මේ ටික දවසට මොනවා වෙන්න බැරිද?
සැප්තැම්බර් 21 දිහා බලාගෙන ලංකාවට පැමිණි සුවිශේෂී අමුත්තා වූයේ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ය. ඔහු ආණ්ඩුවේ සහ විපක්ෂයේ ප්‍රධානීන් සියල්ල මුණගැසිණි. ඔහු ගියදාට පසු දින ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් කිව්වේ ‘අපි සජිත්ට’ යනුවෙනි. හැරෙන තැපෑලෙන් පක්ෂයේ නායකයා ඊට උත්තර බැන්දේය. මාවෙයි සේනාධිරාජා කිව්වේ එවැනි තීරණයක් පක්ෂය ගෙන නැති බවයි.
කෙසේ වෙතත් පසුගිය කාලය පුරා ම දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන රැස්වීම් සියල්ලේ ම අවුල් තිබිණි. ඒ රැස්වීම් සියල්ල අවසන් වී තිබුණේ නිශ්චිත එකඟතාවලින් තොරව ය. පක්ෂයේ ආසන සංවිධායකවරුන් පිරිසක් වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කරන්නේ ද එහි ප්‍රතිඵලයක් ලෙස ය. ඔවුන් උතුරේ පොදු අපේක්ෂකයා වන පී. අරියනේත්‍රම් ද මුණ ගැසී සාකච්ඡා පවත්වා තිබිණි. ආරංචිවල හැටියට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔවුන් සමග එක්වීමට අරියනේත්‍රම් ද කැමැත්ත පළකර ඇත.
දොවාල් - රිෂාඩ් හමුවෙන් පසු සිදුවූ දේ
කතාව පටන්ගත්තේ දොවාල් ගැන ය. දොවාල් අනෙක් අය කෙසේ වෙතත් රිෂාඩ් බදියුදීන් පවා මුණගැසිණි. සජිත් ප්‍රේමදාසට සහාය දෙන්නට ගොස් බරපතළ අර්බුදයකට මුහුණ දී සිටින අයෙකි, රිෂාඩ්. ඔහු සජිත් ළඟට ගියේය. පක්ෂයේ අනෙක් බහුතර ජ්‍යෙෂ්ඨයෝ රනිල් ළඟට ගියහ. මේ නිසා රිෂාඩ් පවත්වාගෙන ආ සමාජ මාධ්‍ය පිටු, යූ ටියුබ් නාලිකා ද අර්බුදයකට ගියේය. ඊට හේතු වූයේ ඒවාට මුදල් යොදවා තිබුණේ මේ සියල්ලන්ගේ සම්බන්ධකම් මත නිසා ය. ඔවුන් සියල්ලන්ගේ හිතවත් ව්‍යාපාරිකයන් නිසා ය. ජනාධිපතිවරණය ඉලක්ක කර ඔහු දැවැන්ත යූ ටියුබ් මෙහෙයුමක් සැලසුම් කර, ඊට අවශ්‍ය පිරිස් ද ගෙන තිබිණි. මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රකට දෙමළ මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් ද ඒ අතර වූහ. එහෙත් දැන් එය නවතා දමා තිබේ.
එවැනි තත්ත්වයක වුවත්, අජිත් දොවාල් සහ රිෂාඩ් අතර සාකච්ඡාව සෑහෙන වේලාවක් පවත්වා තිබේ. එහිදී කතා කර ඇත්තේ මොනවාද යන්න දන්නේ නැතත්, අර්බුදයට ගොස් සිටි රිෂාඩ් හදිසියේ ම අලුතින් රැස්වීම් රැසක් සංවිධානය කර ඇත්තේ ඒ සාකච්ඡාවෙන් පසුව බව වාර්තා වේ. ඒ පුත්තලමේ සහ කල්මුණේ ආශ්‍රිතව ය.
දැන් පුළුවන් නාමල්ට විතරද?
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හදිසියේ ම තීරණයක් ගෙන තිබේ. පසුගිය 05දා ඔහු රාජ්‍ය ඇමැතිවරුන් සිව්දෙනෙකු ධුරයෙන් ඉවත් කළේය. ඒ, පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂට සහාය දෙන පිරිස් ය. සිරිපාල ගම්ලත්, ප්‍රේමලාල් ජයසේකර, ඉන්දික අනුරුද්ධ සහ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා ඒ අතර වූහ. මේ අතරින් ප්‍රේමලාල් ජයසේකර මුලින් රනිල් ළඟට ආවේය. ඒ ජනාධිපතිවරණයේදී රනිල්ට සහාය දීම සියල්ලන්ගේ වගකීම බවත්, රට ගොඩගත හැක්කේ ඔහුට පමණක් බවත් කියමින් ය. පසුව නාමල් රාජපක්ෂ පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත්වීමෙන් පසු ඔහු නාමල් ළඟට ගියේය. දැන් ඔහු කියන්නේ ‘නාමල්ට විතරයි පුළුවන්’ කියා ය.
ප්‍රේමලාල් ජයසේකරගේ දියණිය වන්නේ ෂෙනාලි ජයසේකර ය. ප්‍රේමලාල් බන්ධනාගාරයේ සිටින කාලයේ ඔහුගේ සමීපතමයන් සමග දේශපාලනයේ තාත්තාගේ කොටස ඇදගෙන ගියේ ඇයයි. එහෙත් පසුගිය දිනවල ඇය වැඩි සද්දයක් නැත. ඊට හේතු වී ඇතැයි වාර්තා වන්නේ තාත්තාගේ මේ තීරණයට ඇය එතරම් එකඟ නොවීමයි.
‘ඔක්කොම වැනෙන අය අයින් කරන්න’
රනිල් ඇමැතිවරුන් ඉවත් කර නිකම් සිටියේ නැත. ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලුදෙනාට ඉවත් වන්නැයි නිල වශයෙන් කිව්වේය. ඒ, සිකුරාදා ය. රනිල්ට සහාය දක්වන නිමල් ලන්සලා, ප්‍රසන්න රණතුංගලා ඇතුළු පිරිසක් සහ ඔවුන්ගේ ගෝල-බාලයන්ගේ සංවිධාන කිහිපයක් ජනාධිපතිවරයාට පවසා තිබුණේ මේ නමට සිටින පිරිස් දේශපාලන සූදුවක නිරත වී සිටින බවයි.
එනම් රනිල්ගේ මැතිවරණ මෙහෙයුම් ගැන අනෙක් පාර්ශ්වවලට මේ පිරිස තොරතුරු ලබාදෙන නිසා ඔවුන් ඈතින් තියන්නැයි පිරිස ඉල්ලා තිබිණි. තමන්ට රනිල්ගේ මැතිවරණ මෙහෙයුම නිදහසේ කිරීමට එය බාධාවක් බවත්, උදාහරණ කිහිපයක් ද දක්වමින් ඔවුන් පෙන්වා දී ඇත. රනිල් ඊට එකඟ වී තිබේ.
රාජපක්ෂලාගේ 27 මෙන්න
රනිල් මේ කතාව කීමෙන් පසු වැනෙමින් සිටි පිරිසක් ගන්නේ මොන පැත්තද යන්න තීරණය කිරීමට රැස් වී තිබිණි. ඒ සාකච්ඡාවට හිටපු ඇමැති එස්.බී. දිසානායකත් සහභාගි වී තිබේ. කෙසේ වෙතත් දැනට පොදුජන පෙරමුණේ ඉතිරි වී සිටින, නාමල් රාජපක්ෂට අවංකව සහාය දෙන බව ප්‍රසිද්ධියේ කියන මන්ත්‍රීවරුන් පිරිස 27කි.
මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, සාගර කාරියවසම්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ජයන්ත කැටගොඩ, සංජීව එදිරිමාන්න, රංජිත් බණ්ඩාර, ඩබ්ලිව්.ඩී. වීරසිංහ, යූ.කේ. සුමිත්, තිස්ස කුට්ටිආරච්චි, නිපුණ රණවක, ඩී.වී. චානක, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර, ඉසුරු දොඩංගොඩ, ගාමිණී ලොකුගේ, මර්ජාන් ෆලීල්, සිරිපාල ගම්ලත්, සරත් වීරසේකර, තේනුක විදානගමගේ, සමන්ප්‍රිය හේරත්, මංජු ලලිත් වර්ණ කුමාර, නාලක කෝට්ටේගොඩ, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා සහ සී.බී. රත්නායක එම පිරිස වෙති.
මේ අතර රනිල් වික්‍රමසිංහ තවත් වැඩක් පටන්ගෙන තිබේ. ඒ, සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පාක්ෂිකයකු නොවන බව හැම රැස්වීමකදී ම පැවසීමයි. මේ වැඩේ ඔහු ආරම්භ කළේ යාපහුවෙන් ය. ඔහු දැන් එක්සත් ජාතික පාක්ෂිකයන් ගොඩ වෙන්කර ගැනීමේ උත්සාහයක යෙදී සිටී. කෙසේ වෙතත් ආරංචියේ හැටියට සජිත්ගේ ගොඩ වැඩි ය. එහෙත් මේ තීරණාත්මක ඡන්දයකි. මෙවැනි ඡන්දයකදී සතියක් කියන්නේත් ලොකු කාලයකි.
මොණරාගල වුණු දේ 21න් පස්සෙත් වෙයිද?
මේ අතරවාරයේ මොණරාගල ප්‍රාදේශීය සභාවේ තරංග දිසානායක මතක් කළ යුතුය. තරංග දිසානායක කියන්නේ ඒ ප්‍රාදේශීය සභාවට මදුරුකැටිය කොට්ඨාසයෙන් තරග කළ අපේක්ෂකයා ය. ඔහු 2018 පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අතර, මැතිවරණ අල්ලස් ලෙස බඩු බෙදා තිබිණි. මේ සම්බන්ධයෙන් දෙවැනියට මනාප ගත් අපේක්ෂකයා නඩුවක් පැවරූ අතර, නඩුවට ඉදිරිපත් කොට තිබුණේ බඩු ලබාගත් 90 දෙනෙකි. එහෙත් නඩුව ඉදිරියට යන විට සිදු වූයේ සාක්ෂිකරුවන් සියල්ල විත්තිකරුට, එනම් තරංග දිසානායකට පක්ෂ ව සාක්ෂි ලබාදීමයි. වැඩේ එතැනින් නතර වීමට තිබිණි.
එහෙත් එසේ වූයේ නැත. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන, නීතිඥයන් එක් ව වැඩේ වෙනත් පැත්තකින් ඇද්දේය. ඒ අනුව අදාළ මැතිවරණ කාලයේදී ජල හා විදුලි සම්බන්ධතා 60කට වැඩි සංඛ්‍යාවක් එකවර ලබා දී ඇති බවත්, එම සම්බන්ධතා සඳහා එක ම පුද්ගලයෙකු මුදල් ගෙවා ඇති බවත් නිරීක්ෂණය විය. ඒ පුද්ගලයා යනු තරංගගේ සහායකයෙකි. ඒ වෙනත් පැත්ත සාර්ථක වූ අතර, තරංගට මන්ත්‍රී ධුරය අහිමි විය. එම නඩු තීන්දුවට එරෙහිව සිදු කළ අභියාචනයෙන් ද ඔහු පැරදිණි.
ඡන්දය 21 වැනිදාගෙන් අවසන් නැත. 21 වැනිදා පසු වූ විට ද කරන්නට වැඩ තිබේ. කෙසේ වෙතත් අන්තිමට තරංග වෙනුවට සුදුසුකම් ලත් අනෙක් පුද්ගලයාගේ නම ගැසට් කිරීමේ වගකීම ඉතිරි විය. නඩුව අවසාන වන විට ජනාධිපති ධුරය දැරුවේ ගෝටාභය රාජපක්ෂ ය. පළාත් පාලන ආයතන කාලසීමාව අවසන් වන තෙක්, එම නම ගැසට් කිරීම සිදු වූයේ නැත.
ඇලෙක්සැන්ඩර් එදිරිව ලියෝ ප්‍රනාන්දු (1949-භඛඍ-202) නඩු තීන්දුවේ මෙසේ සඳහන් වේ.
‘පවතින මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ ප්‍රශ්නය ඡන්ද පෙත්සමකදී පෙත්සම්කරු හා වගඋත්තරකරු අතර ප්‍රශ්නයක් නොව ඡන්ද කොට්ඨාසයේ පොදු යහපතට අදාළ කරුණකි.’
මේ තීන්දුව ලබාදෙන ලද්දේ බුත්තල ආසනයට ඉදිරිපත් කළ ඡන්ද පෙත්සමක් ඉල්ලා අස්කර ගැනීමට ඉඩ නොදෙමිනි. එයින් කියන්නේ අතිශය වැදගත් කරුණකි. එනම් මැතිවරණ නීති උල්ලංඝනයක් හුදෙකලා කොට ගත නොහැකි බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කොට ඇති මූලික අයිතිවාසිකමක් වන භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යටතට ගැනෙන ඡන්ද අයිතිය තහවුරු කිරීම සඳහා මේ නීති නිසි පරිදි ක්‍රියාත්මක වීම වැදගත් ය. ඒ නිසා ඡන්දය දීමෙන් සියල්ල අවසන් වන්නේ නැත.
ජාජබ නොනවතින මෙහෙයුම්
මේ නිසා ය, ජාතික ජන බලවේගය පශ්චාත් මැතිවරණ මෙහෙයුමක් ද සැලසුම් කර තිබෙන්නේ. පොලිස් මැතිවරණ කොට්ඨාසය බාර ව වසර 16කට වැඩි කාලයක් සේවය කළ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න ප්‍රමුඛ කණ්ඩායමක් විසින් ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවත්වාගෙන යති. ඔවුන් ඒ වැඩේ 21 වැනිදායින් අවසන් කරන්නට සූදානම් නැත.
පශ්චාත් මැතිවරණ කාලයේදී අනෙක්තු අපේක්ෂකයන්ගේ වත්කම් - බැරකම්, මැතිවරණ වියදම් ඇතුළු අනෙකුත් කරුණු ගැන ද හොයන්නට ඔවුන් සූදානම් ය. එම නිසා ය, මේ ජනාධිපතිවරණය මෙතෙක් පැවැති තීරණාත්මක ම ජනාධිපතිවරණය වන්නේ. දිනුවත් ගැලවීමක් නැත. පැරදුණත් ගැලවීමක් නැත.
රනිල් වික්‍රමසිංහ මීට ම අදාළ වන තවත් කතාවක් කිව්වේය. ජේ.ආර්. ජයවර්ධන විපක්ෂයට ඉදිරියට එන්නට නොදුන් බවත්, සිරිමාවෝ බණ්ඩාරනායක ද එය කළ බවත් උදාහරණ සහිතව පෙන්වා දුන් රනිල්, මෑත කාලයේදී එය එසේ නොවීම නිසා අනුර කුමාර ඉහළට ආ බව කිව්වේය.
අනුර කියපු අලුත් කතාව
රනිල්ලා, සජිත්ලා මෙසේ වේදිකා දෙවනත් කරන විට, අනුර කුමාර පසුගිය බ්‍රහස්පතින්දා ජාතිය ඇමතීය. ඔහු එම විශේෂ ප්‍රකාශයෙන් කිව්වේ මේ තීරණාත්මක මැතිවරණයේදී අලුත් වෙනසකට යෑම හෝ නොයෑම යන දෙකෙන් වඩා වැදගත් තීරණය ගන්නා ලෙසයි. රට අස්ථාවර වී ඇති ආකාරයත්, නීතියේ ආධිපත්‍යය බිඳ වැටී ඇති ආකාරයත් පැහැදිලි කළ ඔහු, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කළේය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන කී විට වෙනත් කරුණු ද මතක් වේ. ලංකාවේ දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 21 වරක් සංශෝධනය කර තිබේ. එයින් සංශෝධන දෙකක් හෝ තුනක් හෝ හැර, අනෙකුත් සියලු ව්‍යවස්ථා සංශෝධන බලය පවත්වාගැනීම වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ඒවා ය. දේශපාලන විද්‍යා විෂය ක්ෂේත්‍රයට අදාළ ප්‍රකට කෘතියක් වන නිකොලායි මැකියාවෙලී සිය කුමාරයා කෘතියේත් කියන්නේ බලය ලබාගැනීමට වඩා දැවැන්ත අභියෝගය වන්නේ බලය පවත්වාගැනීම බවයි. කවුරු බලය ගත්තත්, දැවැන්ත ආර්ථික අර්බුදයක සිටින ලංකාවේ ජනතාව සමග ලේසිවන්නේ නැත. 2027 අවසානයේ සිට ණය ගෙවීමත් ආරම්භ කළ යුතුය. දැනට ඊට තාවකාලික සහනයක් ලැබී තිබේ. එම නිසා ඉන්නේ තරමක් නිදහසේ ය.
චන්ද්‍රිකා මොකාටද එන්නෙ?
එක්වරම හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක නිවේදනයක් නිකුත් කළාය. එහි දීර්ඝ කතාවක් තිබිණි. 2022 ජන අරගලයේදී ජනතාව බලාපොරොත්තු වූ රැඩිකල් වෙනස සිදුකිරීම මේ ජනාධිපතිවරණයේදී ජනතාවගේ වගකීම බව ඇය එමගින් අවධාරණය කර තිබිණි. ලංකාවට සිදු වුණේ කුමක්ද, දේශපාලනඥයාගේ වගකීම කුමක්ද වැනි කරුණු ද ඇය පැහැදිලි කර තිබිණි. ඒ පිළිබඳ ව ඇය සිය ෆේස්බුක් පිටුවේ පළ කළ ලිපියට පනහට පනහ ප්‍රතිචාර ලැබී තිබිණි. ඒ ප්‍රතිචාරවලින් බාගයකින් කියවුණේ ‘හිටපු අවුරුදු දහයෙ ඕවා ගැන නිකමටවත් හිතුණේ නැද්ද’ යනාදී සෘණාත්මක ප්‍රතිචාර ය. අනෙක් බාගයෙන් කියවුණේ ‘තේරුම් ගැනීම වැදගත් බවත්, එය අගය කළ යුතු බවත්’ ය.
තරුණ රැල්ල සහ ලෝක රැල්ල
ලංකාව වටේ ම යන නාමල් රාජපක්ෂට දෙහිවල රැස්වීම සුවිශේෂී එකක් වී තිබිණි. මෙය සංවිධානය කර තිබුණේ තරුණයන් පිරිසක් විසින් ය. මේ දෙහිවල රැස්වීමේ අත්සන් ලේඛනයේ දස දහසක් අත්සන් කර තිබූ බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශවල සඳහන් විය.
‘ලොකු සෙනඟක් ඉන්නවා. බොහොම හොඳයි.’
නාමල් සංවිධායක මණ්ඩලයට ස්තූති කළේ ප්‍රසිද්ධියේ ය.
‘ඔව්. අපි හතරදෙනෙක් එකතු වෙලා තමයි මේ රැස්වීම සංවිධානය කළේ.’
සංවිධායකයන් එසේ කියා තිබිණි.
‘කවුරුත් ගියා කියලා වැඩක් නෑ, තරුණ අපිට පුළුවන් ඕනෙ බරක් අදින්න.’
නැවතත් සංවිධායකයන් ය.
වටෙන්ම ගහන්නේ පොදුජන පෙරමුණේ පරණ පිරිසටයි. මේ තරුණයන්ගේ ජනාධිපතිවරණයක් බව දේශපාලන විශ්ලේෂකයන් කිව්වේ මීට වසරකට - දෙකකට පෙර සිට ය.
ඇමෙරිකාවේ 81 හැවිරිදි ජෝ බයිඩ්න්ගේ කායික සහ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් විවිධ කතා මතුවෙමින් තිබිණි. එහි ප්‍රතිඵලය වුණේ ට්‍රම්ප් සමග සටනින් ජෝ බයිඩ්න් ඉවතට විසිවීම ය. ඒ අනුව ඒ අවස්ථාව හිමිවූයේ කමලා හැරිස්ට ය. කමලා තවමත් පසුවන්නේ 59 වැනි වියේ ය. ජෝ බයිඩ්න්ගේ ඉවත්වීමත් සමග රාජ්‍යයක පාලකයාගේ වයස සහ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ලොව පුරා කතාබහක් නිර්මාණය විය.
පුද්ගලයෙකුට පූර්ණ කාලීන රැකියාවක නිරතවීමට වඩාත් සුදුසු වයස් සීමාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය නිශ්චිත අදහසක් දක්වා නැත. එහෙත් අන්තර්ජාතික කම්කරු සංවිධානයේ මගපෙන්වීම් හා යෝජනා මත බොහෝ රටවල් පූර්ණ කාලීන රැකියා සඳහා සුදුසු වයස් සීමාව ලෙස වයස අවුරුදු 15 සිට 64 දක්වා වන කාලය සඳහන් කර ඇත. ඇතැම් රටවල් මෙය වයස 25 සිට 54 දක්වා අඩු කර ඇත.
ඇමරිකා එක්සත් ජනපදයේ මේ දක්වා ජනාධිපති ධුරය දැරූ වයස්ගතම පුද්ගලයා ජෝ බයිඩ්න් ය. ඔහු 78 වැනි වියේදී තනතුරට පත් විය. නවසීලන්තයේ අග්‍රාමාත්‍ය ධුරය දැරූ වැඩිමල්ම පුද්ගලයා වෝල්ටර් නෑෂ් එම තනතුරට තේරීපත්වන විට වයස 75කි. ඉන්දියාවේ මෝරාජි දේසායි 1977දී බලයට පත්වන විට වයස 81කි. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වූයේ අවුරුදු 73දී ය.
ඇමරිකාවේ පාලන බලය හිමිකරගත් ලාබාලතම ජනාධිපතිවරයා තියඩෝර් රූස්වෙල්ට් ය. ඔහු තනතුරට එද්දී වයස අවුරුදු 42කි. එංගලන්තයේ විලියම් පිට් අගමැති තනතුරට පත්වෙද්දී ඔහුට වයස යාන්තම් 24කි. රුසියාවේ දිමිත්‍රි මෙද්වෙදෙව් වයස 42න් ජනාධිපති වූ අතර, පුටින් බලයට එද්දී වයස අවුරුදු 47කි. ඕස්ටේ්‍රලියාවේ ජෝර්ජ් රීඩ් බලයට පත්වෙද්දී ඔහුට වයස 37ක් වූ අතර, නවසීලන්තයේ ජූලියා වෝග් අගමැති වන්නේ වයස 34දී ය. ඉන්දියාවේ රජිව් ගාන්ධි වයස 40න් අගමැති තනතුරට එද්දී, ශ්‍රී ලංකාවේ මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක යන දෙදෙනා ම ජනාධිපති ධුරයට පත්වූයේ වයස අවුරුදු 54දී ය.
මෑත කාලයේදී බලයට පත්වී රටවල්වල කැපීපෙනෙන සංවර්ධන ප්‍රතිසංස්කරණ සිදු කළ පාලකයන් ලෙස ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ (52), එම්මානුවෙල් මැක්‍රෝන් (39), අයර්ලන්තයේ ලියෝ වරාද්කාර් (38), ඕස්ටේ්‍රලියාවේ ජූලියා ගිලාඩ් (49) වැනි චරිත සිටී.
රනිල්ගේ අය නාමල්-බැසිල් හමුවෙති
නාමල් රාජපක්ෂගේ කතාවෙන් තරුණයන් ගැන කතාව ටිකක් දිගට ඇදී ගියේය. රාජ්‍ය ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් හත්දෙනෙක් පසුගිය අඟහරුවාදා නාමල් සහ බැසිල් හමුවූහ. මෙහිදී මූලික වශයෙන් කතාවී තිබුණේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයකදී සිදුකරන්නේ කුමක්ද යන්නයි.
‘අපිට කිසි තැනක් නෑ, ඇතුළෙ මණ්ඩලේ කචල්. හරියට කිසිම දෙයක් සැලසුම් කරලා නෑ. අපිට පොදුජන පෙරමුණෙන් ඡන්දෙ ඉල්ලන්න ඕනෙ.’
පිරිස පැවසූ කිසිදු කතාවකට නාමල් හෝ බැසිල් කිසිදු ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැත.
පසුගිය සතියේ රනිල්ගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ වැඩියෙන්ම කතා වී තිබුණේ සජිත් ප්‍රේමදාසගේ ආර්ථික වැඩපිළිවෙල ගැන ය. එහි නම බ්ලූ ප්‍රින්ට් ය.
‘බ්ලූ ප්‍රින්ට් ආර්ථික වැඩපිළිවෙල හදලා තියෙන්නෙ හර්ෂ, ඉරාන්, කබීර් කියන තුන්දෙනා. මේක ඒගොල්ලො හදද්දි සජිත්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශය හැදුවෙ ඩලස්, ජී.එල්, ගොඩහේවා, පාඨලී. ඒ දෙකේ ප්‍රතිපත්ති වෙනස්.’
ප්‍රේම්නාත් සී. දොලවත්ත ය, ඒ.
‘බ්ලූ ප්‍රින්ට් එකෙන් රාජ්‍ය සේවය කප්පාදු කරනවා කියලා සඳහන් වෙනවා. ඒ අය අතරට හමුදා සෙබලුන් පවා ඉන්නවා. මේ ගැන කවුරුත් කතා කරන්නෙ නැත්තෙ ඇයි?’
ඒ රනිල් ය.
‘ඔව්. ජනාධිපති අපේක්ෂකයො 39ක් හිටියට කවුරුවත් කතාකරන්නෙ නෑ. අපිවත් මේ ගැන කතා කරමු.’
ප්‍රසන්න රණතුංග කතාවට එක්වී තිබුණේ එසේ ය.
No comments:
Post a Comment