ගෝඨාභයගේ මේජර් ජෙනරාල් අලුත් කතාවක් කියද්දී ටිරාන් අලස් ඇත්තම කියූ හැටි !
වීසා ප්‍රශ්නය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් කියපු එක කතාවක් හරියටම හරි ය. එහි දී සිදූවූයේ මාධ්‍ය කතාවක් ඉහළට එසවීම නිසා ඇත්ත කතාවක් යටගිය එක ය. වීසා ප්‍රශ්නයට අදාළ ව කතාබහට ලක්වන සමාගම සහ ඉන්දියාව අතර සම්බන්ධයක් නැති බව ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. ඒ කතාවත් හරි ය.
මෙහි ඇත්තේ සමස්ත කතාව නොදැන, වෙන්-වෙන් වශයෙන් කතා එළියට ගැනීම නිසා සිදු වූ ප්‍රශ්නයකි. වීසා ප්‍රශ්නයට අදාළ සමාගම් තුනකි. ඒ අතරින් එළියට වැඩිපුර ආවේ වීඑෆ්එස් ග්ලෝබල් පමණි. වීඑෆ්එස් ග්ලෝබල් ආරම්භ කළේ ඉන්දියාවේ ය. එහි සිටියේ ඉන්දීය අධ්‍යක්ෂ මණ්ඩලයකි. එහෙත් දැන් සමාගම ඇත්තේ ඩුබායිහි ය. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ගැලවීම හැදෙන්නේ එතැනින් ය. ටිරාන් අලස් ඇමැතිවරයා කිව්වේත් ඔය කියන සමාගමට ඉන්දියාවේ සම්බන්ධයක් නැති බවයි.
ඉන්දියාවේ සම්බන්ධය ඇත්තේ වෙන තැනකින් ය. වීසා ලබාදීමට මැදිහත් වන සමාගම් තුනකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාදී තිබිණි. එයින් ඉන්දියාවේ සම්බන්ධය ඇත්තේ අයිවීඑස් - ජීබීඑස් සමාගමට ය. එහි හිමිකරු වන්නේ කවිරාජ් බන්ධාරි ය. කවිරාජ් යනු ඉන්දියාවේ හිටපු විදේශ ලේකම් රොමේෂ් බන්ධාරිගේ පුත්‍රයා ය. ඔහු ඉන්දීය දේශපාලනයේ ද තීරණාත්මක තැනක සිටින අයෙකි. රොමේෂ් බන්ධාරි ද ඉන්දියාවේ විදේශ ලේකම් ධුරයට පත්වීමට පෙර සිට ම ලංකාවේ කටයුතු සම්බන්ධයෙන් තීරණාත්මක මැදිහත්වීම් සිදු කළ අයෙකි. ඒ අතරින් එකක් වන්නේ එල්ටීටීඊ සංවිධානය සහ ආණ්ඩුව අතර පැවැති සාම සාකච්ඡාවලට කළ යටි තලයේ මැදිහත්වීම් ය. ඒවා යටි තලයේ මැදිහත්වීම් වුවද, ඉන්දීය මාධ්‍ය දිගින්-දිගටම වාර්තා කළ ඒවා ය.
ජනතාවට ඇත්ත කියන වගකීම ඉටුකිරීමේදී මාධ්‍යයට එක් කෙළවරකින් අල්ලාගන්නට අයිතියක් නැත්තේ මේ නිසා ය. එක් කෙළවරකින් අල්ලාගත් විට සිදුවන්නේ ඇත්ත කතාවෙන් කොටසක් ගැලවී යෑම ය. කෙසේ වෙතත් වීසා ප්‍රශ්නය දැවැන්ත මුදලක් විදේශ රටවලට යෑමට ඉඩ නොදී, ඊට මෙහා තැනකින් බේරාගත හැකි නම් වැදගත් ය.
නෙළුම් මාවතේ ජන ප්‍රසාදය ගැන දේශනයක්
මෙය ඉදිරි මැතිවරණයකදී ද තීරණාත්මක මාතෘකාවක් වීමට නියමිත ය. පසුගිය සතියේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයට එම පක්ෂයේ ආසන සංවිධායකවරුන්, ජ්‍යෙෂ්ඨයන් විශාල සංඛ්‍යාවක් පැමිණ සිටියහ. ඒ, බැසිල් රාජපක්ෂගේ කැඳවීමකට අනුව ය. මේ රැස්වීමේ මූලිකත්වය ගත්තේ පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත්, බැසිල් රාජපක්ෂත් ය. බැසිල් රාජපක්ෂ මීට පෙර පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා විය. අලුත් ජාතික සංවිධායකවරයාත් රැස්වීමේ සිටියේය. ඒ, නාමල් රාජපක්ෂ ය. එහෙත් ඔහු රැස්වීමේ තීරණාත්මක භූමිකාවක සිටියේ නැත.
මෙහිදී බැසිල් රාජපක්ෂ පැමිණ සිටි සංවිධායකවරුන්ට පැහැදිලිව කිව්වේ ජාතික ජන බලවේගයට ගමේ ඇති පදනම වහාම වෙනස් කළ යුතු බවයි. සංවිධායකවරුන් මෙහිදී බැසිල්ගේ ඇසුවේ සමීක්ෂණවලින් පෙන්වන කතා ඇත්තද යනුවෙනි. බොහෝ සමීක්ෂණ වාර්තා මගින් පෙන්වා දෙන්නේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජන ප්‍රසාදය අතින් ඉදිරියෙන් ම සිටින බවයි. මෙහිදී බැසිල් උපක්‍රමශීලී පිළිතුරක් දුන්නේය.
‘ජන ප්‍රසාදය ඒගොල්ලොන්ට තියෙන්න පුළුවන්, ඒත් තවමත් සියයට තිහකට වඩා පාවෙන ඡන්ද තියෙනවා කියන එක පැහැදිලියි. ජන ප්‍රසාදයයි, ඡන්ද ගන්නවා කියන එකයි දෙකක්.’
බැසිල්ගේ උත්තරයෙන් නොකියා කිව්වේ ඡන්දය ඉලක්ක කොට වැඩ කළ යුතු බවයි. ඒ වෙනුවෙන් හාල් බෙදිල්ලේ සිට ඕනෑම දෙයක් ඔට්ටු බවයි. මෙහිදී සංවිධායකවරුන් විමසුවේ ජනාධිපතිවරණය ෂුවර් ද යනුවෙනි. එහිදී බැසිල් කිව්වේ බොහෝ විට කියා ය.
මහින්ද රාජපක්ෂ මෙහිදී පැහැදිලිව කිව්වේ පොදුජන පෙරමුණට තීරණාත්මක ලෙස මේ මැතිවරණයට මැදිහත් විය හැකි බවයි. කෙසේ වෙතත් රැස්වීම අවසානයේදී පෙනෙන්නට තිබුණේ රැස්වීම කැඳවීමේ අරමුණ සාර්ථක බවකි. ඒ, සංවිධායකවරුන්ගේ හිත්වල පැවැති ගැටලු තරමක් එහිදී විසඳීම ය.
බැසිල් - රනිල් මෙච්චර රහස් ගොඩක්
බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර තීරණාත්මක හය වැනි සාකච්ඡාවත් පසුගිය සතිය අවසානයේදී පැවැත්විණි. මෙහිදී ද බැසිල් විසින් රනිල්ට යෝජනා කර තිබුණේ මේ මොහොතේ පාර්ලිමේන්තු මැතිවරණයක ඇති වැදගත්කමයි. පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා, ජාතික ආණ්ඩුවක් මගින් රට ගොඩනැගීමේ වැඩපිළිවෙලක් ජනතාව හමුවේ තැබීම ඔහුගේ සැලසුමයි.
කෙසේ වෙතත් මේ සාකච්ඡාවලදී රනිල් පැහැදිලි කළ එක් කාරණයක් වූයේ මැතිවරණ නීතියට අනුව කිසිදු හේතුවක් නිසා ජනාධිපතිවරණය කල් දැමීමේ ඉඩක් නැති බවයි. එසේ වුවහොත් ජාත්‍යන්තර වශයෙන් විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් සිදුකිරීමට ජාතික ජන බලවේගය ඇතුළු විපක්ෂයේ පක්ෂවලට ඉඩක් විවෘත වන බව රනිල්ගේ අදහසයි. ඊට තවත් හේතුවක් ලෙස රනිල් පෙන්වා දෙන්නේ රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරීන් සමග ජාතික ජන බලවේගය ගොඩනගාගෙන ඇති සමීප සම්බන්ධතා ය.
මැතිවරණ කොමිසමේ මාසික ලිපිය
මැතිවරණ කොමිසම පසුගිය සතියේ ජනාධිපතිවරණ දිනය පිළිබඳ සිය නිල නිවේදනය නිකුත් කළේය. එහි සඳහන් වූයේ සැප්තැම්බර් 17ත්, ඔක්තෝබර් 16ත් අතර ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බවයි. ඒ කියන්නේ තව ඇත්තේ මාස 04කි.
මේ කාලය පුරා ම මාස්පතා, අඛණ්ඩව මැතිවරණ කොමිසම අමතක නොකොට සිදු කළ කාර්යයක් විය. ඒ භාණ්ඩාගාර ලේකම්වරයාට ලිපි යැවීමයි. ඒ ලිපිවල සඳහන් වූයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් නිදහස් කරන ලෙස කරන ලද ඉල්ලීමකි. වැදගත් ම කරුණ වන්නේ ඒ එක් ලිපියකට හෝ භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් මැතිවරණ කොමිසමට පිළිතුරු නොලැබීමයි. මේ ගැන ද ඉදිරියේදී නිල නිවේදනයක් නිකුත් කිරීමට මැතිවරණ කොමිසම සූදානම් වේ. ඒ කියන්නේ ඡන්ද කල්දැමීමේ චෝදනාව රනිල් වික්‍රමසිංහ පිටුපස දිගටම ඇදී එයි.
මැතිවරණ කොමිසම මේ කටයුතු කරන්නේ තමන්ට පැවරී ඇති නිල බලයෙන් ය. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් කියන්නේ මැතිවරණ කොමිසම පොදුජන පෙරමුණේ වැඩක් කරන බවයි. ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වන්නේ පළාත් පාලන මැතිවරණයේ කතාව ඉහළට ඔසවා, කෙසේ හෝ ජනාධිපතිවරණය හැර අනෙක් ඕනෑම මැතිවරණයක් පවත්වා ගැනීම පොදුජන පෙරමුණේ අපේක්ෂාව වීමයි. බැසිල් රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහගේ සාකච්ඡා පොදු දේශපාලනය සමග එකින්-එකට ගැටගැහෙන්නේ ඔය විදිහට ය.
‘මට මේවා හරියන්නෑ මල්ලි’
තත්ත්වය එසේ වුවද, පොදුජන පෙරමුණේ තීරණාත්මක ගැටලු රැසක් ඇතුළ ගිනියම් කරමින් තිබේ. එය ඉස්මතු වූ අවස්ථාවකි, මැයි දින රැළිය. ප්‍රසන්න රණතුංග මැයි දින රැළියට සෙනග ගෙනාවාට, ප්‍රසන්නගේ ගම්පහ සෙනගින් ඉන්දික අනුරුද්ධ ගොඩගිය බව එහිදී කතා වූ දෙයකි. එය සිදු වූයේ මෙසේ ය. පැමිණි ගම්පහ ජනතාව එකතු කළ අනුරුද්ධ, ප්‍රසන්න එන්නට පෙර ගම්පහ කොඩිය යටතේ ක්‍රීඩාංගනයේ හඬක් නැගුවේය. ප්‍රසන්නට මේ වැඩේ ඇල්ලුවේ නැත. ඔහු පැමිණි වහාම රැස්වීමෙන් පිටවීමට සූදානම් විය.
එහෙත් එහි සිටි රෝහිත අබේගුණවර්ධන ප්‍රසන්න වැළැක්වීය. ඊට විශේෂ හේතුවක් වූයේ ප්‍රසන්නට කතාවක් ද තිබීමයි.
‘නෑ මල්ලි, මට මේවා හරියන්නෙ නෑ.’
ප්‍රසන්න කිව්වේ එපමණකි. කෙසේ වෙතත් රෝහිත මෙහිදී උපක්‍රමශීලී විය. ඔහු මහින්ද රාජපක්ෂ අසලට ගොස් කිසිවක් පැවසීය. මහින්ද ප්‍රසන්නට කතා කළේය. එතැනින් ප්‍රශ්නය විසඳීණි. එපමණක් නොව මහින්ද, ප්‍රසන්නට තමන්ගේ ළඟම පුටුව පෙන්වීය. ප්‍රසන්නට තිබුණේ ඒ පුටුව නොවේ. එහෙත් සංවිධායකයන්ට කරන්නට දෙයක් තිබුණේ නැත. රැළියේ සංවිධාන කටයුතු සියල්ල සිදුවූයේ නාමල් රාජපක්ෂගේ උපදෙස් මත ය. ඉන්දික අනුරුද්ධ යනු ද නාමල්ගේ බලකායේ අයෙකි. ප්‍රසන්න දිගටම රනිල් අගය කිරීමත්, නාමල් දිගටම අපේ අය වෙන අයටනෙ උදව් කරන්නෙ යනුවෙන් පැවසීමත් මේ අර්බුදය පෙර සිට ම හෙළිදරව් කළ අවස්ථා ය.
සජිත් පුරුද්ද වෙනස් කරයි
සමගි ජන බලවේගයේ බොහෝ රැස්වීම් සූම් ඔස්සේ පැවැත්වීම කාලයක සිට පැවතෙන්නකි. කොවිඩ් වසංගත තත්ත්වය පැවැති කාලයේ ආරම්භ වූ මේ පුරුද්ද, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දිගටම පවත්වාගෙන ආවේය. ඇත්තටම එය අගය කළ යුතු පුරුද්දකි. අතැම් කුඩා සාකච්ඡා සඳහා පවා බොහෝ පක්ෂවලින් මුළු රටේ ම පිරිස එකතු කරයි.
සජිත් පසුගිය සතියේ එවැනි සාකච්ඡාවක් කැඳවා තිබුණේ කළුතර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග සංවිධායකයන් සහ ක්‍රියාකාරිකයන් පිරිසක් සමග ය. සජිත් සූම් සාකච්ඡාවට සම්බන්ධ වන විට රැස්වීමට සම්බන්ධ විය යුතු සියල්ලෝ පැමිණ සිටියහ. එහෙත් එක්වරම කිහිපදෙනෙකුගෙන් ම සජිත්ට ප්‍රශ්නයක් ආවේය. ඒ, සූම් සාකච්ඡාවට නම සඳහන් නොකරමින් දුරකතන අංකයකින් පමණක් සම්බන්ධ වූ අයෙක් එහි සිටීමයි. ඔහු මයික්‍රපෝනය සහ කැමරාව ද ක්‍රියා විරහිත කරගෙන සිටියේය. එම නිසා ඔහු කවුදැයි විමසීමට හෝ ඉඩක් නොවීය.
ප්‍රශ්නය තවත් අවුල් වූයේ මේ ගැන විමසන විට ඒ දුරකතන අංකයෙන් සිටි පුද්ගලයා සාකච්ඡාවෙන් ඉවත්වීමයි. සාකච්ඡාවේ රහසිගතභාවය සහ විශ්වාසය පිළිබඳ ගැටලුවකට සියල්ලෝ මැදි වූහ. එහෙත් ඔහු නැවත නමින් සම්බන්ධ වූ අතර, ගැටලුව විසඳීණි. මේ වන විටත් සජිත්ගේ ඉවසීම කෙළවරට පැමිණ තිබිණි. සජිත් සියල්ලන්ට මේ පිළිබඳව බැණවැදුණු අතර, මින් පසු අත්‍යවශ්‍ය හදිසි රැස්වීම් හැර අනෙක් සියල්ල සූම් ඔස්සේ නොපැවැත්වීමේ තීරණයක් ද ගැනිණි.
දයාසිරි - වලේබොඩ ආණ්ඩුවට ?
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දයාසිරි ජයසේකර සහ ගාමිණී වලේබොඩ යන මන්ත්‍රීවරුන් ආරක්ෂක මණ්ඩල රැස්වීමට කැඳවා ගැනීමත්, මන්ත්‍රීවරුන් දෙදෙනාට වැඩි ඉඩක් ලබාදෙමින් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්නට නියෝග කිරීමත් ආණ්ඩුව ඇතුළේ වෙනස් කතාවක් නිර්මාණය වීමට ද හේතු විය. ආණ්ඩුවේ පහළ පෙළේ කණ්ඩායම් අතරට මේ කතාව ගියේ දයාසිරිලා ආණ්ඩුවට ආවා වගේ අදහසකින් ය.
රුසියානු හමුදාවට එක්වූ ශ්‍රී ලාංකිකයන් ගැන කතාබහ දැන් තිබෙන්නේ වෙනස් තැනක ය. යුද හමුදාවේ හිටපු මේජර් ජෙනරාල්වරයෙක් ඇතුළු ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු මේ වැඩේට හවුල් වී ඇති බව දැන් තහවුරු වෙමින් තිබේ. මේ ගැන පසුගිය සතිය මැද පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගැනීමට නියමිතව තිබිණි. රනිල් ආරක්ෂක මණ්ඩල රැස්වීමට ගියේ දයාසිරි ජයසේකර සහ ගාමිණී වලේබොඩ සමග ය. මන්ත්‍රීවරුන් දෙදෙනා මේ ප්‍රශ්නය ගැන සාධක සහිතව පාර්ලිමේන්තුවේදී කතාකිරීම නිසා රනිල් ඔවුන්ට කිව්වේ ආරක්ෂක මණ්ඩලයට සහභාගි වූ ආරක්ෂක ප්‍රධානීන්ට මේ ගැන පැහැදිලි කරන ලෙසයි. ඒ අනුව මන්ත්‍රීවරුන් දෙදෙනා රුසියානු හමුදාවට එක්වූ ශ්‍රී ලාංකික තරුණයකු ද දුරකතනයෙන් සම්බන්ධ කරගනිමින් මේ ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කළහ.
අමතක නොවන මෛත්‍රී
ආරක්ෂක මණ්ඩලයේ මේ කතාව නිසා නැවතත් මතක් වන්නේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ ජනාධිපති කොමිෂන් සභාවේදී අනාවරණය වූ කරුණකි. ඒ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ කාලයේදී ආරක්ෂක මණ්ඩල රැස්වීමට විවිධ දේශපාලනඥයන් හිතුමතේ සම්බන්ධ වූ බවයි. නිල වශයෙන් ආරක්ෂක මණ්ඩල රැස්වීමේ සාමාජිකයන් වන්නේ ජනාධිපති, අගමැති, ආරක්ෂක ඇමැති, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, පොලිස්පති, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, බුද්ධි අංශ ප්‍රධානීන් ය.
අවස්ථානුකූල ව අත්‍යවශ්‍ය හේතු මත පහළ නිලධාරීන් සම්බන්ධ කරගැනීම ද සිදුවේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතැම් අවස්ථාවලදී මේ රැස්වීමට සම්බන්ධ වන්නේ ඒ අනුව ය. එහෙත් මෛත්‍රිපාල සිරිසේන කර තිබුණේ කිසිදු හේතුවක් නොමැතිව දේශපාලනඥයන් සම්බන්ධ කරගැනීමයි. කෙසේ වෙතත් දයාසිරිලා සම්බන්ධ වූ රැස්වීමෙන් පසු දිනිත් චින්තක කරුණාරත්න ඔවුන් සම්බන්ධ කරගෙන මේ ගැන වෙනම මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කළ අතර, ඒ ගැන රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් සමග සාකච්ඡාවක් ද පැවැත්වීය.
අන්තිම වෙනකම් මුජිබර් සැකයෙන්
බි්‍රතාන්‍ය පුරවැසියකු බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණය කළ ඩයනා ගමගේ වෙනුවට පාර්ලිමේන්තුවේ දිව්රුම් දුන්නේ සමගි ජන බලවේගයේ මුජිබර් රහුමාන් ය. මුජිබර් රහුමාන් එතැන්ට එන බවට මාධ්‍ය මගින් දිගටම ප්‍රකාශ වුවද, සමගි ජන බලවේගයට මේ ගැන අවසන් මොහොත වන තුරු නිශ්චිත යමක් පැවසීමට හැකියාවක් තිබුණේ නැත. ඊට හේතු වූයේ මුජිබර් රහුමාන් පළාත් පාලන මැතිවරණයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුර අපේක්ෂකයා වීම ය. පළාත් පාලන මැතිවරණය අවලංගු කර නොමැති නිසා, ඔහුට යළිත් පාර්ලිමේන්තු පැමිණිය හැකිද යන්න සම්බන්ධයෙන් නීතිමය ගැටලුවක් මතුවී තිබිණි. එහෙත් නීතිපතිවරයාගේ උපදෙස් විමසීමෙන් පසු, ගැටලුව නිරාකරණය විය. මුජිබර් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස යළිත් දිවුරුම් දුන්නේය.
අපි ඔක්කොම එකයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කළේ පසුගිය බ්‍රහස්පතින්දා ය. මේ ප්‍රකාශයෙන් පසු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ලොබියට ගිය ජනාධිපතිවරයා, රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ළඟින්ම වාඩි වී සුහද කතාබහක නිරත විය. අතාවුල්ලා මන්ත්‍රීවරයා, හාරිස් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසකට ද තමන් අසලට එන ලෙස පැවසූ ජනාධිපතිවරයා, මේ ඔක්කොම ඉතින් පක්ෂ නායකයොනෙ යැයි කීවේය. ‘පක්ෂ නායකයො අපි ඔක්කොම එකතු වෙලා මේ රට හදමු’ යැයි ජනාධිපතිවරයා පැවසීය.
කොහොමත් මේ පක්ෂ නායකයන් සියල්ලන් ඉදිරියේදී ජනාධිපතිවරයා සමග වැඩ කිරීමට සැලසුම් කරමින් සිටින පිරිස් ය. ඒ සැලසුම් සමග ම විජේදාස රාජපක්ෂ ඇමැතිවරයාගේ ඇමැති ධුර වෙනස කල්දැමීමට ද ජනාධිපතිවරයා තීරණය කර ඇත. ඊට හේතු වී ඇත්තේ විජේදාස මාරුකිරීමටත් වඩා, රාජිත ඇතුළු පිරිසක් පැමිණි විට දෙන්නට ඇමැති ධුර නොමැති වීම ය. රාජිතට පමණක් ඇමැති ධුරයක් දී අනෙක් අයට නොසලකා සිටියහොත්, එය ගැටලුවක ආරම්භයක් වේ. එම නිසා යන විදිහට තව ටික දවසක් යන්නට ඉඩදීම රනිල්ගේ තීරණය වී ඇත.
ගෝඨාභයගේ විශ්වාසවන්තයා කියන්නේ කුමක්ද?
මේජර් ජෙනරාල් කුමා හේරත් යනු යුද හමුදාවේ සිටි විශේෂ නිලධාරියෙකි. යුද්ධයේ අවසාන කාලයේදී ඔහු ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ ප්‍රධානියා විය. සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය වන විට ඔහු සිටියේ එම තනතුරේ ය. ඔහු එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයකු ලෙස ද ප්‍රකටව සිටියේය. පසුගිව ලසන්ත ඝාතනය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් දෙමින් ඔහු පවසා තිබුණේ ලසන්ත ඝාතනය වී ඇති බව සියල්ලට පෙර වාර්තා වූයේ ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයට බවත්, ඔහු ඝාතනය වී ඇතැයි සියල්ලන්ට පෙර එක් හමුදා නිලධාරියකු පැවසූ බවත් ය. ඔහු පැවසූ ආකාරයට එම නිලධාරියා ඔහුට දුරකතනයෙන් මේ බව කියා තිබිණි. ඒ වෙලාවත්, ලසන්තට වෙඩි තැබූ වෙලාවත් එකම වෙලාව ය. ඒ වන විට ලසන්ත මියගොස් ද නැත. මේ කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණයට වාර්තා කර තිබේ.
පසුව විශ්‍රාම යෑමෙන් පසු නිහඬව සිටි කුමා හේරත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට ඉදිරිපත් වීමෙන් පසු ඔහුට සහාය දැක්වූ ඉදිරි පෙළ හමුදා නිලධාරියෙක් විය. ගෝඨාභය ජනාධිපති වූ පසු ඔහු ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ඉහළ තනතුරක් ද දැරුවේය. ඔහු ගැන මෙවැනි පැහැදිලි කිරීමක් හදිසියේ කළේ ඔහු මෙවර මැයි දින රැළිවල ජන සහභාගිත්වය ගැන සකස් කරන ලද දීර්ඝ වාර්තාවක් නිසා ය. එම වාර්තාව දේශපාලන පක්ෂ ඇතුළු සියලු තැන්වල කතාබහට ලක්විය. තමන්ට ලැබුණු බුද්ධි වාර්තා මත පදනම්ව මේ වාර්තාව සකස් කළ බව ඔහු කියා තිබිණි.
එම වාර්තාව උපරිම කෙටි කළ විට මෙසේ ය. එක්සත් ජාතික පක්ෂ රැළියට සහභාගි වූ පිරිස 12,000කි. පොදුජන පෙරමුණේ රැළියේ 21,000කි. සමගි ජන බලවේගයේ 24,000කි. ජාතික ජන බලවේගයේ කොළඹ පමණක් 30,000කි.
No comments:
Post a Comment