රනිල් - අනුර - සජිත් - මහින්ද
පරණ සිතියම්වලට අලුත් සැලසුම් හදති !
සිතියමක් ලෙස මේ සියල්ල එක පෙළට දිගහැර ගත යුතුය. හමාස් සංවිධානයේ දේශපාලන නායකයා වූ ඉස්මයිල් හනියේට ඊශ්‍රායලය පහර දුන්නේ අතිශය ආරක්ෂිත වටපිටාවක සිටියදී ය. ඉරානයේ නව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වී, ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා කුමේනි සමගත් සාකච්ඡා කොට එරට අගනුවර වන ටෙහෙරානයේ ආරක්ෂිත තැනක සිටියදී ය, දේශසීමාවෙන් එහා සිට ඊශ්‍රායලයේ රොකට් ප්‍රහාරය ඔහු හඹා ආවේ.
ඊශ්‍රායලයේ යුද තාක්ෂණයටත් වඩා එහිදී වැදගත් වන්නේ හනියේ දඩයම් කළ මෙහෙයුමයි. හනියේ යනු හමාස් සංවිධානයට මෙන්ම පලස්තීනයට සිටි ජාත්‍යන්තර චරිතයකි. ජාත්‍යන්තර තලයේදී ඔහුට ඉහළ පිළිගැනීමක් තිබිණි. ඒ මොනවා තිබුණත් පලස්තීනය ඇතුළේ හනියේව විරුද්ධ කල්ලියක් ද විය. පලස්තීන සරණාගත කඳවුරක ඉපදී, හමාස් සංවිධානයේ ආධ්‍යාත්මික නායක ෂෙයික් අහ්මඩ් යාසින්ගේ කාර්යාලයේ ප්‍රධානියා වීම දක්වා සීග්‍රගාමී ගමනක් හනියේ ආවේය.
පසුව ඔහු පලස්තීන අධිකාරියේ අගමැති විය. එහෙත් එවකට පලස්තීන් අධිකාරියේ ජනාධිපති මහම්මුද් අබ්බාස් විසින් හනියේ එම තනතුරෙන් නෙරපා හරින ලදි. හනියේ ඊට එරෙහිව ප්‍රසිද්ධියේ සටන් කළේය. තමන් නෙරපා හැරීම ව්‍යවස්ථා විරෝධී බව පවසමින් එම තීරණය ප්‍රතික්ෂේප කළ ඔහු, පලස්තීන ජනතාව කෙරෙහි වන වගකීම් අත්නොහරින බව දිගිටම කියා සිටියේය.
මේ සියල්ල අතරේ අලුත් කතාබහක් මතු වී ඇත්තේ හනියේ ඝාතනය කරන්නට ඇතුළෙන් ඔත්තු දුන්නාද යන්න පිළිබඳවයි. ඇතුළෙන් ඔත්තු දුන්නත් - නැතත් හනියේ පාලනය කළ නොහැකි චරිතයක් බවට පත්ව සිටි බව නොරහසකි.
සිතියමක් ලෙස මේ සියල්ල එක පෙළට දිගහැර ගත යුතු යැයි මුලින්ම ලිව්වේ ඒක ය. ලෝකයේ කොහේ වුණත් බලය ලබාගැනීමටත් වඩා බලය පවත්වා ගැනීම වෙනුවෙන් විවිධාකාරයේ ගේම් ක්‍රියාත්මක වේ. එහි අවසාන අදියර ඝාතනය වන අතර, ඒ අතරතුර ඕනෑම දෙයක් විය හැකිය. බලය පිළිබඳ දේශපාලනයේ අත්පොත ලෙස සැලකෙන නිකොලායි මැකියාවෙලීගේ කුමාරයා කෘතියේ කියන්නේ අමාරු වැඩේ බලය ලබාගැනීම නොවන බවයි.
එය තත්ත්වයන් අනුව වෙනස් වේ. මේ වන විට ලංකාව කියන්නේ බලය ලබාගැනීම සඳහා විවිධාකාර අලුත් හැඩයේ ගේම්වලට මුහුණ දෙමින් තිබෙන රටකි. ඇතැම් විට එක්කෝටි හැත්තෑ ලක්ෂයක ඡන්දදායක ජනතාව නොහිතන යමක් අවසානයේදී සිදුවන්නට ද ඉඩ තිබේ.
බැසිල් සියල්ල අත්හරියි ද?
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ළඟට යන පිරිස නවත්වා ගන්නට නම් පොදුජන පෙරමුණ හදිසි තීරණයක් ගත යුතුය. අනෙක් අතට මේ අලකලංචි අස්සේ ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණු පාක්ෂිකයන් බොහෝදෙනෙකු ඡන්ද පොළට නොගොස් ගෙදර නවතින්නට ද ඉඩ තිබේ. බැසිල් රාජපක්ෂ මේ ගැන කියා තිබුණේ හිටපු පොලිස්පති සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ හිටපු සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු ඇතුළු පිරිසක් සමග ය. ඒ මීට මාස ගණනාවකට පෙර ය. කොහොමත් බැසිල් ඇමෙරිකාවේ සිට ලංකාවට පැමිණි ඒ මාර්තුවේත් බැසිල් පිළිගන්නට කටුනායක ගුවන් තොටුපොළට ගිය පිරිස අතර චන්ද්‍රා ද විය.
බැසිල් දිගටම සිටියේ රනිල් සමග එකඟතාවකට පැමිණ තමන්ට අවශ්‍ය වැඩේ කරගන්නට ය. එහෙත් එය සිදු වූයේ නැත. හරියටම කිව්වොත් උපරිම බර දැම්මත් එය කරගන්නට ලැබුණේ නැත. මේ නිසා බැසිල් මේ දිනවල සිටින්නේ සියල්ලෙන් ඈත් වෙමින් ය. භාරතීය ජනතා පක්ෂයේ හැඩයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හදන්නට මහන්සි වූ, භාරතීය ජනතා පක්ෂයේ අභ්‍යන්තර ශක්තිය වන රාශ්ත්‍රීය ස්වායම් සේවක් සංග්හි ප්‍රධානියකු වන රාම් මාධව් වැනි චරිත ගුරු කොට ගත් බැසිල් එහෙම ලේසියෙන් මේ සියල්ල අත්නොහරින්නට ද ඉඩ තිබේ. කෙසේ වෙතත් ඔහු තාවකාලික සමුගැනීමකට සූදානම් ය. ඔහු යළිත් ඇමෙරිකා යන්නට බඩු පැක්කරමින් සිටින බවක් ද ආරංචි ය.
මහින්දගේ සහ නාමල්ගේ වෙනස
පොදුජන පෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙක් දැමීමේ සටනේ මුල සිට ම සිටියේ නාමල් රාජපක්ෂ ය. කවුරුන් හෝ නාමල්ට හරියටම හරියන උපදෙසක් දී තිබේ. නාමල්, රනිල් ළඟට ගියේ නම් නාමල්ගේ දේශපාලන අනාගතය හතරගාතෙන් වැටෙන්නේය. මේ ගැන කතාවකදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පවසා තිබුණේ නාමල්ට මේ ජනාධිපතිවරණයට ඉල්ලන්නට කියා ය. එහෙත් නාමල් ඊට බෑ කියා තිබිණි. නාමල් තමන්ගේ පිරිස සමග පවසා තිබුණේ මේ තත්ත්වය යටතේ තමන් ඉල්ලීම සුදුසු නොවන බවයි. එහෙත් මහින්ද රාජපක්ෂ කියන්නේ ඊට වෙනස් කතාවකි. පරාජය, තමන්ගේ ජයග්‍රහණයට යන පාර බවට පත්කර ගත යුතුය. මහින්ද ඒ කතා කරන්නේ හැත්තෑව දශකයේ සිට ඔහු සතු අත්දැකීම්වලින් ය. නාමල් මේ කතා කරන්නේ විධායක ජනාධිපතිවරයකුගේ පුත්‍රයකු ලෙස දේශපාලනයට පිවිසි අයෙකු ලෙසින් ය. අභියෝග දෙස බලන කෝණ දෙකේ වෙනස ඇත්තේ එතැන ය.
නාමල්ට ලොහාන් පහර දුන් කතාවක් ද එළියට ආවේය. ජනාධිපතිවරණය ගැන වාද කිහිපයක් මතු වුවත්, ගහගන්න තැනට නාමල්ලා-ලොහාන්ලා තවම පත්වී නැත. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ කෝපයෙන් කතා කරමින් සිටි නාමල්, රනිල්ට සහාය දීම පිළිබඳ තමන්ගේ කෝපය පාලනය කරගත නොහැකිව කකුලක් පිට කකුලක් දමා ගැනීම දුටු ලොහාන් ඔහුට කකුල පහතට දමන ලෙස අතින් ගසමින් කියා ඇත. රාජගිරියේ සාමාන්‍ය සිල්ලර බඩු අලෙවිසැලක මුදලාලි කෙනෙකු ලියුම්කරු සමග කිව්වේ මොනවා වෙනස් වුණත්, මහින්ද රාජපක්ෂ කියන කෙනෙකුට අපි ඡන්දය දෙනවා කියා ය. ඒක මහින්දත් දන්නේය. කකුලක් පිට කකුලක් දැමීමේ කතාවත් ඒකට අදාළ ය. ලොහාන් අනුරාධපුර බන්ධනාගාරයට මහ රාත්‍රියේ ගොස් සිරකරුවන් දණගැස්වූවාට, මේ වගේ තැන්වලදී සංස්කෘතිය රකින පුතෙක් වගේ ය. රාජගිරියේ මුදලාලිට රනිල් හෝ සජිත් හෝ අනුර හෝ දැනෙන්නේ නැත්තේ ඒක ය.
චන්ද්‍රා ප්‍රනාන්දු ගැන කියපු නිසා තවත් කතාවක් කියාගෙනම යා යුතුය. සරත් අමුණුගම, විජේපාල මෙන්ඩිස් ඇතුළු පිරිසක් 1994 ඡන්දයට පෙර චන්ද්‍රිකා බණ්ඩාරනායකට සහයෝගය දෙන්නට ගිය වෙලාවේ රට පුරා පෝස්ටරයක් වැදිණි. එහි සඳහන් වූයේ ‘කුණු කුණු ගොඩට’ යනුවෙනි. එය නිර්මාණය කර තිබුණේ චන්ද්‍රා ප්‍රනාන්දු ය. දැන් ඔහු තමන්ගේ සමීපතමයන් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ මෙහෙයුම්වල ඉදිරියෙන්ම සිටී. ඒ කියන්නේ බැසිල්ගේ සමීපතමයා දැන් එතැන ය. මුලින්ම කිව්වාක් මෙන් මේ සිතියම නිවැරදිව එළාගත යුතුය.
කතා මවන ශානි අබේසේකර
චන්ද්‍රා ප්‍රනාන්දුගේ ගෝලයකු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන හදිසියේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට සහ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙවත් සීඅයිඩියට සෘජුව පැමිණිලි බාරගන්නට බලය තිබුණත්, ඔවුන්ට තනි කැමැත්තට ඒ පැමිණිලි විමර්ශනය කිරීමේ බලයක් නැත. එය පොලිස්පතිවරයාගෙන් පැමිණිය යුතුය. මේ පැමිණිල්ල දැමූ විගස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් එය විමර්ශනය කරන ලෙස උපදෙස් දුන්නේය.
2020 අගෝස්තු 05දා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට දින කිහිපයකට පෙර, එනම් ඒ වසරේ ජූලි 31දා ශානි අබේසේකර කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනිණි. 2024 සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ද යළිත් ශානි අබේසේකර අත්අඩංගුවට ගැනීමට නියමිත බවක් ද මේ අතර වාර්තා වේ. යළිත් කිව යුතුය. දේශපාලනයේ සිතියම් නිවැරදිව එළාගත යුතුය.
සජිත්ගේ අලුත් අභියෝගය
මේ සියල්ල අස්සේ සජිත් ප්‍රේමදාස මේ වන විට අතිශය කාර්යබහුල වී තිබේ. ඊට හේතු වී ඇත්තේ පොදුජන පෙරමුණේ ආසන බලමණ්ඩල පිටින් රනිල් වික්‍රමසිංහට සහාය දෙන බව පැවසීම ය. ඔවුන්ගේ ඒ ප්‍රකාශ සමග සජිත් වටේ එකතු වෙමින් සිටි ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ සිත් හෙල්ලී තිබේ. පොදුජන පෙරමුණේ සහ රනිල් පාර්ශ්වයේ සිට සමගි ජන බලවේගයට සහාය දීමට එක්වූ අම්පාරේ සහ මහනුවර දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන හිටපු සභාපතිවරුන් කිහිපදෙනෙකු යළිත් රනිල්ගේ පැත්ත බලන්නට පටන් ගෙන තිබේ.
මේ නිසා සජිත්, තිස්ස අත්තනායක මගින් සියලු ආසන සංවිධායකවරුන්ට කිව්වේ වහාම ගමේ වැඩ කරන ලෙසත්, සමීක්ෂණ වාර්තා මගින් සජිත් ඉහළට එමින් තිබෙන බව ගම් තුළ ප්‍රචාරය කරන ලෙසත් ය. සමාජ මාධ්‍ය අවකාශයේ කවර තත්ත්වයක් තිබුණද, තවමත් ලංකාවේ ඡන්දදායකයන්ගෙන් යම් ප්‍රතිශතයක් තීරණ ගන්නේ කටින්-කට එන ආරංචිවලට ය. එම නිසා සජිත්ගේ මේ උපක්‍රමය කටින්-කට යන කතාවල චරිතය වීමට ය. මේ අතර ඉදිරි සතියේදී පුළුල් පෝස්ටර් ව්‍යාපාර කිහිපයක් සහ මාධ්‍ය ප්‍රචාරක ව්‍යාපෘති කිහිපයක් ද සජිත්ගේ පැත්තෙන් ආරම්භ කිරීමට නියමිත ය.
ඒ අතර නාමල්, සජිත්ට සහයෝගය දෙන බවට කතාවක් ද ප්‍රාදේශීය වශයෙන් පැතිරෙමින් තිබේ. උත්සව අවස්ථා දෙකකදී පසුගිය දිනවල නාමල් සහ සජිත් මුණගැසී තිබුණත්, දේශපාලන සාකච්ඡා සඳහා දෙදෙනා හමුවූ බවක් නම් දැනට ආරංචි නැත. කෙසේ වෙතත් මේ ජනාධිපතිවරණයේදී ඕනෑම දෙයක් විය හැකිය.
ජාජබ සැලසුම් වෙනස් කරයි
ජාතික ජන බලවේගය තමන්ගේ මැතිවරණ මෙහෙයුම් දිනෙන්-දින වෙනස් කරමින් සිටී. සමාජ මාධ්‍ය අවකාශයේ ඔවුන් සමග කිසිවකුට තරගයක් නැති තරම් ය. අනෙක් අතට විශාල රැස්වීම් කරගෙන යන ගමන් කුඩා රැස්වීම් විශාල ප්‍රමාණයක් පවත්වමින්, ජනතා මණ්ඩප ඇතිකිරීම ද ඔවුන්ගේ සැලසුම් අතර වේ. මේ දිනවල ජාතික ජන බලවේගයට සහ අනුර කුමාර දිසානායකට එරෙහිව මඩ ව්‍යාපෘති රැසක් ද ක්‍රියාත්මක වෙමින් තිබේ. ඒවාට පිළිතුරු දීමට වේලාව වෙන්කිරීම අපරාදේ යනුවෙන් මතයක් මුලදී පැවතුණද, දැන් ඔවුන් තීරණය කර ඇත්තේ එම මඩවලට දැවැන්ත ව්‍යාපෘති මගින් පිළිතුරු දීමට ය.
ස්වාධීන කොමිෂන් සභා මගින් ආණ්ඩුවේ ඇතැම් වැඩවලට ක්ෂණික ප්‍රතිචාර ලැබෙමින් තිබේ. මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය කෙසේ හෝ නිවැරවදි පැවැත්වීමේ අඛණ්ඩ උත්සාහයක යෙදීසිටින බවක් පෙනෙන්නට තිබේ. ඔවුන් දිනපතා ජනාධිපතිවරයාට ලියුම් ලියන තත්ත්වයක් ය, තිබෙන්නේ. රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය දේපොළ ඡන්ද වැඩවලට යොදාගැනීම් පිළිබඳව ද ඔවුන් දැඩිව කටයුතු කරයි. ඒ අතර ජාතික පොලිස් කොමිසම ඡන්දයේ ආරක්ෂාවට තිබුණු අවසන් බාධාවත් නැති කළේය.
ව්‍යවස්ථා ගැටේ ලිහුණු හැටි
එය සිදුවුණේ මෙහෙම ය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමග කියා තිබුණේ පොලිස්පති පත්කිරීම තමන්ට ප්‍රශ්නයක් වනවා සේම පොලිසියේ දෙවැනියා පත්කිරීම ද පොලිස් කොමිසමට ප්‍රශ්නයක් බවයි. පොලිසියේ දෙවැනියා කියන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ය. පොලිසියේ පරිපාලනයේ සියලු අත්සන් ඔහුගේ ය. මැතිවරණයට අදාළ සියල්ල දැන් කළ හැකිය. කෙසේ වෙතත් රනිල් මෙහිදී ද ඇල්ලුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති කරුණකි. ව්‍යවස්ථාවේ 155 (උ)(1)(අ) වගන්තියට අනුව මේ තනතුර හිතූමනාපයට පුරවන්නට පොලිස් කොමිසමට බැරි ය. පොලිස්පතිවරයා විමසා, ඔහුගේ නිර්දේශ ඒ සඳහා ලබාගත යුතුය.
කොමිසම කළේ මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් විමසීම ය. නීතිපතිවරයා පැහැදිලිව කොමිසමට කියා තිබුණේ අවුලක් නෑ, පත්කළ හැකියි යනුවෙනි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකට මේ තනතුර ලැබුණේ එවැනි වැඩකින් පසුව ය.
ඊළඟ වැඩේ ආවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙනි. ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ, ඇමැතිවරුන්ගේ, මන්ත්‍රීවරුන්ගේ, ආණ්ඩුකාරවරුන්ගේ, අගවිනිසුරු ඇතුළු ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ, තානාපතිවරුන්ගේ ආදී වශයෙන් මේ සියල්ලන්ගේ වත්කම්-බැරකම් ප්‍රකාශ ඔවුන් තම වෙබ්අඩවියේ ප්‍රසිද්ධ කළේය. ඒ පසුගිය 27දා සිට ය. එම වෙබ්අඩවියේ ලියාපදංචි වන ඕනෑම අයෙකුට මේ විස්තර බැලිය හැකි බවට වන ප්‍රචාරක ව්‍යාපෘතියක් ජාතික ජන බලවේගය පැත්තෙන් ආරම්භ කිරීමට නියමිත ය.
පරණ අය රනිල්ට ළංවෙති
කවුරු කොහොම කිව්වත් ජනාධිපතිවරණ උණුසුම තීව්‍ර වුණේ රනිල් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප තැන්පත් කිරීමත් සමග ය. මනූෂ නානායක්කාරගේ ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනේ හෝමාගම රැළියට රනිල් සහභාගි වූයේත් එදිනම ය. එහිදී පක්ෂයේ පැරැන්නෝ සැලකිය යුතු පිරිසක් රනිල් මුණගැසුණහ. ඔවුන් පොදුජන පෙරමුණ ගැන මෙන්ම පක්ෂය ගැන ද ප්‍රශ්න රැසක් රනිල්ගෙන් ඇසූ අතර, ඇතැම් ඒවාට රනිල් ළඟ පැහැදිලි පිළිතුරු තිබිණි.
පසුගිය සඳූදා දිනට ය, පොදුජන පෙරමුණේ අපේක්ෂක තීන්දුව කියන්නට දින දාගෙන තිබුණේ. එහෙත් දැන් එය 07දා ය. තත්ත්වය මෙසේ තිබියදී රනිල් මල් පාරේ පිහි ටිමැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුව හමු විය.
‘අනෙක් පැත්තෙන් වැඩේ ඔක්කොම ලැහැස්ති කරලා තියෙන්නෙ. පොහොට්ටුවෙ දේශපාලන මණ්ඩලයෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජනය විස්සක්වත් නෑ. වෙනම අපේක්ෂකයෙක් දාන්න තියෙන ඉඩ වැඩියි.’
ප්‍රසන්න ඇතුළු එහි සිටි පිරිස රනිල්ට කියද්දී, රනිල් කිව්වේ ‘එන ඕනෑම තීන්දුවක් අනුව ඉදිරියට යන්න අවශ්‍ය සැලසුම් සකස් කරන්න’ යනුවෙනි. කෙසේ හෝ 70කට අධික පිරිසක් මල් පාරේ කාර්යාලයට එදින රාත්‍රියේ රැස් වූහ. ඔවුන් අතරින් අති බහුතරය මන්ත්‍රීවරු-ඇමැතිවරු වූහ. ආසන සංවිධායකවරු කිහිපදෙනෙක් ද එහි සිටියහ. පොදුජන පෙරමුණ නියෝජනය කළ පිරිසේ යෝජනාව වූයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම කැඳවීමයි. රනිල් එය ඉටු කළේය. ඒ, වෙනත් සාකච්ඡා කිහිපයක් ද අවලංගු කරමිනි.
ජනපති ලේකම් මැතිවරණ කොමිසම සමග ගිවිසුම් ගහයි
ජනාධිපතිවරණ උණුසුම අස්සේ මැතිවරණ කොමිසමෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ලිපියක් යොමුකර තිබිණි. එහි දැක්වුණේ සංවර්ධන කටයුතු හා මහජන සහනාධාර නිකුත් කිරීමේ කටයුතු ජනාධිපතිවරණ කාලයේදී අත්හිටුවන ලෙසයි. සමන් ඒකනායක ඊට පිළිතුරු ලිව්වේ ආර්ථික අර්බුදයක වසර කිහිපයක් සිරවී සිටි ජනතාව ඉන් මුදාගැනීමට රජය කටයුතු කරමින් සිටින අවස්ථාවේ එය නැවැත්වීමෙන් ජනතාව යළිත් අපහසුතාවයට පත්වන බවකි.
මේ අතර තවත් ලිපියක් යොමුකරමින් මැතිවරණ කොමිසම දැනුම් දුන්නේ වැඩබලන පොලිස්පතිවරයෙකු නොමැති නිසා ආරක්ෂාව පිළිබඳව ගැටළු රැසක් මතුව ඇති බව ය. වහාම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හා මැතිවරණ කටයුතු බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මැතිවරණ කොමිසම වෙත යොමුකිරීමට සමන් ඒකනායක පියවර ගත්තේය. එසේ ම ජනාධිපති ලේකම්වරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට සහ එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දුන්නේ ආරක්ෂාවට අදාළ ව ඔවුන්ට අවශ්‍ය සියලු දේ තමන් වෙත ලිඛිතව දැනුම් දෙන ලෙසයි. ඒ වැඩ ටික පිලිවෙලකට සිදු වූයේ එසේ ය.
කබීර්ලා අමතක කළ සජිත්
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට මන්ත්‍රීවරු 92ක් සහභාගි වූහ. විදේශගතව සිටි පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පස්දෙනෙකු රනිල්ට දැනුම් දී තිබුණේ තමන්ට පැමිණිය නොහැක්කේ විදේශගත වීම නිසා පමණක් බවයි. එහි අදහස වූයේ තමන් රනිල් සමග සිටින බවයි.
මේ සාකච්ඡාවකදී පොදුජන පෙරමුණේ මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ කිව්වේ නාමල් සහ සජිත් මාධ්‍ය හිමිකරුවකුගේ නිවසකදී හමුවී දීර්ඝව සාකච්ඡා කර ඇති බවකි.
‘සජිත් මේ සාකච්ඡාවට ගිහින් තියෙනවා කියන්නෙ ජී.එල් එක්ක. එතැනදිත් මුල ඉඳන් හිටපු කබීර්ලා, හර්ෂලා, ඉරාන්ලා වගේ අය අමතක කරලලු.’
වජිර ද ඒ කතාව ඉදිරියට ගෙන ගොස් තිබිණි. එහෙත් මේ සියල්ල ‘ලු’ ය.
‘සජිත් ජනාධිපති - නාමල් විපක්ෂ නායක කියන එකඟතාව තමයි ඇවිල්ලා තියෙන්නෙ. මේ කාරණා නිසා ධම්මික පෙරේරා පොහොට්ටුවෙ අපේක්ෂකයා වෙන්න බෑ කියනවා කියලත් ආරංචියි.
මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොළවත්ත ද ඒ කතාබහට එසේ එකතු වී තිබිණි.
‘මේ කතාව ඇත්තද, නැත්තද කියලා නාමල් මන්ත්‍රීතුමා ම කියන්න ඕනෙ.’
මුදල් රාජ්‍ය ඇමැති, මේ දිනවල රනිල්ගේ සමීපතමයකු වන ශෙහාන් සේමසිංහ එසේ කියා තිබුණේ සියල්ලන්ගේ ‘ලු’ ගැන ය.
රනිල් මෙහිදී හැමදාම වගේ පරණ කතාවක් යළිත් මතු කළේය.
‘හැමෝම හොඳට වැඩ කරපු නිසා තමයි අපි මේ තැනට ආවෙ. එදා ජේ.ආර් එක්ක ගාමිණී, ලලිත් ප්‍රේමදාස වගේ අය හිටියා වගේ කාංචන, ශෙහාන්, රමේෂ් වගේ හොඳ තරුණ සෙට් එකක් මගෙත් එක්කත් ඉන්නවා.’
බැසිල් කියපු නිසා ලියපු ලියුම
පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලයට පසුගිය සඳුදා ලිපියක් ඉදිරිපත් කරමින් එහි මහ ලේකම් සාගර කාරියවසම් මෙසේ කීය.
‘රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පක්ෂයේ සහාය ඉල්ලලා ලියුමක් එවලා තියෙනවා. ඒ ලියුම එවලා තියෙන්නෙ නාම යෝජනාවලට ඇප මුදල් තැන්පත් කළාටත් පස්සෙ.’
‘නෑ,නෑ, මමයි එතුමට ඒ ලියුම එවන්න කිව්වෙ. කොහොමත් එතුමා මුල ඉඳලම අපි එක්ක කතා කරමිනුයි හිටියෙ.’
ඒ බැසිල් ය.
‘මම විශ්වාස කරනවා දිනනව නම් මේ වේලාවෙ අපි රනිල් ජනාධිපතිතුමාට උදව් කරන්න ඕනෙ රට වෙනුවෙන්. මොකද එතුමා තමයි අපේ පාක්ෂිකයො රැක්කෙ.’
එස්.බී. දිසානායක රැස්වීමේදී නැගීසිටිමින් එසේ පැවසීය.
‘මොන පිස්සුවක්ද මේ... මන්ත්‍රීතුමා මෙතැන කඩේ යන්න ලෑස්ති වෙන්න එපා.’
මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු උස් හඬින් එස්.බී.ට කීය.
‘ඇයි මෙතැන එතුමට එතුමගෙ අදහස කියන්න බැරිද? ඔබතුමන්ලට පුළුවන් නම් අපිටත් අපේ අදහස් කියන්න පුළුවන්.’
ඒ ප්‍රසන්න රණතුංග සහ මහින්දානන්ද ය.
‘මාව අනුශාසක කරන්න’
මේ අතර පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන්ට තිබූ ප්‍රශ්නයක් රනිල් පසුගිය සතියේ මල් පාරේ පැවැති තවත් රැස්වීමකදී විසඳා දුන්නේය. ඒ, රනිල්ට සහාය දුන්නත්, එක්සති ජාතික පක්ෂයට නොයන ප්‍රශ්නයයි.
‘ප්‍රශ්නයක් නෑ. මම ඉල්ලන්නෙ ස්වාධීනවනෙ. මට අනුශාසක විදිහට ඉන්න පුළුවන්.’
එහිදී ප්‍රසන්න රණතුංග කිව්වේ රනිල් නායකයා විය යුතු බවයි. රනිල් කිව්වේ ‘අපි අගමැතිතුමාව මූලික කරගෙන යමු’ යනුවෙනි.
කෙසේ වෙතත් මේ රැස්වීම් අතර රනිල් වැදගත් කතාවක් කීවේය. ඒ, ජයග්‍රහණයෙන් පසුව තමන්ගේ සහායට එන අයගෙන් තමන්ට වැඩක් නැති බවයි. ඒ කතාවත් හරි ය. මේ කොයි දේත් කරන්නේ බලය ගන්නට ය. බලය වෙනුවෙන් මේ මාස එකහමාරේදී ඕනෑම දෙයක් සිදු විය හැකිය.
No comments:
Post a Comment