නාමල් වෙලාව කියද්දී මෛත්‍රී නියෝග දෙයි !
හිටපු පොලිස්පතිගේ අලුත් මෙහෙයුම
සේවා දිගු තුනකින් පසු විශ්‍රාම ගත් හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මේ දිනවල තරමක් කාර්යබහුල ය. ඒ, ඔහුට දේශපාලන වැඩ ඇති නිසා ය. ජාතික ජන බලවේගය පැත්තෙන් විශ්‍රාමලත් හමුදා නිලධාරීන්ගේ එකමුතුවක් හැදුවේය. ඉන්පසු විශ්‍රාමලත් පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ එකතුවක් හැදුවේය. සමගි ජන බලවේගය පැත්තෙන් ද විශ්‍රාමලත් ආරක්ෂක අංශ නිලධාරීන්ගේ සාමූහිකයක් හදාගෙන යයි. මැතිවරණයක් ආසන්න වන විට මේ පිරිසේ වටිනාකම කොහොමත් ඉහළ යයි. ඊට හේතුව මේ පිරිසේ ඇති බලයයි.
යුද, ගුවන් සහ නාවික යන ත්‍රිවිධ හමුදාවල සාමාජික සංඛ්‍යාව 346,700කි. 2022 වසර වන විට එය ලෝකයේ 14 වැනි විශාලතම හමුදාවයි. එම ප්‍රමාණය ලංකාවේ සමස්ත ජනගහනයෙන් සියයට 1.46කි. පොලිසියත් එහෙම ය. රට පුරා පොලිස් ස්ථාන 432ක පොලිස් නිලධාරීන් 84,000ක් සේවය කරති. මේ පිරිස වටේ තිබෙන ඡන්ද සංඛ්‍යාව මෙන්ම ඔවුන්ට සමාජයේ මතය වෙනස් කිරීමට කළ හැකි බලපෑම වැඩි ය. ඒ නිසා හැමෝටම මේ පිරිස අවශ්‍ය ය.
සෑම පැත්තකින්ම ආරක්ෂක අංශ එකමුතු හදන නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සමීපතමයකු වන ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ද පියවරක් ඉදිරියට තැබුවේය. කොහොමත් නාමල් රාජපක්ෂ ද මේ දිනවල වැඩියෙන් ගනුදෙනු කරන්නේ සාගල රත්නායක සමග බව ආරංචි ය. කොළඹ, මල් පාරේ පිහිටි සාගලගේ නිවස ජනාධිපති කාර්යාලය වගේ යනුවෙන් කියන උපමාවක් ද නිලධාරීන් අතර හැදී ඇත්තේ ඒ නිසා ය. මේ වගේ තවත් කාර්යබහුල නිවසකි, රවී කරුණානායකගේ නිවස. එතැනත් ඊළඟ ජනාධිපතිවරණයට අදාළ මෙහෙයුම් සිදුකරන තැනක් බවට පත්වී ඇත. කොහොම වුණත් රනිල් වික්‍රමසිංහගේ ඥාතියා වන රුවන් විජේවර්ධන තරමක් පස්සට ගොස් ඇති බවක් ද පෙනෙන්නට තිබේ.
රුවන්ට ඇත්තටම මොකද වුණේ?
පසුගිය කාලයේ රජයේ නිලධාරීන්ගේ සාකච්ඡාවල මුල් පුටු හෙබවූයේ රුවන් ය. ඉන්පසු රුවන් දේශගුණික විපර්යාස ගැන බලන්නටත්, ඒ පිළිබඳ පවත්වන ලෝක මට්ටමේ සමුළුවලට සහභාගි වන්නටත් යොමුකෙරිණි. මතුපිට ට රුවන් නෑ වගේ පෙනුණාට, ලෝකයේ මේ වන විට වැඩිම අවධානයක් සහිත, වැඩිම මුදලක් එහෙ-මෙහෙ වන, නායක මට්ටමේ පිරිස් එකතු වන ක්ෂේත්‍රය වන දේශගුණික විපර්යාස ක්ෂේත්‍රයට ය, රනිල් රුවන් ව යොමුකර ඇත්තේ. එනම් පෙනෙනවාට වඩා වැඩ යටින් සිදු වේ.
මේ ක්ෂේත්‍රයේ සිදු වන ලංකාවට අලුත් - ලෝකයට පරණ සංකල්පයකි, පරිසරය හිලව් කොට ණය ගැනීම. එයින් සිදුකරන්නේ පරිසර සම්පත් සහිත රටවලට එම සම්පත් සුරක්ෂිත කිරීම වෙනුවෙන් මුදල් ලබාදීමයි. මෙවැනි ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් මුලින්ම සාකච්ඡා කෙරුණේ ඨකදඉ්ක ඨරුැබ ඨරදඅඑය ෂබිඑසඑමඑැ - ඨඨඨෂ හෙවත් ලෝක හරිත වර්ධන ආයතනය සමගයි. මේ ආයතනයේ සභාපතිවරයා වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බෑන් කී මූන් වන අතර, උප සභාපතිවරයා වන්නේ පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ය. අනිල් ජාසිංහට මේ සියලු කටයුතු වෙනුවෙන් උපදෙස් ලබාදීම සිදුකෙරුණේ රුවන් විජේවර්ධන විසින් ය.
ඊළඟ පියවර ලෙස පරිසරය සහ සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික ආයතනය (ෂබිඑසඑමඑැ දෙර ෑබඩසරදබපැබඑ ්බා ෘැඩැකදචපැබඑ - ෂෂෑෘ) මගින් ද එවැනි ව්‍යාපෘතියක් පිළිබඳ සාකච්ඡා ආරම්භ කර තිබේ. එහි ද මූලිකත්වය දරන්නේ රුවන් ය. කොටින්ම රුපියල් බිලියන 25,000කට අධික රටේ ණය ගෙවීමට ඇති හොඳම පාරක් යනුවෙන් විශ්වාස කරන පාරේ යවන වාහනයේ සුක්කානම රනිල් විසින් රුවන්ට ලබාදී තිබේ.
සාගලගේ උත්සාහය ලත් තැන ලොප්
රුවන්ගේ කතාවට ආවේ සාගලගේ කතාවත් එක්ක ය. සාගලගේ කතාවට ආවේ හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ දේශපාලන කතාවත් එක්ක ය. චන්දන වික්‍රමරත්න පසුගිය සතියේ විශේෂ පුද්ගලයන් තිදෙනෙකුගේ නිවාසවලට ගියේය. ඔවුන් තිදෙනාම පසුගිය කාලයේ ආන්දෝලනයට තුඩු දුන් මාතෘකා සම්බන්ධයෙන් නිමිති වූ විශ්‍රාමලත් පොලිස් නිලධාරීන් තිදෙනෙකි. මේ තිදෙනා සමග ම චන්දන වික්‍රමරත්න කතා කළේ සාගල මුණගැසීමට යෑම සම්බන්ධයෙනි. නිලධාරීන් දෙදෙනෙක් ඒ ගමන ගැන තවත් හිතන්නට අවශ්‍ය බව පැවසූහ. අනෙක් නිලධාරියා යෑමට එකඟ විය.
ඒ අනුව අතිශය කාර්යබහුල සාගලගෙන් වේලාව වෙන්කර ගැනීමක් හෝ නොමැතිව චන්දන වික්‍රමරත්න පෙර කී විශ්‍රාමලත් නිලධාරියා සමග කෙලින්ම සාගල හමුවීමට ගියේය. දීර්ඝ වේලාවක් පැවති සාකච්ඡාවේදී සාගල කියා තිබුණේ රනිල් වික්‍රමසිංහට සහයෝගය දෙන විශ්‍රාමලත් පොලිස් නිලධාරීන්ගේ එකමුතුවක් සෑදිය යුතු බවයි. ඒ සඳහා චන්දන වික්‍රමරත්න නායකත්වය ගන්නා බව ද මෙහිදී පැවසිණි. කෙසේ වෙතත් අදාළ නිලධාරියා ඊට උත්තරයක් දී නැත. ඒ වෙනුවට ඔහු කාලය ඉල්ලා තිබේ. මේ හමුවෙන් පසු චන්දන වික්‍රමරත්න තවත් විශ්‍රාමලත් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට ම සාගල හමුවීමට වේලාව වෙන්කර දී ඇතැයි ද වාර්තා වේ.
රනිල්ගේ සැලසුම පැරදවූ සජිත් මෙහෙයුම
සාගල රත්නායක ගැන කී නිසා මේ කතාවත් කිව යුතුය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවුරුදු සතිය ගතකළේ නුවරඑළියේ ය. අවුරුද්දට සිය බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ සමග නුවරඑළියේ සිටින පුරුද්ද ආණ්ඩුවේ සිටියත්, විපක්ෂයේ සිටියත් රනිල් කරන දෙයකි. මෙවර රනිල්ගේ නුවරඑළියේ සංචාරය ජනාධිපති ආරක්ෂක අංශය මගින් සංවිධානය කළේ මාස දෙකකටත් පෙර ය. ඒ අනුව සහභාගි වන උත්සව මොනවාද යන්න සම්බන්ධයෙන් ද තීරණය කෙරිණි.
එවැනි සැලසුමකට අනුව සිදුනොවූ හදිසි සංචාරයක් සිදුවූයේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන්ගේ ආරාධනයකට අනුව ය. නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන කේ.කේ. පියදාස ද සහභාගි වූ මෙය පෞද්ගලික හමුවක් විය. ආරංචි විදිහට පියදාසගේ මැදිහත්වීමෙන් මේ හමුවට පලනි දිගම්බරන්ව ද ගෙන්වීමට සැලසුම් කර ඇතත්, එය සාර්ථක වී නැත. කොහොමත් ඇමැති ධුරය දරන්නේ ආරුමුගම් තොණ්ඩමන්ගේ පුතා වන ජීවන් තොණ්ඩමන් වුවද, ප්‍රදේශයේ දේශපාලන කටයුතුවලදී සහ දේශපාලන සැලසුම්වලදී ඉදිරියෙන් සිටින්නේ ආරුමුගම් තොණ්ඩමන්ගේ සහෝදරයා වන සෙන්දිල් ය. ජීවන්ගේ වැඩ සියල්ල සිදුවන්නේ ද සෙන්දිල්ට අවශ්‍ය පරිදි ය.
දිගම්බරන් සාකච්ඡාවට ගෙන්වාගෙන රනිල් වික්‍රමසිංහ මුණගැස්වීමත්, තොණ්ඩමන් ආරෝව තරමකට හෝ සමනය කිරීමත් අරමුණ වුවද, සැලසුම අසාර්ථක කර ඇත්තේ සජිත් ප්‍රේමදාසගේ පැත්තෙන් බව ආරංචි ය. දිගම්බරන් කොහොමත් මේ වන විට සිටින්නේ සජිත්ගේ පැත්තේ ය. ඒ කියන්නේ සමගි ජන බලවේගයට සහයෝගය දෙමින් ය. සමගි ජන බලවේගය සමග ඉදිරි ප්‍රධාන මැතිවරණයකදී කටයුතු කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් වන ගිවිසුමකට ද දිගම්බරන් අත්සන් කර තිබේ. මේ වෙලාවේ රනිල් සමග දිගම්බරන් සිටින ඡායාරූපයක් මාධ්‍යයට ගියහොත් එය පාඩුවක් බව සමගි ජන බලවේගය දනී.
එක්කෙනෙක් නැතුවට තව කෙනෙක්
නුවරඑළියේ අවුරුදු නිවාඩුවේදී දිගම්බරන් නැති වුණත්, විමල් වීරවංශගේ පක්ෂයේ නිමල් පියතිස්ස හිටපු මන්ත්‍රීවරයා නම් රනිල්ගේ වාහනයට නැග්ගේය. නුවරඑළිය, මීපිලිමාන ක්‍රීඩාංගනයේ පැවැති අවුරුදු උත්සවයට රනිල් ගියේ 14දා පෙරවරුවේ ය. එහිදී ය, මාධ්‍යවලින් ප්‍රචාරය කෙරුණු ලස්සන වෙන්න නම් එක්සත් ජාතික පක්ෂෙට එන්න යන ප්‍රචාරක වැඩේ සිදුවූයේ.
අවුරුදු උත්සවයේ ත්‍යාග කිහිපයක් ලබාදීමට වේදිකාවට නැග්ග ජනාධිපතිවරයා හදිසියේ ම නිමල් පියතිස්ස මන්ත්‍රිවරයා දුටු බවත්, ඔහුට ද වේදිකාවට පැමිණෙන ලෙස ආරාධනා කළ බවත් ප්‍රචාරය වුවද, කතාව වෙන’කකි. නිමල් පියතිස්ස මන්ත්‍රීවරයා මෙහි පැමිණෙන බවත්, ඉන්පසු සිදුවන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙනුත් පූර්ව සැලසුම් සකස් කර තිබිණි. ඒ පිටපතට අනුව වේදිකාවට නැග්ග මන්ත්‍රීවරයාට ජනාධිපතිවරයා වගකීමක් ද බාරදුන්නේය. ඒ ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේ නමක විසින් කරන ලද පාසල් ක්‍රීඩාංගනයක් ඉදිකිරීමේ කාර්යය සම්බන්ධීකරණය කිරීමේ වගකීම සියලු ජනතාව ඉදිරියේ මන්ත්‍රීවරයාට පැවරීමයි. හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා ද එහි සිටියදී ය, ජනාධිපතිවරයා මෙසේ මන්ත්‍රීවරයා ඉහළට ඔසවා තැබුවේ.
‘ඔයා මේ ඔක්කොම සම්බන්ධීකරණය කරන්න. මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් කොළඹදි මාව දැනුවත් කරන්න. මං ඒ ඔක්කොටම විසඳූම් දෙන්නම්.’
ඉන්පසු නිමල් පියතිස්ස මන්ත්‍රීවරයා ද එම ස්ථානයෙන් ඉවත් වුණේ ජනාධිපතිවරයාගේ වාහනයෙන්ම ය.
ඉරාන ජනාධිපති ගැන ඇමෙරිකාවෙන් ප්‍රශ්න කරයි
මේ අතර බ්‍රහස්පතින්දා දිනයේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ මැති-ඇමැතිවරුන් අතර අවුරුද්දෙන් පසු විශේෂ හමුවක් සංවිධානය කර තිබිණි. එය පැවැත්වුණේ සූම් ඔස්සේ ය. ඇමැතිවරුන් ද බොහොමයක් මේ සඳහා සම්බන්ධ වුණේ විදෙස් රටවල සිට ය. සාකච්ඡාවට වේලාව වෙන්කර ගැනීම සෑහෙන ගැටළුවක් වූයේ එක්-එක් පිරිස සිටින රටවල වේලාව අතර පැවැති ගැටළු නිසා ය. කෙසේ හෝ අවසානයට ජනාධිපතිවරයා තීරණය කර තිබුණේ මෙය සුහද සාකච්ඡාවක් පමණක් බවට පත්කිරීමට ය.
මෙහිදී විශේෂයෙන් අවධානය යොමු වූ කරුණක් වූයේ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ ශ්‍රී ලංකා සංචාරයයි. එක් දින නිල සංචාරයක් සඳහා ඉරාන ජනාධිපතිවරයා ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ 24දා ය. ඇමෙරිකානු ඩොලර් මිලියන 529ක ඉරාන මූල්‍ය ආධාර සහ ණය යොදාගෙන ඉදි කළ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ එක් කොටසක් වන මෙගාවොට් 120ක ජල විදුලි බලාගාරය විවෘත කිරීමට ය, ඒ. ඉරාන - ඊශ්‍රායල ගැටුම් ඇවිළෙමින් තිබෙන මොහොතක මෙය ලංකාවට බලපාන්නේ කෙසේද යන්න ඇමැතිවරුන්ට ප්‍රශ්නයක් වී තිබිණි.
ඊට තවත් හේතුවක් වූයේ මේ සංචාරය සම්බන්ධයෙන් ලංකාවේ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විදේශ කටයුතු අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් හමුවී සාකච්ඡාවක් පැවැත්වීම ය. ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරයට පෙර ඔහුගේ ආරක්ෂක වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කිරීමට ඉරාන ආරක්ෂක අංශයේ විශේෂ නියෝජිත කණ්ඩායමක් මෙරටට පැමිණීම ඒ තානාපති සාකච්ඡාවට තවත් හේතුවක් වී තිබිණි. මේ සාකච්ඡාවේදී තානාපති නිලධාරීන් පවසා ඇතැයි වාර්තා වන්නේ ගැටළුවක් ඇති අවස්ථාවක මෙවැනි සංචාරයක් පිළිබඳ ඇමෙරිකානු රජයේ ස්ථාවරය නිල වශයෙන් දැනුම් දීම සිය වගකීම බවයි. මේ වන විට ඇමෙරිකාව යළිත් ඉරානයට ආර්ථික සම්බාධක ද පනවා තිබේ.
මෙහිදී ජනාධිපතිවරයා පැවසුවේ ලංකාවට ඇත්තේ අපක්ෂපාතී විදේශ ප්‍රතිපත්තියක් බවයි.
‘අපි ගාසා තීරයේ ළමයින්ට ආධාර දෙන ගමන් ඊශ්‍රායලය එක්කත් සම්බන්ධකම් පවත්වනවා. ඒක නිසා මේක ප්‍රශ්නයක් නෙමෙයි.’
ජනාධිපතිවරයා එසේ කියනවාත් සමග ම ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා ද කිව්වේ ‘ඉන්දියාව, චීනය, ඇමෙරිකාව මේ කිසිම රටක් මේ සංචාරයට විරුද්ධයි කියලා නෑ, ඒගොල්ලො අවධානය යොමුකරන එකේ ගැටළුවක් නෑනෙ කොහොමත්’ යනුවෙනි.
පාලිතගේ මරණයෙන් ජනතාව ඉගැන්වූ පාඩම
හිටපු රාජ්‍ය ඇමැතිවරයෙකු මෙන්ම නියෝජ්‍ය ඇමැතිවරයෙකු ද වූ පාලිත තෙවරප්පෙරුමගේ මරණය පිළිබඳව ආරංචි වූ වහාම ජනාධිපතිවරයා අනෙක් පාලිතට කතා කළේය. ඒ, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර ය. වහාම රෝහලේ වැඩ කටයුතු සහ අවමංගල්‍යයට අදාළ කටයුතු සියල්ල සම්බන්ධීකරණය කිරීම එජාපය පැත්තෙන් සිදුවිය යුතු බව රනිල් කිව්වේය. මේ ඇමතුමෙන් පසු කළුතර දිස්ත්‍රික් හිටපු එජාප මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න වහාම රෝහලට ගිය අතර, තෙවරප්පෙරුමගේ පවුලේ සාමාජිකයන්ට අවමංගල්‍යයට අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය කිරීම ද සිදුකෙරිණි. මෙහිදී කැපී පෙනුණේ සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙකේ ම නියෝජිතයන් එක්ව මෙහිදී කටයුතු කිරීමයි.
තෙවරප්පෙරුමගේ අවසාන කටයුතු සඳහා සහභාගි වූ ජනතාවගේ ප්‍රතිචාර නිසා දෙපැත්තම මෙහිදී දේශපාලනය කිරීම නතර කළ බවක් පෙනෙන්නට තිබිණි. එසේ කරන්නට ගියේ නම් ජනතාවගෙන් බැනුම් ඇසීමට මෙන්ම නම කැත කරගැනීමට සිදු වන බව දෙපැත්තේ ම අදහස විය. ඒ, තෙවරප්පෙරුම ජීවත් වූ ආකාරය සහ අනෙකුත් දේශපාලනඥයන් ජීවත් වන ආකාරය අතර ඇති වෙනස නිසා ය.
පාස්කු ප්‍රහාරයේ ආසයි - බයයි කතාව
සමගි ජන බලවේගය මෙන්ම ජාතික ජන බලවේගය ද මේ දිනවල කටයුතු කළේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙනි. ජාතික ජන බලවේගය මේ සම්බන්ධයෙන් තමන්ගේ ආණ්ඩුවක් යටතේ කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් වන පොරොන්දුවක් ප්‍රසිද්ධ කළේය. එය කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වෙත පිළිගැන්වීම ද සිදුකෙරිණි. මීට කාදිනල් හිමියන්ගේ පැත්තෙන් උන් වහන්සේ සමග තවත් පියතුමන්ලා දෙදෙනෙකු ඇතුළු පිරිසක් සහභාගි වූහ. ජාතික ජන බලවේගය පැත්තෙන් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම, නීති සුනිල් වටගල ඇතුළු පිරිසක් සහභාගි වූහ.
එහිදී කාදිනල් හිමියන් දිගටම පැවසුවේ පාස්කු විමර්ශනවලට අදාළ ව තමන් දිගටම රැවටුණු බවයි. ඒ තත්ත්වය කඩිනමින් වෙනස් කිරීමේ වැදගත්කම ද කාදිනල් හිමියන් අවධාරණය කළේය. ජාතික ජන බලවේගය දැනට මැදිහත් වන ආකාරයට මේ විමර්ශන සම්බන්ධයෙන් ද ය ම්විශ්වාසයක් තබාගත හැකි යැයි මෙහිදී කාදිනල් හිමියන් නොකියා කිව්වේය. එහෙත් කෙලින් ඒ බව නොකිව්වේය. මෙහිදී අනෙකුත් පක්ෂ මේ විමර්ශනවලදී කරන-කියන දේ විවේචනය නොකළ ජාතික ජන බලවේග නියෝජිතයෝ, තමන් කරන්නේ කුමක්ද යන්න පමණක් පැහැදිලි කළහ. එහිදී පැමිණි සිටි නීතිඥවරුන්ගෙන් ඇතැම් නීතිමය කරුණු පැහැදිලි කරගැනීමට ද කාදිනල් හිමියන් සමග එහි සිටි පියතුමෙක් කටයුතු කළේය.
ප්‍රශ්නවලට උත්තර නෑ - සැසියට මන්ත්‍රීවරු නෑ?
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදට (21) වසර පහකි. සහරාන්ලාට ඉහළින් සිටි අබු හින්ද් කවුද යන්න මෙන්ම දෙහිවල නවාතැනේදී ජමීල් බෝම්බය පුපුරුවා ගන්නා මොහොත වනවිටත් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් ඔහුගේ නිවසට ගොස් සිටියේ කෙසේද වැනි වැදගත් ප්‍රශ්න කිසිවකට මෙතෙක් නිශ්චිත පිළිතුරක් ලැබී නැත. මේ පිළිබඳ විශේෂ පාර්ලිමේන්තු විවාදය 24 සිට 26 දක්වා පැවැත්වීමට නියමිත ය. එම විවාදය සම්පූර්ණයෙන් ම තමන් අතට ගත යුතු බවට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
මේ දිනවල සජබ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් ප්‍රහාරයේ විමර්ශනවලට අදාළ වාර්තා අධ්‍යයනය කරමින් සිටින්නේත්, ඉන්පසු 23ට යෙදෙන පොහොය දිනයේදී, එනම් විවාදයට පෙර දිනයේ එම අධ්‍යයන සියල්ල පිළිබඳ සකස් කළ වාර්තාවක් ලබාදීමටත්, ඒ පිළිබඳ දිනක පුහුණු සැසියක් පැවැත්වීමටත් කටයුතු සූදානම් කර ඇත්තේ ඒ නිසා ය. එසේ ම මේ සැසියට සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගි විය යුතු බවට ද දැනුම් දී තිබේ. එහෙත් ඊට සහභාගි වීමට තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් නැත. විදේශගත වූ මේ පිරිස ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ 24 සහ 25 යන දින දෙකේදී ය.
‘හරි සර්, මං ඒක බලන්නම්’
මැතිවරණ කොමිසමට දේශපාලන පක්ෂයක අභ්‍යන්තර අර්බුද සඳහා මැදිහත් වීමේ ඉඩක් කොමිසම පිහිටුවීමට අදාළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කුඩා කොටසකින් හෝ ලබාදී ඇද්දැයි පසුගිය 18දා පුළුල් නිරීක්ෂණයක් සිදුකෙරිණි. ඒ, මැතිවරණ කොමිෂන් සභාව විසින් ය. එහිදී කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කරන ලද්දේ එසේ පක්ෂයක අභ්‍යන්තර අර්බුද සඳහා තමන්ට මැදිහත් විය නොහැකි බවයි.
මේ පුළුල් නිරීක්ෂණයට හේතු වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබේන අර්බුදය මැතිවරණ කොමිසම තෙක් පැමිණීමයි. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්වූ ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල රැස්වීමේදී වැඩ බලන සභාපති ධුරයට නිමල් සිරිපාල ද සිල්වා පත්කිරීම ඇතුළු එහිදී ගත් තීරණ නීතිවිරෝධී බවට කොමිසමට පැමිණිලි ඉදිරිපත් වී තිබිණි. ශ්‍රීලනිප වැඩ බලන මහ ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, ශ්‍රීලනිප උප ලේකම් සජින් ද වාස් ගුණවර්ධන, ශ්‍රී ලංකා නිදහස් වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ සභාපති චමිල ලියනගේ මේ සම්බන්ධයෙන් කරුණු දක්වා තිබිණි. මෙහිදී පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බවයි, ඔවුන් කොමිසමට පෙන්වා දී ඇත්තේ. ඊට පිළිතුරු වශයෙන් ය, කොමිසම තමන්ට බලයක් නැති බව කියා ඇත්තේ.
මේ ශ්‍රීලනිප අර්බුදය ගැන වැදගත්ම කතාව සිදුවූයේ දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 108 වැනි ඡන්ම දිනය වෙනුවෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සව අවස්ථාවෙන් පසුව ය. මෙහිදී ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් රෝයි ද මැල් පැවසුවේ පක්ෂ මූලස්ථානය වසාතැබීම නිසා දැඩි දුෂ්කරතා ඇති වී තිබෙන බවයි. මේ නිසා එහි සේවය කරන කාර්යමණ්ඩලයට වැටුප් ගෙවීමත් ගැටළුවක් බව ද ඔහු එහිදී රැස්ව සිටි පිරිසට පෙන්වා දුන්නේය. රැස්ව සිටි පිරිස කියන්නේ මේ අර්බුදයට අදාළ සියලු කණ්ඩායම් එහි සිටියේය. මෙහිදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දුමින්ද දිසානායකට මෙසේ පැවසීය.
‘මොකක්ද මේ කරන්නෙ පක්ෂ මූලස්ථානය වහගෙන. මේ කට්ටියට වැඩ කරන්න පක්ෂ මූලස්ථානය විවෘත කරලා දෙන්න.’
ඊට දුමින්ද මෙසේ ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීය.
‘හරි සර්. මං ඒක බලන්නම්.’
මේ සුහද කතාබහ අතර අනාවරණය වූ තවත් කරුණක් වූයේ මෙවර ශ්‍රීලනිප මැයි දින රැළියේ සංවිධායක වගකීම් රැසක් දහම් සිරිසේනට පවරා ඇති බවයි.
ආණ්ඩුව වට්ටන වෙලාව තවම ඇවිත් නෑ
අම්පාරට ගිය නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට පොදුජන පෙරමුණෙන් දෝෂාරෝපණයක් එල්ල විය. සිදුවීම වූයේ අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වීරසිංහගේ නිවසක් විවෘත කිරීමේ අවස්ථාවේදී ය. තමන්ගේ ගිනිබත් කළ නිවස වෙනුවට නව නිවසක් තැනීමට වීරසිංහ මන්ත්‍රීවරයා කටයුතු කර තිබූ අතර, අම්පාරේ ම පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමැති විමලවීර දිසානායක මෙහිදී කිව්වේ තමන්ගේ නිවසට සිදු වූ අලාබහානිවලට තක්සේරු කර තිබුණේ රුපියල් ලක්ෂ දෙක හමාරක මුදලක් බවයි. ඒ මුදල ගත්තේවත් නැති බවත්, පක්ෂයේ නායකයන්ට කිව්වාට සිදු වූ දෙයක් නැති බවත් ඔහු වැඩිදුරටත් කිව්වේය.
මෙහිදී පක්ෂයේ පහළ සාමාජිකයන් රැසක් නාමල්ට කිව්වේ ණය ප්‍රතිව්‍යූහගතකරණය ගැන, යහපාලන ආණ්ඩුව පැවැති කාලයේ ගත් ණය ගැන මීට වඩා ආණ්ඩුවට එරෙහිව ජනතාව දැනුවත් කළ යුතු බවයි.
‘එතකොට ජනාධිපති සිරිසේන, අගමැති රනිල්. ඇයි ඔබතුමාලට මේවා කටක් ඇරලා කියන්න බැරි?’
නාමල් ටික වේලාවක් ගෙන ඊට මෙසේ පිළිතුරු දුන්නේය.
‘නෑ. ඒකට වෙලාව මේක නෙමෙයි. දැන් අපි රට හදාගෙන යනවනෙ. අපි හදපු ආණ්ඩුව වට්ටන්න මේක වෙලාව නෙමෙයි. ඒකට වෙලාවක් එයි.’
No comments:
Post a Comment