Friday, December 20, 2024

සතියක් තිස්සේ සූදානම් වූ

සුබ ආරංචියේ අනාගතය !


සුබ ආරංචි ගැන දැනගත යුතුය. අසුබ ආරංචි ගැනත් දැනගත යුතුය. එක් පැත්තක් පමණක් දැනගතහොත් සිදුවන්නේ අඳූරේ අතපත ගෑමට ය. කියමනාවට කියන්නේ හතර කොණ දැනගෙන පිටියට බහින ලෙසයි.

එසේ කියන්නේ මේ සතියෙන් ආරම්භ වන්නේ තීරණාත්මක සතියක් නිසා ය. ඒ සතිය ආරම්භ වන්නේ 02දා පැවැත්වෙන පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයෙන් ය. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත ය. ඒ විශේෂ ප්‍රකාශය ගැන විපක්ෂය ඡන්ද විමසීමක් ඉල්ලීමට ද නියමිත ය. ඒ ඡන්ද විමසීමේදී පක්ෂ මාරු රැසක් ද සිදුවීමට නියමිත ය. ඇත්තටම මේ ඡන්දය විපක්ෂයටත් වඩා අවශ්‍ය වී ඇත්තේ ජනාධිපතිවරයාට බව ද ආරංචි ය. ඔහුට පාර්ලිමේන්තුවේ අති බහුතරයක් පෙන්වීමේ අවශ්‍යතාවක් පවතී. මොණරාගල ආදී වශයෙන් රැස්වීම් තිබුණද, මේ පාර්ලිමේන්තු ඡන්දයෙන් පසු වැදගත් සිදුවීම් රැසක් සිදුවීමට නියමිතව ඇත්තේ ජනාධිපතිවරයාගේ මාතර රැස්වීමේදී ය. ඒ ද පක්ෂ මාරු රැසක් සිදුවන තැනකි.

මෙසේ පක්ෂ මාරුකිරීම් ගැන ජනතාව තුළ නම් ඇත්තේ නරක ප්‍රතිචාරයකි. ඒ නරක ප්‍රතිචාරයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් උත්තේජනයක් ලබාදුන්නේය. 2022 අප්‍රේල් මාසයේදී, එවකට පරිසර ඇමැති ධුරය දැරූ නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් නෙරපීමට එම පක්ෂය තීරණය කළේය. එය නීත්‍යනුකූල බව අධිකරණය ද තීරණය කළේය. ඒ පිටු 62ක තීන්දුවක් මගිනි.

ඉන්පසු ඒ මන්ත්‍රී ධුරයට පත්කෙරුණේ අලි සහීර් මවුලානා ය. ඒ මැතිවරණ කොමිෂන් සභාව මගින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයක් මගිනි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හමු විය. ඒ මඩකලපුවේදී ය. ඔහු එහිදී නිල වශයෙන් රනිල් වික්‍රමසිංහට සහාය දක්වන බව සඳහන් කළේය. ඒ හමුවෙන් පසු ජනාධිපතිවරයා ගියේ කාත්තන්කුඩි ඉස්ලාම් පල්ලියට ය. එහිදී විශේෂ පුද්ගලයෙකු හමු විය.

ඒ, අලි සහීර් මවුලානා ය. 2022 නසීර් අහමඩ් වෙනුවට පත්කෙරුණු අලි සහීර් මවුලානා, මුස්ලිම් කොංග්‍රසය වර්තමානයේදී රනිල් වික්‍රමසිංහට සහාය දීමට නිල තීරණයක් ගෙන නොමැති තත්ත්වයක් තුළ, රනිල්ගේ අත ගත්තේය. සුබ ආරංචිත්, අසුබ ආරංචිත් දෙක ම දැනගත යුතු යැයි මුලින්ම ලිව්වේ ඒක ය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඔහුට හෝ ඇයට හෝ මන්ත්‍රී ධුරය හිමි වූ පක්ෂයේ මතයට විරුද්ධ මතයක් පාර්ලිමේන්තුව තුළ දැරීම සහ තමන් නියෝජනය කරන පක්ෂයට පටහැනිව ක්‍රියා කිරීම පිල් මාරු කිරීම යනුවෙන් හැඳින්වේ. එවැනි අවස්ථාවක අදාළ මන්ත්‍රීවරයා හෝ මන්ත්‍රීවරිය පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට එම පක්ෂයේ මහ ලේකම්වරයාට හැකියාව ලැබේ.

අධිකරණ ක්‍රියාවලියකට නොයන්නේ නම්, පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන ලද දිනයේ සිට මාසයක කාලයකට පසු මන්ත්‍රීවරයාගේ හෝ මන්ත්‍රීවරියගේ පාර්ලිමේන්තු අසුන අහිමි වන බව ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ 99 (13) (අ) ව්‍යවස්ථාවේ පැහැදිලි කර තිබේ. අධිකරණ ක්‍රියාවලියකට ගියහොත් එහි තීන්දුව ලැබෙන තුරු මන්ත්‍රීවරයාගේ හෝ මන්ත්‍රීවරියගේ පාර්ලිමේන්තු සාමාජිකත්වය අහෝසි වන්නේ නැත. පක්ෂ සාමාජිකත්වය අහෝසි කර මාසයක් ගතවීමට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකිරීමෙන් පසු එම අහෝසි කිරීම වලංගු නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළහොත්, ඔහුගේ හෝ ඇයගේ මන්ත්‍රී ධුරය අහෝසි නොවන බව ද 99 (13) (අ) ව්‍යවස්ථාවේ අතුරු වගන්තියකින් පෙන්වා දී තිබේ.

1991 ගාමිණී දිසානායක එදිරිව එම්.සී.එම්. ඛලීල් සහ තවත් අය නඩුව, 1993 තිලක් කරුණාරත්න එදිරිව සිරිමාවෝ බණ්ඩාරනායක සහ තවත් අය නඩුව, 2000 වසරේ සරත් අමුණුගම හා තවත් අය එදිරිව කරූ ජයසූරිය හා තවත් අය නඩුව ආදිය මෙසේ පක්ෂ මාරුකිරීම් පිළිබඳව පවරන ලද නඩු වේ.

මේ සියල්ල වෙනස් කරන ලද්දේ හිටපු අග විනිසුරු සරත් එන්. සිල්වා විසින් ලබාදුන් තීන්දුවක් මගිනි. සරත් එන්. සිල්වා අගවිනිසුරුවරයා ලබාදුන් තීන්දුවක දැක්වුණේ තමන්ගේ හෘදසාක්ෂියට එකඟව ජනතාව වෙනුවෙන් පිල් මාරු කිරීමට ඉඩක් තිබිය යුතුයි යනුවෙනි. එහෙත් මන්ත්‍රීවරුන් පිල් මාරු කරන්නේ එසේ හෘදසාක්ෂියට එකඟව ජනතාව වෙනුවෙන් ද යන්න ගැන අලුතින් තර්ක කරන්නට අවශ්‍ය නැත. එය කාටත් වඩා හොඳීන් දන්නේ ජනතාවම ය.


දැනෙන තීරණ එළියට එන සතියක්


පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, අජිත් මාන්නප්පෙරුම ඇතුළු පිරිසක් මේ සතියේ දැනෙන තීරණ ගැනීමට නියමිත ය. ඒ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 21 දෙනෙකුට ආණ්ඩුව පැත්තෙන් මාසිකව රුපියල් ලක්ෂ දෙක බැගින් ගෙවා ඇත. ඒ ආණ්ඩුවේ කටයුතුවලට යටින් සහාය දීමට ය. ඊට අදාළ ගනුදෙනුව මාසිකව සිදු කර ඇත්තේ පොදුජන පෙරමුණේ ම ජ්‍යෙෂ්ඨයෙකි. ඇමැතිවරයෙකි. රනිල් වික්‍රමසිංහට සහාය දක්වන්නෙකි. 

ජනාධිපතිවරයාගේ පැත්තෙන් ඒ වැඩේ සම්බන්ධීකරණය කර ඇත්තේ ඔහුගේ සමීපතමයෙකි. මැතිවරණ ප්‍රචාරක මෙහෙයුම් පවත්වාගෙන යන කාර්යාලයක ප්‍රධානියා වන්නේ ඒ සමීපතමයා ය. මේ විදිහට වැඩකරන්නට මන්ත්‍රීවරුන්ට ඇත්තටම අමාරුකම් ද තිබිය හැකිය. කතානායක මහින්ද යාපා අබේවර්ධනට තමන්ගේ ආර්ථික අමාරුකම් ගැන මන්ත්‍රීවරුන් පිරිසක් ලිඛිතව ද කරුණු දක්වා තිබිණි. ඒ අතර තීරු බදු රහිත වාහන ලබාදෙන ලෙස මන්ත්‍රීවරුන් 116 දෙනෙකු ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.


සජිත්ගේ නොවෙනස් ස්ථාවරය


මේ තීරු බදු රහිත වාහන පිළිබඳ කතා සියල්ලේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉන්නේ නිහඬ ස්ථාවරයක ය. සමගි ජන බලවේගය මීට අදාළ ව දෙකට බෙදී තිබේ. පිරිසක් කියන්නේ එය ගත යුතු බවයි. පිරිසක් කියන්නේ ගන්න කැමැති වුවත්, මේ වෙලාවේ නොගත යුතු බවයි. එසේ වුවහොත් ජාතික ජන බලවේගයට තමන්ට පහර දීමට නිකම්ම ආයුධයක් ලැබෙන බව ඔවුහු පවසති. මේ අතර ඇත්තටම මේ වාහන මේ වෙලාවේ අවශ්‍ය නැති බව කියන පිරිසක් ද සමගි ජන බලවේගයේ සිටී. ආරංචිවල හැටියට සජිත් නිහඬව සිටියාට, ඔහු ද සිටින්නේ මේ වෙලාවේ මෙය අනවශ්‍ය ම දෙයක් යන ස්ථාවරයේ ය.

මන්ත්‍රීවරුන් නොවන ව්‍යාපාරික හිතවතුන් පිරිසක් සමග සජිත් තමන්ගේ හදවත විවෘත කර තිබිණි. එහිදී ඔහු පවසා තිබුණේ ඡන්දෙට මොනවා වුණත්, මේ අනවශ්‍ය වියදම්වලට මම එකඟ නෑ යනුවෙනි. කෙසේ වෙතත් සජිත්ගේ පැත්තෙන් සහ සජිත් සමග සිටීවි යැයි බලාපොරොත්තු තබාගෙන සිටි පිරිසක් රනිල්ගේ පැත්තට එකතු වීමට නියමිත ය. ඒ පිළිබඳ සමගි ජන බලවේගයේ පහළ කණ්ඩායම්, එනම් පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල හිටපු මන්ත්‍රීවරු දිගටම ප්‍රශ්න කරති.


උත්තර නැති ප්‍රශ්න


‘ඇත්තටම යන්නෙ කවුද?’

ඔවුන්ට ඇති ප්‍රශ්නයට ඉහළ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හරි උත්තරයක් දෙන්නේ නැත. මේ හරි උත්තරයක් දෙන්නේ නැති වැඩේ පොදුජන පෙරමුණේත් තිබේ. පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් මාසිකව රුපියල් ලක්ෂ දෙක බැගින් ගත් කතාව පිළිබඳව එම පක්ෂයේ ද පහළ කණ්ඩායම් ඉහළින් විමසයි. ඉහළින් උත්තරයක් දෙන්නේ නැත.

‘මොකක්ද ඇත්තටම මේ වෙන්නෙ.. අපි අතරමං වෙලා ඉන්නෙ.’

ඒ අතරවාරයේ මහින්දානන්ද අලුත්ගමගේ ගොස් රනිල්ගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත් මාධ්‍ය හමුවකට වාඩි විය. මහින්දානන්දගේ දෙපැත්තෙන් සිටියේ රනිල්ගේ වැඩ රාශියක් කරන බව ප්‍රකට ඇමැති මනූෂ නානායක්කාරත්, ඇමැති ප්‍රසන්න රණතුංගත් ය. මෙහිදී ඇඟ බේරාගනිමින්, දිනන අපේක්ෂකයාට සහාය දෙනවා වගේ කතාවක් කියා මහින්දානන්ද බැස ගියේය. මේ මාධ්‍ය හමුව පැවැති රනිල්ගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ සාගල රත්නායකයි. සාගලගේ සැලසුම වී ඇත්තේ පොදුජන පෙරමුණේ පිරිස් සහ දැනටමත් රනිල්ගේ පිරිස් එක්කොට මාධ්‍ය හමු පැවැත්වීමයි. මේ ගැන ද පොදුජන පෙරමුණේ පහළ කණ්ඩායම් ඉන්නේ අවුලකින් ය. ඔවුන් කියන්නේ අපිට හරි උත්තරයක් දෙන්න කියා ය. 


මහාචාර්ය ගෝමිකගෙන් කළ ඉල්ලීම


ජාතික ජන බලවේගයේ පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්තිය එළිදැක්වීම සිදුවූයේ සෙනසුරාදා ය. පිළිකා රෝගයට ප්‍රතිකාරයක් සොයාගැනීම සඳහා වෙහෙසෙන ලෝකයේ ලොකුම ආයතනයේ පර්යේෂණ පවත්වන මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මේ ප්‍රතිපත්තිය සකස් කිරීමේ මූලිකයා ය. ලෝකය පුරා විවිධ පර්යේෂණ ආයතනවල සේවය කරන ලාංකික පර්යේෂකයන් පිරිසක් මේ වැඩේට එකතු වී සිටිති. එහෙත් ඔවුන් බහුතරයක් ලංකාවේ නැත.

ඔවුන් මහාචාර්ය ගෝමිකගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබිණි. ඒ ප්‍රතිපත්තිය සකස් කිරීමේදී රටින් පිට සිට ඊට සහාය දැක්විය හැකි වන පරිදි අදාළ කොටස් එකතු කරන ලෙසයි. ඒ අනුව මේ ප්‍රතිපත්තියේ ඇති බොහෝ කොටස්වලට ඉන්න තැන අදාළ නොවේ.


නීතිපතිගේ සතිය


පසුගිය සතියේ වැඩියෙන්ම කතාබහට ලක්වූ පුද්ගලයෙකි, නීතිපති සංජය රාජරත්නම්. ඔහු 27දා විශ්‍රාම ගියේය. ඔහුට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා දෙවැනි වරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත කරන ලද නිර්දේශයත් ප්‍රතික්ෂේප කෙරිණි. එහිදී දිනේෂ් ගුණවර්ධන, සාගර කාරියවසම් සහ නිමල් සිරිපාල ද සිල්වා පක්ෂව ඡන්දය  දී තිබිණි. අනෙක් සියල්ලන් සිට ඇත්තේ විරුද්ධ පැත්තේ ය. 

මේ සේවා දිගුව අනුමත වූයේ නම්, අග විනිසුරු ජයන්ත ජයසූරිය ලබන දෙසැම්බර් මාසයේදී විශ්‍රාම යෑමෙන් පසු බොහෝවිට එතැනට සංජය රාජරත්නම් එන්නට ඉඩ තිබිණි. සංජය රාජරත්නම් එසේ අග විනිසුරු ධුරයට පත්වූයේ නම්, ඔහුට 2029 වසර දක්වා එම ධුරයේ සිටීමට අවස්ථාව ලැබීමට තිබිණි. ඊට හේතුව අගවිනිසුරුවරයකුගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65ක් වීම ය.

කෙසේ වෙතත් විශ්‍රාම යෑම නිමිත්තෙන් නීතිපති දෙපාර්තමේන්තුවේදී චාම් සාදයක් පැවැත්විණා. එහිදී සියල්ලන් සංජය රාජරත්නම්ට සුබ විශ්‍රාම දිවියක් පතනු දැකිය හැකි විය. කිසිවකු සේවා දිගුව ගැන අසා තිබුණේ නැත. රාජරත්නම් සාදය දුන්නාට, සාදයේ සිටියේ තරමක් අපහසුවෙන් බව ද පෙනෙන්නට තිබිණි. ඔහු සාදයට අවසන් වීමට පෙර එතැනින් ඉවත් ව ගොස් තිබිණි. 

මේ අතර සංජය රාජරත්නම් විශ්‍රාම යෑමත් සමග ම ඔහුට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩුවක් ද ගොනුවන බවක් ආරංචි ය. ඊට හේතු වී ඇත්තේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව වධහිංසා චෝදනා යටතේ නඩු පැවරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කර තිබියදී එය නොකොට, මාතර ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයකුට විරුද්ධව වධහිංසා නඩු පැවරීම ය. නීතිය ඉදිරියේ සියල්ලන් සමාන ය යන මූලධර්මය හිටපු නීතිපතිවරයා විසින් උල්ලංඝනය කර ඇති බව සඳහන් කරමින් පෞද්ගලික නඩුවක් ලෙස මෙය පැවරීමට නියමිත බවක් වාර්තා වේ.


සතියක් තිස්සේ සූදානම් වූ ජාතිය ඇමතීම


ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය බ්‍රහස්පතින්දා ජාතිය ඇමතුවේය. ඔහු එසේ ජාතිය ඇමතීමට සූදානම් වූයේ සතියකටත් පෙර සිටය. ඒ පැරිස් සමාජය නියෝජනය කරන ජපානය ඇතුළු රටවල් කිහිපය මෙන්ම චීනය හා ඉන්දියාව ද්වි-පාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැමැත්ත පළකිරීමත් සමග ය. ජනාධිපතිවරයා මේ ගැන සිය දේශපාලන කැබිනට්ටුවට දැනුම් දුන්නේය.

ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පණිවුඩය රටට ලබාදෙන ආකාරය ගැන ඔවුහු සැලසුම් සකස් කරන්නට වූහ. එම කාර්යය බාරකෙරුණේ දේශපාලන කැබිනට්ටුව යටතේ ඇති මාධ්‍ය අනුකමිටුවට ය. පැරිස් සමාජය හා චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු ජාතිය ඇමතීමට ජනපති රනිල් තීන්දු කළේ ඔවුන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව ය.

මාධ්‍ය අනුකමිටුව සැලසුම් කළේ ඒ වෙනුවෙන් පූර්ව ප්‍රචාරණයක් සහ ජනාධිපතිවරණය ඉලක්ක කර ගත් ප්‍රචාරණයක් ඒ ඔස්සේ ආරම්භ කිරීමට ය. ඔවුන් මාධ්‍ය මෙහෙයුම ගැන සාකච්ඡා කරද්දී ජනාධිපතිවරයා සිටියේ මඩකලපුවේ ය. එහිදී රනිල් මඩකලපුවේ සියෝන් දේවස්ථානය වෙත ගොස් එහි ප්‍රතිසංස්කරණ කටයුතු ගැන සොයා බැලු‍වේය. පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු එහි ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් මුදල් වෙන්කෙරුණද, ආණ්ඩු පෙරළියෙන් පසු පල්ලියේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුව නැති බව ඔහු නිරීක්ෂණය කළේය. ප්‍රහාරයෙන් පසු කතෝලික සභාවෙන් මේ පල්ලියේ නම හෝ කිව්වේ දිනකට පසුව ය. ඔවුන් දිගටම කිව්වේ මඩකලපුවේ තවත් පල්ලියක යනුවෙනි.


වෙලාව තීරණය කළේ කවුද?


මේ සතියේ ජනාධිපතිවරයාගෙන් බොහෝදෙනෙකු ඇසූ එක ම ප්‍රශ්නයක් විය. ඒ, ‘ආරංචිය සුබයි’ පෝස්ටරය කාගේද යනුවෙනි. ‘ඕක මනූෂගෙ වැඩක්නෙ. එයාගෙ කට්ටිය තමයි පෝස්ටරය හදලා තියෙන්නෙ. මටත් ඒ ගැන කිව්වා.’ ජනාධිපතිවරයා ඒ සියල්ලන්ට කියා තිබිණි. මනූෂ මාධ්‍ය කමිටුවට මෙය ඉදිරිපත් කර තිබුණේ පූර්ව ප්‍රචාරක පෝස්ටරයක් ලෙස ය. ඊට සියල්ලන්ගේ අනුමැතිය ලැබුණු නිසා එය රට පුරා ඇලවීමට තීන්දු විය. විපක්ෂයේ කණ්ඩායම් ද සංශෝධන සහිතව මේ පෝස්ටරය විවිධ තාලවලට අලවා තිබිණි. ඒ අතර එය හාස්‍යයට ගනිමින් කළ නිර්මාණ ද රැසක් විය.

ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේ වේලාව තීන්දු කළේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්නයි. 

‘කතාවට හොඳ වෙලාව මොකක්ද?’

‘පැරිස් ගිවිසුම අත්සන් කෙරෙන්නෙ ලංකාවෙ වෙලාවෙන් දවල් දෙකට විතරනෙ. එතැන වෙන දේත් බලලා අප්ඩේට් එකක් අරගෙන රෑ අටට මේ කතාව ඔක්කොම මාධ්‍යවල ලයිව් යවන්න පුළුවන් නම් හොදයි.’

පැරිස් ගිවිසුමේ සියලු තොරතුරු වරින්-වර ජනාධිපතිවරයාට ලබාදුන්නේ ෂෙහාන් සේමසිංහයි. ඔහු ජනාධිපතිවරයාට දැනුම් දෙන අතර, තවත් වැඩක් ද කර තිබිණි. ඒ ඔහුගේ එක්ස් සමාජ මාධ්‍ය ගිණුමට ද ඒ සියලු තොරතුරු ඇතුළත් කිරීමයි. එය ඇමැතිවරුන්ගේ හාස්‍යයට ද හේතුවී තිබුණේ ‘ෂෙහාන් ජනාධිපතිතුමාට කියපු ඔක්කොම එයාගෙ එකවුන්ට් එකට ගියහම ඔක්කොටම බලාගන්න පුළුවන්’ යනුවෙනි.

‘බැන්නෙම නෑ. පිළිගන්නකො ඒක.’

ඡන්ද ගැන පසුගිය සතියේ තවත් ස්ථිර ප්‍රකාශයක් අසන්නට ලැබිණි. ඒ, රනිල්ගේ සමීපතමයෙකු ලෙස මේ වන විට වැඩ කරන ප්‍රසන්න රණතුංගගෙන් ය.

‘සමහරු කියනවා ඡන්දය තියන්නෙ නෑ කියලා. අපි කවදාවත් ව්‍යාවස්ථාවට පිටින් වැඩකරන්නෙ නෑ. මේ අවුරුද්දෙ ජනාධිපතිවරණය තියලා, ඒක ජයග්‍රහණය කරලා ලබන අවුරුද්දෙ මහා මැතිවරණය තියනවා.’

ප්‍රසන්නගේ සහතිකය එයාකාර විය. ප්‍රසන්න මෙසේ සහතික දෙන විට සියල්ලන් කතා කළේ බැසිල්ගේ බැණුම ගැන ය.

‘බැසිල් සර්ට බැන්නා කියලා නිව්ස් එකක් යනවා. ඒක ඇත්තද?’

පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ඇමති ප්‍රසන්නගෙන් ගම්පහදී එසේ විමසා තිබිණි. 

‘මාර වැඩේ කියන්නෙ බැසිල් ඇමතිතුමා මගෙන් අහනකම් මම දන්නෙත් නෑ එහෙම දෙයක්.‘

ප්‍රසන්න ඊට එසේ ප්‍රසිද්ධියේ උත්තර  දී තිබිණි. 

‘එතකොට මේ නිව්ස් එක බොරුවක්ද?’ 

එවිට පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් විමසීය.

‘ඔව්... ඕක ප්ලාන්ට එකක්. මම දන්නවා ඔය බොරු නිව්ස් එක ප්ලාන්ට් කළේ කවුද කියලා. බැසිල් ඇමතිතුමයි මමයි අතර ප්‍රශ්නයක් නෑ. අපි නිතර කතා බහ කරනවා.’

ප්‍රසන්න එසේ උත්තර දුන්නද, නිව්ස් එක ප්ලාන්ට් කළේ කවුදැයි නොකියන්නට ප්‍රවේශම් විය. ඊට හේතු වූයේ එය ඇත්තක් වීම ය. ජනාධිපතිවරයා, සාගල, ප්‍රසන්න ඇතුළු රනිල්ගේ මැතිවරණ මෙහෙයුම් කණ්ඩායමේ රැස්වීම අවස්ථාවේ මෙසේ බැසිල් ප්‍රසන්නට බැණවැදී තිබිණි. ඒ පසුගිය බ්‍රහස්පතින්දා ය. තවත් දෙයක් තිබේ. දැන් රනිල්ගේ අලුත් කමිටුවක් ද තිබේ. එහි නම උපක්‍රමශීලී සම්බන්ධතා පිළිබඳ කමිටුවයි. තවම එහි කාර්යභාරය හරියට දන්නේ නැත. එහෙත් ඊට අලුත් පිරිසක් ද එක්වීමට නියමිත බව ආරංචි ය. 


මහින්ද ආණ්ඩුව නියෝජනය කරයි


මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා චීනයට ගියේ පසුගිය බ්‍රහස්පතින්දා ය. ඔහු යළිත් 30දා ලංකාවට පැමිණීමට නියමිත ය. මේ සංචාරයේදී සමුළුවකට සහභාගි වීමටත්, චීන ජනාධිපති ෂි ජින්පින් හමුවීමටත් නියමිත අතර, තවත් වැදගත් කටයුත්තක් ද කිරීමට නියමිත ය.

ඒ ණය ප්‍රතිව්‍යූහගතකරණයේදී චීනය සහාය දීම පිළිබඳ රජයේ නිල ස්තූතිය පිරිනැමීම ය. වැදගත් වන්නේ රජයේ නිල ස්තූතිය දැනට විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් සිදුකිරීමයි.


පොදුජන පෙරමුණු යෝජනාව රනිල් ස්ථිර කරයි


පළාත් පාලන ආයතනවල සීමිත, තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන යන පදනම් යටතේ සේවය කරන 8,435 දෙනෙකු ස්ථිර කිරීමට පසුගිය සතියේ කැබ්නට් මණ්ඩලයේ අනුමැතිය ලැබිණි. ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබුණේ අගමැති සහ රාජ්‍ය පරිපාලන ඇමැති දිනේෂ් ගුණවර්ධන විසිනි.

මේ ස්ථිර කිරීමේ යෝජනාව මුලින්ම ආවේ පොදුජන පෙරමුණෙනි. එය සිදුවී තිබුණේ ද මැතිවරණ මෙහෙයුම් පිළිබඳ රැස්වීමක් අතරතුර ය. ඊට රනිල් කිසිදු ප්‍රශ්නයක් නොවිමසාම එකඟ වී තිබූ අතර, දිනේෂ්ට කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලෙස යෝජනා කර තිබිණි. ඒ අනුව ජූලි මාසය තුළ එම පිරිසට පත්වීම් ලිපි ලබාදීමට නියමිත ය.

No comments:

Post a Comment