මහෞෂධලාගේ සතිය ඇරඹෙයි !
ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1977දී ඒ.සී.එස්. හමීඩ් විදේශ කටයුතු ඇමැතිවරයා ලෙස පත්කළේය. එතෙක් විදේශ කටයුතු ඇමැති ධුරය තිබුණේ අගමැතිවරයා යටතේ ය. ජේ.ආර්. හමීඩ්ව මේ පුටුවේ වාඩි කරවූයේ නිකම් නොවේ. සාම්ප්‍රදායිකව දේශපාලනයේ ජ්‍යෙෂ්ඨයකුට ඇමැති ධුරයක් දෙනවා කියන තැනින් ද නොවේ. ජේ.ආර්.ට අවශ්‍ය වූයේ හමීඩ්ව ඉදිරියට දමා අරාබි ලෝකයට අඩිය ගහන්නට ය. වැඩේ හරියට සිද්ධ නොවුණත්, එය රාජ්‍ය තාන්ත්‍රික උපක්‍රමයක් විය.
මේ වැඩේ ගැන 2010න් පසු කාලයේ යම් කතාබහක් ඇති විය. ඊට හේතු වූයේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අරාබි රටවලින් සෘජුව ආධාර ලබාගැනීමට දුන් අවසරයයි. රාජ්‍ය ණය පිළිබඳ කටයුතු කරන විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා එම මුදල් ලැබීම අවශ්‍ය නොවීය. එය නිල අවසරයක් නොවූවත්, නිල නොවන වශයෙන් මහින්ද රාජපක්ෂ ඊට පසුබිම සකස් කළේය. මේ හේතුවෙන් නිවාස ව්‍යාපෘති ඇතුළු විවිධ ව්‍යාපෘති රැසක් ලංකාවට ආවේය.
2018 ඔක්තෝබර් 26දා ව්‍යවස්ථා විරෝධී අගමැති පත්කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සිදුවීමට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවලදී තීරණාත්මක වැඩ ටිකක් කළ නීතිඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධ වූ ආයතනයක් ද මෙසේ මුදල් ගෙන ආවේය. වැඩ කළේය. පසුව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු හිජාස් අත්අඩංගුවට ගත්තේ අන්තවාදීන්ට අරමුදල් සැපයීමේ චෝදනාවක් එල්ල කරමින් ය. දැන් ඒ නඩුව වෙන අතකට යමින් තිබේ.
හංගන දේ හංගන්නේ ඇයි?
සැප්තැම්බර් 21දා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සියලු අපේක්ෂකයන් ප්‍රසිද්ධියේ නොකියන එක් කතාවක් තිබේ. ඒ, තමන්ගේ විදේශ ප්‍රතිපත්තිය කුමක්ද යන්නයි. ලංකාවේ මැතිවරණවලදී ඒ ගැන ජනතාව අතර ලොකු කතාබහක් නැති නිසා එහෙම එකක් එළියට නොදැමීමේ ගැටලුවක් ද මතුවන්නේ නැත. ඒත් මේ ගැන අවධානය යොමුකරන කණ්ඩායම් සිටී.
විශ්‍රාමික රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් පසුගිය සතියේ ප්‍රසිද්ධ රැස්වීමකින් පසු මේ ගැන සංවාදගත වූහ.
‘කවුරුවත් ඒ ගැන හරියට කියන්නෙ නෑ.’
‘හරියට කියන්න පුළුවන් තැනක නෙමෙයි ලංකාව තියෙන්නෙ.’
‘ඒක ඇත්ත. හරියට මේ ගැන කියන්න ගියොත් ලංකාවෙ ඡන්ද ගන්න හම්බෙන්නෑ. සමහර දේවල් තියෙනවා, කියනවට වඩා හොඳයි නොකියා ඉන්න එක. සමහර වෙලාවල් තියෙනවා හොඳ ම දේ බොරුවක් කියලා දාන එක.’
මෙවැනි සංවාදයකින් ඇරඹුණු එය පුළුල් තැනක් දක්වා ම තල්ලු විය.
හොඳක් වෙනව නම් බොරුවක් කිව්වම මොකද?
ස්මෝල් ෆුට් නමින් චිත්‍රපටයක් තිබේ. එහි කතාවන්නේ පුංචි පාදයන්ගේ ලෝකයක් ගැන වලාකුළුවලට ඉහළින් ඇති ලෝකයක ජනතාවක් විසින් හොයා බලන සිදුවීම් ජාලයක් සම්බන්ධයෙන් ය. එහිදී පුංචි පාදයන් කියන්නේ මිනිසුන්ට ය. මිනිසුන් සමග සම්බන්ධකම් ආරම්භ කොට, වලාකුළුවලට ඉහළින් ඇති ලෝකය දූෂණය වන අයුරු එහි පැරැන්නෝ බලා සිටිති. එහි බොරුව කියා දෙයක් නැත. වරක් එහි පැරණි නායකයා, අනාගත නායකයා නිශ්චිත තැනකට ගෙන ගොස් මෙසේ කියයි.
‘ඇත්ත කියනවට වඩා හොඳක්, බොරුවක් කියන එකෙන් සිද්ධ වෙනව නම්, බොරුවක් කිව්වට කමක් නෑ.’
අපේ අපේක්ෂකයනුත් මෙහෙම හිතාගෙන වැඩ කරනවා විය හැකිය. කොහොමත් ඇමෙරිකාවේ, යුරෝපයේ, ඔස්ට්‍රියාව වැනි රටවල මේ විදේශ ප්‍රතිපත්ති ගැන පුළුල් සංවාද තිබුණත්, ලංකාවේ එහෙම නැත.
කොහොම වුණත් පෙර කී සංවාදයේදී මතු වූ වැදගත් කරුණු ටිකක් ඇත.
‘මලක්කා සමුද්‍රසන්ධිය ආසන්නයෙ තියෙන බංගලාදේශයේ ප්‍රශ්නයට අදාළ දූපත බලන්න. මේ කලාපයේ පෝක් සමුද්‍රසන්ධිය සහ මලක්කා සමුද්‍රසන්ධිය අතර වෙළෙඳ ආර්ථික ආධිපත්‍යයක් පිළිබඳව චීනයේ සහ ඉන්දියාවේ ප්ලෑන් ගොඩක් තියෙනවා. චීනය කොච්චර මෙතැනදි ඉස්සරහට ගිහින් ද කියනව නම්, චීනය තායිලන්තයේ ක්‍රා ඇළ කපනවා. ඒ සේතු සමුද්‍රම්වලට විකල්ප මාවතක් විදිහට. ඒකෙන් සිංගප්පූරුව මගහැරලා කිලෝමීටර් දාහකට වැඩිය අඩු දුරකින් කලාපයේ වෙළෙඳ කටයුතු හසුරුවන්න පුළුවන්. ඒකෙ අනෙක් පැත්තෙ තියෙන්නෙ ත්‍රීකුණාමලය වරාය. මේකත් එක්ක ඉන්දියාව විශාඛාපට්නම් සහ අදානි වරාය දියුණු කරනවා. හිතාගන්න පුළුවන්ද ලංකාව ඉස්සරහට මුහුණ දෙන තත්ත්වය...?’
ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ප්‍රකට විශේෂඥයකු මෙහිදී කෙලින්ම කතාවක් කිව්වේය.
‘කොළඹ වරාය නගරය වගේම සිංගප්පූරුවෙන් ත්‍රීකුණාමලය වරාය නගර ව්‍යාපෘතිය වේගයෙන් ක්‍රියාත්මක කරනවා. එතකොට ඒකට සමගාමීව රනිල් වික්‍රමසිංහ මහත්තයා ගිහින් ත්‍රීකුණාමලය දියුණු කරන හැටි කියනවා. අනුරාධපුරේ පූජා නගර සැලැස්මත් මේකට සම්බන්ධයි. ඒක ප්‍රංශෙට බාරදුන්නෙ 1996දි. ඊට පස්සෙ විකල්ප බලශක්ති ව්‍යාපෘතියක් ගේනවා අදානි සමාගමෙන් මන්නාරමට. මේක සංකීර්ණ එකක්. හරියට ප්ලෑන් එකක් එළාගන්න බැරි වුණොත් ඔය කවුරු ආවත් ඉවරයි.’
ගෝඨාගේ කාලයේ චීනය කරපු රහස් වැඩේ
‘මේ වෙනකොට කලාපයේ ප්‍රබලයො ලංකාවට අදාළ බලශක්ති ව්‍යාපෘති හදලත් ඉවරයි. භූදේශපාලනික විදිහට අපි ඉන්නෙ උගුලක. එක පැත්තකින් මේ උගුලෙන් ගැලවෙන්නත් බෑ. අතහරින්නත් බෑ. හම්බන්තොට බලන්න. එහෙ චීන ව්‍යාපෘතිය කරන කොට, ඉන්දියාවෙ මහ කොමසාරිස් කාර්යාලයක් එහෙ විවෘත කරනවනෙ. ඇයි මේක හම්බන්තොටටම ගෙනියන්නෙ. චීන තානාපති කාර්යාලයෙ මැදිහත්වීමෙන් මන්නාරමේ දූපත් අධ්‍යයනය කළා, මීට අවුරුදු තුනකට කලින්. ගෝඨාභයට, ආණ්ඩුවට විරුද්ධ රැල්ල හැදීගෙන එන කාලෙ.’
‘නෝර්වේ එක්දාස් නවසිය අසූව කාලෙ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා, හම්බන්තොට වෙරළ සහ මන්නාරම වෙරළ ආශ්‍රිතව. තව ඒ වගේ එකක් ක්‍රියාත්මක කළා, මොණරාගල මූලික කරගෙන. මේ වාර්තාවල ලංකාවෙ සම්පත් ගැන තොරතුරු රැසක් තිබුණා. මේවා රුසියාවට ගියා. ඊටපස්සෙ චීනෙට ගියා. ඊටපස්සෙ තමයි ඇත්තටම ලංකාවට මහා පරිමාණ චීන ව්‍යාපෘති එන්න ගත්තෙ. ඒක නිසා මේ කිසිවක් තනි වැඩ නෙමෙයි.’
පිරිසේ සංවාදයට නීතිඥයන් සහ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු ද එක්වූ නිසා එය විෂය ගැන කරුණුවලින් බැහැරට ගොස් වර්තමානයට ආවේය. අසූව දශකයේ ලංකාවේ සිටි පිරිසගෙන් ඉතා සුළු පිරිසකි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනුවෙන් එකක් ඇති බවක් හෝ දැන සිටියේ. එහෙත් දැන් ඊට වෙනස් ය.
මරණාධාර සමිතිවලට අලුත් මාතෘකාවක්
‘දැන් මරණාධාර සමිතිවලත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන කතා කරනවා.’
නීතිඥවරයකුගේ පොහොර දැමීමෙන් පසු ඒ ගැනත් අපූරු කතාවක් ඉදිරියට ආවේය. අසූව දශකයේ අවසානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මුලින්ම ලංකාවට ආ හැටි, 1995 අයවැය කතාවේදී ජී.එල්.පීරිස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සහ ක්‍රියාමාර්ග ඔස්සේ රට ඉහළට ම ඔසවා ලබන හැටි පාර්ලිමේන්තුවේදී කී හැටි ඇතුළු හුඟක් කතා එහි විය.
කෙසේ වෙතත් ස්වාධීන ව සහ දේශපාලනයේදී නිශ්ක්‍රීය චරිතයක් ලෙස සිටින හිටපු මහ කොමසාරිස්වරයෙකු කිව්වේ ‘අපි නිහඬව ඉඳලා හරියන්නෙ නෑ. කවුරුත් කරනකම් ඉන්නෙ නැතුව අපි මේ ගැන සංවාදයක් පටන්ගන්න ඕනෙ’ යනුවෙනි.
1982 ජනාධිපතිවරණයෙන් පසු පැවැති සියලු ජනාධිපතිවරණ සමග සංසන්දනය කර බලද්දී, දැනට මේ ජනාධිපතිවරණය වඩාත්ම සාමකාමී ජනාධිපතිවරණයයි. ඒ කියන්නේ දැන් ලංකාවේ දේශපාලනය හුඟක් වෙනස්වෙමින් තිබේ. විදේශ ප්‍රතිපත්ති ගැන මෙවැනි සංවාදයක් වැදගත් වන්නේ ද ඒ නිසා ය.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හෙළි කළ රහස
2015 ජනාධිපතිවරණයෙන් මෛත්‍රිපාල සිරිසේන ජයග්‍රහණය කළේය. ඊට ටික දිනකට පසු එවකට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ලංකාව හෙල්ලුණු ප්‍රකාශයක් කළේය. හෙල්ලුණු කිව්වාට දැන් වගේම ලංකාවේ බහුතරයකට එය දැනුණේ නැත. ඒත් දැනෙන්න ඕනෙ තැන්වලට දැනුණේය. ජෝන් කෙරී කිව්වේ ලංකාවේ, මියන්මාරයේ සහ නයිජීරියාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා 2014 අවසාන කාලයේදී ඇමෙරිකාව ඩොලර් මිලියන 585ක් වැය කළ බවයි. අඩු ගාණේ එයින් තුනෙන් එකක් ලංකාවට වැය කළා විය හැකිය. මේ ඡන්දයේදීත් රටවල් කීපයක් වැඩ කරන විදිහ ගැන කතා රැසක් තිබේ. ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ලංකාවට ඇවිත් ගිය එක ඒ අතරින් ප්‍රධාන ය.
සමාජ මාධ්‍ය අවහිර කළොත් බඩු ම තමයි
කොහොම වුණත්, මොනවා කරන්නත් ඡන්දයට තව ඇත්තේ දවස් හයකි. අවසාන පැය 48, එනම් 18දා මාධ්‍යම රාත්‍රී 12න් පසු ප්‍රචාරක වැඩ කිරීම තහනම් ය. සමාජ මාධ්‍ය ජාලාවල මේ ප්‍රචාරක කටයුතු නතර කරන්නේ කෙසේද යන්න ගැටලුවකි. ඒ ගැන පැවැති සාකච්ඡාවකදී අදහසක් ලෙස මතු වී තිබුණේ මහනුවර, දිගන ගැටුම් පැවැති 2018 මාර්තු මාසයේදී කළාක් මෙන්, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු කළාක් මෙන්, 2022 අරගල සමයේ කළාක් මෙන් සමාජ මාධ්‍ය අවහිර කළ යුතු බවකි. විදුලි සංදේශ නියාමන කොමිසම හරහා එය කළ හැකි බව ද මෙහිදී කතා වී තිබිණි.
එහෙත් ඒ යෝජනාව හැරෙන තැපෑලෙන්ම ප්‍රතික්ෂේප වී තිබුණේ ඡන්දෙට පසු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එළියට එන්නට මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට සහ එවැන්නක් සිදුකරන බලධාරීන්ට ඉඩක් නොලැබෙනු ඇතැයි යන කතාවෙනි. ඊට හේතුව එවැන්නක් සිදු කළහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකමක් වන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය කළ බව පවසමින් පෙත්සම් සිය ගණනක් ඉදිරිපත් වනු ඇතැයි යන සැකයයි. අදහසට තිත තැබිණි.
නාමල් ආපු ගමන් කරන්නේ මොකක්ද?
මේ සතිය තීරණාත්මක ය. අනුර කුමාර දිසානායක මෙන්ම සජිත් ප්‍රේමදාස ද කියන්නේ තමන් දිනුම් බවයි. නාමල් රාජපක්ෂගේ පැත්තෙන් කියන්නේ ඔහු පටන්ගන්නේ ම ඡන්ද ලක්ෂ 35කින් බවයි. නාමල් පසුගිය සතියේ සිටියේ යාපනයේ ය.
‘උතුරට පොලිස් සහ ඉඩම් බලතල දෙනවද?’
නාමල්ට උතුරෙන් වැඩෙියෙන් ම ආ ප්‍රශ්නය එයයි.
‘නෑ. මම උතුරට පොලිස් සහ ඉඩම් බලතල දෙන්නෙ නෑ.’
‘අනෙක් අපේක්ෂකයො ඔක්කොම කියන්නෙ ආපු ගමන් 13 ක්‍රියාත්මක කරනවා කියලනෙ?’
ඒ තවත් ප්‍රශ්නයකි.
‘මම ආපු ගමන් පළාත් සභා ඡන්දෙ තියනවා.’
කතාව එතැනින් අවසන් විය. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ වරක් ඉන්දීය රජයට පොරොන්දු වූයේ 13ට එහා ගිය බලයක් පළාත් සභාවලට දෙන්නට ය.
නාමල් ගැන කියූ නිසා නාමල් - බැසිල් සාකච්ඡාව ගැන ද කිව යුතුය. පොදුජන පෙරමුණ හැරගිය හත්දෙනෙක් නාමල් සහ බැසිල් හමුවූහ.
‘අපි පාර්ලිමේන්තු ඡන්දෙදි ඔතැන්ට ආපහු එනවා.’
නාමල් හමුවූ තැන් කිහිපයකදී ඒ කණ්ඩායම කියා තිබිණි. එහෙත් නාමල් ඒ කිසිවකුට උත්තරයක් දී තිබුණේ නැත. ඒ වෙනුවට නාමල් කියා තිබුණේ බැසිල් රාජපක්ෂ එක්ක ඒ සියල්ල කතාකරගන්නා ලෙසයි. පක්ෂයේ සියලු කටයුතු බලන්නේ බැසිල් බවයි, නාමල් වැඩිදුරටත් කියා තිබුණේ.
ශෂීන්ද්‍රට රනිල්ගෙන් විශේෂ සැලකිල්ලක්
පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තවත් රාජ්‍ය ඇමැතිවරුන් 05 දෙනෙකු ඔවුන් දැරූ ධුරවලින් ඉවත් කළේය. ඒ අනුව ජනාධිපති ධුරයට නාමයෝජනා දීමෙන් පසු රනිල් විසින් රාජ්‍ය ඇමැතිකම්වලින් ඉවත් කළ මුළු පිරිස 09ක් බවට පත් විය. මුලින් සිවුදෙනාගේ තීරණය කෙසේ වෙතත්, අවසාන පස්දෙනාගේ තීරණයට පෙර රනිල් දුරකතන ඇමතුමක් ගෙන තිබිණි. ඒ, ශෂීන්ද්‍ර රාජපක්ෂට ය.
තමන්ට සහාය නොදෙන රාජ්‍ය ඇමැතිවරුන් ඉවත් කිරීමට එන බලපෑම් වැඩි බවත්, එය සිදු කළ යුතුව ඇති බවත් රනිල් ශෂීන්ද්‍රට කියා ඇත. ශෂීන්ද්‍ර කිසිවක් නොකියා සිටින විට, රනිල් කියා ඇත්තේ තමන් මේ ඇමතුම ගත්තේ අනෙක් අය ව මෙන් ඉවත් කිරීමට පෙර, ඉල්ලා අස්වන ලෙසයි. ශෂීන්ද්‍රට එවැනි අවස්ථාවක් දීම තමන්ගේ යුතුකමක් බව ද රනිල් මෙහිදී කියා ඇත.
‘මට පොඩි වෙලාවක් දෙන්න ජනාධිපතිතුමා. මට මේ ගැන තනි තීරණයක් ගන්න බෑ.’
ශෂීන්ද්‍ර කියා තිබුණේ එවැන්නකි. ඒ කියපු ආකාරයට ම ශෂීන්ද්‍ර ඉන්පසු නැවත රනිල් සම්බන්ධ කරගෙන තිබිණි.
‘මං විතරක් ඉල්ලා අස්වෙන්න ලියුම දුන්නොත් ඒක හරි නෑ. ඒක හින්දා මාවත් අයින් කරන්න.’
ශෂීන්ද්‍රගේ ඒ ඇමතුමෙන් පසු අයින් කරන ලිස්ට් එකට ශෂීන්ද්‍ර ද ඇතුළත් විය. ශෂීන්ද්‍ර මේ ගැන බැසිල් සමග සාකච්ඡා කර තිබිණි. දෙදෙනෙකු ගන්නා දුරකතන ඇමතුමක කතා වූයේ මොනවාද කියා මෙසේ ලියන්නට හැකිවන්නේ ඒ පිළිබඳ බැසිල් ප්‍රසිද්ධියේ නෙළුම් මාවතේ දී කියා තිබුණු නිසා ය. එතැන සාගර කාරියවසම්, ගාමිණී ලොකුගේ ඇතුළු විශාල පිරිසක් සිටි බව වාර්තා වේ.
‘රනිල් කතා කරලා ශෂීන්ද්‍රට අයින් වෙන්න කියලා. මං කිව්වා, එයාවත් අයින් කරන්න කියන්න කියලා.’
වැඩ සිදුවෙන්නේ ඔහොම ය. රනිල්ගේ නම් ඊළඟ සැලැස්ම පාර්ලිමේන්තු මැතිවරණය බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නම් ලේබලය යටතේ මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තු යවාගැනීමේ අරමුණක් රනිල් සතු ය. කොහොමත් රනිල්ට ජනාධිපති ධුරයටත් වඩා වටින්නේ එක්සත් ජාතික පක්ෂයේ නායක ධුරයයි. පක්ෂය විනාශ කළා කියන ලේබලයෙන් නොව, පක්ෂය ගොඩ දැම්මා කියන ලේබලයෙන් ඊළඟ නායකයාට පුටුව දීම රනිල්ගේ සැලසුම බව පේන්නට තිබේ.
සජබයේ කිහිරිදණ්ඩේ ප්‍රශ්නය
මහෞෂධ පඬිතුමා කිහිරිදණ්ඩේ ප්‍රශ්නය විසඳුවාක් මෙන් වැඩක් සජිත් ප්‍රේමදාසට ද සිදු වී තිබේ. ඒ, සමගි ජන බලවේගයේ මහනුවර ප්‍රශ්නය විසඳන්නට ය. මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අටදෙනාගෙන් හත්දෙනෙකු රනිල් වික්‍රමසිංහ ළඟට යන විට, සජිත් ළඟට ගියේ වසන්ත යාපා විතර ය. සජිත්ගේ මහනුවර ප්‍රධාන රැළියේ කථික ලැයිස්තුවෙන් වසන්ත යාපා හැලී තිබිණි. වසන්ත විතරක් නොවේ, පළාතේ සමගි ජන බලවේගයේ තවත් ප්‍රධානීන් දෙදෙනෙකු වූ මයන්ත දිසානායකට සහ හලීම්ට ද කතා තිබුණේ නැත. මේ ගැන ඇතුළේ කතා රැසක් මතු වී තිබේ.
මේ රැළියේදී සජිත්ගේ ළඟ පුටුවක් ලැබී තිබුණේ ලක්ෂ්මන් කිරිඇල්ලගේ දියණියටයි. ඇතුළේ කතාවලින් කියවෙන්නේ කිරිඇල්ල, සිය දියණියව පාර්ලිමේන්තු යැවීමේ උත්සාහයක යෙදී සිටින බවයි. මේ වගේ ම කතාවක් 2019 පාර්ලිමේන්තු මැතිවරණයේදී ද සිදු වී තිබිණි. එහිදී සජිත්ට අවශ්‍ය වී තිබුණේ තිස්ස අත්තනායක මහනුවරින් ඡන්දෙට දාන්නට ය. එහෙත් කිරිඇල්ල විරුද්ධ වූ නිසා එය සිදුනොවීය. තිස්ස අත්තනායක ජාතික ලැයිස්තුවට ඇතුළත් කෙරිණි.
ඇත්තටම දැන් සමගි ජන බලවේගයේ ප්‍රධානීන් කිහිපදෙනෙකු ම ජනාධිපතිවරණයට වඩා මහ මැතිවරණය ගැනත්, අගමැති ධුරය ගැනත් හිතන්නට පටන්ගෙන තිබෙන බව ආරංචි ය. ඒ අතර ඉදිරියෙන්ම සිටින බව කියන්නේ රංජිත් මද්දුම බණ්ඩාර සහ තිස්ස අත්තනායක ය. ගම්පහ සහ කළුතර මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘති බාර ව සිටින්නේ රංජිත් සහ තිස්ස ය. ඔවුන් දෙදෙනා පාර්ලිමේන්තු ඡන්දය සහ අගමැති ධුරය ගැන හිතන්නට පටන්ගෙන ඇති නිසා මේ දිස්ත්‍රික්ක දෙකේ සංවිධායකවරුන්ට ඇතැම් ක්ෂණික තීරණ ගැනීමේ ගැටලු මතු වී තිබේ.
රනිල්ට මගහැරුණු වැදගත් ම දේ
දැන්වීම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රනිල්ට ‘හපොයි’ කියන හේතුවක් තිබේ. ඒ, රනිල්ට මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් පාවිච්චි කරන්නට තිබූ වැදගත්ම අදහසක් ඔහුගේ ප්‍රචාරක කටයුතු සිදු කළ කණ්ඩායම් විසින් මගහැරගෙන තිබීම නිසා ය. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් විසින් රච්ත කෙකේෂියන් චෝක් සර්කල් නම් වේදිකා නාට්‍යයේ සිංහල අනුවර්තනය හුණුවටයේ කතාවයි. එය නිර්මාණය කළේ ප්‍රවීණ නාට්‍යවේදියකු වූ හෙන්රි ජයසේනයි.
එම නාට්‍යයේ කොටසක් ඇති වැල් පාලමේ කතාව උපුටා දක්වමින් රනිල් තමන් විසින් ම ප්‍රචාරක ව්‍යාපෘතියක් ආරම්භ කළේ අනුප්‍රාප්තික ජනාධිපති ධුරයට පත්වූ ගමන් කළ ජාතිය ඇමතීමේ කතාවේ සිට ය. එය ජනතාව අතර කතාබහට ලක් වූ අතර, වැල් පාලම ගැන විවිධ අර්ථකතන ඉදිරිපත් විය. එහෙත් කෙසේ හෝ ජනාධිපතිවරණයේ විධිමත් ප්‍රචාරක ව්‍යාපෘතියෙන් ඒ කොටස හැලී තිබිණි. ඒ වෙනුවට ආවේ පුළුවන් ය. දැන්වීම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ට අනුව අනෙක් සියලු අපේක්ෂකයන් බෑ කියද්දී, ජනතාවටත් බෑ කියා තේරෙද්දී පුළුවන් අසාර්ථක බවයි.
‘අවධානයෙන් ඉන්න’ - අනුර උපදෙස් දෙයි
කෙසේ වෙතත් පිරිසගේ අදහස වන්නේ ජාතික ජන බලවේගයේ ප්‍රචාරක ව්‍යාපෘතිය අඩුපාඩු තිබුණත් සාර්ථක බවයි. සජිත්ගේ ප්‍රචාරක ව්‍යාපෘතියේ වැදගත්ම දේ ලෙස ඔවුන් පෙන්වන්නේ හොඳම පිරිස සජිත් සමග යන්නයි. කොහොම වුණත් අනුරැල්ලට එරෙහිව දැන් සියලු පැති එකතු වී තිබෙන බව පෙනේ.
ඡන්ද සටනේ උණුසුම සමග කරළියට ආ අලුත් ම කතාවක් වූයේ ඡන්දයත් සමග ගිනි තැබීම් ඇතුළු විනාශයන් රැසක් සිදුවීමට නියමිත බවට පළවූ වීඩියෝවකි. ඒ ගැන යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කළේය. මේ ගැන ජාතික ජන බලවේගය පිටුපස සිටින හිටපු ආරක්ෂක ප්‍රධානීන් මෙන්ම සමගි ජන බලවේගය පිටුපස සිටින හිටපු ආරක්ෂක ප්‍රධානීන් ද සාකච්ඡා කර තිබිණි. සජිත්ගේ මේ සාකච්ඡාව මෙහෙයවා තිබුණේ හිටපු හමුදාපති මහේෂ් සේනානායක ය. ඒ සාකච්ඡාවෙන් පසුව ය, තමන් ජනාධිපති වී පැය 48ක් තුළ ආරක්ෂක අංශවලට විශේෂ වැඩක් පවරන බව සජිත් කිව්වේ.
අනුර කිව්වේත්, ටිල්වින් කිව්වේත් ‘අවධානයෙන් ඉන්න’ කියා ය.
No comments:
Post a Comment