මොනාර්ක් හෝටයට ද මැති-ඇමැතිවරු 18 දෙනෙක් රැස්වූහ. ඔවුන් සියල්ලන්ගේ සියලු සාකච්ඡාවල අරමුණ වූයේ රනිල්ට සහාය දීමට පොදුජන පෙරමුණේ ඇති බාධා ඉවත් කිරීමයි.
මහින්දට ප්‍රශ්න පත්‍රයක්
ආණ්ඩුව නියෝජනය කරන පොදුජන පෙරමුණේ මැති-ඇමැතිවරු 30කට අධික පිරිසක් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවූහ.
‘ජනාධිපතිවරණයෙදි මොකද කරන්නෙ?’
ඔවුහු විමසූහ.
‘තවම තීරණයක් අරගෙන නෑ.’
හිටපු ජනාධිපතිවරයා කීවේය.
‘අපි රනිල් වික්‍රමසිංහ මහත්තයට සහයෝගය දෙනවා. ඒක නිසා පක්ෂයෙන් වෙන කෙනෙක් දාන්න එපා. අපි ඔක්කොම එක තීරණයකට එමු.’
පිරිස යළිත් කීහ.
‘පක්ෂය තවම තීන්දුවක් අරගෙන නෑ.’
හිටපු ජනාධිපතිවරයා යළිත් කීය.
‘මේ වෙලාවෙ රටම ඉන්නෙ රනිල්ට ආපහු චාන්ස් එකක් දෙන්න ඕනෙ කියන තැන. අපි බලන්න ඕනෙ රටේ මහජන මතය ගැන. ඒක නිසා මේ වෙලාවෙ පක්ෂයෙන් කෙනෙක් දානව කියන්නෙ පක්ෂය දෙකට කැඩෙන එකට. මේක අපි දුක් මහන්සියෙන් හදපු පක්ෂය. පක්ෂය කැඩෙන එක අපිට දරාගන්න අමාරුයි.’
පිරිස දිගටම කීහ.
‘අනෙක ඔය දාන්න හදන මනුස්සයා කිසිම දේශපාලන අත්දැකීමක් තියෙන කෙනෙක් නෙමෙයි. ඒ වගේ කෙනෙක් කොහොමටවත් ගැලපෙන්නෙ නෑ.’
මැති-ඇමැතිවරුන්ගේ සෘජු කතා වැඩි විය.
‘පක්ෂය කැඩෙන එකට නම් මමත් එකඟ නෑ. අපි මේක කතාකරලා විසඳගමු.’
හිටපු ජනාධිපතිවරයා එසේ කියමින් වැඩේ අවසන් කළේය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ කාර්යාලයට මැති-ඇමැතිවරුන් කැඳවා තිබුණේ ඡන්දය ගැන කතාකිරීමට ය. මේ රැස්වීමෙන් පසු මාධ්‍යවේදීන් ප්‍රසන්නගෙන් ඇසුවේ පක්ෂය දෙකඩ වුණා නේද යනුවෙනි.
‘තවම නෑ. හැබැයි බහුතර මතයට විරුද්ධ වුණොත් ඒක වෙයි.’
ප්‍රසන්න කිව්වේය.
රනිල් - නාමල් සාකච්ඡාවක්
මේ අතර පසුගිය සඳුදා ජනාධිපති රනිල් සහ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සාකච්ඡාවකට එක්වූහ. ජනපති රනිල් ය. අගමැති නාමල් ය. සාකච්ඡාවේ කතාබහ වූයේ කුමක්ද යන්න හරියට පැහැදිලි නැතත්, එහෙම කතාවකි එළියට ආවේ.
මේ සාකච්ඡාවෙන් පසු රනිල්ගේ සමීපතමයකු නාමල් හමුවී තිබිණි. දෙදෙනාම හොඳීන් දන්නා මලලසේකර මාවතේදී මේ හමුව සිදු විය.
‘නාමල්, ඔයා ජනාධිපතිතුමාට මේ පාර නොමිනේෂන් දෙන්න උදව් කරන්න. අපි ඔයාට අගමැතිකම හරි ඉල්ලන හොඳම කැබිනට් ඇමැති ධුරයක් හරි දෙන්නම්.’
‘මට ඇත්තටම පෞද්ගලික වාසි එපා. අගමැතිකම දෙනවනම් ඒක කතාකරන්න ඕනෙ පක්ෂය එක්ක මිසක් මාත් එක්ක නෙමෙයි.’
‘නෑ... නාමල් ඒ ගැන හිතලා බලන්න.’
‘ඇත්තම කතාකරමුකො. අපි ජනාධිපතිතුමා මේ පාර අපේක්ෂකයා කළා කියමුකො. අපේ පක්ෂය තියන තැන මොකක්ද කියලා මුලින් කියන්න ඕනෙ. මොකද පොහොට්ටුව කියන්නෙ තනි පක්ෂයක් විදිහට තියෙන විශාලතම පක්ෂය. එතකොට අපිට බෑ කාගෙවත් වලිගයක් වෙන්න.’
‘අපිට ඒව කතා කරගන්න පුළුවන්.’
නාමල්ගේ සහ රනිල් පාර්ශ්වයේ මේ කතාව ගැන නාමල්ගේ පැත්තෙන් කියන්නේ මෙහෙම කතාවකි. රනිල්ගේ පැත්තෙන් කියන්නේ ඒ කතාවේදී මහින්දගෙන් සියලු දේ අහන්න ඕනෙ යනුවෙන් නාමල් කී බවකි. කෙසේ වෙතත් පොදුජන පෙරමුණේ සහාය නැත්නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම රනිල්ගේ ඉලක්ක අතර ඉදිරියෙන්ම තිබේ.
සජිත්ගේ පෙර සූදානමේ තරම
මේ දිනවල වැඩියෙන්ම වැඩ කරන්නේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ය. පසුගිය සතියේ කැපීපෙනුණු කාරණය වූයේ සජිත් පාර්ලිමේන්තු කතාවලට සූදානම් වීමේ තරම ය. විෂයයන් ගණනාවක් ගැන කතා කළ සජිත්, ඒ සියල්ල ගැන තොරතුරු සහිතව කතා කළේය. කෙසේ වෙතත් සජිත්ගේ පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ට අනුව ඔහු විපක්ෂ නායකවරයා ලෙසත්, පක්ෂ නායකයා ලෙසත් වැඩි ම කාලයක් ගනිමින්, අනෙකුත් මන්ත්‍රීවරුන්ට ඉඩක් දෙන්නේ නැත.
මේ ගැන සමගි ජන බලවේගය ඇතුළේ තියෙන්නේ මත දෙකකි. එකක් සජිත් වැඩේ හරියට කරනවා නම් වෙලාව ගත්තාට කමක් නැති බව ය. අනෙක වැඩේ හරියට කළත්, නොකළත් තනියෙන් උඩට ඒම අනුමත කළ නොහැකි බව ය.
කෙසේ වෙතත් මේ දිනවල සජිත් පක්ෂ රැස්වීම් බොහොමයක් පවත්වන්නේ සූම් ඔස්සේ ය. ඊට හේතුව ලෙස ඔහු කියන්නේ පිරිස එකතු කිරීමට, කොළඹට ඒමට වෙලාව වෙන්කිරීම අපරාදේ බව ය. මේ සූම් සාකච්ඡා සියල්ල සම්බන්ධීකරණය කිරීමේ වගකීම නිල වශයෙන් බාරගෙන ඇත්තේ සජිත්ගේ උපදේශකයකු වන ලක්ෂ්මන් ෆොන්සේකා ය. ඔහුත් සජිත් වගේ බව සමගි ජන බලවේගය කියයි. ඒ කියන්නේ සියලු වැඩ තමන්ගේ අතට ගන්නේය.
රනිල් එළියට නොයා ඇතුළේ රැඳෙයි
ඉරිදා දිනයෙන් පසු ප්‍රසිද්ධ රැස්වීම් කිසිවකට සහභාගි නොවූ රනිල්, මැතිවරණ සැලසුම් හැදීමේ සාකච්ඡා ගණනාවකට සහභාගි විය. ඒ සියලු සාකච්ඡාවල සිටි චරිත වූයේ සාගල රත්නායක, වජිර අවෙබ්ර්ධන, රුවන් විජයවර්ධන, අකිල විරාජ් කාරියවසම් ය. තවත් සමහරක් සාකච්ඡාවල ප්‍රසන්න රණතුංග අනිවාර්ය චරිතයක් විය. මැතිවරණ ප්‍රචාරණ කටයුතු ගැන මෙන්ම සකස් කරන සන්ධානය ගැන ද කාලයක් තිස්සේ සකස් කළ සැලසුම් සියල්ල ජනපති රනිල් වෙත මෙහිදී ලබාදී ඇත.
මේ අතර සාගල රත්නායක පසුගිය බදාදා මෙරට ආයෝජනය කර ඇති ඉන්දීය ව්‍යාපාර ප්‍රධානීන් මුණගැසුණේය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථක වීම නිසා තවත් ඉන්දීය ආයෝජන ඉදිරියේදී මෙරටට පැමිණෙනු ඇතැයි එහිදී අනාවැකි පළවී තිබිණි. නතර වී තිබූ ජපන් ව්‍යාපෘති යළිත් ආරම්භ කිරීමට කොළ එළි දල්වා තිබෙන බව ද මෙහිදී ඉන්දීය ව්‍යාපාර ප්‍රධානීහු සාගලට කීහ.
මේ අලුත් සාකච්ඡාවක් නොවේ. පසුගිය වසර දෙක පුරා මාස එකහමාරකට වරක් මේ රැස්වීම සාගල සහ ව්‍යාපාරිකයන් අතර පවත්වා ඇත. මෙහි සියලු වගකීම් ද රනිල් විසින් පවරා ඇත්තේ සාගලට ය.
‘එයාලා දැනගන්න ඕනෙ මම ගැන’
දේශබන්දු තෙන්නකෝන් තීන්දුව ලබාදුන් දවසේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණි රනිල්ට, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුනාරත්න හමු විය. එහිදී දිනිත් තීන්දුව ගැන රනිල් සමග සාකච්ඡාවකට මුලපුරා තිබිණි.
‘එයාලා තීන්දුව දෙන්න කල්ගන්නකොට මමත් ලෑස්ති වෙනවා කියලා දැනගන්න ඕනෙ.’
රනිල් කියා තිබුණේ එවැන්නකි.
රනිල් බ්‍රහස්පතින්දා පෙරවරුවේ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලය වෙත ගොස් ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු ගැන තවත් කතාබහකට සහභාගි වී තිබිණි. මෙහිදී බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ පොදුජන පෙරමුණේ පිරිසක් ද රනිල්ට හමුවී ඇත. ඒ සාකච්ඡා අවසන් වී ඇත්තේ සතුටු මුහුණුවලින් ය.
No comments:
Post a Comment