2001 ජුනි 20 - 2024 ජුනි 20 :
අනුර - රනිල් වෙනස් ද?
මතු වී ඇති පාර්ලිමේන්තු - අධිකරණ සංවාදයේ දිග-පළල නිවැරදිව කිරා-මැනගැනීම වැදගත් ය. එසේ නොවුණහොත් මංමුලා වැල් පෑගී අතරමංවීමට ඉඩ ඇත. ‘කරළියේ රහස්’ කියන්නේ රහසේ පසුබිමටත් එක්ක ය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් නීතියට ඉහළින් සිටින බවක් සහ අධිකරණ බලයට ඔවුන් යටත් නැති බවක් ඇතැම්හු කියති. මේ විශ්වාසයකි. මේ විශ්වාසය ඇති වීමේ මුල තිබෙන්නේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ තිබූ එක්තරා වගන්තියක ය. ඒ මෙසේය.
‘ජාතික රාජ්‍ය සභාවේ පරිපාටිකරය හෝ එම රාජ්‍ය සභාව විසින් කරන ලද හෝ කිරීමට අරමුණු කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලයක්, යුක්තිය පසිඳලන අධිකරණයකට හෝ වෙනත් ආයතනයකට නැත්තේය.’
1972 ව්‍යවස්ථාවේ මෙසේ සඳහන් කිරීමට හේතුවක් තිබේ. ඒ, රාජ්‍ය බලයේ උත්තරීතර මෙවලම ජාතික රාජ්‍ය සභාව වන්නේය යනුවෙන් පැවැති තර්කයයි. මේ 30 වැනි වගන්තියට සමාන වගන්තියක් වර්තමානයේ ක්‍රියාත්මක 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැත.
අධිකරණ නියෝගවලට යටත් නැති, වරප‍්‍රසාද ලත් තත්ත්වයක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ඇතැයි යන අදහස වර්තමානයට ආවේ 2001 ජුනි 20දා එවකට කතානායක අනුර බණ්ඩාරනායකගේ තීන්දුවක් නිසා ය. විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් නියමිත සංඛ්‍යාවකගේ අත්සන් සහිත යෝජනාවක් එදා කතානායකවරයා වෙත ලැබී තිබිණි. ඒ යෝජනාවෙන් ඉල්ලා තිබුණේ එවකට අගවිනිසුරු සරත් එන්. සිල්වාගේ විෂමාචාර පැවැත්ම පිළිබඳ පැමිණිල්ලක් විභාග කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙසයි.
ඒ වන විටත් අධිකරණය ඉදිරියේ විභාගවෙමින් පැවති මූලික අයිතිවාසිකම් නඩුවක් අවසන් වන තෙක් මේ යෝජනාව සම්බන්ධයෙන් කටයුතු නොකරන්නැයි කතානායකවරයා වෙත අධිකරණයෙන් අතුරු නියෝගයක් පනවන ලදි. එවැනි අතුරු නියෝගයක් නිකුත් කිරීමට බලයක් ශ්‍රේෂ්ඨාධිකරණයට නැති බවටත්, ඒ හේතුවෙන් අධිකරණ නියෝගය පිළිපැදීමට තමන් බැඳී නැති බවටත් කතානායකවරයා තීන්දු කළේය.
ඒ තීරණයට ඔහු පදනම් කරගත්තේ 1953 පාර්ලිමේන්තු පනතේ (බලතල සහ වරප‍්‍රසාද) 3 වැනි වගන්තියයි. එහි මෙසේ දැක්වේ.
‘පාර්ලිමේන්තුව තුළ කතා කිරීමේ, වාද කිරීමේ සහ පරිපාටිකරයේ නිදහස ඇත්තේය. ඒ නිදහස අභියෝගයට ලක්කිරීමට හෝ ප‍්‍රශ්න කිරීමට කිසිම අධිකරණයකට හෝ පාර්ලිමේන්තුවෙන් පිටස්තර වෙනත් කිසි ස්ථානයකට හෝ බලයක් නැත්තේය.’
මන්ත‍්‍රීවරුන්ගේ නියමිත අත්සන් ප‍්‍රමාණයක් සහිත යෝජනාවක් ලැබුණු පසු තේරීම් කාරක සභාවක් පත්කිරීම කතානායකවරයාගේ වගකීමක් බවත්, මෙය අධිකරණයකට ප‍්‍රශ්න කළ නොහැකි පාර්ලිමේන්තුව පිළිබඳ කාරණයක් බවත් අනුර බණ්ඩාරනායකගේ මතය විය. ඇත්තටම මේ 3 වැනි වගන්තියෙන් ආරක්ෂා කෙරෙන්නේ කතා කිරීමට, වාද කිරීමට සහ පරිපාටිකරයට ඇති නිදහස පමණි. පාර්ලිමේන්තුවේ කටයුතු නියාමනය කිරීම කතානායකවරයාගේ වගකීම වන බැවින් ඔහුගේ එම තීරණය නිවැරදි විය හැකිය. අනෙක් අතට ඒ වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ද ඇතැම් විට පමණට වඩා ඉක්මන් වූ බවට කෙනෙකුට තර්ක කළ හැකිය. ඊට හේතුව ඒ වනවිට පාර්ලිමේන්තුව තේරීම කාරකසභාවක් පිහිටුවීමට කිසිවක් කර නොතිබීමයි.
මාධ්‍ය මගින් හරියට කතා නොකරන මෙහි තවත් පැත්තක් තිබේ. තේරීම් කාරක සභාවක නිගමන අධිකරණ විමර්ශනයට ලක්කිරීමේ ව්‍යවස්ථාපිත අයිතියක් ඇති බව 2002දී ශ්‍රී ලංකා ආණ්ඩුව පිළිගෙන ඇත. අධිකරණ විනිශ්චයකරුවකුගේ හැසිරීම පිළිබඳ විභාග කිරීමට බලයක් ලැබෙන 78 (ඒ) නමැති ස්ථාවර නියෝගයට අදාළව සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය යටතේ පිහිටුවන ලද මානව හිමිකම් කමිටුව විසින් ප‍්‍රශ්න කිරීමෙන් පසු, එදා ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් එම කමිටුවට මේ සහතිකය දුන්නේය.
‘විභාග කිරීමේ කමිටුව මගින් ස්වභාවික යුක්තියේ නියාමයන් අනුගමනය කොට නැත්නම්, එය අධිකරණ විමර්ශනයට ලක්විය යුත්තේය. ඇත්තෙන්ම විභාග කිරීමේ කමිටුව එළැඹෙන තීන්දු අධිකරණ විමර්ශනයට ලක්කිරීම බැහැර කිරීමක්, ව්‍යවස්ථාවේ අදාළ විධිවිධාන හෝ ස්ථාවර නියෝග මගින් අපේක්ෂා කරන්නේ නැත. එබැවින් විභාග කිරීමේ කමිටුව නීතිය වරදවා ගන්නේ නම් හෝ ස්වභාවික යුක්ති ධර්මයේ නියාමයන් උල්ලංඝනය කරන්නේ නම් හෝ එම කමිටුවේ තීන්දු අධිකරණ විමර්ශනයට යටත් කළ හැකි බව පිළිගැනේ.’
තේරීම් කාරක සභාවකින් නඩු විභාග කිරීම සඳහා පාර්ලිමේන්තුව නීති සැකසීම සම්බන්ධයෙන් ද ඉතිහාස කතාවක් තිබේ. 1984 ඔක්තෝබර් මාසයේ විශ‍්‍රාම යෑමට නියමිතව සිටි එවකට අගවිනිසුරු නෙවිල් සමරකෝන් විසින් එම වසරේ මාර්තු 14දා පෞද්ගලික ආයතනයකදී නොමනා ප්‍රකාශයක් කළ බවට චෝදනා එල්ල විය. එම ප‍්‍රකාශයෙන් ආණ්ඩුවත්, ජනාධිපතිවරයාත් විවේචනයට ලක්කර තිබිණි. ඊට ඉක්මනින් ප‍්‍රතිචාර දැක්වූ ආණ්ඩුව, ඔහුව පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන ඒමට තීරණය කළේය. එහෙත් එවැන්නක් සඳහා වන ක්‍රමයක් ව්‍යවස්ථාවේ සඳහන්ව තිබුණේ නැත.
එම නිසා ආණ්ඩුව හදිසියේ වැඩ දෙකක් කළේය. මාධ්‍ය මගින් වාර්තා කරන ලද ප‍්‍රකාශය අගවිනිසුරුවරයා කර ඇත්තේද, එසේ නම් ඊට අදාළ ව ගත යුතු පියවර මොනවාද යන්න නිර්දේශ කිරීම සඳහා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 78 යටතේ තේරීම් කාරක සභාවක් පත්කිරීමට 1984 අපේ‍්‍රල් 03දා පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරගත්තේය. ඕනෑම කාරණයක් විභාග කිරීමටත්, වාර්තා කිරීමටත් තේරීම් කාරකසභාවක් පත්කිරීමට පාර්ලිමේන්තුවට බලය ඇති නිසා එහි ගැටලුවක් තිබුණේ නැත.
1984 අපේ‍්‍රල් 04දා පාර්ලිමේන්තුව 78 (ඒ) නමින් තවත් ස්ථාවර නියෝගයක් පනවා ගත්තේය. එමගින් ඉහළ අධිකරණයක විනිසුරුවරයෙකුගේ අබලතාවක් හෝ විෂමාචාරයක් පිළිබඳ පැමිණිල්ලක් විභාග කොට වාර්තා කිරීම සඳහා තේරීම් කාරකසභාවක් පත්කිරීමේ බලය කතානායකවරයාට පැවරිණි.
වරදක් පිළිබඳ නඩු විභාගයක් සඳහා වන බලයක් එසේ තමන් වෙත පවරා ගැනීම පාර්ලිමේන්තු බලතලවලට පරිබාහිර දෙයකි. පාර්ලිමේන්තු පනත (බලතල සහ වරප‍්‍රසාද) යටතේ පවා පාර්ලිමේන්තුවට කෙලින්ම කටයුතු කළ හැක්කේ පාර්ලිමේන්තු භූමි භාගය තුළ නොමනා ලෙස හැසිරීම හෝ පාර්ලිමේන්තු සැසිවාරයකදී කලබල ඇති කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් ය. තමන් සතු එවැනි අධිකරණ බලයක් භාවිත කරමින් පවා පාර්ලිමේන්තුවට දිය හැක්කේ අවවාද කිරීම හෝ පාර්ලිමේන්තු භූමියෙන් ඉවත් කිරීම වැනි සුළු දඩුවමක් පමණි.
අගමැති රණසිංහ පේ‍්‍රමදාසගේ සභාපතිත්වයෙන් යුත් මේ ආකාරයේ පළමු තේරීම් කාරකසභාව 1984 අපේ‍්‍රල් 17 සිට ජූලි 20 දක්වා වාර 06ක් රැස් විය. තමන් කළ බවට ප්‍රසිද්ධ වූ ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප නොකළත්, මේ කාරකසභාව ඉදිරියේ පෙනීසිටීම අගවිනිසුරුවරයා ප‍්‍රතික්ෂේප කළේය. 1984 අගෝස්තු 09දා තේරීම් කාරකසභාව සිය නිර්දේශය ඉදිරිපත් කළේය. එහි දැක්වුණේ අදාළ කතාව අගවිනිසුරු තනතුරට නොගැළපෙන බවත්, ඒ සම්බන්ධයෙන් ගත යුතු නිසි පියවර පිළිබඳ සලකා බැලිය යුතු බවත් ය.
ඒ අනුව 1984 සැප්තැම්බර් 05දා අගවිනිසුරු නෙවිල් සමරකෝන් ඉවත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටිමින් මන්ත‍්‍රීවරුන් 57 දෙනෙකුගේ අත්සනින් යුත් යෝජනාවක් න්‍යාය පුස්තකයට ඇතුළත් කෙරිණි. ඊට පසු දින අලුතින් පනවා ගත් ස්ථාවර නියෝග 78 (ඒ) යටතේ කතානායකවරයා විසින් එවකට ඇමැති ලලිත් ඇතුලත්මුදලිගේ සභාපතිත්වය යටතේ තේරීම් කාරකසභාවක් පත්කරන ලදි. එහි ප‍්‍රථම රැස්වීමේදී තේරීම් කාරකසභාව නියෝජනය කළ විරුද්ධ පක්ෂයේ මන්ත‍්‍රීවරු, එනම් සරත් මුත්තෙට්ටුවේගම, අනුර බණ්ඩාරනායක සහ දිනේෂ් ගුණවර්ධන මූලික විරෝධතා මතු කළහ. ඔවුන් පෙන්වා දුන්නේ අධිකරණයෙන් පෙර ඔප්පු කොට නැත්නම්, විනිසුරුවරයකුගේ අබලතාවක් හෝ විෂමාචාරයක් ගැන තේරීම් කාරකසභාවකට තීරණය කළ නොහැකි බවයි.
1984 සැප්තැම්බර් 11 සහ නොවැම්බර් 27 අතර කාලය තුළ මේ තේරීම් කාරකසභාව සැසිවාර 14ක් පවත්වන ලදි. අගවිනිසුරුවරයා වෙනුවෙන් පෙනී සිටි රාජනීතිඥ එස්. නඩේසන් සහ ඔහුගේ නීතිඥ කණ්ඩායම සෑමවිට ම මේ තේරීම් කාරකසභාව ව්‍යවස්ථා විරෝධී මණ්ඩලයක් බවට තර්ක කළහ. කෙසේ වෙතත් තේරීම් කාරකසභාව අවසාන තීන්දුව ගැනීමට පෙර අගවිනිසුරුවරයා විශ‍්‍රාම වයසට ළඟා විය. තේරීම් කාරක සභාවේ අවසාන තීරණය වූයේ විෂමාචාරය සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා වරදකරු නොවන බවයි.
විපක්ෂය තීරණයක් ගනී
ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇති ආකාරයට පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවක් පත්කිරීමට කතානායකවරයා තීරණය කළහොත්, ඊට සහභාගි නොවීමට දැනටමත් විපක්ෂයේ පක්ෂ කිහිපයක් තීරණය කර තිබේ. තවත් කාරණයකි, එදා විරුද්ධ වූ දිනේෂ් ගුණවර්ධන දැන් සිටින්නේ රනිල්ගේ පැත්තේ ය. ආණ්ඩුව පැත්තෙන් සාකච්ඡා වී ඇත්තේ මේ තේරීම් කාරකසභාව පත්කිරීමටයි. පත්කොට විනිසුරුවරුන් කිහිපදෙනෙකු පිළිබඳ සාකච්ඡා කිරීමට ද ඔවුන් කතාබහ කර ඇතැයි ආරංචි ය. කෙසේ වෙතත් නෙවිල් සමරකෝන් අගවිනිසුරුවරයාගේ කතාව මෙන් ම මෙවැනි තේරීම් කාරකසභාවක තීන්දුවක් ගන්නා තෙක් කල් ඇදෙද්දී, ඇතැම් විට ජනතාවට මංමුලාවැල් පෑගී තිබිය හැකිය.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම්වරයකු, හිටපු විනිසුරුවරයකු, ඔවුන්ගේ හිතවත් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු ඇතුළු කණ්ඩායමක් අතර සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී සියල්ලන්ගේ අදහස වූයේ මෙවැනි තේරීම් කාරකසභාවක් පත්කළද, ව්‍යවස්ථාව අර්ථනිරුපණය කිරීමේ අවසාන බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට වන නිසා එවැන්නකට කිසිවක් කළ නොහැකි බවයි. කෙසේ වෙතත් සංවාදය මතුකළාට, ජනාධිපතිවරයා මෙය ඉදිරියට ගෙනයන්නේ නැත.
ජනතාව ජාජබ ප්‍රශ්න කරයි
ජාතික ජන බලවේගය පැත්තෙන් හැරෙන තැපෑලෙන් ම මීට උත්තරයක් දෙමින් පැවසුවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසූ දේ පැත්තක තිබියදී, මේ ගැන එළියේ කියූ කතාවක් ගැන නඩු පවරන බවයි. ඊට අදාළ ව එහි නීතිඥ කණ්ඩායමක් අධ්‍යයනය කර වාර්තාවක් ද සකස් කර තිබේ. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් සිදුකරන කටයුතු සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් නඩු පැවරිය හැකිය.
අනුර කුමාර දිසානායකගේ ලන්ඩන් සංචාරයෙන් පසු ඔහු යෑමට නියමිතව ඇත්තේ ජපානයටයි. එහි සංවිධාන කටයුතුවල ප්‍රමුඛත්වය ගෙන ඇති අයෙකි, බානගල උපතිස්ස හිමියන්ගේ සහෝදරයා. බානගල උපතිස්ස හිමියන් පසුගිය සතියේත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කටයුතු වර්ණනා කර තිබිණි. උන් වහන්සේගේ සහෝදරයා යනු මැණික් ව්‍යාපාරිකයෙකි. අනුර මේ දිනවල යළිත් රට පුරා යමින් සිටී. ඒ ව්‍යාපාරික සමුළුවලට සහභාගි වීමට ය. වැදගත්ම කරුණ වන්නේ මේ බොහෝ ව්‍යාපාරික සමුළුවලදී ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් විසින් දැඩි ව අනුර ව ප්‍රශ්න කිරීම ය. ඊට හේතුව වී ඇත්තේ ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මාධ්‍ය මගින් විවිධ කතා හැදීමයි.
ජයිශන්කර්ගෙන් සජිත්ට හොඳ නමක්
සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බ්‍රහස්පතින්දා දිනයේ ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්. ජයිශන්කර් හමු විය. මෙහිදී සජිත් විශේෂයෙන් සඳහන් කළ කරුණක් වූයේ ඉන්දියාවේ අධ්‍යාපනයේ වර්ධනය ගැනයි. සජිත් මේ දිනවල රට පුරා ක්‍රියාත්මක කරන සුහුරු පන්ති කාමර සංකල්පය පිළිබඳව ඉන්දීය විදේශ ඇමැතිවරයාට පැහැදිලි කිරීමෙන් පසු ඔහු එය අගය කළේ ඉන්දියාවේ ද එවැනි ව්‍යාපෘති ඇති බව පවසමිනි.
මෝදි ආණ්ඩුව විසින් විදෙස්ගත ඉන්දීය විද්වතුන් යළි සිය රටට ගෙන්වාගැනීම සඳහා කටයුතු කළ ආකාරය ගැන මෙහිදී දෙදෙනා සාකච්ඡා කළහ. එසේම අනාගතය ඉලක්ක කරගත් අධ්‍යාපනයක් සකස් කිරීමේ වැදගත්කම ද මෙහිදී සජිත් ඉන්දීය විදේශ ඇමැතිවරයාට පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් සජිත්ට මේ හමුවේ වාසිය ගන්නට ඉඩක් නොලැබුණේ බ්‍රහස්පතින්දා පස්වරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා විසින් ඔහුට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීම නිසා ය. සරත් ෆොන්සේකා රනිල් සමග එක්වීමට නියමිත බව මේ තීරුවේ ලිව්වේ මීට මාස දෙකකටත් පෙර ය. එහෙට-මෙහෙට විය හැකි මේ ලැයිස්තුව ටිකක් දිග එකකි. ඒ කියන්නේ සජබයෙන් රනිල්ගේ පැත්තටත්, රනිල්ගෙන් සජබයේ පැත්තටත් පනින්නට සූදානම් කණ්ඩායම් රැසකි.
නාමල්ගේ මන්ත්‍රී රනිල්ගේ සංවිධායක
මීට අදාළ මෙවැනි උදාහරණ ද තිබේ. අනිද්දා, එනම් 25දා ජනාධිපතිවරයා සිටින්නේ අම්පාරේ ය. ඒ, උරුමය ඔප්පු ප්‍රදානෝත්සව රැස්වීම් කිහිපයකට සහභාගි වීමට ඇති නිසා ය. මේ රැස්වීම්වල සංවිධාන කටයුතු රැසක් සිදුකරන්නේ ඩී. වීරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ය. ඔහු අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයෙකි. එපමණක් නොව, නාමල් රාජපක්ෂගේ සමීපතම කණ්ඩායමේ අයෙකි.
වීරසිංහ මන්ත්‍රීවරයා ප්‍රාදේශීය ලේකම්වරුන්, මහවැලි අධිකාරියේ නිලධාරීන් ඇතුළු මීට අදාළ කණ්ඩායම් සමග සාකච්ඡා කිහිපයක් ම පවත්වා තිබිණි. උපදෙස් රැසක් ද දී තිබිණි. එහි තවත් කාරණයක් තිබේ. වීරසිංහ මන්ත්‍රීවරයාගේ මේ වැඩ කරන ආකාරය ගැන එක්සත් ජාතික පක්ෂයේ අම්පාරේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙකු පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාරට දැනුම් දී ඇත. එහිදී රංගෙ බණ්ඩාර කියා ඇත්තේ මැතිවරණ ළඟ නිසා ඉවසීමෙන් කටයුතු කරන ලෙසයි.
ගෝඨාභයට වාහනය දුන්නේ කවුද?
ප්‍රකට නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලි ගැන පසුගිය බදාදා සියලු පුවත්පත් මුල් පිටුවේ ඉහළින් ම වාර්තා කර තිබිණි. ඒ, ඇය හදිසියේ ධනවත් වීම ගැන ප්‍රවෘත්තියකි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ භාවිත කළ රේන්ජ් රෝවර් වර්ගයේ මෝටර් රථය මිලට ගෙන ඇත්තේ පියුමි හංසමාලි ය. ඇය මේ වනවිටත් එය භාවිත කරයි.
මේ රේන්ජ් රෝවර් රථය ගෝඨාභය රාජපක්ෂට ලබාදී ඇත්තේ මධුර වික්‍රමරත්නයි. මධුර යනු වික්‍රමරත්න ව්‍යාපාරික සමූහයේ අධ්‍යක්ෂවරයෙකි. ත්‍රිවිධ හමුදාවට ආහාර සැපයීමේ විශාල කොන්ත්‍රාත් ප්‍රමාණයක් සිදුකරන්නේ මේ වික්‍රමරත්න සමූහය විසිනි. කෙසේ වෙතත් පියුමිට මේ මොහොත තරමක් අසීරු ය. ඊට හේතු වී ඇත්තේ ඇයට විරුද්ධව සාක්ෂි රැසක් තිබීම බව වාර්තා වේ. ඒවා කොයි විදිහට එළියට ඒවි දැයි දන්නේ නැත. ඒ අතර ක්ෂේත්‍රයේ කිහිපදෙනෙකු ද ඇයට එරෙහිව සාක්ෂි ලබාදීමට සූදානමින් සිටින බවක් කියැවේ. එසේ ම කළු සල්ලි සුදු කිරීම සම්බන්ධයෙන් මෑතකදී ව්‍යාපාර ආරම්භ කළ ප්‍රකට යූටියුබ් ක්‍රියාකාරිකයකු පිළිබඳව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයත් ආරම්භ කිරීමට සූදානම් වේ. හොඳ - හොඳ බොහෝ සෙල්ලම් ඇත්තේ එළිවෙන ජාමෙටය යනුවෙන් වහරේ කියමනක් ඇත්තේ නිකමට නොවේය.
ගෝඨා පිටින් දමා මෛත්‍රී ගැලවෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේ සිදු කළ පාර්ලිමේන්තු විශේෂ ප්‍රකාශයෙන් පසු කෙලින්ම ගොස් තිබුණේ විපක්ෂයේ ලොබිය වෙත ය. අහඹු ලෙස එහි පැමිණි ජනාධිපතිවරයා දුටු විපක්ෂ මන්ත්‍රීවරුන් ඔහුට ඉඩදී තිබිණි.
‘මොනවද කට්ටිය කතාකරන්නෙ?’
‘හොඳ වෙලාවට ඔබතුමන්ලා මගේ ජනාධිපති ධුර කාලය අවුරුදු පහකට අඩු කළේ.’ යනුවෙන් ජනාධිපතිවරයාගේ ප්‍රශ්නයට එක්වරම උත්තර දී තිබුණේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ය.
‘එහෙම වුණේ නැත්නම් මම තමයි කොවිඩ් ප්‍රශ්නෙදි හිරවෙන්නෙ. අනෙක මට තමයි කොවිඩ් එකත් එක්ක එන ආර්ථික අර්බුදයට මුහුණ දෙන්නත් වෙන්නෙ.’
‘ඒ කියන්නෙ ඔබතුමාට එන්න තිබුණු එකක් ගෝඨාභය ජනාධිපතිතුමා පිටින් ගියා.’ ලොබියේ සිටි මන්ත්‍රීවරයෙක් මෛත්‍රී දෙසට හැරී කිව්වේය. ඊට යාන්තම් සිනාසුණා මිස මෛත්‍රී කිසිවක් කිව්වේ නැත. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද පිරිස දෙස බලමින් එම ස්ථානයෙන් ගියත්, එතැන්ට ආවේ නැත.
‘මට ඇහුණෙ නෑ’
මන්ත්‍රීවරුන්ගේ තීරුබදු රහිත වාහන කතාව මෙතැනදී ද ඇදිණි. රනිල් කිව්වේ සජිත් හරහා තමන්ගෙන් ඒ ඉල්ලීම කරන ලෙසයි. සජිත් එහිදී කිව්වේ ‘මට මොකුත් ඇහුණෙ නෑ’ යනුවෙනි. එසේ කියමින් සජිත් ආපසු හැරී එතැන්ට පැමිණියාටත් වඩා වේගයෙන්, එතැනින් නික්ම ගොස් තිබිණි.
මේ වගේ ම සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ද තීරුබදු රහිත වාහන කතාව ඇදී තිබිණි. එහි දී මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් ඕනෑ කියද්දී තවත් පිරිසක් එපා කීහ.
‘මේ වෙලාවෙ ඕක ගත්තොත් අනුරලගෙ පැත්තෙන් අපිට ගහන්න ඕක සෑහෙන්න පාවිච්චි කරයි.’
යනුවෙන් කොටසක් කීහ. කොහොම වුණත් මෙහිදී සියල්ලන් බලාසිටියේ මේ ගැන සජිත් කියන්නේ මොනවාද කියා ය. සජිත් ඇඟට පතට නොදැනී කියා තිබුණේ ‘මට මොකුත් ඇහුණෙ නෑ’ යනුවෙනි.
රනිල්ගේ හිනාවේ තේරුම
සඳූදා පැවැති එජාප කළමනාකරණ කමිටු රැස්වීමේදී රනිල් දැඩි කතාවක් කර තිබිණි.
‘වැඩ නොකරන පිරිස් ඉවත් කරන්න. මේක මෙහෙම කරන්න පුළුවන්ද?’
රනිල් එසේ කියන විට රංගෙ බණ්ඩාර හිස වැනීය. මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් ලසන්ත ගුණවර්ධන, ශමල් සෙනරත් සහ රොනල්ඩ් පෙරේරා අලුත් යෝජනා ඉදිරිපත් කර තිබූ අතර, ඒවා ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයට ලක්විය.
මේ අතර අධිකරණ - පාර්ලිමේන්තු ප්‍රශ්නය ගැන ජනාධිපතිවරයා යන-යන තැන විමසීම් කෙරිණි. ඒ සියල්ලට රනිල් සිනාසුණා පමණි. අලුතින් යමක් කියන්නට ගියේ නැත.
‘ව්‍යවස්ථාදායක සභාව නීතිපතිතුමාගෙ සේවා දිගුව ගැන ඔබතුමා යවපු නිර්දේශය ප්‍රතික්ෂේප කළාට නීතිය අනුව නැවතත් ඒ නම ව්‍යවස්ථාදායක සභාවට යවන්න ඔබතුමාට බලය තියෙනවා.’ නීතිඥවරු පිරිසක් ජනාධිපති කාර්යාලයේදී එසේ කීහ. මෙහිදී එහි සිටි ආශු මාරසිංහ ඇසුවේ ‘නීතිපතිතුමාගේ නම නැවතත් යවනවද?’ යනුවෙනි. එවරත් රනිල් සිනහා වූවා පමණි. එහෙත් කරන්නට යන්නේ කුමක්ද යන්න ඒ සිනහවෙන් ම පැහැදිලි විය.
‘නාමල්ගෙ වෙලාව මේක නෙමෙයි’
පසුගිය සතියේ පොදුජන පෙරමුණේ කාන්තා හඬ සම්මන්ත්‍රණය බියගම හෝටලයකදී පැවැත්විණි. මෙය සංවිධානය කර තිබුණේ බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ගනේපොළ ය. මේ සඳහා දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංගට ද ආරාධනා ලැබී තිබිණි.
‘ප්‍රසන්න අයියෙ, මම නාමල්. බියගම වැඩේට ඔයා එන්නම ඕන. මමත් එනවා.’
නාමල්ගේ මේ ආරාධනාව ගැන ප්‍රසන්න රැස්වීමේදී ද කිව්වේය.
‘හුඟක් දෙනෙක් හිතාගෙන ඉන්නවා මමයි, නාමල් මන්ත්‍රීතුමයි තරහයි කියල. එහෙම දෙයක් නෑ. නාමල් මන්ත්‍රීතුමාට හොඳ දැක්මක් තියෙනවා. එතුමා අනිවාර්යයෙන්ම රටේ නායකත්වයට සුදුසු පුද්ගලයෙක්. නමුත් මේක නෙමෙයි වෙලාව. මම එදත් ඒක කිව්වා. අදත් ඒක කියනවා.’
ප්‍රසන්නගේ මේ කතාවෙන් පසු පැවැති තේ පැන් සංග්‍රහයේදී දෙදෙනා ගත් සෙල්ෆි ඡායාරූප කිහිපයක් ප්‍රසිද්ධ කිරීමට පොදුජන පෙරමුණේ මාධ්‍ය ඒකකය කටයුතු කර තිබිණි. ඊට හේතු වී තිබුණේ බැසිල් රාජපක්ෂගේ උපදෙසක් ය.
‘පක්ෂයේ බෙදීම් නෑ කියන එක පුළුවන් හැමවෙලාවෙම පෙන්වන්න ඕනෙ.’
උපදෙස එයාකාර විය. ප්‍රසන්න රනිල්ගේ මැතිවරණ කාර්යාලයේ කටයුතු කරන විට, නාමල් සාගල සමග සාකච්ඡා පවත්වයි. නාමල්ගේ සමීපතමයෝ රනිල්ගේ රැස්වීම් සංවිධානය කරති. දැනට පවතින එකඟතාව වන්නේ රනිල් ජනාධිපති නම්, අගමැති පොදුජන පෙරමුණෙන් විය යුතුයි යන්න ය.
කෙසේ වෙතත් සිකුරාදා උදෑසන අලුතින් එළියට ආ ප්‍රවෘත්තියක් වූයේ බැසිල්, ප්‍රසන්නට බැණ වැදුණු බවයි. ‘සමහරුන්ට අපිව එක පාරක් එපා නම්, අපිට ඒගොල්ලොන්ව සිය පාරක් එපා’ යනුවෙන් බැසිල්, රනිල් ද සිටි සාකච්ඡාවකදී ප්‍රසන්නගේ මුහුණට ම කියා තිබිණි. අළු යට ඇත්තේ ගිනි පුපුරු ය. කිසිවක් නිවී නැත.
ඉන්දියාව එද්දී චීනයත් අවදි වෙයි
ඉන්දියාවේ විදේශ කටයුතු ඇමැති සුබ්‍රමනියම් ජයිශංකර් ලංකාවේ නිල සංචාරය ආරම්භ කරන විට ම තවත් විශේෂ සිදුවීමක් විය. ඒ චීනය ණය ගැටලුව නිරාකරණය කරගැනීමට උඵරිම සහාය දෙන බව නිල වශයෙන් ප්‍රකාශ කිරීමයි. මෙතෙක් එය පැවතියේ යටිබිම්ගතව ය. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් 19දා බීජිංහිදී ප්‍රකාශ කර තිබුණේ චීනය සෑමවිටම ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික සංවර්ධනයට උපකාර කරන බවයි.
චීනය සහ ශ්‍රී ලංකාව අතර පසුගියදා චීන අගනුවර පැවති රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එම අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ලින් ජියන් මේ බව සඳහන් කර තිබිණි.
No comments:
Post a Comment