Friday, December 20, 2024

අලුත් ම තරගය ඇරඹෙයි 

‘පෝලිම් නැති කළේ කවුද?’


ලංකාවේ වැඩියෙන්ම කතාබහට ලක්වූ පුංචි ඡන්දය හෙවත් පළාත් පාලන මැතිවරණය පැවැත්වූ එකක් නොවේ. එය පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය වසරේ මාර්තු 09දා ය. 22දා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබාදුන්නේ ඒ වැඩේ සම්පූර්ණයෙන් ම නීතිවිරෝධී බවටයි. මැතිවරණ කොමිසමටත් ඒ වෙලාවේ ඡන්දයක් තියන්න වුවමනාවක් නොතිබුණු බවක් ද එහි දැක්වේ. 

මේ තීන්දුව ගැන අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබුණේ තමන්ට ඡන්දය තියන්නට නොහැකි වීම ගැන කිසිම කනගාටුවක් නැති කතාවකි. වගකීම කියන්නේ එකකි. වගවීම කියන්නේ එකකි. තමන්ට පැවරුණු රාජකාරියක් ඉටුකිරීම වගකීම ය. තමන් වගකීමට අදාළ ව කළ කාර්යයන් පිළිබඳ පෙනීසිටීමට හැකි වීම වගවීම ය. ඒ අතින් බලන විට කළ කාර්යය පිළිබඳ කොතරම් විවේචන ඇතත්, රනිල් වික්‍රමසිංහ තමන් කළ වැඩේ වෙනුවෙන් දිගටම පෙනී සිටී.

බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ 158 පිටුවේ මෙසේ සඳහන් වේ. 

‘ඉහතින් සඳහන් අවසර නොලත් රැස්වීම්වලදී රනිල් වික්‍රමසිංහ මහතා (ඔහු එවකට කර්මාන්ත හා විද්‍යා කටයුතු ඇමැතිවරයා විය.) කඩාකප්පල්කාරී ක්‍රියා මර්දන කටයුතු සම්බන්ධයෙන් පොලිසියේ ක්‍රියාකලාපයට අදාළ ව උපදෙස් දී ඇත. වික්‍රමසිංහ මහතාට එබඳූ නියමයක් කිරීමට නෛතික බලයක් නොමැති වූ බවත්, ඒ සම්බන්ධයෙන් ඔහු තම බලය අයථා ලෙස පාවිච්චි කර ඇති බවත් කොමිෂන් සභාවේ අදහසයි. එසේ උපදෙස් දීමෙන් වික්‍රමසිංහ මහතා නියම වශයෙන්ම පොලිසිය සතු රාජකාරිවලට හා නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාමාර්ගයට මැදිහත් වී ඇත්තේය.’


තිස්ස කියන කතා සහ තිස්සට කියවෙන කතා


එම වාර්තාවේ මෙවැනි කරුණු රැසක් තිබේ. එම නිසා දේශපාලනයේදී සියලු අවස්ථාවලදී තමන් කරන වැඩේට වගකියන්නට හැකි වීම අතිශය වැදගත් ය. දේශපාලනයේදී විතරක් නොවේ. ගෙදරදීත් එහෙම ය. පසුගිය දිනෙක සමගි ජන බලවේගයේ මහ ලේකම් තිස්ස අත්තනායකට සිදුවූ දේ ගැනත් මෙතැනදී කිව යුතුය. 

‘මේ රටේ හැමෝම එකා වගේ පෙරට ඇවිත් තියෙනවා සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරන්න. ඒක නිසා 21 වැනිදට හැමෝම උදෙන්ම ඡන්දපොළට ගිහින් අලියා ජයග්‍රහණය කරන්න කතිරය ගහන්න කියලා මම ඉල්ලා සිටිනවා.’

තිස්ස අත්තනායකට දුරකතනය අමතක වී, අලියා යනුවෙන් කියවුණේය. මේ ප්‍රසිද්ධ රැස්වීමකදී සිදු වූ දෙයකි. තිස්සට ගෙදර මතක් වී තිබේ. සිරිකොතේ අලියා ලකුණට උඩින් ගෑස් සිලින්ඩරයක් එල්ලීම සම්බන්ධයෙන් ඇතැම් එක්සත් ජාතික පාක්ෂිකයන් ප්‍රසිද්ධියේ විරෝධය දැක්වීමට පටන්ගෙන ඇත. ඒ කියන්නේ බොහෝ විට ජනතාව බලා ඇත්තේ ආණ්ඩුව ගෙන කරන්නේ මොනවාද, ඔවුන්ගේ ප්‍රතිපත්ති මොනවාද යන්න ගැන නොව, පුරුදු ලකුණ දෙස හෝ පක්ෂයේ නම දෙස ය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ය. එය දීර්ඝ කාලීන මැතිවරණයකි. ඇමෙරිකාවේ ජනගහනය මේ වන විට ආසන්න වශයෙන් මිලියන 345කට වැඩි ය. මේ මැතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් වන්නේ කමලා හැරිස් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් ය. ඊට අමතරව ස්වාධීන අපේක්ෂකයන් සිව්දෙනෙක් මැතිවරණයට ඉදිරිපත් වී සිටිති. කෝර්නල් වෙස්ට්, ජිල් ස්ටෙයින්, රොබර්ට් එෆ්. කෙනඩි සහ චේස් ඔලිවර් ඒ සිව්දෙනා ය. ලංකාවේ ජනගහනය මිලියන 22කි. මැතිවරණ කොමිෂන් සභාවේ සංඛ්‍යා ලේඛනවලට අනුව ඡන්දදායකයන් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයකි. ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් සංඛ්‍යාව 39කි. ඒ අතරින් එක් අපේක්ෂකයකු වූ ඉද්රෑස් මොහොමඩ් ඉල්ලියාස් පසුගිය 22දා මියගියේය. ඒ නිසා දැන් අපේක්ෂකයන් 38කි.

කියන්නට හැදුවේ වෙනත් කරුණකි. ලෝකයේ පිළිගත් සංකල්පයක් වන්නේ ඍසචචකැ ෑffැජඑ යන්නයි. එහි සිංහල අදහස වන්නේ රැලි බලපෑමයි. අපේක්ෂකයන් මැතිවරණයට ඉදිරිපත් වීමේ සිට ඡන්දදායකයන් මේ මොහොතේ කටයුතු කරන ආකාරය දක්වා ම මේ ආකාරයට රැලි බලපෑම සිදුවන ආකාරය නිරීක්ෂණය කළ හැකිය. එහෙත් අලියා වසා ගෑස් සිලින්ඩරය එල්ලූ විට කෝප වන පිරිස් ද සිටී.


‘19න් උත්තර දෙන්න’


ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පසුගිය බදාදා උලමාවරුන් හමු විය. ඉස්ලාම් ආගමේ විද්වත් කණ්ඩායම් නියෝජනය කරන - තීරණාත්මක අවස්ථාවලදී තීරණාත්මක මැදිහත්වීම් කර ඇති කණ්ඩායමකි, උලමාවරුන්. මාලිගාවත්තේ පිහිටි ඔවුන්ගේ කාර්යාලයේදී මේ හමුව සිදු විය.

මේ හමුවට පෙර මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් පාර්ලිමේන්තුවේදී අනුර කුමාරට කර තිබූ චෝදනාවක් සම්බන්ධයෙන් ඇති වූ සංවාදයක් ගැන කතාවක් ගියේය. හකීම් පවසා තිබුණේ අන්තවාදී කතාවකි. එය මාධ්‍යවල නැවත ලියන්නට අවශ්‍ය නොවන, ජාතිවාදය කුළුගන්වන කතාවකි. අනුර කුමාරට දුරකතනයෙන් ඇමතුමක් ලබාදෙමින් ඉස්ලාම් ආගම නියෝජනය කරන ලංකාවේ ප්‍රධාන පෙළේ විද්වතෙකු මේ පිළිබඳ වැදගත් අදහසක් පවසා තිබිණි. ඒ, උලමාවරුන් හමුවී එළියට පැමිණ මාධ්‍යවේදීන්ට කතා කරන අවස්ථාවේදී කුරානයේ 19 වැනි පරිච්ඡේදය කියවාගන්නා ලෙස රාවුෆ් හකීම්ට පවසන ලෙසයි. වෙනත් පිළිතුරු දීම් අවශ්‍ය නොවන බවත්, එය හොඳට ම ප්‍රමාණවත් බවත් ඔහු කියා තිබිණි.


ඡන්දයට මොනවා වෙන්න බැරිද?


බේරුවල, දර්ගා නගරයේදී පැවැති අනුර කුමාර දිසානායකගේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමේදී ද ඔහු මේ ගැන කතා කළේය. දර්ගා නගරයේ අන්තවාදී ගැටුමක් ඇති වූයේ 2014 ජූනි මාසයේදී ය. ජූනි 11දා යම් සිදුවීමක් වූ අතර, 15දා එය උච්ඡ විය. 15දා සිදුවීමට පෙර යුද හමුදා බුද්ධි අංශයේ එවකට ප්‍රධානී සුරේෂ් සලෙයි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ පොලිස් විශේෂ කාර්ය බලකා ප්‍රධානීන්, ඉස්ලාම් ආගමික නායකයන් සහ නීතිඥවරුන් අතර සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී ප්‍රදේශයේ ආරක්ෂාව තරකරන්නේ කෙසේද යන්න පිළිබඳ අවධානය යොමුවී තිබිණි. මෙහිදී නීතිඥ හිජාස් හිස්බුල්ලා පවසා තිබුණේ මේ ගැටුම් පිටුපස දේශපාලන කණ්ඩායම් සිටින බවයි. එය සුරේෂ් සලෙයි ප්‍රතික්ෂේප කර තිබිණි. ගැටුමෙන් පසු අත්අඩංගුවට පත්වූ එකොළොස් දෙනෙකුගේ කණ්ඩායමක් හදිසියේ ම නිදහස් කර තිබිණි. මේ කරුණු අප සඳහන් කරන්නේ මේවා අධිකරණය ඉදිරියේ විධිමත්ව දිගහැරී ඇති නිසා ය.

අනුර පවසා තිබුණේ යළිත් එවැනි ගැටුම් ඇවිලවීමේ උත්සාහයක් පවතින බවකි. සඳූදා දිනයේ පැවැත්වෙන් ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී ද මෙවැනි තත්ත්වයක් තිබේදැයි සාකච්ඡා කර තිබිණි. එම සාකච්ඡාවෙන් පසු ජනාධිපතිවරයා ආරක්ෂක ප්‍රධානීන්ට පැහැදිලි උපදෙසක් ලබාදී තිබුණේ කිසිදු ආකාරයක ජාතිවාදී ගැටුමක් ඇතිවන්නට ඉඩනොදෙන ලෙසයි. මෙවැනි තත්ත්වයකට එරෙහිව දිගටම පෙනී සිටි තවත් අයෙකි, රාජිත සේනාරත්න. පුද්ගලයන්ගේ නරක දහසක් අතරේ වුවද, එක් හොඳ අගය කළ යුතු යැයි කියමනක් තිබේ.


රනිල්ගේ රැස්වීමේ බෝපගේගේ ප්‍රචාරක කටයුතු


ජනාධිපතිවරයා මේ දිනවල සිටින්නේ අලු‍ත්-අලු‍ත් දේශපාලන ගැට එක පිට එක ගසමින් ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති වැඩ කෙසේ වෙතත් ඔහු දැන් අපේක්ෂකයෙකි. පළාත් පාලන ඡන්දය නොපැවැත්වීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් පිරිසක් රනිල්ට බල කර තිබුණේ ධුරයෙන් ඉවත් වන ලෙසයි. මේ ගැන කතාවකදී රනිල් පවසා තිබුණේ නව ජනාධිපතිවරයා කවුරුන් වුවද, ඔහු ධුරයේ වගකීම් බාරගන්නා තුරු තමන්ගේ වැඩ කොටස කළ යුතුව ඇති බවයි. කෙසේ වෙතත් ජනාධිපති කාර්යාලයේ සම්පත් සහ පුද්ගලයන් යොදාගනිමින් සිදුකරන මැතිවරණ ප්‍රචාරක කටයුතු පිළිබඳ බරපතළ චෝදනා රැසක් ද එල්ල වෙමින් තිබේ. මැතිවරණ වියදම් නියාමන පනතට අනුව රාජ්‍ය ආයතන, සම්පත් මැතිවරණ කටයුතු සඳහා යොදාගැනීම වරදකි. මැතිවරණය අවසන් වී දින 21ක් තුළ ඒවාට සාධාරණ හේතු ඉදිරිපත් කළ යුතුය. 

ජනාධිපතිවරයාගේ පළමු දේශපාලන රැළිය පැවැත්වූයේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී ය. ඒ පසුගිය සෙනසුරාදා ය. අනුරාධපුරයේ ආගමික ස්ථාන වෙත ගිය ඔහු, ඉන්පසු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන මහ නාහිමියන් හමුවී තිබිණි. රැස්වීමට සල්ගාදු පිටියට ජනාධිපතිවරයා පැමිණෙන විට ජනතාව සිටියේ වැස්සේ තෙමෙමින් ය. වැස්ස ගැන මේ දිනවල ජනප්‍රියතම වැකිය වන්නේ සෑම මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදී ම ජන අරගල සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක නීතිඥ නුවන් බෝපෙගේගේ මැතිවරණ ලකුණ ප්‍රවර්ධනය කරන බවයි. ඔහුගේ ලකුණ කුඩයයි. රනිල් මැතිවරණ රැස්වීමට එද්දී පිටිය පුරා තිබුණේ කුඩ ය.


අවසර ගැනීමේ පුරුද්දට ඉඩදීම


අනුරාධපුර රුස්වීමෙන් පසු කොළඹ පැමිණි රනිල් සිරිකොතේදී එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය හමුවී තිබිණි. එහි මූලික අවධානය යොමුවී තිබුණේ එජාප සම්මේලනය පැවැත්වීමටයි. පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොවන අවස්ථාවකදී පක්ෂය සහාය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් හා පක්ෂ සම්මේලනයෙන් අවසරයක් ලබාගත යුතුය.

2010 වසරේදී ෆීල්ඩ් මාර්ෂල්'සරත් ෆොන්සේකාට එක්සත් ජාතික පක්ෂය සහාය ලබාදෙන අවස්ථාවේදී මෙන්ම 2015 වසරේදී මෛත්‍රීපාල සිරිසේනට සහාය දෙන අවස්ථාවේදී ද මේ අවසරය ගත් බව කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී ලේඛන සහිතව සාකච්ඡා විය. ඒ අනුව අද (ඉරිදා) පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනයේදී එම අනුමැතිය ගනු ඇත. එහි සියලු සංවිධාන කටයුතු සිදුකරන්නේ පක්ෂ මහ ලේකම් පාලිත රංගෙබණ්ඩාර ය. පාලිත රංගෙ බණ්ඩාර මේ කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් හිත ඇතුළෙන් විරෝධය දක්වන පිරිසක් ද එජාපයේ සිටී. මේ ගැන රනිල් කියා තිබුණේ මේ ගැටුම්වලට අවස්ථාව නොවන බවයි.

රාජිත සේනාරත්න මෙන්ම තලතා අතුකෝරාල ද මේ කතාව මේ ආකාරයෙන් ම කියා තිබිණි. ඒ, ගැටුම් ඇති කරගතහොත්, පිල් බෙදුණහොත් වාසිය යන්නේ අනුර කුමාර දිසානායකට බවයි.  


මහින්දගෙයි රනිල්ගෙයි වෙනස


දළදා පෙරහැර නැරඹීමට ජනාධිපතිවරයා මහනුවර ගියේ එය නිල කටයුත්තක් ද වූ නිසා ය. පෙරහැර අවසන් කිරීමේ සංදේශය එහිදී ජනාධිපතිවරයා නිල වශයෙන් බාරගත්තේය. මේ දිනවල රනිල් කොහොමත් යන්නේ ම ජනතාව අතරට ය. මහනුවරදී ද එවැන්නක් සිදුවී තිබිණි. මෙය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ද සිදු කළ දෙයකි. එහෙත් දෙදෙනාගේ වෙනසක් ඇත. මහින්ද එය සිදු කරන්නේ සැලසුම් සහගතව, තම ආරක්ෂක නිලධාරීන්ට දැනුම්දීමෙන් පසුව ය. රනිල් එසේ නොවේ.

පෙරහැර නැරඹීමට ගිය රනිල් මහ පෙරහැර අවසන් වූ පසු ක්වීන්ස් හෝටලයේ ඉහළ මහලේ සිට පහළට බැස එද්දී ආරක්ෂක අංශ ඔහු සමග ආවේ නවාතැනට යෑමට ය. එහෙත් හදිසියේ ම ජනාධිපතිවරයා යා යුතු වූ මග වෙනස් කොට පාරෙන් අනෙක් පස සිටි ජනතාව අතරට ගොස් තිබිණි. ජනාධිපතිවරයා ජනතාව අතරට යන විට ඔහුගේ ආරක්ෂක ප්‍රධානියා වන ජමාල්ඩීන් වහාම ඒ අවට ආරක්ෂාවට අවශ්‍ය පියවර ගෙන තිබිණි. ජනපතිට ජනතාවගෙන් පිළිගැනීම් ලැබුණද, හදිසියේ දැමූ අලුත් ආරක්ෂක විධිවිධාන නිසා ජනතාව තරමක් පීඩාවට ද පත් වී තිබිණි. මෙහිදී ජනතාව කිව්වේ බඩු මිල අඩු කරන ලෙසයි. ඊට ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේ ඉදිරියේදී එම සහන ලැබෙන බවටයි. 

සෑම සඳූදා දිනයකම මැතිවරණ රාජකාරිවලින් ඉවත්වීමට රනිල් කටයුතු කර තිබුණේ ජනාධිපති නිල රාජකාරි වෙනුවෙන් ය. ඇමැති මණ්ඩල හමුව, ආරක්ෂක මණුඩල හමුව අනිවාර්යෙන්ම එනදිට කැඳවන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායකට දැනුම් දී තිබිණි. මේ දින සම්බන්ධීකරණය කරන්නේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ය.


උඩින් සජිත් - යටින් රනිල්


සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ගණනාවක් කාලයක් තිස්සේ උඩින් සිටියේ සජිත් සමග ය. යටින් සිටියේ රනිල් සමග ය. එම පිරිස සමග සමීපව කටයුතු කිරීමේ වගකීම රනිල් පවරා තිබුණේ එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනට හා කෘත්‍යාධිකාරි මණ්ඩල සභික දිනුක් කොළඹගේට ය. ඔවුන් ඒ ගනුදෙනුව පිළිවෙලකට කර තිබිණි. එහෙත් වැඩේ ලීක් විය. සමගි ජන බලවේගයෙන් ඒ යන්නට සිටින පිරිසට පහරදෙන්නට පටන් ගත්තේය. සමාජ මාධ්‍ය පිටු ඒ සඳහා යොදාගැනිණි. ආරංචියේ හැටියට එන්නට සිටි එක් මන්ත්‍රීවරයකු අදාළ සාකච්ඡා ගැන සජිත් කභ්ඩායමට කියා තිබිණි. එම නිසා සියල්ලන්ට ගැටලුවක් මතුවී ඇත. 

මේ මන්ත්‍රී පැනිල්ල අවුල් වෙමින් තිබෙන විට තලතා අතුකෝරාල එය බේරන්නට ඉදිරිපත් වී තිබිණි. වැඩේ බේරීමට පෙර තලතා රනිල්ට පවසා තිබුණේ මන්ත්‍රී ධුරය පිළිබඳ ගැටලුවක් ඇති බවයි. 

‘මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන්න. ඒක කරන එක වැදගත්.’

ඒ අනුව කහවත්තේ පිහිටි සිය නිවසේදී තලතා මසිය ඉල්ලා අස්වීමේ ලිපිය ලියා තිබිණි. මේ අවස්ථාවේ දුරකතන අක්‍රීය කර තිබූ නිසා, ඇයව සම්බන්ධ කරගැනීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රී පිරිසක් දැරූ උත්සාහය ව්‍යර්ථ වී තිබිණි. ඒ සජබය ඇය තියාගන්නට දැරූ අවසන් අවස්ථාව විය.


‘මතක තියාගන්න රිෂාඩ්’


තලතා පාර්ලිමේන්තුවේදී කාලයකට පසු දැනෙන කතාවක් කළේ කබීර් හෂීම් ළඟ තබාගෙන ය.  කතාව අවසන් වූ'වහාම ඇය සභාවෙන් පිටතට ගොස් තිබුණේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන මයන්ත දිසානායක සහ අජිත් මාන්නප්පෙරුම සමග ය.

ඇයට කොරිඩෝවේදී හමුවී තිබුණේ රිෂාඩ් බදියුදීන් ය.

‘ඔබතුමිය ඇයි මෙහෙම තීන්දුවක් ගත්තෙ. අපිට හිතාගන්න බෑ.’

‘මම මගේ කතාව පුරාම ඒකට හේතු කිව්වා. හැබැයි මම ඔබතුමාට පොඩි කතාවක් කියන්න ඕනෙ. එදා ඔබතුමයි, ඔබතුමාගෙ නෝනයි අමාරුවෙ වැටුණු වෙලාවෙ බේරගත්තෙ කවුද කියලත් මතක තියාගන්න.’

තලතා රිෂාඩ්ට කියා තිබුණේ එහෙම කතාවකි. ඒ කිව්වේ කුමක්ද යන්න වටේ සිටි පිරිසට ගැටලුවක් විය. එහෙත් ඒ ගැන රිෂාඩ් ම කියා තිබුණු ආකාරයට ඔහුගේ නිවසේදී පිළිස්සීමෙන් මිය ගිය මෙහෙකාරියක ලෙස තබාගෙන සිටි දැරියගේ කතාව ගැන ය, තලතා පවසා තිබුණේ. කතාව කිව්වාට සිදුවූයේ කුමක්ද යන්න හරියටම නොකියන්නට රිෂාඩ් ද ප්‍රවේශම් වී තිබිණි. මන්ත්‍රීවරුන් පිරිසක් රිෂාඩ් අත්හැර රනිල් ළඟට යෑම නිසා සජිත් ළඟ රිෂාඩ්ට තිබූ බලය තරමක් අඩු වී තිබේ. එසේ ම වැඩි අවධානයක් යොමුනොකොට කරගෙන යනවාට කරගෙන ගිය යූටියුබ් නාලිකාව සහ ඩයලොග් ටීවී චැනලය නැවත ඇරඹීමට කඩිමුඩියේ ලෑස්ති වුවද, දැන් ඒ වැඩෙත් රිෂාඩ් අත්හැර තිබේ.


සටන පාවා දීපු කෙනා


මල් පාරේ පිහිටි රනිල්ගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ මේ දිනවල කතා කරන්නේ එක මාතෘකාවක් ගැන පමණි. ඒ මන්ත්‍රී පැනිලි ගැන ය.

‘සජබ මන්ත්‍රීවරුන්ට දැන් එතැන තැනක් නෑ'කියපු කතාව සම්පූර්ණ ඇත්ත. පොහොට්ටුවෙන් ගිය අපේ කට්ටිය තමයි දැන් සජබ පාලනය කරන්නෙ.’

නිමල් ලන්සා කියපු ඒ කතාවට උත්තරයක් දී තිබුණේ වජිර අබේවර්ධන ය.

‘කළකිරුණු සජබ මන්ත්‍රීවරු ජනාධිපතිතුමා එක්ක සම්බන්ධ කරන්න කියලා අපිත් එක්ක කතාකරන්න ගත්තනෙ. ඒක පටන්ගත්තෙ කබීර් හෂීම් මන්ත්‍රීතුමා. එතුමා කිහිපසැරයක් ජනාධිපතිතුමා එක්කත් කතා කළා.’ 

‘හැබැයි එතුමා අන්තිම මොහොතෙ සටන පාවාදීලා පැනලා ගියා.’

ඒ කතාව කියා තිබුණේ රුවන් විජේවර්ධන ය.

‘කටුනායක සජබ රැස්වීමට සෙනඟ ඉදලා නෑ. කාවින්දයි, මාන්නප්පෙරුමයි ගිහිල්ලත් නෑ'කියලා ආරංචියි.’

ඒ ලන්සා ය.

‘ඔව්. සෙනග නෑ'කියලා සංවිධායකයන්ට ලකී බැන්නා කියලත් ආරංචියි.’

ඒ ෂෙහාන් සේමසිංහ ය. ලකී යනු සජිත්ගේ ප්‍රධාන උපදේශකයා සහ මැතිවරණයේ මෙහෙයුම්කරු වන ලක්ෂ්මන් ෆොන්සේකා ය.

මැතිවරණයක පූර්ව ප්‍රචාරක කාලය කියන්නේ කතා පැළ කරන, ඇත්ත යට කරන, ඒත් රබර් බෝල මෙන් ඇත්ත උඩට එන අමුතු කාලයකි. 


වඩිවේල් චරිත දෙකක් රඟපායි


ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහගේ ‘තිස්පන් ලක්ෂයක රැකියා සුරැකි ත්‍රෛපාර්ශ්වික එකඟතාව’ කෘතිය එළිදැක්වීම පසුගිය 21දා පැවැත්වුණේ බත්තරමුල්ලේ පිහිටි පොත් ප්‍රකාශකයන්ගේ ශ්‍රවණාගාරයේදී ය. රැස්වීමට වතු ජනතාව නියෝජනය කරමින් වඩිවේල් සුරේෂ්ට ද ආරාධනා කර තිබිණි. මෙහිදී සිදුවූ විශේෂත්වයක් වූයේ වතු ජනතාව නියෝජනය කරමින් ආරාධනා ලද වඩිවේල්, කෘතියේ උත්සයට ආවේ කම්කරු රාජ්‍ය ඇමැතිවරයා ලෙස වීමයි. පොත එළිදක්වන්නට ටික වේලාවකට පෙර ය, වඩිවේල් දිවුරුම් දී තිබුණේ.

‘වඩිවේල් දිවුරුම් දුන්නු ගමන් මෙතැන. එන්න කිව්වද?’

අගමැති දිනේෂ් ගුණවර්ධන පොතේ කර්තෘවරයාගෙන් විමසීය.

‘නෑ. කලින්ම ආරාධනා කරලා තිබුණෙ.’

අලුත් තරගය ඇරඹෙයි - පෝලිම් නැති කළේ කවුද?

පසුගිය සතියේ නාමල් රාජපක්ෂගේ පළමු රැස්වීම ද පැවැත්විණි. ඒ, අනුරාධපුර කඩ පනහ භූමියේදී ය. ඊට පොදුජන පෙරමුණේ ප්‍රකට පිරිස සිටියේ නැත. අනුරාධපුරයේ පොදුජන පෙරමුණු නායකයා ලෙස සිටි එස්.එම්. චන්ද්‍රසේන සහ ඔහුගේ සහෝදරයා වන හිටපු මහ ඇමැති එස්.එම්. රංජිත් ද සිටියේ නැත. ඔවුන් දැන් රනිල් සමග ය. අනුරාධපුරයෙන් සිටියේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ය. පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ද වූහ.

‘ගොඩක් අය නාමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරපු එක ගැන හොඳ කියනවා.’

සංජීව එදිරිමාන්න මේ කතාව හැමතැනකදී ම කියයි. 

‘රාජපක්ෂලා කොහොමත් අභියෝග බාරගන්න අයනෙ.’

අනුරාධපුරයේදී මෙසේ කියා තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ය.

‘ඔව් ඇත්තටම. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන හාරසීයක් ලබාගත්තෙ තෙල් පෝලිම් නැතිකරන්න. බැසිල් රාජපක්ෂ ඉන්දියාව එක්ක කතාකරලා ඩොලර් බිලියන හතර හමාරක් ලබාගෙන තමයි තත්ත්වය බැලන්ස් කළේ.’

සාගර කාරියවසම් එහිදී පැවසුවේ එවැන්නකි. ඒ කියන්නේ දැන් පෝලිම් නැති කළ එකටත් තරගයක් එන්නට නියමිත ය.

‘පෝලිම් නැති කළේ කවුද?’ තරගයේ නම එය විය හැකිය.

නාමල්ගේ මුල්ම රැළිය ද පවත්වන්නට නියමිතව තිබී ඇත්තේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී ය. ජොන්ස්ටන් ප්‍රනාන්දුට අනුව ඊට බාධා කර තිබුණේ එක බඩවැල කඩාගෙන ආ සහෝදරයන් මෙන් සිටි එස්.එම්. පවුලයි. 

‘23 වැනිදා වෙනකම් සල්ගාදු පිටිය බුක්කරලා. අපේ එස්.එම්, රෝහිත, පවිත්‍රා මේ ඔක්කොම දැනගෙන හිටියා, 21 වැනිදා අපි මේ රැලිය පවත්වනවා කියලා. ඒ අය පැනලා ගියා. ඒ අයම තමයි ඔය 23 වෙනකං පිට්ටනිය වෙන්කරලා තියෙන්නෙ.’

ජොන්ස්ටන්ගේ කතාව පෝෂණය කර තිබුණේ තිස්ස කුට්ටිආරච්චි ය.

No comments:

Post a Comment